මෛත‍්‍රීපාල සිරිසේන කළේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.. ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුයි – ජවිපෙ නායක, අනුර දිසානායක

අපේ රටේ ආණ්ඩු මාරු වුණේ මහා මැතිවරණයකින්. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ බහුතරය එක් පිළකට අහිමි වී තවත් පිළක් බලයට පත්වීමෙන්. එය සිදුවුණේ එක් මැතිවරණයක සිට තවත් මැතිවරණයක් දක්වා අතර තුර කාලයේදී පාර්ලිමේන්තුව ඇතුළේ. නමුත් 26වෙනි සිකුරාදා ආණ්ඩු මාරුව සිදු වුණේ මැතිවරණයකින් හරි මේ කියපු ආකාරයේ පාර්ලිමේන්තුවේ බහුතරය වෙනස්වීමකින් හෝ නොවේ. මෛතී‍්‍රපාලත් මහින්ද රාජපක්ෂත් මේසෙ දෙපැත්තේ හිටගෙන ”උඹ අගමැති, මං ජනාධිපති” කියලා දියත් කළ දේශපාලන කුමන්ත‍්‍රණයක් මේ. කුමන්ත‍්‍රණය දියත් වුණ දිනයේ සිටම ජනතා විමුක්ති පෙරමුණ ඉතා නිශ්චිත අදහසක් රටට ඉදිරිපත් කළා කුමන්ත‍්‍රණකාරී ලෙස ආණ්ඩු වෙනස් කිරිම පරාජයට පත්කරන්න ජවිපෙ සූදානම් කියලා.

කුමන්ත‍්‍රණයේම දිගුවක් ලෙස මෛතී‍්‍රපාල විසින් පාර්ලිමේන්තුවේ සභා වාරය අවසන් කළා. පසුව අමාත්‍ය ධුර, රාජ්‍ය අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර වගේම කෝටි ගණන් මුදල් ගෙවීම්, සමහර අවස්ථාවල බිය වැද්දීම් කර, පාර්ලිමේන්තුවේ තමන්ගේ බහුතරය හදාගන්න උත්සාහ කළා. මේ රටේ දේශපාලන ඉතිහාසයේ මීට පෙර සිදු නොවුණු නිර්ලජ්ජිතම කි‍්‍රයාකාරිත්වයන් ඕනෑවටත් වඩා සිදු කරනු ලැබුවා. මෛතී‍්‍රපාල-රාජපක්ෂ දෙදෙනා බහුතරය තිබෙන බව විටින් විට වහසිබස් දොඩවන්න පටන් ගත්තා. අවසානයේදි ඔවුන්ට බහුතරය අත්පත් කරගන්න බැරි බව ඔප්පුකර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සම්ප‍්‍රදායන් සහ රීතීන් මුළුමනින්ම උල්ලංඝනය කරමින්, බලහත්කාරී ලෙස කුඩා කල්ලියක් විසින් පාලනය ගෙනයාම ඔවුන්ගේ අභිප‍්‍රාය වුණා. පාර්ලිමේන්තුව ඇතුළේ කල්ලියක් විසින් කුමන්ත‍්‍රණකාරී ලෙස බලය අල්ලාගැනීමට දැරූ උත්සාහය පරාජය කරන්න අපි විශේෂ අවධානයක් යොමු කළා. පාර්ලිමේන්තුව කැඳවන්න පළමු අවස්ථාවේදීම බහුතරය කාටද කියන විනිශ්චය ලබා ගන්නා බව කතානාකයතුමා ප‍්‍රකාශයට පත් කළා. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව කැඳවන්න කියලා ජනතා විමුක්ති පෙරමුණේ අපි දැඩි ඉල්ලීමක් කර තිබුණා. කථානාකයතුමාගේ ප‍්‍රකාශයත් එක්ක කුමන්ත‍්‍රණකරුවන්ගේ පළමු පියවර පරාජයට පත්වුණා. ඔවුන්ගේ කුමන්ත‍්‍රණයේ තිබුණේ එළියේ ආණ්ඩුවක් හදලා ඒ කල්ලියෙන් පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩු බලය ගෙන යන්නයි.

ඒ පළමු කුමන්ත‍්‍රණය පරාජය කළාට පස්සේ නව වෙනිදා රාති‍්‍රයේ මෛතී‍්‍රපාල සිරිසේන කිසිදු නෛතික බලයක් නැති ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. රජාට හිතුනාම ඕනෑ දෙයක් කළ හැකි සේ මෛතී‍්‍රපාල ගිනි තිය තියා යන හනුමන්තා වගේ තමන්ට හිතුනු දේ කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි පාර්ලිමේන්තු මැතිවරණයකට හෝ වෙන ඕනෑම මැතිවරණයකට සූදානම්. දෙසැම්බර් මාසයේ එළි දක්වන්න අපේ ප‍්‍රතිපත්ති මාලාව සකස් කරමින් තිබෙනවා. ඒ වගේම විශාල බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීමේ සාකච්ඡුා ඉදිරියට ගෙන යමින් තිබෙනවා. මැතිවරණයකට තරගකිරීමේ හොඳ සූදානමක අපි ඉන්නවා.
09වෙනිදා රාති‍්‍රයේ සිදුකර තිබෙන්නේ 19වෙනි සංශෝධනය තුළින් යම් ප‍්‍රමාණයකට ස්වාධීනකර තිබූ පාර්ලමේන්තුව ජනාධිපති ධුරය විසින් යළිත් යටත් කර ගැනීමක්. ජනාධිපති ධුරයට 19වෙනි සංශෝධනයෙන් පැවරී නැති බලයක් මේ සඳහා උපයෝගී කොටගෙන තිබෙනවා. මෙය මුළුමනින්ම ව්‍යවස්ථාවට පටහැනි කි‍්‍රයාදාමයක්. මේ නිසා ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකක් පැන නගිනවා. එක, ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම වලංගුද යන ප‍්‍රශ්නය. බොහෝ නීතිවේදීන් මේ වෙනකොටත් කියා තිබෙන්නේ මේ පාර්ලිමේන්තුව විසුරුවා හැර නැති බවයි. ජනාධිපතිවරයා ඊට අදාළ ප‍්‍රතිපාදන සම්පූර්ණ කර නැති බවයි. එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විසඳා ගත යුතුයි. දෙක, මේ විසුරුවා හැරීම පිළිගන්නේ නම්, පාර්ලිමේන්තුවට තිබුණු යම් හෝ ස්වාධීන බලය මීට පෙර තිබුණාටත් වඩා වැඩියෙන් දැන් ජනාධිපති බලතලවලට යටකර තිබෙනවා. 19වෙනි සංශෝධනය ගෙන ඒමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට බලයක් තිබුණේ පාර්ලිමේන්තුව රැුස්වී වසරක් ගත වුවාට පසුවයි. අවුරුදු හතරහමාර කියන කාල පරිච්ෙඡ්දය දක්වා දීර්ඝ කරනු ලැබුවේ වසරකට සීමාකර තිබුණු කාලයයි. එය නියතයක් ලෙස සමාජය පිළිගෙන තිබුණා. නිමල් සිරිපාල ද සිල්වා මාධ්‍ය සාකච්ඡුාවකදී ප‍්‍රකාශ කර තිබුණේ අවුරුදු හතරහමාරක් යන තෙක් පාර්ලමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නොහැකි බවයි. 19වෙනි සංශෝධනය ඉදිරිපත් කිරීමේ දී ප‍්‍රමුඛතම අරමුණක් වී තිබුණේ ජනාධිපතිවරයා සතු වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර හතරහමාර දක්වා දීර්ඝ කිරීමයි. මේ සංශෝධනයෙන් පසු තහවුරු වූ මතය වූයේ ජනාධිපතිවරයාට මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවයි.

ඔහුට හැකියාව තිබෙන බව තාවකාලිකව උපකල්පනය කළොත් ඉන් කියැවෙන්නේ ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවයි. 19වෙනි සංශෝධනයට පෙර වසරකින් පසු විසුරුවා හැරිය හැකිය යන තත්ත්වයක් අවලංගු වෙනවා. ජනවාරි 05වෙනිදා ඡුන්දයෙන් පසු 06වෙනිදා ආණ්ඩුවක් පිහිටුවා ගත් පසු එදා රාති‍්‍රයේම ඕනෑ නම් ජනාධිපතිවරයාට විසුරුවා හරින්න පුළුවන්. මේවගේ බලයක් ජනාධිපතිවරයාට තියෙනවාද කියලා වගවිභාගයට ලක්කළ යුතුයි. එය කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. නැවත අවධාරණය කරන්නේ මේ හිතුවක්කාරී විසුරුවා හැරීම මගින් පසු පත්වෙන පාර්ලිමේන්තුව වලංගුද නැද්ද යන්නත් එමෙන්ම ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් තිබේද යන්නත් වගවිභාග කළ යුතුයි. 09වෙනිදා ? විසුරුවා හැරියේ 113ක් නැහැ කියලා. ජනවාරි 06 වෙනිදත් එහෙම කරන්න පුළුවන්. මේ විගඩමට ඉඩ දෙන්න ඕනෑද? නෑ. නිසි අර්ථකථනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගත යුතුයි. ව්‍යවස්ථාවට පටහැනි මේ විසුරුවා හැරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අධිකරණය හමුවට යන්න බලාපොරොත්තු වෙනවා.

ගෙවුණු සතිය තුළ මෛතී‍්‍රපාල සිරිසේන මහත්මයා වට දහයකින් ඇමතිවරු පත්කළා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ලිපිය එක පැත්තක තබාගෙන අනික් පැත්තේ නිවාස ඇමතිකම දෙන ලිපියට අත්සන ගහනවා. ඒ වගේම 19වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පවරාගත හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශයත්, මහවැලි අමාත්‍යාංශයත්, පරිසර අමාත්‍යාශංයත් පමණයි. රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යාංශයට අයිති වෙනවාද? ආරක්ෂක අමාත්‍යාංශයයි ජනමාධ්‍ය අමාත්‍යාංශයයි අතර තිබෙන සම්බන්ධය මොකක්ද? ව්‍යවස්ථාවට විරුද්ධව විදුලි සංදේශ නියාමන කොමිෂම තියාගෙන හිටියා. ව්‍යවස්ථාව තුට්ටුවකට මායිම් නොකර කටයුතු කරන ජනාධිපතිවරයෙක්. එහි අවසන් ප‍්‍රතිඵලය තමයි වට දහයකින් ඇමතිවරු පත්කිරීම. එහෙම කළේ බලහත්කාරී ලෙස හදපු ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ බලතල, රජයේ සම්පත්, සේවකයින්, රාජ්‍ය මාධ්‍යය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගන්නයි. මේ මැතිවරණයේදී තමන්ගේ බලය උපරිම ලෙස යොදා ගන්නා බවයි මෙයින් පේන්න තියෙන්නේ. මෛතී‍්‍රපාල සිරිසේනත් ඔහු වටා ගොනුකර ගත් සහචර කණ්ඩායමත් ගෙවුණු දින කිහිපය තුළ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධිව, ව්‍යාවස්ථා විරෝධීව හනුමා වගේ හැමතැනටම ගිනි තියමින් යනවා. ඒ තමන්ගේ තනි පුද්ගල බලලෝභී පැවැත්ම වෙනුවෙන්.

පුද්ගලයෙක්ගේ තනි පැවැත්ම වෙනුවෙන් ව්‍යවස්ථා, නීති රීති කුඩුපට්ටම් කරමින් යන තත්ත්වයකට ඉඩ දිය යුතුද? මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාමාර්ගවලට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවෙන් පිටතත් පාර්ලිමේන්තුව තුළත්, හැකි සියලූම අවස්ථා යොදා ගනිමින් පරාජයට පත් කරන්න සූදානම්. තමන්ට නැති අනීතික බලයක් උපයෝගී කරගෙන මුළු රටත් සමස්ත සමාජයත් ඩෝසර් කරමින් යන මේ ගමන වැළැක්වීම සඳහා එකතු විය යුතුයි කියන ආරාධනය අපි මේ රටේ ජනතාවට ඉදිරිපත් කරනවා. ඒ වෙනුවෙන් ප‍්‍රගතිශීලී සියලූ දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

ජනාධිපතිවරයෙක්ට තමන්ගේ ඔළුවේ මොනවා හරි හදාගෙන තමන්ට ඕනෑ විදිහට ආණ්ඩු වට්ටන්න බැහැ. ආණ්ඩුවක් විසුරුවා හැරීමට හෝ ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ නීති රාමුවක් තිබෙනවා. ඒක සඳහන් වෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සලසා දී තිබෙන ප‍්‍රතිපාදන කිසිවක් නොසලකා මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයාගේ ඔළුවේ හැදෙන සිතැඟිවලට ආණ්ඩු පෙරළන්න හෝ ආණ්ඩු පත්කරන්න ඉඩදිය යුතුද? ඒනිසා තමයි අපි කිව්වේ මේක කුමන්ත‍්‍රණයක් කියලා.
අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේත්, අභියාචනාධිකරණයේත් විනිසුරුවන් පත්කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. හැබැයි පත්කිරීමේ බලය ඔහුට තිබුණාට පත් කරන්නේ කවුද කියලා තීරණය කරන්නේ ව්‍යවස්ථාදායක සභාවයි. 19වෙනි සංශෝධනයෙන් ඇති කළ තත්වයත් ඒක. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත්කරන්න ජනාධිපති සිරිසේන මහත්මයාට ව්‍යවස්ථා සභාවෙන් අදාළ නම් යෝජනා කරනවා. ඒවගේම තමයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලයක් දී තිබෙනවා. හැබැයි විසුරුවා හැරිය හැක්කේ අවුරුදු හතරහමාරක් පිරුණාට පසුව හෝ පාර්ලිමේන්තුවේ 2/3ක යෝජනා සම්මතයෙන් විතරයි. ව්‍යවස්ථාවක් අර්ථකථනය කරන්නේ තමන්ට ඕනෑ කරන එක් එක් වගන්ති වෙන්කරලා අරගෙන නොවෙයි. සමස්තයක් ලෙසයි. එක එක වගන්ති වෙන වෙනම ගත්තොත් ඒක ව්‍යවස්ථාව නොවෙයි. ඒවගේ සමස්තය නොසලකා අනීතිකව ඒකාධිපති ස්වරූපයෙන් රට ඉදිරියට ගෙනයනවා නම් එවැනි තත්වයක් පරාජය කළ හැකි ආකාරය ගැන අපි පසුව සලකා බලනවා.

මනෝජ් රූපසිංහ

ස්තූතිය – මාධ්‍ය ඒකකය ජනතා විමුක්ති පෙරමුණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *