පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකුගෙන් පෙත්සමක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහ මැතිවරණයක් පැවැත්වීම නීති විරෝධී බව දක්වමින් නීතිපති, මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු වගඋත්තරකරුවන් පස් දෙනෙකුට එරෙහිව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් වන්නේ, පිළිවෙළින් නීතිපතිවරයා, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එන් ජේ අබේසේකර, මැතිවරණ කොමසාරිස් ජනරාල් එම් ඒ පී සී පෙරේරා සහ ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න වෙති.

පෙත්සමේ සුවිශේෂී කරුණු

ඔහු සිය පෙත්සමෙන් දක්වා ඇත්තේ, පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය නීතියට පටහැනි සහ ව්‍යවස්ථානුකූල නොවන බවය.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්‍ය ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට අනුකූල නොවී අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව ද පෙත්සම්කරු පවසයි.

එහි දැක්වෙන්නේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනි සහ නීතිවිරෝධී ක්‍රියාවක් බව නොවැම්බර් 10 වන දා රැස්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සියලු සාමාජිකයින්ගේ අදහස වූ බවය.

කෙසේ වෙතත්, නීතිවිරෝධී බව පසෙකලා මැතිවරණයට සූදානම් විය යුතු බවට දෙවන සහ තුන් වන වගඋත්තරකරුවන් අදහස් පළ කළ බව එහි සඳහන් වේ.

නීතිමය පසුබිම කවරක් වුවද ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව ඡන්දය පැවැත්වීමට අවශ්‍ය පියවර ගත යුතුය යන අදහසට මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ලෙස තමන්ට අනුගතවිය නොහැකි බව පෙත්සම්කාර මාහාචාර්ය රත්නජීවන් පවසයි.

පසුව තමන් මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ඊට එරෙහිව අදහස් පළ කළ අතර කොමිසමේ බහුතර සාමාජික එකඟත්වය මත (දෙවන හා තෙවන වගඋත්තරකරුවන්) මැතිවරණය පැවැත්වීමට අදාළ බලය සිව් වන වගඋත්තරකරු (මැතිවරණ කොමසාරිස් ජනරාල්) වෙත පැවරීමට ක්‍රියා කළ බව ද පෙත්සම්කරු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව මහ මැතිවරණයක් නොපැවැත්විය යුතුය යන අදහස මත, එම බලය පැවරීමේ ලිපියට අත්සන් තැබීම තමන් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ඉදිරිපත් කළ පෙත්සමේ දැක්වේ.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්තක් මත එය විසුරුවන ලෙස ඉල්ලීමක් නොමැති නම්, වසර 4 ක් සහ මාස 6 ක් ගත වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය නොමැති බවට ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය නීතියට පටහැනි බව ද එම පෙත්සමේ දක්වා ඇත.

“මූලික අයිතිවාසිකම් කඩ වෙලා”

නිදහස්, සාධාරණ සහ නීත්‍යනුකූ මැතිවරණ පැවැත්වීම සිය එක ම රාජකාරිය වන හෙයින් මෙම නීතිවිරෝධී ක්‍රියාව අභිමුව අන්ධයෙකු ලෙස ක්‍රියා කළ නොහැකි බව ද මහාචාර්ය රත්නජීවන් හූල් සිය පෙත්සමෙන් දක්වා තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් දන්වා ඇති පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස තමන්ට නීතිවිරෝධී මැතිවරණයක් පැවැත්වීම සඳහා ක්‍රියා කිරීමට සිදුව ඇති බවය.

ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කිරීම සිය මූලික රාජකාරිය බව ද මහාචාර්යවරයා එහි සඳහන් කර තිබේ.

ඒ අනුව, අදාළ ගැසට් නිවේදනය මගින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදු වන බව එම පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

ඒ අනුව, පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව ප්‍රකාශ කිරීම, අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් නියෝග නිෂ්ප්‍රභ කිරීම, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කිරීම ඇතුළු කාරණා සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *