|

ජනතා විරෝධී විරෝධතා – සී.ජේ. අමරතුංග

ඇතැම් විට ජන කණ්ඩායම් පෙළගැසෙන්නේ කුමක් හෝ සංවර්ධන ක්‍රියාවලියකට විරුද්ධ වන්නටය. ඒවාට විවිධ හේතු හදා ගනිති. බොහෝවිට බොරු හේතු ය. මවාගත් හේතු ය. යම් කණ්ඩායමක් සංවිධානය කරගෙන කරන උද්ඝෝෂණවලට කියන්නේ ජනතාවගේ විරෝධතා කියාය. එසේ වුවද ඇත්තටම ජනතාවගේ කැමැත්ත හෝ අකමැත්ත මෙම පිරිසගෙන් නියෝජනය වන්නේ ද යන්න ප්‍රශ්නයකි. බො‍හෝවිට නිහඬව සිටින බහුතර ජනයා සිටින්නේ වෙනත් මතයකය. ඒ මතය ප්‍රකාශ වන්නේ පසුවය. හොඳම උදාහරණය නම් උමා ඔය ව්‍යාපෘතිය කඩාකප්පල්කොට නතර කළ උදවියට බණ්ඩාරවෙල ජනතාව මැතිවරණයේදී දුන් තීන්දුවයි.

එසේ වුවද මේ කඩාකප්පල් වැඩ නතරවීමක් ද නැත. දැන් එක සටනක් පටන්ගෙන තිබෙන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට දෙනවා කියාගෙනය. කියන්නේ මේක මහා සම්පතක් බවයි. ඩොලර් උල්පතක් බවයි. හැබැයි ඒක සංවර්ධනය කරගන්න ඉඩ දෙන්නේ නැත.

සුද්දා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය අතහැර ගියේ 1956 දීය. 2003 වන තෙක් එසේම තිබිණි. ඩොලර් තියා ශතයක් ඉපයූවේ නැත. ඒ කාලේ තෙල් සංස්ථාව ඒ ගැන හෙව්වේ බැලුවේවත් නැත. සම්පතක් තියෙනවා කියා හිතාගෙන හිටියේය. අමෙරිකාවට, ඉන්දියාවට මෙය අවශ්‍යව ඇතැයි සිතා සිටියේය. එහෙත් එහෙම අවශ්‍යතාවයක් එම රටවලට නොතිබුණි. ඒ රටවලින් මෙරටට එවා තිබූ රාජ්‍ය තාන්ත්‍රිකයෝ ඒ බව කීවෝය.

2002 දී මෙම තෙල් ටැංකි භාරගෙන සංවර්ධනය කරන්නයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය. දේශපාලන නිරීක්ෂකයන් කියන්නේ එය යුද්ධෝපායික පියවරක් බවයි. එල්. ටී. ටී. ඊ. ය ඔවුන් හදන්නට හිටි ඊළාම් රාජ්‍යයේ අගනුවර කරන්න හිටි ත්‍රිකුණාමලය ඉන්දියාවට ආර්ථික වශයෙන් වැදගත් ව්‍යාපාරික ස්ථානයක් කිරීම එහි යටි අරමුණ වූ බව කියති.

ජනතාවට එරෙහි සටන්

කෙසේ වෙතත් ඉන්දියානු සමාගම් කීවේ තෙල් ටැංකි භාරගෙන වැඩක් නැති බවය. ඒ නිසා අයි. ඕ. සී. සමාගමට ඉන්ධන බෙදාහැරීමේ ව්‍යාපාරයේ කොටසක් ද ලබා දුන්නේය. ටැංකි ලබා දුන්නේ එම ව්‍යාපාරික කටයුත්තටය. ඔවුන් භාරගත් ටැංකි ද සියල්ල ප්‍රයෝජනයට නොගත්තේ මේ ව්‍යාපාරික කටයුත්තට විශාල වැඩි නිසා බව කියති. ඉතිරි තෙල් ටැංකි ව්‍යාපාරික ලෙස යොදාගැනීමේ ප්‍රශ්නයක් තවමත් ඇත.

තෙල් සංස්ථා සේවකයන්ට හා එහි නිලධාරීන්ට ඇත්තේ වෙනත් ප්‍රශ්නයකි. තෙල් බෙදාහැරීමේ ඔවුන්ගේ ඒකාධිකාරය යම්තාක් දුරකට බිඳ වැටිලාය. මෙරට ජනයා ප්‍රාණ ඇපයට ගෙන වැඩ වර්ජන කිරීමේ හයිය දුර්වල වී ඇත. දැන් හැම අතින්ම වැඩ කෙරෙන්නේ ඉන්දියානු ඔයිල් සමාගමට පලා බෙදන්නය. නැතිනම් එම ව්‍යාපාරික කටයුතු අලාභදායක බවට පත්කොට සමාගම ආපසු යවන්නය. එසේ කළ විට තෙල් සංස්ථාවේ ඒකාධිකාරය තහවුරු වෙයි. සටන කෙරෙන්නේ ඒකටය. මෙය ජනතාවට එරෙහි සටනකි. තේරුම් ගත යුත්තේ ඒකය. කෙසේ වෙතත් ඇමැති අර්ජුන රණතුංග මහතා කියා ඇත්තේ තෙල් ටැංකි විකුණන්නේ නැති බවයි. රජය අතේම තබාගෙන හවුල් ව්‍යාපාරයක් මඟින් සංවර්ධනය කරන බවයි. එය ද පිළිගන්නා බවක් පෙනෙන්නට නැත.

අවස්ථා අහිමිකර ගැනීම

තවත් සටනක් නම් ඌවේ ඉඩම් සීනි කර්මාන්තය සඳහා විදේශීය සමාගමකට දීම ගැනය. මීට පෙරද මෙම උත්සාහය තිබිණි. ගොවීන් යැයි කියාගත් පිරිසක් උද්ඝෝෂණය කර එය කඩාකප්පල් කළේය. ඉන් ගොවීන්ට ලැබුණු දෙයක් නැත. උක් වගාව සිදුකොට ජීවිකාව කරගන්නත්, සීනි කර්මාන්තශාලාවක රැකියා ලබන්නත් ජනතාවට තිබූ අවස්ථාව නැති විය. එය තේරුම්ගෙන ඇති සාමාන්‍ය ජනයා තම ප්‍රදේශයට සමාගමක් පැමිණ සීනි කර්මාන්තය නඟාසිටුවනවාට කැමැතිය. විරුද්ධ වන්නේ ජනතාව කියාගත් පිරිසකි. ඇත්ත කතාව ඒකය.

මෙම සීනි කර්මාන්තය නඟාසිටුවීම සඳහා සැලසුම් කළ හා එය ක්‍රියාත්මක කරන නිලධාරීන් කියන්නේ ප්‍රදේශයේ ජනයා මෙයට කැමැති බවයි. විරුද්ධ වී සිටින්නේ තමන් මහජනයා බව කියාගන්නා සුළු පිරිසකි. වැඩේ කඩාකප්පල් කරන්නට හදන්නේ එම පිරිස විසිනි. උමා ඔය ව්‍යාපාරය කඩාකප්පල් කළ උදවිය ද මෙම ව්‍යාපාරයේ නායකත්වයේ සිටින බව ද පෙනෙන්නට ඇත. බණ්ඩාරවෙල ජනයා මොවුන්ට සැලකූ ආකාරයෙන්ම ඌවේ අනෙක් ජනයා ද ඉදිරි කාලයේ මෙම පිරිසට පාඩම් උගන්වනු ඇති බව අපට නම් සැකයක් නැත.

මේ නායකයන් ඇත්තටම කරන්නේ ජනතාව වෙනුවෙන් යයි කියමින් ම ජනතාවගේ උන්නතියට අකුල් හෙළන එකය. ජනතාව හැමදාමත් දුප්පත්කමේ ගිල්වා තබාගන්න එකය. ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිවලට ජනතාව ඇදගන්නට හදන්නේ එහෙමය. ජනතාව කරන්නේ මෙම පිරිසගෙන් හැකිතාක් ඈත්වන එකය. එසේ වන්නේ ඇයි ද කියා විමසන්නට තරම් ඥානයක් මෙම පිරිසට ඇති බවක් පෙනෙන්නට නැත.

තව පිරිසක් තව සටනක් කරන්නේ අරවක්කාලු කසළ රඳවනයට එරෙහිවය. මෙය කාලයක් තිස්සේ රටේ සාකච්ඡා වූ ව්‍යාපෘතියකි. එය සකස් කළේ විද්වත් අදහස් විමසීමෙන් පසුවය. රටේ කසළ ප්‍රශ්නයට දිගුකාලීන විසඳුමක් වශයෙනි. එය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට ක්‍රියාවට නඟා ඇත.

කෙසේ වෙතත් යම්කිසි පිරිසක් දැන් එයට එරෙහි වී උද්ඝෝෂණයේ යෙදෙන්නේ ‘කොළඹ කුණු අපට එපා’ කියමිනි. මේවා ලාබ සටන් පාඨය. හරියට මේ කට්ටිය කිසිදාක කොළඹ එන්නේ නැති ගානය. කොළඹ කුණු ගොඩගැහෙන්නේ කොළඹ පදිංචිකරුවන්ගෙන් පමණක් වගේය. දිනපතා කොළඹට එන දසලක්ෂ ගණන් ජනයා කොළඹ දමා යන කුණු ගැන කතාවක් නැත.

‍රටේ අගනුවර කොළඹයි. එය පිරිසුදුව තබාගැනීම අවශ්‍යය. එහිදී තිබෙන විකල්ප ගැන සොයා බලා කටයුතු කළ යුතුය. කොළඹ අවට ජනාකීර්ණ ප්‍රදේශවලට කසළ බැහැර කිරීම වෙනුවට සොයාගත් ස්ථානය අරුවක්කාලුවයි. එය ජනාකීර්ණ ප්‍රදේශයක් නොවේ. මේ උද්ඝෝෂණය කරන්නේ එයට පිටතින් පදිංචි පිරිසකි. එය පිටුපස ද විවිධ දේශපාලනඥයන් ක්‍රියාත්මකව සිටිය හැකිය. මෙය ඇත්තටම කොළඹට එරෙහි ව්‍යාපාරයක් නොව රටට එරෙහි ව්‍යාපාරයකි.

අපි නම් කොළඹ එන්නේ නැහැ කියා කියන්නට මේ උද්ඝෝෂණය කරන කාට හෝ හැකි ද යන්න ප්‍රශ්නයකි. සියලු වැඩ කරගන්නට අවසානයේ එන්න වෙන්නේ කොළඹටය. අමාරු ලෙඩකට බෙහෙත් ගන්නට ද කොළඹට එන්න වෙනවාය. මේ කියන්නේ හැමදේම කොළඹින් ඕනෑ. කුණු විතරක් එපා කියලාය. මෙහි තිබෙන්නේ ආත්මාර්ථකාමය හා ඇතැම්විට පටු දේශපාලන වාසි පමණකි.

අවංකබව ද ප්‍රශ්නයකි

අනෙක් අතට මෙම ව්‍යාපාරවල අවංක බව පිළිබඳවද ප්‍රශ්න මතුවන්නේ බොරු ගොඩක් කියන නිසාය. පරිසර බලපෑම ගැන කියන කාරණා බොහොමයක් මවාගත් කතාය. සිංගප්පූරුවේ කුණුත් ගෙනෙනවා කියන්නේ සම්පූර්ණයෙන්ම බොරුවකි. සිංගප්පූරු කුණු එනවාය කියා මුලින් ලොකුවට කී උදවිය පවා දැන් එම කතාව නොකියන තත්ත්වයකට පත්ව තිබියදීය. මෙබඳු පටු අරමුණු සහිත විරෝධතා ගැන අතීතයේ සිටම අසන්නට ලැබී ඇත. බලාගෙන ගියාම හැම හොඳ වැඩකටම විරෝධතා ඇතිවී තිබේ. මේ රටේ මුලින්ම දුම්රිය මාර්ග ඉදිකරන විට විරුද්ධ වූවෝ කරත්තකරුවෝ ය. ඒ තමන්ගේ ජීවිකාව නැතිවනවා කියාය.

ගොවි ජනපද ඇතිකර ජනයා පදිංචි කරන විට එයට එරෙහිව ද උද්ඝෝෂණ කළෝය. ජනතාව මැලේරියා වසංගතයට ගොදුරු වී මිය යනු ඇතැයි කීවෝය. මහවැලි ව්‍යාපාරය හදන විට කීවේ මහා ජලාශ නිසා කඳු නාය ගොස් මහ විපත් සිදුවිය හැකිය කියාය. අද තිබෙන පරිසර සංවිධාන එදා බලවත්ව තිබුණා නම් මේවා හැදෙන්න දෙන්නේම නැත. මෙම පරිසර සංවිධාන එදා නොතිබීම නම් රටේම වාසනාවකි.

පුත්තලම ගල් අඟුරු බලාගාරය හදනවාට ද වි‍රුද්ධ විය. එය නොතිබුණා නම් මේ වන විට අපට දවසේ වැඩි කලක් ඉන්නට වෙන්නේ අඳුරේය. අධිවේගී මාර්ග ගැන දැන් බොහෝ දෙනා කතා කරති. ඒවායේ වටිනාකම කියති. මේවා හදන්න පටන් ගන්නා විට කොතරම් විරෝධතා ක්‍රියාත්මක වීද යන්න දැන් කාටවත් මතක නැත. දකුණු අධිවේගී මඟ සැලසුම් කළේ 1988 දීය. ඒ එජාප ආණ්ඩුවෙනි. විරෝධතා නිසා එය වරින්වර නැවතිනි. සැලසුම් ද වෙනස් විය. අන්තිමේදී එය අවසන් කරන විට තිබූ ප්‍රීති ඝෝෂා එදා තිබුණේ නැත.

කටුනායක අධිවේගී මඟ මුල් කාලයේ සැලසුම්කොට තිබුණේ එමඟින් නුවර පාරට ද පිවිසුමක් ඇතිවය. ඒ පෑලියගොඩ සිට නිට්ටඹුව දක්වා ඇති මාර්ග තදබදය මඟහැර අධිවේගී මඟ ඔස්සේ නුවර පාරට පැමිණීමට හැකිවන ලෙසටය. එය වෙනස් වූයේ උද්ඝෝෂණ නිසාය. අන්තිමට හැදුණු මාර්ගය මුල් මාර්ගය තරම් වාසිදායක නැත. ඇත්ත කතාව ඒකය. ඊනියා විරෝධතාවල ප්‍රතිඵලය එයයි.

නිදහස් වෙළෙඳ කලාප හැදූ හැටි

නිදහස් වෙළෙඳ කලාප මුලින්ම ඇතිකරන විට තිබුණේ මාරාන්තික විරෝධයකි. සුද්දන්ට අපේ ජනයා සූරාකන්නට දෙනවා කියා කීවෝය. වහල් කලාප යයි කියමින් විරෝධතා දැක්වූහ. දැන් අපේ කොල්ලන්ට කෙල්ලන්ට රැකියා තියෙන්නේ එම නිදහස් වෙළෙඳ කලාප තුළය. දැන් හැමතැනම ඉල්ලන්නේ වෙළෙඳ කලාපයි. සමහර තැනක ඇතිකරන විවිධ කලාප එතරම් ප්‍රයෝජනවත් ද යන්න පවා ප්‍රශ්නයකි. මුලින් වෙළෙඳ කලාප හදන විට පැමිණි විරෝධතා නිසා වැඩේ අතහැර දැම්මේ නම් අද මේ කිසිවක් හදන්නට ෙවන්නේ නැත.

ටෙලිකොම් සමාගමක් කරනවාට කොටස් විකුණනවාට එරෙහිව ක්‍රියාත්මක වූයේ බරපතළ විරෝධයකි. එසේ වුවද එම පෞද්ගලිකකරණයේ ප්‍රතිඵල අති විශිෂ්ටය. එදා දුරකථනයක් ගන්න වසර ගණනක් පොරොත්තු ලැයිස්තුවේ සිටිය යුතු වීය. දැන් එවැනි ප්‍රශ්න නැත. දුරකථන විකුණන්නේ ඇ‍ඟේ ගහලාය. දුරකථන සේවා ලබාදීම ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකින්ම කරන්න ඕනෑ කියා දැන් කවුරුවත් කියන්නේ නැත.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය එමිරේට්ස්ට දීම ගැන ද බොහෝ විවේචන එල්ල වීය. කෙසේ වෙතත් ඒ කාලයේ ලාභ ලබමින් ගුවන් සේවය සාර්ථකව පවත්වාගෙන ගියේය. පසුව මහින්ද රාජපක්ෂ මහතා එම සමාගම එළවා ගත්තේය. ඉන්පසුව ප්‍රකෝටි ගණනින් පාඩු ලැබුවා මිස සෙතක් නැත. දැන් ඒ කොල්ලකෑම ගැන කොමිසන් මඟින් පරීක්ෂණ කෙරෙයි. විරෝධතාවල ප්‍රතිඵල ඒවාය.

කෙරෙන්නට තිබෙන වැඩකට විරුද්ධව ජනකොටස් පෙළගැස්වීම පහසුය. එවිට කරන්නේ විශාල තර්ජනයක් මවා පෙන්වීමය. ගොවි ජනපද සම්බන්ධයෙන් නම් මැලේරියා වසංගතය යි. මහවැලියට නම් නායයාමේ තර්ජනයි. සංචාරක ව්‍යාපාරය ගැන කීවේ සුද්දන් ඇවිත් අපේ ගෑනු විනාස කරනවා කියාය. ගණිකා වෘත්තිය ගැනය. කණ්ඩලම හෝටලය ගැන කීවේ පළාතේම පරිසරයට තර්ජනයක් බවයි. ඒ කිසිවක් ඇත්ත නොවූ බව දැන් ජනතාව දන්නවාය. මේ සියල්ලම බොරු බිල්ලන් මැවීම් පමණකි.

ඉතා සුළු පිරිසක් තවමත් යම් යම් ‍ජනකොටස් විවිධ විරෝධතාවලට පොළඹවන්නේ මෙබඳුම පච බේගල් ඇදබාමින් බව සියලුදෙනා තේරුම්ගත යුත්තෝය. බේගල් මත පදනම් වන මේ කඩාකප්පල්කාරී ව්‍යාපාර පිටු නොදකින තාක් අඳුරු වන්නේ රටේත්, ජනතාවගේත් අනාගතය යි.

සී.ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *