භාරකාර ආණ්ඩු – එම් ඕ ඒ ද සොයිසා

යහපාලන ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින බල අරගලය නිමාවන බවක් පෙනෙන්නට නැත. නිමාවනවාට වඩා දැකිය හැක්කේ අරගලය දවසින් දවස උත්සන්න වන තත්ත්වයක්ය. මෙම අරගලය කොතරම් දුරකට ගොස් තිබෙනවාද යන්න පෙන්නුම් කරන අලුත්ම තත්ත්වය වන්නේ මේ දිනවල ලැව් ගින්නක් මෙන් පැතිර යන භාරකාර ආණ්ඩුව පිළිබඳ අදහසය. පැතිරී යන අදහස්වලට අනුව භාරකාර ආණ්ඩුව ගොඩනැගීමට යන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය සහ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රධාන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම එක්වීමෙන්ය. මාධ්‍ය වාර්තාවලට අනුව මේ පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට දෙක තුනක් මේ වනවිට පවත්වා තිබේ.

භාරකාර ආණ්ඩුව ගොඩනැගීමට යන අකාරය දෙස බලන විට පෙනීයන්නේ යහපාලන ආණ්ඩුව ගොඩනැගීමට දායක වූ ප්‍රධාන පාර්ශ්වකරුවන් දෙදෙනා වන එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර හටගෙන ඇති අර්බුදය සමනය කළ නොහැකි මට්ටමකට ළඟා වී තිබෙන බවය. ඊට බලපා තිබෙන සැබෑ හේතු සාධක මොනවාද යන්න අර්බුදයට සම්බන්ධ පාර්ශ්ව දෙකෙන් එකක්වත් ජනතාවට හෙලිකරන්නේ නැත. මෙහි ප්‍රතිඵලය වී තිබෙන්නේ විවිධ සිතාගැනීම් පදනම් කරගෙන ජනතාව විවිධ තීන්දු තීරණවලට එළඹීමය. මෙම තත්ත්වය දෙපාර්ශ්වයේම මෙන්ම රටේ දේශපාලනයටද කිසිසේත්ම හිතකර නොවන බව අනිවාර්යයෙන්ම කිව යුතුය.

හටගෙන තිබෙන අර්බුදයේ ස්වභාවය කුමක් වූවද අර්බුදයට සම්බන්ධ එක් පාර්ශ්වයක් සැළසුම් කරන ආකාරයට මහින්ද රාජපක්‍ෂ ප්‍රධාන ඒකාබද්ධ විපක්‍ෂය සමඟ සන්ධාන ගත වී භාරකාර ආණ්ඩුවක් මේ අවස්ථාවේ දී පිහිටුවීමට හැකියාව තිබෙනවාද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ. මේ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් සොයා ගැනීමට නම් කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කළයුතුය. මෙයින් පළමු කරුණ වන්නේ භාරකාර ආණ්ඩුවක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්නය. දෙවැන්න වන්නේ මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ සතු සාපේක්‍ෂ බලය අනුව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවාද යන්නය.

භාරකාර ආණ්ඩුව පිළිබඳ අදහස එංගලන්ත වෙස්ට්මින්ස්ටර් ආණ්ඩුක්‍රම සම්ප්‍රදායෙන් පැවත එන දේශපාලන සංකල්පයක් වේ. වෙනත් ආකාරයකට කියනවා නම් බ්‍රිතාන්‍ය කැබිනට් ආණ්ඩුක්‍රම සම්ප්‍රදාය ආශ්‍රිතව පවතින දේශපාලන සංකල්පයක් වේ. කැබිනට් ආණ්ඩුක්‍රමය ආශ්‍රිතව පිළිගෙන ඇති සම්ප්‍රදායන් අනුව භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය හැකි අවස්ථා දෙකක් තිබේ.

මෙයින් ප්‍රථම එක වන්නේ බලයේ සිටින ආණ්ඩුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවක් මගින් පරාජයට පත්කොට මහ මැතිවරණයක් පවත්වා අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීමේ අවස්ථාවය. මේ හා සම්බන්ධ අවස්ථා කිහිපයක් තිබේ. පළමුව බලයේ සිටින ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සම්මත කරන විශ්වාසභංග යෝජනාවක් මගින් පරාජය කළ යුතුය.

දෙවනුව ඒ වෙනුවට වෙනත් ස්ථාවර ආණ්ඩුවක් පත් නොකොට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීමට පියවර ගත යුතුය. තුන්වනුව මහා මැතිවරණය පවත්වා නව ආණ්ඩුවක් පත් කරන තුරු පවතින අන්තර් කාලය සඳහා තාවකාලික ආණ්ඩුවක් පත් කළ යුතුය. කැබිනට් ආණ්ඩුක්‍රම සම්ප්‍රදාය අනුව භාරකාර ආණ්ඩුව ලෙස හඳුන්වන්නේ මෙසේ පත්කරන ආණ්ඩුවය.

දෙවන අවස්ථාව වන්නේ කැබිනට් ආණ්ඩුක්‍රමයක ආණ්ඩුව වගකියන මන්ත්‍රී මණ්ඩලය එනම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැරිය අවස්ථාවක මීළඟ මැතිවරණය පවත්වා නව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් තෝරපත් කරගෙන නව ආණ්ඩුවක් පිහිටුවන තෙක් ගතවන කාලය සඳහා ආණ්ඩුවක් පත් කිරීමේ තත්ත්වයයි. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම සම්ප්‍රදාය තුළ මෙම ආණ්ඩුව හඳුන්වන්නේද භාරකාර ආණ්ඩුව ලෙසය. මේ අනුව භාරකාර ආණ්ඩුව හා සම්බන්ධ මූලික ලක්‍ෂණ කිහිපයක් හඳුනා ගතහැක. ප්‍රථම ලක්‍ෂණය වන්නේ භාරකාර ආණ්ඩුවක් වූ කලී ඉතාම සීමිත කාලයක් සඳහා තාවකාලික පදනමක් මත පත් කරන ආණ්ඩුවක් වීමය. දෙවන ලක්‍ෂණය වන්නේ භාරකාර ආණ්ඩුවක් අතිශයින්ම මධ්‍යස්ථ විය යුතුය යන පිළිගැනීමය.

හේතුව ඒ යටතේ පැවැත්වීමට නියමිත මැතිවරණය සාධාරණ, නිදහස් හා අපක්‍ෂපාතී පදනමක් මත පැවැත්වීමේ අවශ්‍යතාවය නිසාය. තුන්වන ලක්‍ෂණය වන්නේ භාරකාර ආණ්ඩුවක් පවතින විට රාජ්‍ය සේවය සහ පොලීසිය මධ්‍යස්ථ විය යුතුයැයි යන නියමය පිළිගැනීමය. හේතුව මෙම සේවාවන් දෙක අපක්‍ෂපාතී නොවුණ හොත් මැතිවරණය ඉහත දැක්වූ කොන්දේසි යටතේ පැවැත්වීමට නොහැකි වීමය.

භාරකාර ආණ්ඩුවක් හා සම්බන්ධව දැකිය හැකි අනෙක් ලක්‍ෂණය වන්නේ එයට පැවරෙන කාර්යභාරය ආණ්ඩුවේ දෛනික කාර්යයන් ක්‍රියාවට නැංවීමට පමණක් සීමා වීමය. මෙයින් අදහස් කරන්නේ රටේ පැවැත්ම කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව තීන්දු තීරණ ගැනීමට භාරකාර ආණ්ඩුවකට නොහැකි බවය.

සමහරවිට වෙස්ට්මින්ස්ටර් ආණ්ඩුක්‍රම සම්ප්‍රදාය අනුව භාරකාර ආණ්ඩුවක් යනු මුළුමණින්ම අලුතෙන් පිහිටුවන ආණ්ඩුවක් නොවේ. බොහෝ අවස්ථාවල භාරකාර ආණ්ඩුව බවට පත්වන්නේ කලින් පැවැති ආණ්ඩුවමය. මේ අනුව භාරකාර ආණ්ඩුව යටතේද ආණ්ඩු බලය මෙහෙයවන්නේ කලින් සිටි අගමැතිවරයා සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයයි. එසේ වුවද අවශ්‍යතා අනුව සමහර විට අමාත්‍ය මණ්ඩලයේ සුළු වෙනස්කම් කළහැක. අනෙක් අතට මැතිවරණයෙන් යළිත් වරක් භාරකාර ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂය බලයට පත්වුව හොත් එහි දී අගමැති සහ කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත්වන්නේ කලින් සිටි අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්මය.

ඉහත දැක්වූ කරුණුවලින් පෙනීයන්නේ භාරකාර ආණ්ඩු සංකල්පය අතිශය සංකීර්ණ මෙන්ම අවුල් සහගත දේශපාලන ක්‍රියාවක් බවය. එසේ වූවද එයින් එක් කරුණක් පැහැදිලි වේ. එනම් භාරකාර ආණ්ඩුවක් රටක් දේශපාලන වශයෙන් හෝ ආර්ථික වශයෙන් හෝ අර්බුදකාරී තත්ත්වයකට පත් වූ අවස්ථාවක එයින් රට මුදවා ගැනීම උදෙසා දේශපාලන පක්‍ෂ දෙකක් හෝ කිහිපයක් එකට එක් වී පිහිටුවන ස්ථාවර ආණ්ඩුවක් නොවන බවය.

භාරකාර ආණ්ඩුවක් යනුවෙන් සත්‍ය වශයෙන්ම අදහස් කරන්නේ පවතින ආණ්ඩුව විසුරුවා හැරිය විටක මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත්කර ගන්නා තුරු තාවකාලික පදනමක් මත මාසයකට හෝ දෙකකට වැනි කෙටි කාලයක් සඳහා පත්කරන තාවකාලික ආණ්ඩුවක්ය. එයට පැවරෙන ප්‍රධාන කාර්යය වන්නේ මැතිවරණය පැවැත්වීමය. මැතිවරණය පවත්වා නව ආණ්ඩුවක් පත්කළ විගස භාරකාර ආණ්ඩුවේ පැවැත්ම අහෝසි වේ.

මෙයින් පෙනී යන්නේ භාරකාර ආණ්ඩුවක් ගැන කථාකරන දේශපාලනඥයන් එම ආණ්ඩුවේ සැබෑ ස්වරූපය නොදැන වල්පල් කථා කරන බවය. වල්පල් වුවද එය නොසළකා නොහැරිය යුතුය. හේතුව භාරකාර ආණ්ඩුවක සැබෑ ස්වභාවය නොදන්නා අය දේශපාලනඥයින් ඉදිරිපත් කරන එම වල්පල් විශ්වාස කිරීමය.

එබැවින් මේ අවස්ථාවේ දී කළයුතු දෙය වන්නේ රටේ පවතින ආණ්ඩුක්‍රමයේ ස්වභාවය අනුව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව තිබෙනවාද යන්න විමසා බැලීමය. ප්‍රථමයෙන්ම කිවයුතු වන්නේ ලංකාව තුළ පවතින අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමය සමඟ භාරකාර ආණ්ඩුව පිළිබඳ අදහස නොගැළපෙන බවය. භාරකාර ආණ්ඩුවක් යනු පවතින ආණ්ඩුව වෙනුවට අලුතින් ආණ්ඩුවක් පිහිටුවීමය.

ලංකාවේ ආණ්ඩුක්‍රම සංදර්භය අනුව මෙය කිරීමට නම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු මුළු ආණ්ඩුවම වෙනස් කළ යුතුය. හේතුව ජනාධිපතිවරයාද ආණ්ඩුවේ කොටසක් වීමය. නමුත් භාරකාර ආණ්ඩුව ගැන කථාකරන අය ජනාධිපතිවරයා ඉවත් කිරීම ගැන කථා කරන්නේ නැත. ඔවුන් උත්සාහ ගන්නේ ජනාධිපතිවරයා එසේම සිටිය දී අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය වෙනස් කිරීමටය. එනම් ව්‍යාජ භාරකාර ආණ්ඩුවක් ගොඩනැගීමටය.

ව්‍යාජ භාරකාර ආණ්ඩුව පිහිටුවීමට වුවද ඒ සම්බන්ධයෙන් එක්කෝ රනිල් වික්‍රමසිංහ ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය බලයෙන් පහකළ යුතුය. නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය. රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩලය ඉවත් කළ හැක්කේ අගමැතිවරයා තනිව හෝ අගමැතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට විරුද්ධව සාමූහිකව පාර්ලිමේන්තුව තුළ සම්මත කරන විශ්වාසභංග යෝජනාවක් මගිනි.

මේ සඳහා අඩුම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ සහාය අවශ්‍ය වේ. සභාග ආණ්ඩුව පිළිබඳ කථාකරන අයට මෙම සංඛ්‍යාව සොයාගත හැකිද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ. භාරකාර ආණ්ඩුව පිළිබඳ අදහස ඉදිරිපත් කරන කරන පාර්ශ්වය තුළ දැනට සිටින මුළු මන්ත්‍රී සංඛ්‍යාව 92 ක් පමණක් වේ. මෙයින් 23 දෙනෙක් අයත් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටය. මේ විසිතුන් දෙනා මේ වනවිට සිටින්නේ ආණ්ඩුව පැත්තේය.

ඒකාබද්ධ විපක්‍ෂයට අයත් මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 54 කි. ඉතිරි 15 දෙනා අයත් වන්නේ අගමැතිවරයාට එරෙහිව ගෙනආ විශ්වාසභංග යෝජනාවේ දී එයට පක්‍ෂව ඡන්දය දී ආණ්ඩුවෙන් කැඩී ගොස් වෙනම සංවිධානය වී තිබෙන කණ්ඩායමටය. මේ අනුව විශ්වාසභංග යෝජනාව සාර්ථකකර ගැනීමට නම් භාරකාර ආණ්ඩුවාදීන්ට අලුතෙන් එක්කර ගතයුතු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 21 ක් වේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ, දේශපාලන බල අරගලයේ හැසිරෙන ආකාරය දෙස බලන විට පැහැදිලිවම පෙනී යන්නේ, භාරකාර ආණ්ඩුවාදීන්ට තමන්ගේ පාර්ශ්වයට අලුතින් මන්ත්‍රීවරුන් 21 දෙනකු එක්කර ගැනීම කිසිසේත්ම ලෙහෙසි සහ පහසු කාර්යයක් නොවන බවය.

අනෙක් අතට විශ්වාසභංග යෝජනාවක් ගෙන එනවා නම් එය අදාළ වන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ට පමණක්ම නොවේ. අමාත්‍ය මණ්ඩලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන අයද සිටින අතර යම් හෙයකින් විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් ඔවුන්ටද තමන් දරන තනතුරුවලින් ඉවත් වීමට සිදුවේ.

මෙයින් පෙනී යන්නේ විශ්වාසභංග යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන්ට පාරාවළල්ලක් වියහැකි බවය. මෙවැන්නකට මේ කණ්ඩායම එකඟවේද යන්න සැකසහිතය. මෙයින් පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රධාන එක්සත් ජාතික පාක්‍ෂිකයින් ආණ්ඩුවෙන් පන්නා හැරීම සඳහා භාරකාර ආණ්ඩුවාදීන් ඉදිරියේ ඇති ප්‍රථම විකල්පය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කිරීම කිසිසේත්ම පහසු කාර්යයක් නොවන බවය.

එසේනම් භාරකාර ආණ්ඩුවාදීන්ට තම අරමුණ කරා යාමට ඉතිරිව ඇත්තේ දෙවන විකල්පයයි. එනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මගින් භාරකාර ආණ්ඩුවක් කරා යාමය. නමුත් පවතින ව්‍යවස්ථාමය රාමුව තුළ මෙයද කළ හැකි දෙයක් නොවේ. හේතුව මහා මැතිවරණයකින් තේරීපත්වූ පාර්ලිමේන්තුවක් එසේ තේරීපත්වී වසර හතර හමාරක් ගතවන තුරු විසුරුවා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට බලය නොතිබීමය. වර්තමාන පාර්ලිමේන්තුව තේරීපත් වූයේ 2015 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැති මහමැතිවරණයෙන්ය.

මේ අනුව වර්තමාන පාර්ලිමේන්තුව වයස අවුරුදු හතර හමාරක් සපුරන්නේ 2020 වර්ෂයේ පෙබරවාරි මාසයේදීය. එසේනම් වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කාලය තුළ දී වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

හේතුව 2020 ජනවාරි මාසයේ දී වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කාලය අවසාන වීම නිසා යම් හෙයකින් වර්තමාන ජනාධිපතිවරයා 2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුව 2020 පෙබරවාරි මාසයෙන් පසුව විසුරුවා හරිමින් භාරකාර ආණ්ඩුවක් පිහිටවුවද එම ආණ්ඩුවට බලයේ සිටීමට හැකිවන්නේ මාස දෙකක පමණ කෙටි කාලයක් පමණි. හේතුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාසයක් ගතවීමට ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සිදුවීමය. මෙයින් පෙනී යන්නේ භාරකාර ආණ්ඩුව සඳහා ඇති දෙවන විකල්පයද ප්‍රායෝගික නොවන බවය.

අවසාන වශයෙන් කිව හැක්කේ භාරකාර ආණ්ඩුවාදීන් කරන දේශපාලනය කොතරම් මනෝරාජික එකක් වනවාද යන්නය. දේශපාලනඥයින් බොහෝවිට තීන්දු තීරණවලට එළඹෙන්නේ දේශපාලන යථාර්ථවාදය මත නොව දේශපාලන මනෝරාජිකභාවය මතය. භාරකාර ආණ්ඩුව පිළිබඳ අදහසද එවැනිම ආකාර මනෝරාජික විකාර සහගත මිථ්‍යාවකි. මේ මොහොතේ පවතින දේශපාලන යථාර්ථය කවුරුත් තේරුම් ගත යුතුය.

ඒ වූ කලී වෙනත් දෙයක් නොව රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රධාන ආණ්ඩුව බලයෙන් පහකිරීම දේශපාලනඥයින්ගේ මනෝරාජික සිතුවිලිවලින් සහ විඥානවාදී උපක්‍රමවලින් කළහැකි දෙයක් නොවන බවය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *