19 වන සංශෝධනයෙන් පසුව අගමැතිවරයා හිතුමතේ ඉවත් කරන්න ජනාධිපතිවරයාට බලයක් නෑ.අගමැතිවරයාව ඉවත් කරන්න පුලුවන් පාර්ලිමේන්තුවට පමණයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ජයම්පති වික්‍රමරත්න මහතා එසේ ප්‍රකාශ කළේ ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෘත්තිකයෝ’ විසින් සංවිධානය කළ ‘ජනමතයට ගරු කරනු පාර්ලිමේන්තුව වහා කැඳවනු’ යනුවෙන් .  ඊයේ (31) සවස පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ දී පැවැති පැවති සම්මන්ත්‍රණය අමතමිනි. මෙම අවස්ථාවට දඹර අමිල හිමි ඇතුළු වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය එච්. ඩබ්ලිව්. සිරිල් කථිකාචාර්ය චින්තන රණසිංහ, කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ, ප්‍රවීන කලාකරු තේනුවර, සිරිමසිරි හපුආරච්චි, රාජා උස්වැටකෙයියාව, ජාතික නීතිඥ සංගමයේ ලිලාන් අමරකෝන්, ජාතික විද්වත් සභාවේ කැඳවුම්කරු බන්දුල චන්ද්‍රසේකර යන මහත්වරුන්ද සහභාගිවී සිටියහ.

එහිදී තවදුරටත් කතා කළ ජයම්පති වික්‍රමරත්න මහතා, 19 වන සංශෝධනයේ තිබුණු තවත් විශේෂ වෙනස් කමක් තමයි, ‘අගමැතිවරයාගේ උපදේශය නොමැතිව ඇමතිවරයෙක් හෝ නියෝජ්‍ය ඇමතිවරයෙක් පත්කරන්නවත්, අස්කරන්නවත් ජනාධිපතිවරයාට බලයක් නෑ.’ කියන වගන්තිය

1978 ව්‍යවස්ථාවෙ, 19 වන සංශෝධනයට පෙර, අග්‍රාමාත්‍ය වරයා පත්කිරීමේ දී තිබුණු විධිවිධාන සහ 19 වෙනි සංශෝධනයට පසුව ඇති ආකාරය වෙනස්. පත්වීම හා ඔහුගේ හෝ ඇයගේ දුර කාලය අවසන් වීම ද වෙනස්. මුල් ව්‍යවස්ථාවේ 43 වගන්තියෙන් කියනව, පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇතැයි කියා ජනාධිපතිවරයා කල්පනා කරන මන්ත්‍රි වරයා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතුයි කියල. ‘කල්පනා කරන පුද්ගලයා’ කියන කොටස  මේ සැරේ වෙනස් කෙරුවා ඊට වඩා ඊට වඩා ශක්තිමත් කරල. 19 වන සංශෝධනයට පස්සෙ කියනව, ‘ජනාධිපතිවරයා පත් කරන්නේ කවරෙක්ද? ඔහු විසින් පත්කරනු ලබන‍්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති කෙනාව’ කියල.

ඉස්සර කල්පනා කෙරුවම ඇති. දැන් එහෙම බෑ. මතයකට එන්න නම් යම්කිසි කාරණාවකට පදනම් වූ මතයක් වෙන්න ඕනැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය අනුව මතයකට පැමිණීම අභියෝගයකට ලක් කෙරුවොත්, ඒ පුද්ගලයා කියන්න ඕන අධිකරනයට හෝ අදාල අයට මේ මතයට පැමිණීමට ‍හේතු වූ කාරණා මේවයි කියල. ‘කල්පනා කරලන’ කියන එක බෑ.

කලින් ව්‍යවස්ථාවෙ තිබුණ තත්ත්වය තමයි (19ට පෙර තතත්ත්වය) 43 වන වගන්තිය යටතේ ඕනැම අවස්ථාවක කිසිවෙක්ට හේතු දක්වන්නේ නැතුව අගමැතිවරයා හෝ ඕනෑම ඇමතිවරයෙක් හෝ ඕනෑම නියෝජ්‍ය ඇමතිවරයෙක් හෝ ඉවත් කරන්නට පුලුවන් ජනාධිපතිවරයාට. ඒක වෙනස් කෙරුණා. වෙනස් කෙරුණෙ 2015 ඇති වුණ වෙනස මත පදනම් වී හදාගත් 19 වන සංශෝධනය මත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතා කරනකොට විශේෂයෙන්ම ඊට පසුබිම් වූ කරුණු සාකච්ඡා කරන්න ඕන. සැලකිල්ලට ගන්න ඕන. පාර්ලිමේන්තුවේ අභිප්‍රාය වුණේ මොකක්ද?  මොකක්ද පාර්ලිමේන්තුවේ අරමුණ වුණේ? කියන එක සලකා බලන්නට ඕන. මේ තත්ත්වය වෙනස් වුණා, කිසිම කොන්දේසියකට යටත් නොවී ‘ඕනැම වෙලාවක ජනාධිපතිවරයාට පුලුවන් වුණා නම් අගමැතිවරයා ඉවත් කරන්න’ ඒක වෙනස් කරනු ලැබුවා.

අලුත් තත්ත්වය යටතෙ, 46/2 වගන්තිය යටතෙයි, මේ ප්‍රශ්නයට අදාල වන සියලුම වගන්ති තියෙන්නෙ. එහි ඍජුවම කියනව. එහි තමයි අගමැතිවරයාගෙ ධුර කාලය ගැන සඳහන් වන්නේ. එහි තියෙනව, අග්‍රාමාත්‍ය වරයා ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවඑයාට දන්වන ලිපියක් මගින්, හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙක් නොවූවොත් මිස (සමහර විට යම් නුසුදුසු කමකට ලක්වෙලා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්වන්නේ ද ඒතාක් කල් තනතුර දැරිය හැකියි කියල. එතකොට පැහැදිලි ලෙසම 19 වැනි සංසෝධනය යටතෙ අග්‍රමාත්‍ය වරයාගේ ධුර කාලය තීන්දු වෙන්නේ ඉල්ලා අස්වෙන්න ඕන. නැත්නම් නුසුදුසු කමක් වෙන්න ඕන. අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම උඩ තමයි අගමැතිවරයාගේ පැවැත්ම තීරණය වන්නේ.

අමාත්‍ය මණ්ඩල‍යේ පැවැත්ම පිළිබඳව සඳහන් වෙන්නේ, 48/2 වගන්තියෙ. පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ එහෙමත් නැත්නම් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය ලේඛනය) ප්‍රතික්ෂේප වෙන්න ඕන. එහෙමත් නැත්නම් ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත වෙන්න ඕන. ඒ වගේ වෙලාවට තමයි අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නෙ. මේ කරණා තුනෙන් එකක්වත් සිද්ධ වෙලා නැහැ.

ඔක්තොම්බර් 26 වෙනිදා හවස තමයි මේ ඊනියා ඉවත් කිරීම කරනු ලැබුවේ, 25, 26 දවස් දෙකේම ආණ්ඩුව පනත් දෙකක් සම්මත කරගත්තා. ඉදිරිපත් කරනලද යෝජනා සම්මත කරගත්තා. මූල්‍ය පනතක් වන මුදල් කෙටුම්පත් පනතක් පවා 26 වෙනිදා සම්මත කර ගත්තා. ආණ්ඩුවට බහුතරය තිබීම පිළිබඳව කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නට බෑ. ඒ අනුව ප්‍රකාශිත එක විධිවිධානයයි තියෙන්නෙ, ධුර කාලය පිළිබඳ. ඒ තමයි 46/2 ඒ අනුව එම වගන්තියේ තියෙන අවස්ථා‍වලින් තොරව අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට පුලුවන් කමක් නෑ.  මේ ගත්ත තීරණ සියල්ලම අවලංගු වෙනවා.

මේ සාකච්ඡාව තුළ මතුවෙලා තියනව තවත් වගන්තියක් 41 වගන්තිය. එහි ඉංග්‍රිසි පිටපතේ, අනනුකූලතාවයක් තිබෙනව, අනනුකූලතාවය පාවිච්චි කරමින් ජනාධිපතිවරයාට බලයක් ලැබෙනවා කියල අගමැතිවරයා ඉවත් කිරීමට. අනනුකූලතාවයක් තිබෙනව තමයි. ඉංග්‍රිසි පිටපතේ තිබෙන්නෙ, අගමැතිවරයා මියගියහොත්, එහෙම නැත්නම් ඉල්ලා අස්වුවහොත් හෝ එහෙමත් නැත්නම් අන්‍ය ක්‍රමයකින් අගමැති ධුරය අහෝසිවුවහොත්. අයවැය පරාජයවුවුහොත්, විශ්වාස භංගයක් පරාජය වවහොත් ජනාධිපතිවරයාට පුලුවන් අලුත් අගමැති වරයෙක්, අලුත් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කරන්න.

19 වන සංශෝධනයේ තිබුණු තවත් විශේෂ වෙනස් කමක් තමයි, අගමැතිවරයාගේ උපදේශය නොමැතිව ඇමතිවරයෙක් හෝ නියෝජ්‍ය ඇමතිවරයෙක් පත්කරන්නවත්, අස්කරන්නවත් ජනාධිපතිවරයාට බලයක් නෑ. ජනාධිපතිවරයාට අගමැතිවරයා හිතුමතේ පත්කරන්න බලයක් තියෙන්න බෑ. ප්‍රකාශිත එහෙම බලයක් කොහෙවත් නෑ. ව්‍යංගයෙන් බලය තියෙනව කියල කටයුතු කරන්න කිසිවෙකුටත් බෑ.

මම කලිනුත් කිව්වා ඉංග්‍රිසි එකෙයි සිංහල එකෙයි අනනුකූලතාවයක් තියෙනව. අගමැතිවරයා මියගියහොත්, එහෙම නැත්නම් ඉල්ලා අස්වුවහොත් හෝ එහෙමත් නැත්නම් අන්‍ය ක්‍රමයකින් අගමැති ධුරය අහෝසිවුවහොත්අගමැතිවරයෙක් පත්කරන්න පුලුවන් කියල. මේ වගන්තිය අග්‍රාමාත්‍යවරයගෙ ධුර කාලය පිළිබද තියෙන වගන්තිය නෙවෙයි. අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය පිළිබඳ එකම එක වගන්තියයි තියෙන්නෙ. ඒක තමයි මම කලින් කියපු 46/2 වගන්තිය. ඒ කියන්නෙ පුරප්පාඩුවක් ඇති වූ විට පත්කරන්න බලය දෙනව. සිංහල ඉංග්‍රිසි පරිවර්තන වලදි යම් දෝෂ වෙලා ඒ වචනය නෑ.

ඉතා පැහැදිලි ලෙසම පත්කිරීම හා ඉවත් කිරීම ප්‍රකාශීත විධිවිධානයක් යටතේ කළ යුතුයි. ව්‍යංගයෙන් කියන්න බෑ මට බලය තියෙනව කියල. බලය ප්‍රකාශිතවම තියෙන්න ඕනෙ. එවැනි වගන්තියක් අගමැතිවරයා ඉවත් කිරීමට මේ ව්‍යවස්ථාවේ නෑ.

එම නිසා කෙනෙක් අහන්න පුලුවන් එහෙනම් ඉවත් කිරීම යනුවෙන් අදහස් කරන්නෙ ‍‍මොකක්ද කියල. මෙවැනි පරස්පරයන් භාෂාවන් අතර තිබුණු පළවෙනි අවස්ථාව මේක නොවෙයි. ඒ වෙලාවට මොකද කරන්නේ මේ සියල්ලම අරන් මොකක්ද පසුබිම කියල බලල මුළු ව්‍යවස්ථාවම දිහා බලනව බලයක් ලැබිල තියෙනවද කියල. ඒ අනුව කිසිම ප්‍රකාශිත බලයක් ජනාධිපතිවරයාට නැහැ. එම නිසා මේ ඉවත් කිරීමෙන් ධුරය නැතිවෙනව කියන එකට දියහැකි එකම අර්ථකථනය තමයි, එම වගන්තියේම 2වන උප වගන්තියේම තියෙන අර සඳහන් කළ එකක් අහෝසි වීම සම්බන්ධයෙන් අගමැති ධුරය ඉවත්වීම.

පාර්ලිමේන්තුවට පමණයි පුලුවන්‍ වෙන්නෙ අගමැතිවරයාව ඉවත් කරන්නට. ඉල්ලා අස්වීමෙන් හෝ අයවැය යෝජනාව පරද්දල, විශ්වාභංග යෝජනාවක් පරද්දලා මිසක් වෙනත් කිසිම ආකාරයකින් එය කරන්න බැහැ.

මනෝජ් රූපසිංහ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *