|

මැජික් හා ගුප්ත-විද්‍යා – නිශාන්ත කමලදාස

මැජික් කියන්නේ ඇස්බැන්දුමකි. ඒ කියන්නේ අප එකකට අවධානය යොමු කරගෙන සිටින විට අපේ ඇස් වසා අපට හොරා තව එකක් කොට මැජික්කරුවන් අප පුදුම කරන නිසා ය. මිනිසුන් අහසේ පා කිරීමටත් කපා වෙන්කර නැවත එක් කිරීමටත් ඔවුන්ට පුළුවන. අප හිතන දේ කීමට ඔවුන්ට පුළුවන. අප නොහිතන දේ කිරීමට ඔවුන්ට පුළුවන. ඔවුන් කර පෙන්වන්නේ අපට කරන්නට බැරි දේ ය. අපට අදහා ගන්නට අමාරු දේ ය. අප දන්නා යමකින් විස්තර කළ නොහැකි දේ ය. එසේ වුව ද මේ එක් මැජික්කරුවෙකුවත් තමන්ට ගුප්ත බලයක් ඇතැයි කියන්නේ නැත. ඔවුන් කියන්නේ තමන් කරන්නේ මැජික් බව ය. ඇස්බැන්දුම් බව ය.

ගුප්ත විද්‍යාධරයන් ද පෙන්නන්නේ මැජික් ය. මේ විද්‍යාධරයන් කවරහු ද? ජෝතිෂ්‍යකාරයොත්, පේන කියන්නෝත්, දේවාල වල කපු මහත්තයෝත්, කනප්පු පදවන්නෝත්, අත බලා අනාගතය කියන්නෝත් වීදුරු ලවා කතා කරවන්නෝත් යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් කරන්නෝත් විශ්ව ශක්තියෙන් රෝග නිවාරණය කරන්නෝත්, වැනි විවිධ වෘත්තිකයෝ මීට අයත් වෙති. මේ හැමෝම කරන්නේ මැජික් කරුවකුට සමාන රැකියාවකි. ඔවුන් කරන්නේ ද ඇස් බැන්දුමකි. නැති දෙයක් ඇතැයි පෙන්වීමකි.

වෙනසකට ඇත්තේ මැජික්කරුවෙකු මැජික් පෙන්නා ඔබ අමන්දානයට පත් කොට ජීවිකාව සපයා ගන්නා අතරේ ගුප්ත විද්‍යාධරයන් මැජික් පෙන්නා ඔබ ග්‍රහණයට ගෙන ඒ හරහා ඔබට වෙනත් දේ පොරොන්දු වී ජිවිකාව සපයා ගැනීම ය.

ඒ කියන්නේ ඔවුන් මැජික් පෙන්විමෙන් නතර නොවන බව ය. එයින් ආකර්ෂණය කර ගත් ඔබ වෙත ඉර ද හඳ ද පොරොන්දු වන බව ය. එසේ පොරොන්දු වී ඔබගෙන් දිගින් දිගට මුදල් හරි හම්බ කර ගන්නා බව ය. ඉන්පසු ඔබේ ජීවිතයේ හැම වැදගත් දෙයකට ම අත පොවන බව ය. ඒ ඒ අවස්ථාවල යමක් කර යම් උපදෙසක් දී ගාන කඩා ගන්නා බව ය.

මැජික්කරුවෙකු තමන්ට ගුප්ත බලයක් ඇතැයි කියන්නේ නැත. ඔවුන් අප පුදුමයකට පත් කර ඒ සඳහා මුදල් ලබා ගැනීමෙන් නතර වේ. අප ව ඉන් පස්සේත් අන්දන්නට ඔවුන් ඉදිරිපත් වන්නේ නැත. ඒ අතින් ඔවුන් අවංක ය. ගුප්ත විද්‍යාධරයන් අපට පෙන්වන සිල්ලර මැජික්වලට වඩා අප පුදුමයට පත් කරන සංකිර්ණ ඇස් බැන්දුම් මැජික්කරුවන් විසින් කරතත් ඔවුන් ඒ මගින් අපව මුළාකර බැඳ තබා ගෙන ඉදිරි වැඩ සාදා ගන්නට තරම් දුෂ්ඨ නැත.

මැජික් ද ගුප්ත ය. එය ගුප්ත විද්‍යාවක් නොවී සෙසු ඒවා ගුප්ත විද්‍යා වන්නේ ගුප්ත විද්‍යා කටයුතු මිනිසා ඉක්මවන සුවිශේෂී බලයකින් කරන්නේය යන පදනම මත පිහිටා ය. මැජික්කරුවන් තමන් කිසිදු විශේෂ බලවේගයක පිහිටෙන් නොව සිය මිනිස් කුසලතා භාවිතා කොටගෙන පමණක් සියල්ල කරන්නේ යැයි කියන විට ගුප්ත විද්‍යාධරයෝ තමන්ට ඉහළින් ඇති සුපිරි බලයක පිහිටෙන් තමන් මේ සියල්ල කරන බව කියා සිටින්නෝ ය.

එවැනි සුපිරි බලයක පැවැත්මට දාර්ශනික පදනම සැපයෙන්නේ වෙන එකකින් නොව විද්‍යාවෙනි. ඒ අපගේ පංචේන්ද්‍රියන්ට අසු නොවන යමක් පැවතිය හැකිය, විද්‍යාව විසින් මේ වනවිටත් සොයාගෙන නැති යමක් පැවතිය හැකිය, යන නිවැරදි උපකල්පනයන් මත විද්‍යාව පදනම් විමෙනි.

ගුප්ත විද්‍යා

ග්‍රහයන්ගේ බලය, දේව බලය, භූත බලය, විශ්ව ශක්තිය, යන්ත්‍ර මන්ත්‍රවල බලය එවැනි අපට දැකිය නොහැකි ඒ නිසා ම නොපවතින බවට ඔප්පු කළ නොහැකි විශ්වාසයන් ය. බලවේගයන් ය. කුඩා මොළයක් ඇති හූනකුට අප ගැන පේන කියන්නට පුළුවන් බවට ඇති මතය ද වැරදි යැයි ඔප්පු කළ නොහැකි විශ්වාසයකි. අපේ අතේ රැඳි රේඛාවල අපේ සමස්ත අනාගතය ලිය වී ඇති බවට මතය ද එසේ වැරදි යැයි ඔප්පු කළ නොහැකි විශ්වාසයකි. බෝධි රුක්ෂයකට විභාගය සමත් කර දිය හැකි යැයි ද හාස්කම් ඇති යැයි කියන තැන්වලට අපට සිතූ පැතූ සම්පත් ලබා දිය හැකි යැයි ද කතරගම දෙවිඳුන්ට අපේ වාහන පරිස්සම් කර දිය හැකි යැයි ද එවැනි අනෙකුත් විශ්වාසයන් ය.

මේ එකක්වත් පහසුවෙන් බොරු කළ නොහැකි ය. හේතුව මේ සියල්ල සතු බලය තවත් එවැනිම ඒවාවලින් ඇතැම් විට වඩා බලසම්පන්න ඒවා වලින් අහෝසි විය හැකි බවට ද මේ විශ්වාසයන් තුළ ම සඳහන් වන නිසා ය. ඒ නිසා එකක් වෙනම ගෙන විමසන්නට අපට නොහැකි ය.

උදාහරණයක් ලෙස අප විසින් කරන ලද කර්මයක් බලවන්ත නම් මේවාවලින් කළ හැක්කේ විපාක අඩු කර ගැනීම පමණ ය. එහෙම අවස්ථාවක එහෙම පිටින් ම මේ එකකින් වත් වැළකිය නොහැකි ය.

උදාහරණයක් ගෙන මෙය විමසා බලමු. අපේ නව මෝටර් රථයට, එය කතරගමට ම ගෙන ගොස් කතරගම දෙවිඳුන්ට පඩුරු පාක්කුඩම් ඔප්පු කොට, ආරක්ෂාව ලබා ගත් බව ඇත්ත ය. එහි දෙහි ගෙඩි ද මිරිස් කරල් ද එල්ලා අමතර ආරක්ෂාවක් ද දුන් බව ඇත්ත ය. එහෙත් එය හදිසි අනතුරකට භාජනය විය හැකි ය. පෙර භවයක කළ කර්මයක් කාගේ හෝ වස්කවියක් වැනි වෙනත් බලවේගයක් මතුව එය අනතුරකට ලක් විය හැකි ය. එසේ අනතුරක් මුළුමණින් වැළැක්විය නොහැකි වුවත් කතරගම දෙවිඳුන්ගෙන් ලබාගෙන ඇති මේ ආරක්ෂාව නිසා සිදු වන අනතුරේ ස්වභාවයවත් අඩු ම වශයෙන් අඩු වන බව අප විසින් දත යුතු ය.

එය අපේ සැනසිල්ලට කාරණයක් වුව ද ඒ නිසා අපට සංඛ්‍යාලේඛන විමසා මෙහි ඇත්ත නැත්ත බලා ගැනීමේ ඉඩක් නැති වේ. ඒ නිසා ම මේ කිසිවක් බොරු කළ නොහැකි ය.

ගුප්ත විද්‍යාවටත් විද්‍යාවේ පිළිසරණ

විද්‍යාව එසේ නොවේ. සංඛ්‍යාලේඛන මගින් විද්‍යාවේ නියමයක් ප්‍රශ්න කරනු ලබන්නේ නම්, ඒ නියමය නැවත විමසිය යුතු යැයි විද්‍යාව අපේක්ෂා කරයි. විද්‍යාව ප්‍රශ්න කිරීමට ඉඩ හසර සලසයි. එහි පදනම ම ප්‍රශ්න කිරීම මත පදනම් වේ.

විද්‍යාව තමන්ගේ සොයා ගැනීම් පිළිබඳ සැක පහළ කරන විට, ඒවායේ අඩුපාඩු ඇතැයි පිළිගන්නා විට, එසේ සැක පහළ කරන්නට අනුබල දෙන විට, ගුප්ත විද්‍යාව තමන් පිළිබඳ අන්ධ විශ්වාසය ඉල්ලා සිටින්නේ ය. සැක පහළ කිරීම දණ්ඩනයට ලක් විය හැකි වරදක් බව කියා සිටින්නේ ය. කට වරද්දා ගැනීමෙන් වළකින ලෙස කියා සිටින්නේ ය. එපමණක් නොවේ. ගුප්ත විද්‍යාවේ පිහිට ලැබිය හැක්කේ ද එය විශ්වාස කරන, නිකම් නොව සැකයකින් තොරව විශ්වාස කරන, අයට පමණක් බව ද එය අමතර වශයෙන් කියන්නේ ය.

ඒ නිසා අප ඒවායේ පිහිට අපේක්ෂා කරන්නේ නම් සිතින් වත් ඒ ගැන නොවිමසා මහත් බැතියෙන් යුතු ව ඒවා පිළිගැනීම අවශ්‍ය වන්නේ ය.

ජාතික රූපවාහිනිය මෑතක්වනතුරු මේ ගුප්ත විද්‍යාව තුළ ඇති ඇස්බැන්දුම් අනාවරණය කරන “යථාරූප“ නම් වැඩසටහනක් ප්‍රචාරය කරමින් සිටියේ ය. ගුප්ත විද්‍යාවල නිරත වෙමින් සිටි අයට එම වැඩසටහනට සහභාගි වී තමන්නේ බලය ප්‍රදර්ශනය කිරිමේ ඉඩකඩ ද ඉන් සලසා දී තිබිණි. එහෙත් ඒ ප්‍රශ්න කිරීම්වලට යටත් ව ය. එහි පැමිණි හැම දෙනකුටම සිදු වූයේ රටේ ජනතාව ඉදිරියේ තමන් බොරුකාරයන් බවට පත් වීමට ය.

ගුප්ත විද්‍යාවෙන් දිවි රැකෙන අය බොහෝ සිටින රටක මෙය උඩු ගං බලා පිහිණීමක් විය. මේ වැඩසටහනින් කලබලයට පත් වූයේ ගුප්තවිද්‍යාව ජීවිකාව කරගෙන සිටි අය පමණක් නොවේ. එයින් පිළිසරණ ලබමින් තමන්ව ම රවටා ගනිමින් ජීවත් වූ අය ද ඊට අයත් වූහ. ආණ්ඩුවට ඡන්ද අහිමිවන තැනට මෙයින් කටයුතු යෙදෙමින් තිබුණේ ය. මේ වැඩසටහන නවත්වා තිබෙන්නේ ඒ නිසා ද වෙන යම් හේතුවක් නිසා දැයි අප දන්නේ නැත. එකක් නම් පැහැදිලි ය. ගුප්ත විද්‍යාව තමන් ප්‍රශ්න කරනවාට කැමති නැත. පිටින් මහේශාක්‍ය පෙනුමක් තිබුණේ වුව ද එය ඇතුළතින් බොල් ය. නැත්නම් කළ යුතු ව තිබුණේ වැඩසටහනට සහභාගී වී තමන් සතුව ඇතැයි කියන බලය පෙන්වීම ය.

මේ ගුප්ත විද්‍යා බොහෝමයකට දීර්ඝ ඉතිහාසයක් තිබෙන්නේ ය. ඒවා බොරු නම් මේතාක් පැවතු‍ණේ කෙසේ ද? ඒවායේ කිසියම් හෝ ඇත්තක් තිබිය නොහැකි ද? බොහෝ දෙනකු නගන මේ ප්‍රශ්න පහසුවෙන් බැහැර කළ නොහැකි ය.

පොළොව පැතලි බවටත් ඉර පොළොව වටා යන බවටත් මිනිසුන් තුළ පැවති විශ්වාසයන්ටත් දීර්ඝ ඉතිහාසයක් තිබුණේ ය. අපට පසු කලෙක ලැබුණු දත්ත හා තොරතුරු ඉදිරියේ අපි ඒ විශ්වාසය ඉවත දැම්මෙමු.

දීර්ඝ ඉතිහාසයත් තිබීම යමක ඉදිරි පැවැත්ම සුජාතකරණය කරන්නේ නැත. ඒ තුළ ඇති බොරුව ඇත්ත බවට පත් කරන්නේ ද නැත.

ඇතැම් විශ්වාස රටින් රටට වෙනස් ය. උදාහරණයකට නමයේ ඉලක්කම නපුරු යැයි ද දහතුන අවාසනාවන්ත යැයි ද පිළිගැනීමක් ඇතැම් රට වල තිබේ. ඒ වෙනුවට නමය සුවිශේෂ නැතැයි ද දහතුන වාසනාවන්ත යැයි ද විශ්වාස කරන රටවල් ද තිබේ. සත්‍යය විය හැක්කේ මේ දෙකින් එකකි.

රටින් රටට වෙනස් ය

එක එක රටවල ගුප්ත විද්‍යා හැදෑරිමේ දි පෙනී යන්නේ ඒවා එකිනෙකට පරස්පර විශ්වාසවලින් ගහණ බව ය. එවැනි විශ්වාස හැම එකක් ම හරි නැතැයි යන නිගමනයට බැසීමට අපට ඒ නිසා සිදු වේ.

ගුප්ත විද්‍යා අන්ධව අදහනතාක් අපට ඒ ගැන විමසන්නට නොහැකි නිසා අපට කුමක් හරි දැයි නිගමනයකට බැසීම අමාරු ය. ඒ නිසා අප කරන්නේ අපේ මාපියන්ගේ ඇදහීම් හා විශ්වාස ඒ හැටියට ම බාර ගැනීම ය. අප ජීවත්වන සමාජයේ වැඩි දෙනකු අනුයන විශ්වාස ඒ ලෙස ම බාර ගැනීම ය. සෙසු විශ්වාස මිථ්‍යාවන් ලෙස බැහැර කිරීම ය.

එක් එක් රටේ මිනිස්සු තමන්ට උරුමයෙන් ලැබුණු මේ එකිනෙකට පරස්පර විශ්වාස පරම සත්‍යය ලෙස ගෙන අදහති. විශ්වාස කරති. තමන්ට නොපෙනෙන තමන්ට ග්‍රහණය කරගත නොහැකි සුවිශේෂී බලයක්, එය විශ්ව ශක්තිය හෝ දේව බලය හෝ කුමක් හෝ විය හැකි මුත් එවන් බලයක්, ඇතැයි සිතා කටයුතු කරති. එය විමසන්නට නම් නොයති.

මේ සෑම විශ්වාසයක් පිටුපස ම මිනිසාගේ අසරණකම ප්‍රදර්ශනය වන්නේ ය. මේ මවාගත් බලවේගයන්ගේ යෝධ ප්‍රතිරූපයන් පිටුපස ඇති මිනිසාගේ කුදු බව ඔහුට පසක් කර දෙන්නේ ය.

අතීතය තුළ එසේ සිදු වීම යුක්ති යුක්ත ය. තාර්කික ය. බොහෝ දේ ඇති වීමට හේතු වන්නේ කුමන සාධක දැයි එකල මිනිසුන් දැන සිටියේ නැත. විස්තර කරගත නොහැකි ක්‍රියාදාම මගින් ජීවිතය ව්‍යාසනයට පත් වෙන හැටි ඔවුන් අසරණ ලෙස බලා සිටින්නට ඇත. ඒ නිසා ම කිසියම් තමන්ට වඩා විශාල බලවේගයක පිහිට ලැබේ නම් යහපත් යයි සිතන්නට ඇත. ඒ පිළිබඳව සිහින ද දකින්නට ඇත. එවන් බලයක පිහිට ඇතැයි ස්වයං ප්‍රකාශනයන් කළ අය පසුපස වැටී යන්නට ඇත. ඔවුන්ගේ උගුල්වලට අසුවන්නට ඇත. ඊට පසු පරපුරෙන් පරපුරට ද ඒවා බාර දෙන්නට ඇත.

එහෙත් වත්මන එසේ නොවේ. විද්‍යාව විසින් බොහෝ දේ පහදා දී ඇති නිසාත් ව්‍යාසනයන්ට එදිරි ව ගත හැකි පියවර හඳුන්වා දී ඇති නිසාත් මිනිසා ඈත අතීතයේ මෙන් අද අසරණ නැත. එසේ තිබිය දීත් මිනිසා මේ මවාගත් බලවේග පිටුපස යන්නේ මන්ද යන ප්‍රශ්නය මනෝ විද්‍යාඥයින්ගේ විමසුමට ලක් විය යුතු ය.

කුඩා කල සිට මොළයට කා වද්දා ඇති නිසාත් ඒවා යටි හිත තුළ ඇටුවන් බැස ඇති නිසාත් තර්කයට ඒවා ඉවත් කළ නොහැකිය යන්න මනෝ විද්‍යාඥයින් ඉදිරිපත් කරන එක් මතයකි. මුල් ඇද පැලපදියම් වී ඇති දෙයක් බාහිරින් උගුල්ලා දැමීම අමාරු බව ඇත්ත ය. ඒ අතරම පෙනෙන අනිත් දෙය නම් බොහෝ තැනක මේ මුල් දිරමින් පවතින බව ය. බොහෝ රටවල මිනිසුන් මේ ගුප්ත විද්‍යා තවදුරටත් විශ්වාස කරන්නේ නැති බව ය. ඒවා විද්‍යාව විසින් උදුරා ඉවත් කරමින් ඇති බව ය. ලෝකය ගැන දැනුම ලබන නව පරම්පරාව විශේෂයෙන් මේ මනස්ගාතවලින් නිදහස් වෙමින් සිටින බව ය. ඔවුන් අතීතයේ මෙන් මාපියන්ට ද සම්ප්‍රදායන්ට ද වලංගු නැති බව ය. ඔවුන්ට තොරතුරු ලබා ගැනීමට පෙරට වඩා මූලාශ්‍ර බොහෝමයක් තිබෙන බව ය. වැඩිහිටියන්ට වඩා විශ්වාසනීය මූලයන් තිබෙන බව ය.

ඒ, කතන්දරවලට වඩා ප්‍රබල, සංඛ්‍යා ලේඛන ඔවුන් පරිහරණය කරන නිසා ය. ඒවාට ඔවුන්ට ප්‍රවේශයන් තිබෙන නිසා ය. ආලෝකය හොල්මන් හා භූතයන් පළවා හැරි වේගයෙන් නව දැනුම හා තොරතුරු වෙනත් ගුප්ත බලවේගයන් ද අභියෝගයන්ට ලක් කරමින් සිටින නිසා ය.

මිනිසුන් අසරණබවින් මිදීම

මිනිසුන් සිය අසරණ බවින් මිදීම තුළ වඩාත් අසරණභාවයට පත් ව ඇත්තේ මේ ගුප්ත බලවේග සමග සම්බන්ධකම් පවත්වනවා යැයි කියමින් ඒවායින් වැඩ ගන්නට දන්නේ යැයි කියමින් පාරම්බාන, ඒවායින් නඩත්තු වන, ගුප්ත විද්‍යාධරයන් ය. සමාජ ජාලාවලට ද තොරතුරු තාක්ෂණයේ ව්‍යාප්තියට එරෙහිව ද පොදුවේ නවීකරණයට එරෙහිව ද ඔවුහු කඳවුරු බඳිමින් සිටිති. කිසිදු පැරණි දෙයක්, සම්ප්‍රදායක්, විශ්වාසයක් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ඔවුහු උරණ වෙති. මක් නිසා ද යත් ඔවුන්ගේ ජීවිකාව ද කිසියම් දිනක සමාන ප්‍රශ්න කිරීමකට, අද නැතත් ඉදිරියේ දී, බඳුන් විය හැකි නිසා ය.

නිරාගමිකයන්ට එරෙහි ව සියලු ආගම් තම පරස්පර විශ්වාසයන් ඉවත දමා කඳවුරු බැඳගන්නේ ද තමන්ට සරණ තමන් තුළ මිස වෙන තැනක නැතැයි කී බුදුන්ගේ දහමට එරෙහි ව කෝවිල් බුද්ධාගම ජෝතිශ්‍යය හා දේව විශ්වාස ඇතුළු බුදුන් ප්‍රතික්ෂේප කළ මිථ්‍යා විශ්වාස ද සමග එක් ව කඳවුරු බඳින්නේ ද ඒ නිසා ය.

සම්ප්‍රදායට එරෙහිව කැරලි ගැසූ බුදුන්ගේ ආගම අදහනවා යැයි කියන මිනිසුන් සම්ප්‍රදාය කරපින්නාගෙන ඉන්නේ ඒ නිසා ය. පරම්පරාවෙන් ආ පලියට යමක් පිළිගන්නට එපා යැයි ද ශාස්තෘන්වහන්සේ පවා කියූ පමණින් යමක් පිළිගන්නට එපා යැයි ද කී බුදුන්ගේ ආගම අදහනවා යැයි කියන මිනිසුන් පරම්පරාවෙන් ආ දෙයම පිළිගන්නටත් ත්‍රිපිටක දේව ඇදහිල්ලක් සේ භාවිතා කළ යුතු බවටත් ඉන් පිට වෙන කිසිවකට සවන් නොදිය යුතු බවටත් කියන්නේ ද ඒ අනුව ය.

බුදුන් දෙසූ කර්ම ඵල වෙනුවට හිරුගෙ අඵල බලපානවා යැයි ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මිනිසුන්ට හිරිකිතයක් නැතිව දෙසන්නේ ද බෞද්ධ වත් පිළිවෙත් මිථ්‍යාව සමග කළවම් කර එකට පුදන්නට ය.

එහෙම බැලුවහම පෙනෙන්නේ මිනිසුන් අසරණ බවින් මුදන්නට කැප වූ ආගමක් පවා මේ මිථ්‍යා විශ්වාසයන්ගේ ගුප්ත විද්‍යාවන්ගේ ගොදුරක් බවට මේ වන විට පත් කර ගෙන ඇති බව ය.

අප රට තුළ ගුප්ත විද්‍යාවලට තවමත් පැවැත්මක් ඇත්තේ මේ අශුද්ධ සන්ධානයන් නිසා ය. ඊට හරි හරියට රටේ දේශපාලන නායක කාරකාදීහු ද එක් ව සිටිති.. මේ තුළ ඇති බොරුව තේරුම් ගැනීමට ජනතාවගේ වැඩි දෙනකුට පමණක් නොව කප්පරක් දේශපාලනඥයන්ට ද තව තවත් සාක්කි අවශ්‍ය බව එයින් පසක් වේ. ඒ වැඩි දෙනකු අත්දැකීම්වලින් පාඩම් උගන්නට අසමත් බව දිගින් දිගට ප්‍රදර්ශනය කරමින් ඉන්නා නිසා එය ද පුදුමයට කරුණක් නොවේ.

මේ සියල්ලෙන් එකක් නම් පැහැදිලි ය. මේ ගුප්ත විද්‍යා බොහෝමයක් නුදුරේ දී ම අතු ගෑවි යනු ඇති බව ය. එසේ වනු ඇත්තේ කවදා ද යන්න කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණ ය. කාගේ පිළිසරණ ලැබූව ද ඒවා දිගුකාලීනව රැක ගත නොහැකි බව නම් පෙනෙන්නට තිබේ. ඒ ඒවායේ පදනම බොරුව නිසා ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *