නීතියේ උභතෝකෝටිකය -නිශාන්ත කමලදාස

නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ යහපත් මිනිසුන් ඉන්නා රටක ය. ඒ කොතරම් යහපත් නීතියක් තිබුණ ද එය ක්‍රියාත්මක නොකරන්නේ නම් එයින් ලද හැකි දෙයක් නැති බැවිනි. එහෙත් යහපත් මිනිසුන් ඉන්නා රටකට එහෙමකට නීතියක් අවශ්‍ය වන්නේ ද නැත. මේ උභතෝකෝටිකය සහිත අදහස මා ගත්තේ මිත්‍රයකු ගේ මූණු පොතෙනි. ඔහු විසින් විමසනු ලැබුවේ වෙනත් වචනවලින් මේ ප්‍රශ්නය ම ය.

වැඩිය නොවිමසන කෙනකු ඉන් බැස ගන්නා නිගමනය නම් නීතියක් කොහෙත්ම අවශ්‍ය නැති බව ය. යහපත් මිනිසුන් නැතිව ක්‍රියාත්මක කරන්නට බැරි නීතියක් යහපත් මිනිසුන් ඉන්නා තැනක වැඩක් නොමැති වන බව නැවත නැවතත් කියන්නට තරම් කාරණයක් නොවන බැවිනි.

නීතී දැමීමෙන් කිසිදු වෙනසක් සිදු නොවන්නේ නම් හොඳම විදිහ නීති දමා යහපත් මිනිසුන් අපහසුතාවයට පත් නොකර සෙසු මිනිසුන් ද යහපත් මිනිසුන් කිරිමට වෙර දැරීම ය.

සෙසු මිනිසුන් යහපත් මිනිසුන් බවට පත් කරන්නේ කෙසේ ද? නීතිය අවශ්‍ය වන්නේ ආගමට හෝ වෙනයම් පරමාදර්ශයකට නොහැකි ව තිබෙන ඒ කටයුත්ත සඳහා ය. ගැටලුව ඇත්තේ එතැන ය.

ආගමික ආයතන හා පූජකයන් බොහෝ දේ සම්බන්ධයෙන් රජයට මැදිහත්ව මිනිසුන්ට අච්චු කරන ලෙස කියන්නේ ඔවුන් ඇතැම් මිනිසුන් සම්බන්ධයෙන් අසමත් ව ඇති නිසා ය. එයින් පෙනෙන්නේ ආගමට ද පුළුවන් යහපත් මිනිසුන් යහපත් කරන්නට මිස අයහපත් මිනිසුන් යහපත් කරන්නට නොවන බව ය. අයහපත් මිනිසුන් සම්බන්ධයෙන් මෙසේ අවසාන පිළිසරණ ලෙස නීතිය භෞතීස්ම කර ඇති තත්වය යටතේ මේ දෙස නැවත බැලිය යුතු ව තිබෙන්නේ ය.

එහෙත් නීතිය ක්‍රියාත්මක කරන්නන් යහපත් නොවන විට අයහපත් මිනිස්සු නීතියෙන් රිංගා යන්නෝ ය. ඒ නීතිය ක්‍රියාත්මක කරන්නන්ට අල්ලස් දීමෙනි. එසේ නම් කළ යුත්තේ නීතිය ක්‍රියාත්මක කිරිමේ කටයුත්ත යහපත් මිනිසුන්ට පමණක් පැවරීම ය.

එය අසීරු ය. නීතිය ක්‍රියාත්මක කරන්නන් බොහෝ ය. පොලීසිය, බන්ධනාගාරය, උසාවිය, කළමනාකරුවන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන්, දේශපාලනඥයන් යන කොයි කවුරුත් නීතිය සම්බන්ධ කටයුත්තට විවිධ ආකාරයෙන් අත ගසති. වෙන එකක් තියා මාධ්‍යය ද එහි කොනක සිට නීතිය ක්‍රියාත්මක කිරීමට නොවූව ද එය ක්‍රියාත්මක කරවීමට මැදිහත් වෙති.

ඒ සා විශාල තනතුරු සංඛ්‍යාවක් හොබවන්නට තරම් හොඳ මිනිසුන් සිටී නම් ප්‍රශ්නයක් නැත. එහෙත් ඒ තරම් හොඳ මිනිසුන් සිටී නම් නැවතත් මතුවන ප්‍රශ්නය එවැනි රටකට නීතිය කුමකට ද යන්න ය. එයින් ගැලවිය හැක්කේ තවත් උපකල්පනයක් කිරීමෙනි. ඒ නරක මිනිසුන් ඉන්නේ අතලොස්සක් බව උපකල්පනය කිරීමෙනි.

වඩා බරපතළ දෙවැනි ප්‍රශ්නය නම්, මොහොතකට ඒ සා විශාල සංඛ්‍යාවක් හොඳ මිනිසුන් සිටිතැයි සිතුව ද, ඔවුන් තෝරාගත හැක්කේ කෙසේ ද යන්න ය. කාලා බලලා කෑමක් මෙන් තෝරා ගැනීමට බැරි නිසා ම එය බොහෝ දුරට කළ නොහැකි කාරණයක් බව අවසානයේ නිගමනය කිරීමට සිදු වේ.

විපරම අවශ්‍ය ය

අප කලබල වනවා වැඩි ය. සම්පූර්ණයෙන් පිරිසිදු මිනිසුන්ගෙන් යුත් නීතිය ක්‍රියාත්මක කරන පද්ධතියක්, රටක් හෝ ආයතනයක්, ගොඩ නැගීම අමාරු ය. එහෙත් එවන් පද්ධතියක් තුළ අයහපත් මිනිසුන්ට පහසුවෙන් පවතින්නට නොහැකි තත්වයක් ගොඩ නැගිය හැකි ය. ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල පාරදෘෂ්‍යභාවය තිබීම වැදගත් ය. ඒවා ප්‍රශ්න කිරීමට ජනතාවට හැකියාවක් තිබීම වැදගත් ය.

යහපාලන ආණ්ඩුව මොනවා නොකළ ද මේ සඳහා වැදගත් වූ පියවරක් එය විසින් ගෙන තිබේ. ඒ තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර වීම හරහා ය.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අපට පුද්ගලිකව යමක් ගැන දැන ගත හැකි ය. එසේ වුව ද ඉන් එහාට එම තොරතුර සම්බන්ධයෙන් යමක් නොකළොත් ඒ අයිතියෙන් වැඩක් නැත. යම් අකටයුත්තක් සම්බන්ධයෙන් ඒ හරහා කරුණු කාරණා හගිස්සවා ගත් කෙනකුට ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අල්ලස් හා දූෂණ කොමිසම පොලීසිය වැනි ආයතනවලට පැමිණිලි ඉදිරිපත් කොට ඒවායේ මැදිහත් වීම ඉල්ලා සිටිය හැකි ය. ඒ තැන්වල අපක්ෂපාතව කටයුතු කරන මිනිසුන් ඉන්නේ නම් එවිට කටයුතු යහපත් තත්වයකට ගෙන ආ හැකි ය.

යහපාලන ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ද තමන්ට හැකි ආකාරයෙන් මැදිහත් වී තිබේ. ඒ 19 සංශෝධනය හරහා ස්වාධීන් කොමිසම් සභා පත් කිරිම හා ව්‍යාවස්ථා මණ්ඩලය හරහා තීරණාත්මක පත් වීම් ලබා දීම මගින් ය. ඒ හරහා වඩාත් අපක්ෂපාත පාරදෘෂ්‍ය ලෙස තීරණාත්මක තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමට ඉඩ සලසා දීම මගින් ය.

මෙවැනි යහපත් පත්වීමකට දිය හැකි හොඳම උදාහරණය අපට ලැබෙන්නේ මෑතක දී අගවිනිසුරු පදවියට පත් කළ නලීන් පෙරේරා මහතාගේ පත්වීමෙනි. අධිකරණ පද්ධතිය තුළ පමණක් රැඳුණු කෙනකු අගවිනිසුරු හැටියට අප රට තුළ මෙසේ පත්වන්නේ වසර 30 කාලයකට පසු වීම එහි වැදගත්කම වඩාත් තහවුරු කරන්නේ ය.

මේ ප්‍රතිපාදන ද ප්‍රමාණවත් යැයි පැවසිය නොහැකි ය. එසේ කරන ලද ඇතැම් පත්වීම් සම්බන්ධයෙන් ජනතාවට සෑහීමකට පත්වීමට පුළුවන් වී නැත. ඇතැම් පත්වීම්ලාභීන්ගේ හැසිරීම, පත්වීම් ලැබීමෙන් පසු ඔවුන් ක්‍රියා කළ ආකාරයන්ගෙන් ප්‍රකාශයට පත් වූ පරිදි, යහපත් වූයේ නැත. ඇතැමෙක් පරණ පුරුද්දට ම දෝ සිය නව ස්වාමිවරුන්ගේ ගෝලයන් බවට පසු බැස්සේ ජනතාව තුළ තිබූ බලාපොරොත්තු සුන් කරමින් ය.

ඒ නිසා එවැනි හැසිරීමක් පාලනය කිරීමට වෙනත් ස්වාධින පාර්ශ්වයන්ට බලය පැවරීමක් ද අමතරව අවශ්‍ය කෙරෙන්නේ ය. විශේෂයෙන් විපක්ෂයට, වෘත්තීය සමිතිවලට, බහුජන සංවිධානවලට, නිදහසේ සිය අදහස් පල කිරීමට ඉඩත් ඔවුන්ට උද්ඝෝෂණ කිරිමේ ඉඩත් මාධ්‍යවලට බියෙන් තොරව හැසිරීමේ ඉඩත් ලබා දීම ඒ සඳහා අත්‍යවශ්‍ය ය. ඒ සම්බන්ධයෙන් ද යහපාලන ආණ්ඩුවේ කැරැට්ටුව අඩු වශයෙන් කියන්නේ නම් නරක නැත. අවම වශයෙන් එය පැහැදිලිව පසුගිය පාලන සමයට වඩා මුළුමණින්ම නොවෙතත් බොහෝ දුරට වෙනස් බව පෙන්නුම් කර ඇත.

විපරම පමණක් නොව

මේ ආයතන පද්ධතිය හා විවිධ බලවේග අයත් සමස්ත සමාජය ද මේ තත්වය තහවුරු කිරීමට සිය දායකත්වය ලබා දිය යුතු ය. ඒ වැරදි ක්‍රියා අනුමත නොකිරීම හරහා ය. ඒවා ට විරුද්ධ වීම හරහා ය. හරි වැරැද්ද ගැන කතිකා කිරීම හරහා ය. මේ ලිපි පෙළ හරහා අප ද ආයාසයක් ගත්තේ ඒ සඳහා ය.

සමාජය දෙස බලන විට පෙනී යන්නේ යමක් හරි ද වැරදි ද යන නිර්ණායක සම්බන්ධයෙන් සමාජය තුළ ද ඒකමතියක් නැති බව ය. නීතියේ කුමක් සඳහන් ව තිබුණ ද ඇතැම් අය සම්ප්‍රදායික මති මතාන්තර මත හිඳ හරි වැරැද්ද තීරණය කරන බව ය. ඇතැම් තැනක නීතිය ක්‍රියාත්මක කිරීමට වග කියන නිලධාරීන් පවා ඒ සම්ප්‍රාදායික මතිමතාන්තර වෙනුවෙන් නීතිය නමන බව ය.

ඒ නිසා යහපත හා අයහපත අතර ඇති වෙනස තහවුරු කිරීම සම්බන්ධයෙන් නීතියේ ප්‍රතිපාදන යොදා ගැනීමේ දී ඇතැම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන පසුබසින බව ය. ඇතැම් නිලධාරීන් පසුබසින බව ය. ඒ සඳහා නීතියෙන් පරිබාහිර අර්ථකථන සපයන බව ය.

උදාහරණයක් ලෙස එක්තරා ගමක මහ හඬින් ලවුඩ්ස්පීකර් දමා රාත්‍රිය පුරා පවත්වන්නට යෙදුණු පිරිත් වැඩසටහනකට විරුද්ධව පොලීසියට පැමිණිලි කළ කෙනකුට සිදු වුණේ ගමේ මිනිසුන්ගෙන් අතවර විඳීමට ය. ඒ ගැන පැමිණිලි කිරීමට පොලීසියට ගියවිට එහි සිටි නිලධාරියකුගේ උත්තරය වූයේ පිරිත් කරදරයක් නම් ඒ ස්ථානයෙන් ඉවත් වන ලෙස ය. ඒ රාත්‍රී කාලයේ එවැනි ශබ්ද ඝෝෂාවන් පැවැත්වීම නීතියෙන් වැරැද්දක් ව තිබිය දී ය. මේවාට ගම්වල උදවිය කීවේ වඳින්න ගිය දෙවාලය හිසේ කඩා වැටුණේ යැයි කියා ය.

පිරිත යහපත් යැයි ද එය ඒ නිසා රෑ පුරා මහහඩින් විකාශනය වුව ද ඉවසිය යුතු යැයි ද නීතියේ කුමක් සඳහන් ව තිබුණ ද ඉවසිය යුතු යැයි ද කියන විට, විශේෂයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති ආයතනයක නිලධාරියකු විසින් එවැන්නක් කියන විට, එය තේරුම් ගත යුත්තේ කෙසේ ද? යහපත් කාර්යයක් ලෙස ද අයහපත් කාර්යයක් ලෙස ද?

සමාජය මැදිහත් විය යුත්තේ මෙවැනි කාරණා විමසන්නට ය.

ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම අරබයා නඩුවක් උසාවියේ ඇසුණි. ඒ ඔහුගේ බිරින්දෑගේ මැදිහත්වීම නිසා ය. නීතිය ක්‍රියාත්මක වූයේ ඉන් අනතුරුව ය. ඒ සම්බන්ධයෙන් උරණ වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය නතර කිරීමට මැදිහත් වූයේ ය. පළමුව උසාවි භූමිය තුළම ඒ හිමියෝ සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළහ. ඉන් අනතුරුව උසාවියේ කටයුතු වලට බාධා වන අයුරින් හැසිරුණහ. ඒ හැසිරීම් දෙකම සාධාරණීකරණය කරන ලද්දේ ප්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊ සංවිධානයට උදව් කළ කෙනකු බව කියමිනි. එල්ටීටීඊ සංවිධානය ත්‍රස්ත ක්‍රියාවන්හි නිරත වූ සංවිධානයකි. ඒ සංවිධානයට උදව් කිරීම ඒ නිසා අයහපත් යැයි ගැනීම වැරදි නැත. තවමත් ඒ බවක් ඔප්පු වී නැති නමුත් ඒ පිළිබඳ ඇති සැකයේ වාසිය ඥානසාර හිමිට පැවරුවේ වුව ද එසේ වූ පළියට කෙනකු අතුරුදහන් කිරීමට තවත් කෙනකුට අයිතියක් ඇතැයි නීතිය විශ්වාස නොකරයි. නීතිය විශ්වාස නොකරන දෙයක් හරි යැයි සිතා ඒ හිමියන් කටයුතු කර තිබේ.

නීතිය කාටත් සමාන වීම

පිරිත් සම්බන්ධයෙන් සංසිද්ධිය මෙන් එය සමාජ කැළඹිමක් ඇතිකර යට ගියේ නැත. ඒ, සිද්ධිය උසාවි පරිශ්‍රයක් තුළ සිදු වූ නිසා ය. අවසානයේ නීතිය ක්‍රියාත්මක වූ අතර ඥානසාර හිමියන් දඩුවම් ලැබුවේ ය. එහිමියන් ඉදිරිපත් කළ අභියාචනය ද නිශ්ප්‍රභා කෙරුණේ ය. මේ ගැන එලිපිට නොවෙතත් ඇතැම් පිරිස් තවමත් තැනින් තැන මේ ගැන පවසන්නේ වැරදි වැඩක් ලෙස ය. එසේ එලිපිට කතා නොකරන්නේ උසාවියට අපහාස කළේ ය යන චෝදනාවට ඇති බිය නිසා ය.

ඔවුන් කියන පරිදි දුන් දඬුවම වැඩි ය. ස්වාමීන් වහන්සේ ක්‍රියාකර තිබුණේ රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ය. ඔවුන් සිතන පරිදි එල්ටීටිඊ සංවිධානයට උදව් කළේ ය නැතිනම් සම්බන්ධය යන බරපතළ කාරණයක දී රණවිරුවකුට සාමාන්‍ය පුරවැසියකු අතුරුදහන් කළ හැකි ය. එවැනි රණවිරුවකු උසාවියට ගෙනවිත් දඬුවම් කිරීම වැරදි ය. එවැනි වැරද්දක් පෙන්වා දීමට දෑ හිතකාමී භික්ෂූන් වහන්සේ නමකට අයිතියක් ඇත්තේ ය. කළ යුතුව තිබුණේ දඟ ගෙයිලෑම නොව විරාභිවන්ධනයක් ලබා දීම ය. ඉංග්‍රීසි කොඩිය බිම දැමූ වාරියපොළ හිමියන් සමග එක පෙළට සිටුවා ප්‍රණාමය පුද කිරීම ය. එම සිතුවිල්ල විනිශ්චයකරුවන් තුළ ක්‍රියාත්මක වූවා නම් උසාවියට සිය අභිමානය රැක ගන්නට බැරි වන්නේ ය. තවත් අය මේ හිමියන් අනුගමනය කරමින් උසාවිය අභියෝගයට ලක් කරන්නට ඉදිරිපත් විය හැකි ය. ඒ නිසා ම එ හිමියන් ට සමාවක් ලැබුණේ නැත. සිවුරට සැලකීමක් ලැබුණේ නැත. නීතිය සියල්ලට ඉහළින් ඇති බව එයින් තහවුරු වුණේ ය.

මේ අවස්ථාවේ නීතිය සිය ආධිපත්‍ය තහවුරු කළේ වුව ද අතීතයේ දී බොහෝ අවස්ථාවල අප දුටුවේ නීතිය සිවුර ඉදිරියේ බයේ හැංගුන බව ය. පොලීසිය බොහෝ අවස්ථාවල පසු බැස ගිය බව ය. අහක බලා ගත් බව ය.

නිර්ණායක කවරේ ද?

මෙවැනි යහපත හා අයහපත පිළිබඳව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු හා නැමිය යුතු තැන් පිළිබඳව ද තීරණය කිරීමට අප විසින් භාවිතා කළ යුතු නිර්ණායක කවරේද යන්න ගැන ප්‍රමාණවත් සංවාදයක් සමාජය තුළ ඇති විය යුතු ය. නැතිනම් වන්නේ හරි වැරැද්ද ගැන ද නීතිය ක්‍රියාත්මක විය යුතු හා නොකළ යුතු තැන් පිළිබඳව ද ව්‍යාකූලත්වයක් ඇති වීම ය. බොහෝ යහපත් පුද්ගලයන් ද නීතිය ක්‍රියාත්මක කිරීමේ දී වැරදි කළ හැකි වීම ය. අසරණ වීම ය. අනාථ වීම ය.

මේ සම්බන්ධයෙන් නම් යහපාලන ආණ්ඩුවේ කැරැට්ටුව මුළුමණින් යහපත් වී නැත. ඇතැම් තැනක එය මිනිසුන්ට ඉදිරියෙන් සිටගෙන පීඩනයට නොනැමී සිටි අතර ඇතැම් තැනක එය පීඩනය ඉදිරියේ දිය වී ගියේ ය. ප්‍රමාණවත් කතිකාවක් පවා ඇති නොකර අකුළා ගත් අවස්ථා ද තිබුණේ ය.

එකක් කාන්තාවන් මත්පැන් වෙළෙඳම් කිරීම හා මිල දී ගැනීම සම්බන්ධයෙන් ය. මේ සම්බන්ධයෙන් ඇති නීතිය වෙනස් කිරීමට පියවර තැබුවේ ද ආණ්ඩුව ය. ඒ කාන්තාවන්ට ද සමාන අවස්ථා ලබා දීම හරහා ය. කාන්තාවන් මත්පැන් බී කුස්සියට යන පාර පවා හොයා ගැනීමට බැරි තත්වයක් ඇති වෙතැයි කියමින් ජනයා බිය වැද්දූ සමාජ මතයට එරෙහිව යනු වෙනුවට එම සමාජ බලවේගයන්ට යටවෙමින් ජනාධිපතිතුමා එය අකුලා ගත්තේ ය. ඒ පියවර අභියෝගයට ලක් කරමින් දැනට නඩු පවරා ඇති නිසා අධිකරණය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇත්තේ ය. එහෙත් ආණ්ඩුව අකුලා ගැනීමට ගත් තීන්දුව, හරි වැරැද්ද සම්බන්ධ කතිකාවට පිටුපා අත්තනෝමතික ව ගත් තීරණයක් වූයේ ය. සැනසිල්ලට කාරණයත් ව තිබුණේ ආණ්ඩුව තුළින් ම ආණ්ඩුවේ ඒ අකුලා ගැනීමේ පියවර විවේචනය වීම ය.

තවත් එවැනි ම නීතිය නමන ලද අවස්ථාවක් වූයේ අපරාධ කළ සෙබළුන් රණවිරුවන්ගේ ගොඩට දමමින් එම අපරාධකරුවන්ට ද ඔවුන්ට නියෝග දුන් අයට ද නිදහස් ව යෑමට අවකාශ සලසන ප්‍රකාශනයන් නිකුත් කිරීම ය. එහෙත් ඒ ප්‍රකාශන කෙතරම් දුරට පරික්ෂණ අඩාල කළේ දැයි කියන්නට බැරි තවමත් කොර ගහමින් වුව පරීක්ෂන ඉදිරියට යන නිසා ය.

එවැනි පසුබැසීම් තිබුණ ද සමස්තයක් ලෙස අපට මේ සම්බන්ධයෙන් තවමත් සතුටු විය හැකි ය.

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන බවට අප විසින් වග බලා ගන්නේ නැතිනම් නීතිය ක්‍රියාත්මක කරවන ආයතන ලිස්සා යා හැකි බව අප මෙයින් තේරුම් ගත යුතු ය. එය වැළැක්වීමට යහපාලන ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන් නොවුනත් එක්තරා දුරකට කටයුතු කර ඇති බව සැලකිල්ලට ගෙන එය තවදුරටත් ඉදිරියට තල්ලු කිරිමට අප වග බලා ගත යුතු ය.

යහපාලනය බන්දේසියක තබා ලැබුණේ නැත. ලැබෙන්නේ ද නැත. දුන් දේ නැවත ගන්නට ක්‍රියාත්මක වන බලවේග නිසා ම මේ ජයග්‍රහණ තහවුරු කරගෙන ඉදිරියට යන්නට අප කැප විය යුතු ය.

නීතිය අවශ්‍ය ය. යහපත අයහපත වෙන් කර ගත නොහැකි මිනිසුන් සිටිනතාක් එය අවශ්‍ය ය.

නීතිය තිබුණාට මදි ය. එය ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීම ද අවශ්‍ය ය. ඒ සඳහා වුවමනා කරන තොරතුරු දැනගැනීමේ පනත වැනි මෙවලම් සපයා තිබෙන වටපිටාවක ඒවා නිසි ලෙස භාවිතා කිරීම ද අවශ්‍ය ය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ දැයි පරීක්ෂාවෙන් සිටීම ද අවශ්‍ය ය. ඒ ආයතන තුළ ඉන්නා පුද්ගලයන් හරි වැරැද්ද කුමක් ද යන්න නිශ්චය කරවීමේ නිර්ණායකයන්ගෙන් සන්නද්ධ කිරිම ද අවශ්‍ය ය. ඔවුන් වැරැද්ද හරි ලෙස ගන්නා විට එයට එරෙහිව මැදිහත් වීම ද අවශ්‍ය ය. සක්‍රීය ජනතාවකට මිස නීතියට පමණක් නීතිය ක්‍රියාත්මක කරන්නන්ට පමණක් බාර දී ඉන්පසු අත් පිසදා ගන්නා ජනතාවකට නීතියෙන් ලැබිය හැකි දෙයක් නැත.

නීතිය අවශ්‍ය ය. ඒ නරක මිනිසුන් පාලනය කිරීමට පමණක් නොවේ. හොඳ මිනිසුන් නරක මිනිසුන් වෙන එක ද පාලනය කිරීමට ය. සෙසු අයට නීතිය ක්‍රියාත්මක කිරිම පවරා ගෙදරට වී තමන්ගේ වැඩක් බලාගෙන බැඩැරී ගාන්නේ නැතිව සක්‍රීය පුරවැසියකු ලෙස කටයුතු කිරීමට ඔබ සූදානම් නම් නීතියේ ආධිපත්‍යය පිහිටුවීමට රත්තරන් මිනිසුන් ම අවශ්‍ය නොවන බව ඔබට පෙනෙනු ඇත.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *