හොරට කහින සුදත් රෝහණ – සිරිසේන රාජපක්ෂ

දේශපාලන සදාචාරය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙන්වෙන් කලාකරුවෝ සංවිධානය පසුගිය 14 වන දා පිටකෝට්ටේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට මඩ ප්‍රහාරයක් එල්ල කරමින් නිදහස් කලා සංවිධානයේ සභාපති සුදත් රෝහණ මහතා 2018.11.18 ඉරිදා පුවත්පතකට ප්‍රකාශයක් නිකුත්කර තිබුණි. එහිදී ඒ මහතා දේශපාලන සදාචාරය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කලාකරුවෝ සංවිධානයට එල්ල කර ඇති චෝදනා කිහිපයක් මධ්‍යස්ථව විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.

සුදත් රෝහණ මහතා මුලින්ම කියන්නේ, දේශපාලන සාදාචාරය වෙනුවෙන් කලාකරුවෝ නමින් බෙනවලින් එළියට බහින්නේ 2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයාට සහය දුන් පිරිසම බවයි. එය සුදත් රෝහණ මහතාගේ නව සොයාගැනීමක් නොව රටම දන්නා කරුණකි.

ඊළඟට සුදත් රෝහණ මහතා කියන්නේ යහපාලනය නමින් ඉහත කලාකරුවන් පිරිස දියත් කළ ව්‍යාපාරය අතිශය අසාර්ථක වී ඇති බවය. ඒ මහතා වැනි බඩගෝස්තර වාදී පුද්ගලයන් හැර කිසිවකු යහපාලන ව්‍යපෘතිය අසාර්ථක බවක් පිළිගන්නේ නැත. අඩුපාඩු තිබුණා වුව යහපාලනය හේතුවෙන් මෙරට ජනතාවට ලැබුණු ප්‍රතිලාභ කොතෙකුත් තිබේ. පළමුකොටම සුදත් රෝහණ මහතාටත් අන් අයටත් සුදු වෑන් භීතියකින් තොරව අදහස් ප්‍රකාශකරන්නට ඉඩ ලැබී ඇත්තේ යහපාලනය හේතුවෙනි. තොරතුරු පනත, විගණන පනත, මැතිවරණ කොමිසම, ස්වාධීන අධිකරණය ආදි වශයෙන් යහපාලනය හේතුවෙන් රටට ලැබුණු දේ තවත් පෙන්වා දෙන්නට පුළුවන.

සුදත් රෝහණ මහතා තවත් කියන්නේ 2015 දී බහුතර බලයක් සහිත දි.මු. ජයරත්න මහතා අගමැති ධුරයෙන් ඉවත් කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරන විට දේශපාලන සදාචාරය වෙනුවෙන් අද හඬ නගන කලාකරුවන් විරෝධය නොදැක්වූ බවයි. සුදත් රෝහණ වැන්නන් 2015 මැතිවරණයේ දී හිටගන්නේ ජනතාවාදී පිලේ නොව ජනතා විරෝධි මහින්ද පිලේ බැවින් නොදන්නවා විය හැකි වුවද 2015 ජනාධිපතිවරණයේ එක් පොරොන්දුවක් වූයේ දින 100 ක වැඩසටහන තුළ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත්කොට ආණ්ඩුවක් පිහිටුවන බවයි. එකී වැඩපිළිවෙල සඳහා මෙරට ජනතාවගෙන් ලක්ෂ හැට දෙකක් කැමැත්ත පළකොට ජනාධිපති වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා පත්කරන්නට යෙදුණි. දි.මු. ජයරත්න මහතා වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත් කරන්නට යෙදුණේ ඒ ජනවරම අනුවය. එසේ නොමැතිව මෙවර සිකුරාදා කුමන්ත්‍රණයේ දී මෙන් රාත්‍රියේ නිවසට කැඳවා මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය පිරිනැමූ ආකාරයට ප්‍රජාතන්ත්‍රවිරෝධි ආකාරයෙන් නොවේ.

සුදත් රෝහණ මහතා පවසන තවත් කරුණක් වන්නේ, 2015 මැතිවරණයෙන් පරාජය වූ අපේක්ෂකයන් දහයකට අධික සංඛ්‍යාවක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරද්දී දේශපාලන සාදාචාරය වෙනුවෙන් කලාකරුවන්ට ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වූ බව නොපෙනුණු බවයි. සුදත් රෝහණ මහතා නොදන්නවා වුව පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳව යහපාලනය වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටි අයගේ මනාපයක් තිබුණේ නැත. ඒ කටයුත්තට මුල් තැන ගත්තේ සුදත් රෝහණ මහතාට හිතවත් මහින්ද රාජපක්ෂ මහතාට අද අගමැතිකම දුන් ‍මෛත්‍රිපාල සිරිසේන මහතාම බැවින් ඔහු සමග ඒ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම වඩාත් සුදුසුය. කෙසේ වෙතත් එසේ හොර පාරෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි අය මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාගේ ඇමැති මණ්ඩලයේ සිටිති. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔවුන් ඇමති මණ්ඩලයෙන් හා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස සුදත් රෝහණ මහතාටත් නිදහස් කලා සන්ධානයටත් අරගල කරන්නට පුළුවන.

පළාත් සභා මැතිවරණය වසර දෙකකින් කල් දැම්මේ යැයි සුදත් රෝහණ මහතා තවත් චෝදනාවක් කරයි. දේශපාලන සදාචාරය සඳහා කලාකරුවන් ජවිපෙ සමඟ ගැට ගැසීමට ද සුදත් රෝහණ මහතා උත්සාහ දරණ බැවින් කිවයුතු වන්නේ මැතිවරණ කල් දැමීමට ජවිපෙ කවදත් විරුද්ධ වූ බවයි. එපමණක් නොවේ, සීමා නීර්ණය ප්‍රමාද වන්නේ නම් පැරණි සමානුපාත ක්‍රමය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය යෝජනා කළේය. පළාත් සභා මැතිවරණය නොපැවැත් වීමේ වගකීම ද ඒ අනුව පැවරෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම් කරන්නට දැන් සහය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මිස දේශපාලන සදාචාරය වෙනුවෙන් කලාකරුවනට නොවේ.  පළාත් සභා මැතිවරණය කල් තැබීමට අදාළව කටයුතු කළ ඇමැති වරයාද මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා යටතේ එම අමාත්‍ය ධරයම හොබවන බැවින් සුදත් රෝහණ මහතා කැමති නම් ඔවුන් සමග ඒ ප්‍රශ්නය නිරාකරණය කරගන්නට පුළුවන. අනෙක නිදහස් කලා සන්ධානය කවර දිනකවත් පළාත් සභා ඡන්දයක් වෙනුවෙන් සටන් කළ බවක් ද ජනතාවට මතක නැත. තමනුත් නොකළ දෙයක් අනෙකා නොකළායැයි චෝදනා කිරීම සාදාචාරයට එකඟ නැත.

දේශපාලන සදාචාරය වෙනුවෙන් කලාකරුවන්, කලාකරුවන් ලෙසින් පෙනී සිටී නම්, ඔවුන් ‍කඩේ ගොස් හදාගත් ආණ්ඩුවෙන් කලාව වෙනුවෙන් ඉටුකරවාගත්තේ කුමක්දැයි සුදත් රෝහණ මහතා විමසයි. යහපාලන ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි අය එසේ පෙනී සිටියේ කලාව වෙනුවෙන් වෙන් වෙන්ව යමක් කරගන්නට නොවේ. රටේ පැවති ඒකාධිපති පාලනය අවසන් කරන්නටය. භීෂණය තුරන් කරන්නටය. එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, පෝද්දල ජයන්ත සිදුවීම් යළි රටේ ඇති වීමට වලක්වාලන්නටය. ඒ අරමුණ මේ වන විට ඉටු වී තිබේ. ලසන්ත, පෝද්දල ‍වැන්නන් වෙනුවෙන් මහින්ද බලයේ සිටි කාලයේ සුදත් රෝහණ හෝ නිදහස් කලා සන්ධානය කළේ කමක්දැයි ඇසිය යුතුව තිබේ.

අනෙක දේශපාලන සදාචාරය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කලාකරුවන් හම්බන්තොට වරායට වතුර පිර‍වීමේ කරදියවර මංගල්‍යය වැනි උත්සව වලින් හෝ හම්බන්තොට වරාය විවෘත කිරීමේ උළෙල වැනි ජාතික ධනය කාබාසිනියා කළ වැඩ සටහන් වලින් (ඒ පිළිබඳ පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අවශ්‍ය නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෙට්ටගමෙන් එළියට ගෙන කියවා ගැනීමේ අවස්ථාව දැන් සුදත් රෝහණ මහතාට තිබේ.) බඩ වඩා ගත්තෝ නොවන බව ඔවුන්ට ගෞරව පිනිස සටහන් කළ යුතුය. සුදත් රෝහණ මහතානණි, පරිස්සම් වන්න සරමේ යට කොන උස්සා මුහුණ පිසින විට රටට‍ පෙනෙන්නේ ඔ‍බේ නිරුවත නිසාය.

සිරිසේන රාජපක්ෂ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *