හානි පූර්ණයෙන් සංහිදියාවට – නිශාන්ත කමලදාස

පසුගිය සතියක දෙකක කාලයේ යුද්ධයෙන් හා කැරලි කෝලාහලවලින් විපතට පත් ජනතාවට හානි පූර්ණය කිරීම සඳහා පනතක් ගෙනා බව ඇතැම් මාධ්‍යවල පළ වී තිබුණු අතර ඒ වකවානුවේ ම තවත් මාධ්‍ය ගණනාවක දක්නට ලැබුණේ කොටින්ට වන්දි ගෙවීමට පනතක් ගෙනා බව ය. මේ පනත් “දෙක ම“ එක ම වකවානුවේ ගෙනා බවක් ඒ මාධ්‍ය වාර්තා බැලූ විට පෙනෙන්නේ ය.

පනත ගැන දැඩි විරෝධයක් පළ වී තිබුණේ ය. වැඩියත්ම ඒ විරෝධය දකින්නට ලැබුණේ මූණු පොතේ සැරිසරද්දී ය. පහුගිය දිනවල සුසන්තිකා හැරුණු විට වැඩිපුරම බැණුම් ඇසුවේ මේ පනතට පක්ෂව ඡන්දය දුන් අය ය.

ඒ ඡන්දය දුන් අය වෙන වෙනම තනි තනිවම නම් කරමින් විරෝධය එල්ල කර තිබුණේ ය. ඉන් එකක තිබුණේ තමන්ට බෝම්බ ගැසූ කොටින්ට වන්දි දෙන්නට නිමල් සිරිපාල හිටපු ඇමතිතුමා කටයුතු කර ඇතැයි යන්න ය. එතුමාගේ තුවාළ ලැබ සිටි ඡයාරූපයක් ද ඒ සමග පළ වී තිබුණේ ය. සජිත් ප්‍රේමදාස හා නවීන් දිසානායක හිටපු ඇමතිවරුන්ට එල්ල වී තිබුණු චෝදනාව ඊටත් වඩා බරපතළ ය. ඒ තමන්ගේ පියාණන් මැරූ කොටින් ට වන්දි ගෙවීමට ලජ්ජා නැතිව අත ඉස්සූ බව ය. ඒ සඳහා ද ඒ දෙදෙනාගේ පියවරු දෙපළ තුවාල ලැබූ ත්‍රස්ත ප්‍රහාරවල ඡයාරූප පවා යොදා ගෙන තිබුණේ ය.

එසේ පෞද්ගලික සම්බන්ධයක් සොයා ගැනීමට නොහැකි වූ අයට පහර ගසා තිබුණේ අරන්තලාවේ අනුරාධපුරයේ සහ වෙනත් තැන්වල ත්‍රස්ත ප්‍රහාරවල බියකරු ඡයාරූප සමග ය. ඒ හැම එකක ම මේ අය තනි තනිව හඳුනා ගන්නා ලෙසත් ඒ අය ගැන වග බලා ගන්නා ලෙසත් ඉල්ලා තිබුණේ ය. ඒ කෙසේ දැයි ඇතැම් තැනක පැහැදිලිව නොතිබුණත් නිශ්චය අනතුරු ඇඟවීමක් පැහැදිලිව ම දක්නට ලැබුණේ ය.

ඡන්දය දීම

පසුව දැන ගන්නට ලැබුණු පරිදි මේ කියන පනත ජයග්‍රහණය කර තිබුණේ ඊට පක්ෂව ඡන්ද 59 ක් ද විපක්ෂව 43 ක් ද ලැබීමෙන් ය. පක්ෂව එජාපය, ශ්‍රීලනිපය සහ දෙමළ ජාතික සන්ධානයත්, විපක්ෂව ඒකාබද්ධ විපක්ෂයත් ඡන්දය දී තිබුණේ ය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඡන්දය මග හැරියේ ය. ඒකාබද්ධ විපක්ෂයේ 70 දෙනා බැරිවෙලාවත් පැමිණ සිටියේ නම් පනත පරාජය කරන්නට වුව පුළුවන්කම තිබුණේ ය. එහෙත් එහෙම වුණේ නැත. එසේ නොපැමිණීමෙන් අනියමින් සහයෝගය දැක්වූ අයට එරෙහිව මූණු පොතේ වෛරයක් ගොඩ නගා තිබුණේ ද නැත. එය එසේ නොවූයේ ඇයි දැයි හරි හැටි පැහැදිලි ද නැත. ඒවා මේ සිද්ධිය විවරණය කරන්නට යන අය විසින් සැලකිය යුතු කාරණා ය.

යුද්ධයෙන් හා කැරලි කෝලාහලවලින් විපතට පත් වූ හා පත්වන ජනතාවට හානි පූර්ණය කිරීම සඳහා පනතක් ගෙනා බවට පළ වූ වාර්ථාවලට අනුව උතුරු නැගෙනහිර ගැටුම හේතුවෙන් එහි පසුවිපාකයන්ගෙන්, දේශපාලන නොසන්සුන්තා සහ සිවිල් අරගලයන්ගෙන්, පුද්ගල කණ්ඩායම් හා ජනකොට්ඨාසවල අයිතිවාසිකම් බරපතළව උල්ලංඝනය වීම් හේතුවෙන්, බලහත්කාරයෙන් අතුරුදන් කරනු ලැබීම් හේතුවෙන් පීඩාවට පත්වූවන් හානි පූර්ණය ලැබීමට සුදුසුකම් ලබනු ඇත.

හානි පූර්ණ පනත

ඉහත ලයිස්තුව බැලීමෙන් විපතට පත් ජනතාවට හානි පූර්ණය කිරීමේ පනත කොටින්ට වන්දි ගෙවීමේ පනතක් හැටියට අර්ථ දැක්වීමට එසේ අර්ථ දැක් වූ අය විසින් යොදා ගෙන ඇති තර්කය පැහැදිලි කර ගත හැකි ය.

උතුරු නැගෙනහිර ගැටුම් හේතුවෙන් අගතියට පත් කියන විට ම යුද්ධයේ දී අතපය අහිමි වූ අය ද ඇතුළත් ය. ඒ තුළ එල්ටීටීඊ සමාජිකයින් ද සිටිය හැකි ය. එවැන්නන් බැහැර කර නැති නිසා එසේ නිගමනය කිරීම සාධාරණ ය. කොටින්ට වන්දි ගෙවනවා යැයි කියන්නේ මේ පැරණි එල්ටීටීඊ සමාජිකයන්ට ද වන්දි ගෙවනවා යයි කියන කාරණයට ය.

මේ එල්ටීටීඊ සමාජිකයන් යයි කියන අය අතර ළමා සොල්දාදුවෝ ද සිටිති. ඔවුන්ගේ පවුල්වල අය ද සිටිති. ඔවුන් ළමා සොල්දාදුවන් ලෙස බන්දා ගනු ලැබුවේ බලාහාත්කාරයෙනි. ඔවුන් අද විඳවන්නේ තමන්ව මුළා කරන ලද මිනිසුන්ගේ පාප කර්මයන් බව අපට නොදැනෙන තරමට අප මේ සම්බන්ධයෙන් අසංවේදී ය.

ඡයාරූප දමමින් ඝෝෂා කරන මිනිසුන් අමතක කරන කාරණය නම් එල්ටීටීඊ සමාජිකයන් හැටියට සිටි බොහෝ දෙනකු පසු කලෙක තමන් කළ වැරදි පිළිගෙන ඉන් ඉවත් වූ බව ය. ඒ ගැන ඇති තරම් පාපෝච්චාරණ කර ඇති බව ය.

යුද්ධයට පරිබාහිර ව අහිංසක නිරායුධ මිනිසුන්ට එරෙහි ව ත්‍රස්ත ක්‍රියාවන්හි යෙදීම නිසා දැනටමත් චෝදනා ලැබ අධිකරණ ක්‍රියාවන්ට භාජනය වී සිටින අය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීම නතර කිරීමට මේ හානි පූර්ණ පනතින් අවසර ලැබෙන්නේ නැත. හානි පූර්ණ පනතින් අවසර ලැබෙන්නේ දැනට පුනරුත්ථාපනය වී සිටින එල්ටීටීඊ සමාජිකයන් ද ඇතුළුව යුද්ධයෙන් විපතට පත් සියලු දෙනාට ජාති ආගම් භේදයකින් තොරව යම් සහනයක් ලබා දීමට පමණ ය. ඒ අයට යුද්ධයෙන් ශාරීරික ආබාධ ලබා ඇති අය පමණක් නොව මානසික කම්පනයන්ට ලක් වී ඇති අය ද දේපළ අහිමි වී ඇති අය ද නොසලකා හැරීම් සිදු වී ඇති අය ද අයත් ය.

මේ සියලු දෙනා සම්බන්ධයෙන් මැදිහත් වීමට ආණ්ඩුවට පමණක් නොව රටක් හැටියට සමාජයක් හැටියට අපට ද යුතුකමක් තිබේ. ඒ පීඩාවට පත් වී ඇති අයට ජීවිත යළි ගොඩනගා ගැනීමට අත්වැලක් අවශ්‍ය නිසා ය. සිදු ව ඇති හානිවලට වෙන මොනවා නැතත් අඩු ම වශයෙන් මුල්‍යයමය වන්දියක් ගෙවිය යුතු ව තිබෙන නිසා ය. වෛද්‍ය පහසුකම් හා මානසික ආරක්ෂාව ලබා දිය යුතු ව තිබෙන නිසා ය. මෙවැනි සිද්ධීන් නැවත ඇති නොවීමට සමාජයක් හැටියට සහතිකයක් දිය යුතු ව වගබලා ගත යුතුව තිබෙන නිසා ය.

යුද්ධයෙන් දෙපැත්තේම මිය ගියේ ද අබාධිත වූයේ ද අපේ රටේ මිනිසුන් ය. අපේ බුද්ධියේ පටු සීමාවන් නිසා අපට කල් ඇතුව නතර කර ගැනීමට බැරි වූ ඒ අවාසනාවන්ත යුද්ධය දැන් අවසන් වී දශකයකට ආසන්න ය. යුද්ධය අවසන් වි දිගු කාලයක් ගත වුව ද එහි තුවාල තවම අප සතු ය. ඒ තුවාලවල වේදනා අමතක කොට සිදු වූ අවාසනාවන්ත සිද්ධිය දෙස මෛත්‍රී සහගතව බලන්නට අපට තවමත් නොහැකි ව තිබේ. යුද්ධයෙන් විපතට පත්වූවන් දෙපාර්ශ්වයේම මිනිසුන් ගැහැනුන් දරුවන් සම්බන්ධයෙන් එක හා සමාන සහකම්පනයක් ඇති කර ගැනීමට අපට නොහැකි ව තිබේ. ඒ අප උදේ හවස මෛත්‍රීය වඩන්නට කැපවුණු ආගමක් අදහමින් සිටින් ගමන් ය. අපේ අසමර්ථකමේ බරපතළකම තිබෙන්නේ එතැන ය.

සුව නොවුණු තුවාල

කොටින්ට විරුද්ධව ඉදිරි පෙරමුණ ගෙන ඉන්නා බොහෝ දෙනකුට සිය පවුලේ ආදරවන්තයෙකු හිතේෂියෙකු අහිමි වන්නට ඇත. ඒ නිසා ම ඔවුන්ට එල්ටීටීඊය සමග බේරාගන්නට පෞද්ගලික ගනුදෙනුවක් තිබෙන්නට පුළුවන. හමුදාවට විරුද්ධව කඳවුරු බැඳගෙන ඉන්නා උතුරේ ඇතැම් අයට ද රජය හා හමුදාව සමග බේරා ගැනීමට එවැනි පෞද්ගලික ගනුදෙනු තිබිය හැකි ය.

එවැනි පෞද්ගලික තුවාල තිබියදීත් සාමය වෙනුවෙන් මුරගාන මිනිසුන් ද ගැහැනුන් ද අප අතර සිටින බව මෙහි සටහන් නොකළොත් අපගේ යුතුකම ඉටු නොකළා වෙයි. ඒ අතර ප්‍රමුඛයකු වන්නේ ගල්කන්දේ ධම්මානන්ද හිමියන් ය. එහිමියන්ගේ සහෝදරයා යුද භුමියේ දි මිය ගිය යුද භටයෙක්ව තිබිය දීත් එහිමියන් සාමය වෙනුවෙන් කරන මෙහෙය පෞද්ගලික ගනුදෙනු බේරාගැනීමට වෛරය ම ඉල්ලා සිටින මිනිසුන්ට කරන සැබෑ අභියෝගයකි. යුද සමයේ ද එහිමියන් ඉල්ලා හිටියේ මිනිස් ජිවිත අහිමි කරන යුද්ධයට තිතක් තබන ලෙස ය. ඉන්පසුව ද එහිමියෝ සාමය සඳහා බොහෝ වැඩසටහන් මෙහෙය වූහ. යූ ටියුබ් ජාලයට පිවිසිමෙන් කවරෙකුට වුව ද ගල්කන්දේ නා හිමියන් සබුද්ධිකව මුළු ක්‍රියාදාමය දෙසම බැලූ ආකාරය නරඹා බොහෝ පාඩම් ඉගෙන ගත හැකි ය. ළඟ බලා නතර නොවි දුර බලන්නට අප පොළඹවන ඒ හිමියන්ගේ හඬට අප කවුරුත් සවන් දිය යුතු ය. එවිට විපතට පත් ජනතාව වෙනුවෙන් හානිපූර්ණය කරන ක්‍රියාදාමය දෙස මෙත් සිතින් බලන්නට අපට හැකි වනු ඇත.

අප කම්පා විය යුත්තේ හානිපූර්ණය කිරීමට පනතක් ගෙන ඒම ගැන නොවේ. එය ගෙන ඒමට මෙතෙක් පමා වීම ගැන ය.

සාමය දිනා ගැනීම

යුද්ධයක දී දිනා ගන්නේ භූමිය ය. එහි පාලනය ය. එහෙත් සාමයේ දිනිය යුත්තේ මිනිසුන්ගේ සිත් ය. එය භූමිය දිනනවාට අමාරු ය. විශේෂයෙන් දෙපැත්තේම කුරිරුකම්වලින් පීඩා විඳි මිනිසුන්ගේ පෑරුණු සිත් දිනා ගැනීම වඩාත් අමාරු ය. ජයග්‍රාහකයා විසින් සියල්ල උරුම කර ගැනීමට සපථ කර ඇත්තා වූ ද පරාජිතයා දීන ලෙස සිටිය යුතු යැයි විශ්වාස කරන්නාවූ ද සිතකින් සාමයක් දිනීම ඊටත් අමාරු ය.

කොටින් ම රට අභ්‍යන්තරයේ ඇති වන්නා වූ සිවිල් යුද්ධයක ජයක් තිබිය නොහැකි ය. ව්‍යාසනයට පත් වූයේ අප රටේ ජනතාවගේ ජීවිත ය. ඔවුන්ගේ දේපළ ය. මිය ගියේ තුවාල වූයේ හිංසනයට ලක් වූයේ අපේ මිනිසුන් ය, දෙපැත්තකට වී ඇන කොටා ගත් අපේ මිනිසුන් ය.

එසේ සිතන්නට බැරි වන තාක් සාමය උදා කර ගත නොහැකි ය. ඒ තුළ සිදු විය හැකි එක ම දේ නම් උන්ට වෙන් ව යෑමට බල කිරීම ය. අපේ උන් ලෙස අප උන් නොසලසන තාක් උන් වෙන ම කඳවුරු බඳිනු ඇත්තේ ය.

සාමයට ඇත්තේ එක ම යහපත් විකල්පයකි. එය යුද්ධය නම් නොවේ. රටක ජන කණ්ඩායම් දෙකක් අතර පමණක් නොව පවුලක සමාජිකයන් අතර ඇති වන විරසකයක් සම්න්ධයෙන් ද සත්‍ය ය. එක්කෝ අප එක ම පවුලක සමාජිකයන් ලෙස සලකා එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් සිටීම හරහා සාමය පවත්වාගත යුතු ය. නැත්නම් වෙන් විය යුතු ය. දිගින් දිගට රණ්ඩු වෙමින් ජීවත් වීමේ තේරුමක් නැත. දිගින් දිගට යුද්ධ කරමින් ජීවත් වීම ද ඒ තරමට ම තේරුම් විරහිත ය.

මේ පනතට විරුද්ධව කඳවුරු බඳින වුන් ඇත්තට ම කරන්නේ වෙන් වීමට පාර කැපීම ය. නැතිනම් දිගු කාලීන යුද්ධයක් තුළ, ආරවුලක් තුළ, රට හිර කිරීම ය. ඒ දෙකම එක වගේ නරක ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *