හානි පූර්ණ පනතට හානි කරන තැත – සම්පත් අමරසිංහ

හානිපූර්ණය සඳහාවන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් 10දා පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනුණු අතර වැඩි ඡන්ද 16කින් පනත පාර්ලිමේන්තුවේ සම්මත විය.

ආණ්ඩුවේ කවර කටයුත්තේදීත් ජනතාවට කොරහේ කිඹුලන් පෙන්වන ඒකාබද්ධ විපක්ෂය හානිපූර්ණ පනත අර්ථ දක්වන්නට උත්සාහ කළේද එල්.ටී.ටී.ඊ. සංවිධානයට උඩගෙඩි සපයන උත්සාහයක් වශයෙනි. නිදසුනක් ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි හානිපූර්ණ පනත විවාදයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර තිබුණේ; ‘මියගිය කොටි ත්‍රස්තවාදින්ට සහ අතුරුදන් වුවන්ට වන්දි ලබා දීමට රජයේ මුදල් ලබා දීම තමයි මේ පනතේ මුඛ්‍ය පරමාර්ථය. රට විනාශ කරපු ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න රජය අපේ මුදල් වැය කරමින් කටයුතු කිරීමයි ප්‍රශ්නය’ යනුවෙනි. එපමණක් නොව සිය රජයක් යටතේ පනත අහෝසි කරන බවටද සිසිර ජයකොඩි මන්ත්‍රිවරයා අනතුරු අඟවා තිබුණි.

ඊලාම් යුද්ධය අවසන් වී වසර 09ක් ගතවන විටත් සංක්‍රාන්ති යුක්තිය පිළිබද හැඟීමක් මෙරට ජනතාවට නොතිබීම ගැටලුවකි. ඒකාබද්ධ විපක්ෂ හැමවිටම කටයුතු කරන්නේ යුද උන්මාදයෙන් මත්ව යුද ජයග්‍රහණය ඉස්මතුකර යළි බලයට පත්වීමේ උත්සාහයකින් යුතුවය. එහෙයින් ඔවුනගේ හානි පූර්ණ විරෝධය වටහා ගත හැකිය. බෙදුම්වාදි යුද්ධය උතුරට නැගෙනහිරට පමණක් බලපෑවක් නොවේ. එකී යුද්ධයෙන් හානියටපත් සහ බලපෑමට ලක් වු දහස් ගණන් ජනයා උතුරේත් නැගෙනහිරත් දකුණේත් දිවිගෙවති. එකී ජනතාවගේ නොවිසදුණු ගැටලු කොතෙකුත් අදත් පවතී. හානිපූර්ණය සඳහා වන කාර්යාල පනත මගින් කෙරෙනු ඇත්තේ ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් සහ ගැටුම් වලින් අගතියට පත්වු ශ්‍රී ලංකිකයන් හඳුනා ගැනීම සහ එම තැනැත්තනට තනිතනිවත් සාමුහිකවත් හානිපුර්ණ ලබා දීමයි.

සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව යුද්ධයේ ගොදුරු බවට පත්වුහ. කෙනෙකුට යුද්ධය ඔවුන්ගේ අතපය අහිමිකර ආබාධිත තත්ත්වයට පත්කළේය. තවත් කෙනෙකුට එයින් පවුලේ අය අහිමි විය. නිවාස දේපළ ද අධ්‍යාපනයද ජනතාවට යුද්ධය හේතුවෙන් අහිමිව ගියේය.

තිස් අවුරුදු යුද්ධය නිසා පමණක් නොව ඒ අතර ඇති වුණු ජාතිවාදි ගැටුම් හේතුවෙන් ද විවිධ දේශපාලන කැරලි කෝලාහල හේතුවෙන්ද පීඩාවටපත් ජනතාව මෙරට සිටිති. උතුරු නැගෙනහිර පමණක් නොව දකුණේ සිංහල දෙමළ ජනතාවට මුස්ලිම් ජනතාවටත් හමුදා සොල්දාදුවනට පවා වන්දි ලබා දීමේ විදිමත් ක්‍රමවේදයක් මෙතෙක් මෙරටට තිබුණේ නැත. හානිපූර්ණ කාර්යාලය ගොඩ නැගෙන්නේ ඒ සියල්ල වෙනුවෙනි.

දේපල අහිමි වූවන්නට එක් තැනකින් වන්දි ලබාදෙන විට ආබාධිත වුවන්ට වන්දි ලබාදීම කෙරුණෙ තවත් තැනකිනි. ඉඩම් සම්බන්ධ කටයුතු කෙරුණේ තවත් තැනකිනි. එසේ හෙයින් සියල්ල පිළිබඳ එකවර කටයුතු කර වන්දි ලබාදීමේ කටයුත්ත හානි පූර්ණ කාර්යාලයක් මගින් සිදුවනු ඇත.

යුද්ධයකදී ජාතිවාදී ආගම්වාදී කලකෝලහලයකදී කැරැල්ලකදී සිදු වනුයේ ජීවිත හානි දේපළ හානි ශරීර අංගෝපාංග අහිමි වීම පමණක් නොවේ. ඉහත කරුණු පිළිබද යම් පමණක හෝ සැලකීමත් මෙතෙක් මෙරට පැවතියද එවැනි එවැනි තත්ත්වයනට මුහුණ දුන් තැනැත්තන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න, මානසික ආතතිය ආදිය පිළිබදව අවධානයක් කිසි ලෙසකින්වත් යොමු වූයේද නැත. හානුපූර්ණ කාර්යාලය මගින් විවිධ ගැටුම් වලදි ඇතිවන ශාරීරික, මානසික, ආර්ථික අංශ කෙරෙහි අවධානය යොමු කොට අදාළ තැනැත්තනට එක තැනකින් වන්දි ගෙවන යාන්ත්‍රණයක අඩුව පිරිමැසෙනු ලැබේ. මෙහිදී පීඩාවට ලක්වුවන් ලෙස සලකනු ලබන්නේ සිසිර ජයකොඩි මන්ත්‍රිවරයා පවසන ආකාරයට එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නො‍වේ. පනතට අනුව පීඩාවට පත්වුවන් ලෙස අර්ථ ගැන්වෙන්නේ;

  1. උතුරු නැගෙනහිර පලාත්වල සන්නද්ධ ගැටුම් අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් හෝ ඊට සම්බන්ධ හෝ එහි පසු විපාක ලෙස හෝ
  2. දේශපාලන නොසන්සුන්තාවන් සිවිල් කැලඹිමක් සම්බන්ධව හෝ
  • ශ්‍රී ලංකාවේ පුද්ගල, කණ්ඩායම් හෝ ජන කොට්ඨාශවල අයිතිවාසිකම් පද්ධති වශයෙන් දැඩි ලෙස උල්ලංගනය වීම් අතරතුරදි හෝ
  1. බලහත්කා‍රයෙන් අතුරුදන් වීමක් හේතුවෙන්
  2. මානුෂීය නීති හෝ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකින් පීඩාවටපත් තැනැත්තන්;
  3. අදාළ කොන්දේසිවලට යටත්ව මියගිය තැනැත්තකුගේ හෝ අතුරුදන් වු තැනැත්තකුගේ ඥාතින්, ය.

හනි පූර්ණ පනත යනු ජනතාව ගේ හානි පුර්ණ වශයෙන් ප්‍රතිපුර්ණයට ගත් උත්සාහයක් බවත්, සිසිර ජයකොඩි මන්ත්‍රිවරයා පවසන ආකාරයේ කොටි හිතවාදි පනතක් නොවන බවත් ඒ අනුව පැහැදිලි වනු ඇත.

පසුගිය යුද සමයේ අතුරුදන් වු එහෙත් වන්දි නොලැබුණු හමුදා සොල්දාදුවන් ද තවමත් සිටිති. හමුදා සෙබළුන්ගේ වීරත්වය අලෙවිකොට බලය ඩැහැගන්නට උත්සාහ කරන ඒකාබද්ධ විපක්ෂ එවැනි සෙබළුන් වෙනුවෙන් ක්‍රියාත්මකවන යාන්ත්‍රණයක් ඔවුන්ගේ පාලන සමයේ ගොඩනැගුවේ නැත. ඔවුනට අතපසු වු එම කටයුත්තද ඉටු වී ඇත්තේ වත්මන් ආණ්ඩුව යටතේ හානිපුර්ණ කාර්යාලය ස්ථාපිත කරන්නට කටයුතු යෙදීමෙනි. එවැනි ඇතැම් සොල්දාදුවන්ට තවමත් විශ්‍රාම වැටුපක් නැත. ආබාධවලට වන්දි නැත. එවැනි කරුණු පිළිබද කඩිනමින් ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණය මෙකී පනත හරහා ගොඩනැගෙනු ඇත.

හානිපුර්ණ ක්‍රියාවලිය තනි හානිපුර්ණ හා සාමුහික හානිපුර්ණය වශයෙන් ආකර දෙකකි. තනි හානිපුර්ණයේදී පීඩාවටපත් තැනැත්තකු වෙනුවෙන් මූල්‍ය හෝ ද්‍රව්‍යමය ප්‍රතිලාභ, ක්ෂුද්‍ර මූල්‍ය ණය, අධ්‍යාපනික වැඩසටහන්, පුහුණු කිරීම්, කුසලතා වර්ධනය, මනෝ සාමාජිය සහය, සුබසාධන සේවා, ඉඩම් නිවාස සැපයීම ආදිය සිදු කෙරේ.

සාමුහික හානි පුර්ණය කණ්ඩායම් හෝ කොට්ඨාස වශයෙන් පීඩාවට පත්වුවන්ට පතිලාභ සහ ප්‍රතිකර්ම සදහා වන අයිතිය පිළිගැනිමෙන් ක්‍රියාත්මක වන්නකි. යටිතල පහසුකම්, අධ්‍යාපනික වැඩසටහන්, පුහුණු කිරීම්, කුසලතා වර්ධන වැඩසටහන්, ප්‍රජා සංවර්ධන වැඩසටහන්, සේවා, පීඩාවටපත් ජනකොට්ඨාස වලින් විමසා හානිපුර්ණ කාර්යාලය මගින් හඳුනා ගැනෙන වෙනත් වැඩසටහන් එහිදි ක්‍රියාවෙහි යෙදවෙනු ඇත. හානිපුර්ණ කාර්යාලය පාලනය වන්නේ කොමසාරිස්වරුන් පස්දෙනකු මගිනි. කොමසාරිස් වරුන් පත්කෙරුනුයේ ව්‍යවස්ථාදායක සභාව මගිනි. එහි අදහස එකී කොමසාරිස්වරුනට පාර්ලිමේන්තුවට වගකීමට සිදුවනු ඇති බවය. කොමිසමේ ප්‍රධානියා වශයෙන් පත්වන්නේ ජනාධිපතිවරයා විසින් පත්කරනු බලන තැනැත්තෙකි.

සියල්ල අනුව පැහැදිලිවන්නේ හානිපුර්ණ පනත හා කාර්යාලය යනු පමා වී හෝ කෙරුණු වැදගත් කර්තව්‍යයක් බවයි. ඒකාබද්ධ විපක්ෂයේ බොරු චෝදනා සහ නොමගයැවීම් වලින් එකී ක්‍රියාදාමය ආරක්ෂා කර ගැනීම ජනතාවගේ වගකීමකි. ඒ සදහා අවශ්‍ය දැනුවත් කිරීමේ වගකීම මෙරට ජනමාධ්‍ය විසින් අමතක කර දැමීම බරපතළ අවාසනාවකි.

සම්පත් අමරසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *