දෙමළ සන්ධානය විශ්වාසභංගයට සහාය දෙන්න තීරණය කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කරන ලද ආකාරය හා ධූරයේ සිටි අග්‍රාමාත්‍යවරයෙකු පහකළ අකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වීමත් එය ප්‍රජාතන්ත්‍රවාදයට හා පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට හානි වන ක්‍රියාමාර්ගයක් වීමත් මත මෙම තීරණය ගත් බවද එම සන්ධානය අවධාරණය කර සිටියි.

රටතුළ හටගෙන ඇති දේශපාලන අර්බුදය පිළිබද දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම 2 වනදා පස්වරුවේ රැස්ව ගෙන ඇති මෙම තීරණය ප්‍රකාශ කරමින් නිකුත් කල මාධ්‍ය නිවේදනයෙන් මේ බව සදහන් කර සිටියි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති පුද්ගලයෙකු අග්‍රාමාත්‍යවරයා වශයෙන් ප්‍රකාශ කර බහුතරය පෙන්වීම සදහා අමාත්‍යධූර හා මුදල් අල්ලස් වශයෙන් ලබාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම පිළට එක්කර ගැනීමද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බවත් තම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතාද එම කුමන්ත්‍රණයට හසුවීම දැඩි සේ හෙලා දකින බවත් දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර සිටියි.

මෙම හේතුන් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැඩි ලෙස උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස අග්‍රාමාත්‍යධූරයට පත්කර සිටින මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට පක්ෂව දෙමළ ජාතික සන්ධානය ඡන්දය ලබාදෙන බවත් මෙවන් අවස්ථාවක මධ්‍යස්ථව සිටීම අරාජිකත්වය ජයගැනීමට ඉඩදෙන ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාවක් යන්න දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බවත් එම සන්ධානය සිය මාධ්‍ය නිවේදනය තුළින් අවසන් වශයෙන් අවධාරණය කර සිටියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *