පිම්පි බුද්ධිමත්තු – අනුර සූරියබණ්ඩාර

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා බිලීබා ගන්නට කුමන්ත්‍රණ ආණ්ඩුව ගත් උත්සාහය මේ වන විට රහසක් නොවේ. හෙළිදරව් වී ඇති කරුණු අනුව, යෝජිත රාජපක්ෂගේ නියෝජිතයෙක් වන දිනූෂ නමැත්තෙකු පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා අමතා ප්‍රකාශකර ඇත්තේ, මහාචාර්ය රංජිත් බණ්ඩාර හරහා රුපියල් කෝටි 50 ක මුදලක් ලබා දිය හැකි බවයි. එසේම එස්. බි. දිසානායක මන්ත්‍රිවරයා ද පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයාට කුමන්ත්‍රණ ආණ්ඩුවට එක් වන ලෙස ආරාධනා කර තිබේ. ඒ අනුව මන්ත්‍රීවරයකුගේ  ලංසුව මේ වන විට කෝටි 50 දක්වා ඉහළගොස් ඇති බව පැහැදිලිය.

එස්. බී. දිසානායක මන්ත්‍රිවරයා මන්ත්‍රිවරු ඇමතිවරු රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරු කුමන්ත්‍රණ ආණ්ඩුවට එක්කර ගැනීමට දරණ උත්සාහය තේරුම් ගත හැකිය. ඒ. එස්. බී. දිසානායක යනු කවර ආකාරයකින් හෝ දේශපාලන සදාචාරයක් ඇති තැනැත්තෙකු නොවන නිසාය. නමුත් රංජිත් බණ්ඩාර නමැති මහාචාර්යවරයා ආණ්ඩුවකින් ආණ්ඩුවකට පුද්ගලයන් මාරුකරවන තැරැව්කරුවකු වශයෙන් කටයුතු කිරීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද? ඔහුගේ බුද්ධිය හා සමාජ වගකීම සම්බන්ධයෙන් කිව හැකි වන්නේ කුමක්ද? මෙවැනි මහාචාර්යවරුන්ගෙන් රටටත් විශ්වවිද්‍යාල පද්ධතියටත් සේවයක්  වනු ඇතැයි සිතිය හැකිද?

යහපාලනය බිඳ දමා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් පහකිරීමට මෛත්‍රි – මහින්ද දුෂ්ඨ එකමුතුව ගත් ක්‍රියාමාර්ගය කවර ආකාරයකින්වත් සාධාරණීකරණය කළ හැකි නොවේ. පාර්ලිමේන්තුවේ බහුතර බලය පැහැදිලිව ඒ වන විටත් තිබුණේ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායම සතුව බැවනි. එවැනි බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ නැතැයි කවරකු හෝ උපකල්පනය කරන්නේ නම්, කළ යුතුව ති‍බුණේ පාර්ලිමේන්තුවේදී බලය ඇත්තේ කාටද යන වග තීරණය කිරීමයි. එසේ රනිල් මහතා ඉවත් කරන්නට හෝ මෛත්‍රිපාල ජනාධිපතිවරයාට නෛතික බලයක් ව්‍යවස්ථාව අනුව නොමැති බව ව්‍යවස්ථා විශේෂඥයන් පුන පුන කියනු ලැබේ. ඔවුන් පෙන්වා දෙන්නේ ලිපියක් මගින් ජනාධිපතිවරයා දැනුවත්කරමින් අග්‍රාමාත්‍යවරයා ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීම, දෝෂාභියෝගයකින් පරාජයවීම, අගමැතිවරයාගේ පාර්ලිමේන්තු මන්තිධුරය නැතිවීම, අයවැය වාර්තාව පාර්ලිමේන්තුවේදි පරාජය වීම යන අවසථාවන්ය. එකී අවශ්‍යතා කිසිවක් සම්පූර්ණ නොවී තිබියදී මහින්ද රාජපක්ෂ හිටිඅඩියේ රාත්‍රි කාලයේ හොර රහසේ අගමැතිලෙස නම් කිරීම දේශපාලන ත්‍රාඩ ක්‍රියාවකි. අවම වශයෙන් එහිදී මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය ඔළුගෙඩි සංඛ්‍යාවවත් පෙන්වීමට හැකියාවක් නොතිබුණු බව කෝටි ගණන් මිල ගෙවා ඔළුගෙඩි හුවමාරු කර ගැනීමට ගන්නා උත්සාහය අනුව මොනවට පැහැදිලි වේ.

පුදුමය වන්නේ මහින්ද අගමැති කිරීමේ කුමන්ත්‍රණය සාධාරණීකරණය කරන්නට දේශපාලඥයන් සමග බුද්ධිමත්තුන්ය කියා මෙතෙක් සිතූ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල සමහරුන්ද මේ වන විට ඉදිරිපත් වී තිබීමය.

මහින්ද රාජපක්ෂ යනු පසුගිය ජනාධිපතිවරණයේ දී මෙරට ජනතාවගෙන් පැහැදිලි බහුතරයක් විසින් පරාජය කර ගෙදර යවන්නට යෙදුණු තැනැත්තාය. ලජ්ජාවක් දේශපාලන සදාචාරයක් තිබුණේ නම්, මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පසුවිය යුතතේ විවේක සුවයෙනි. වෙනත් රටක නම් දේශපාලනයෙන් ඉවත්වන ජනාධිපතිවරුන් වෙනත් ආකාර සමාජ සේවාවන්වලට යොමුවෙති. බැරැක් ඔබාමා නිදසුනක් වශයෙන් දැක්විය හැකිය.

මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ රටේ පැවති තත්ත්වය අමුතුවෙන් මෙරට ජනතාවට මතක් කළ යුතු නැත. තාජුදීන් ඝාතනය, ශ්‍රී ලංකන් කොල්ලය, ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය, රතුපස්වල යනාදි වශයෙන් කොතෙකුත් කරුණු ඔහුගේ දුෂ්ඨ පාලනයට සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන්නට පුළුවන.

නමුත් රංජිත් බණ්ඩාර වැනි ලජ්ජා විරහිත කූඨ බුද්ධිමතුන් පෙරමුණගෙන ඇත්තේ මහින්දගේ ඉහත දුෂ්ඨකම් හේතුවෙන් ඔහු වැන්නකු නැවත අගමැති ධුරයට පත් කිරීමේ වරද පෙන්වා දී එය නිවැරදි කිරීමේ කටයුත්තට නොවේ. ඔහුගේ බලය තහවුරු කරන්නට මුදල් හුවමාරු කරන්නාගේ අතරමැදි කටයුත්තටය. එය ගණිකාවකට ගනුදෙනුකරුවන් සොයා දීමටත් වඩා නින්දිත පහත් කටයුත්තකි. දේශපාලන පිම්පිකමක් කියා එය හැඳින්වීම ගණිකාවන්ට ගනුදෙනුකරුවන් සොයාදෙන්නන් වන පිම්පින්ට කරන නිගරුවකි. පිම්පියාගේ කටයුත්තෙන නවරත්න රංජිත් බණ්ඩාරගේ කටයුත්තෙන් තරම් හානියක් ජනතාවටත් රටටත් සිදු නොවන බැවිනි.

පවතින තත්ත්වය යටතේ තවත් ආචාර්ය මහා ආචාර්යයන් රැසක් මහින්දගේ අගමැතිකම සාධාරණීකරණය කරන්නට ව්‍යවස්ථාවේ සිදුරු සොයමින් සිටින බව පෙනෙන්නට තිබේ. ජනතාව විසින් පරාජය කර ගෙදර යැවු එකා යළි කැඳවා අගමැතිකම් දෙන්නට ව්‍යවස්ථාවේ යම් හෝ ඉඩක් ඇත්නම් කළ යුතු වන්නේ නොසුදුසු එකාට ලැබුණු අගමැතිකම සාධාරණීකරණය කිරීම නොව, එවැනි දෙයකට ඉඩ සලසන ව්‍යවස්ථාව වහා සංශෝධනය කිරීමට බලපෑම් කිරීමයි. නමුත් ඉහත මහින්දවාදී ආචාර්යෝ සිය නිරුවත ප්‍රදර්ශනය කරමින් ඉන්නේ ව්‍යවස්ථාවට මුවා වී මහින්ද ආරක්ෂා කරන්නටය. මොවුන්ගෙන් බිහිවන අනාගත පරපුර ගැන වගකියන්නේ කවුරුන්ද? මට නම් හිතෙන්නේ මහින්ද අගමැති ධුරයෙන් ඉවත්කරනවාටත් වඩා මෙවැනි කූඨ ආචාරින් මහාචාරින් ගේ හෙලුව හෙළිකර ඔවුන් විශ්වවිද්‍යාලවලින් ඉවත්කරලීමේ ව්‍යාපාරයක් දියත්කිරීම වැදගත් බවයි. මොවුන් වනාහි නිර්ලජ්ජිත බඩවඩා ගන්නන් රොත්තක් මිස සැබෑ බුද්දිමත්න් නොවන නිසාය.

අනුර සූරියබණ්ඩාර

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *