| |

කඳුරට කල්ලියේ ප්‍රහාරයට කුමාර වෙල්ගමගෙන් ප්‍රතිප්‍රහාර

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සියවස් සමරු උළෙල පසුගියදා පැවැත්වුණා. එහි දී එම පාසල් දරුවන්ගේ නව නිර්මාණ ප්‍රදර්ශනයක් ද පැවැත්වුණා. එම අවස්ථාවට එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය වඩාත් යොමු වූයේ එක් සිසු දරුවකු විසින් නිර්මාණයකොට තිබූ රොකට්ටුවක් සම්බන්ධයෙන්. කිලෝමීටර් විස්සක් දුර ගමන් කළ හැකි එයට කාලගුණ දත්ත ආදියද ලබාගත හැකි උපකරණ සවිකොට තිබුණා. ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළේ එම රොකට්ටුව ගුවන්ගත කිරීමට අවශ්‍ය පහසුකම් හා මුදල් තමා විසින් ලබාදෙන බවයි.

විද්‍යාලයේ ආදි සිසුන් වන පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම, ඛනිජතෙල් සංවර්ධන හා බලශක්ති ඇමැති අර්ජුන රණතුංග, මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියා.

එහි දී කතාකළ ජනාධිපතිතුමා සියලු දෙනාගෙන් විශේෂ ඉල්ලීමක් කළා. එය නම් තම දරුවාගේ උපන් දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් කපනවා වෙනුවට ගසක් සිටුවන ලෙසයි. මේ වනවිට රටේ වනාන්තර වැඩි වශයෙන් ඉතිරිව තිබෙන්නේ උතුරු පළාතේ බවත්, එයට හේතුව තම සටන සඳහා පහසුවන ලෙස ප්‍රභාකරන් ඒවා රැකගත් නිසා බවත් ජනාධිපතිතුමා කීවා.

ජනාධිපතිතුමා පොළොන්නරුවේ දී තවත් පරිසර ප්‍රශ්නයකට මැදිහත් වුණා. ඒ වැලි ගොඩදමන්නන්ගේ විරෝධතාවයක් අවස්ථාවේදීයි. මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩදමන හා වැලි ප්‍රවාහනය කරන නිදහස් ටිපර් රථ සංගමයේ සාමාජිකයෝ විශාල පිරිසක් පොළොන්නරුව, කදුරුවෙල දිවිත්ව මාර්ගයට පැමිණ විරෝධතාවක නිරතවුණා. ඔවුන් වෙත පැමිණි ජනාධිපතිතුමා සුහද කතාබහක යෙදෙමින් කීවේ ‘වැලි ගොඩදැමීම රටක සංවර්ධනයට අවශ්‍ය වුවත් එය පරිසරයට හානි නොවන ලෙස සිදුවිය යුතු බවයි.’

සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිතුමාට ස්තුතිය ප්‍රකාශ කළ විරෝධතාකරුවන් විසිර ගියේ පොළොන්නරුවෙන් බිහිවූ ජනාධිපතිතුමා ආරක්ෂා කරන බවටත්, හැමදාමත් ජනාධිපතිතුමාට සහයෝගය දෙන බවටත් ප්‍රකාශ කරමින්.

ලෝක ආහාර දින සැමරුම අඟහරුවාදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ‘අපගේ ක්‍රියාවන් අපගේ අනාගතය – 2030 වනවිට කුසගින්නෙන් තොර රටක්’ තේමාව යටතේ මෙවර ලෝක ආහාර දින සැමරුම සිදුවුණා.

මෙහි දී කතාකරමින් ජනාධිපතිතුමා පෙන්වා‍ දුන්නේ මන්දපෝෂණය දුගීභාවය සැලකිල්ලට ගෙන ආහාර සුරක්ෂිත කරගැනීම වැදගත් බවයි. මේ රටේ වැඩියෙන්ම ආහාර අපතේ දමන්නේ පාර්ලිමේන්තුවේ බව ද ජනාධිපතිතුමා කීවා.

අපේ රටේ පවතින ආගමික සංස්කෘතිය නිසා සතුන් විනාශ නොකරන බවත් ඒ නිසා මිනිසුන්ට තිබෙන ආහාර සතුන් විසින් විනාශ කරනු ලබන බවත් කී ජනාධිපතිතුමා එම තත්ත්වය එන්න එන්නම වර්ධනය වන බව ද පැවසුවා. එයට විසඳුම් දියයුතු බව ද ජනාධිපතිතුමා කීවා.

පසුගිය අගහරුවාදා පැවැති කැබිනට් රැස්වීම කරුණු 02 ක් මත උණුසුම් වූ බවට ජනමාධ්‍ය වාර්තා කොට තිබුණා.කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව හා එක් වී සංවර්ධනය කිරීමට අදාළව ජනපතිගේ පූර්ණ එකගත්වය නැති බව ප්‍රකාශ වීම හා රෝ ඔත්තු සේවයෙන් තමා ඝාතනය කිරීමට උත්සහ කරන බවට ජනාධිපතිවරයා තුළ යම් සැකයක් ඇති වූ බවට වූ පුවත් රට කැළඹුවා. එහෙත් රෝ ඔත්තු සේවයේ ඝාතන ප්‍රයත්නයක් ගැන තමා කිසි තැනක සඳහන් නොකළ බව ජනපතිගේ පාර්ශ්වයෙන් රටට මෙන්ම ඉන්දීය මහ කොමසාරිස්වරයාටද කරුණු පැහැදිලි කළා.

අගමැති රනිල් මාස කිහිපයකට පෙර සිට ඉන්දියාවේ නිල සංචාරයක් සැලසුම් කොට තිබුණේද මේ සති අන්තයේ දී වීම අදාළ සිද්ධීන් වඩාත් තීරණාත්මක බවක් ගත්තා. ඉන්දියාවට යාමට පෙර රාජකාරී කිහිපයක් සම්පූර්ණ කිරීමට අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදේ අරලිය ගහ මැදුරට ආවේ එහි ගිනියම් පසුබිම මැදයි. ඔහු සුපුරුදු පරිදි පැමිණ සිටි මැති ඇමතිවරු සමගද එකී උණුසුම් පසුබිම ගැන අදහස් හුවමාරු කරගත්තා.

“2015 දී ජනපති මෛත්‍රී දිනෙව්වෙ මාව, පරාද කළේ “රෝ” එකෙන් කියලයි මහින්ද රාජපක්ෂ එදා කිව්වෙ” සභානාක ලක්ෂ්මන් කිරිඇල්ල අතීතය සිහිපත් කරමින් කතාවට මුලපිරුවා.

“ජනාධිපතිතුමා මට උදේ කතා කළා. මෝදිට කතාකළා. මහකොමසාරිස්ට කරුණු පැහැදිලි කළා. දැන් ප්‍රශ්නයක් නෑ කිව්වා. ප්‍රශ්න දුර දිග යන්නේ නැතිව ඔයින් ගියා ඇති” අගමැති කීවා.

“කොළඹ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව එක්ක එකතුව දියුණු කරන්න ඇමැති මහින්ද සමරසිංහ මැයි 15 කැබිනට් පේපර් එකක් දාලා සැප්තැම්බර් 18දා ඒක අවලංගු කරන්න යෝජනා කළාම ඒ ගැන අධ්‍යයනය කරන්න මංගල හා මලික්ට භාර දී තියෙනවා. ඒ නිරීක්ෂණය ගිය අඟහරුවාදා කැබිනට් එකට ඇවිත් තියෙන්නේ. ජනාධිපතිතුමාත් මේ පර්යන්තය ගැන මීට කලින් මෝදි එක්කත් කතාකරල තියෙනවා. පසුව ජපානයට ගිහින් ජපාන අගමැති එක්කත් කරුණු කතාකරල තියෙනවා. නිමල් සිරිපාලලත් එතන හිටියා. මොකද බටහිර පර්යන්තය ජපානය මෙහෙයවන්න සූදානම් නිසා ඒ පැහැදිලි කිරීම් කරල තියෙන්නේ” මලික් සමරවික්‍රම කීවා.

“නැගෙනහිර පර්යන්තයේ 80% ක් ප්‍රති අපනයන කටයුතු කරන නිසා ඉන්දියාව එක්ක එකතුවෙලා වැඩ නොකළොත් ඒකෙ කටයුතු 20% බහිනවා කියන්නෙ ඇත්තද? අඟහරුවාදා සියල්ල ගැන එකඟතා ඇති නොවුණත් තීන්දුවට සතියක් කල්යාම විතරද සිදුවුණේ” චමින්ද විජේසිරි විමසුවා. එවිට ඇමැති මලික් කීවේ “ඔව්” කියායි.

“මම ඉන්දියාවේ යන නිසා ගිහින් ඇවිත් ලංකාවට වඩාත් වාසි හා සුදුසු තීන්දුවක් ගැන බලන්න පුළුවන් වේවි” අගමැති කීවා.

“නැගෙනිහිර පර්යන්තයේ හදල තියෙන්නේ බාගයයි. ඉතිරි ටික හදන්න ඕනැලු. බටහිර පර්යන්තෙ දිග නිසා එතන බිස්නස් වැඩිලු. ජපානය එක්ක එකතු වුණොත් එයාල බටහිර එක සංවර්ධනය කරනවාලු. ඒත් ක්‍රේන් හා අනිත් උපකරණ ගන්න අපේ කට්ටිය දඟලනවා. ඒ කොමිස් අරමුණේන් බව වෘත්තීය සමිති කියනවා. උපකරණ හයර් එකට දෙන්නම් කියල ජපානෙ කිව්වාම අපේ කට්ටිය ඒකටත් අකමැතිලු. හම්බ කිරීම මිසක් දේශප්‍රේමයක් මෙතන නෑ වගෙයි” චමින්ද විජේසිරි කීවේ වෘත්තීය සමිතිවල තොරතුරු මතයි.

“දැන් ඉන්දියාවෙ ගියාම මෝදියි එහේ ජනමාධ්‍යයි “රෝ ” හා නැගෙනහිර වරාය ගැන අගමැතිතුමාගෙන් අහවි නේද ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාමැදයි.

“ මට මුකුත් කියන්න දෙයක් නෑ. ජනමාධ්‍යය නොයෙක් ඒවා කිව්වනේ. වැරදි ප්‍රවෘත්ති නිවැරදි කරන එක විතරයි මට තියෙන්නෙ අගමැති කීවා.

“ ලංකාවේ හා ඉන්දියාවේ මාධ්‍යයත් මේක අවුලවන්න දඟලන නිසා ජනමාධ්‍ය මග අරින එක මේ වෙලාවේ හොඳම උපක්‍රමයයි. ” දයා ගමගේ අවවාදයක ස්වරූපයෙන් කී විට අගමැතිවරයා සිනාසුණා මිසක් කිසිවක් කීවේ නැහැ.

“ නැගෙනහිර වරාය කැබිනට් පත්‍රිකාව වරාය ඇමතිගේ. ජනාධිපතිතුමා ඉන්දියාව එක්ක කතා කරල ප්‍රශ්න බේරගත්තා. අන්තිමට ඇමතිගෙ පිටින් ඔක්කොම කුණු කන්දල් යාවිද දන්නෙ නෑ. ” වජිර අබේවර්ධන කීවේ එවැන්නක්.

“ අගමැතිතුමාගෙ දකුණෙන් ඉන්දියානු ඔත්තු සේවය, වමෙන් චීන ඔත්තුකරුවෝ, යටින් රුසියානු ඔත්තුකරුවෝ උඩින් සී.අයි.ඒ. කාරයො ඉන්නවද දන්නෙ නෑ. බලාගෙන” විජයදාස රාජපක්ෂ කීවේ කාගේත් සිනා මැදයි.

“මම ඔය පැති හතරම බලලයි ගෙදර ඉන්නෙයි වාහනයට නගින්නෙයි. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ” අගමැති කීවේද උස් සිනාහඩක් සමගින්.

“ඉන්දියාවත් එක්ක මීට පෙර අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව අතපසු වූ වැඩ ගැන එහේ අගමැති විදේශ වෙළෙඳ හා ප්‍රවාහන ඇමතිවරු එක්ක මේ සංචාරයේ දී කතා කරනවා. උතුරේ ගෙවල් හා යටිතල දියුණුව ගැනත් කතාකරනවා. සෝනියා ඇතුළු විපක්ෂයේ නියෝජිතයොත් හමුවෙනවා” අගමැතිවරයා වැඩිදුරටත් කීවා.

“මේ රටේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන ගැන අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍යයි. අසරණ අයට සහන සලසන්න තියන මුදල් ගසාකන හා වසර 20-30 මේවා අල්ලගෙන ඉන්න කෝටිපති එන්.ජී.ඕ. කාරයොත් ඉන්නවා. සමහර ආයතනවල මුදල් රට අවුල් කරන දේවල්වලටත් යොදවන බව ආරංචියි” දයා ගමගේ කීවා.

“එන්.ජී.ඕ ගැන හොයන්න. ශ්‍රීලංකා රතුකුරුසෙ ගැන විශේෂයෙන් හොයන්න කියල දයාට ඉල්ලීම් ආපු ඒවායේ පිටපත් මටත් ලැබිල තියෙනවා” අගමැති කීවා.

“දැන් ඇමතිවරු 15කින් යුක්ත භාරකාර රජය පිහිටවලා ඉවරද” කිරිඇල්ල ඇහුවා.

“බාරකාර එකේ “බාරේ” ගැටගහන්න සාටකයෙන් රෙදිකෑල්ල දුන්නෙ නෑ කියලයි ආරංචි” චමින්ද විජේසිරි කීවේ සිනාමැදයි.”සමහරු අලුත් ආණ්ඩු ගැන රෙද්ද උස්සගෙන දැඟලුවට අන්තිමට රෙද්ද අස්සෙ මොකුත් නෑ කියල රටම දැක්කා” චමින්ද වැඩිදුරටත් කීවා.

“ඒකාබද්දේ ඇතුලෙ කචල් එක එන්න එන්නම ගිනියම් වෙනවා. වෙල්ගමල දිනේෂ්ල වාසුලට ගෝඨගෙ ටීම් එක ගහනවා. එයාල රිටර්න් දෙනවා. එදා කොබ්බෑකඩුවට දුන්නා වගේ දැන් රාජපක්ෂලාගෙන් පිට කෙනකුට ජනපති අපේක්ෂකත්වය ඕන බවයි එතන හුඟ දෙනෙක් කියන්නෙ. මහින්ද පැරදුණු නිසා පවුලේ හයිය ගියා. ඒ නිසා පවුලටම මේක සීමා කරන්න බැරි තත්ත්වයක් ඇවිත්. විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ මිලිටරි ආණ්ඩුවකට ඒකබද්දේ අය වගේම ජනතාවත් බහුතරයක් කැමති නෑ” විජයදාස රාජපක්ෂ කළේ එවැනි විග්‍රහයක්.

“ හානි පූර්ණත්ව පනතෙන් කොටින්ට සල්ලි ගෙවන්න යන බවට ඒකාබද්ධය කියනවා. එදා කකුලක් නැති කොටි නායකයාට රාජපක්ෂලා කෝටි කීයක් දුන්නද කියල ඒකාබද්දෙට දැන් අමතකයි.අනික ජෝන්ස්ටන්ගේ නඩු තීන්දුව දේශපාලනිකව ආණ්ඩුවට අවාසි බව මිනිස්සු කියනවා. ” චමින්ද විජේසිරි කීවා.

“ දැන් අධිකරණය ස්වාධීනයි කියල ඔප්පු වුණා. ජනතාව ඒක තේරුම් ගනීවි. ඒ කාලෙ වගේ දුරකතන ඇමතුම්වලට දැන් නඩු තීන්දු ලියන්නෙ හෝ අග්‍රවිනිශ්චයකාරවරුන්ගේ ගෙවල් ඉස්සරහට පාතාලෙ අය දාල කුණුහරුප කියවලා අටපාස් අය දාලා නඩු අහල අග්‍රවිනිශ්චයකාරවරු දැන් පන්නන්නෙත් නෑ. මිනිස්සු මේවා හිතට ගනීවි. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීදේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළා.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පසුගිය දා ඉන්දීය ධජය සවිකළ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල රථයෙන් හම්බන්තොට, ගොන්නොරුව දෙසට ගමන් කරනු දුටු පුද්ගලයන් කීවේ “අදත් ලොක්කා මොකක් හරි ලොකු වැඩකට අත ගහලා වගේ” කියායි. මෝටර් රථය තුළ තරංජිත් සිං සන්දු මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ ඇමතිවරයා හර බර සාකච්ඡාවක නියැලී සිටියා. රථය ගමන් කළේ හම්බන්තොට, ගොන්නොරුවේ “සත්සුරුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය වෙතයි.

“අපි ඔබගේ නිවාස සංවර්ධන ක්‍රියාදාමය ගැන නිරතුරුව සුපරීක්ෂාකාරීව බලා සිටිනවා. එහි ප්‍රතිඵලයක් හැටියටයි, ඔබේ උදා ගම්මාන වැඩපිළිවෙළ සවිමත් කරන්නට තවත් රුපියල් ලක්ෂ 6, 000ක් පරිත්‍යාග කරන්නට නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අපගේ රජය තීරණය කළේ. මෙය ඉතා හොඳ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පිදෙන සහයෝගීතාවේ තිළිණයක් ” ඉන්දීය මහ කොමසාරිස්වරයා කියද් දී සජිත් කීවේ “මීට අවුරුද්දකට කලින්, 2017 ඔක්තෝබර් මාසයේ “සන්තොසගම” ජනතා අයිතියට පත් කළ දා ඉන්දීය රජය මුල්වරට පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ 6, 000 අපට විශාල ශක්තියක් වුණා. වසරක් යන්නට පෙර අද තවත් රුපියල් ලක්ෂ 6, 000 ක් අපට ලබා දීමට ගත් පියවර අගය කරනවා” කියායි.

“ඉන්දියාව විදේශ රටකට ලබා දී ඇති වැඩි ම ප්‍රදානය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ නිවාස සංවර්ධනය වෙනුවෙන් ” මහ කොමසාරිස්වරයා කීවා. සජිත් කීවේ “අපේ ජනතාවාදී නිවාස සංවර්ධන වැඩපිළිවෙළ වෙනුවෙන් රුපියල් ලක්ෂ 12, 000 ක්ම පරිත්‍යාග කිරීමෙන් ඉන්දියාවේ සැබෑ මිතුදම නැවත තහවුරු වුණා. කලින් මේ රටේ තිබුණේ මුළු රටම ණය උගුලක හිරකරපු ඊනියා සංවර්ධනයක්. අද ඒ ණය ගෙවා ගන්න බැරිව මුළු රටම අසීරුවට පත්වෙලා” යනුවෙන්.

“මේ, ඉන්දියාව ඔබ වෙනුවෙන් කරන අවසාන උදව්ව නොවෙයි. අපි ‍මෝදි අගමැතිතුමාගෙත්, රජයේත් පූර්ණ ආශීර්වාදයෙන් තවදුරටත් ඔබට උදව් කරනවා” මහ කොමසාරිස්වරයා සහතික වුණා.

සෙනසුරාදා ගම්පහ දිස්ත්‍රික්කයේ විවෘත කිරීම් ගණනාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වුණා. මේ අතර මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වියදමින් ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව ද යොදාගෙන තිබුණා. ජනාධිපතිවරයා පැමිණීමට පෙර ඇමැති වජිර අබේවර්ධන අමාත්‍යාංශ ලේකම් එස්.ටී.කොඩිකාර සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් සමඟ එහි ගොස් සිටියා. උත්සවයට පැමිණි ජනාධිපතිවරයා පිළිගත්තේ ඇමැති වජිර අබේවර්ධන විසින්තවත් උත්සව ගණනාවක් යොදාගෙන තිබුණෙන් මේ ස්ථානයේ උත්සව සභාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ නැහැ. ජනාධිපතිවරයා එතැනින් ඉක්මණින්ම පිටව ගිය අතර ඉන්පසු ඇමැති වජිර අබේවර්ධන එහි සිටි නිලධාරීන් සමඟ නව ගොඩනැගිල්ලේ ඉදිකර ඇති ශ්‍රවණාගාරයේ දී රැස්වීමක් පැවැත්වුවා. රැස්වීමට ගොස් නිලධාරී නිලධාරිනියන් අසුන්ගත් විට එතැන පිරිමි නිලධාරීන් ඉන්නේ ඉතා සුළු පිරිසක් බව දුටු වජිර ඇමතිවරයා රාජ්‍ය සේවයට කාන්තාවන් එක්වීමේ ප්‍රවණතාව වැඩි වී ඇති බවත් මහත්වරු නොමැතිවීම ඉදිරියේ දී ඇතැම් විට ගැටලුවක් විය හැකි බවත් කීවා.

පසුදින ඉරිදා ඇමැති වජිර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැවට ගියේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට. මේ උත්සවය පැවැත්වුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කළ අගමැතිවරයා ඒ ආසන්නයේ ම ඇති ඇහැටුවැව බණ්ඩාරනායක විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල සහ සෞන්දර්ය ඒකකය විවෘත කළා. ජනහමුව පැවැත්වූයේ ඇහැටුවැව විද්‍යාලයීය ක්‍රීඩාපිටියේ ඉදිකර තිබූ විශේෂ වේදිකාවකයි.

එහි දී අගමැතිවරයා ඉන්ධන මිල සූත්‍රය ගැන පැහැදිලි කළා. එමෙන් ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පාලනය විධිමත් කිරීමේ ක්‍රියාවලිය ගැන විස්තර කළ අගමැතිවරයා මෙසේ කීවා.

”වජිර අබේවර්ධන ඇමතිතුමා මේ වගේ දුෂ්කර ප්‍රදේශවලට ඇවිල්ලා පරිපාලන හසුකම් ඇතිකරමින් සිටිනවා. එය ඉතාමත් අත්‍යාවශ්‍ය වගේම වැදගත් වැඩක් අපි රජයක් හැටියට ගුණාත්මක පාලනයක් ගෙන යාමට අවශ්‍ය කටයුතු කඩිනමින් කළ යුතුයි. මා ඒ කරගෙන යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වජිර අබේවර්ධන ඇමතිවරයාට ස්තූති වන්ත වෙනවා. මේ සියල්ල කරන්න අපිට ආණ්ඩුවක් හැටියට මුදල් සොයා ගැනීමට සිදුවෙනවා. අප ආණ්ඩුව භාර ගන්නා විට රටේ මුදල් තිබුණේ නැහැ. 2014 වනවිට විදේශ ණය ගෙවීමට රටේ ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. ණය බර නිසා රට බංකොලොත් වුණා. අපි යහපත් පරිපාලනයක් තුළින් මේ රටේ තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් නිර්මාණය කිරීමට නම් හොඳ ආර්ථියක් ඇති කළ යුතු වෙනවා. ජනතාවගෙන් කොතරම් විවේචන එල්ල වුණත් අපිට අවශ්‍ය මුදල් සොයා ගැනීමට සිදුවුණා. ඒ අතරතුර විශාල නියඟයකට මුහුණ දුන්නා. පොහොර හිගයක් ඇතිවුණා. මේ නිසා අපි ජනතාවගෙන් බැනුම් ඇහුවා. අපේ අරමුණ වෙන්නේ රටේ ආර්ථිකයට මෙන්ම ගෙදර ආර්ථිකයටත් යම් සහනයක් ලබාදීමයි.”

වත්මන් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගන්ති කිහිපයක් වෙනස් කොට නව පනතක් ලෙස නැවත වටයකින් ගෙන ඒමට යෝජනා කර තිබෙනවා. මේ වනවිට එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේද අවධානය යොමු වුණා. ”ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුලින්ම ඉදිරිපත් වෙන්නේ 1978දී. ඒ වෙලාවෙත් ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ පනතට විරුද්ධත්වය ප්‍රකාශ කළා. මොකද ඒ වෙලාවෙත් මේක ගේන්නේ ආණ්ඩුවට එරෙහිව එන ජනතා විරෝධය මර්දනය කරන්න උපායක් විදියට. අපි විතරක් නෙවෙයි ඒ වෙලාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේ පනතට විරුද්ධව පාරට බැස්සා. අදත් ආණ්ඩුව මේ පනත ගේන්නේ හොඳ අරමුණකින් නොවන බව විශ්වාවසයි.” ටිල්වින් සිල්වා කීවා.

”එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සමුළුවට ආණ්ඩුව පොරොන්දුවක් වුණා මේක අහෝසි කරනවා කියලා. විශේෂයෙන් 2015 මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ පොරොන්දුවක් විදියට මේක තිබුණා. එක්සත් ජාතීන්ගේ බලපෑමට දැන් ආණ්ඩුව කරන්න යන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ මුල් පනතේ වගන්ති ටිකක් එහෙ මෙහෙ කරලා ඒ පනතම වෙන විදියකට ගේන්න.” විජිත හේරත් කියා සිටියා. ”එක්සත් ජීතන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම කියනකල් ඉන්න ඕනද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. මේ ආණ්ඩුව 2015 ඉඳලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අවශ්‍ය කරන පනත් එකක්වත් ගේන්න කටයුතු කළේ නැහැ. ඒවා මඟහැරියා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් උතුරේත් මර්දනය ගෙනාවා, දකුණෙත් මර්දනය ගෙනාවා. ඒ නිසා මේ පනත අහෝසි කරන්න ඕනෑ එකක්. අපි මේකට විරුද්ධය පාර්ලිමේන්තුවේ දී ඡන්දය දෙන්න ඕනෑ.

2018 වර්ෂය වනවිට ඌව වෙල්ලස්ස කැරැල්ලට වසර 200ක් සම්පූර්ණ වනවා. අධිරාජ්‍යවාදීන් කළ එම විපතට වන්දි ලබාගත යුතු යැයි ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න විසින් ඌව පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කළා. ”2018 වෙනකොට ඌව වෙල්ලස්ස කැරැල්ලට වසර 200ක් සම්පූර්ණ වෙනවා. ඒ වසර 200න් වසර 70ක් අයිති මේ පාලකයන්ට. මේ වෙනකොටත් රටේ දුප්පත්ම පළාත ඌව පළාත. දුප්පත්ම දිස්ත්‍රික්කය ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කය. හිතාගන්න පුළුවන් අධිරාජ්‍යවාදීන් මේ පළාතට කරපු විනාශය කොයිතරම්ද කියලා. ඒ වගේම පහුගිය වසර 70ටම අපේ රටේ පාලකයින්ට මේ පළාත දියුණු කරන්න බැරි වුණා. වසර 30ක් අනවරත යුද්ධයක් පැවැති උතුර නැගෙනහිර පළාතටත් වඩා අපේ පළාත දුප්පත් වෙලා. සමන්ත විද්‍යාරත්න යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියා. ”ඔව්, අපි බ්‍රිතාන්‍යයෙන් වන්දි ගන්න ජිනීවා යන්න ඕනෑ.” ඌව පළාත් සභා මහ ඇමැති යෝජනා කළා. ”ජිනීවා යන්න කලින් මේ රටේ පාලකයෝ ඌව වෙල්ලස්ස ජනතාවට වන්දි ගෙවන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි මහ ඇමතිවරයත් ජනතාවට වන්දි ගෙවන්න ඕනෑ. සුද්දා හදපු කෝච්චියේ වඩේ විකුණපු කෙනා අද පළාතේ මහ කෝටිපතියෙක් වුණේ කොහොමද? ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් ආපු සල්ලි තමන්ගේ ගිණුම්වලට දාගෙන කෝටිපතියන් වුණු සෑම දේශපාලකයෙක්ම ජනතාවට වුණු විපතට වන්දි ගෙවන්න ඕනෑ. අපි ජිනීවා යන්නත් ඕනෑ ඊට කලින් මෙහෙ පාලකයන්ගෙන් වන්දි ගන්න ජනතාව පෙළගැහෙන්න ඕනෑ.” සමන්ත විද්‍යාරත්න කීවා. මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත වුණා.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුකරුවන්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුදල් ලබාගත්තා යැයි ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් පසුගිය කාලයේ මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්ව තිබුණා. මොහොතේ නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සද පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගත්තා යැයි මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයක් කළා. එම ප්‍රකාශයත් සමඟ ජවිපෙ නීතිඥයන් මාර්ගයෙන් මෛත්‍රී ගුණරත්නට එරෙහිව එන්තරවාසියක් යැව්වා. එමෙන්ම එම චෝදනාව සාක්ෂි සහිතව ඔප්පු කරන්නැයි ජවිපෙ විසින් ඔහුට අභියෝග කළා. නමුත් මේ වනතෙක් මෛත්‍රී ගුණරත්න විසින් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කොටනැහැ. කෙසේ වෙතත් එම මොහොතේත් ජවිපෙ නායකයින් කියා සිටියේ හ`ඩ මේ මෛත්‍රීගේ වුවද අත අනෙක් මෛත්‍රීගේ කියායි. මන්ද මෛත්‍රී ගුණරත්න මේ වනවිට සේවය කරන්නේ කාටදැයි මුළු රටම දන්නා කරුණක් නිසායි. මේ හේතුව නිසා තමන්ට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ දී රුපියල් මිලියන 500ක් ඉල්ලා නඩුවක් ගොණු කිරීමට වෛද්‍ය නලින්ද ජයතිස්ස තීරණය කර තිබෙනවා. එය නඩුකර දෙකක් වශයෙන් ලබන සඳුදා දිනයේ දී උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සතොස මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොණු කර තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කෙරුණා. මේ සම්බන්ධයෙන් නීතිඥයින් අතර කතාබහක් ඇතිවුණා. මේ කතාබහ ඇතිවූ අවස්ථාවේ නීතිඥ සුනිල් වටගල මන්ත්‍රීවරයාද එම ස්ථානයේ සිටියා. ”ජොන්ස්ටන් නිදහස් වුණා තමයි නමුත් හොරකම් කළේ නැහැ කියලා කාට හරි කියන්න පුළුවන්ද? නිකන්ම නිකන් මිනිහෙකුට විරුද්ධව නඩු දාන්නේ නැහැනේ. නඩුව දාන විදියේ දුර්වලකමක් නිසා නිදහස් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. මිනී මරපු අයත් නිදහස් වෙනවා සාක්ෂි පරස්පර වුණාම. එහෙම වුණා කියලා මිනීමැරුම සිදුවෙලා නැහැ කියලා කාටහරි කියන්න පුළුවන්ද?” නීතිඥයින් විවිධ කතා කියමින් සිදුවීම ගැන විග්‍රහ කිරීමට ඉදිරිපත් වුණා. ”මෙතන බරපතළ ප්‍රශ්නයක් තියෙනවා පැමිණිල්ල පැත්තෙන්. විත්තියේ සාක්ෂි විමසන්නේ නැතුවම චූදිතයා නිදහස් කරනවා කියන්නේ පැමිණිල්ලේ සාක්ෂි ප්‍රබල නැති නිසා. ආණ්ඩුවේ නීතිපතිවරයා පෙනී ඉන්න නඩුවක් මේක. ආණ්ඩුව පැත්තෙන් හරියට පැමිණිල්ල ගොනු කරන්නේ නැහැ කියන්නේ එතන මොකක් හරි ඩීල් එකක් තියෙනවා කියන එක.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව භාරකාර ආණ්ඩුවක් හැදීමේ උත්සාහය අසාර්ථක වීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂය තුළ ගැටුම අලුත් ආකාරයකින් වර්ධනය වී තිබෙනවා. එය නම් ජනාධිපතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයකු තෝරාගැනීමේ ගැටුමයි. ඒකාබද්ධ විපක්ෂයේ මුල් තක්සේරුව වී තිබුණේ ජනාධිපතිවරණය ජයගත හැකි අපේක්ෂකයකු නැති බවයි. ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුවේ බල පෙරළියක් සඳහා උත්සාහ දැරුනේ ඒ අනුවයි. එම උත්සාහය අසාර්ථක වීමත් සමඟ පැරණි ගැටුම යළි මතුවී තිබෙනවා.

උදය ගම්මන්පිල, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන ආදීන් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා තරගයට ඉදිරිපත් කළ යුතු බවටයි. එයට දැඩි ලෙස විරුද්ධ වන කුමාර වෙල්ගම මහතාට පසුගියදා මහනුවර පැවැති රැස්වීමක දී වාග් ප්‍රහාර එල්ල වුණා. ලොහාන් රත්වත්තේ, මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම ආදීන් කීවේ වෙල්ගම ගෝඨාභයට බියවී ඇති බවයි. වෙල්ගම මහතාද එයට ප්‍රතිප්‍රහාර එල්ල කළා.

වාසුදේව නානායක්කාර මහතා යෝජනා කළේ චමල් රාජපක්ෂ මහතාගේ නමයි. කෙසේ වෙතත් චමල් රාජපක්ෂ මහතා කියා තිබුණේ ජනාධිපතිවරණයට තමන්ට වඩා ජවයක් ඇති නායකයකු ඉදිරිපත් කළ යුතු බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර ප්‍රකාශ කොට තිබුණේ ජනාධිපතිවරණයට තරග කිරීමට සුදුස්සා බැසිල් රාජපක්ෂ මහතා බවයි.

මෙලෙස ප්‍රසිද්ධියේ ඇතිව තිබෙන මත ගැටුම සමනය කිරීමට පසුගියදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී මහින්ද රාජපක්ෂ මහතා සියලුදෙනාට අවවාද කළා, ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුදැයි තමන් නිසි වෙලාවට කියන බවත්, එතෙක් තමන් තමන්ගේ පෞද්ගලික මත ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙසත් මහින්ද සියලුදෙනාගෙන් ඉල්ලා සිටියා.

ඒකාබද්ධ විපක්ෂය තීරණය කළේ යළි කොළඹට ඒමට පෙර ගමට ගොස් උද්ඝෝෂණ කළ යුතු බවයි. පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලා මහනුවර, අනුරාධපුරය, රත්නපුර, කෑගල්ල ආදී ප්‍රාදේශීය නගරවල උද්ඝෝෂණ මාලාවක් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කොට තිබෙනවා.

මහනුවර කණ්ඩායමෙන් තමන්ට එල්ල වූ ප්‍රහාරයට පිළිතුරු දීමට ජනමාධ්‍ය ඇමතූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කීවේ අද වීරයන් වෙන්න හදන සමහරුන්ට නුගේගොඩ වේදිකාවට නගින්න කොන්ද පණ නොතිබූ බවයි. සමහරු දින සියයේ ආණ්ඩුවේ ඇමැතිකම් ගන්න රනිල් ළඟ දනින් වැටුණු බව ද කී වෙල්ගම තවත් සමහරුන්ගේ අත් දෙකේම ලේ තැවරී ඇති බව ද කීවා.

ජනාධිපති අපේක්ෂකත්වයට රාජපක්ෂවරයකුම අවශ්‍ය නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතාට තරග කළ නොහැකි නම් ඒ අවස්ථාව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකුට දිය යුතු බවත් කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *