ජනමාධ්‍ය ජඩ වැඩ – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

ජනතාවට සත්‍යය දැනගන්නට සැලැස්වීම ජනමාධ්‍ය සතු ප්‍රධාන වගකීමක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. එහෙත් මෙරට ජනමාධ්‍ය විසින් ඒ වගකීම ඉටු කරනවාද යන්න ගැටලු සහගතයි. ඒ බව හොඳින්ම පෙනෙන්න පටන් ගත්තේ, පසුගිය දා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමත් සමඟයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත්කිරීමට බලයක් ජනාධිපතිවරයාට කෙසේවත් නැති බව 19 වන ව්‍යාවස්ථා සංශෝධනය අනුව අතිශයින් පැහැදිලියි. ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ගනු ලැබ තිබුණේ නිත්‍යානුකූල නොවන පියවරක්. නමුත් ඒ නීතිවිරෝධි පියවර ප්‍රශ්න කිරීමක් මෙරට ජනමාධ්‍ය කිසිවක් විසින් හෝ සිදු කර නැහැ. ඒ වෙනුවට සියලුම ජනමාධ්‍ය එකාවන්ව කරනු ලැබුයේ අඩු වැඩි වශයෙන් මහින්ද රජාපක්ෂගේ පත්වීම උත්කර්ෂයට නැංවීම පමණයි.

සරල නිදසුනකින් අපි එම තත්ත්වය පැහැදිලි කර ගනිමු. ධුරයෙන් ඉවත් කළ බව ප්‍රකාශයට පත්වන විට රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ ගාල්ලේ පැවැති උත්සවයකට සහභාගීවෙමින්. ගාල්ලේ සිටි රනිල් වික්‍රමසිංහ මහතාට නැවත කොළඹට පැමිණීමට ගුවන් හමුදාව ගුවන්යානයක් ලබා නොදීම නිසා ඒ මහතාට කාරයෙන් කොළඹට පැමිණීමට සිදු වුණා. නමුත් ඒ බව කිසිදු මාධ්‍යයක් දැනුම් දුන්නේ නැහැ. විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කළබව දැනුම් දුන් විටෙක ජනමාධ්‍ය කළ යුතුව තිබුණු එක් කටයුත්තක් වන්නේ, තමා ඉවත්කළ බවට ගත් තීරණය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දරණ මතය ප්‍රකාශයට පත් කිරීමයි. එහිදී එකී ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කළ බවට වන ප්‍රකාශයට සමගාමීව ඉදිරිපත් කළ යුතු වීම පිළිගත් ජනමාධ්‍ය සම්ප්‍රදායයි. නමුත් තමා ධුරයෙන් පහකළ බවට ප්‍රකාශයට පත් වූ දින රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරනතුරුම ඔහුගේ මතය විමසීමට මාධ්‍ය උත්සුක වුණේ නැහැ. අගමැති මහින්ද රාජපක්ෂ ගේ කල්ලිය ප්‍රීති ඝෝෂාකරන රතිඤ්ඤා පත්තු කරන කැවුම් කිරිබත් කන මහින්දට සුභ පතන දර්ශනයි ජනමාධ්‍යවල ප්‍රවෘති බවට පත් වී තිබුණේ. ඔවුන් එහි දී උත්සාහ කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ක්‍රියාවේ ව්‍යවස්ථා විරෝධී භාවය යටපත් කොට එකී ක්‍රියාවෙන් මහින්ද වාදීන් (රටේ පොදු ජනතාව නොවේ) උද්දාම වන අයුරු පෙන්වා කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීමට බව පැහැදිලියි.

මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණකාරි ලෙස අගමැති ධුරයට පත් කිරීමෙන් පසුව වහාම කෙරුණේ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමයි. පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමේ බලයක් ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇතත් මෙවර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වාර අවසාන කළේ රටේ අවශ්‍යතාවක් ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් හෝ වෙනත් සාධාරණ හේතුවක් නිසා නොවේ. එය පැහැදිලි ලෙසම පාර්ලිමේන්තුවේ සරල බහුතරය නොමැති මහින්ද රාජපක්ෂට කුමන්ත්‍රණකාරිලෙස බලය තහවුරු කරගැනීම සඳහා කාලය ලබාදීමට ගත් පියවරක් බව බැලූ බැලුමට පැහැදිලියි. පාර්ලිමේන්තුව කල් තැබීම ව්‍යවස්ථාවට කෙසේවෙතත් සාදාචාරයට පටහැනි වන්නේ ඒ නිසයි. අවම වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට පාරලිමේන්තුවේ බහුතර ඔළුගෙඩි සංඛ්‍යාව පෙන්වීමට හෝ ශක්තිය තිබුණේ නම් කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව රැස්කර ඔහුගේ බලය පෙන්වීමට ඉඩ සලසා දීමයි.

ව්‍යවස්ථාවට මුවා වී කළ දේශපාලන ජඩකමක් වූ පාර්ලිමේන්තුව කල්දැමීම පිළිබඳ සාධාරණ කතිකාවක් ගොඩ නඟන්නට ජනමාධ්‍ය කටයුතු කළේ නැහැ.

අගමැති ධුරයට කුමන්ත්‍රණකාරීව මහින්ද රාජපකෂ පත් කළ විට සමාජයේ පැහැදිලි මත බෙදීමක් ඇති වුණා. ඉන් එක් කොටසක් වුයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට එසේ කළ නොහැකිය යනුවෙන් තර්ක කළ පිරිසයි. අනෙක් පිරිස වුයේ ව්‍යවස්ථාවේ හිල්, සිදුරු සොයමින් මහින්ද ගේ පත් වීම සාධාරණිකරණය කරන්නට උග්සාහයක යෙදුණු මහින්ද වාදි කල්ලියයි.

රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් පහකිරීම ව්‍යවස්ථාවට පටහැනිය යන මතය දැරූවෝ එක්සත් ජාතික පාක්ෂිකයන් රනිල් වික්‍රමසිංහ හිතවාදීන් පමණක් නොවෙයි. නිදසුනක් වශයෙන් ගත් කළ මුස්ලිම් කොන්ග්‍රසය, දෙමළ ජාතික සංධානය, ජනතා විමුක්ති පෙරමුණ, සිවිල් සංවිධාන විසින් පවා එකී ක්‍රියාමාර්ගයේ නීති විරෝධිබව හා ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන්නට යෙදුණා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා නෙරපීමට එරෙහිව පෙළගැසුණු කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ ඒ මහතාගේ ධුරය ආරක්ෂ කිරීම වෙනුවෙන් පෙනී සිටි අය නොවේ. ඔවුන් පෙනී සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථාවත් ආරක්ෂ කරගැනීම වෙනුවෙනුයි. ප්‍රමාණය අනුව ගත්තත් කණ්ඩායම අනුව ගත්තත් රනිල් පහකිරීමට විරුද්ධ වූ පිරිස පක්ෂ  පිරිසට වඩා වැඩියි.

සැබෑ ජනමාධ්‍ය භාවිතයක් රටේ පැවතියේ නම් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬනගන පිරිසට වැඩි ඉඩක් මාධ්‍ය ඔස්සේ ලබා දිය යුතුව තිබුණා. (ඔවුන් බහුතරය නිසා) නමුත් ඔවුන් වෙනුවෙන් වැඩි ඉඩක් තබා සමාන ඉඩක් හෝ සාධාරණ ඉඩක් ලබාදීමවත් ජනමාධ්‍ය උත්සුක වුණේ නැහැ. ඒ වෙනුවට ජනමාධ්‍ය කළේ ජී. එල්. පිරීස්, ජයතිස්ස ද කොස්තා වැනි කූඨ බුද්ධිමතුන් විසින් මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණ ක්‍රියාවලිය සාධාරණීකරණය කරමින් ප්‍රලාප නොකඩවා සහ පුන පුන ප්‍රචාරය කිරීමයි. 19 වැනි ව්‍යවස්ථාව සංශෝධ‍නයේ ද පුරෝගාමි මෙහෙවරක් කළ එම සංශෝධනයේ අරමුණු හා අන්තර්ගතය පිළිබද අවබෝධයෙන් යුතු ජයම්පති වික්‍රමරත්න මහතා ගේ පැහදිලිකිරීම් අර්ථකතනය කිරීම් සහ අදහස් වලට ජනමාධ්‍ය දැක්වුයේ ගොළු බිහිරි පිළිවෙතක්.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල්තැබීමට යෙදුණු පසුව ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වු එක්සත් ජාතික පක්ෂයත් විරුද්ධ පක්ෂය වු දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තැබීම නිති විරෝධි බවත් පාර්ලිමේන්තුව වහා රැස්කළ යුතුබවත් පවසා අතසන් ලේඛනයක් කතානායකවරයාට ලබා දුන්නා. එම අත්සන් ලේඛනය ගැන ජනතාවට දැනුම් දෙන්නට තරම්වත සාදාචාරයක් මාධ්‍යට තිබුනේ නැහැ.

එක්තරා පුවත්පතක් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස පළකර තිබුණේ, “මහින්දගේ පත්වීම කතානායක පිළිගනී” යනුවෙනුයි. නමුත් ප්‍රවෘත්තියේ ඇතුළට කියවන විට ඇත්ත වශයෙන්ම තිබුණේ, ‘නව අග්‍රාමාත්‍ය වරයකු පත්කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය කෙරෙහි අවධානය යොමුකර පාර්ලිමේන්තු නිලධාරින් කටයුතු කරනු ඇති බව කතානායක මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇති බවයි. ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ නිලධාරින් කටයුතු කරනු ඇතැයි කීමත් ‘මහින්දගේ අගමැතිධුරය කතානායක වරයා පිලිගනී’යැයි කීමත් ඉඳුරාම පටහැනි දෙකක්. මහින්ද ගේ පත්වීමට නැති සුජාත භාවයක් දෙන්නට ජනමාධ්‍ය උත්සාහ කළ ආකාරය එයින් පැහැදිලියි.

කතානායකවරයා තම ස්ථාවරය ප්‍රකාශයට පත්කරමින් මාධ්‍යයට නිකුත් කළ නිවේදන ‍පවා කුමන්තුණය සාධාරණීකරණය කළ වන්දිභට්ටයන්ගේ ප්‍රකාශ වලින් යටපත් කරන්නට ජනමාධ්‍ය අතිශය නිර්ලජ්ජිත අයුරින් කටයුතු කළා. මහින්ද රාජපක්ෂ අගමැතිධුරයට පත්කිරීමට හා පාර්ලිමේන්තුව කුමන්ත්‍රණකාරීලෙස කල්තැබීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ ‘යුක්තියේ ජනහඬ’ රැළිය වාර්තා කිරීමේදීත් ජනමාධ්‍ය අනුගමනය කළ කුහක පිළිවෙත හොඳින් කැපී පෙනුණා. එයට සති කීපයකට පෙර මහින්දවාදීන්ගේ ‘ජනබලය කොළඹට’ ප්‍රසංගය උත්කර්ෂයෙන් වාර්ණනා කළ ජනමාධ්‍ය ‘යුක්තියේ ජනහඬ’ සැබෑ සාර්ථකත්වය, සහ එයට රැස් වු ජනබලය හිතාමතාම අමතක කරමින් මහින්ද පිම්ඹීමේ පුරුදු කාර්යම කළේ අතිශය නිර්ලජ්ජිතවයි.

මහින්ද රාජපක්ෂ යනු කූඨ රාජ්‍ය පාලකයෙක් බව වටහා ගැනීම යුගයේ අවශතාවක්. ඔහු බලයේ සිටි කාලයේ තමන්ගේ හෙන්චයින්ට ජනමාධ්‍ය බලයක් ගොඩනගා දුන්නේ අරමුණකින් තොරව නොවේ. දැන් ඔවුන්ගේ ඒ කළු සල්ලි සහ ජනමාධ්‍ය මාෆියාවක් වශනේ ක්‍රියාකාරි වෙමින් සැබෑ ජනතා අවශ්‍යතා සහ අදහස් පගා දමා නැති ජනමතයක් මවාපෑමේ යෙදී ඇති බව ඉතා පැහැදිලියි.

මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා ඇති තත්ත්වයක් තුළ මහ මැතිවරණයකට සූදානම් වන්නේ නම් මහින්ද විරෝධි පිළට බලගතු ප්‍රචාරක ව්‍යාපාරයක් අවශ්‍ය වනවාට සැකයක් නැත. හේතුව පවතින ජනමාධ්‍ය විසින් සැබෑ ජනමතයට ඉඩක් ලැබේයැයි උපකල්පනය කළ නොහැකි නිසයි. ඉදිරි මැතිවරණය 2015 මැතිවරණයටත් වඩා අතිශය දූෂිත හා ප්‍රජාතන්ත්‍ර විරෝධි මුහුණුවරක් ගතහැකි බැවින් එයට මුහුණ දීමට හැකි ශක්තිමත් විකල්ප මාධ්‍ය භාවිතයක් පිළිබද මහින්ද විරෝධි කණ්ඩියම අවධානය යොමුකළ යුතුයි.

අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *