|

මෛත්‍රී, සේනානායකවරුන් සමරද්දී වෙල්ගමගෙන් හතර අතට ප්‍රහාර

පොළොන්නරුව ගල්ලෑල්ල පිහිටි පුලතිසිපුර ජාතික අධ්‍යාපන පීඨයේ ප්‍රාථමික ගුරු විභාගය හැදෑරු ඩිප්ලෝමාධාරීන් 559කට සහතික ප්‍රධානය කිරීම පසුගියදා සිදුවුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. රුපියල් මිලියන 160ක වියදමින් ඉදිකෙරෙන ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීමද එහිදී ජනාධිපතිතුමා අතින් සිදුවුණා.

පොළොන්නරුව සඳහා ජාතික විද්‍යා පීඨයක් ලබාගැනීමට කටයුතු කළ ආකාරය ජනාධිපතිතුමා එහිදී සිහිපත් කළා. විදේශ ආධාර යටතේ ඉදිකෙරෙන විද්‍යාපීඨ හතරෙන් පළමුවැන්න එවකට අධ්‍යාපන ඇමැති රිචඩ් පතිරණ මහතාගේ අක්මීමනටත්, දෙවැන්න වර්තමාන අධ්‍යාපන ඇමැතිවරයා නියෝජනය කරන කුලියාපිටියටත්, තෙවැන්න රත්නපුරටත්, සිවුවැන්න තමන්ගේ ඉල්ලීම මත පොළොන්නරුවටත් ලබාදුන් බව සිහිපත් කළ ජනාධිපතිතුමා එයට දිවංගත රිචඩ් පතිරණ ඇමැතිතුමාට තම කෘතඥතාව හිමිවන බවද කීවා.

අද රටේ අනාගතයට අවශ්‍ය විශිෂ්ටයන් බිහි කරන්නේ ග්‍රාමීය ප්‍රදේශවලින් බව ජනාධිපතිතුමා කීවා. පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති ජාතික පාසල් ක්‍රීඩා උලෙළේදී ප්‍රථම ස්ථානයට පැමිණියේ බස්නාහිර පළාත බව කී ජනාධිපතිතුමා එහි රහස සොයා බැලීමේදී හෙළි වූයේ දුෂ්කර ප්‍රදේශවල දරුවන් ශිෂ්‍යත්ව විභාගය සමත්වී බස්නාහිර පළාත් පාසල්වලට පැමිණෙන බවත් දක්ෂයන් බිහිවන්නේ ඔවුන් අතරින් බවත් යැයි ප්‍රකාශ කළා.

2018 ජනාධිපති බාලදක්ෂ සම්මාන ප්‍රදානය පසුගියදා පැවැතියේ පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදීයි. එහිදී ජනාධිපතිතුමා බාලදක්ෂයන් 1195 කට සම්මාන ප්‍රදානය කළා.

තමන්ගේ ශිෂ්‍ය ජීවිතයේදි බාලදක්ෂයෙක් ලෙස ගතකළ සමය ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළා

වයස 16 දී පොළොන්නරුවේ රජයේ නිලධාරියකුගේ ගෙදරට ගොස් කළ වැඩ කොටස සිහිපත් කළ ජනාධිපතිතුමා ඔහු තම කාඩ්එකේ අත්සන් තබා රුපියල් දෙකක් දුන් බවත් කීවා.

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරුන් වන බේඩ්න්පවෙල් සාමිවරයාගේ යුගයට වඩා අද යුගය වෙනස් බව කී ජනාධිපතිතුමා එලෙස වෙනස් වූ ආර්ථික දේශපාලන තත්ත්වයට අනුව බාලදක්ෂ ව්‍යාපාරයේද වෙනස්කම් සිදුවිය යුතු බවද පෙන්වා දුන්නා.

නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක ඇතුළු සේනානායකවරුන්ගේ ගුණ සැමරුම් උත්සවයක් පසුගියදා පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී .බස්නාහිර පළාත් සභාව විසින් එය සංවිධානය කොට තිබුණා. එයට පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, මහ ඇමැති ඉසුර දේවප්‍රිය පළාත් සභා ඇමැතිවරුන් හා වාසු‍ෙද්ව නානායක්කාර මහතාද එක්ව සිටියා.

එක්සත් ජාතික පක්ෂය ගැන බණ්ඩාරනායක මහතාගේ හා වමේ තිබූ සම්ප්‍රදායයික අදහසට අභියෝග කරමින් කතා කළ ජනාධිපතිතුමා කීවේ එදා එජාපය තුළ දේශප්‍රේමය යුක්තිය, සාධාරණය හා අවංකකම කැපී පෙනෙන ලක්ෂණ වශයෙන් පැවැති බවයි. දූෂණයට, වංචාවට, හොරකමට එම චරිතවල කිසිදු ඉඩක් නොතිබූ බවද ජනාධිපතිතුමා පැවසුවා.

ඉන්දියාවේ සාර්ථක නිල සංචාරයකට එක් වූ අගමැති රනිල් ඇතුළු පිරිස එහි දී අගමැති මෝදි හා එම රජයේ ප්‍රබලම ඇමතිවරු මෙන්ම විපක්ෂයේ රාහුල් හා සෝනියා ගාන්ධි මෙන්ම හිටපු අගමැති මන් මෝහන් සිං ද හමු වී ද්විපාර්ශවික කරුණු ගැන සාකච්ඡා කළා.

පසුගිය ඉරිදා සවස යළි සියරට පැමිණ අගමැතිවරයා රාජකාරි හා උත්සව රැසකටද එක් වුණා. අඟහරුවාදා කැබිනට් මණ්ඩලය නිමකොට එළියට එන විට ඇමතිවරයකු මෙන්ම ලැබුණු දුරකථන ඇමතුමකින් හිතවත් මාධ්‍යකරුවකු ද කීවේ ලොව ප්‍රමුඛතම සංචාරක සඟරාවක් වන “ ලෝන්ලි ප්ලැනට්” විසින් 2019 ලොව ආකර්ශනීයම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව බවට ප්‍රකාශ කොට ඇති බවයි.

“ අපේ මාධ්‍ය ඒකකයි මාධ්‍ය වගකීම් දරන අයයි මොනවද කරන්නෙ. මේක ලංකාව ලැබූ විශාලම ජයක්. ඒක දේශපාලන හා ප්‍රචාරාත්මකව මාකට් කළ යුතු දෙයක්. වහාම මට මේ ගැන රටට පැහැදිලි කරන්න කටයුතු සූදානම් කරන්න. ” අගමැතිවරයා නියෝග කළා.

ඒ තුළ බදාදා අගමැතිවරයා එම සගරාව විසින් ලංකාවට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය හුවා දක්වමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම ආයෝජකයන් ආකර්ශනය හා ඒ හරහා ලංකාවට පහසුවෙන් ලබාගත හැකි ආර්ථික වාසි ගැන රටට ප්‍රකාශයක් කළ අතර එය සංචාරක ව්‍යාපාරයට විශාල ශක්තියක් වුණා.

බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා මුලින්ම සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලට අතට අතදි අස්ගිරි පාර්ශ්වයෙන් ඔහුට ලැබුණු“ දේශමාමක ජනප්‍රසාදන” ගෞරව සම්මානය ගැන සුභ පැතුවා.

“ එජාපයේ තවත් ශක්තිමත්ම බෞද්ධ නායකයකු හැටියට කිරිඇල්ල ඇමතිතුමාට මේ ගෞරවය තුළින් තවත් ඉහළට යන්න ලැබේවි. ඒක එජාපයටත් ශක්තියක්. ” අගමැතිවරයා කීවා.

“සර් මීට වසර 20 කට කළින් රෝහණ පාර්ශ්වය සියම් නිකාය හරහා මහින්ද රාජපක්ෂට මෙවැනි සම්මානයක් දුන්නට පස්සෙයි කිරිඇල්ල ඇමතිතුමාට මේ ගෞරව සම්මානය දීල තියෙන්නෙ. දේශපාලකයන්ට සම්මාන දෙන්න අස්ගිරි – මල්වතු පාර්ශ්ව කැමති නැතිලු. මහින්ද මහත්තයට රෝහණ පාර්ශ්වය බලෙන් වගේ ඒක අරන්දීල තියෙන්නෙ. ඒ වගේම තවත් දේශපාලනඥයන් කීපදෙනෙක් මෙවැනි සම්මාන ඉල්ලල තියනවලු. ඒත් කිරිඇල්ල ඇමතිතුමාට විතරයි අන්තිමේ ගෞරවය ලැබුණේ” චමින්ද විජේසිරි කීවේ තමාට ලැබුණු තොරතුරු මත පදනම්වයි.

“ඉන්දියානු සංචාරය කොහොමද? එක එක කතා ලංකාවෙ ගියා” ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවා.

“දෙරට අතර අවබෝධයක් තිබෙනවා. ඒ රාමුව තුළ වැඩ කරමු කියල මෝදි කිව්වා. තව කතාකරල වැඩ කරමුයි මම කිව්වා. මම ලංකාවට හුඟක් උදවු කරනවා. ඒත් දෙරට අතර කතාකරගත් දේවල් තාම ඉටුවෙලා නෑ. ඇයි මාව සැක කරන්නෙ, ඇයි මාව අවිශ්වාස කරන්නේ කියලත් මෝදි මගෙන් ඇහුවා” අගමැතිවරයා කීවේ නළල රැලි ගන්වමින්.

“ඉන්දියාව ආසියාවේ විතරක් නෙවෙයි ලොව ප්‍රබලම සාධකයක්. ඔවුන් අමතක කරලා ලංකාවට යන්න අමාරුයි.77 දී ජේ.ආර්. මැතිතුමා ඉන්දියාව අමතක කරලා වැඩ කරන්න ගිහිං කරගත්ත අතපසු වීම අපි ආපහු කරන්න ඕන නෑ. ” දයා ගමගේ කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළ වුණා.

ඉන්දීය අගමැති නිල නිවස වන හයිද්‍රාබාද් මන්දිරයේදී අගමැති රනිල් ඇතුළු පිරිසට දිවා භෝජනයක් ලබා දුන් මෝදි අනතුරුව අගමැති රනිල් ඇතුළු පිරිස එහි මාධ්‍ය ආලින්දයට රැගෙන ගොස් සිය ටැබ් යන්ත්‍රය විවර කළා.

“අපි 15 වන සියවසේ නිර්මාණය කරපු ගුජරාටි භජන් ගීතයක් රසවිඳිමු. මේක ඉන්දීය නිදහස් අරගලයේදී ගයපු අදත් ජනප්‍රිය ගීතයක් ” ගුජරාට් පවුලක උපන් මෝදී කීවා.

එම ගීතය ශ්‍රී ලාංකික ගායක ගායිකාවන් පිරිසක් නව සංගීත රටාවකට අනුව ගායනා කොට තිබූ ගීයක් වීමද විශේෂත්වයක් වුණා.

“ දැන් ඩී.ඇස්. ඩඩ්ලි ගෙ එජාපයක් නෑ කියලා ජනාධිපතිතුමා ලොකු ප්‍රහාරයක් දුන්නා. දැන් එදා වගේ එජාපයක් වගේම එදා වගේ ශ්‍රීලනිපයකුත් නැහැ කියලා මම කිව්වෙ යථාර්ථයයි. පක්ෂවල ප්‍රතිපත්ති හා ක්‍රමවේද කාලානුරූපිව වෙනස් වීම ස්වාභාවිකයි. ” ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆෝන්සේකා කීවේ බ්‍රහස්පතින්දා අරලිය ගහ මැදුරේදීයි.

“ඇත්තටම ඩී.ඇස්.ගෙ එජාපය 1962 කළුතර සමුළුවේදී එතුමාගෙ පුත් ඩඩ්ලියි කාලානුරූපව වෙනස් කරල සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පසුබිම එජාපයට දීල තියෙන්නෙ. ඊටපස්සෙ 73 දී ජේ.ආර්. එජාපය උඩු යටිකුරු කළා. ප්‍රේමදාස ඒක තව ඉදිරියට ගෙනිච්චා. 94 පරාජයෙන් පස්සේ රනිල් අගමැතිතුමා හම්බන්තොට සමුළුව හරහා එජාපය 21 වන සියවසට ගැළපෙන ලෙස වෙනස් කළා. ඒකෙ හොඳම දේ එදා එජාපයට එරහිව තිබූ ශ්‍රීලනිපයේ මහලේකම්ට සහාය දීල ජනාධිපති කරල එජාප-ශ්‍රීලනිප පක්ෂ දෙක එකතු කරල ආණ්ඩුවකුත් හැදීමයි” ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් සතුට පළවුණා.

“ජනාධිපතිතුමා එජාපයට දුන් ප්‍රහාරය ගැන හාමුදුරුවරුත් එකඟ පාටක් නෑ. ශ්‍රීලනිප අයත් කැමති නැති හැඩයි. හැම එකේම එල්ලෙන පොහොට්ටුවත් ඒක ඇදගෙන ගියේ නෑ” චමින්ද විජේසිරි කීවා.

“ශ්‍රීලනිපයට දැන් එජාපයේ හෝ පොහොට්ටුවේ ඡන්ද කඩන්න බැරි නිසයි කවුරුත් මේ ඉෂූ එක ගත්තෙ නැත්තෙ” එජාප නීති නිලධාරියෙක් අදහස් දැක්වුවා.

“බැංකුවල හා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරු ඉවත්කරන්න ආපු නියෝගයේ දැන් තත්වය මොකක්ද” දයා ගමගේ විමසුවා.

” ජනාධිපතිතුමා මට කථා කරල ලිඛිතවත් ඉල්ලුවා. ඒ නිසා වසර 03 ක් හිටපු අය වෙනුවට අලුතින් හිතල වැඩ කළ හැකි අය පත් කරනවා. ” කිරිඇල්ල කීවා.

” කෝටි 8532 ක උතුරේ නිවාස ටෙන්ඩරය ස්වාමිනාදන් ඇමතිතුමා රවී වෙත්තසිංහලට විතරක් දීම ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනව නේද ” චමින්ද විජේසිරි ඇසුවා.

” ඉන්දියානු සමාගම් 07 කට ඒක දෙන්න තිබුණේ. එක සමාගමයි අවශ්‍ය කරුණු සම්පූර්ණ කළේ. ඉක්මනින් නිවාස හදන්නත් ඕන නිසා ඒ සමාගමට දීල තියෙනවා. අනිත් සමාගමුත් අවශ්‍ය කරුණු සම්පූර්ණ කළාම එයාලටත් අවස්ථාව දෙනවා. ” අගමැති කීවා.

” අර සෞදි මාධ්‍යෙව්දියා මරල කෑලි කරලා.පසුගිය යුගයේ ලංකාවෙ තිබුණෙත් ඊට ‍නොදෙවෙනි තත්වයක්.ඒත් දැන් ලංකාවේ මාධ්‍යකරුවන් සුරක්ෂිතයි. නමුත් බොහෝ මාධ්‍ය මේ ආණ්ඩුවට ගහලා පරණ මාධ්‍ය භීෂණය යළි ඕනෑ වගෙ කටයුතු කිරීම පුදුමයි. ” ගයන්ත කරුණාතිලක පැවසුවා.

“ වතු කම්කරුවන්ගෙ ප්‍රශ්නය ඔඩු යන්න දෙන්න නරකයි. රු 600 කට හාම්පුත්තු කැමතියි. වෘත්තිය සමිති 1000ක් ඉල්ලනවා.අතරමැද තැනකට එන්න උත්සහ කරනවා. ” නවීන් දිසානායක කියා සිටියා.

“ කැබිනට් එකේ සී.අයි.ඒ. ඔත්තුකරුවෝ 04 ක් ඉන්නවා කියල ශ්‍රීලනිපය කියනවා. එහෙම වෙන්න බෑ කියල මහින්ද රාජපක්ෂත් කියනවා. ඉන්නවා නම් එළි කරන්න ඕනෑ. ” දයා ගමගේ කීවා.

“ විග්නේෂ්වරම්ගේ අලුත් පක්ෂය පිටුපස්සේ ඉන්නේ කවුද” පි හැරිසන් විමසුවා.

“කවුද ඉන්නේ කියලයි වෙන්නේ මොකක්ද කියලයි බලමු. ”අගමැති කීවේ ප්‍රශ්නාර්ථය සහිත ඉරියව්වකින්.

ආජන්ටිනාවේ පැවති 2018 ලෝක යොවුන් ඔලිම්පික් මලල ක්‍රීඩා තරගයේදී මීටර් 2000 බාධක දිවීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම හිමිකර දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාව වෙත ඉකුත් සතියේදී දුරකථන ඇමතුමක් දුන් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ඇගේ ජයග්‍රහණය වෙනුවෙන් හිමිකර දීමට නියමිත නිවාස ප්‍රතිලාභ ගැන සාකච්ඡා ක‍ළා. පළමුව ඇය දැනට ජීවත්වන නිවසේ අඩුපාඩු දින 10 ක් තුළ සම්පූර්ණ කර දීමට ලක්විජය සාගර පලන්සූරිය – ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට සජිත් උපදෙස් දී තිබුණා. ක්‍රීඩිකාවගේ ක්‍රීඩා පුහුණු කටයුතු පහසුවීම සඳහා ඇය වෙත ලබාදීමට නියමිත කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක නිවස ඒ වන විටත් ඇය විසින්ම පරීක්ෂා කර බලා තිබූ අතර ඇගේ ඉල්ලීම පරිදි බිංගිරිය ප්‍රදේශයේ සුදුසු භූමියක නව නිවසක් තනාදීමට ද සජිත් එකඟ වුණා.

සජිත් පාරමීගේ ජයග්‍රහණය පිළිබඳ උණුසුම් සුබ පැතුම් පළකර සිටියදී ඇය කීවේ ‘බොහෝම ස්තූතියි සර්. මගේ අනාගත බලාපොරොත්තුව ඔලිම්පික් තරගාවලියේදී අපේ රටට රත්තරන් පදක්කමක් දිනා දෙන්නයි’ කියායි. ‘ඒ වෙනුවෙන් දෙන්නට පුළුවන් ඉහළම ශක්තිය අපි ලබා දෙනවා’ සජිත් කියද්දී පාරමී කීවේ ‘මේ ජයග්‍රහණය ලබන්නට මාස කීපයකට කලිනුත් සර් මට කතා කළා මට අද වගේ මතකයි’ කියායි. සජිත් කීවේ ‘ඔයාගේ ඉලක්කය වෙත යන්නට දැන් කිසිම බාධාවක් නෑ. අවශ්‍ය නම් අතිගරු ජනාධිපතිතුමාගේ, ගරු අගමැතිතුමාගේ ආශිර්වාදයෙන් තවදුරටත් උපකාර කරන්නම්’යනුවෙන්. 31 වැනිදා පුත්තලම, කරුවලගස්වැව ‘රන්වියන්පුර’උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේදී පාරමී යොවුන් ක්‍රීඩිකාව වෙත මොරටුව ‘සයුරුපුර’ මහල් නිවාස සංකීර්ණයේ ඇය තෝරාගත් නිවසේ හිමිකම් පත්‍රය සහ යතුරු භාරදීමට නියමිතයි.

සිකුරාදා ඇමති වජිර ගාල්ලේ විශේෂ රැස්වීමක් කැඳවා තිබුණා. ඒ 26 සහ 27 දෙදින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් සිදුකිරීමට නියමිත ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව සංවිධානය කිරීමේ කටයුතු සඳහා සහභාගී වීමටයි.

මෙරට ප්‍රථම දහම්පාසල ආරම්භ කළ ගාල්ලේ විජයානන්ද පුරාණ විහාරස්ථානයේ නව තෙමහල් ගොඩනැගිල්ලේ පළමු මහල ඉදිකළේ අගමැතිවරයා විසින්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ත්‍යාගයක් ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ලබාදුන් රුපියල් ලක්ෂ 100ක මුදලක් වියදම් කරමින්. හදිසි ආපදාවක දී විපතට පත්වන පුද්ගලයන්ට ආර්ක්ෂිතව සිටිය හැකි ලෙස මේ මහළ ඉදිකර තිබෙනවා. එය නම් කර තිබෙන්නේ ඕල්කොට් ශාලාව ලෙස. මෙරට බෞද්ධ අධ්‍යාපනයේ පුරෝගාමියා වූ හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා මුල්වරට පන්සිල් සමාදන් වී බෞද්ධයකු වූයේ මේ විහාරස්ථානයේ දී. එමෙන්ම කටුගොඩ ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලියේ ද රුපියල් ලක්ෂ 130ක වියදමින් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකළේ ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යොදා ගනිමින්.

මේ ගොඩනැගිලි දෙකට අමතරව රුපියල් ලක්ෂ 620ක මුදලක් වැයකර ඉදිකර ඇති නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලත් රුපියල් ලක්ෂ 60ක් වියදම් කර ඉදිකරන ලද නියාගම ශ්‍රී පුණ්‍යාරාම විහාරස්ථානයේ නව ගොඩනැගිලත් අගමැතිවරයාගේ අතින් විවෘත කිරීමට නියමිතයි.

සෙනසුරාදා ඇමති වජිර ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, අත්තනගල්ල, ගම්පහ නිල සෙවණ කාර්යාල පහක් විවෘත කිරීමට සහභාගී වුණා.

ඉරිදා වජිර අබේවර්ධන ඇමතිවරයා වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ගාල්ල ලයිට් හවුස් හෝටලයේ සංවිධානය කර තිබුණා. ඒ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුන් විසින්. රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙතෙක් දක්වා ඇති සහයෝගය එහි දී විශේෂයෙන් ඇගයීමට ලක්වුණා.

සඳුදා දහවල් අරලියගහ මන්දිරයේ රැස්වීම් ශාලාවේ දී ග්‍රාම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සහ පරිපාලන ග්‍රාම නිලධාරීන් 104 දෙනකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය සිදුකෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන, රාජ්‍ය පරිපාලන සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල යන මහතවරුන් ද මේ උත්සවය සඳහා සහභාගී වී සිටියා. මෙරට ඉතිහාසයේ ගමට වැඩිම සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණයක් ලබා දී ඇත්තේ මෙම ආණ්ඩුවෙන් බව ද අගමැතිවරයා මෙහි දී කියා සිටියා.

ග්‍රාම නිලධාරීවරයා ගමේ පරිපාලනයේ ඉතා වැදගත් අංගයක් බවත් ලෝකයේ ඕනෑම රාජ්‍යයක ආරම්භය සිදුවුණේ ගමේ පාලනයෙන් බවත් අග්‍රාමාත්‍යවරයා මෙහි දී සිහිපත් කළේ ගම් මට්ටමේ සිට රාජ්‍ය පාලනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල දක්වා පරිපාලන ක්‍රමවේදය විස්තර කරමින්. එම විෂය භාරව කටයුතු කරන වජිර අබේවර්ධන මහතා බිම් මට්ටමේ සිට රට පුරාම රාජ්‍ය පාලනය වඩාත් විධිමත් කිරීමට විවිධ වැඩසටහන් දියත් කිරීම සම්බන්ධයෙන් ඉතා සතුටුවන බවත් කී අගැමැතිවරයා ඇමති වජිරගේ කැපවීම ගැන ස්තූති කළේ ඔහුට විශාල සහයෝගයක් ලබාදෙන රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා ගැන ද සිහිපත් කරමින්.

”ඇමති වජිර ලංකාව පුරාම යමින් විශාල වැඩ කොටසක් කරනවා. රට පුරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තිබුණත් මේ කාර්යාලවලට පහසුකම් තිබුණේ නැහැ. දැන් වජිර අපේ අලවතුවල රාජ්‍ය ඇමතිතුමාගේ සහයෝගයත් ඇතිව මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විශාල සංඛ්‍යාවක් අලුතෙන් ඉදිකර තිබෙනවා. ඒ වගේ ම ග්‍රාම නිලධාරීන්ට නිල සෙවණ කියා ගමේ කාර්යාලයක් හදනවා. අපි ගමට කෝටි ගණනක් වටිනා ව්‍යාපෘති රැසක් ලබා දී තිබෙනවා. මේ තරම් වැඩ කරපු ආණ්ඩුවක් කවදාවත් තිබුණේ නැහැ. නමුත් සමහරු අහනවා අපි මොනවාද කළේ කියලා. අද අපි මේ ව්‍යාපෘති බාරව ඉන්න නිලධාරීන්ට කියන්නේ මේ වැඩකටයුතු ප්‍රමාදයකින් තොරව කරගෙන යන ලෙසයි. ” යැයි අගමැතිවරයා කීවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් දෙදනකු වන වසන්ත සමරසිංහත්, බිමල් රත්නායකත් මේ දිනවල විදේශ සංචාර දෙකක නියැළී සිටිනවා. වසන්ත සමරසිංහ නිව්යෝර්ක් නුවරදී ශ්‍රී ලාංකිකයන් පිරිසක් අමතා දේශනයක් පැවැත්වූවා. නිව්යෝර්ක් හි ස්ටාටන් අයිලන්ඩ්හිදී පැවැති එම රැස්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය මාදව පලිහපිටියද එක්ව සිටියා.

බිමල් රත්නායක මහතා ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයන් හමු වුණා. අරාබි නගරයේදී පැවැති එම හමුවේ තේමාව වුයේ රට රකින රට හදන ජනතාවාදී පාලනයක් යන්නයි.

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය අඟහරුවාදා කොළඹදී පැවැත්වුණා. මරදාන ප්‍රදේශයෙන් ආරම්භ වූ ඔවුන්ගේ පෙළපාලිය සාමකාමීව හා විනය ගරුකව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ යෙදුණා. බීමත් පුද්ගලයන් හෝ අවිනීත ලෙස හැසුරුණු උදවිය එම උද්ඝෝෂණයේදී දැකගන්න ලැබුණේ නැහැ. අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා හා කේ.ඩී. ලාල් කාන්ත මහත්වරුන් විරෝධතා රැලිය ඇමතුවා.

ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා හා එහි ගෝඨාභය හිතවාදී පිරිසක් අතර ප්‍රසිද්ධ වාග් සංග්‍රාමය පසුගිය දිනවල තවත් වර්ධනය වුණා. තමන්ට පහර දුන්නේ දෑත්වල ලේ තැවරුණු උදවිය, ඇමැතිකම් ඉල්ලා අගමැති රනිල් ළඟ දණ ගැසූ අය හා මහින්ද මහතා වෙනුවෙන් වේදිකාවට ගොඩ නොවූ අය බව වෙල්ගම පසුගිය සතියේ ප්‍රකාශ කළා.

මෙවර ඔහුට ප්‍රහාර එල්ල කිරීමට ඉදිරිපත් වූයේ එජාපයේ සිට මහින්ද ළගට ගිය ගාමිණී ලොකුගේ හිටපු ඇමැතිවරයායි. ඔහු කියා තිබුණේ කුමාර වෙල්ගම මහතා ජනාධිපති සිහිනයක් දකින බවයි. ඔහු විහිළුකාරයකු වී ඇති බවද ලොකුගේ කියා සිටියා. පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල ද කියා සිටියේ තවදුරටත් ගෝඨාභය විවේචනය කළහොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.

ගාමිණී ලොකුගේගේ ප්‍රහාරයට කුමාර වෙල්ගමගෙන් එල්ල වුණේ දරුණු ප්‍රතිප්‍රහාරයක්. වෙල්ගම කීවේ ගාමිණී ලොකුගේ මැරයකු බවයි. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතාට හා මාදුළුවාවේ සෝභිත හිමියන්ට පහර දුන්නේත්, යාපනය පුස්තකාලය ගිනි තිබ්බෙත් ලොකුගේ බව ඔහු කීවා. පොලිස් ස්ථානාධිපතිට කනට ගසා ස්ථානාධිපති පුටුවේ වාඩි වූ දේශපාලනඥයා ලොකුගේ මහතා බවද ඔහුගේම ලේකම්වරයකුටද ඔහු පහරදී එළවා දැමූ බවද වෙල්ගම හෙළිදරව් කළා.

මේ අතර අනුරාධපුරයේ ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා කීවේ පොහොට්ටුවට එරෙහි කුමන්ත්‍රණයක් කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වී ඇති බවත් එයට නායකත්වය දෙන්නේ වෙල්ගම මන්ත්‍රීවරයා බවත් ය. පොහොට්ටුව ගොඩනැගීමට දරදිය ඇද්ද වෙල්ගම එයට පහර දෙන බවත් ඔහු කරන්නේ වතුර පුරවා කළය බිඳ දැමීම වැනි වැඩක් බවත් සේමසිංහ මන්ත්‍රීවරයා කීවා. මේ තත්ත්වය යටතේ වෙල්ගම මහතාගේ ජ්‍යෙෂ්ඨත්වයට සලකා කටයුතු කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළා.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද තමා යන යන තැන්වලදී ප්‍රතිවාදීන්ට පිළිතුරු දීමෙන් වැළකී සිටින්නේ නැහැ. මෙය දැන් ඒකාබද්ධ විපක්ෂයේ බරපතළ බෙදීමක් බවට හරවන ලකුණු පහළ වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඉන්දියානු රෝ ඔත්තු සේවයේ සම්බන්ධයක් ගැන විමල් වීරවංශ මහතා ප්‍රකාශයක් කොට තිබුණා. එය නිවැරදි කිරීමට ඉදිරිපත් වූයේ නාමල් රාජපක්ෂ මහතායි. ඔහු කීවේ පෙර කී ප්‍රකාශය විමල් වීරවංශ මහතාගේ මතය මිස ඒකාබද්ධ විපක්ෂයේ අදහස නොවන බවයි. මෙයද දැන් ඒකාබද්ධ විපක්ෂය තුළ තවත් විරසකයක් වර්ධනයවීමට හේතුවක් වී තිබෙනවා.

ගොසිප්ලන්තය

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *