|

මෛත්‍රි මහින්ද තමන්ගේම දේශපාලන මිනීවල හාරාගැනීම – සී.ජේ. අමරතුංග

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිව්රුම් දුන් බව පසුගිය සිකුරාදා රාත්‍රියේ නිවේදනය කරන ලද්දේ මෙරට බහුතර ජනතාව වික්ෂිප්ත කරවමිනි. එසේ කිරීමට නීතිමය ප්‍රතිපාදන මෙන්ම සදාචාරාත්මක වශයෙන්ද හැකියාවක් නැති බව බොහෝ දෙනා දැන සිටියහ. එසේ වුවත් යම්කිසි නීතිමය පදනමක හෝ ආණ්ඩුවේ පිරිසක් ඉවත් වී විපක්ෂයට එක්වීමෙන් හෝ සිදුවන්නට ඇතැයි ඇතැම්විට සමහරු සිතන්නට ඇත. ඒ සියල්ල වෙනස් වුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු බව හා නීත්‍යනුකූල අගමැති තමන් බව ප්‍රකාශකිරීමත් සමගය.

මහින්ද අගමැති වු විට තම ආණ්ඩුවක් බිහි වී ඇතැයි සිතූ පොහොට්ටුවේ ආධාරකරුවෝ රජයෙ මාධ්‍ය ආයතන පාලනය බාරගත් අතර රට පුරා රතිඤ්ඤා පත්තු කරනු අසන්නට දකින්නට ලැබුණි. පසුදින තැන් තැන් වල කිරිබත් කෑම් ද සංවිධානය කොට තිබුණි. එහෙත් එම උද්යෝගය දින කිහිපයකින් පහව ගිය බවක් ද පෙනෙන්නට තිබිණි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කළ බව ප්‍රකාශයට පත් කළ විට ඔහු නිතිමය ක්‍රියාමාර්ග කෙරෙහි යොමුවනු ඇතැයි ජනාධිපතිතුමාගේ පාර්ශවය හා මහින්ද පාර්ශවය ගණන් බලා තිබුණා විය හැක. එමෙන් ම ආණ්ඩුව තුළ සිටින කුඩා පක්ෂ හා මන්ත්‍රිවරු තම පැත්තට ගත හැකිවේයැයි සිතන්නට ඇත.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා සමග අත්වැල් බැඳගත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් තීරණය කළේ මෙය ජනතා සටනක් බවට පත් කිරීමටය. අරලියගහ මන්දිරය සටන් බිම කරගෙන විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්නට විය. එය මහින්ද – මෛත්‍රි පාර්ශවයට අභියෝගාත්මක කාර්යයක් විය.

අරලිය ගහ මන්දිරයෙන් ඉවත් වීමට රනිල්ට දින වකවානු නියම කරමින් තර්ජනය කිරීමට පොහොට්ටුවේ ඇතැම් නායකයෝ ඉදිරිපත් වූහ. රනිල් හෝ එජාප පෙරමුණ එම තර්ජන තුට්ටුවකට හෝ බාර ගත්තේ නැත. ඊළඟට කළේ රනිල්ගේ ආරක්ෂකයන් සංඛ්‍යාව දහය දක්වා අඩුකිරීමයි. එය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිව සිටියදී මහින්දට දී තිබූ දෙසිය විස්සක සංඛ්‍යාවෙන් විසිදෙකෙන් පංගුවකි. රනිල් ගේ ආණ්ඩුවේ ඇමැති වරුන්ගේ ධුර අහෝසි වී ඇතැයි කියමින් ඔවුන්ගේ ආරක්ෂාවද ඉවත් කරනු ලැබීය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරනින් සිටියදී හා මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වු විශ්වාස භංග යෝජනාවෙන් අති විශාල වැඩි ඡන්දයකින් ජයගැනීමෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය තමාට ඇති බව ඔහු තහවුරු කොට තිබිය දී ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයකින් තොරව ඔහු ඉවත් කිරීම බලහත්කාරී දුෂ්ඨ ක්‍රියාවක්ය යන්න මේ වන විට පොදු මහජන මතය බවට පත්ව ඇත.

මේ රටේ සංස්කෘතිය සභ්‍යත්වය ගැන කතාකරන ජනාධිපති සිරිසේන මහතා මේ කැත වැඩේ කළේ තමාව ජනාධිපති කරන්නට විශාල කැපකිරීම් කළ නායකුටය. එය ද මේ රටේ ජනතාව දනිති. විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයෝ මේ බව දනිති. ජනාධිපති තනතුර හිමිවන්නට තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාටය. මෛත්‍රිපාල සිරිසේන මහතාද කීවේ, ‘ඡන්දයකට යන්න එපා. පරදිනවා’ කියා මහින්දට තමන් අවවාද කළ බවයි. එවිට ජනාධිපති අපේක්ෂකයා වන්නට සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාය. සිරිසේන මහතා එතැනට පැමිණියේ ද මහින්ද පරදින බව දැනගෙනය. රනිල් එම පරිත්‍යාගය කළේ මෙරට සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ රාශියක් එක පෙරමුණකට ගෙන එන්නටය. මේ කරුණු දන්නා පොදු මහජනයා කියන්නේ මෙය ඉතාම ගුණමකු ක්‍රියාවක් බවය. එය මෙරට සංස්කෘතියට අනුව ඉතාම පහත් ක්‍රියාවකි.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලයෙන් පහ කළේ එය දූෂිත ආණ්ඩුවක් නිසා බව ජනාධිපති ‍සිරිසේන මහතා ජනතාවට කීවේය. පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. තමන් සමග සිටින නායකයන් සමග මාධ්‍ය ඉදිරියට පැමිණ ඒ බව තහවුරු කළේය. දූෂණයට එරෙහි බව කියා මෛත්‍රි කළේ පාර්ලිමේන්තුව කල් තැබීමය. ඒ මුදලට මන්ත්‍රින් බිලි බා ගැනීමට ඉඩ සලසන්නටය. අල්ලස් දෙමින් ජනවරම කෙළෙසන්නටය. ජනාධිපතිගේ දූෂණ විරෝධයේ තරම ඒකය.

ජනාධිපතිගේ බොරුකීමේ ඉවරයක් නැත. තවමත් හදන්නේ හා කියන්නේ එ.ජා.ප.ය හා රනිල් මහ බැංකුව කැඩූ බවය. ඒ ඔහු පත් කළ කොමිසමේ රනිල් හා එජාපය නිදොස් කොට තිබියදීය. ඒ ගැන පාර්ලිමේන්තුවේ විවාද කරන්නට යන විට ජනාධිපති වාර්තාව එව්වේ නැත. පසුව එව්වේ ද කොටසක් හංගාගෙනය. ඒ නීතිමය ක්‍රියාමාර්ග සඳහා කියාගෙනය. නමුත් ඇති වුවමනාව නම් තවදුරටත් සැකයක් ඉතිරිකර ගැනීමය. වාර්ථාවේ ප්‍රධාන කොටසේ රනිල් හා එජාප ය නිදොස් යැයි කීවද අනෙක් කො‍ටසේ රහස් ඇතැයි කියන්නටය. එසේ රහසක් තිබේ නම් මේ මොහොතේ හෝ එළි කළ යුතුය. දැන් නීති ක්‍රියාවන් ද බොහෝ දුරට සිදු කොට ඇත. එය නොකරන්නේ එවිට රනිල්ට හා එජාපය ට මඩ ගහන්නට තිබෙන ඉතිරි ඉඩත් වැසී යන නිසාය.

එජාප ආණ්ඩුවේ දූෂණ සිදු නොවුනාය කියන්නට අපට බැරිය. එසේ වුවද දූෂණ හෙළි කිරීමට හා ඒවාට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්නට ද කටයුතු යොදාගෙන තිබුණේය. ජනාධිපතිගේ ලේකම් වරයා ද නීතියේ දැලට හසුවිය. ඒ අල්ලස් ගෙන ගමන් කරමින් සිටිය දී ය. ඔහු අල්ලස් ගත්තේ කා වෙනුවෙන්ද යන්නද ප්‍රශ්නයකි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ, පොලීසියේ හෝ අධිකරණයේ ස්වාධීනත්වය තරහවුරු කොට ඇති බවට සැකයක් නැත. ඒ අල්ලස් වළක්වන්නටය. එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කොට ඇත. ඒ යටතේ මහජනයාට බොහෝ තොරතුරු ලබාගත හැකි නිසා දූෂණ සඳහා තිබෙන අවස්ථාද අඩුවෙනු ඇත.

ජනාධිපති කියන්නේ රනිල්ගේ ආණ්ඩුවේ දූෂණ තිබු නිසා මහින්ද අගමැති කළ බවකි. මහින්දගේ රජයේ තිබු දූෂණවලට කියන්න තියෙන්නේ කොල්ලකෑමක් බවය. ඒ බොහෝ දෙනාට මේ වන විටත් නඩුය. ඔවුන්ට ඉක්මනින් ආණ්ඩුව පෙරළන්නට ඕනැ වී තිබුණේ ද නඩු වලින් ගැලවෙන්නටය. මෛත්‍රි මේ හදා දී තිබෙන්නේ ඒ අවස්ථාවයි. ඒ කට්ටියටම එකතු වී සොරකම් කරන්නට මිස වෙන කිසිම හේතුවකට නොවන බව මෙරට ජනයාට අමුතුවෙන් කියා දිය යුතු නැත.

ජනාධිපති මෛත්‍රි මේ වන විට හත්පොලේ ගාගෙන අවසානය. ව්‍යවස්ථාවිරෝධි ලෙස රනිල් බලයෙන් පහකොට මහින්දට බලය දීමත් සමග සිදුව තිබෙන්නේ මේ නින්දිත ක්‍රියාවට එරෙහිව විශාල ජනමතයක් නිර්මාණය වීමයි. මහින්ද රාජපක්ෂට හිතවත් ජනයා පවා කියන්නේ සිදුවුණු දේ හොඳ වුණත් එය කළ ක්‍රමය වැරදි බවයි. මධ්‍යස්ථ ජනයා අතර ඇත්තේ දරුණු විරෝධයකි. එක්සත් ජාතික පක්ෂිකයන් ඉන්නේ දැඩි වෛරයකිනි. කියන්නේ මරාගෙන මැරෙනවා කියාය.

මෛත්‍රි මේ ප්‍රහාරය දුන්නේ එජාප ය ගම් මට්ටමින් ඔළුව උස්සාගෙන එන විටය. මේ වසර මුල වන විට එජාප ය තිබුණේ දුර්වල මට්ටමකය. ජනප්‍රියතාව පහළටම බැහැලාය. ඒ පාක්ෂිකයන්ට රස්සා නොදුන් නිසාය. සමෘද්ධිය නොදුන් නිසාය. වෙනත් කිසිවක් නොලැබූ නිසාය. වසර තුනක් කළේ ආණ්ඩුවේ වියදම් කපමින් ආර්ථිකය ගොඩ දාන එකය.

එජාප ආණ්ඩුවේ මහාපරිමාන වැඩ පටන් ගත්තේ මේ වසරේදීය ගම්පෙරළිය ආරම්භ කළේය. සමෘද්ධි‍ය දෙන්න පටන් ගත්තේය. ග්‍රාම ශක්ති ක්‍රියාත්ම ‍කළේය. ඒ අතර කලින් පටන්ගත් වැඩවල ද ප්‍රතිඵල එන්නේ ඉදිරි කාලයේය. කොළඹ නුවර අධිවේගයේ කොටසක් ලබන වසරේ අවසන් වෙයි. මෙරටට වැඩිම ආයෝජන ආවේ ගිය වසරේය. මේ වසරේ ආයෝජන ඊටත් වඩා වැඩිය. ඒවායේ ප්‍රතිඵල එන්නේ ඉදිරියටය.

මේ අතර මෙවර අයවැය සකසා අවසන්ය. එයින්ද විශාල සහන දෙන්නට සුදානමින් තිබුණු බව කියති. ඒ මොනවාදැයි ජනාධිපති දැන සිටියේය.

මරාන්ති ප්‍රහාරය එල්ල කරන්නේ ඒ මොහොතේය. ඒ සඳහා නිතිය සදාචාරය සංස්කෘතිය බල්ලාට දැම්මේය. වැඩේ කළේ ලැජ්ජා නහර කපාගෙනය. මහජනයාගෙන් එන විරෝධය තුට්ටුවකට සැලකුවේ නැත.කෙසේ වෙතත් මෛත්‍රි එක්සත් ජාතික පක්ෂයට පහර ගසන විට එය ඔවුන්ට ආශිර්වාදයක් වන බවක් ද පෙනෙන්නට ඇත. පක්ෂ නායක රනිල් ගැන විවේචනයක් විරෝධයක් පක්ෂ තුළ තිබිණි. සියලු භේද දුරලා පක්ෂය එක්සත් කර දුන්නේ මෛත්‍රිය. ඒ රනිල් ට අගමැතිකමෙන් ඉවත්වන්නට කීම හා පසුව ඔහුට විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමෙනි. ප්‍රශ්නය අවසන් වුයේ පක්ෂය එක්සත් වීමෙන් හා රනිල් වඩාත් ශක්තිමත් වීමෙනි. මෙවර ව්‍යවස්ථා විරෝධි ලෙස රනිල් ඉවත් කරන්නට යෑමෙන් සිදුව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සියලුබලවේග අනෙක් භේද ප්‍රශ්න අමතක කොට රනිල් වෙනුවෙන් පෙරට ඒමයි. දැන් මෙය නිල්ගේ අගමැතිකම රැකදීමේ ප්‍රශ්නයක් නොවේ. මෙය දැන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය රැකගනීමේ ප්‍රශ්නයකි.

2015 ජනවාරි වෙනසට පෙරට ආ යහපාලන බලවේග මේ මොහොතේ සිටින්නේ අරලිය ගහ මන්දිරයේ සටන් බිමේය. ඉතිරිව සිටින්නේ දුමින්ද දිසානායක පමණකි. අන් සියලු දෙනා දැන් රනිල් සමග එකම පෙරමුණකය. මෛත්‍රි වටා සිටින සියලුම දෙනා එදා යහපාලන සටනට එරෙහිව මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවෙන් පෙනී සිටි උදවියයි.

රනිල්ගේ වැරදි අඩුපාඩු ‍ගැන මේ සටන තුළ සාකච්ඡාවක් නැත. ඒ සියල්ල යට ගොස් තිබෙන්නේ ප්‍රධාන සටන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සටන බවට පත් කරමිනි. එයින් ප්‍රජාතන්ත්‍රවාදි බලවේග වලට නව ජවයක් ලැබී ඇත. ලිබර්ටි වට රවුමට පනස් දහසක් කැඳවන විට ලක්ෂකට වැඩි පිරිසක් පැමිණියේ ඒ නිසාය. ඒ සියලු දෙනා අවේ ජනාධිපති කළ එම වැඩයට විරුද්ධ වන්නටය. සිදුව තිබුණේ එක්සත් ජාතික පක්ෂ නව ජවයකින් ඉදිරියට ඒමයි.

මේ මොහොතේ මෛත්‍රිගේ ජනප්‍රියතාව බිංදුවට බැස ඇත. මෛත්‍රිට හා හයපාලනයට සහය දුන් කිසිවකු මහින්ද යළි අගමැති කිරීම අනුමත කරන්නේ නැත. ව්‍යවස්ථා විරෝධීව සදාචාර විරෝධීව එසේ කිරීම කොහොමටත් අනුමත කරන්නේ නැත. දුමින්ද දිසානායකලා කියන්නේ ජනාධිපතිතුමාගේ වැඩ නිසා අපට ගමට යන්නට බැරි වෙන බවයි. නැවත වරක් ජනාධිපති වන්නට හිතාගෙන මේ වැඩේ කළානම් ඇත්ත වශනේම සිදුව තිබෙන්නේ ඒ සඳහා යම් අවස්ථාවක් තිබු‍ණානම් එයද අහිමි කර ගැනීමයි.

මහින්දගේ ජනප්‍රියතාවයට ද මෙයින් පහරක් වැදී ඇත. මහින්දවාදීන් බොහෝ දෙනා ඔහු බලයට එනවාට කැමති වුවද මේ ආකාරයෙන් බලය ගැනීම අනුමත කරන්නේ නැත. පළමු දිනයේ ඔවුන් අතර තිබූ උද්යෝගය දෙවැනි තෙවැනි දින වනවිට දියවී ගියේ ඒකය.

මීට වසර දෙකකට පෙර අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් ඉවත් කොට ගෙදර යවා මහින්ද රාජපක්ෂ පාලනය ජයපැන් බීවේය. ඒ ඔවුන් එම සිද්ධියත් සමග තමන්ගේම මිනීවල හරාගත් බව නොදැනය. මහින්දට 2015 ජනාධිපති තනතුර අහිමීවීමට බලපෑ ප්‍රධාන හේතුවක් නම් අගවිනිසුරු තුමිය නින්දිත ආකාරයෙන් ගෙදර යැවීමයි.

අද පවතින දේශපාලන බල පොරය කොයි අතට පෙරළේදැයි තවම කිව නොහැකිය. රනිල්ගේ අතමැතිකම තහවුරු වීම හෝ ව්‍යවස්ථා විරෝධිලෙස පත්වු මහින්ද බලය හා මුදල් යොදා  තනතුර රැක ගැනීම හෝ සිදුවිය හැකිය. එසේ වුවද මෙම නින්දිත බල මාරුව මගින් මෛත්‍රිත් මහින්දත් දෙනොම තම තමන්ගේ දේශපාලන මිනී වළවල් හරාගත් බව තේරුම් ගන්නට ටික කලක් ගත වෙනු ඇත.

සී.ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *