නව අගවිනිසුරු – අනුර සුරිය බණ්ඩාර

නව අගවිනිසුරුවරයා පත් වී සිටී. ඒ ජනාධිපතිවරයා ව්‍යවස්ථා වභාවට ඉදිරිපත් කළ යෝජනාව ව්‍යවස්ථා සභාව විසින් ඒකමතිකව පැළිගැනීමෙනි. ව්‍යවස්ථා සභාව සමන්විත වන්නේ ආණ්ඩුවේත් විපක්ෂයේත් නියෝජිතයන්ගෙන් සහ සිවිල් නියෝජිතයන්ගෙන්ය යන කරුණ සලකා බලන කල්හි අගවිනිසුරුවරයා පත් කිරීම ඒකමතිකව තීරණය වීම විසින් කාටත් පිළිගත හැකි කාගේත් අනුමැතිය හිමිවන සාධාරණ පත් කිරීමක් සිදුව ඇති බව තහවුරු වේ. ඒ අනුව නව අගවිනිසුරුවරයා යටතේ අධිකරණයේ ස්වාධීනත්වයද තවදුරටත් තහවුරු වී ඇති බව පිළිගත යුතුය. එය මෙරට අධිකරණ ක්ෂේත්‍රයේත් ජනතාවගේත් ප්‍රජාතන්ත්‍රවාදයේත් ජයග්‍රහණයකි.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යාමට මුල් වූ කරුණු අතර ප්‍රධාන සාධකය වූයේ ඔවුන් විසින් හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය අතිශය පහත් ආකාරයෙන් ධුරයෙන් පළවා හැරීමය. එසේ කිරීම තුළ ඔවුන් අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත් කළා පමණක් නොවේ. ඒ ක්‍රියාව මගින් ඔවුන් ගම්‍ය කලේ මෙරට අධිකරණ ක්‍රියාවලියත් යුක්තිය ඉටුකිරීමේ යාන්ත්‍රණයත් කොතරම් පහත් කොට සලකා ඔවුන් කටයුතු කරන්නේද යන්නයි.

ශිරානි බණ්ඩාරනායක මහත්මිය කැලෑ නීතිය අනුව ධුරයෙන් පහකිරීමෙන් පසුව එම ධුරයට පත්කරන්නට යෙදුණේ මොහාන් පීරිස් මහතාය. ඔහුගේ පත්කිරීම අධිකරණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද, ප්‍රවීණත්වය හෝ සුදුසුකම් හෝ අනුව කළ පත්කිරීමක් නොව හුදු දේශපාලන පක්ෂපාත බව සලකා කෙරුණක් බව පැහැදිලි කාරණාවක් විය. මොහාන් පිරීස් මහතාගේ දේශපාලන ගැති බව පැහැදිලි කරන එක් සාධකයක් වුයේ 2015 ජනවාරි මැතිවරණයෙන් පසුව සූදානම් වූයේය කියැවෙන දේශපාලන කුමන්ත්‍රණයේ දී ඔහු හැසිරුණේය කියන ආකාරයය. අනෙක තමාට නොකඩවා අගවිනිසුරු ධුරයේ රැඳී සිටින්නට ඉඩදෙන ලෙසත් එසේ ඉඩදෙන්නේ නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියන ආකාරයට නඩු තීන්දු ලබා දෙන බවටත් පින්සෙන්ඩු වුයේය යන්නය. ඒ බව හෙළිකෙරුණේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාම විසිනි. එකී සිදුවීම විසින් අනාවරණය වන්නේ එකී අගවිනිසුරුවරයාගේ නීච බව පමණක් නොවේ. රාජපක්ෂ යුගයේ අධිකරණය පත්ව තිබුණු, වික්ටර් අයිවන් මහතාගේ වචනවලින් කියන්නේ නම් ගඳගසන තත්ත්වයයි.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ශ්‍රි පවන් මහතා අගවිනිසුරු ධුරයට පත්කිරීම හේතුවෙන් අධිකරණය යම් තරමකට නිදහසේ හුස්ම ගන්නා තත්ත්වයකට පත්විය. එ‍සේම අධිකරණයට ස්වාධීනව වැඩකළ හැකි වටපිටාවක් යහපාලනය යටතේ මේ වන විට ඇති වී තිබේ. අගවිනිසුරුවරයාගේ පත්වීම සහ ඔහුගේ කාර්යභාරය තක්සේරු කළයුත්තේ ඒ සියලු සාධක මූලික කරගනිමිනි.

දැන් පවතින අධිකරණ පද්ධතිය පිළිබද තක්සේරු කළ හැකි ජීවමාන නිදර්ශන දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ ගලගොඩඅත්තේගේ හැසිරීමය අනෙක රන්ජන් රාමනායකගේ ප්‍රකාශයය.

ගලගොඩඅත්තේගේ හැසිරීම විසින් සංඛේතවත් කෙරුණේ අධිකරණයට ඇඟිලිගැසීම සාමාන්‍යකරණය වී තිබුණු රාජපක්ෂ යුගයේ ආදර්ශයයි. ඒ පාලන සමයේ අධිකරණයට අපහාස කිරීම සාමාන්‍ය තත්ත්වයක් මිස බරපතළ වරදක් වශයෙන් සලකනු ලැ‍බුවේ නැත. අගවිනිසුරුවරියට එරෙහිව උද්ඝෝෂණ කරන්නටත් ඇගේ නිවෙස ඉදිරිපිට කිරිබත් පිසිමින් සාද කරන්නන්ටත් පොලිස් ආරක්ෂාව සැපයුණු යුගයකි එය.

ඊළඟ කාරණය රන්ජන් රාමනායක මතුකරන ප්‍රශ්නයයි. එනම් අධිකරණ යාන්ත්‍රණයට සම්බන්ධ පිරිසගේ පාරිශ්‍රද්ධත්වයයි. රන්ජන් රාමනායක පවසා තිබුණේ නීතිඥයක් දූෂිත බවයි. එයම නීතිඥවරියක විසින් ආසන්න දිනයක ප්‍රකාශ කරන්නට යෙදුණි.

නීති වෘත්තියේ, අධිකරණ ක්ෂේත්‍රයේ පමණක් නොව ඕනෑම ක්ෂේත්‍රයක දූෂිත තැනැත්තන් සිටින බව පිළිගත යුතුය. එසේම පසුගිය කාලය මුලුල්ලේම අධිකරණයේ සුපිලිපන්න බව පිළිබද විවිධ සමාජ ක්‍රියාකාරීන්ද ප්‍රශ්න කරමින් සිටි බව අමතක කළ යුතු නැත. ඒ පිළිබද නීතිඥවරුන්ගේ මෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාවේද අවධානය යොමුවු අවස්ථා තිබුණි. ඒ තුළ සංවාදයට ද ලක්විණි.

ලෙනින් රත්නායක විනිසුරුවරයාගේ හැසිරීම ඒ සදහා එක් සාක්ෂියකි. ඔහුගේ හැසිරීම පිළිබද වගවිස්තර එවක රාවය කර්තෘ වික්ටර් අයිවන් මහතා විසින් අවශ්‍ය තරමට හෙළිදරව් කෙරිණි. අබේරත්න විනිසුරුවරයාද තවත් එවැනි කූප්‍රකය අයෙකි.

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පිළිබද වික්ටර් අයිවන් මහතා හෙළිකළ කරුණු අධිකරණයේ පිවිතුරු බව අපේක්ෂා කරන තැනැත්තන්ගේ රොමෝද්ගමනය ඇති කරන තරමට බරපතළය. සරත් එන්. සිල්වා අගවිනිසුරු සමයේ නඩුතීන්දු දුන් අකාරය හෙල්පින් හම්බන්තොට සම්බන්ධව ඔහු විසින්ම කරන ලද පාපෝච්චාරණය කදිම නිදසුනකි. ඉහත කරුණු උපුටා දක්වනු ලබන්නේ අධිකරණයට අපහාස පිණිස හෝ අවලාද පිණිස නොව අධිකරණය පිළිබද විවේචනයක් ජනතාවට ඇත්නම් ඊට සාධාරණ ‍හේතු අධිකරණ පද්ධතියේම අතැමුන් විසින් සපයා ඇති බව පෙන්වා දීමටය.

මෑත කාලයේ අධිකරණ ක්ෂේත්‍රයේ අතැම් සිදුවීම් චෝදනා පිළිබද සාධනීය පියවර ගැනෙමින් ඇති බවද සත්‍යයකි. අලි හොරකමක් පිළිබද තිළිණ ගමගේ විනිසුරුවරයාට එරෙහිව දූෂණ විරෝධි පෙරමුණ ඉදිරිපත් කළ පැමිණිල්ල විභාගයට ගැනීම එකකි. දිස්ත්‍රික් විනිසුරුවරුන් වන සෝමරත්න සහ අරවින්ද සම්බන්ධ චෝදනා සම්බන්ධව අධිකරණ සේවා කොමිෂම පියවර ගැනීම තවත් එකකි.

තත්ත්වය එසේ තිබියදීම තිළිණ ගමගේට ඇප ලැබුණු අකාරය සිල්රෙදි බෙදාදීමේ නඩුවේ විනිසුරු මාරුකරන්නට පිරිසක් උත්සාහ දරන බවට ඒ කාලයේ පළවූ පුවත බලවත් පුද්ගලයින් නඩුවලට බලපෑම් කරන බවට ඇති මතය (එම චෝදනාව මෙවර එල්ලවන්නේ දේශපාලන බලවතුන්ට නොව අධිකරණ ක්ෂේත්‍රයේම බවලතකුට වීම විශේෂය) ආදිය අධිකරණය හමුවේ ඇති මෙතෙක් නොවිසදුණු ගැටලු වශයෙන් සලකන්නට පුළුවන.

ජනවාරි අට වෙනසත් සමග සිදුවු දෙයක් වන්නේ අධිකරණයට ස්වාධිනව කටයුතු කරන්නට හැකි පරිසරයක් ඇති වීමයි. එසේම එම නිදහසින් ප්‍රයෝජන ගෙන ස්වාධීනව කටයුතු කරන විනිසුරු පිරිසක් සිටින බව ඔවුනට ස්තුති පිණිස සටහන් කළ යුතුය. එහෙත් පුද්ගලයනට පමණක් අධිකරණ ස්වාධින්තවය හෝ ගෞරවය ආරක්ෂාකරන්නට හැකියාවක් ඇතැයි සිතීම මුලාවකි. ඒ සදහා අධිකරණ පද්ධතියේ යහපත් දිශාවට වෙනසක් සිදුවිය යුතුය. ඉහත උපුටා දැක්වු ඇතැම් කරුණු අනුව පෙනී යන්නේ ආණ්ඩුව පාර්ශවයෙන් අවශ්‍ය ස්වාධින්තවය ලබා දී තිබුණ ද අධිකරණ පද්ධිතය අවශ්‍ය වේගයෙන් නිවැරදි දිශාවකට මාරුවීම මෙතෙක් සිදුව නැති බවය.

වසර ගණනක් තිස්සේ කුණුවීමට ලක්කර තිබුණු ආයතනයක් දවසින් දෙකින් පියවි තත්ත්වයට පත්කිරීම අසිරු බව සැබෑ නමුත් අධිකරණය වැනි යාන්ත්‍රණයක් නිවැරදි කර නොගෙන සමාජයක ඉදිරිගමනක් අපේක්ෂා කරන්නටද හැකියාවක් නැත. ඒ සදහා අධිකරණයට වේගවත්ව කටයුතු කරන්නට සිදුවනු ඇත. ගැටලුව ඇත්තේ පසුගිය වසර තුන තුළ අවශ්‍ය වේගයෙන් අදාළ කටයුත්ත සිදු වූයේද යන්නය. වෙනසට අවශ්‍ය බලය ජවය සහ නිවැරැදි මගපෙන්වීම නායකත්වය ලබා දීමට නව අගවිනිසුරුවරයා සමත්වුවහොත් හෙට එච්චර කළුවර නොවනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *