|

පෝලිම් සංස්කෘතිය හා අපේ කම – නිශාන්ත කමලදාස

පෝලිම අපට නුපුරුදු යැයි කිව නොහැකි ය. ඉල්ලුමට සරිලන සැපයුමක් ඉක්මණින් සැපයිය නොහැකි තැනක එවැන්නක් ඇති වීම ස්වභාවික ය. ඉදින් දුප්පත් රටක පෝලිම් යනු ස්වභාවික සංසිද්ධියකි. එවැනි පෝලිමක ඉඳීමේ භාග්‍යය පසු ගිය දිනක මට ලැබිණි.

ඒ බල්ලෙකු විසින් සපා කනු ලැබ ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මහරෝහලට ගෙන ගිය මගේ පුතා වෙනුවෙනි. ජල භීතිකා ප්‍රතිකාර ඒකකය තියෙන්නේ 20 කාමරයේ ය. ලොකු අපහසුවක් නැතිව වෛද්‍යවරයා මුණ ගැසීමට අපට ඉඩ ලැබුණු අතර ඔහුගේ උපදෙස් අනුව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන්නට වූ බැවින් අංක 6 කවුන්ටරය වෙත ගොස් ලියාපදිංචිය කර ගත යුතු විය. එතැන තරමක දිගු පෝලිමක් විය. ඒ පෝලිම නිසි ලෙස කළමනාකරණය කිරීමට කැප වුනු සේවක මහතෙකු නිසා කිසිවෙකුට පහසුවෙන් පෝලිම කඩා ගෙන යෑමට ද ඉඩක් නොවිණි. පෝලිම දික් වෙන බොහෝ තැනක පෝලිම කඩා ගෙන යෑමට කැස කවන මිනිසුන්ගේ අඩුවක් නැති රටක එය ද ඉමහත් ඉස්පාසුවක් වූ බව කිව යුතු ය.

අපට පෝලිම් තිබුන ද පෝලිම් සංස්කෘතියක් නැත. ඒ කියන්නේ අපේ වාරය එනතුරු රැඳී සිටීමට තරම් ඉවසීමක්, ශික්ෂණයක්, අපට නැති බව ය. ඒ නිසා ම පෝලීම් පවත්වාගෙන යෑමට බාහිර කෙනෙකුගේ උපකාරය අපට අවශ්‍ය ව තිබේ. අඟලක් ගානේ රථවාහන පොලිසියේ නිලධාරීන් රැඳවන්නේ ද ඒ නිසා ය. එසේ කළේ නැත්නම් කිසිවෙකුටත් වාහනය ධාවනය කළ නොහැකි තත්වයක් උදාවන්නේ ය. ඉදිරියෙන් එන වාහන හරස්කරමින් පෝලිම් කඩා ගෙන ඉදිරියට යන්නට දඟලන අය දකින්නට ලැබෙන්නේ ය.

වෙනත් ආකාරයකින් කිවහොත් ඒ කියන්නේ අප අනෙකා ගැන සංවේදි නැති බව ය. අනෙකාගේ අයිතීන් සම්බන්ධයෙන් අප අප විසින් ම නිර්වින්දනය කර ගෙන ඇති බව ය. එ්වා අපට දැනෙන්නේ නැති බව ය. ඒ ගැන අපේ තැකීමක් නැති බව ය. අපේ වාරය එන තෙක් බලා සිටින්නට අප සූදානම් නැති බව ය. අනෙකාගේ වාරය උදුරාගැනීමට ඉඩක් ඇත්නම් අප ඊට පසුබට නොවන බව ය.

දැන් නැවතත් ඔබව කැඳවා ගෙන යන්නේ මා සිටි පෝලිමට ය. ඒ පෝලිම ඉදිරියට ගියේ හෙමිනි. පරීක්ෂා කර බැලූවිට පෙනුනේ සෞඛ්‍ය සේවකයින් පෝලිමෙන් පිට සිට තමන්ගේ නෑදෑ හිතවතුන් වෙනුවෙන් ලියා පදිංචිය කර ගන්නා බව ය. කකුල් කෙඩෙත්තුව හැදෙන තුරු පෝලිමේ සිටිනා මිනිසුන්ගේ වාරය උදුරාගන්නා බව ය. එතැන ක්‍රියාත්මක වුනේ “අපේ කම“ ය.

අපේ කම

ඒ කියන්නේ අප, පිට අය අසංවේදී මුත්, අපේ අයට අතිශයින් සංවේදී බව ය. ඒ සංවේදී බව විසින් සෙසු මිනිසුන්ට ඇති සංවේදී බව අප විසින් නිර්වින්දනයකට ලක් කර ගෙන ඇති බව ය. පෝලිමෙන් පිටින් අවුත් ලියාපදිංචිය කර ගන්නා අය තමන්ගේ රාජකාරියෙන් ඒ මොහොතේ ඉවත් ව පැමිණ ඇත. ඒ රෝගීන්ට අසංවේදී වෙමින් තමන්ගේ හිතවතාට පිහිට වනු පිණිස ය. එසේ ඇවිත් සිදු කරන්නේ පෝලිමේ සිටිනා අයට අසංවේදී වෙමින් තමන්ගේ හිතවතාට පිහිට විම ය. පිට අයට අසංවේදී වීම මෙසේ තමන්ගේ අයට සුවිශේෂී ලෙස සංවේදී වීම සමග එකට බැඳී තිබේ.

සෞඛ්‍ය සේවකයන් විසින් කළ යුතු ව ඇත්තේ හැමට ඉක්මණින් ලියාපදිංචිය කර ගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම ය. එය සිදු කළ හැකි එක් ආකාරයක් නම් ලියාපදිංචිය අදාළ ඒකකයට බාර දීම ය. එකිනෙකට සම්බන්ධ පරිගණක ජාලයක් මගින් එම දත්ත මධ්‍යගතව ලබා දිය හැකි යටිතල පහසුකම් නිර්මාණය කර දීම ය. එසේ කළේ නම් අංක 20 කාමරයේ ම ඒ කටයුත්ත කර ගත හැකි ව තිබුණි. අනෙක් ආකාරය කාර්යය බහුල වේලාවන් සඳහා කවුළු කීපයක් අමතරව එකතු කොට පෝලිමේ සිටින කාලය අඩු කිරිම ය.

එහෙත් මේ පෝලිම සෞඛ්‍ය සේවකයන්ට වරප්‍රසාදයක් ව තිබෙන්නේ ය. සෙසු අයට නැති දෙයක් – පෝලිමේ නොසිට ලියාපදිංචිය කරගැනීමේ හැකියාව- තමන් වෙනුවෙන් පමණක්  නොව තම හිතවතුන් වෙනුවෙන් ලබා ගැනීමට ද එයින් හැකි වන නිසා ය. තම හිතවතුන් වෙනුවෙන් එවැන්නක් කිරිමට හැකි වීමේ සතුට පෝලිම නැති කිරීමෙන් අහිමි වන්නේ ය. එයින් ඔවුන්ට ලැබෙන්නා වූ බල පරාක්‍රමය නැතිව යන්නේ ය. ඒ නිසා ඔවුන්ගේ පැත්තෙන් පෝලිම ඉවත් කිරීමට හෝ අවම කිරීමට උත්තේජනයක් ඉල්ලුමක් ඇති වන්නේ නැත.

ඇතැම් තැනක පෝලිම් පවත්වාගෙන යන්නේ ඊටත් එහා ගියා වූ ආර්ථික අරමුණු ඇතිව ය. ඒ මුදල් ගෙන පෝලිමේ ඉදිරියට යෑමට, එසේත් නැතිනම් පෝලිමේ නොසිට යමක් කර ගැනීමට, ගෙවන්නාට අවස්ථාවක් ලබා දීමට, ඒ මගින් ආයතනයේ සේවකයන්ට හැකි වන නිසා ය. ඒ හරහා ධන ඉල්ලමක් ඔවුන්ට පෑදෙන නිසා ය.

ආයතනයේ අය මේ පෝලිම් වලට විසඳුමක් දිමට ඉදිරිපත් නොවන කල සේවා ලාභින්ට ඒ වෙනුවෙන් කළ හැක්කේ හීන් කෙඳිරියක් නැගීම පමණකි.

ආයතන තියෙන්නේ ආයතනවල ඉන්නා අයට ය

මෙසේ සිතමින් පෝලිමේ ඉන්නා විට මා ඉදිරියෙන් සිටි තැනැත්තා සමග කතාවකට පැටලිමට මට අවස්ථාවක් ලැබිණි. ඔහු ද පැමිණ සිටියේ වාට්ටුවකට ඇතුළු වනු පිණිස ලියාපදිංචි වන්නට ය. ඒ හදවත් රෝගයකට ස්ටෙන්ට් එකක් දමා ගැනීමට ය. වෙනදා ලක්ෂ පහක ආසන්න මුදලට ගත යුතු ස්ටෙන්ට් ඒ වන විට රෝගින් ට නොමිලේ ලබා දෙමින් තිබුනේ ය. ජනතාව පැත්තෙන් එය සැලකිය යුතු සහනයක් වේ දැයි මම විමසිමි. එය එසේ ම යැයි කී ඔහු එකම ගැටළුව ඒ සඳහා සති මාස ගණනක් පෝලිමේ සිටීමට සිදු වීම යැයි කීවේ ය. තමා ද එසේ සිටියේ යැයි කී ඔහු දැන් පැමිණියේ ස්ටෙන්ට් ඇතැයි යන රෝහලෙන් ලැබුණු පණිවුඩයකට අනුව යැයි කියා සිටියේ ය. රෝහල් පද්ධතිය එසේ ජනතාවට සංවේදි වීම සම්බන්ධයෙන් මා සතුටට පත්වෙමින් එම සතුට බෙදා ගත් විට ඔහු කීවේ ඒ තොරතුරු ලැබුණේ රෝහලෙන් නොව තමා දන්නා හඳුනන සෞඛ්‍ය අමාත්‍යංශයේ හිතවතෙකුගෙන් බව ය. දැන් නැවතත් අපට මුල් පෝලිම් ගැටළුව නැවත වෙනත් අයුරකින් මුණ ගැසේ. ඒ පෝලිම පැත්තක තිබිය දී මේ පද්ධතිය තුළ හිතවතුන්ගේ වුවමනාවන් මුලින් ඉටු කර ගැනීමට ඉඩ පවතින බව ය. ඒ කියන්නේ “අපේ කම“ භෞතික පෝලිම්වල පමණක් නොව සෑම තැනකම, සෑම පෝලිමක ම, රජයන බව ය.

මෙය රෝහල්වලට හෝ සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවේ. අපේ ආයතන සියල්ලක් ම අරක් ගෙන ඇති ප්‍රශ්නයකි. මෙය අපේ හර පද්ධතිය හා බැඳුනකි. ඒ “අපේකම“ ට සැලකිමේ ආචාර ධර්මය නිසා ය. ඒ සාර ධර්මය නිසා ය.

අපේ මිනිසුන් සම්බන්ධයෙන් සංවේදී විම හොඳ ය. එහෙත් ඒ වෙනුවෙන් සෙසු මිනිසුන්ට අසංවේදී වීම හොඳ නැත. සාර ධර්මය අසාර වන්නේ එතැන දී ය.

කරවල කල් තබා ගැනීමට මැලතීන් දමන කරවල මුදලාලි තමන්ටත් තම හිතවතුන්ටත් එසේ මැලතීන් නොදමන ලද කරවල ප්‍රමාණයක් වෙන් කර තබන්නේ ය. එළවලු මුදලාලි ද පොලොස් වලට හාපික් දැමීමට පෙර, එළවලුවලට කෘමි නාශක ගැසීමට පෙර, තමන්ට හා තම හිතවතුන්ට අයිති කොටස වෙන් කර තබන්නේ ය. මාළු මුදලාලි මාළු වලට ෆෝමලීන් දැමීමට පෙර ද පලතුරු මුදලාලි පළතුරුවලට කාබයිඩ් ගැසීමට ද පෙර එසේ තමන්ගේ කොටස හිතවතුන්ට දීමට ඇති කොටස වෙන් කර තබා ගන්නේ ය. ඊට පස්සේ කරවල මුදලාලි පිරිසිදු කරවල සමග කෘමිනාශක ගැසූ එළවලු ද කාබයිඩ් ගැසූ පලතුරු ද අනුභවයෙන් එහි ආනුභාවයෙන් ලෙඩ වෙන්නේ ය. ඉතිරි මුදලාලිලාට ද සිදු වන්නේ ඒ සංගෙඩියම ය. හිතුවේ තමනුත් තම හිතේෂීනුත් බේරා සෙසු අය බිල්ලට දෙන්නට ය. වුනේ සියල්ලන්ට ම වහ කෑමට ය.

අපේ කම විවිධ ස්වරූපයන් ගන්නේ ය. අපේ ගමේ කෙනෙක්, මාත් එක්ක ඉගෙන ගත් කෙනෙක්, අපේ බැච් එකේ එකෙක් එකියක්, අපේ ආගමේ, අපේ ජාතියේ, අපේ කුලයේ, අපේ ආයතනයේ, අපේ ඉස්කොලේ කෙනෙක්, අපේ නෑදෑයෙක්, අපේ යාළුවෙක්, අපේ පක්ෂයේ කෙනෙක් වශයෙන් ඉන්නා මේ හැමෝම “අපේ“ මිනිසුන් ය.

විපාක දරුණු ය

අවසාන විශ්ලේෂණයේ දී සිදු වන්නේ හැන්ද ඇති අය තමනුත් බෙදා ගෙන, තමන්ගේ මිනිසුන්ටත්, බෙදා ගැනීම ය. මේ බෙදිල්ලෙන් වැඩියෙන් ම කොන් වන්නේ සුළු තරයේ මිනිසුන් ය. බලය නැති මිනිසුන් ය. කිසිවක් කර ගැනීමට බැරි මිනිසුන් ය. සැබෑ ලෙස ම අත දිය යුතු ව තිබෙන මිනිසුන් ය.

රටක කැරලි මතු වන්නේ මෙසේ කොන් කරනු ලබන මිනිසුන් නිසා ය. අපේ රටේ කැරලි වලට සම්බන්ධ වූ අය අර අප ඉහත කී “අපේ කම“ විසින් ප්‍රධාන ධාරාවෙන් අයින් කරනු ලැබ තිබූ මිනිසුන් ය. එය එසේ වුව ද කැරලිවල ප්‍රතිවිපාක විඳින්නට වන්නේ කාටත් පොදුවේ ය.

මේ බෙදිල්ලෙන් ඊළගට පීඩා විඳින්නේ සුදුස්සන් ය. අපේ නොවන සුදුස්සන් ය. දිගුකාලීනව එයින් සිදු වන්නේ  වඩා හොඳින් අපට සේවය සැලසිය හැකිව තිබූ මිනිසුන්ට අප විසින් පස්ස හැර වීම ය. ඒ උන් අපේ නොවන නිසා ය.

අවසානයේ අපට සිදු වන්නේ බාග උගතුන් ගෙන් ලැබෙන ග්‍රාම්‍ය උත්තරවලින් හා විසඳුම්වලින් සෑහීමකට පත් විමට ය. අපේ නොවන සෙසු මිනිසුන් සම්බන්ධයෙන් අප දක්වන අසංවේදිත්වයේ පාපයට කර ගැසීමට ය. එයින් කියන්නේ අවසාන වශයෙන් පීඩාවට පත් වන්නේ අප ම බව ය.

මේ පීඩාවට අමතර ව තව පීඩනයකට ද මේ නිසා අප ලක් වේ. ඒ අප මෙන්ම අනෙකා ද අපේ කම හිතේ දරා ගෙන අපට කොයි වෙලේ හෝ කෙළවාවි දැයි බියෙන් සැකෙන් ජීවත් වීමට ය.

මක් නිසා ද යත් අප කරන දෙය උන්ට ද කළ හැකි බව අපට දැනෙන නිසා ය. කරවල මුදලාලි කරන දේ එළවලු මුදලාලි ද කරනු ඇතැයි කරවල මුදලාලිට දැනෙන නිසා ය. ඒ හැගීමත් සමග ජිවත් වන්නට සිදු වන්නේ ම සැකයෙනි. කොයි වෙලේ අනෙකා විසින් අපේ දේ අහිමි කරනු ඇත්දැයි යන සැකයෙනි. කරවල මාළු එළවලු පළතුරු මුදලාලිලා ගැන සැකයෙනි. අපේ නොවන අනෙකා ගැන සැකයෙනි.

ඒ කියන්නේ මේ නපුර භූමරංගයක් ව අප හඹා පැමිණිය හැකි බව ය.

රෝහලේ හිතවතා නැති වූ දවසට පෝලිමේ වේලෙමින් සෙසු රෝහල් සේවකයන්ගේ හිතවතුන් වරප්‍රසාද ලබන හැටි බලා හූල්ලන්නට වෙන්නේ ද අපට ම ය.

අපේ කමේ නිස්සාරත්වය

මේ සියල්ලෙන් පෙනෙන්නේ මේ “අපේ කම“ අප ව අගාධයකට රැගෙන යන බව ය. “අපේකම“ විසින් ඇති කර ඇති  මේ සීමා මායිම් කඩා බිඳ දමමින් අප ලෝකයාට සංවේදී විය යුතු බව ය. එකිනෙකා මත යැපීමට සිදු ව ඇති ලෝකයක “අපේ කම“ අතිශයින් නොවැදගත් වනවා පමණක් නොව භයානක ද විය හැකි බව ය. එය සාර ධර්මයක් ලෙස පෙනෙන අසාර ධර්මයක් බව ය.

බුදුන් වහන්සේ සියළු සත්ත්වයා වෙත මෛත්‍රීය කරන්නට කිවේ මේ “අපේ කමේ“ නිස්සාරත්වය දැන ගෙන ය. පිඩු සිඟා වඩින්නේ නැතිව මාලිගයට පැමිණ දන් වළඳන්නැයි කියමින් තමන් ශාක්‍ය වංශයට බැඳ තබන්නට සිය පියාණන් වූ ශුද්ධෝදන රජතුමන්ගේ උත්සහය පිළිකෙව් කළේ ඒ බව දැන ගෙන ය. තමන්ගේ ශාසනය සියළු ජාති ආගම් කුලවලින් පැමිණෙන අයට විවෘත කළේ ද ඒ අය කොහින් පැමිණය ද සියළු දෙනා සම බවත් එකම මූදට වෙනස් ගංගාවලින් ගලා එන ජලය මූදේ එකක් වනවා සේ ශාසනය තුළ සෑම දෙනා සමතැන් ලබන බවත් කියමින් සියළු භේද දුරලෑවේ ඒ බව දැන ය. රජකුමරුන් මෙන් ම චණ්ඩාලයන් ද එකම සසුනේ මහන කරමින් එකම වරප්‍රසාද ලබා දුන්නේ ඒ බව දැන ය.

සෙසු ශාස්තෘන්වරුන්ට ද ගරු කරන ලෙස බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට උපදෙස් දුන්නේ විවිධත්වයට සංවේදී විමට දිරි දීමට ය. මිනිස් සන්තානයේ අපේ කම විසින් බඳින්නාවූ වැට කඩොළු හරහා එන අනවශ්‍ය කළකෝලාහල වලට වැට බැඳීමට ය. උන් හා අප ලෙස ඇති වෙන් කිරීම විසින් මතු කරන සතුරුභාවය ඉවත් කර දැමීමට ය.

අපේ කම, අපේ පැවැත්ම වෙනුවෙන් ඇති සහජ බැම්මකි. එය අමතරෙන් වගා කළ යුත්තක් නොවේ. ඉගැන්විය යුත්තක් නොවේ. අප වගා කළ යුතුව ඇත්තේ එහි ප්‍රතිපක්ෂය ය. ඒ අනෙකාට, අපේ නොවන අනෙකාට, සංවේදි වීමේ ගුණය ය. ඒ සාර ධර්මය ය. පෝලිමකට ගරු කිරීම ද ඊට ඇතුළත් ය. තමන්ගේ කෙනෙකුට පෝලිමේ සක්කයක් ගැසීමට ඉඩ නොදීම පවා ඊට ඇතුළත් ය. තමන්ගේ වාරය එළඹෙන තුරු ඉවසිලි සහගතව බලා සිටීම ඊට ඇතුළත් ය. එසේ ඉන්නා අතර තුරු තමන්ට වඩා දුර්වල කෙනෙකු දුටුවහොත්, තමන්ගේ වාරය ඔහුට ඇයට පරිත්‍යාග කොට, පසු පසට පියවරක් ගැනීම ඊට ඇතුළත් ය. අනුන්ගේ ධාවන පථයට බලහත්කාරයෙන් ඇතුළු නොවීමට තරම් ශික්ෂනයක් ඇතිව වාහන පැදවීම ඊට ඇතුළත් ය. එසේ වාහන පදවන අතරේ ගිලන් රථයකට ඉඩ දීමට වාහනය ඉවතට ගැනීම ඊට ඇතුළත් ය. තමන්ගේ කුණු අනුන්ගේ පරිශ්‍රයකට නිදහස් නොකිරීමට වග බලා ගැනීම ඊට ඇතුළත් ය. ඒ කුණු පරිසරයට ද හානියක් නොවන සේ ඉවත් කර දැමීම ද ඊට ඇතුළත් ය.

අවාසනාවකට පාසල ද පන්සල ද පල්ලිය ද යන මිනිසුන්ගේ ශික්ෂණය ඇති කිරීමට වග කිව ආයතන නියැලී ඉන්නේ “අපේ කම“ ඉස්මතු කිරිමට ය. අනෙකාට අසංවේදී වීමට ය. ඔහුට ඇයට රැවීමට ය. ඔහු ඇය පිළිබඳ සැකයෙන් බලන්නට ය. අනෙකා ආණ්ඩු මට්ටු කරන්නට ය. උන් පෝලිමෙන් එලවා දමන්නට ය. උන්ට හිමි තැන උදුරා ගැනීමට ය. අපේ අවාසනාව ඇත්තේ ද එතැන ය.

නිශාන්ත කමලදාස

 

 

 

 

 

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *