මේ කුමන්ත්‍රණය කළේ මහින්ද මහත්තයව නැත්තටම නැතිකරන්නයි – කුමාර වෙල්ගම

මහින්ද මහත්තයා කාගෙහරි ලණුවක් කෑවද?

ඇත්තටම ඔව්. මහින්ද මහත්තයට මේ ලණුව දුන්නේ, වෙන කවුරුවත් නෙමෙයි එයාගෙ ළඟම ඉන්න ගෝලබාලයො තමයි මේ ලණුව දුන්නේ.

එයාල ඇයි මහින්ද මහත්තයව මේ තත්ත්වයට ගෙනාවෙ?

ඒකට හේතු තියනව. මහින්ද මහත්තයා තමයි රටේ හිටපු ඉන්න ජනප්‍රියම පුද්ගලයා. සිරිසේන මහත්තයට කිට්ටුවකටවත් එන්න බෑ. රනිල් මහත්තයට කිට්ටුවකටවත් එන්න බැහැ. එතකොට ජාතික නායකත්වයකට කෙනෙක් ගේන්න නෑ. සමහර විට සජිත්ට පුලුවන් වෙයි. ඒත් කිට්ටුවකටවත් එන්න බැහැ මහින්ද මහත්තයත් එක්ක ගරඟ කරද්දි. ඒ නිසා මහින්ද මහත්තයගෙ ජනප්‍රියත්වය නැති කරන්න කරපු කුමන්ත්‍රණයක් තමයි මේක. ඔය මම කියපු කුමන්ත්‍රණ කාරයො කීප දෙනෙක් ඉන්නවා, අපිට අලුතෙන් ආපු අයත් අපි ගාව හිටපු අයත් මේ කුමන්ත්‍රණය කළේ මහින්ද මහත්තයව නැත්තටම නැති කරන්න. එත් පාර්ලිමේන්තුවෙදි ඒ ගොල්ලන් හිතන දේ ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙයි. හැබැයි ජනතාව ඒත් මහින්ද මහත්තයට ආදරෙයි.

මහින්ද මහත්තයා අගමැති කිරීම තුළින් ඉදිරියෙදි ලැබීමට තිබුණ ජයග්‍රහණයක් නැතුව ගියා නේද?

ඇත්තටම ඔව්. මේකට ප්‍රධානම හේතුව පොහොට්ටුව. පොහොට්ටුව මේ රටේ ප්‍රධාන බලවේගයට ගෙනාවෙ බැසිල් මහත්තයා. මහින්ද මහත්තයා තමයි ඒකට මූලිකත්වය දැරුවෙ. නමුත් බැසිල් මහත්තයා තමයි ඒකට මූලික වෙලා පොහොට්ටව පළවෙනි තැනට ගෙනාවෙ. මේ කියපු කුමන්ත්‍රණකාරයො බැසිල් මහත්තයත් එක්ක තරහයි. මට පුද්ගලිකවත් පාර්ලිමේන්තුවෙදි කියල තියනව බැසිල් එනවනම් අපි විරුද්ධ පැත්තට යනව කියල. එතකොට බැසිල් මහත්තයත් එක්ක තියන තරහට, මොකද පොහොට්ටුව නැගිට්ටම, ඒ ගොල්ලන්ගෙ පක්ෂවලට ඉඩක් ලැබෙන්නෙ නෑනේ. ඒ ගොල්ලන්ගෙ පක්ෂ ඔක්කොම යට යනව. එක නිසා මේ පොහොටුවටයි බැසිල් මහත්තයටයි ගහන්න සහ මහින්ද මහත්තයගෙ ජනප්‍රියත්වය අඩු කරන්න කරපු කුමන්ත්‍රණයක් හැටියට තමයි මම දකින්නෙ.

මේක ජනාධිපතිතුමාගෙ තවත් ප්ලෑන් එකක්ද?

දැන් ජනාධිපතිතුමා අපිව තුන්පාරක් රැවැටුවනේ, ඉතින් ජනාධිපතිතුමා හතරවෙනි පාරටත් අපිව රවට්ටන්න යන එක ගැන අපිට ලොකු සැකයක් තියනව. කුකුසක් තියනව. සමහරවිට ඉහළ තැන් වලින් ලැබුණ නියෝග මේ පල්ලෙහා කට්ටිය ක්‍රියාත්මක කරන්න ඇති.

මහින්ද මහත්තයගෙ අනාගතය මෙයින් පසුව කුමක්වේද?

අපිට 113 පෙන්වන්න බැරි වුණොත්,ජනාධිපතිතුමා ඊළඟ අගමැති කෙනෙක් ගැන බලනව. විශ්වාස භංග යෝජනාව ගේන්න එතුමා අනුමත කරල තියෙනව, එක වගන්තියක් අයින් කරල, එතුමාට විරුද්ධව තියන වගන්තිය අයින් කරල, හදිස්සියෙවත් අපේ අය කළබල කළොත්, නමින් ඡන්ද ගන්න බැරිනම්, සද්දෙන් ඡන්දෙ ගන්න. ඒකට එතුමා නිසි පියවර ගන්නව කියල කියල තියෙනව.

මේ දේශපාලන පෙරළියට ඔබලාගේ කැමැත්ත කෙසේද ලැබුණේ?

මම හිතන්නෙ දැනට මාසෙකට මාස එක්හමාරකට විතර ඉස්සරවෙලා ජී.එල්. පීරිස් මහත්තයාලෑ ගෙදරදි බැසිල් මහත්තයා හා මහින්ද මහත්තයා ගිහිල්ලා සිරිසේන මහත්තය එක්ක සාකච්ඡා කරනකොට මේවා මාධ්‍ය තුළින් අපි දකිනකොට, එහෙම නැත්නම් මේවා අපිට කිව්වෙ නැහැනි. එදා ජී.එල්. පිරීස් මහත්තයා ගෙදර රැස්වීමක් කැඳෙව්වා රෑ කමත් එක්ක, ඒ වෙලාවේ චමල් රාජපක්ෂ මහත්තයා මුලින්ම විරුද්ධ වුණා. එතුමා කිව්වා මෙහෙම යන්න බෑ. මේක නවත්වන්න. මේකට එකඟ වෙන්න එපා කියල. නෑ නමුත් ජනාධිපති තුමා (හිටපු) කිව්වා අපි පෝය එකයි, පෝය දෙකයි අපි බලය ගන්නවා කියල කියනව කියල. දැන් මිනිස්සු ලබාගෙන ඉන්නව අපි බලය ගන්නකම්. අපි යමක් කරන්න ඕනැ කියල එතුමා කතාකරනකොට මම නැගිටලා කිව්වා, ‘සර්, ඔබතුමා මයෙත් එක්ක අමනාප වෙන්න එපා. මම ඔබතුමාට විරුද්ධව යනව නෙමෙයි. නැත්නම් ඔබ තුමා හිතයි මම හැමදාම ඔබතුමාට විරුද්ධව යනව කියල. නෑ ඔබතුමාට කියන ලෙංගතුකම හා ආදරේ නිසයි මේ කියන්නෙ, මේ ගමන යන්න එපා. සිරිසේන මහත්තයට නැවතත් රැවටෙන්න එපා. දැන් අපි රැවටුණා ඇති. මේ අගමැතිකම බාරගන්න එපා. අපි අය වැය පරද්දමු. නැත්නම් අපි ඉදිරියෙදි එන මැතිවරණ වලට මුහුණ දීලා මැතිවරණ වලින් පරද්දමු. මිනිස්සු බලාගෙන ඉන්නව මැතිවරණයක් එනකල්. අපිට තුනෙන් දෙක ගන්න පුළුවන්. ඒ නිසා මේක කරන්න එපා කියල, මම කිව්වා හැබැයි ඔබ තුමා මේ තනතුර ගත්තොත්, මම ඔබතුමාට ඡන්දෙ දෙනව, 113 පෙන්නන්න. ඔබතුමාට තුනෙන් දෙක ගන්න මම ඡන්දෙ දෙනව. නමුත් මම ස්වාධීනව වාඩි වෙනව, කියන කතන්දරේ මම එතුමාට පැහැදිලිවම කිව්වා. ඊට පස්සෙ මට මතකයි මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා ඉල්ලීමක් කළා, නෑ. වෙල්ගම ඇමතිතුමා මේකට එකඟ වෙලා ස්වාධීනව වාඩි වෙන්න එපා කියල. එතුමා ඒකට පක්ෂව කතා කළා. ඒ කියන්නෙ අගමැතිකම ගන්න එක ගැන. කෙහෙලිය රඹුක්වැල්ල මහත්තයා ඒකට පක්ෂව කතා කළා එතකොට රොෂාන් රණසිංහ, රිචඩ් පතිරණ මහත්තයාගෙ පුතා, ඊට පස්සෙ සේනසිංහ මහත්තයා, විමලනාත් දිසානායක මහත්තයලා, මේ ඔක්කොම මේකට විරුද්ධව කතා කළා. විරුද්ධව කතා කරලා කිව්වා, මේක කරන්න එපා සර්, හැබැයි සර් මේක කරනව නම්, අපේ ඡන්දෙ දෙනව කියල එතුමන්ලා කිව්වා. එතකොට මහින්ද මහත්තයට කල්පනා කරන්න තිබුණා හතරවෙනි පාරට ද මේ රැවටෙන්න යන්නෙ කියල.

ඊළඟ ජනාධිපති අපේක්ෂක ගැන විවිධ කටකතා පැතිරෙනව, ඒ පිළිබද ඔබේ අදහස කුමක්ද?

අපි අවුරුදු හතරක් මේ දුර ආවා. අපි මහින්ද මහත්තයට මදුරුවෙක්වත් වහන්න දුන්නෙ නැහැ, මහින්ද මහත්තයගෙ ඇඟට. අපි කට්ටියම එක්කාසුවෙලා මහින්ද මහත්තයව ආරක්ෂා කෙරුවා. මහින්ද මහත්තයව හොඳ දිගු ගමනක් ගෙනාවා. ඒ ගෙනාවෙ මැතිවරනයකට මුහුණ දීලා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්න. මම කිව්ව වගේ පොහොට්ටුව පළාත් පාලන මැතිවරණයෙදි හොද ජයග්‍රහණයක් ලබා ගන්තා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ මැතිවරණයෙ එකවේදිකාවක කතා කළාද? නෑනේ. ඇමරිකාවට පැනල ගියානෙ. ගිහිල්ලා අපි දින්නට පස්සෙ තමයි ආයේ ආවේ. මම හිතන්නෙ මහින්ද මහත්තයට මෙම ජයග්‍රහණය උහුලන්න බැරි වුණා. මට පේන හැටියට ජයග්‍රහණය උහුලන්න බැරි වුණා. ලංකාවෙ සිතියමේ උතුර හැර අනෙක් සියලු ප්‍රෙද්ශ රතුපාටින් වැටෙන කොට, පොහොට්ටුව පාටින් වැටෙන කොට, ඔක්කොම හරි කියල එතුමා තීරණය කෙරුවා. එතුමා තීරණේ ගත්තෙ ගෙදර පවුලෙ සාමාජිකයන් එක්ක සාකච්ඡා කරල. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා හැටියට කටයුතු කරන්නෙ කවුද කියල. අන්න එතනදි තමයි වැරදි තීන්දු ගත්තෙ. එතනදි තමයි මම කිව්වෙ තමුන්නාස්සෙට මම කඩේ යන්නම් වෙන කිසිම රාජපක්ෂ කෙනෙකුට මම කඩේ යන්නෙ නෑ කියල. මම පැහැදිලිව කිව්වෙ අන්න ඒකයි. එතකොට අද දැන් පේනවනෙ. අද දැන් පුළුවන්ද ජනාධිපති මැතිවරණයකට මුහුණ දෙන්න? ඔය කියපු අයට බෑනෙ. තාමත් ඇමරිකන් පුරවැසියො. ඒ පුරවැසිභාවය අයින් කරගන්නෙ නැහැ. මම කියන්නෙ අපිට මීට වැඩිය ඉවසන්න තිබුණා. ගෝඨාභය මහත්තය දානවනම් මම ඒකට විරුද්ධ නැහැ. එතුමාව දාන්න තිබුණා අන්තිම මොහොතෙ. අර සිරිසේන මහත්තය කෙරුව වගේ. එතුමාගේ මේ වියත්මග වැඩ පිළිවෙල කරගෙන ගිහිල්ලා අන්තිම මාසේ නම් කළා නම් මෙයා තමයි අපේ ජනාධිපති අපේක්ෂකයා කියල හරි. වරද්ද ගත්තෙ ජනාධිපතිවරණයකට අවුරුදු එකහමාරකට ඉස්සර මේක කියපු නිසා.

ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර යනවාද?

මම තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. පොහොට්ටුවෙන් තමයි මම ඉල්ලන්නෙ. පොහොට්ටුවෙ සාමාජිකත්වය මම ගන්නවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කියන එක මට එකපාරට අතඅරින්න බැහැ. මම අද මේ තැන ඉන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මැතිණියට පින්සිද්ධ වෙන්න. එතකොට අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එකපාරටම අතඅරින්න බෑනේ. ඒකට අපි ගරුත්වයක් තියල අයින් වෙන්න ඕනෙ. පක්ෂය පල්ලෙහාට බැහැගෙන ගියා නායකත්වයේ දුර්වල කමට අපි ඒක අරගන්න ඕනැ. අපේ පඩියෙන් දැනුත් රුපියල් 3500/-ක් කැපෙනවනි. එකෙන් අපි අයින්වෙන්න ඕනැ ඒ පක්ෂයටත් අපි ගරුත්වයක් දෙන්න ඕනැ. අපි මෙතෙක් කල් අවුරුදු 36ක් අපිව මේ ගෙනාපු ගමනට අපි ඉන්න තත්ත්වයට ගරුත්වයක් දීලා තමයි අපි අයින් වෙන්න ඕනැ.

ඉදිරි මහා මැතිවරණයකට සැලසුම කෙසේ ද?

ජනාධිපති අපේක්ෂකයා ගැන අපි සාමූහිකව සාකච්ඡා කරල ගන්න ඕන තීන්දුවක්. මේ දෙන්නේක් තුන්දෙනෙකුට ගන්න පුළුවන් තීන්දුවක් නෙමෙයි. සිරිසේන මහත්තයට කියල අපිව රැවැට්ටුවනෙ ඒ කණ්ඩායම තමයි මේ ඉන්නෙ. ගෝඨාභය මහත්තයා ගේන්න ඕන කණ්ඩායම ඒ කණ්ඩායමමයි. ඒ කණ්ඩායම ඒ ගොල්ලන්ගෙ එක අරමුණක් දැන් ඉෂ්ඨ කර ගත්තා. දැන් ඊළඟ අරමුණට යනවා. දැන් ඒ ගොල්ලන්ගෙ හිතේ තියෙන්නෙ, ඒ ගොල්ලන් කොච්චර කෑ ගැහුවත් ඒ ගොල්ල අන්තිමට වැඩ කරන්නෙ සිරිසේන මහත්තයට.

පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීම් ගැන ඔබේ අදහස කුමක්ද?

කතානාකයක තුමා පක්ෂග්‍රාහිව කටයුතු කළා කියන එක මම කියන්න ඕන. කතානායක තුමාට මීට වැඩිය වැදගත් විදිහට හසුරුවන්න තිබුණා. විශ්වාසභංග යෝජනාව බාරදෙන කොට, ස්ථාවර නියෝග නවත්වන්න සුමන්තිරන් මහත්යා යෝජනාව ගේනකොට, මීට වැඩිය ස්වාධීනව කටයුතු කරන්න එතුමාට තිබ්ණා. ඒක හරිවිදිහට, දවස්පහක් දීලා, මන්ත්‍රීවරුන්ට මේක අධ්‍යයනය කරන්න දීලා මේ විශ්වාසභංග යේජනාව ගෙනාවා නම්, මම හිතන්නෙ අපේ කවුරුවත් දඟලන එකක් නැහැ. නමුත් මේක ගහෙන් ගෙඩි එන්න වගේ එක පාරට ගෙනාපු නිසා ඒ මොහොතෙම ගෙනාපු නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ.

මහින්ද මහතතයාගෙ කතාවට ගෙනා ඡන්ද විමසීම ගැන ඔබේ අදහස කුමක්ද?

ඔව්. එතනත් ප්‍රශ්නයක් තියෙනව. මොකද මහින්ද මහත්තයව පිළිගත්තෙ නැහැනෙ අගමැති වරයා හැටියට. එතුමා පිළිගත්තෙ නැහැ. සාමාන්‍ය මන්ත්‍රිවරයෙක් හැටියට තමයි ආමන්ත්‍රණය කළේ. ඒ කතාව ඉතාම හොඳ කතාවක්. රටට ගැලපෙන රටේ මිනිස්සුන්ට හිතට කාවදින කතාවක්. ඒ කතාවට බෙදීමක් ඇති කරන්න පුළුවන්ද කියන එක ගැටළු සහගත දෙයක්.

පාර්ලිමේන්තුව කලබල අවස්ථාවේ ඔබ නිහඬ පිළිවෙතක සිටියේ ඇයි?

මම මුලඉඳන්ම කිව්වා 113 තියන පැත්තට ආණ්ඩුව කරන්න ඉඩ දීලා අපි විපක්ෂයේ වාඩි වෙමු කියල. ඒ වගේ පුලුවන් කමක් තියෙද්දි ඇයි අපි ගිහිල්ලා බලෙන් මේ රටට වැරදි ආදර්ශයක් දීලා ඇයි අපි ගහගන්නෙ? හරිම අශීලාචාර ලෙසනෙ ගහගත්තෙ. කතානායක පුටුවට වතුර වැක්කෙරුවා. ඩස්පින් වලින් ගැහුවා. මොනව වුණත් කරු ජයසූරිය මහත්තයා කියන්නෙ ආත්ම ගරුත්වයක් තියෙන මිනිහෙක්නෙ. රටේ කතානායක තුමානෙ.

මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවට ආයුධ ගෙන ඒම ගැන ඔබේ අදහස කුමක්ද?

මමත් ඔය රූපරාමු වලින් තමයි දැක්කෙ. මම ටිකක් දුර හිටපු නිසා මට පෙනුනෙ නෑ. ඒවට ක්‍රියාමාර්ග ගනියි. ඉදිරි අනාගතයේදී හරියට පාලනය කරගෙන යන්න ඕනෙ නම්, හොඳ ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියන එකයි මගේ හැඟීම.

ඔබට ජනතාවට ප්‍රකාශ කිරීමට විශේෂ යමක් ඇත්ද?

අපි ඉතින් හොඳට මොලේ කල්පනා කරල, හොඳ තීන්දු අරගෙන ඉස්සරහට යමු. අපි දේශපාලනය කරන්න ඕනැ. අපි රටට ආදරේ මිනිස්සු. මේ රට තමයි අංක එක. ඊට පස්සෙ තමයි පක්ෂයයි නායකයි එන්නෙ. මේ රට ගැන හිතලා ඕනෙ හැම එක්කෙනෙක්ම තීන්දුවක් ගන්න. මේක දෙසිය විසිපස් දෙනාටම පොදුයි. අපි දෙසිය විසිපස් දෙනාම අපි ගැන හිතනවට වැඩිය අපේ නායකයො ගැන හිතනවට වැඩිය, අපේ පක්ෂය ගැන හිතනවට වැඩිය රට ගැන හිතන්න. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හැම ජන කොටසක්ම එකට එක්කාසුවෙලා එක සහොදර කණ්ඩායමක් වශයෙන් ඉදියට යන්න ඕනැ. මේ ශ්‍රී ලංකාව, මෙකෙ ඉපදුන හැම එක්කෙනාටම මේක පොදුවේ අයිතියි. මේකෙ ජාති භේද, වර්ණ භේද, ආගම් භේද, කුලමළ භේද විතරක් ගේන්න එපා. මොකද මේක ගෙනාවොත් මේ රට එන්න එන්න ප්‍රපාතෙට වැටෙනව. අපි එක අම්මගෙ දරුවො හැටියට අපි ඉදිරියට ගියොත් අපිට මේ රට ගොඩනගන්න පුළුවන්. රට ගැන හිතන්න.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *