ප්‍රජාතන්ත්‍රවාදි නිදහස ජනතාවට ලැබුණු ලොකුම සහනයක් ඒකෙ අගය දැනෙන්න ඒ නිදහස නැතිවෙන්න ඕන. මහාචාර්ය රෝලන්ඩ් අබේපාල

ඒකාබද්ධ විපක්ෂ හා ආණ්ඩු විරෝධි කණ්ඩායම් කියනවා රට ඉවරයි. ආණ්ඩුව වහාම ගෙදර යා යුතුයි කියලා. වහාම මේ ආණ්ඩුව වෙනස් කරලා බාරකාර ආණ්ඩුවකට ගොස් මැතිවරණයක් පැවැත්විය යුතුයි කියලා හඬකුත් නගනවා. රටේ ජනතාවගෙන් එවන් විරෝධයක් තියනවද?

සිරිමාවෝ ආණ්ඩුව 1977 පරාජය කර ජේ.ආර්. ආණ්ඩුවක් පිහිටුවන විට සිරිමා‍ ආණ්ඩුව ජනතාවට එපා වෙලා තිබුණෙ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2015 ජනවාරි 15 පන්නලා යහපාලන ආණ්ඩුව පිහිටුවන අවස්ථාව වනවිට මහින්ද පාලනය මිනිස්සුන්ට තිත්ත වෙලා තිබුණෙ. අද යහපාලන ආණ්ඩුව වාහාම ගෙදර යැවිය යුතුයි කියන විට පෙරකී වගේ තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙලා ති‍යනවද? ඒක දේශපාලනික නිර්මාණයක්ද? යථාර්ථයක්ද?

මම හිතනව ඔය දෙකම එතන තියනවා කියල. රටේ හැම පැත්තකින්ම කඩාවැටීම් පේනවා. ආර්ථිකයද, දේශපාලනයද කඩා වැටිලා. දැන් ජනතාව රටක් නෑ, රජෙක් නෑ, ආණ්ඩුවක් නෑ, පාලනයක් නෑ කියල තමයි කියන්නෙ. ඒක බොරුමත් නෙවෙයි.

අනික් පැත්තෙන් ඒකාබද්ධ විපක්ෂ හදන්නෙ ඒ ගොල්ලන්ට තියෙන විරුද්ධව තියෙන මූල්‍ය වංචා, මිනී මැරුම් ආදි චෝදනා වලින් ගොඩ ඒමට තමයි ඒ අයට අවශ්‍ය. ඒ නිසා රජය කඩා වැටිලා කියලා ගෙදර යවන්න ඕනැ කියල කියනව. එවැනි නොයෙකුත් අවශ්‍යතවන් තියන පිරිස් ඔතන ඉන්නවා.

ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය ඉක්මනින් බලය අල්ල ගන්න නෙමෙයි ද?

නෑ. එයාලට අර්බූදයක් නිර්මාණය කිරීම මිස මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව සංයුතිය වෙනස් කර බලය අල්ලා ගැනීමට අවශ්‍යතාවක් ඇති බවක් පෙනෙන්නෙ නෑ. ඒකට එයාලා කැමති නැහැ. ඒකාබද්ධය ඊයෙ පෙරෙදා කියනවා, ‘මේ වෙලාවෙ බලය ගන්න අපිට ඔළුවෙ අමාරු නෑ’ කියල. මාධ්‍යවේදියෙක් ඒකාබද්ධයෙ පුවත්පත් සාකච්ඡාවකදි ඇහුවා ඔබ බලයට ආවොත් පෙට්ට්‍රල් කීයට දෙනවද කියල. ඒකට එයාලට උත්තටයක් නැති වුණා. ඒ ගොල්ලො දන්නවා මේ වෙලාවෙ බලය අරගෙන කරන්න බෑ.

ඇත්තම කාරණය බලය ලබා ගැනීම නෙමෙයි ඒකාබද්ධ විපක්ෂට අවශ්‍ය වෙලා තියෙන්නෙ. එයාලට චෝදනා වලින් නිදහස් වෙන්න අර්බූදකාරි තත්ත්වයක් නිර්මාණය කරගන්නයි එයාලට අවශ්‍යය. ඒ අතින් බලනකො මට පෙන්නේ ඒගොල්ල සාර්ථකයි කියල. ඒ ගොල්ල ලබල තියෙන්නෙ ජයග්‍රහණයක්.

යහපාලන ආණ්ඩුවෙ කාලයෙන් තුනෙන් දෙකක් ගෙවිලා. යහපාලන ආණ්ඩුව ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

මෛත්‍රිපාල මහත්තයව ජනාධිපති කරලා බුද්ධිමත්, ප්‍රබුද්ධ, මධ්‍යස්ථ මතධාරින්, සිවිල් ක්‍රියාකාරින් බලාපොරොත්තු වුණේ එවකට මේ රටේ තිබුණු තිබුණු හොරකම දූෂණය වංචාව ප්‍රඡාතන්ත්‍ර විරෝධික්‍රියා, අවනීතිය ඔවැනි දේවල් නැතිකර යහපාලන ආණ්ඩුවක් හදාගන්නයි. එතුමාත් ජනතාවට එහෙම පොරොන්දු දුන්නා. එතුමා ඒවා සියල්ල අමතක කරලා. මට පේන විදිහට දැන් එතුමා හදන්නෙ ඉදිරි ජීවිත කාලය යහපත් ලෙස ගත කිරීමට අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කරගැනීමට කියල.

පාර්ලිමේන්තුවෙ නියෝජිතයන්ගෙ සංයුතිය වෙනස් වීමක් කරලා පාර්ලිමේන්තුව තුළින්ම ආණ්ඩු වෙනසක් කරන්න උත්සාහ කරන තත්ත්වයක් ගැනත් මේ දිනවල නිතර නිතර කියැවෙනව. ඒ ගැන අදහසක් ප්‍රකාශ කරනව නම්.  

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට පේනවා මහින්ද රාජපක්ෂ වටා විශාල රැල්ලක් ගොඩනැගිගෙන එනවා කියල එතුමාට තමයි ඕනකම තියෙන්නෙ මහින්ද රාජපක්ෂ පැත්තට හේතුවෙන්න. මට හිතෙන විදිහට එතුමාගෙ අදහසක් තමයි ඔය සභාග රජයක් නිර්මාණය කිරීම. රනිල්ව අයින් කරල, මහින්දව අගමැති කරලා ඊළඟට මහින්දට බලයට එන්න පාර කපලා, එතුමාට සැපසම්පත් විඳින්න පාර කපා ගැනීමට උත්සාහ කිරීමක් ලෙසයි මේක දකින් පුළුවන්. එතුමා ඉස්සල්ලා කිව්වෙ එතුමා පැරදුනානම් අඩි හයක් පොළොව යට කියලයි. මට පේන විදිහට අඩිහයක් ඉහළට යන්න තමයි දැන් සැලසුම් කරන්නෙ. ඒකත් පවුල්වාදයක් තමයි.

සියලුම පොරොන්දු කඩකරලා, එතුමා වටේ හිටපු සිවිල් ක්‍රියාකාරීන්, ප්‍රබුද්ධ, මධ්‍යස්ථ ජනතාව එතුමා හැරගිහිල්ලා දැන් එතුමා තනි වෙලා ඉන්නෙ. එතුමට නිවැරැදි උපදෙස් දෙන්න කෙනෙක් නොමැති කමිනුයි එතුමා අවුලකට පත්වෙලා ඉන්නෙ.

එහෙත් මාධ්‍ය තුළින් පෙනෙන්නේ ඔබ ඔය කියන තත්ත්වය නෙමේ. ජනාධිපතිතුමා ජනතාව අතර ඉන්න බවයි.

එතුමට හොඳට කතා කරන්න පුළුවන්. එතුමා කරන්නෙ එක එක තැන්වල රැස්වීම්වලට ගිහිල්ලා කතාපවත්ව පවත්ව ඉන්න එකයි. සීයක් දෙසීයක් ඉන්න තැනකට ආරාධනාවක් ලැබුණත් ඒකට ගිහිල්ලා කතා කරනවා. පහුවදාට ඒක පත්තරේ පිටුවක් යනවා. අනෙක් මාධ්‍යවලත් ඒවා ප්‍රචාරය වෙනවා. දැනුත් පරණ ක්‍රමේටම තමයි ඇවිල්ලා තියෙන්නෙ. එතුමා ගන්න උත්සාහය ගැන දුක හිතෙනවා. බැලූබැල්මටම පේනවා එතුමා දැන් බොහොම දුර්වල තත්ත්වයක ඉන්නෙ. මට පේන විදිහට මෙතෙක් ලංකාවෙ හිටපු කිසිම ජානාධිපතිවරයෙක්වත්, අගමැතිවරයෙක්වත් මෙච්චර දුර්වල පාලකයෙක් වෙලා හිටියෙ නෑ. එතුමා කරන්නෙ පතෝල වැඩ. පිටුපස්සෙන් ඉඳගෙන කරන යටිකූට්ටු වැඩ. නැත්නම් ගෑනු වැඩ කියලත් කියන්න පුළුවන්.

චන්ද්‍රිකා ජනාධිපතිවෙලා ඉන්නකොට, රනිල් අගමැතිවෙලා ඉන්න‍කොට ඔවැනි තත්ත්වයක් තිබුණෙ. එහෙත් කෙළින්ම ‍‍ෆේස් ටු ෆේස් හැප්පිලා වැඩ කෙරුවා. ඒක්වරක් ජනාධිපතිනියගෙ බලතල පාවිච්චි කරල අමාත්‍යාංශ දෙකක් පවර ගත්තා. එතනින් එහාට එජාපයට ආණ්ඩුව ගෙනියන්න හැකියාවක් තිබුණෙ නෑ. එවර අවුරුදු දෙකකින් ඒ රජය බිඳ වැටුණා.

ඒහෙත් ජනාධිපතිවරයා ජනතා ප්‍රශ්නවලට සංවේදි බව තේරෙනවා. ඔවුන් ප්‍රශ්නවලට මැදිහත් වෙන බව පේනවා.

එහෙම දෙයක් පේනවා, යම්කිසි අමාත්‍යංශ තීරණයක් වැරදි කියලා උද්ඝෝෂණ කරපුවාම, ඒක විසඳගන්න ඇමතිවරයට ඉඩ නොදී ජනාධිපති වරයා මැදිහත්වෙනවා. ජනාධිපති වරයා අදාල ඇමතිවරයාගෙන් නොවිමසා ගන්න ජනප්‍රිය තීන්දු වලින් ඒ අමාත්‍යවරයාත්, පොදුවේ රජයත් අපහසුතාවයට පත්වෙනවා. යහපාලන ආණ්ඩුවෙ ගැටුම් නිර්මාණය වෙන්න ප්‍රධාන හේතුවක් එය.

ෆොන්සේකා මහත්තයා සිංහරාජෙ අලියා අල්ලන්න යනකොට ඒක නැවැත්තුවා. ඒවගේ තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුට එහෙම වුණා. ලංකා බැංකු, මහජන බැංකු, ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩල තුන විසුරුවා හැරීමත් එවැනි හොට බිම ඇනගත්ත සිද්ධියක් තමයි. ඒගොල්ල අයින්වෙන්නෙ නෑ. එයාලව ජනාධිපතිට අයින් කරන්න බෑ කියලා කියනවා. ඒ තීරණය ගැන ජනාධිපති ලැජ්ජාවට පත්වෙන්න ඕනැ. මේවා එතුමා වටා ඉන්න කේවට්ට උපදේශකයන්ගෙ අඥාන උපදෙස් හින්දා නිර්මාණය වෙන වැඩ.

විධායක බලතල පාවිච්චි කරලා එතුමගෙ තීරණේ ක්‍රියාත්මක කරන්න බැරිද?

එතුමාගෙ කැමැත්තෙන්ම විධායක බලතල අඩුකර ගත්තා. දැන් එතුමට එවැනි බලතල නෑ. ඇමතිවරයා කියනවා ඒ අය ගැන තීරණයක් ගතයුත්තේ මමයි කියල. එතෙනදි ජනාධිපතිවරයාට තිබ්බ අඩිය ආපස්සට ගන්න වෙනවා. ‘කලබලයක් නෑ හොඳ අධ්‍යක්ෂ මණ්ඩලයක් පස්සෙ පත්කරගනිමු’ කියලා පස්සෙ ජනාධිපතිවරයා කියනවා.

මේකෙන් පේනවා නේද මේ සංහිඳියා රජයට තවදුරටත් එකට කටයුතු කරන්න බෑ කියල. ඒ නිසා වෙන්න පුළුවන් නේද ඒකාබද්ධ විපක්ෂයෙන් සභාග ආණ්ඩු යෝජනාව එන්න ඇත්තේ.

සභාග ආණ්ඩුවැඩේ දැන් ඉවරයි. ඒ උත්සාහය දැන් අතඇරලා තියෙන්නෙ. ඒකට අවශ්‍ය ම්නත්‍රි සංඛ්‍යාව හදාගන්න කොහෙත්ම බෑ. ආණ්ඩුවෙන් අයින්වුණ පහළොස් දෙනා කොයි තීරණයක් ගනීද කියන්නබෑ. දෙපැත්තම හොඳින් තියාගෙන අනාගතේ දවසක ඇමතිකම් ගන්න බලාගෙන ඉන්න පිරිසක් තමයි පහළොස් දෙනාගෙ කණ්ඩායම. ඒකට්ටිය ඉන්නෙ, මේකෙන් නැත්තන් අරකෙන් හරි කමන්නෑ ඇමතිකම් ගන්න ව්‍යාපෘතියක. ඒ ගොල්ලො අවස්ථාවාදිවයි හිතන්නෙ.

කොහොම වුණත් සභාග කතන්දරේ බිඳ  වැටුණා. ඒක කොහොමත් කෙරෙන්නෙ නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත්, පෙහොට්ටුවෙත් සේරම එකතුවුණත් බහුතරය පෙන්නන්න බෑ. යූ.එන්.පි. යෙන් ගන්නවා කියලත් කියනවා. දැන් කොයිකාලෙ ඉඳලද කියන්නෙ. කීප දෙනෙක් ගියා කියමුකො. ආණ්ඩුවට පුලුවන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂ එකතුකරගෙන බහුතර‍ය හදාගන්න. එහෙම ගත්තොත් ඒ ගොල්ලන්ගෙ කොන්දේසි වලට යටත් වෙන්න සිදුවෙන්න පුළුවන්. ඒකයි යූ.එන්.පී. එකට තියන අර්බුදය. කොහොම වුණත් මේ ආණ්ඩුව නියමිත කාලය සම්පූර්ණ වෙනකම් ගෙනියයිද කියන එක සැකසහිතයි.

අපි ජනාධිපතිතුමාගෙ භූමිකාව ගැන සාකච්ඡා කළා. අගමැතිතුමාගෙ ක්‍රියාපටිපාටිය ගැන කතාකරනව නම්,

අගමැතිතුමාගෙ පාර්ශ්වයෙන් බලපුවාම ප්‍රධාන ප්‍රශ්න දෙකක් ඇති වුණා. ඒක තමයි හුඟක් ප්‍රශ්නවලට මූලික කාරණාව. එයින් ප්‍රධාන එක තමයි මහ බැංකු බැඳුම්කර සිද්ධිය. ඒක අතේ පත්තුවුණ සිද්ධියක් බවට පත් වුණා. ‘අපි එහෙම එකක් කෙරු‍වෙ නෑ’ කියලා එ‍කෙන් මිදෙන්න එ.ජා.ප. නායකයාට අමාරුයි. රවී කරුණානයක මේකට හවුල් බවට ප්‍රකට වුණේ පොඩි දෙයකින්. රවී ලබා ගත් නිවාසය පිළිබඳ ප්‍රශ්නයෙන්. ඒක සමස්ථ සිද්ධියෙන් ඉතාම සුළු සිද්ධියක්.

මේ සිදුවීම වන විට ජනාධිපතිතුමයි, අගමැතිතුමයි අතර එතරම් ලොකු විරසකයක් තිබුණෙ නෑ. රජයටත් වුවමනා වුණේ අගමැතිතුමා මේකෙන් ආරක්ෂ කරගන්නයි. එවකට තීන්දු තිරණ දුන්නේ අගමැති බ්ලැක් මාර්ක් වෙන්නෙ නැති විදිහට. ඔහුට තිබුණු චෝදනාව මහබැංකු අධිපති අර්ජූන් මහේන්ද්‍රන් පත් කළ චෝදනාවයි. ජනාධිපතිතුමා එපා කියද්දි පත්කරපු චෝදනාව තමයි ආවේ. කොහොම නමුත් ඒගොල්ලන්ගෙ දසාව නරක් වෙන්න බලපෑ ප්‍රධාන හේතුව වුණේ ඒ සිද්ධිය. අනික් සිද්ධිය ෆොක්ස්වැගන් කොම්පැනිය ස්ථාපිත කිරීම පුස්සක් වීම. මේ කාරණය තමයි එජාප නායකයාටත් ආණ්ඩුවටත් මුහුණ දීමට අසිරු ප්‍රබල සිද්ධින් දෙක බවට පත්වුණේ.

1977 මහ මැතිවරණයෙන් ජේ.ආර්. ජයවර්ධන තුනෙන් දෙකක බලයකින් රජය පිහිටුවන කොට, සිරිමාවෝ බණ්ඩාරනායක රජය අවසාන කාලයේ සිරිමා රජය ජනතාවට එපා වෙලා තිබුණෙ. පොදු අපේක්ෂකයා ඡන්ද ලක්ෂ 62ක් අරගෙන ජයග්‍රහණය කරන විට, 2015 දි රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වන විට ජනතාවට රාජපක්ෂ පාලනය තිත්ත වෙලා තිබුණෙ. මේ වන විට දැන් රටක් නෑ. රට ඉවරයි කියලා දේශපාලඥයො මාධ්‍යයෙන් කෑගැහුවත් ජනතාව අතරින් එවැනි තත්ත්වයක් දකින්න නෑ නේද?

ජනතාව තුළින් එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න හේතුව තමයි, තවම ජනතාවට මතකයි මහින්ද රාජපක්ෂ පාලයේ පැවති තත්ත්වය. රාජපක්ෂ පවුල්වාදය හා ඒ අයගේ ‍අනෙකුත් ක්‍රියාකාරකම් ජනතාවගේ හිතේ තවමත් තියෙනව. ජනතාවට ඒකට ම යළි කැමති වෙන්න බෑ. ජනතාවට වෙන විකල්පයක් නෑ. මේ පක්ෂදෙක අතර තමයි ජනතාව දෝලනය වෙන්නෙ.

මේ වෙලාවෙ විකල්පයක් වශයෙන් ජේ.වී.පී. එක පැත්තටවත් ජනතාව හැරෙන්න ඕනැ. ජේ.වී.පී. එකේ හොඳ කියයි, රැස්වීම් බලන්න යයි. ජේ.වී.පී. තමයි එන්න ඕනැ කියලා කියයි. ඒත් ඡන්දයක් තිබ්බොත් කතාකරන කවුරුත් ඡන්දය දීලා නෑ. ජේ.වී.පී. එක ලක්ෂ පහේ සාමාන්‍ය තමයි තාමත් රැඳී සිටි‍න්නේ.

ජේ.වී.පී. එක නම් විකල්පය, ජනතාව ජේ.වී.පී. එක ගැන ප්‍රසාදයකින් කතාකරනව නම්, ඇයි ජනතාව ජේ.වී.පී. එකට ඡන්දය පාවිච්චි නොකරන්නෙ?

ඒකටත් හේතුව ඒ කට්ටියගෙ අතීත කළු පැල්ලම්. ඒවා ජනතාවගේ හිතේ පැලපදියම් වෙලා තියෙන්නෙ. ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවොත් අනෙක් පක්ෂ වගේ හොරකම, දූෂණය, අල්ලස රජකරාවි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි.

ඒත් ඒ ගැනත් සැකයක් මිනිස්සු අතර ඇති වෙන්න පුලුවන්, ජේ.වී.පී. එකේ ඇතැම් ක්‍රියාකාරින් නිසා. අපේ කාලේ ජේ.වී.පී. එකේ හිටපු හොඳම වීරයෙක් තමයි විමල් වීරවංශ. එයත් අන්තිමට හොරෙක් විදිහට හංවඩු ගැහුණා. නෑදැයන්ට ගෙවල් දීම, අසාමාන්‍ය අයුරින් වත්කම් රැස්කිරීම, වාහන ලබා දීම වැනි දේ සිදුවුණා. එයත් අන්තිමට ගොඩනැගුවෙ කල්ලිවාදයක් හා පවුල්වාදයක්. නන්දන ගුණතිලකත් අයින් වුණා. ඒකාලේ එයා හදපු මාලිගාවක් ගැන කතා වුණා. දැන් තනිපක්ෂයක් හදාගෙන වාසි පැත්තට හේතුවෙවී ඉන්නවා.

වාමාංශික ව්‍යාපාරය ලංකාවේ ජනතාව වැළඳ ගත්තෙ නෑ. ජනතාවට සමාන අයිතිවාසිකම් දෙනව කියද්දිත් ජනතාව වාමාංශික පක්ෂ ගණන් නොගන්නේ ඇයි?

වාමාංශික ව්‍යාපාරය ලංකාවෙ ආරම්භ කරපු කාලෙ ඉඳලම ප්‍රශ්න තිබුණා. සමසමාජ පක්ෂ දෙට කැඩුණා, කොමිනියුස්ට් පිල නිර්මාණය වුණා. ඒක දෙකට කැඩිලා චීන පිල හැදුණා. අන්තිම කාලේ වික්‍රමංසිහ පිලයි කෙනමන් පිලයි කියලා දෙකක් හැදුණා. මම එතකොට හිටියෙ චීන පිළේ. බොරැල්ලෙ කොටාපාරේ නො. 95 පක්ෂ කාර්යාලය කෙනමන්ගෙ කණ්ඩායම ඇවිල්ලා අල්ලගන්න යනවා කියලා ආරක්ෂා කරන්න පවා අපි ගියා. සමසමාජ පක්ෂයත් බෙදීම්වලට ලක් වුණා. නව සමසමාජ පක්ෂය කියල වෙනම වාසු ‍කඩාගෙන් ගියා, ඊට පස්සෙ එකෙන් වික්‍රමභාහු කරුණාරත්න අයින් වෙලා ගියා. ෂන්මුගන්ලා වෙනම කණ්ඩායමක් වශයෙන් වෙන්වුණා. අමීබාවා වගේ කැඩි කැඩී යන එක තමයි වාමාංශික ව්‍යාපාරයේ ලක්ෂණය වුණේ. ඒ නිසා ඒ ‍ගොල්ලන්ට තනියම ඔළුව උස්සගන්න බැරි වුණා. ජේ.වී.පී. එකත් ඒ තත්ත්වයට ඇවිල්ලා.

ඒ අනුව බලද්දි දේශපාලන පක්ෂ ක්‍රියාකාරිත්වය පිළිබඳ මිනිසුන්ගේ බලාපොරොත්තුව භින්න වෙලා තියන බවයි පෙන්නෙ. යළිත් පොදු ‍අපේක්ෂකයකුට ඉඩක් නැද්ද?

පොදු අපේක්ෂ‍ක් ගේන්න පුළුවන් කමක් තියනවා නම් හොඳයි. එහෙම තත්ත්වයක් ගොඩනගාගන්න බැරිකමක් නෑ. දේශපාලන පක්ෂයකට නැති පිළිගත හැකි පොදු අපේක්ෂකයෙක් නම් හොඳයි. එත් ගැටලුවක් වෙන්නෙ ප්‍රධාන දේශපාලන පක්ෂකට නැති පොදු අපේක්ෂකයෙක් දිනවන්න අමාරුයි. ඒකට හේතුව රටේ මිනිස්සු දේශපාලනිකයි. මිනිසුන්ට අවශ්‍ය යූ.එන්.පී. ද ශ්‍රී ලංකා ද කියන එකයි. ප්‍රධාන පක්ෂක සහයෝගයක් නැතුව පොදු අපේක්ෂකයෙක් බලයට ගේන්න අමාරුයි. නමුත් නිර්පාක්ෂික ඉදිරිපත් කිරීමක් ගැන ජනතාව සලකාබලන්න ඉඩ තියනවා.

තවත් කොටසක් ඉන්නවා නේද රාජපක්ෂවරයෙක්ම රට පාලනය කළ යුතුයි කියලා හිතන.

ඔව් ඒක ප්‍රබල තත්ත්වයක්. පිරිසකට රාජපක්ෂවරයෙක්ම නැතුව බෑ. ඒක මහ පුදුම කතන්දරයක්. සමහරු පපුව ඇරලා පෙන්නනවා ඇතුළේ කොටලා තියෙන්නෙ රාජපක්ෂ කියන නම කියලා. අයියා නැත්නම් මල්ලිලාගෙන් කෙනෙක් ඕනැ කියනවා. මේ අය අමුහොරු බව, රට කාපු අයබව මුළු රටම දන්නවා.

රාජපක්ෂවරුන් ප්‍රබල විදිහට ජනමසට කාවැදින්නෙ කොහොමද?

වෙන විකල්ප නායකත්වයක් ප්‍රබල අයුරින් පෙනෙන්න නැති කම.  අනික මේ ආණ්ඩුවෙ දුර්වල කම නිසා.

යුද ජයග්‍රහණය එයට යම් අයුරකින් බලපෑවද?

මම හිතන්නෙ නැහැ. ඒවා දැන් මිනිස්සුන්ට මතක නෑ. මේ ආණ්ඩුව හොඳ වැඩ ටිකක් කරලා තියෙනව. ඒක ම ඒකාබද්ධ විපක්ෂය ඉහළට නගින්න උපයෝගි කරගන්නව. මාධ්‍ය නිදහස ලබල දුන්නා. ඒකම අරගෙන රජයට ගහනව. මාධ්‍යවලින් තමයි දැන් රට පාලනය කරන්නෙ. රූපාවාහිනි නාලිකා දෙක තුනක් තියෙනවා. මිනිස්සු වැඩිපුර බලන්නෙත් ඒවා. ඒවයින් තමයි දැන් රට පාලනය කරන්නෙ.

රජයටත් නාලිකා දෙක තුනක් තියෙනවා වුවත් එයිනුත් රජය කරපුවා කියාගන්න විදිහක් නෑ. ඒ අතින් රජයේ මාධ්‍ය හැසිරවීම අන්තිම දුර්වලයි. තොරතුරු දැනගැනීමේ පනත, ස්වාධීන කොමිෂන් සභා මෙතෙක් කල් කතා කර කර හිටියා මිසක් කෙරුවෙ නෑ. දැන් ඒවා ක්‍රියාත්වකයි. ඒවා මේ රජය කළ හොඳ වැඩ. ඒවගෙ ඉන්නෙ නාකි මිනිස්සු කියලා කියනවා. නාකිමිනිස්සු ඉන්නව නම් තරුණ පිරිස් දාගන්න පුළුවන්. දැන් සිස්ටම් එක ගොඩනැගිලා තියනවා. අධිකරණයට අත නොතැබීමම ලොකු දෙයක්, නඩු වලට අතගැහුවෙ නෑ. නව අගවිනිසුරු ඉතාම සාධාරණ විදිහට පත්කරල තියෙනව.

ජොන්ස්ටන් ප්‍රනාන්දු නඩුවෙන් ජයගැනීම ගැන එයාලා මතුකරනවා. ඒ එක්කම අධිකරණයේ ස්වාධින්තවය ගැනත් එතනින් පණිවිඩයක් දෙනව. එෆ්.සී.අයි.ඩී. වැරදියි කියල පෙන්නන්න ජොන්ස්ටන්ව හයිලයිට් කරනවා. ඒකෙන් කියැවෙනව ආණ්ඩුව ස්වාදීනයි, විරුද්ධවාදියෙකුට වුණත් නිදහස් වෙලා යන්න පුළුවන් කියල.

ආණ්ඩුව කරන හොඳ වැඩ ජනතාවට සන්නිවේදනය වෙන්නේ නෑ නේද?

ඒක ඇත්ත. ආණ්ඩුවෙ සන්නිවේදන ජාලය ඉතාම දුර්වලයි. කවදාවත් මහින්ද රාජපක්ෂ හිටිය නම් වෙන්න නැති, අගේ කළ යුතු වැඩ ටිකක් යහපාලන රජයෙන් කෙරිලා තියෙනව. ඒ කරපු හැම වැඩකින්ම ඒකාබද්ධ විපක්ෂය තමයි ඵල නෙලාගන්නෙ. රජය කරන හොඳ වැඩ ජනතාවට අතරට ගලා ගියේනෑ. ඒකෙන් තමයි විපක්ෂ අවධිවුණේ.

ආණ්ඩුවෙ සංනිවේදනය මුල ඉඳලම අවුල් සහගත තත්ත්වයකයි තියෙන්නෙ. මිනිස්සුට දැන්පෙන්නේ විශාල කැබිනට් එකක් තියාගෙන අධික වියදමක් දරනවා කියලා. ඒකෙ පීඩනය ජනතාවට දරන්න වෙලා කියලා දැනෙනවා. මහින්ද රාජපක්ෂත් මේ දේම කළා. ඒ ඉතාම සූර විදිහට. එනතාවට නොදැනෙන විදිහට ජනතාව තලාපෙලා ගෙන හිටියා.

එයා වෙන කෙනෙකුට කතාකරන්න දුන්නෙ නෑ. හැම ඇමතිකෙනෙක්ගෙම වැඩ එයා පාලනය කළේ තනියෙන්. ඒකාධිපතියෙක් විදිහට තමයි හි‍ටියෙ. මේ සිස්ටම් එක තුළ එහෙම නැතිව යන්න අමාරුබව පෙනී ගියා එතනදි.

ජනතා විමුක්ති පෙරමුණ ගෙනා 20වැනි ව්‍යවස්ථා සංසෝධනයේ ඉදිරිය මොනවගේ වෙයිද?

පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකයි, ජනමත විචාරණයකින් ජයගහණයයි ඕනැ ඒක නීතිගත වෙන්නනම් කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා. 20 මෙතැනින් එහාට යන පාටක් ඒක පේන්න නෑ.

ඒකාබද්ධ විපක්ෂට තියනවා කියන බලය සැබෑ ලෙසම නැති බවක් නේද පෙනෙන්නේ.

එයාලා මාධ්‍ය මගින් විශාල ප්‍රතිරූපයක් මවලා තියෙනවා. ඒක යථාර්ථය නෙමෙයි කියලා ක්‍රියාකාරකම් වලින් පේනවා. ඒකට හොඳම උදාහරණය තමයි පසුගියදා තිබුණු ජලබල මෙහෙයුම. කො‍ළඹට සෙනග ගෙන්නුවට එයින් ආණ්ඩු විරෝධයක් ප්‍රකට ‍වුණේ නෑ. ඔබ ඉස්සර වෙලා ප්‍රශ්න කළා වගේ ආණ්ඩුව ගැන දැඩි කලකිරීමක් පෙන්නුම් කරන්නෙ නෑ. මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදි නිදහස ලැබිලා තියෙනවා. ඒක කාලයකින් ජනතාවට ලැබුණු ලොකුම සැනසීමක් නිදහසක්. ඒකෙ අගය දැනෙන්න ඒක නැතිවෙන්න ඕන.

මනෝජ් රූපසිංහ.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *