නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්න ප්‍රතිඥාවක් දිලා ජනවරමක් දුන්න පුද්ගලයා මුළු රටම නන්න්තාර කරල තියෙනව – මහාචාර්ය සරත් විජේසූරිය

ජනාධිපතිතුමා තමා ම දුන් ප්‍රතිඥා සාපරාධි ලෙස අශීලාචාර ලෙස පසුගිය 26 වෙනිදා  උල්ලංගනය කළා. ඔහු දේශපාලන චරිතය ඝාතනය කරගත්ත පුද්ගලයෙක්. මෙහෙම පුද්ගලයෙක් රටේ නායකයා වීම මොනතරම් අභාගයක් ද?  නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්න ප්‍රතිඥාවක් දිලා ජනවරමක් දුන්න පුද්ගලයා මුළු රටම නන්න්තාර කරල තියෙනව මහාචාර්ය සරත් විජේසූරිය මහතා එසේ ප්‍රකාශකළේ පසුගිය 8 වැනිදා කො‍ළඹ නව නගර ශාලාවේදී පැවැති අති පූජ්‍ය සෝභිතහිමිපාණන්ගේ 3 වන ගුණානුස්මරණ උත්සවයේ දී ය.

 

න්‍යායපත්‍රය පිළියෙල කරල තිබුණු අන්දමට මට පවරලා තිබුණේ කෙටි අදහස් දැක්වීමක් නෙමේ. පසුගිය 26 වෙනිදා සිද්ධ වෙච්ච සිදුවීමෙන් පස්සෙ අපේ ව්‍යාපාරයේ සාමාජික භවතුන් එකතුවෙලා සාකච්ඡා කළා අපි මේ අවස්ථාවෙ මොනවද කරන්නෙ කියල. එවෙලේ යෝජනා වෙච්ච දේ තමයි මේ සම්බන්ධව අපේ අදහස අපි ලිඛිතව ජනාධිපතිවරයට දැනුම් දෙන්නට ඕනැ. අපි ඔහු මුණගැහිලා මේ ගැන සාකච්ඡා කරන්නට ඕනැ කියන එක.

ඒ ලියමන ලියන්නට පැවරුනේ මටයි. ඒ ලියමන ප්‍රකාශ කිරීමයි න්‍යායපත්‍රය අනුව මට පැවරිලා තිබුණෙ. ඒත් මම සියලු සාමාජික භවතුන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා, ඒ ලියමන ලියන්න මා දහදොළොස් වතාවක් උත්සාහ ගත්තා මට ගරු ජනාධිපති කියන වචනය ලියා ගැන්න බැරුව ගියා. හගෙ මුළු පංචස්කන්දයම වෙව්ලන්න පටන් ගත්තා. එහෙම පුද්ගලයෙකුට කොහොමද අපි ගරු කියන ආමන්ත්‍රණය යොදන්නෙ? මේක ඉතාම සෝචනීය තත්ත්වයක්.

මේ උත්සවය මේ සැමරුම පවත්වන්නට අපි නියම කරගත්තෙ අද දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී. මොකක් හෝ අනපේක්ෂිත හේතුවක් උඩ ඒ ස්ථානය අපිට වෙනස් කරන්නට සිද්ධ වුණා. මේ උත්සවය මේ නගර ශාලාවේ පවත්වන්නට තීරණය කරල, අද මේ උත්සවය පැවැත්වීම සිද්ධ වෙන්නෙ. ඒක දෛවෝපගත සිද්ධියක්. පොදු අපේක්ෂකයා හැටියට මෛත්‍රිපාල සිරිසේන ඉස්සරවෙලාම ඇවිල්ලා මේ බිම ඉඳලා තමයි කතා කළේ. මේ පොළොවට කතාකරගන්න පුළුවන් නම් එදා ඔහු කීව දේවල් කෑ ගහල කියයි. මේ භූමියෙ තමයි ඔහු කතා කළේ. ඔහු සමග ආවේ රාජිත සේනාරත්න මැතිතුමා, දුමින්ද දිසානායක, මියගිය ගුණවර්ධන මැතිතුමා, චන්ද්‍රිකා මැතිනිය මේ වගේ අය. ඒ අයත් එක්ක එකට වාඩි වෙලා එතුමා කියපු දේවල් අමතක වෙන්න ඉතිහාසයක් ගත වෙලා නෑ. අපේ කන් ඇතුළේ ඒ කියපු දේවල් රැව් පිලිරැව් දෙනවා. ඔහු පැහැදිලිවම කියපු දේ තමයි හය මාසයක් ඇතුළත මම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. ඒක තමයි ඔහු දුන්න පළවෙනි ප්‍රතිඥාව. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා, නිතියේ ආධිපත්‍ය සුරකිනවා, මානව නිදහස මානව අයිතිවාසිකම් ස්ථාපිත කරනව කියල ඔහු පුතිඥා දුන්නා. ඔහු කියපු ඒ වචන ශීලාචාර පුරවැසියො පිළිඅරගත්තා.

ඔහු අශීලාචාර ලෙස පසුගිය 26 වෙනිදා  තමාම දුන් ප්‍රතිඥා සාපරාධි ලෙස උල්ලංගනය කළා. මේ රට දැනගත්තෙ ඔහු ඒ ප්‍රතිඥා උල්ලංගනය කෙරුවෙ පසුගිය 26 වෙනිදා කියල. ඒත් කලකට පෙර සිට අපි මේක දැනගෙන හිටිය. විවිධ මට්ටම් වලින් දැනගෙන හිටිය. සෝභිත හාමුදුරුවො දැන්ගෙන හිටිය. සෝභිත හාමුදුරුවො දේශපාලන න්‍යයාය පිළිබඳ බරපතල ග්‍රන්ථ කියවලා න්‍යායාචාරවරයෙක් හැටියට නෙමෙයි වැඩ කෙ‍රුවෙ. උන්වහන්සෙට තිබුණෙ ව්‍යවහාරික ඥානයයි. ඒ ව්‍යවාහරික ඥානයෙන් උන්වහන්සේගේ දැක්ම හරි ප්‍රබලයි කියල මට හිතෙනව. ජනාධිපතිවරයා දිවුරුම් දීලා ඔහුගෙ පළවෙනි පත්වීම හැටියට මම හිතන්නෙ, ශිරාල් ලක්තිලක ව තමන්ගෙ සම්බන්ධීකරණ නිලධාරියා හැටියට පත්කරගත්තා.

ඒක දැනගත්ත රාත්‍රියෙ සෝභිත හාමුදුරුවො මාත් එක්ක කියපු වචනය පිටු ගණනක් විවරණය කරන පුළුවන්. ‘මහත්තයො හරි අකෘතඥයි’ කිව්වා. ඒක තමයි කියපු වචනෙ. හරි අකෘතඥයි කිව්වා. සෝභිත හාමුදුරුවො කිව්ව ඒ වචනය ඊට පස්සෙ අවස්ථා සිය ගණනකදි මම අත්විඳල තියනව ඒ අකෘතඥභාවය. මනුස්සයෙකුට ඒ විදිහට අකෘතඥ වෙන්න පුලුවන්ද? ඔහු හැමතිස්සෙම පන්සල් යනව දවසකට දෙතුන් වතාවක්, ඔහු පොඩි බොරුකාරයෙක් කියල මම තේරුම් ගත්තෙ ඔහු සංඝරත්නයෙන් අවසර ගන්න ආකාරයෙන්. ඔහු හැමදාම සංඝරත්නයෙන් අවසර ගන්නෙ වන්දනීය, පූජනීය, ගෞරවණීය සංඝරත්නයෙන් අවසරයි කියල. ඕනැවට වැඩිය විශේෂණ දාන්නෙ තක්කඩි. හොරු.

අපිට උගන්වලා තියෙන්නෙ අපේ පන්සල්වල හාමුදුරුවරු ගරුතර සංඝරත්නයෙන් අවසරයි කියල කිව්වම ඔක්කොම හරි. අල්පේච්ඡතා දහමක් පදනම් කරගත්ත අපේ හාමුදුරුවරු සාටෝප වචන වලින් මුසපත් වුණේ නැහැ. බොරුව එතනින්ම හොඳට පේනව. ඊළඟ කාරණාව තමයි මේ ජනාධිපතිවරයගෙ අකෘතඥතාව කියන එකට, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය බාර ගැනීම. ඒක බාරගත්ත බව දැනගත්තාමත් හරියටම රෑ 11.45ට අපේ ගෙදර දුරකථනය නාද වුණා, සෝභිත හාමුදුරුවො කතා කරන්නෙ ගෙදර දුරකථනයට.

රෑ 11.00න් පස්සෙ දුරකථනය නාද වුණාම ඇඳෙන් බැහැලා යන්නෙ මරණයක් පිළිබඳ ආරංචියක් කියල. මගෙ වියපත් ‍සහෝදරියො ඉන්නව. මම බැහැල ගියහම කතා කරන්නෙ සෝභිත හාමුදුරුවො. සෝභිත හාමුදුරුවො මොකක්ද කි‍ව්වෙ, ‘මහත්තයො, අපි අර මනුස්සයව විධායක ජනාධිපති පුටුවෙ වාඩිකළා, ඒ මිනිහ ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම බාරගත්තනෙ. බලාගෙන ගියහම විධායක ජනාධිපතිකමට වැඩිය ඒක ලොකුවෙලා තියනවනේ කියල’ මම අද කල්පනා කරන්නෙ මේ හාමුදුරුවන්ගෙ සියුම් නිරීක්ෂණ මොනතරම් ප්‍රබලද? එතන තමයි සම්පූර්ණයෙන්ම ජනවාරි 8 වෙනිදා සියලු ප්‍රාර්ථනා වතුර මුට්ටියක් පොළොවෙගහනව වගේ පොළොවෙ ගහපු තැන. ඔහු ඒකට අප්‍රමාණ නිදහසට කාරණා ඉදිරිපත් කළා. ඒ සියලු කාරණා ඔහුගෙ වාසියට හදාගත්ත දේවල් මිසක් කිසි පදනමක් නැති දේවල්. ඔහු පොරොන්දු වුණේ සෝභිත හාමුදුරුවන්ට නිර්පාක්ෂික නායකයකු හැටියට රට පාලනය කරන බව, දේශපාලන ප්‍රතිසංස්කරණවලට නායකත්වය දෙන බව.

ඊළඟ කාරණාව තමයි ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය බාර ගන්නට පෙර ජනාධිපති පදවියෙ ‍දිවුරුම් දුන්නට පස්සෙ ඔහුගේ ක්‍රියාකලාපය. ඔහුම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරපු පුද්ගලයෙක් මලික් ජයතිලක ලියල තියෙනව පොතක් ‘මා දුටු ජනවාරි 8’ කියල. මේ තරුණයා මට ඉතාම හිතෛෂීව හිටපු කෙනෙක් තමයි. මේ අපේ පරණවිතාන මන්ත්‍රිතුමා වගේම තමයි. මට අබමල් රේණුවක වරදක් කරපු මනුස්සයෙක් නෙමෙයි. මට ඉතාම ගෞරවණීය පුද්ගලයෙක්. මට ඔහුත් සමග පුද්ගලික කේන්තියක් නැහැ. මට අද ඔහු ගැන තියනව අප්‍රමාණ ගෞරවයක්. ඒ ගෞරවය තමයි ඔහු තිරණාටකයක් ලියනව වගේ ජනාධිපති සිරිසේන දිවුරුම් දුන්න දවසෙ ඉඳලා කරපු දේවල් යම් කිසි කාලයකට ඔහු එකින්එක පෙළගස්සල තියෙනව. ඔහු මේ කුමන්ත්‍රණය පටන් අරගෙන තියෙන්නේ තමන්ගේ විජේරාම නිවසේ විදුලි පහන් නිවල. ආරක්ෂක නිලධාරින් එහාට මෙහාට කරල. ගෝඨාභය රාජපක්ෂව ගේනව, බැසිල් රාජපක්ෂව ගේනව තවත් ඒ ප්‍රබල චරිත ගේනව. ඇයි මේ හොර රහසේ සතරකන් මන්ත්‍රණ පවත්වන්නෙ? එතකොට මහින්ද අමරවීරගේ නිවසට ඔහු ගිය විත්තිය, ගිහිල්ලා මොකක්ද මහින්ද අමරවීරලා ඉල්ලා සිටින්නේ මොකක්ද? රාජපක්ෂලව ආරක්ෂා කරල දෙන්න. ඒ වෙලාවෙම ඔහු ප්‍රතිඥනක් දෙනව නාමල් රාජපක්ෂට ටෙලිපෝන් කරල මේ ජනාධිපතිවරයා ප්‍රතිඥවක් දුන්න බව සඳහන් කරනව. මේ ඔක්කෝම මේ පොතේ ලියල තියෙනව.

එතකොට මේ 26 වෙනිදා සිද්ධ වෙච්ච දේ ක්ෂණිකව සිද්ධ වෙච්ච දෙයක් නොවේ. ඒ නිසයි මම කියන්නේ රනිල් වික්‍රමසිංහත් එක්ක ආණ්ඩුකරන්න බැරුව මෙයා මේ වැඩේ කෙරුවා කියන එක අමූලික බොරුවක්. රනිල් වික්‍රමසිංහත් එක්ක එයා කොච්චර දේවල් කරල තියෙනවද? ඒ ආණ්ඩුව ය‍ටතෙ. පසුගිය ජනාධිපතිවරණයේ දී ප්‍රබල දෙයක් තමයි අපරාධ කාරයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම. ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සාපරාධි අපරාධ සම්බන්ධව, යුද්ධයෙන් පස්සෙ සිද්ධ කරපු මනුෂ්‍ය ඝාතන පැහැරගැනීම් මේවා සම්බන්ධ සියලු විමර්ෂණ සිද්ධ කළා.

ඒත් මේ අපරාධකාරයෝ අත්අඩංගුවට ගන්න දෙ‍න්නෙ නැත්තෙ ජනාධිපති වරය. අදටත් ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් තියාගෙන ඉන්න පුද්ගලයව අත්අඩංගුවට ගන්න දෙන්නෙ නැහැ. ඒක අවස්ථාවක් අත්අඩංගුවට ගන්න හදනකොට ඔහුව විදේශගත කළා. ඔහු දිගින් දිගටම අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ රාජකාරිය කරන්න ඉඩ දෙන්නේ නැහැ. එතකොට රනිල් වික්‍රමසිංහ බාදාවක් වුණේ නැත්තේ කොහොමද? එයාට එළියට ඇවිල්ලා කියන්න පුළුවන්ද මේ අපරාධ කරුවන්ව අත්අඩංගුවට ගන්න රනිල් වික්‍රමසිංහ ඉඩ දෙන්නෙ නෑ කියල කියන්න පුළුවන්ද? ඒවනේ ජනවාරි 8 ප්‍රතිඥා. ඊළග කාරණාව තමයි දූෂණ චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය ගත්තට පස්සෙ ඔහුට සිද්ධ වුණා සාපරාධි දූෂිතයො සියලු දෙනාම ආරක්ෂා කරන්න. අවුරුදු 10ක් ආණ්ඩු ‍කළේ ඒ ගොල්ල. දූෂණයෙ කප්පිත්තො බවට පත්වෙලා හිටියෙ ඒ අය.

මේ ජනාධිපතිවරයගෙ මානසික තත්ත්වය ‍ඉතාම හොඳට පෙනෙනනවා. අද දවසේ ඔහු ඉදිරියෙ අධිකරණ ඇමතිවරයා හැටියට දිවුරුම් දෙන්නෙ සුසිල් ප්‍රේමජයන්ත. මම ඉතා හොඳින් දන්න කාරණාවක් තමයි, සුසිල් ප්‍රේමජයන්තට අදාළ බරපතල මුල්‍ය අපරාධයක් පිළිබඳ විමර්ශන ජනාධිපතිවරයා නතර කළා. මුල්‍ය අපරාධ කොට්ඨාශයට අණ කළා ඒක කරන්න එපා කියල. සුසිල් ප්‍රේමජයන්ත තමයි කිව්වේ මුල්‍ය අපරාධ කොට්ඨාශය විසුරුවා හරින්න ඕනැ කියල.

ඒ විතරක් නෙමෙයි, විශේෂ මහ අධිකරණ පිහිටුවීමේ පනතට විරුද්ධව හඬ නැගුවෙ එයා. මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නෛයිතික තත්ත්වය වෙනුවෙන් ඉදිරිපත් කරපු පනතට විරුද්ධව පෙනී සිටියේ එයා.  එයාව තමයි අධිකරණ ඇමති වරයා බවට පත් කරන්නෙ. දැන් අපි තේරුම්ගන්න ඕනැ මොනතරම් භයානක තත්ත්වයකද අපි ඉන්නේ. එතකොට මිනීමරුවො සියලුදෙනාම නිදැල්ලේ ඉන්නව. දූෂිතයෝ සියලු දෙනාම නිදැල්ලේ ඉන්නව. දූෂණයට බයත් නෑ. මනුෂ්‍ය ඝාතනවලට බයත් නෑ. මේකතමයි මෛත්‍රි පාලනය. මෙයාට පුලුවන්ද මනුෂ්‍යයෙකුට ගරු ජනාධිපති කියල කියන්න. මෙහෙම පුද්ගලයෙක් රටේ නායකයා වීම මොනතරම් අභාග්‍යයක් ද? තව එක කරුණක් මම මෙහිදී සඳහන් කරන්නට අවශ්‍යයි. ඒක තමයි ජනාධිපති වරයා අපි අවුරුදු තුනක් තිස්සේ සිවිල් සංවිධාන නියෝජිතයො හැටියට මුණ ගැහුණා. ඒ මුණගැහුණේ අපේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් නෙමේ, ජනවාරි අට ප්‍රතිඥා ඉටුකර ගැනීම වෙනුවෙන්. අවුරුදු තුනකට පස්සෙ අපි ඔහු මුණගැහෙන එක අත්හැරියා.

ඔහු විශාල සතුටක් ලබන්නට ඇති අපි ඔහු හමුවීමට ඉල්ලා නොසිටින එක ගැන. ඔහු සෝභිත හාමුදුරුවො අපවත් වුණාම සතුටු වුණාවගේ ම සතුටු වෙන්න ඇති කියල මම හිතනව. ඔහු හිතනව ඇති තමන්ගෙ පෙර පිනකට තමයි සෝභිත හාමුදුරුවො අපවත වුණේ කියල.

මම අවස්ථා දෙකකදි ජනාධිපතිවරයා හමුවෙලා කිව්වා, ඩිලාන් පෙරේරා කියන පුද්ගලයා චන්ද්‍රිකා මැතිණියට ඉතාම නොමනා අපවාද නගනවා. ඉතාම අවිනීත වචන වලින් ප්‍රහාර එල්ල කරනව. ඔබ තුමා දන්නවා සෝභිත හාමුදුරුවන්ට වස කුප්පිය ‍අර‍ගෙන ආවේ මේ මනුස්සයා. ඔබතුමාව පොදු අපෙක්ෂකයා හැටියට සොයාගෙන සුළු ජාතිකයින්ව එකතු කරගෙන එක්සත් ජාතික පක්ෂය එකඟ කරගෙන සෝභිත හාමුදුරුවො එකතුකරගෙන සේරම කළේ චන්ද්‍රිකා මැතිණිය. මේ වැඩේ නතර කරන්න. ‘ඒක කියපු එක බොහොම හොඳයි’ කියල, ‘මම ඕකට හොඳ දෙකක් කියනව’ කියල, මාව සතුටු කළා මමත් එළියට ආවා හරි වැඩේ කියල. ඊට දවස් දෙකකට පස්සෙ ඊටත් වැඩිය අවලස්සන වචන වලින් දෙසාබෑවා. මම අද විශ්වාස කරන්නේ ඩිලාන් පෙරේරගෙ කට වුණාට හඬ සිරිසේන උන්නැහැගෙ.

එතුමාට අවශ්‍ය වුණා එක එක්කෙනාව කපල පැත්තකට කරන්න. සෝභිත හාමුදුරුවො අපවත් වුණා. චන්ද්‍රිකා මැතිණියට පයින් ගහල පැත්තකට කෙරුවා. මේ විදිහට  එකතරා ආකාරයකට ඔහුගෙ හිතයට තිබුණු සැලැස්මක කූඨප්‍රාප්තිය තමයි 26 වෙනිදා සිද්ධ වුණේ. ඔහු ව්‍යවස්ථාව උල්ලංගනය කරන්නේ දැන දැනම. ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරල තියෙන්නේ දැන දැනම. ඒ සේරම දේවල් අපි පැත්තකින් තියමු. මනුශ්‍යයෙක් ළඟ තියෙන්න ඕනැ අවම සාදාචාරය. සිංහල ගැමියෙක් ළඟ තියෙන සාදාචාරය මේ පුද්ගලයා ළඟ නැතිවීම මොනතරම් අභාග්‍යක්ද? ඔහු මොකටද පන්සල් යන්නෙ, මොකටද පන්සිල් ගන්නෙ. ඔහු පන්සිල් ගන්න වාරයක් වාරයක් පාසා පවුකාරයෙක් වෙනව කියලයි මම හිතන්නෙ. එහෙම මම කියන්නෙ සෝභීත හාමුදුරුවො මුළු ජීවිත කාලයම ගොඩනගලා කැප කරපු ව්‍යාපාරය මුලා කරපු නිසා. ඒකට ඔහුට මේ රටේ නීති ගරුක පුරවැසියන්ගෙන් සමාවක් ලැබිය යුතු නැහැ කියලයි මම අවංකවම කල්පනා කරන්නේ.

අපි උත්සාහ කළා සෝභිත හාමුදුරුවො අපවත් වුණාට පස්සෙ, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරල, එක සම්මත කර ගැනීමට. ඒක ප්‍රධාන පොරොන්දුවක්. අපි අවසානයේ දී සුතුටු වුණා මේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා මේ සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනැගීම ගැන. මේ එක පක්ෂයකට විතරක් මේ රටේ සංකීර්ණ ප්‍රශ්න නිරාකරණය කරන්නට බැහැ. ඒක සාධනීය දෙයක් හැටියටයි අපි කල්පනා කළේ. චන්ද්‍රිකා මැතිණිය එක අවස්ථාවක ව්‍යවස්ථාවක් සම්මත කරීමට ගත් උත්සාහය අසාර්ථක වෙනවා, එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වීම නිසා. ඊට පස්සෙ මොකද වෙන්නෙ? විධායක ජනාධිපති පදවියට මුල සිට විරුද්ධ වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේ විරුද්ධ වෙනව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වෙනව කියන්නෙ මෛත්‍රිපාල සිරිසේන විරුද්ධ වෙනව. විධායක ජනාධිපති ක්‍රමය හයමාසයකින් අහෝසි කරනව කියල ප්‍රතිඥාවක් දුන්න පුද්ගලයා විරුද්ධ වෙනව. මේක ඉතාම සහාසික අපරාධයක්.

සෝභිත හාමුදුරුවන්ගෙ ආදාහන කටයුතු කරන අවස්ථාවෙ පාර්ලිමේන්තු මන්දිරය ඉදිරියෙ, ඔහු ලෝකෙටම ඇහෙන්න කිව්වෙ ‍මොකක්ද, ‘මම මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙලා ඉන්නෙත්, රනිල් වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙලා තියෙන්නෙත්, සෝභිත හාමුදුරුවො ගොඩ නැගූ ව්‍යාපාරයෙ ප්‍රතිඵලයක් හැටියට. උන් වහන්සේ ප්‍රාර්ථනා කළේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරපු  පාර්ලිමේන්තුවෙන් රට පාලනය කිරීමක්. ඒ වෙනුවෙන් මා කළ යුතු මට කළ හැකි සියලු දේ මා කරන බව මේ දේහය ඉදිරියේ  සපථ වෙනවා’ කියල තමයි ඔහු ලෝකෙටම ඇහෙන්න කිව්වේ. ඒ කියපු කටින් පාර්ලිමේන්තුව පෙනෙන දුර ඉඳගෙන පස් ‍වෙනිදා මොනවද කිව්වේ, ඔහු ඒ කිව්ව හැම වචනයකින්ම තමන්ගෙ අශිෂ්ඨත්වය පෙන්නුම් කළේ, මිනිස්සුන්ගෙ මානව ගරුත්වය තුට්ටවකට මායිම් නොකරන දේවල් තමයි ඔහු කිවවේ. ඔහුගේ කතාවෙන් පෙන්නුම් ‍කළේ විමල් වීරවංශගෙයි ඔහුගෙයි කිසි වෙනසක් නැති බව. මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

මම සාමාන්‍යයෙන් මේ දේශපාලන ක්‍රියාවන් ගැන කතාකරනකොට පිටපතක් ලියාගෙන ඇවිල්ලා කතා කරන්නෙ. මම මේ වැඩේට හුඟක් ආදුනිකයෙක් නිසා. සෝභිත හාමුදුරුවො තමයි මාව මේකට අරගෙන ආවෙ. ඒක නිසා මම ටිකක් පරිස්සමෙන් කතා කරන්න අවශ්‍ය නිසා මම ලියාගෙන එනව. අද ලියාගෙන ආවේ නෑ. ඒ නිසා මම වැඩි වෙලා කතා කරන්න හොඳ නෑ කියල මට හිතෙනව. මම මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා, මෙහෙම ඉල්ලීමක්, දේශපාලඥයකුට අපි ඡන්දය දෙන්නේ, කවර පදනමක පිහිටාද, දේශපාලඥයෙක් කියන දේවල් අපි විශ්වාස කරනව. කිසියම් බලවේගයක් කියන දේවල් අපි විශ්වාස කරනව. හරියට මේක තරුණියක් තරුණයෙක්ව විශ්වාස කරනව වගේ. ඒ විශ්වාස කරන තරුණිය තමන්ගේ ජීවිතේ සියලු වටිනාකම් ඒ තරුණයාට කැප කරනව. ඔහු ඉතාම නින්දිත ආකාරයට ඒ විශ්වාසය පලුදු කරනව. මොකද කරන්නෙ?

සිවිල් සමාජය හැටියට අපිට සිද්ධ වුණෙත් ඒ වගේ දෙයක්. අපිට සිද්ධ වෙච්ච දේ අපට දරාගන්න පුළුවන් අපි උඩුගම් බලා පිහිනන්නට ලෑස්තියි. මම නිතරම කල්පනා කරන්නේ ඔහු සමග නිර්භීතව මේ නව නගර ශාලාවට පැමිණි පුද්ගලයන් ඔහු පාවා දුන්න හැටි. ඉතාම නින්දිතයි. ඔහු පාවා දුන්නෙ 26 වෙනිදා විතරක් නෙමෙයි. ඒක දැනගන්න ඕනෙ රාජිත සේනාරත්න මැතිතුමා. පාඨලී චම්පික මැතිතුමා දැනගන්න ඕනැ.

2015 මැතිවරණ‍යෙදි මහින්ද රාජපක්ෂට නාමයෝජනා බාරදීමේ ක්‍රියාවලියෙන් පස්සෙ ‍මොකද වුණේ? ඔහු සමග එලියට ආපු හැමෝම නන්නත්තාර වුණා. ඒ අවස්ථාවෙදි රනිල් වික්‍රමසිංහ සූදානම් වුණේ නැත්නම් එක්සත් ජාතික පෙරමුණ ගොඩනගලා, ඒ අයට නාම යෝජනා ලබාදෙන්න අද ඒ අය මන්ත්‍රිවරු නෙමෙයි. ඔහුට අවශ්‍ය වුණා ඒ අවස්ථාවෙම කපලා පැත්තකට විසිකරන්න. අර්ජූන රණතුංග මැතිතුමා, රාජිත සේනාරත්න මැතිතුමා, පාඨලී චම්පික රණවක, කරුණාරත්න පරණවිතාන, ගුණවර්ධන මැතිතුමා, දුමින්ද දිසානායක, ඒ සේරම කපලා ඉවර කළා.

පසුගිය දවස්වල ඔය සිද්ධිය සිද්ධ වෙන්නට පෙරාතුව ඩිලාන් පෙරේරා හැමදාම මාධ්‍ය සාකච්ඡාවලදි කිව්වේ, අපි දුමින්ද දිසානායකව මහ ලේකම් කමින් ඉවත් කරනව. මහින්ද අමරවීරව මහ ලේකම් කමින් ඉවත් කරනව. මහින්ද රාජපක්ෂ අගමැති හැටියට පත් කරනව. කොච්චර කල් ඉඳලද කිව්වේ. මාස තුනක් හතරක් තිස්සෙ ඉඳලයි මේ දේවල් කිව්වේ. ඔහු කීව ඒව‍ගෙන් සිද්ධ නුනේ මහින්ද අමරවීව මහ ලේකම් කමින් ඉවත් කිරීම පමණයි අනිත් සියලුම දේවල් කෙරුණා.

ඔහු නිර්භීතව ඒ දේවල් ප්‍රකාශකරන කොට ජනාධිපතිවරය නිහඬව හිටියා මොකුත් කිව්වේ නැහැ. එවා නතර කළේ නෑ. ඒ කියන්නෙ ඔහුගේ කුමන්ත්‍රණය. ඒ නිසා තමයි ඔහුව ඝතන කුමන්ත්‍රණය කියන එක අපි ප්‍රබන්ධයක් හැටියට කල්පනා කරන්නේ. රටක නායකයව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් තිබුණ නම් සියල්ලටම කලින් ඒ පිළිබඳව විමර්ශනය කළ යුතුයි. කෝ එහෙම විමර්ශනයක්?

ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අවම සම්පත් යටතේ වැඩ කළත් ජාත්‍යන්තර පුහුණුවක් තියන නිලධාරිගෙන් සමන්විතයි. ඕනැම අපරාධයක් විමර්ශනය කරන්නට ඒ අයට පුළුවන්. කතානායක තුමාට මාස හයකට පුථම අගමැතිපදවිය බාර ගන්න කියල කතා කරනව. එතකොට නාමල් කුමාර එලියට ඇවිල්ලා හිටියෙ නැහැ. සජිත් ප්‍රේමදාසට ආරාධනා කරනව එතකොට නාමල් කුමාර ඇවිල්ලා හිටියෙ නැහැ. ඇයි මේ තරම් මිනිහෙක් බොරු කියන්නෙ? මොනතරම් අශිෂ්ඨද සිංහල ගැමියෙකු තුළ තියෙන ශිෂ්ඨත්වයවත් නැති බව තමයි ඔහු මේ පෙන්නුම් කරන්නෙ.

ඔහුගෙ කටින් මොනතරම් රාජපක්ෂ වරුන්ගැන දේවල් කිව්වද? අපි කිසි කෙනෙක් ලැම්බෝගිනි ගැන කතාකරල නැහැ. රත්තරන් අස්සයො ගැන කතා කරල නැහැ. එයාගෙ කටින් තමයි ඒවා ගැන කිව්වේ. දැන් අපි කල්පනා කරල බලන්න ඕනැ මේ රටේ පුරවැසියන්ගෙ නිදහසට එල්ල වෙලා තියෙන තර්ජනය. අපරාධ පරීක්ෂණය කළේ, නිලධාරින් සුළුපටු පුද්ග‍ලයොත් එක්ක නෙමෙයි. හිටපු ආරක්ෂක ලේකම්, හිටපු ජනාධිපති ආර්යාව, ඒ පවුලෙ සාමාජිකයො. මේ අය සම්බන්ධව තමයි මේ අය විමර්ශන කටයුතු කළේ. මේක සරල දෙයක්ද? ඒ පුද්ගලයොත් අඹුදරුවො පෝෂණය කරන පුද්ගලයො. ඒ ගොල්ල ධන කුවේරයො නෙමෙයි. ඒ ගොල්ලන්ට යන්න වෙන රටක් නෑ. ඒ ගොල්ල රාජකාරියක් කෙරුවෙ හෘද සාක්ෂියට එකඟව, ඒ ගොල්ලන්ට අත්වෙන ඉරණම මොකක්ද? ඒ මිනිස්සුන්ට මොනවත් සිද්ධ නූනත් මීට පස්සෙ මහ මග මිනිසුන්ව ඝාතනය කරන‍කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙයිද? මොකටද විමර්ශන කරන්නෙ? එදා කරපු විමර්ශන වලට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි වුණා නම් අද කරන ඒවට නිතිය ක්‍රියාත්මක වෙයිද?

එතකොට මහින්ද රාජපක්ෂ මහතා ඇයි මේ තකහනියෙ මේ දේ කළේ. මම විශ්වාස කරන විධිහට අධිකරණය තුළ ඉතාම බරපතල නඩු ගණනක් තියනවා ඔවුන්ට මුහුණ දීමට සිද්ධවෙන. ඒවා ආපහු හරවන්න බැරි තත්ත්වයක තිබිච්ච නඩු. ඒ නිසා තමයි ඔහු තමාව හැරදමා ආපු, තමන්ට තමන්ගේ පවුලට අවමන් කරපු පුද්ගලයා ළඟට ඇවිල්ලා ළඟට ඇවිල්ලා අනීතික ලෙස මේ පදවිය බාරගන්නෙ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නය. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැනත් අපට ප්‍රශ්නයක් නැහැ. ඇත්ත වශයෙන්ම කියනව නම් ජනාධිපති සිරිසේන ගැනවත් අපට ප්‍රශ්නයක් නෑ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අත් වෙලා තියෙන මරු පහර ගැනයි අපිට තියෙන ප්‍රශ්නය. නීතියේ ආධිපත්‍යයට අත්වෙන ඉරණම ගැනයි අපිට තියෙන ප්‍රශ්නය. මිනිසුන්ගෙ ජීවත් වීමේ නිදහසට එල්ල වෙලා තියෙන තර්ජනයටයි අපිට තියෙන ප්‍රශ්නය. මානව අයිතිවාසිකම් වලට අත්වන ඉරණමයි අපිට තියෙන ප්‍රශ්නය. ඒ නිසා අපිට අවශ්‍යයි මේ ව්‍යාකූල තත්ත්වය පාර්ලිමේන්තුව තුළ නිරාකරණය කර ගැනීමට. පාර්ලිමේන්තුව තුළ ඉන්න 225 දෙනාට අපි ආරාධනා කරන්නෙ, ආයාචනා කරන්නෙ, ඔය ගොල්ල මව්කිරි බිව්ව අය නම්, 14 වෙනිදට අශිලාචාර විදිහට හැසිරෙන්න එපා පාර්ලිමේන්තුවෙ.  මව් කිරි බීපු අයනම්. ඉස්කෝලෙ ගියෙ නැති අයට මට මොකුත් කියන බැහැ. ඉස්කෝලෙ ගිය අය ඉන්නව නම්, ඒ අයටත් මම කියන්නෙ, නීතිගරුක වෙන්න.

මම කල්පනා කරන්නෙ පාර්ලිමේන්තුව දෑවැන්ත මන්දිරයක් වුණාට මේක පාලනය කරන්න වෙන්නෙ එක මනුස්සයෙකුට. කතානායක වරයට. ගොරිල්ලෝ රෑනක් එක පාරටම කඩා පනිනකොට වගවලස්සු වගේ එක මනුෂ්‍ය‍යයෙකුට මේක පාලනය කරගන්න පුළුවන් වෙයිද? ශිෂ්ඨ මිනිස්සුද ඉන්නෙ. අපි දන්නවනේ පසුගිය දවස්වල ඒ ගොල්ලන්ගෙ හැසිරීම්. ඒ නිසා හෘද සාක්ෂියට එකඟව හැම කෙනෙක්ම කල්පනා කරල බලන්නට ඕනැ, මේ රටේ විනාශයට උඩගෙඩි නොදෙන්න. ශිෂ්ඨ සම්පන්න විදිහට මේ ප්‍රශ්නය විසදන්න.

අපි බලාපොරොත්තු වෙන්නෙ 14 වෙනිදට පාර්ලිමේන්තුව විවෘතකළාට පස්සෙ මහින්ද රාජපක්ෂට බහුතරය තියනව නම් එයාට දෙන්න අගමැතිකම. රනිල් වික්‍රමසිංහට නම් තියෙන්නෙ බහුතරය එයාට දෙන්න. මේ රට අරාජික කරන්න එපා මේ මොහොතෙ. අද හැම රාජ්‍ය ආයතනයක්ම නන්න්තාර වෙලා. මම හිතන්නෙ නින්ද යනවද දන්නෑ මේ රාජ්‍ය නිලධාරින්ට මොනවද කරන්නෙ.

ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු සියලු දෙනාම නන්තාර වෙලා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්න ප්‍රතිඥාවක් දිලා ජනවරමක් දුන්න පුද්ගලයා මුළු රටම නන්න්තාර කරල තියෙනව. මේක කොච්චර දුර යන්න පුලුවන්ද? මහාචාර්ය උයන්ගොඩ යෝජනා කළා, ආගමික නායක‍යො සිවිල් සමාජ නායකයො මේ අයත් එක්ක කතිකාවක් අවශ්‍යයි 14 වෙනිදට පෙර.

අ‍පේ ගැමි කතාවක් තියනව, නිදාගෙන ඉන්න මිනිහව ඇහැරවන්න පුළුවන්. හොරට බුදියගෙන ඉන්න මිනිහව ඇහැරවන්න බැහැ කියල. ඒකයි තියෙන මූලික අර්බූදය. ඒ නිසා මේ ප්‍රශ්නය, ව්‍යවස්ථාව උල්ලංගනය කරල මේ කරපු අනීතික ක්‍රියාවලිය පාර්ලිමේන්තුව තුළ නිරාකරණය කිරීම සියලු මහජන නියෝජිතයන්ගේ පරම වගකීමක් කියලයි අපි විශ්වාස කරන්නෙ. ඒ වගේම ජනවාරි 8 වෙනිදා දුන්න ප්‍රතිඥා අපි පුරවැසියො හැටියට අත් හරින්න හොඳ නැහැ.

මම ජනාධිපතිවරයාට සෝභිත හාමුදුරුවන්ගෙ පළවෙනි ගුණසැමරුමේ දි, දෙවන ගුණසමරුවේදි කතා කරල, අච්චු ගහල දීලා තියෙනව, සම්බන්දන් මහතා මේ ජීවිතයේ ගත කරන කාලය තුළ ජීවත් වෙලා ඉන්න කාලය තුළ මේ ප්‍රශ්න නිරාකරණය කරගන්න කැප වෙන්න. ඒක කරගන්න බැරුව ගියොත්, මේ රටට අත්වෙන ඉරණම මොනවගේ එකක්ද කියල අපිට හිතින් හිතාගන්න බැරිවෙයි. හිස් මුදුනෙන් පිළිඅරගත්තා ඔහු ක්‍රියාත්මක වුණේ නැහැ.

අවසාන වශයෙන් මම කියන්නට කැමතියි. අපි අද පවත්වන්නේ සෝභිත හාමුදුරුවන්ගේ තුන්වන ගුණ සමරුව. පළවෙනි ගුණසමරුවටත් ජනාධිපතිවරයා ආවා. එදා අපි ඔහුට ප්‍රදර්ශනය කළා මේ රඟහලේ ඉඳලා ඔහු කරපු ප්‍රකාශය. ඔහු එදා සභාව අමතනකොට හොඳට පරිස්සම් වුණා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන වචනය නොකියා ඉන්න. ඒ පළවෙනි ගුණසැමරුමේදි. දෙවන ගුණසැමරුමේදිත් ඒ විදිහටම මම මේ ඉල්ලීම කළා. එදත් ඔහු හොඳට පරිස්සම් වුණා ඒක නොකියන්න. අපි තුන්වන ගුණසැමරුමට ආරාධනා කළා. ඔහුට මේ ආරාධනාවට එන්න බෑ. ඔහු කොහොමද මහජනතාව ඉදි‍රියේ ශිලාචාර මිනිස්සු ඉදිරියේ කටක් ඇරල කතා කරන්නෙ. දැන් ඔහු දේශපාලන චරිතය ඝාතනය කරගත්ත පුද්ගලයෙක්.

අපි අතිශයින් කනගාටු වෙනව. මම පුරවැසියෙක් හැටියට අතිශයින් කනගාටුවට පත්වෙනව, මෛත්‍රිපාලට ඡන්දෙ දෙන්න මේ රට ශිලාචාර රටක් බවට පත් කරන්න ඔහු ජනාධිපතිවරයා බවට පත් කරන්න කියල මම කිව්ව දේ කවුරුහරි ඇහුන්කන් දුන්නා නම්, ඒ සියලු දෙනාගෙන්ම මම සමාව ඉල්ලනව. ඒක හරියට තරුණියක් අංහිසක ලෙස තරුණයෙක් කෙරේ විශ්වාසය තැබුවා වගේ දෙයක්. ඒත් දේශපාලනය කියන්නෙ එහෙම දෙයක් තමයි. අපිට මේ රටේ තව කොච්චර දවසක් ජීවත් වෙන්න අයිතියක් තියනවද දන්නෙ නැහැ. ඒ ජීවත්වෙන අන්තිම මොහොත දක්වා සෝභිත හාමුදුරුවන් නායකත්වය දුන්නු ඒ පරමාර්ථය වෙනුවෙන් ශක්ති ප්‍රමාණයෙන් අපි කැපවෙනවා ඔබ සියලු දෙනාම අප සමග අත්වැල් බැඳගන්න කියලා ආයචනය කරමින් ආයාචනා කරමින් මම නිහඬවෙනව.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *