බෙදුම් රේඛාව – නිශාන්ත කමලදාස

දෙමළ ජනයාට එරෙහිව 83 ජූලි මාසයේ දියත් කළ හිංසනය මම ඇසින් දුටුවෙමි. ඒ හිංසනය දියත් වෙද්දී නීතිය හා සාමය ආරක්ෂා කිරීම සිය වගකීම කරගත් පොලීසියේ ක්‍රියාකාරිත්වය ද ඇසින් දුටුවෙමි. බොහෝ තැනක ඔවුන් එක්කෝ නිහඬව වෙනතක් බලා ගෙන සිටි අතර තවත් තැනක ඒ හිංසනයට උල්පන්දම් දෙනු ද තවත් තැනක එහි කර්තෘත්වය බාර ගනිමින් ද කටයුතු කළ අයුරු ද මට මතක ය. අළුත්ගම බේරුවල සිද්ධියේ දී ද තෙල්දෙනිය අම්පාර සිද්ධිවල දී ද මෙය අඩු වැඩි ලෙස සිදු වු‍ණේ යැයි වාර්තා විය.

වෙනත් බොහෝ අවස්ථාවල සාමය රැකීමට කටයුතු කරන පොලීසිය මෙහි දී වෙනත් ලෙස හැසිරෙන්නේ මන් ද? ඒ පිටුපස ඇත්තේ එවකට පැවති හා පවතින ආණ්ඩුවල නෝන්ජල්කම පමණක් ද? නැත. එ් තත්වය ඊට එහා ගිය එකෙකැයි මට සිතේ. එය සිංහල-බෞද්ධ අති බහුතරයක් ඉන්නා පොලීසියකින් සිදු විය හැකි අතිශය ස්වභාවික ප්‍රතිචාරයකි. ඒ, මේ රට තුළ, බුද්ධාගමට ප්‍රතිපක්ෂව සිංහල-බුද්ධාගමක් ජන මනස තුළ ස්ථාපිතව ඇති නිසා ය.

බුද්ධාගමේ කියන්නේ නහි වේරේන වේරානි කියා ය. ඒ කියන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව ය. වෛරය සංසිඳ විය හැක්කේ මෛත්‍රියෙන් බව ය. සිංහල-බුද්ධාගමේ කියන්නේ සතුරාට අනුකම්පා නොකළ යුතු බව ය. සතුරා සමූලඝාතනය කළ යුතු බව ය. බුද්ධාගමේ ආරක්ෂාව තියෙන්නේ සතුරා අනුකම්පා විරහිතව පරාජය කිරීම තුළ බව ය. ඒ නිසා ආගමේ මුර දේවතාවෝ ජාතියේ මුරදේවතාවුන්ව යුද්ධය සඳහා මෙයෙවූ හ. ඒ සිවුරු දරාගෙන ය. අද ද සෙසු ආගමිකයන් ආණ්ඩු මට්ටු කිරීමට ඒ අය මැරයන් මෙහෙයවන්නෝ ය. උන්ගේ කඩ සාප්පු ගිනි ලන්නෝ ය. උන්ව ද හැකි නම් පුළුස්සා දමන්නෝ ය. එසේ මැරකම් කළ අය වෙනුවෙන් ඉදිරිපත් වන්නෝ ය.

වෛර කරන්නාට මෛත්‍රී කිරීම බුද්ධාගමට අනුව සාධු ගුණයකි. සිංහල-බුද්ධාගමට අනුව එය . නපුංසක කමකි. මෑතක දි උසාවියෙන් දඩුවම් ලැබූ සිංහල-බුද්ධාගමේ ඉදිරි පෙළ නායකයකු වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමි වරක් කී පරිදි පිරිමිත් නොවන ගෑනුත් නොවන උන්ගේ වැඩකි.

බුදුන් වහන්සේ කීවේ තමන් උපන් ශාක්‍ය වංශයට තමන් අයිති නැති බව ය. එසේ වුව ද සිංහල-බුද්ධාගමේ දී සිංහල දේශය බුදුන්ගේ දේශය වන්නේ ය. බුද්ධාගම සිංහල-බුද්ධාගම වන්නේ ය. එයිනුත් නොනැවතී මේ දිනවල එය බුදුන් උපන් දේශය ලෙස භෞතීස්ම කරන්නට ද වෑයමක් පවතින්නේ ය.

හැම ක්ෂේත්‍රයක් පුරා ම විහිදුණු වෙනසක් බුද්ධාගම හා සිංහල-බුද්ධාගම සන්සන්දනය කරන විට දකින්නට ලැබෙන්නේ ය. ඒ නිසා ම මේ ලිපියේ අදහස මේ දෙඅංශය සන්සන්දනය කිරීම ය.

 බුද්ධාගමේ සහ සිංහල-බුද්ධාගමේ වෙනස

බුදුන් කීවේ සියලු සත්ත්වයාට එකසේ මෛත්‍රිය කරන්නට ය. සිංහල-බුද්ධාගමේ කියන්නේ ගවයාට වැඩියෙන් මෛත්‍රී කරන්නට ය.

බුදුන් කීවේ මිනිසෙකු වසලයෙක් වන්නේවත් බ්‍රාහ්මණයෙකු වන්නේ වත් උත්පත්තියෙන් නොව තමන් කරන ක්‍රියාවෙන් බව ය. සිංහල-බුද්ධාගමේ කියන්නේ කරන ක්‍රියාවෙන් නොව උත්පත්තිය ලැබූ කුලයෙන් පමණක් කෙනෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන බව ය. ඒ නිසා ම ඇතැම් කුලවල අය පමණක් තමන්ගේ නිකායවල මහණ වීමට සුදුසුකම් ලබන බව ය. එසේ කොට මහණ කර ගනු ලබන නිකායෙන් පිට එකකුට පන්සල්වල ඇතැම් ස්ථානයන් පවා අකැප බව ය.

බුදුන් ඇසුවේ තරුවල ග්‍රහයන්ට කළ හැක්කේ කුමක් ද කියා ය. සිංහල-බුද්ධාගමේ කියන්නේ හතර කේන්දරේ පාලු වුනහම ඒ තැනැත්තා මහණ වීමට සුදුසු බව ය.

බුදුන් කීවේ සෙසු ආගම්වලට ද ආගමික ශාස්තෘවරුන්ට ද ගෞරව කරන ලෙස ය. සිංහල-බුද්ධාගමේ කියන්නේ තිසරණ සරණ නොගිය එකා සම්පූර්ණ මිනිසෙකු ලෙසවත් ගණන් ගත නොහැකි බව ය.

බුද්ධාගමට අනුව සිල් ඇත්තන් උස් ආසන වල මහ ආසනවල වාඩි නොවිය යුතු ය. සිංහල-බුද්ධාගමට අනුව උස් හා මහ ආසනයක් පනවා මදි ය. එයට සුමුදු කොට්ටයක් ද දාන්නට ඕනෑ ය. සුදු රෙදි එලන්නට ද ඕනෑ ය. වඩින්නට උඩට උඩුවියන් ද පයට පාවඩ ද දමන්නට ඕනෑ ය. එහෙම කරන අවශේෂ අයට ඒ පිනෙන් දෙව්ලොව සැප සම්පත් ලැබිය හැකි බව ය.

බුදුන් උපදෙස් දුන්නේ පස් පවින් වැළකෙන්නට කියා සාමාන්‍ය මිනිසාට ය. සිංහල-බුද්ධාගමේ උපදෙස් දෙන්නේ පස් පවෙන් මිනිස්සුන්ව වළක්වන්නට කටයුතු කරන ලෙස කියා රජයට ය. ඒ බුදුන් දෙසූ අයුරින් සැමදාට නොවේ. පසලොස්වක සඳ පායන දාට ය. ඒ අණ පනත් මගින් මස් මාංස විකිණිමත් විසූක දස්සන පෙන්නීමත් මත්පැන් අලෙවියත් තහනම් කිරීම හරහා ය. බුදුන් කියූ පරිදි ස්වේච්ඡාවෙන් සිල් අරගෙන නොවේ. බලෙන් සිල් ගන්නට සලස්වා ය.

බුදුන් දහම් දෙසුවේ දහම් අසන්නට පැමිණි අයට ය. සිංහල-බුද්ධාගමේ දහම් දෙසන්නේ ගෙවල්වල නිදා ගෙන ඉන්නා මිනිසුන්ට ය. උන් බලෙන් ඇහැරවා ගෙන ය. ඒ ගමට ම ඇසෙන සේ සංවිධානය කළ ලවුඩ්ස්පීකර් හරහා ය.

බුදුන් වදාළේ අත් හැරීමට ය. අත් හැරීම පුරුදු කරන ලෙස ය. සිංහල-බුද්ධාගමේ භික්ෂූන් වහන්සේලා වැඩියත් ම කරන්නේ බදා ගැනීම ය. එකතු කිරීම ය. දුප්පත් දායකයන් සූරා කමින් විහාරය තව තවත් ලොකු කර ගැනීම ය. සීලය සමාධියට වඩා දානයේ ආනිශංස දෙසා වදාරමින් වඩ වඩා වැළදීම ය. පොහොසත් වීම ය. සැප සම්පත් එකතු කර ගැනීම ය. යාන වාහන ඉඩකඩම් වස්තු සම්පත් එක් කර ගැනීමට ය.

බුදුන් වදාළේ තමන්ගේ ගැලවීම ඇත්තේ තමන්ගේ අතේ බව ය. සිංහල-බුද්ධාගමේ කියන්නේ තමන්ගේ ගැලවීම තියෙන්නේ මුස්ලිමානුවා හා අන්‍යයන් යටපත් කිරීම හරහා බව ය. උන් ගාණකට මෙල්ල කර තබා ගැනීම හරහා බව ය.

බුද්ධාගම තියෙන්නේ සසරින් එගොඩ වන්නට ය. සිංහල-බුද්ධාගම තියෙන්නේ රට දැය සමය රැක ගැනීමට ය.

බුද්ධාගම බුදු හාමුදුරුවන්ගේත් කර්නල් ඕල්කට් ගේත් ය. සිංහල-බුද්ධාගම දුටුගැමුණු කුමාරයාගේත් අනගාරික ධර්මපාලගේත් ය.

බුද්ධාගම පතන්නේ සැම දෙනාට තුන් සරණ ය. සිංහල-බුද්ධාගමේ තුන් සරණ සිංහල බෞද්ධයන්ට විතර ය. සෙසු අයට හිමි වන්නේ අබ සරණ ය.

 කර්ම විපාක හා පූජාවේ ආනිශංස

බුද්ධාගමට අනුව තමන් කළ දෙයෙහි විපාක තමන්ට ලැබෙයි. යහපත් දෙයට යහපත් විපාකත් අයහපත් ක්‍රියාවන්ට අයහපත් විපාකත් වශයෙනි. සිංහල-බුද්ධාගමට අනුව ඒවා ඒතරම්ම අදාළ වන්නේ නැත. අදාළ වන්නේ පිංකම් ය. පුද පූජා ය. චෛත්‍යයකට රෙද්දක් ඇන්දුවහම ඒ කියන්නේ කප් රුක් පූජාවට අදාළ විශේෂ ආනිශංස තිබෙයි. හාමුදුරුවන්ට සිවුරු පූජා කිරීම, කඨින පිංකම, ශබ්ද පූජා යන එකී නොකී පිංකම්වලට ලැබෙන දේ වෙන වෙනම තිබේ. දන් දීමට ලැබෙන ආනිශංස ද බොහෝ ය. සිංහල-බුද්ධාගමේ එක ගුරු කුලයකට අනුව දස මහා කුසල් කිරීමෙන් සියලු පාප කර්මයන්ගෙන් නිදහස ලැබේ. පිරිත් පැන් වලින් නිරෝගී සුවයත් පිරිත් නූලකින් ආරක්ෂාවත් ලැබේ. බෝධි පූජාවලින් ලෙඩ දුක් කරදරවලින් නිදහස් වීමේ පින ලැබේ. දෙවියන්ට පඩුරු ඔප්පු කිරීමෙන් අට අනූවක් රෝගයන් ආරක්ෂා වීමට ඉඩ ලැබේ. යන්ත්‍ර මන්ත්‍ර බැඳීමෙන් ආරක්ෂාව ලැබේ. මේ ලයිස්තුව දිගට ලියන්න ගියොත් මේ ඡේදය අවසන් කරන්නට නොහැකි වෙයි. මේ ලිපිය පුවත්පතේ එක පිටුවකට ගන්නට බැරි තරම් දිගට යෑමට ද ඉඩ තිබේ. දන්නා දේ නැවත නැවතත් කිව යුතු ද නැත. එහෙත් අවසාන වශයෙන් කිව යුත්තේ කර්ම විපාක ආපස්සට හරවා ගත හැකි ඉඩකඩ රාශියක් සිංහල-බුද්ධාගම තුළ තිබෙන බව ය. ඒ බුද්ධාගමේ එය එසේ නොවන බව කර්මය කරත්ත රෝදය ගොනු පස පස එනවාක් මෙන් කර්මය තමන් පසුපස එන බවට කියා තිබිය දී ය.

බුදුන් අනිමිස ලෝචනයෙන් පිට දුන් බෝධියට උපහාර කළේ කළ ගුණ සැලකීමට ය. සිංහල බෞද්ධයින් බෝධියට උපහාර කරන්නේ තමන්ට යමක් ලබා ගැනිමට බලා ගෙන ය.

බුද්ධාගමේ ඉගැනුම් තිබෙන්නේ ත්‍රිපිටකයේ ය. සිංහල බෞද්ධයෝ ඉගෙනුම් ලබන්නේ මහා වංශයෙන් සහ බෞද්ධ සාහිත්‍යයෙනි.

බුදුන් කියා ඇත්තේ ශාස්තෘන් වහන්සේ දෙසුවේ වුව ද බුද්ධියට ගෝචර නොවේ නම් පිිළි නොගන්නා ලෙස ය. පරම්පරාවෙන් ආ පලියට පිළිනොගන්නා ලෙස ය. සිංහල-බුද්ධාගමේ තිබෙන්නේ සංඝයා වහන්සේගේ වචනය දේව වාක්‍යය ලෙස පිළිගන්නා ලෙස ය. ඊට ඉහළින් නොයන ලෙස ය. ඒ කුමන සංඝයා වහන්සේගේ ද යන්න හරි හැටි කියවෙන්නේ නැත. එය සිංහල-බුද්ධාගම පිළිගන්නා සංඝයා වහන්සේ කෙනෙකුගේ යැයි අප විසින් දත යුතු ය. ඊට අමතරව පරම්පරාවෙන් එන්නේ නම් පිළිගත යුතු ය. පරම්පරාවෙන් ලැබුණු දෙය දෙස මිසක ඉන් එහා නොබැලිය යුතු ය. එයම වැළඳ ගෙන ජීවත් විය යුතු ය. අන්‍ය ආගමිකකරණයට විරුද්ධව නීති රීති ගෙන ඒමටත් මහ මග සිට පොල්ලෙන් සංග්‍රහ කිරීමටත් ඉදිරිපත් වන්නේ ඒ නිසා ය.

බුදුන් කියා ඇත්තේ තම ධර්මය සසරින් එගොඩ විය හැකි පහුරක් ලෙස සලකන ලෙස ය. ඒ නිසාම එයට ඇලුම් නොකළ යුතු බව ය. පහුරකින් එගොඩ වූ කෙනෙකු ඒ පහුර කර ගහගෙන යන්නේ නැත. එය ඉවුරේ තබා යා යුතු ය. ඒ නිසා ම දහමටවත් ඇලුම් කිරීමෙන් වළකින ලෙස ය. සිංහල-බුද්ධාගම් කාරයන් ඊට සූදානම් නැත. ඔවුන් පහුර එතෙර වීමට භාවිතා කරන්නේ නැත. එය සෙසු අයට පෙනෙන පරිදි කර උඩින් නොව ඔළුව උඩින් තියාගෙන ඉන්නට ඔවුන් කැමති ය. ඒ පහුර උඩ කොඩි සේසත් ද ධාතු කරඩු ද තව බොහෝ දේ ද ගොඩ ගසා ගෙන ම ඔළුව උඩ තියාගෙන ඉන්නට ඔවුන් වඩාත් කැමති ය.

බුද්ධ පුත්‍රයන්ගේ හැසිරීම

බුද්ධාගම තුළ සිවුර තිබෙන්නේ සන්සුන් වන්නට ය. තමන් භික්ෂුවක් බව නිරතුරුව මතකයට නගා ගැනීමට ය. සිංහල-බුද්ධාගමේ සිවුර යොදා ගැනෙන්නේ සමාජය බය කරන්නට ය. නැති බලයක් පෙන්වන්නට ය.

බුදුන් වහන්සේ මිනිසුන්ගේ සිත සුව පිණිස වැඩියෝ ය. අසරණ මිනිසුන් සොයා වැඩියෝ ය. ගැටුම් ඇති තැන් සොයා ගොස් ඒවා වැළැක්වීමට මැදිහත් වූහ. අසරණයෙක් පෙළෙන තැනකට ගොස් ඒ තැනැත්තාට සරණ වූහ. සිංහල-බුද්ධාගම තුළ භික්ෂූන්ට වඩින්න යැයි ආරාධනා කළ යුතු ය. එපමණක් මදි ය. වඩම්මාගෙන ද යා යුතු ය. නැතිනම් වැඩම වීමක් නැත. ගැටුම් සම්බන්ධයෙන් නම් කැමැත්තෙන් වැඩ ම කොට ඉන්ධන සපයා ගිනි තබා ඒමට ද කටයුතු සිද්ධ වන්නේ ය.

බුද්ධ පුත්‍රයන්ගේ ගමන සන්සුන් ය. වචනය කාරුණික ය. හැසිරීම, සැනසිල්ල හා සාමය ගෙනෙන්නේ ය. සිංහල-බුද්ධාගමේ භික්ෂුන්ගේ හැසිරීම රළු ය. පරළු ය. වචන ගොරතර ය. පරුෂ ය. වෛරය හා කෝපය පිළිබිඹු කරන්නේ ය. ගැටුම් බිහිකරන්නේ ය.

බුදුන් වහන්සේ සිය සංඝයාට උවදෙස් දුන්නේ එක මගක නොවඩින ලෙස ය. හැකි තාක් ධර්මය පතුරුවන ලෙස ය. සිංහල බෞද්ධාගමේ උගන්වන්නේ එසේ ධර්මය දේශනා කිරීමට එන්නේ බෞද්ධ නොවන වෙනත් දර්ශනයක් සහිත එකකු නම් අල්ලා බිය කර නැවත නොඑන ලෙස පළවා හරින ලෙස ය. පොලීසියට අල්ලා දෙන ලෙස ය. අද බුදුන් ධර්මය දේශනා කරන්නට ආරම්භ කළේ වුව ද මේ සිංහල බෞද්ධ දේශයේ දී නම් අනිවාර්යයෙන් ම ගුටි වරුසාවක් ලැබෙනවා නියත ය.

බුද්ධාගමට අනුව ලෝක විෂය අචින්තය ය. සිංහල-බුද්ධාගමට අනුව මහාවංශයෙන් ද අබ සරණ නිකායේ හාමුදුරුවන් දෙසන අවසාන නිගමනයකින් ද එහාට ලෝක විෂයයක් නැත. ඒ ඉම ය. එයින් ලෝක විෂයය සීමා වන්නේ ය.

බුද්ධාගමේ දෙසන පිරිතක් තුළ ඇත්තේ දහම් පණිවුඩයකි. සිංහල-බුද්ධාගමේ ඇත්තේ පිරිත ඇති කරන ශබ්ද රසය ය. ඒ හරහා ලැබෙතැයි විශ්වාස කරන අපූරු ආරක්ෂාව ය.

 බුදුන් වැඩි මග

බුද්ධාගමේ ඇත්තේ සත්‍යය සොයා යන මාර්ගය ය. ඒ තුළ මේ ජීවිතයේ දී ම සැනසුම ලබා ගැනීමේ අරමුණ ය. සිංහල-බුද්ධාගමේ ඇත්තේ කප්පරක් චාරිත්‍ර විධි ය. පුද පූජා ය. ඒ තුළ ලෞකික විමුක්තිය එලවා යන අපේක්ෂා ය. පරලොව දී ලැබෙතැයි සිතන යහ ජීවිතයක අරමුණු ය.

බුදුන් වහන්සේ පැවති සම්ප්‍රදාය ප්‍රශ්න කළහ. එයට විරුද්ධව උඩු ගං බලා ගියහ. එවකට දරුණු කුල බේදයක් තිබුණු ඉන්දියාවේ අඩු කුලයේ ඇත්තන් මහණ කිරීමෙන් නොනැවතී ඒ අයට ශාසනය තුළ සමතැන් දෙන්නට වග බලා ගත්හ. සිංහල බෞද්ධයෝ ඒ වෙනුවට සම්ප්‍රදායම උඩ දමමින් සිටිති. බුදුන් හෙළා දුටු සම්ප්‍රදායන් ම තුරුළු කරගනිමින් සිටිති.

බුද්ධාගම බුදුන් දෙසූ ධර්මය ය. සිංහල-බුද්ධාගම අපේ වුවමනාවන්ට අනුව කපා කොටා එකතු කොට සාදා ගත් අමුතුම මාදිලියේ වට්ටෝරුවක් ය. එය සැබෑ ලෙස ම විවිධ දේ කළවම් කර කටට රසවත් වන ලෙස සාදාගත් අච්චාරුවක් ම වන්නේ ය. සරුවත් වීදුරුවක් වන්නේ ය.

ඒ නිසා බුද්ධාගම රැක ගත යුතු අය මුලින් ම කළ යුත්තේ සිංහල-බෞද්ධයන්ගෙන් බුද්ධාගම බේරා ගැනීම ය. බුද්ධාගම විශ්වයීය දහමක් කිරිම ය.

බොහෝ දේ කියන්න ලෙහෙසිය, කරන්න අමාරු ය. සිංහල-බුද්ධාගම මේ ද්විපයේ කෙතරම් ඇටුවම් බැස ඇත්දැයි කිව හොත් එයින් තොරව බුද්ධාගමක් ගැන සිතීමට පවා බොහෝ දෙනකුට අමාරු ය. ඒ නිසා ම මේ කටයුත්ත ලෙහෙසි වන්නේ නැත. එහෙත් ඒ සඳහා ගත හැකි එක් පියවරක් තිබේ. ධර්මය, සංවාදයකට විවෘත කිරීම ය. නිකම් සංවාදයකට නොව, විවෘත සංවාදයකට භාජනය කිරීම ය. හැගීම්වලින් පරල නොවී සංයමකින් කතා කිරීමේ කොන්දේසිය යටතේ සිදු කෙරෙන, සංවාදයකට භාජනය කිරීම ය.

එසේ සංවාදයක යෙදීම ද අමාරු ය. එවැන්නකට මිනිසුන් එකඟ කරවා ගැනීම ම අමාරු ය. එසේ වීමට එක් හේතුවක් නම් සිංහල-බුද්ධාගම, නිකම් ආගමක් නොව, සමාජ ව්‍යාපෘතියක් වී තිබීම ය. මිනිසුන්ගේ ප්‍රාථමික ගෝත්‍රික ගති ලක්ෂණ යොදා ගනිමින්, බලය ලබා ගැනීම සඳහා විවිධ පුද්ගලයන් විසින් යොදා ගන්නා උපාය මාර්ගයක, මේ වන විට බුද්ධාගම සිර කර තිබීම ය. ඒ තුළ බුද්ධාගම විකෘති වී සිංහල-බුද්ධාගම ලෙස නැවත රූපාන්තරණය වී තිබීම ය. එයින් මේ රටේ මිනිසුන් ආවේශ වී තිබිම ය. පරල වී තිබීම ය. එය ප්‍රශ්න කරන්නට, විශේෂයෙන් එහි සුජාතභාවය ප්‍රශ්න කරන්නට, දරන හැම වෑයමක් සැළකෙනු ඇත්තේ දේශද්‍රෝහී හා ජාති ද්‍රෝහී ක්‍රියාවක් ලෙස ය. දඩුවම් කළ යුතු වරදක් ලෙස ය.

එහෙත් මේ සිංහල-බුද්ධාගම එවැනි ප්‍රශ්න කිරීමකට ලක් කිරීමෙන් තොරව රටට යහපත් අනාගතයක් උදා කළ නොහැකි ය.

ඒ නිසා ම මේ රටේ විකල්ප සමාජයක් ගොඩ නැගීමට අපේක්ෂා කරන කවර බලවේගයක් විසින් වුව ද භාර ගත යුතු ප්‍රධාන කර්තව්‍ය වන්නේ, වඩාත් නිවැරදි ව කියන්නේ නම් අභියෝගය වන්නේ, මේ සංවාදයට නායකත්වය දීම ය. බුද්ධාගමට පමණක් නොව, රටේ ජනයාට ද, නිදහස ලබා දිය හැක්කේ එවැනි කටයුත්තකින් පමණ ය. ගැටුම්වලින් තොර රටක් බිහි කර ගත හැක්කේ ද රටට ඉදිරියට යා හැක්කේ ද එවැනි මැදිහත් වීමක් හරහා පමණ ය.

එසේ නොකරන තාක් ජය ගනු ඇත්තේ සිංහල බෞද්ධ කොඩිය වඩාත් ඉහළින් එසවීමට සමත් බලවේගයන් ය. මක් නිසා ද යත් සිංහල-බුද්ධාගමට විරෝධයක්, නිසි විරෝධයක්, පළ කිරීමට මෙතෙක් කිසිවෙක් අසමත් වීම නිසා ය. ඊට ප්‍රතිපක්ෂව බුදු දහමේ ධජය ඔසවන්නට අසමත් වීම නිසා ය.

මේ අභියෝගයට මුහුණ දීමට බියෙන් බොහෝ සමාජ ව්‍යාපාරයන් අවසානයේ තෝරා ගත්තේ තමන් ද එම කොඩිය ඔසවන්නට සූදානම් බව පෙන්වන්නට කරන, එහෙත් එහි අජූව බව දන්නා නිසා ම, ඒ සඳහා වූ තම පක්ෂපාතිත්වය හරි හැටි ප්‍රදර්ශනය කරගන්නට ද අසමත් වූ, මාර්ගයක් නිසා ය. දියුණු සමාජ බලවේග වලට කරන මේ ආයාචනය, සිංහල-බුද්ධාගමෙන් කැඩී වෙන් වෙන ලෙස ය. තීරණාත්මකව වෙන් වන ලෙස ය. ඒ වෙනුවට බුදු දහම හා බැඳෙන ලෙස ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *