රොකට් යැවිල්ල

‘මුදලාලි මොකද වැලි ලොරියක් අල්ලපු එස්.අයි. මහත්තයෙක් වගේ කල්පනා කරනේනෙ?’ කියා ඉස්කොලෙ මහත්තයා ඇසුවේ මුදලාලි නිකටට අත තබාගෙන කල්පනා කරමින් සිටිනු දුටු නිසාය.

‘අනේ මම දන්නෑ ඉස්කොල මහත්ත‍යෝ, අන්තෝජටා බහිජටා. ඇතුළෙත් ගැට පිටත් ගැට. කවුරු මොනදේ කොහොම කලාද කියලා හිතාගන්න බැරුවයි මම කල්පනා කරන්නේ’ මුදලාලි කීවේය.

‘මොනවද මුදලාලිට හිතා ගන්න බැරි? තෙල් මිල සූත්‍රයද? ඒක ඒතරම් ගණන් ගන්න එපා. මුදල් ඇමතිතුමාටත් නොතේරෙන දේ මුදලාලිට තේරුණේ නැතිවට කිසිම ප්‍රශ්නයක් නැහැ.’  ඉස්කෝල මහත්තයා කීවේය.

‘තෙල් මිල සූත්තරේ යකාට ගියාවෙ. ඉස්කෝල මහත්තයෝ ඊට වඩා බොහොම බරපතළ දෙයක් මම මේ කල්පනා කරන්නේ’ මුදලාලි කීවේය.

‘මොකක්ද කියන්නකෝ ඔච්චරටම බරපතළ ප්‍රශ්නෙ? මමත් දන්න තරමකින් උදව්වක් කරන්නම්.’ ඉස්කෝල මහත්තයා කීවේ මුදලාලි කෙරෙහි අනුකම්පාවෙනි.

‘ප්‍රශ්න වශයෙන් ගත්තොත් කීපයක් තියෙනවා. එකක් තමයි හතර දෙනෙක් සෙන්පතියෝ ප්‍රශ්නය’ මුදලාලි කීවේය.

‘ඒ මොකක්ද මුදලාලි හතර දෙනෙක් සෙන්පතියෝ

ප්‍රශ්නය කියන්නෙ? හතර දෙනෙක් සෙන්පතියෝ කියන්නෙ චිත්‍රපටයක්ද කොහෙද නේද? ඒ ගැන ප්‍රශ්නයක් නෙමෙයි දැන් තියෙන්නෙ. ජාතියෙ පියාගැන චිත්‍රපටයක් පෝළිමෙන් පැන්නය කියන ප්‍රශ්නයක් නේද? ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘අන්න ඉස්කෝල මහත්තයට ටිකක් තේරුණා. හතර දෙනෙක් සෙන්පතියෝ ප්‍රශ්නය කෙළවරක ජාතියේ පියා පිළිබද ප්‍රශ්නයකුත් තියෙනවා.’ මුදලාලි කීවේය.

‘අයියෝ මුදලාලි මට තේ‍රිල්ල කෙසේවෙතත් ඔය කියන කතා වලින් මගේ සිහිය විකල්වෙනවා. කියන දෙයක් සරලව තේරෙන්න කියන්න බැරිද?’ ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘සංකීර්ණ ප්‍රශ්නයක් සරලව කියන්නෙ කොහොමද? කියල මට තේරෙන්නේ නැහැ. ඉස්කෝල මහත්තයා මට කියල දෙන්න ජාතියේ පියා කියන්නෙ කාටද?’ මුදලාලි කීවේය.

‘ජාතියේ පියා කියන්නෙ ජාතික අර්බුදයකින් රට බේරගත්තු තැනැත්තා. හරියට ගාන්ධි, මාඕ සේතුං එතකොට ඩී.එස්. ‍වගේ.’

‘එතකොට සාටක රජතුමා ව්‍යවසනයකින් රට බේරගත්තද නැද්ද?’ මුදලාලි ඇසුවේය.

‘එයා එක ව්‍යවසනයකින් රට බේරාගත්තා. හැබැයි තව ව්‍යවසනයකට රට ඇදලා දැම්මා.’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘පස්සෙ කරපු ව්‍යවසනය පස්සට දාමුකෝ. එයා එක ව්‍යවසනයකින් රට බේරගත්තා කියල ඉස්කෝල මහත්මයම කීවනේ. මොකක්ද ඒ ව්‍යවසනේ?’

‘මෙන මොකක්ද ඉතිං යුද්ධෙ මිසක්.’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘ඔන්න ඔතන තමයි මට තියෙන ගැටළුව. යුද්ධෙ නරත කළේ සාටක රජ්ජුරුවොද එහෙමත් නැත්නම් හතර දෙනෙක් සෙන්පතියොද?’ මුදලාලි ඇසුවේය.

‘මුදලාලි කියන දෙයක් තේරෙන්න කියනවද?’ ඉස්කෝල මහත්තයා කළේ ආයාචනයකි.

‘එදා සාටක රජ්ජුරුවො එක්සත් ජාතීන්ගෙ සංවිධානෙටද කොහෙද ගිහින් ඇවිත් ගුවන් යානෙන් බැස්ස ගමන් දඩස්ගාලා වැටිල කටුනායක ගුවන් තොටුපළේ පොළව ඉම්ඹෙ එයා රට බේරගත්තා කියල නේද?’ මුදලාලි ඇසුවේය.

‘ඔවු. ඒක රටමත් ලෝකෙමත් දන්නවා.’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘අන්න හරි එතකොට රට බේරගත්තු සෙන්පතියා සාටක රජ්ජුරුවො. ඊට ටික කාලෙකට පස්සෙ ගෝතාගේ යුද්ධය කියල පොතක් ලියල යුද්ධෙ දිනුවෙ බයගෝතා කියල තවත් මහත්තයෙක් කීවද නැද්ද?’  මුදලාලි ඇසුවේය.

‘සහතික ඇත්ත. කීව නේනනම්.’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘දැන් එතකොට ‍යුද්දෙ දිනපු සෙන්පතියො කීදෙනයි ද?’ මුදලාලි ඇසුවේය.

‘සාටක රජයි, බය ගෝතයි. සෙන්පතියො දෙන්නයි. ඉස්කෝල මහත්තයා උත්තර දුන්නේය.

‘එතකොට එස්.එෆ්. මහත්තයා යුද්දෙ කළේ නැද්ද? එයා නැත්නම් යුද්ධෙ දිනන්න පුළුවන්ද? මරාගෙන මැරෙන බෝම්බෙත් පරාජය කරල එයා යුද්ධෙට නායකත්වය දුන්නෙ නැද්ද?’ මුදලාලි ඇසුවේය.

‘මුදලාලි හරි. එස්.එෆ්. මහත්තයා නැත්නම් යුද්ධෙ දිනන්න බැහැ.’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘එහෙම ගත්තාම සාටක රජයි, බයගෝතයි, එස්.එෆ්. මහත්තයයි තුන්දෙනාම යද්දෙ දිනල තියෙනවා. එතකොට සෙන්පතියො කීයද?’ මුදලාලි නැවතත් ප්‍රශ්න කළේය.

‘එහෙම ගත්තොත් සෙන්පතියො තුනයි. තුන්දෙනෙක් සෙන්පති‍යෝ’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘මේ ඊයෙ පෙරේදා අපේ ජී.එස්. මහත්තයා එක්සත් ජාතින් හම්බවෙන්න ගියාද නැද්ද?’ මුදලාලි ඇසුවේය.

‘ගියා නේනනම්. ගියා විතරක් නෙමෙයි. එයා මේ පාර සාටක රජාගේ එක්සත් ජාතින්ගෙ වාර්තාවකුත් කඩලයි ආවෙ.’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘එක වාර්තාවක් නෙමෙයි, මෙදා ජී.එස්. මහත්තයා සාටක රජාගෙ වාර්තා දෙකක්ම කැඩුවා’ මුදලාලි කීවේය.

‘ඒ මොකක්ද දෙකක්?’ ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘එකක් එකම රටකින් වැඩිම සංඛ්‍යාවක් එක්සත් ජාතින්ගේ සමුළුවට සහභාගි කිරීමේ වාර්තාව. අනික මොකක්ද කියල ඉස්කොලෙ මහත්තයා දන්නවද?’ මුදලාලි ඇසුවේය.

‘හිතාගන්න අමාරුයි’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘මටත් හිතාගන්න අමාරු වුණා. ජී.එස්. මහත්තයා කියන හැටියට යුද්ධෙ දිනල තියෙන්නෙ සාටක රජාවත් බයගෝතාවත් එස්.එෆ්. මහත්තයාවත් නෙමෙයි; ජී.එස්. මහත්තයයි. සෙන්පතියො හතරයි.’ මුදලාලි කාරණාව පැහැදිලි කළේය.

‘දෙයියෝ සාක්කි! විදුලි පුටුවට යන කතාවක්නෙ කියල තියෙන්නෙ.’ ඉස්කෝල මහත්තයා හිසෙහි අත ගසා ගත්තේය.

‘හැබැයි ඉස්කෝල මහත්තයෝ දැන් දැන් ජී.එස්. මහත්තයාගෙ වැඩ පිළිවෙළ අමුතුයි. කැබිනට්ටුවෙ තීරණ දන්නෙත් නෑ කියනව. එතකොට එයා කැබිනට් එකේ ලොක්කා නෙමේද? හම්බන්තොට වරාය දුන්න වැරදියි කියනවා. එක එක දවසට එක එක කතා කියල පූජිත මහත්තයටත් වඩා විහිළුකාරයෙක් වෙලා.’ මුදලාලි කීවේය.

‘මුදලාලි ඒ ගැන එච්චර හිතන්න එපා. ලෝකේ වටේ ගිහින් ඔළුව කැරකිල්ල වගේ ඇති. ළඟදි සීෂෙල්ස් රටටත් ගිහින් ආවනෙ. එහෙ ගිහින් ආවට පස්සෙ සාටක රජාටත් ඔය අසනීපෙ හැදුණ’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘පිස්සුද ඉස්කෝලෙ මහත්තයා, මම කල්පනා කළේ රොකට් ඉන්ධන ටිකක් හොයාගන්න හැටියක් ගැන’ මුදලාලි කීවේය.

‘මුදලාලිට මොකටද රොකට් ඉන්ධන’ ඉස්කෝල මහතා ඇසුවේය.

‘මට නෙමේ, අර රොකට් එක හදපු ඉස්කෝලෙ ළමයට දෙන්න’ මුදලාලි කීවේය.

‘එයාට රොකට් තෙල් දෙන්න ජී.එස්. මහත්තයා පොරොන්දු වුණානෙ.’ ඉස්කොලෙ මහත්තයා කීවේය.

‘ඒ දෙනේනෙ කිලෝ මීටර් විස්සකට විතරයි නේද?’ මුදලාලි ඇසුවේය.

‘ඔව්!’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘මට ඕන රොකට්එක හඳටම යවන්න, ළමයට තෙල් දෙන්න’ මුදලාලි කීවේය.

‘ඒ අහවල් දේකටද?’ ඉස්කෝල මහත්තයා ඇසුවේය.

අපේ ජී.එස්. මහත්තයත් ඒකට පටවලා හඳටම යවන්න. මේ රටේ ඉදලා එයාටත් සාටක රජාට වෙච්ච දේ වෙනව මට බලා ඉන්න අමාරුයි’ මුදලාලි කීවේය.

 

නරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *