මුරලි වාදය – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා  බී. බී. සී. සේවයට ලබා දී තිබුණු සම්මුඛ සාකච්ඡාවක් පසුගිය දිනවල මහත් කතාබහකට ලක්විය. මුරලිදරන් මහතා එහි දී ප්‍රකාශ කරන්නට යෙදී තිබුණේ ඔහුගේ පෞද්ගලික මතය වුව ද එහි දී මෙරට පොදුජන විඥානයේ යම් පැතිකඩක් නිරාවරණය වූ බව මගේ අදහසයි.

මුරලිදරන් මහතාගේ ප්‍රකාශයේ සරල අර්ථය වන්නේ ජනතාවට වඩා වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආදිය නොව එදිනෙදා කා බී ජීවත් වන්නේ කෙසේ ද යන්න බවයි. මේ මොහොතේ රට තුළ පවතින මහින්ද වාදී සංවාදයේ එක් කොටසක් නියෝජනය කෙරෙන්නේ ද මුත්තයියා මුරලිදරන් මහතාගේ අදහස විසින් බව වටහා ගැනීම මේ මොහොතේ වැදගත් වේ.

මහින්ද රාජපක්ෂ මහතා මොන දේ කළත් රට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් මුදා ගත්තාය, රට සංවර්ධනය කළාය, අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොට, වරාය නගර, නෙළුම් කුළුණ ආදිය ඉදි කළාය යන්නයි ඒ. බැලූ බැල්මට තත්ත්වය එසේය. මහින්ද රාජපක්ෂ මහතා එකී කටයුතු කළා පමණක් නොව දෑවැන්ත ප්‍රචාරක ව්‍යාපෘති හරහා තමන් කළ කටයුතු සාමාන්‍ය ජනතාවගේ මනසේ තහවුරු කරන්නට ද හිතා මතාම පියවර ගත්තේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම පිළිබද කරුණ මුලින්ම ගත් කළ ජේ.ආර්. ජයවර්ධනගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා බලයේ සිටි සියල්ලන්ම එල්.ටී.ටී.ඊ. ය යුදමය වශයෙන් පරාජය කරන්නට මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් දේශපාලනික වශයෙන් ප්‍රයෝජන ගැනීමට ද එකසේ කටයුතු කළ බව පැහැදිලිය. ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපතිව සිටිය දී එල්.ටී.ටී.ඊ. යට අවි ආයුධ ලබා දුන් බවට ප්‍රවාදයක් එකල ජන සමාජයේ පැවතුණි. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා හෝ රනිල් වික්‍රමසිංහ හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එල්.ටී.ටී.ඊ යට අල්ලස්, සන්තෝෂම් දීමෙන් බලය ලබා ගැනීමට, ආරක්ෂා කර ගැනීමට කටයතු නොකළ බව ද මතක් කළ යුතුය.

ජේ. ආර්. ජයවර්ධන මහතාගේ උත්සාහය වූයේ බලහත්කාරී යුද්ධයක් මාර්ගයෙන් එල්.ටී.ටී.ඊ. පරාජය කිරීමයි. ඔහුගේ ඇමරිකානු හිතවාදී විදෙස් පිළිවෙත හේතුවෙන් එකල ඉන්දියාව බල තුලනය පිනිස උතුරේ ප්‍රශ්නය යොදා ගැනීම නොවන්නට ජේ. ආර්. මහතාට එල්.ටී.ටී.ඊ. ය සංවිධානය යුදමය වශයෙන් පරාජය කරන්නට හැකියාව තිබුණි. වඩමාරච්චි මෙහෙයුමට ඉන්දියාව ගුවනින් පරිප්පු හෙළීම එකල ඉන්දියාව එල්.ටී.ටී.ඊ. ය සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙතට නිදර්ශනයකි. ජයවර්ධන මහතාගේ ඊළග උපාය වූයේ ඉන්දීය සාම සාධක හමුදාව ගෙන්වා ගැනීමය. නාරයන් ස්වාමි මහතා එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ ලියූ කෘතිය වන ‘Inside An Elusive Mind’ (මෙම කෘතිය විජිත යාපා ප්‍රකාශනයක් ලෙස සිංහලයෙන් ප්‍රකාශයට පත් වී ඇත. පරිවර්තනයේ නම නොදනිමි) හි පවසන ආකාරයට ඉන්දියානු සාම සාධක හමුදාව වෙළුපිල්ලේ ප්‍රභාකරන් ජීවග්‍රහයෙන් ගැනීමේ ආසන්නයටම පැමිණ සිටියේය. නමුත් ආර්.ප්‍රේමාදාස මහතා විසින් ඉන්දීය සාම සාධක හමුදාව ආපසු යැවීම හේතුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය තවත් ශක්තිමත් විය. එසේ වුව ජනාධිපති ප්‍රේමදාස යුගයේ ද එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීම වෙනුවෙන් යම් යම් උපාය මාර්ග සහ ක්‍රමවේද අනුගමනය නොකෙරුණේ නොවේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බලයට පත් වු පසුව ද සාමයෙන් සහ යුද්ධයෙන් යන ආකාර දෙකෙන්ම එල්.ටී.ටී.ඊ. යුද්ධයට විසඳුම් සෙවීමට උත්සාහ කළාය. දුර විහිදුම් බලකාය පිහිටුවීමට, මල්ටිබැරල් වැනි අවි හමුදාවට සපයාදීම, යාපනයට ගොඩබිම් සැපයුම් මාර්ගයක් විවෘතකර ගැනීම සුදු නෙළුම් ව්‍යාපාරය ඒ සඳහා නිදසුන් පිණිස වේ.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ වසර දෙකක කාලය තුළ ද එල්.ටී.ටී.ඊ.ය සාම මාවතට කැඳවා ගැනීමටත් ඒ හරහා ප්‍රශ්නයට විසඳුමක් සෙවීමටත් උත්සාහ ගත්තේය. නොර්වේ මැදිහත්වීම මත යුද විරාමයකට යාම එහිදී ගැනුණු  වැදගත් පියවරකි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පසු කාලීන බෙදී යෑම් වලට සහ බල බිඳීමට රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ පිළිවෙත හේතු වූ බවට පිළිගැනීමක් තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වූයේ ද එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාමයෙන් කටයුතු කර ප්‍රශ්නය විසඳීමේ පොරොන්දුව මතය. (එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් උතුරේ ජනතාව වලක්වාලීම සදහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් අල්ලස් මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් බවට මතයක් තිබේ. කෙසේ වෙතත් ඔහුගේ පාලන සමයේ එල්.ටී.ටී.ඊ. යපරාජය කිරීමට හැකි විය.

මහින්ද යුගයේදී එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීමට හැකිවීම හුදු මහින්දගේ ගෝඨාභයගේ හෝ සරත් ෆොන්සේකාගේ දක්ෂතාවය නිසා පමණක් සිදු වූවක් නොවේ. එය ඊට එහා ගිය දේශපාලන කාරණයකි.

මුලින්ම, තිස්වසරක ආසන්න කාලයක්  යුද්ධයකට කොටු වී සිටීම හේතුවෙන් උතුරු නැගෙනහිර ජනතාවට එතෙක් එල්.ටී.ටී.ඊ. සංවිධානය කෙරෙහි තිබුණු කැමැත්තත් විශ්වාසයත් ඒ වන විට දියාරු වී තිබුණි. බලහත්කාරව යුද්ධයට ජනතාව බදවා ගැනීමට සහ ළමා සොල්දාදුවන් යොදාගැනීමට එල්.ටී.ටී.ඊ. යට සිදු වීම එයට එක් නිදර්ශනයකි. හින්දු ආගමික පරිසරයක අවසර නොලැබෙන සහ සම්ප්‍රදායික නොවන පටපිටාවක කාන්තා බලකායක් පිහිටුවීමට එල්.ටී.ටී.ඊ. යට සිදුවන්නේ එකී තත්ත්වය තුළම වන්නට පුළුවන.

ඊළඟ කරුණ වන්නේ රජිව් ගාන්ධි ඝාතනයයි. රජිව් ඝාතනයත් සමග එතෙක් එල්.ටී.ටී.ඊ. සංවිධානය කෙරෙහි පැවති ඉන්දියාවේ අනුකම්පාව වෙනස් විය. අනෙක සෝවියට් දේශයේ බිද වැටීමයි. සෝවියට් දේශ‍ය බිදවැටීම හේතුවෙන් එතෙක් ඉන්දියාවේ පැවති සෝවියට් හිතවාදි පිළිවෙත ඇමරිකාව දෙසට නැඹුරු වීමත් සමග ත්‍රිකුණාමලය සමග ඇමරිකාවේ සම්බන්ධය ඉන්දියාවට බරපතල ගැටළුවක් වූයේ නැත. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ වසර දෙක තුළ (චන්ද්‍රිකා ජනාධිපති සමයේ) ඉන්දියාවට ත්‍රිකුණාම‍ලයේ තෙල් ටැංකි කිහිපයක් බදු දීම ද ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාවේ ආකල්පය වෙනස් වීමට හේතු විය.

අනෙක් කරුණ 9/11 ප්‍රහාරය වශයෙන් හැඳින්වෙන ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානය ඇතුළුව තවත් ස්ථාන කීපයකට එල්ල කෙරුණු බිල්ලාඩන්ගේ ත්‍රස්තවාදි ප්‍රහාරයයි. එම ප්‍රහාරයත් සමගම ලෝකයෙන් ත්‍රස්තවාදය අතුගා දැමිය යුතුය යන පොදු මතයකට බටහිර ජාතීන් ඇතුළු ලෝක නායකයෝ ආහ. ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත විරෝධී සටන ඒ සඳහා නිදසුනකි. එතෙක් බටහිර රටවලින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට ලැබුණු අනුකම්පාවත් අනුග්‍රහයත් දෙකම ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන්  අහිමිව ගියේය. විදෙස් රටවල එල්.ටී.ටී.ඊ.ය තහනම් කෙරිණි. ඔවුන්ට අරමුදල් රැස්කිරීමට නොහැකි තත්ත්වයක් උදා විය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාවෙන අවි ගබඩා විනාශ කරන්නට විදෙස් සහය ලැබුණේ ඒ තත්ත්වය අනුවය. මහින්ද යුගයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට පරාජය කළ හැකි වන්නේ මෙකී ජාතික සහ අන්තර් ජාතික වටපිටාවක් අනුව මිස මහින්ද‍ ගේ ගෝඨා ගේ හෝ සරත් ෆොන්සේකාගේ විශේෂ දක්ෂතාවක් නිසා නොවේ. මෙකී අන්තර් ජාතික තත්ත්වයන් පෙර පැවතියේ නම් රට එක්සේසත් කළ තැනැත්තන් ලෙස ඉතිහාස ගත වනු ඇත්තේ ජේ. ආර්.  ජයවර්ධන සහ ඩෙන්සිල් කොබ්බෑකඩුවය. එසේ නැතහොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ අනුරුද්ධ රත්වත්තේය. මෙකී සැබෑව රාජපක්ෂවරුන් විසින් ජනතාවගෙන් දැනුවත්වම වසං කෙරුණ අතරම කවුරුන් හෝ ඒ බව මෙතෙක් තාර්කිකව මෙතෙක් ජනතාවට පැහැදිලි කරන්නේ ද නැත.

අනෙක් කරුණ සංවර්ධනයයි. මහින්ද යුගයේ සංවර්ධන ව්‍යාපෘති බෙහොමය සුදු අලින් වුව ජනතාව සිටින්නේ ඒවායින් මත් වු තත්ත්වයකය. අනෙක් කරුණ ඔවුනගේ යුගයේ සංවර්ධන කටයුතුවල ප්‍රමිතිය පිළිබද ගැටලුවයි. ගමක් ගානේ පාර කාපට් කෙරුණු නමුත් ඒ නිසි ප්‍රමිතියකින් යුතුව නොවේ. බොහෝවිට කෙරුණේ එතෙක් පාරේ තිබුණු තාර උඩින් කාපට් ඇතිරීමයි. ඒවායින් ද අතිශය බරපතළ ආකාරයෙන් මුදල් ගසා කෑ බව ජනතාව දන්නේ නැත. දැන සිටියත් ‘වැඩකුත් කරලනේ ගසාකෑවේ’ කියා ජනතාව සාමාව දෙති. මහින්ද කෑවේ තනියමද නොවේ. අවට සිටි අයටද කෑමට ඉඩ සකසා දෙමිනි. ඒ හේතුවෙන් මහින්ද වෙනුවෙන් වැය කරන්නටත් පෙනී සිටින්නටත් පිරිසක් සිටිති.

මුරලිදරන්ගේ ප්‍රකාශයේ මූලාශ්‍ර මේ සියලු කරුණු වල ගැබ් වී තිබේ. පසුගිය කාලයේ මෛත්‍රි – රනිල් පාලනයේ අඩුපාඩු කොතෙකුත් තිබුණි. එහෙත් ඒ අතරම රටේ ප්‍රජාතන්ත්‍රවාදය මිනිස් අයිතිවාසිකම් තහවුරු කිරීම සදහා ද සැලකිය යුතු මෙහෙවරක් ඒ ආණ්ඩුව යටතේ සිදුවිය. එහෙත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිමිකම් වටින බවක් පෙනෙන්නෙට නැත.

ජනතාවට දැන්නේනේ කම්කරු අයිතිය තහවුරුව ඇති බව නොව වැඩවර්ජන රටේ වැඩි වී ඇති බවය. උද්ඝෝෂණ නිසා පාරේ නිදහසේ යා නොහැකි බවය. මාධ්‍ය නිදහසද උපයෝගී කර ගැනුණේ ආණ්ඩුවේ වැරදි කීමට පමණය. ඊට හොදම නිදසුන, බැඳුම්කරය මතුවී මහින්ද ආණ්ඩුවේ දූෂණ වංචා වාර්තාවේ වංචා තිස් ගණනක් යටපත් වීමයි.

කුසගින්නේ සිටින තැනැත්තාට බණ කීමෙන් පලක් නැති බව බුදුන් ද කියා තිබේ. බඩගින්නත් නැතිවිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයත් ශක්තිමත් විය යුතුය. ගසක බැඳ කෑම දෙන ගොනකු සේ මිනිසාට ජීවත් විය නොහැකි බැවිනි. මිනිස් ඉතිහාසයේ මෙතෙක් කෙරුණු අරගල සියල්ලම පාහේ නිදහස සඳහා කළ ඒවා බව මුරලි නොදන්නේ ඔහුගේ විෂය ක්‍රිකට් නිසාය. නමුත් ආහාරත් නිදහසත් දෙකම අවශ්‍ය බවට වන පණිවිඩය ජනතාවට කියාදීමට වහා කටයුතු කළ යුතුව ඇත. එළ වූ යක්ෂයා නැවත කැඳවා ගන්නට සමහරු කැමැත්තෙන් සිටින්නේ ජනතාව එම දැනුමෙන් සන්නද්ධ නැති නිසාය.

චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *