20 ට නැති අත් කුමටද? – අනුර සූරියබණ්ඩාර

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ගෙනා 20 වැනි සංශෝධනයේ වගන්ති 38න් 36ක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මත වී ජනමත විචාරයකින්ද අනුමත විය යුතුව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වන්නේ විධායක ජනාධිපති බලතල අහෝසි කරන සියලු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. 20 වැනි සංශෝධනයෙන් ව්‍යවස්ථාවට පටහැනි නොවන්නේ පනත් කෙටුපතේ නාමය දැක්වෙන වගන්තිය සහ සිංහල දෙමළ පාඨ අතර පරස්පරතාවක් ඇතිවුවහොත් සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතුය යන වගන්තිය පමණක් බව ද පැවසේ.

දැන් 20 වන සංශෝධනයේ 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 19, 20, 21, 22, 23, 26, 27, 28, 29, 30, 32, 34, 35, 36 සහ 37 වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වී ජවමත විචාරණයකින් ද අනුමත විය යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. එසේම, පනත් කෙටුපතෙහි 17, 18, 24, 25, 31, 33 වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත විය යුතුය යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයයි.

ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ, අගමැතිවරයා පාර්ලිමේන්තුව විසින් තෝරාගත යුතු බව සහ අගමැතිවරයා ආණ්ඩුවේ ප්‍රධානිය විය යුතු බවට වන වගන්ති ඇතුළු ජනාධිපතිවරයාගේ බලතල අහෝසි කරන්නට යෝජනා කෙරෙන වගන්ති තිස් හයකි.

20 වැනි සංසෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා විසිනි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දැනුම් දුන් 2018 ඔක්තෝම්බර් 09 දා සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ජ.වි.පෙ. නායක සහ පක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබුණේ 20 වැනි සංශෝධන‍ය ජනමත විචාරණයකට ගෙනයෑමට ඇති අවස්ථාවට බාධා නොකරන ලෙසය. එනම් 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගත් විට එය තුනෙන් දෙකක බලයෙන් සම්මත කරන්නට සහය ලබා දෙන ලෙසය.

දැනට ක්‍රියාත්මක 1978 ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් සම්මත වූ එකක් නොවන බව කී අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා එම ව්‍යවස්ථාවට මේ වන විට සංශෝධන 19ක් ගෙනැවිත් ඇතත් ඒවා එකක් හෝ ජනමත විචාරණයකට ලක්කොට අනුමත කරගෙන නොමැති බවද පෙන්වා දුන්නේය. ඒ අනුව අනුර කුමාර මන්ත්‍රිවරයාගේ තර්කය වන්නේ දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතා සම්මත ව්‍යවස්ථාවක් නොවන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියමය අනුව 20 වැනි සංසෝධනය ජනතාව අනුමත කරන්නේද නැද්ද යනවග තීරණය කළ හැකි වන්නේ, එය පාර්ලිමේන්තුවෙන් සම්මත වුවහොත් පමණි. එසේනම් ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හිමිවිය යුතුවේ. එනම් පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් විධායක ජනාධිපති ධුරය අහෝසිකර පාර්ලිමේන්තුවට සහ අගමැතිවරයාට බලය පැවෙරෙන ආණ්ඩුක්‍රමයක් ජනතාවට ලබාදීමට පියවර ගත හැකිය. නැතහොත් 20 වැනි සංසෝධනය ලත් තැනම ලොප්කොට තව දුරටත් ජනතාව විධායක ජනාධිපති ධුරයක් යටතේ රඳවා තබා ගන්නට පාර්ලිවේන්තුවට පුළුවන.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පටන් බලයට පත්වුණු මහින්ද රාජපක්ෂ මෛත්‍රිපාල සිරිසේන ආදි සියලුම රාජ්‍ය නායකයන්ගේ මැතිවරණ පොරොන්දුවක් වන්නේ විධායක ජනාධිපති ධුරය අහොසි කිරීමය. ඒ අනුව මෙරට ජනතාව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහහා සිවු වතාවක් ජනාධිපතිවරු තිදෙනෙකුට බලය ලබා දී තිබේ.

ජනමත විචාරණයකින් සම්මත නොවු 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් පමණක් නොව ජනමත විචාරණයකද සහය අවශ්‍යව තිබීම එක්තරා ආකාරයක සරදමක් වැනිය. ඒ අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ජනතාවගෙන් නොවිමසා සම්මත කළ එහෙත් ජනතාවට අවශ්‍ය වූවත් වෙනස් කළ නොහැකි අඩයාලමක් බවට පත් වී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහාම ඊට එරෙහිව නැඟී සිටියෝ ඒකාබද්ධයේ විමල් වීරවංශ උදය ගම්මන්පිල වැන්නෝය. ඔවුන් වනාහී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා 18 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරනවිටත් කිසිදු පසුබෑමකින් තොරව ඊටත් සහය දුන් අයය. ඔවුන් ඊළඟටත් බලාපොරොත්තු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු නොව හිට්ලර් පන්නයේ ඒකාධිපතියෙකි. 1978 ව්‍යවස්ථාවේ විධායක බලය හුවමාරු කරගැනීමට තිබුණු එකම අවස්ථාව වන විධායක ජනාධිපති ධුරය එක් අයකුට දැරිය හැක්කේ දෙවතාවක් පමණක් යන්නද කටුගා ඉවත් කරන්නට තරමට අද ඒකාබදධ විපක්ෂය වටා එක්ව සිටින පිරිස සැහැසි වූහ.

එසේ හෙයින් 20 සංශෝධනය පාර්ලිමේන්තුව ඉදිරියේ ඡන්ද විමසුමකට ලක් වුවහොත් ඒකාබද්ධය ඊට සහය දෙනු ඇතියැයි අනුමාන කරන්නට හැකියාවක් නැත. ආණ්ඩුවට සහය දීමෙන් ඉවත්ව දැනට ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන පහළොස් දෙනකුගෙන් යුතු පිරිසද 20 වැනි ප්‍රශ්නයකදී කෙසේ හැසිරෙනු ඇතිද යන්න තීරණය කළ නොහැකිය. ඔවුන්ගේ මේ මොහොතේ හැසිරීම අනුව වැඩි බරක් ඇත්තේ ඒකාබද්ධය සමඟ එක්ව විධායක බලය ආරක්ෂා කරන්නට ඉදිරිපත් වීමටය.

කෙසේ වුවද සදාචාර සම්පන්න පාර්ලිමේන්තුවකට නම් විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුව තුළ පරාජය කරන්නට කවර හෝ අයිතියක් ඇත්තේ නැත. එක්සත් ජාතික පක්ෂය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පසුගිය ජනාධිපතිවරණයේදිත් මහ මැතිවරණයේදිත් පෙනී සිටියේ විධායක ජනාධිපති ධුරය අහොසි කිරීම වෙනුවෙනි. එපමණක් නොවේ පසුගිය ජනාධිපතිවරණයේ අවසන් මොහොතේ දී මහින්ද රාජපක්ෂ මහතාද කීවේ තමා බලයට පත් වුවහොත් විධායක ජනාධිපති ධරය අහෝසි කරන බවකි. දෙමළ සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ ද සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුය යන මතවාදයේය. චම්පික රණවක මහතා මේ වන විට විධායකයට ඇල්මක් දක්වමින් ඉන්නා බවක් පෙනෙන්නේ වුව විධායකයට හරි කියන්නට ඒ මහතාට ද අයිතියක් ඇතැයි පිළිගන්නට නොහැකිය. මක්නිසාද යත් ඒ මහතා මැතිවරණය ජයග්‍රහණය කර ඇත්තේ ද විධායකය අහෝසියට එකඟව මැතිවරණය තරඟ කළ එක්සත් ජාතික පක්ෂ සමඟ එක්ව බැවිනි. එහෙයින් මේ මොහොතේ 20 වැනි සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුවේ අත් ඔසවන කරවරෙකු වුවද ඔහු ජනතා අපේක්ෂාවට අකුල් හෙළන්නෙකි. මන්ද පවතින ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක සහ ඒකාබද්ධය වශයෙන් පෙනී සිටින පිරිස ද පසුගිය ජනාධිපතිවරණයේ දි විධායක අහෝසි කරන්නට පොරොන්දු වී ඇති බැවිනි. පාර්ලිමේන්තුවෙන් 20 සම්මත වී ජනතාව ජනමත විචාරණයකදී ප්‍රතික්ෂේප කළහොත් මිස පාර්ලිමේන්තුව මගින් එය වාරණය කරන්නට කිසිදු මන්ත්‍රිවරයකුට සාදාරයක් නැත. ජනතාවගෙන් නොවිමසා සම්මත කළ විධායකය අවශ්‍ය ද නද්ද යන්න ජනතාව විසින්ම තීරණය කළ යුතු කරුණක් බැවිනි.

අනුර සූරියබණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *