යුරෝපය අබිබවා යන පෙරනිමිති පහළ කරමින් ආසියාව ඓතිහාසික පරිවර්තන යුගයක

 

  • ඓතිහාසික පරිවර්තන යුගයක්
  • ආධිපත්‍ය ගිලිහී යෑම
  • ලෝක බලතුලනයට පාර්ශ්ව හතරක්
  • ඉන්දියන් සාගරය
  • ඉන්දු පැසිෆික් සංකල්පය

දිනය පසුගිය 08 වන දාය. එදින රාත්‍රියේ බ්‍රි​තාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවි සංගමය හමුවේ ගෝලීය භූ දේශපාලනික ප්‍රවණතා පිළිබඳ විශේෂ දේශනයක් සංවිධානය වී තිබිණි. ප්‍රධාන දේශකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් ය. දේශනයට සවන්දීම සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවි ​සංගමයේ සාමාජික සාමාජිකාවන්ගෙන් ශාලාව පිරී ඉතිරී ගොස් තිබුණි.

අග්‍රාමාත්‍යවරයා සිය දේශනය ආරම්භ කළේය.

අද දින මා හට බ්‍රිතාන්‍යයේ ගෞරවාන්විත ආයතන දෙකක කතා පැවැත්වීමට අවස්ථාව උදා වුණා. එකක් 1698 වසරේ ආරම්භ කෙරුණු ලන්ඩන් කොටස් වෙළෙඳපොළ. අනෙක් අවස්ථාව 1823 ආරම්භ කෙරුණු ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඔක්ස්ෆර්ඩ් සංගමය අමතා කරන මේ දේශනය. ඔක්ස්ෆර්ඩ් සරසරවියේ ඉගෙනුම ලබා විශිෂ්ට සේවයක් සිදුකළ ශ්‍රී ලාංකිකයින් බොහොමයක් සිටිනවා. ඔවුන් අතරින් දෙදෙනෙක් ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපති තනතුර දරා තිබෙනවා. ඔවුන් අතරට ගැනෙන ලලිත් ඇතුලත්මුදලි මා සමග එක පාසලේ අධ්‍යාපනය ලැබුවා. අප දෙදෙනාම පාර්ලිමේන්තුවට ඇතුළු වුණේ 1977 වසරේ දී. අප එක කැබිනට් මණ්ඩලයක සේවය කළා. අනෙක් පුද්ගලයා ලක්ෂ්මන් කදිරගාමර් මා මෙන්ම කොළඹ සරසවියේ නීතිවේදී උපාධිය හදාරා ඔක්ස්ෆර්ඩ් සරසවියේ බයිලොල් විද්‍යාලයට පැමිණියා. ඔවුන් දෙදෙනාම 1957 – 58 හා 1958 – 59 වසරවල දෙවන වාරවල දී ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපතිවරුන් ලෙස කටයුතු කළා. ඔවුන් දෙදෙනාගේම ජීවිත එල්ටීටීඊ සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් අපට අහිමි වුණා.

මම අද අපේ අර්ධ ගෝලීය දැක්ම අනුව වැදගත් වන කරුණු කීපයක් පිළිබඳව කතා කරන්නට කල්පනා කළා. එහි මාතෘකාව කුමක් විය යුතුදැයි බොහෝ සිතුවා. මම උපත ලැබුවේ හයවෙනි ජෝර්ජ් රජුගේ යටත් වැසියෙක් ලෙසයි. ඒ කාලයේ ලංකාවේ රජු ඔහුයි. හයවෙනි ජෝර්ජ් රජු එක්සත් රාජධානියේ රජු පමණක් නොව එහි යටත් විජිතයන්ගේ ද රජු ලෙස කටයුතු කළා. ඉන්දියාවේ අධිරාජ්‍යයා වූයේ ද ඔහුයි. අද ලංකාව, ශ්‍රී ලංකාව බවට පත්වී තිබෙනවා. ශ්‍රී ලංකාව දැන් ජනරජයක් බවට පත් වී තිබෙනවා. ඉන්දීය අධිරාජ්‍යය ද දැන් නැහැ. අනෙකුත් යටත් විජිතයන් ද ස්වාධීන රාජ්‍යයන් බවට පත්වී තිබෙනවා.

ක්‍රි.ව. 1500 ට පෙර ලෝක බල කේන්ද්‍රයන් පැවතියේ බටහිර ලෝකයෙන් පිටතයි. එම කාලයේ නව්‍යකරණය හා නිර්මාණශීලිත්වය, ධනය, සමාජ සංවිධානය හා ආර්ථික සමෘධිමත්භාවය අතින් කේන්ද්‍රීය කලාපයන් වූයේ ඈත පෙරදිග, දකුණු ආසියාව, මැද පෙරදිග හා පූර්ව – කොලොම්බියානු මධ්‍යම ඇමෙරිකාව යන කලාපයි. එහෙත් වසර 50 – 75 ක කෙටි කාලයක් ඇතුළත කුඩා මෙන්ම එතරම් විශේෂිත නොවූ බටහිර යුරෝපය ගෝලීය වශයෙන් තම ආධිපත්‍යය පතුරුවාලීම සඳහා අවශ්‍ය පදනම සකසා ගැනීමට සමත් වුණා. එම අඩිතාලම සියවස් හතරක් පහක් පැවතුනා.

1492 කොලොම්බස්ගේ මුහුදු ගමන් හා 1522 මැගලන්ගේ මුහුදු ගමන් අතරතුර කාලයේ බටහිර ලෝකය තම ආධිපත්‍යය පතුරුවාලීම සඳහා වේගවත් ලෙස අවශ්‍ය වටපිටාව සකසනු ලැබූවා. පළමු ලෝක යුද්ධය අවසානය වන විට එහි හිනිපෙත්තටම ළඟා වීමට ඔවුන්ට හැකි වුණා. වසර සියයකට පෙර ආසියානු හා අප්‍රිකානු භූමි ප්‍රදේශවලින් සියයට 85 ක ප්‍රමාණයක් පාලනය කරනු ලැබුවේ බටහිර ලෝකය විසින්. ගෝලීය ධනයෙන් හරි අඩකට අයිතිවාසිකම් කියනු ලැබුවේ ඔවුන්.

මෙහි කේන්ද්‍රස්ථානය වූයේ බ්‍රිතාන්‍යයේ ඇන්ග්ලෝ සැක්සන් පාලනය හා අමෙරිකාවයි.

20 වෙනි සියවසෙන් අනතුරුව එම ආධිපත්‍යය ගිලිහී යාම ආරම්භ වුණා. ලෝක සංග්‍රාම ද්විත්වය, සීතල යුද්ධය, යටත් විජිතවාදයට එරෙහි විප්ලව, වියට්නාම් යුද්ධය ආදිය බටහිර ලෝකයේ ආධිපත්‍යයේ බිඳ වැටීමේ සලකුණු වුණා. 90 දශකයේ දී, සෝවියට් සංගමයේ හා කොමියුනිස්ට් යුරෝපයේ බිඳ වැටුණා. එක්සත් ජනපදය විසින් ආධිපත්‍යය පතුරුවනු ලැබූ ඒක – ධ්‍රැවීය බල කේන්ද්‍රයකට මග පෑදුවා. ඒත් එයට ද දිගුකාලීන පැවැත්මක් තිබුණේ නෑ.

20 වෙනි සියවසේ අවසන් දශක පහ තුළ දී ජපානය, චීනය, ඉන්දියාව පෙරටු කරගත් ආසියානු රටවල් බොහොමයක් හා දකුණු කොරියාව යන රටවල් කාර්මීකරණයට ලක් වුණා. ඔවුන් සංවර්ධිත ආර්ථිකයන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සැපයීම ආරම්භ කළා. නව තාක්ෂණික ප්‍රගමනය තුළින් මෙම රටවල් සංවර්ධනයේ පෙරගමන්කරුවන් බවට පත්වුණා.

ආර්ථික වශයෙන් බරක් ලෙස පෙර සලකනු ලැබූ විශාල ජනගහනයන් වර්තමානය වන විට නිෂ්පාදන, සේවාවන් හා අදහස් සඳහා වන වෙළෙඳපොළක් වශයෙන් සලකනු ලබනවා. ලෝක ජනගහනයෙන් බිලියන හතරක ප්‍රමාණයක් දැනටමත් ආසියාවේ වාසය කරනු ලබනවා. මෙය නව නිෂ්පාදන හා අදහස් සඳහා වන වෙළෙඳපොළක් පමණක් නොව අනාගත පරිකල්පනයන්, නව සොයාගැනීම් හා නව්‍යකරණය සඳහා තෝතැන්නක් ද වනවා.

ආසියානු සංවර්ධන බැංකුවට අනුව ආසියාව ඓතිහාසික පරිවර්තන යුගයක පසුවෙමින් සිටී. එම ගමන්මග එලෙසම පැවතුණහොත් 2050 වන විට එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, මිලදී ගැනීමේ හැකියාව අතින් හය ගුණයක් දක්වා වර්ධනය වී, යුරෝපීය මට්ටමට ළඟා විය හැකි වේවි. 2050 වන විට සමස්ත දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කරගනිමින් ගෝලීය සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ තම දායකත්වය සියයට 52 ක් දක්වා වර්ධනය කරගැනීම තුළින් ආසියාව, කාර්මික විප්ලවයට පෙර කාලයේ එනම් වසර 300කට පෙර පැවති ආර්ථික ආධිපත්‍යය නැවත හිමි කරගනීවි.

ගෝලීය බල කේන්ද්‍රයේ මෙවැනි වෙනස්වීම් වලින් වඩාත්ම පැහැදිලි වන්නේ අප ජීවත් වන්නේ පරිවර්තනය වෙමින් පවතින ලෝකයක් තුළ බවයි. පැරණි බලවතුන් ඉවත්වී නව ආර්ථිකයන් ඉස්මතු වීම මෙහි ප්‍රධාන ලක්ෂණයක්.

මෙම පසුබිම තුළ ගෝලීය බල තුළනය කෙරෙහි බලපෑම් සිදුකළ හැකි ප්‍රධාන පාර්ශවකරුවන් සිවුදෙනෙකු නිර්මාණය වෙමින් පවතිනවා. ඒ හැම පාර්ශවයක්ම ගෝලීය බලය සඳහා ප්‍රයත්න දරන අතර, ඔවුන් මුහුණ දෙන අභියෝග හමුවේ නව ලෝකයේ හැඩ තල නිර්මාණය සඳහා බලපෑම් ඇති කරාවි.

එක පාර්ශ්වයක් වන්නේ නේටෝ සංවිධානයේ සහ යුරෝපීය සංගමයේ සාමාජිකයන් වන ලෝක ධනයේ බලවතුන් වන බටහිර ලෝකයයි. බටහිර ලෝකයේ අනාගතය මූලික වශයෙන් තීරණය වන්නේ ඔවුන්ට සාමූහිකව කටයුතු කළ හැකි ද නැතිනම් එක්සත් බව නැතිවීම නිසා ඒ තත්වය අහිමි වේද යන කරුණ මතයි.

අනෙක් පාර්ශ්වය වන්නේ බිලියන 1.5කට ආසන්න ජනගහනයක් සහිත චීනයයි. පසුගිය දශක දෙක තුළ චීනයේ ඉතා ඉහළ ආර්ථික වර්ධනය ලෝකයේ සියලූ කටයුතු උඩු යටිකුරු කිරීමට සමත්ව තියෙනවා. මෙම තත්ත්වය වඩාත් තීව්‍ර වීමට චීන ජනාධිපති ෂී ජින්ග් පිං මැතිතුමාගේ නායකත්වය ද හේතු වුණා. දකුණු හා නැගෙනහිර චීන මුහුදුවලින් ඔබ්බට ගොස් සංවර්ධනය වෙමින් පවතින ආසියාවට, අප්‍රිකාව සහ මධ්‍යම යුරෝපයට සාම්ප්‍රදායික නොවන ක්‍රම ඔස්සේ සමීප වීමට චීනය උත්සාහ කරනවා.

තෙවනුව නැගී එමින් පවතින පාර්ශ­්වය වන්නේ බිලියන 1.6ක ජනගහනයක් සහිත ඉස්ලාමීය ලෝකයයි. පසුගිය දශක දෙක තුන තුළ දී ඉස්ලාමීය දේශපාලනික බලපෑම හා එහි භුගෝලීය පැතිරීම විශාල වශයෙන් ඉහළ ගියා. රටවල් 50 – 60 කින් ප්‍රධාන ඉල්ලූමක් පවතින අත්‍යවශ්‍ය ස්වභාවික සම්පත් සහිත රටවල් වශයෙන් ඉස්ලාමීය රටවල් වඩාත් එකමුතු වුවහොත් එමගින් ඇති කළ හැකි බලපෑම ඉතා ඉහල බව මගේ හැඟීමයි.

සිව් වැනි පාර්ශවය වන්නේ ඉහත පාර්ශවයන්ට අයත් නොවන අනෙකුත් රටවල් . මොවුන් ඒකාබද්ධ කණ්ඩායමක් නොවන අතර ආර්ථිකමය වශයෙන් හා යුධමය වශයෙන් බලවත් රාජ්‍යයන් සමහරක් ද මෙම පාර්ශ­්වයට ඇතුළත්.

කෙසේ වුවද ගෝලීය බල තුළනයේ අවසන් ප්‍රතිඵලය කෙරෙහි බලපෑමක් ඇති කිරීමට මොවුන්ට හැකියාව පවතිනවා. රුසියාවට අමතරව ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව හා ආසියාන් රටවල් මෙම කණ්ඩායමට ඇතුළත්. ඒකාබද්ධ යුධමය බලකායක් නොමැති වුවද ආසියාන් රටවල් වසර 2050 වන විට සිව්වෙනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියනු ඇති.

පසුගිය ශත වර්ෂය අවසානයේ දී ගෝලීය සාමයට මුල්තැනක් හිමිවුණා. බටහිර ලෝකය ආසියා – පැසිපික් රටවල් හා ජී 08 කණ්ඩායමේ රටවල් මේ සඳහා මූලික වුණා. පෙර අපර දෙදිග යා කෙරෙන ප්‍රධානම මුහුදු මාර්ගය වන ඉන්දියන් සාගරය ලෝක බල තුලනයට ඇතුළත් වුණේ නෑ.

නමුත් වර්තමානය වන විට ආසියාන් රටවල ශීඝ්‍ර ආර්ථික වර්ධනයට සමගාමීව නැගෙනහිර හා දකුණු ආසියාව, මැද පෙරදිග හා අප්‍රිකානු රටවල් අතර සබදතා ඉතා ශක්තිමත් වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දීය සාගරයේ මුහුදු මාර්ග ඔස්සේ ලෝකයේ භාණ්ඩ ප්‍රවාහනය නෞකාවලින් හරි අඩකුත්, තෙල් ප්‍රවාහන නෞකාවලින් 2/3 කුත්, විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් 1/3 කුත් ගමන් කරනවා.

ඉන්දීය සාගර ආර්ථිකය ඉතා ධනවත් සම්පත් පදනමකට හිමිකම් කියනවා. ගෝලීය ඛණිජ තෙල් සම්පත්වලින් 17% කුත්, හඳුනාගෙන ඇති ස්වභාවික වායු සම්පත්වලින් 28% කුත්, ගෝලීය යකඩ නිෂ්පාදනයෙන් 35.5% කුත්, ගෝලීය මත්ස්‍ය නිෂ්පාදනයෙන් 28% කුත් මෙයට ඇතුළත්. මෙම කලාපයේ වේගයෙන් වර්ධනය වන ජනගහනය ලෝක ජනගහනයෙන් 35% දක්වා වර්ධනය වෙලා තියනවා.

මෙම ගෝලීය බල තුළනය විසින් ඉන්දීය සාගරය ප්‍රමුඛ ස්ථානයකට රැගෙන ඇවිත්. අනෙකුත් පාර්ශව තුනට හා අනෙකුත් ආසියානු බලවතුන්ට නව තරඟකාරී පසුබිමක් සඳහා ඉඩ ප්‍රස්ථාව දැන් විවිර වෙලා. මෙම තරගකාරීත්වය හේතුවෙන් චීනය හා ජපානය මෙන්ම ඉන්දියාවේ සහයෝගයෙන් නව වෙළෙඳ හා යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් බොහොමයක් ආරම්භවී තිබෙනවා.

චීන ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධනය මේ වන විට ඉන්දීය සාගරය දක්වා පැතිරී ගිහින්. නමුත් එම මුහුදු මාර්ග සන්නිවේදනය මතම නොයැපී ආසියාව හා මධ්‍යම යුරෝපය හරහා නව ගොඩබිම් සැපයුම් මාර්ග ඇති කරගැනීමට ද චීනය කටයුතු කරමින් ඉන්නවා. මීට සමගාමීව, බහු ධ්‍රැවීය ලෝකය තුළ චීන කේන්ද්‍රීය අන්තර් මහද්විපික සබඳතා ස්ථාපිත කිරීම සඳහා, මහාද්වීප තුනක් ආවරණය වන චීනයේ එක් තීරයක් – එක් මාවතක් වැඩසටහන, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) හා ෂැංහයි සහයෝගීතා සංවිධානය කටයුතු කරමින් ඉන්නවා. එසේම, ඉන්දියන් සාගරය තුළ වැඩි වෙමින් පවතින චීන ක්‍රියාකාරකම් නිසා, විශේෂයෙන්ම චීන නාවික හමුදා ස්ථානගත කිරීම් කෙරෙහි අනෙකුත් රටවල් තම අවධානය යොමු කරමින් ඉන්නවා.

මෙලෙසටම, ඉන්දියාව විසින් ද තම පෙරදිග හා අසල්වැසි රාජ්‍යයන් කේන්ද්‍ර කොට ගෙන තම ප්‍රතිපත්ති හඳුන්වා දී තිබෙනවා. ඉන්දීය සාගරයේ නිදහස් මුහුදු ගමන් වැඩිදියුණු කිරීම හා අප්‍රිකානු – ආසියානු සංවර්ධන කලාප හරහා අප්‍රිකාවේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කොට ගෙන එක්ව කටයුතු කිරීම සඳහා ඉන්දියාව හා ජපානය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කොට තිබෙනවා.

ක්‍රමෝපායික වශයෙන් ඉතා සීමිත වැදගත්කමක් සහිත කලාපයක් වශයෙන් මින් පෙර සැලකුණ ඉන්දියන් සාගරයේ වැදගත්කම ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබෙනවා. නව ඉන්දු-පැසිෆික් සංකල්පයක් නිර්මාණය වෙමින් පවතිනවා. මෙම තත්වය බටහිර ලෝකයේ බලය සීමා සහිත වන බවට සලකුණක් ලෙස සැලකිය හැකියි.

කෙසේ වුවද, ඉන්දු – පැසිෆික් සංකල්පය හා එහි අරමුණු වඩාත් නිශ්චය කරගත යුතුයි. සමහර රාජ්‍යයන් චීනය ඇතුළත් කරගනිමින් මෙම සංකල්පය නිර්මාණය කොටගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව සැලකිල්ලට ගත් විට හම්බන්තොට වරායේ පවතින්නේ හොංකොං කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත වී ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝර්ට් සමාගම එක්ව ඇති කරගත් වාණිජමය හවුල්කාරීත්ව සමාගමක් පමණයි. ශ්‍රී ලංකාව තුළ කිසිදු විදේශ නාවික හමුදා කඳවුරක් නොමැති බව මම අවධාරණය කර සිටිනවා.

වරායේ ආරක්ෂක කටයුතු සඳහා අපගේ නාවික හමුදාවේ දක්‍ෂිණ විධානය හම්බන්තොට ප්‍රතිස්ථානගත කරමින් පවතින අතර මෙම තත්වයන් පිළිබඳව එක්සත් ජනපද රාජ්‍යදෙපාර්තමේන්තුව දැනුවත් කොට තිබෙනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 1-2 බල සේනා හම්බන්තොට ස්ථානගත කොට තිබෙනවා. එසේම හම්බන්තොට ගුවන් තොටුපොළ කටයුතු මෙහෙයවීම සඳහා ද මෙවැනිම හවුල්කාර සමාගමක් ස්ථාපිත කිරීමට ඉන්දීය ගුවන් තොටුපොළ අධිකාරිය සමග වාණිජමය ගිවිසුමකට එළැඹිමට නියමිතයි.

කෙසේ වෙතත් බොහෝ රටවල් දකුණු චීන මුහුදේ පවතින ගැටුම්කාරී වාතාවරණය ඉන්දීය සාගරය වෙත පැතිරෙනු ඇති බවටත් ඉන්දීය සාගරය තුළ යුදමය තරගකාරී තත්වයක් ඇති වනු ඇති බවටත් සැක සංකා පල කරමින් සිටිනවා. මෙම තත්වයේ ප්‍රතිඵලයක් ලෙස නෞකා ප්‍රමාණය වැඩි කර ගනිමින්, කඳවුරු වැඩි දියුණු කර ගනිමින් විදේශ වරායන්ට ප්‍රවිෂ්ට වීමේ අවස්ථාවන් සුරක්‍ෂිත කර ගනිමින් හා ඒකාබද්ධ නාවික හමුදා අභ්‍යාස පැවැත්වීම තුළින් ඉන්දීය සාගරය තුළ තම දායකත්වය ශීඝ්‍රයෙන් ඉහළ නංවා ගැනීමට පාර්ශ්වකරුවන් ගණනාවක් උත්සාහ දරමින් සිටිනවා.

එම නිසා සුවිසල් ඉන්දු-පැසිෆික් කලාපය තුළ ඉන්දීය සාගර අනන්‍යතාවය පවත්වාගෙන යෑම ඉතා වැදගත් කාරණයක් බවට පත්ව තිබෙනවා. රීතීන් මත පදනම් වූ කලාපයක් ඇති කිරීම මගින් කුඩා රාජ්‍යයන්ට තම අවශ්‍යතාවයන් ඉටු කරගැනීමේ අවස්ථාව උදා වනු ඇති. ඉන්දීය සාගර කලාපය තුළ සාමය හා ස්ථාවරත්වය පවත්වාගෙන යාම යනු පොදු එකඟතාවයි. එම පොදු එකඟතාව සාගර නීතිය පිළිබද එක්සත් ජාතින්ගේ සම්මුතිය මත පදනම් විය යුතුය.

සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතින්ගේ සම්මුතිය සම්පාදනය කරන ලද කාලයේ ආවරණය නොවූ යම් යම් කරුණු පිළිබඳව, එනම් සාම්ප්‍රදායික නොවන තර්ජන වැනි කරුණු පිළිබඳව පොදු එකඟතාවකට පැමිණිය යුතුව තිබෙනවා.

සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතින්ගේ සම්මුතිය ශක්තිමත් කිරීමට අමතරව ඉන්දීය සාගර කලාපය නිදහස් හා විවෘත කලාපයක් බවට සහතික කරන අතරම වෙළදාම හා ආරක්ෂාව පිළිබදව කලාපීය රාමුවක් ගොඩනැගීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා.

2018 වසරේ ෂැංග්‍රිලා සංවාදය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා සිටියේ ඉන්දු-පැසිෆික් කලාපීය කටයුතු කිසිදු තනි රාජ්‍යයකට එරෙහිව සිදු නොකළ යුතු බවයි. එනම් මෙම කලාපය නිදහස් විවෘත හා සියල්ලන් ඇතුළත් කලාපයක් විය යුතුයි.

එසේම ඉන්දු-පැසිෆික් කලාපය බහු-ධ්‍රැවීය කලාපය තුළ පවතින ක්‍රියාකාරී සංකල්පයක් බවට පත් විය යුතුය.

ඒපෙක් සංවිධානය, ආසියාන් සංවිධානය, ෂැංහයි සංවිධානය වැනි සංවිධාන යටතේ පෙළ ගැසී ඇති කලාපීය දේශපාලනික වාතාවරණය තුලනය කිරීමේ ප්‍රථම පියවර ඉන්දු-පැසිෆික් සංකල්පයයි. ඉන්දු-පැසිෆික් කලාපය තුළ ආසියාන් සංවිධානයට ප්‍රමුඛ කාර්යභාරයක් හිමිවන කලාපීය ආර්ථික සහයෝගීතාවයක් ස්ථාපිත කළ යුතුයි.

සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතින්ගේ සම්මුතිය ශක්තිමත් කිරීම ඉන්දීය සාගරයේ කුඩා රාජ්‍යයන්ට ඉතා වැදගත් වීම හේතුවෙන් ශ්‍රි ලංකාව ඉන්දියන් සාගරයේ රටවල් 40 ක හා ඉන්දීය සාගරය පරිහරණය කරනු ලබන රටවල්වල සහභාගීත්වයෙන් 2018 ඔක්තෝබර් 11 හා 12 දෙදින තුළ ඉන්දියන් සාගරයේ අනාගතය නිශ්චය කිරීම තේමාව කොට ගත් ඉන්දීය සාගර සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙම සමුළුව කලාපීය සංවාදයන්ට පසුබිම සකස් කරනු ඇති. අතර සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතින්ගේ සම්මුතියේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව ද විවර කරනු ඇති.

මෙම සමුළුව සංවිධානය කිරීම ශ්‍රි ලංකාව විසින් පොදු යහපත සඳහා නායකත්වය ගනිමින් දිගු කාලයක් තිස්සේ අනුගමනය කරන ලද සම්ප්‍රදාය අනුගමනය කිරීමක්. මෙම සමුළුව සංවිධානය කිරීම ශ්‍රී ලංකාව මූලිකත්වය ගෙන සම්පාදනය කරන ලද ජාත්‍යන්තර නීතියක් පිළිබඳව නැවත සමාලෝචනය කිරීමක්.

එය ජාත්‍යන්තර වශයෙන් රීතීන් පදනම් කොටගත් වටපිටාවක් සඳහා ශ්‍රී ලංකාව සපයනු ලබන දායකත්වයක් වන අතර එමගින් වඩාත් ස්ථාවර හා සමෘද්ධිමත් ඉන්දීය සාගර කලාපයක් සඳහා වටපිටාවක් සැකසෙනු ඇති.”

 

silumina

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *