මේ අර්බුදය විසඳීමට තිබෙන කෙටිම හා සරලම ක්‍රමය පාර්ලිමේන්තුව කැඳවල පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නෙ කාටද කියල විමසා බැලීමයි – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

දැනට රටේ උදාවෙලා ඇති තත්ත්වය කෙටියෙන්ම විග්‍රහ කරන්න පුලුවන් කොයි ආකාරයකටද?

මේක ප්‍රතිවිප්ලවකාරී උපයෝගිතාවක් තියන අවස්ථාවක්. ඒ වගේම මේක විසදා ගැනීමට හැකිවෙන්නේ ජනතාවගේ මැදිහත්වීමෙන්ම කියලයි කියන්න ‍පුලුවන්. හිතුවක්කාර ලෙස සම්ප්‍රදායන් කඩල බලය අල්ලා ගැනීමක් මෙතන තියනව. ඒක විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමටත් ඒ අය කැමති නෑ. ඒ තත්ත්වය යටතේ වීදි සටන් වලට තමයි යන්න වෙන්නෙ. හමුදාවල මැදිහත්වීම පවා ලබාගෙන ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා විදී සටන් කිරීමේ වැඩ පිළිවෙලක් තමයි ජනතාවට ඉතුරු වෙලා තියෙන්නෙ.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වී ගෙන යනව‍ නම්, විදේශ රටවල ඍජු මැදිහත් වීමක් ඇති වෙයි කියල හිතන්න පුලුවන්ද?

විදේශ රටවල් කොයි පැත්තට මැදිහත් වෙයිද කියල කියන්න බෑ. සමහර ප්‍රතිගාමි පාලකයන් මේ තත්ත්වය රැකගැනීමට උදව් වෙන්න පුලුවන්. අනිත් අය ප්‍රජාතන්තු වාදය රැකගැනීමට උදව් වෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදි කොටස් වලට කොටසක් උදව් වෙද්දි ප්‍රතිගාමි කොටස්වලට අනිත් අය උදව් වෙන විවෘත සිවිල් යුද්ධයක් බවට පත්වෙන්න ඉඩ තියෙනව.

මේක විසඳීමට තියන කෙ‍ටිම සහ සරලම ක්‍රමය ‍කුමක්ද?

කෙටිම හා සරලම ක්‍රමය පාර්ලිමේන්තුව කැඳවල පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නෙ කාටද කියල විමසා බැලීමයි. ඒකට දෙපිරිසම එකඟ විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදි විසඳුම් මාර්ගය ඒක. ඒක ඉක්මවා යන්න ගියොත්, ඒක හකුළුවා දමන්න හැදුවොත්, ජනතාව ලක්ෂගණනින් පාරට එනවා. ඊයෙ රැස්වීමෙ ජනතාව අපිට දොස් කිව්වා ඇයි මෙච්චර පරක්කු වෙන්නෙ කියලා. ලක්ෂ ගණනක් ජනතාවගේ කෝපය එතනදි පෙනුනා.

පාර්ලිමේන්තුව කැඳවන බවක් පෙනෙන්න නෑ නේද? 16 වෙනිදට කැඳවයි ද? නැත්නම් ඊට ප්‍රථම කැඳවයිද? එහෙමත් නැත්නම් තවත් කල්යයිද?

16 වෙනිදත් කැඳවීම සැක සහිතයි. එක එක නීති බාස්ලා ඉන්නවනෙ. විජේදාස රාජපක්ෂ කියන්නෙ එදාට අපේ අයවැය ලේඛනය ගේනවා. අයවැය ලේඛනයට ඡන්දය ලැබෙන පිළවෙල අනුව ආණ්ඩුව කොයි පැත්තෙද කියල කියන්න පුළුවන් කියල. අයවැය විවාදයක් ගෙනල්ලා ඒක තුළින් යම්කිසි වාසිදායක උපක්‍රමයක් ගන්න හදනව.

ඒ තුළින් බහුතරය තීරණය කරන්න බැරිද?

ගෙන්න ඕන අයවැය විවාදයක් නෙමේ. පාර්ලිමේන්තුවෙ බහුතරය තියෙන්නෙ කාටද කියල බලන එකයි තීරණය කරන්න අවශ්‍ය.

නීතිඥ උදය ගම්මන්පිල මහතා කියනව මේක ශ්‍රේෂ්ඨාධිකරනයට ගිහින් විසඳාගත යුතුයි කියල?

ඒ කට්ටියට අවශ්‍යනම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. අපේ කිසි විරුද්ධත්වයක් නෑ ඕන කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාට. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත් පාර්ලිමේන්තුව විවෘත කරල බලන්න ඕන‍ කොයි පැත්තකටද බහුතරය තියෙන්නෙ කියල.

නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරල ති‍යනව. එහි ප්‍රතිඵලය කුමක් වෙයිද?

මම හිතන්නෙ නෑ ශේෂ්ඨාධිකරණයෙන් නිශ්චිත තීන්දුවක් ලැබෙයි කියල. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත් තීන්දුවක් ගන්න ආයෙත් පාර්ලිමේන්තුවට එන්න වෙයි. ව්‍යවස්ථානුකූල හා සදාචාරාත්මක ක්‍රමය තමයි පාර්ලිමේන්තුව විවෘත කරල කාටද බහුතරය තියෙන්නෙ කියල බලන එක.

මෛත්‍රි මහින්ද හවුල පාර්ලිමේන්තුව කල්දමමින් බහුතරය හදාගන්න උත්සාහයක යෙදී ඉන්න බව පේනව නේද?

විවිධාකර බලපෑම් වලින් මේ තියන පාර්ලිමේන්තුවෙ වැඩි බලයක් හදාගන්න ඒ ගොල්ල උත්සාහ කරනව. ඒකට යටවෙලා සමහරු ජනතාව පාවාදෙනව නම්, ඒකට මොකුත් කරන්න බෑ. ඒකෙ ප්‍රතිඵල පස්සෙ බලාගන්න පුලුවන් වෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි සංඛ්‍යාව හයදෙනෙක් ඉන්නවා. අවසානයේ බහුතරය විමසීම තීරක ඡන්දයක් වුණොත් ජේ.වී.පී. මොනවගේ තීරණයක් ගනිවි කියල උපකල්පනය කරන්න පුළුවන්ද?

ඔවුන් කියල තියනව ප්‍රජාතන්ත්‍රවාදයට හරස්වෙන ගමනක් යන්න කවුරුහරි ඉදිරිපත් වෙනව නම්, ඔවන් ඊට විරුද්ධව ඉදිරිපත් වෙනව කියල.

ඒ අනුව බලනකොට එජාප ඡන්දයි, එජාපය වටා ඉන්න පක්ෂවල ඡන්දයි, දැනට පාර්ලිමේන්තුවේ විපක්ෂය වන සම්පන්දන්ගෙයි ඡන්දයි එක්ක බලන විට රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරයක් හදාගැනීමට හැකි බව පේනවා නේද?

අනිවාර්යෙන්ම. ඒක එහෙම තමයි.

නමුත් මේ වන විට කෝටි ගණන්වල ලොකු ලොකු ලන්සු, වරදාන වරප්‍රසාද දෙන්න සූදානම් බවට වාර්ථාවෙනවා. ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් වෙන්දෙසියේ දාන්න ඉතිරි කරගෙන තියාගෙන ඉන්න බව පේනවා. මේ තත්ත්වය යටතේ බහුතරය රැකගත වෙයි කියල හිතනවද?

අනිවාර්යෙන්ම බහුතරය තියෙනව. මෙතනදි ජාතිවාදි පැසිස්ට්වාදි පිරිස පමණයි ඒ ගොල්ල එක්ක එකතු වෙන්නෙ. ජාතිවාදයට විරුද්ධ එහෙමත් නැත්නම් ජාතිවාදයෙන් බැටකාපු සුළුජාතිකයො ඔක්කොම රාජපක්ෂට විරුද්ධයි. ඒ අය කවදාවත් මේ හොර නඩයට ඡන්දය දෙන්නෙ නැහැ.

ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, සුළු ජාතිකයන්ගෙ අයිතිවාසිකම් ආරක්ෂා කරන, ජාතිවාදය හා ආගම්වාදය හෙළා දකින පාර්ලිමේන්තු බලවේගය දිනනව.

සිවිල් සංවිධාන, පුරවැසි බලය, ප්‍රබුද්ධ ජනතාව, ජාතිවාදය පිටුදකින, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ‍ජනතාව, වෙනත් ජාතින් නියෝජනය කරන පක්ෂ එකතුවෙලා නිර්මාණය කළ විප්ලවය ජනතා ව්‍යාපාරය මේ හදිසි පත්වීම නිසා දියවෙලා ගියානේද?

ඒක දියවෙලා නෑ. දිය කරන්න හදනවා. ඒක එහෙම වෙන්න ඉඩ දෙන්නෙ නෑ. ඒක ඉදිරියට ගමන් කරනව. ඒකට මූලිකත්වය ගත්තෙ අපි. සමහර අය ඇද වැටිල තියෙනව. ඒත් ඒක නවතින්නෙ නෑ. අලුත් අය එකතු වෙනවා. ඒ සටන නොනැවතී ඉදිරියට යනවා.

යළිත් එවැනි බලවේගයක් ගොඩනැගිය හැකිවේයයි විශ්වාස කරනවද?

ඔව්. මේ රටේ සාමය හා සාධාරණත්වය වෙනුවෙන් ඒ සටන දිනන තුරු ඉදිරියටම යායුතුයි.

මනෝජ් රූපසිංහ

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *