|

භාරකාර ආණ්ඩු හදන්න ගිය ඒකාබද්ධය ජනපතිගෙන් වචනයක් නැතැයි ළතැවෙයි

මහනුවර පොල්ගොල්ල ආදර්ශ පාසලේ අභිනවයෙන් ඉදිකළ තෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල හා තෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම පසුගියදා ජනාධිපතිතුමා අතින් සිදුවුණා. පසුගිය වසරේ පාසලේ අධ්‍යාපනයෙන් විශිෂ්ට කුසලතා දැක්වූ සිසු දරු දැරියන්ට ත්‍යාග ප්‍රදානය ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදුවුණා.

මෙම අවස්ථාවේ දී කතා කරමින් ජනාධිපතිතුමා මෙරට රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය ක්‍රියාත්මක වන ආකාරය ගැන අපූරු හෙළිදරව්වක් කළා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා උළෙලකට සහභාගි වූ අවස්ථාවක දුටු දෙයක් ගැන එතුමා පැවසුවා. එම සිදුවීම දුටුවේ ආචාර පෙළපාළිය පැවැත්වෙද්දියි. එයට පාසල් තෝරාගත් අන්දම විමසීමේ දී අධ්‍යාපන ඇමැතිවරයා නිලධාරීන්ගෙන් විමසා කීවේ එක් කලාපයකින් එක් පාසලක් තෝරාගත් බවයි. එක් පාසලක සිසුවියන් ආචාර පෙළපාළියේ ගිය අන්දම ජනාධිපතිතුමාට විශේෂයෙන් පෙනී ගියා. ඒ ගැන විමසූ විට දැනගන්නට ලැබුණේ මියුසියස් විද්‍යාලය බවයි. පෞද්ගලික පාසලක් වූ එහි සිසුවියන් හොඳින් පුහුණු වී ඉතාම හොඳින් පෙළප‍ාළියේ ගමන් කළ බව ජනාධිපතිතුමා කීවා. ඒ අතර තවත් රජයේ පාසලක් කිසිදු පුහුණුවකින් තොරව පෙළපාළියේ ගමන් කළ බව පෙනෙන්නට තිබුණු බව ජනාධිපතිතුමා කීවා. එම පාසලේ නම නොකියන බව කියා ජනාධිපතිතුමා පෞද්ගලික අංශයේත් රාජ්‍ය අංශයේත් වෙනස එයින් පෙනී ගිය බව කීවා.

පෞද්ගලික සමාගම් හා රාජ්‍ය දෙපාර්තමේන්තු අතර ද සේවාවේ පැහැදිලි වෙනසක් තිබෙන බව කී ජනාධිපතිතුමා, සේවාවේ කාර්යක්ෂමතාව, ඉලක්කගතව වැඩ කිරීම, මහජන සම්බන්ධතාවය ආදී සියලු අංශවලින් රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශය ඉදිරියෙන් සිටින බව කීවා.

රාජ්‍ය පෞද්ගලික අංශවල එම වෙනස තිබිය දී වුවද රජයේ පාසල්වල අධ්‍යාපන මට්ටම ඉතා විශිෂ්ට තත්ත්වයේ තිබෙන බවත්. විභාග ප්‍රතිඵල මඟින් ඒ බව පෙන්නුම් කරන බවත් පැහැදිලි කළා. ඒ සඳහා කැපවී ක්‍රියාකරන රජයේ ගුරුවරුන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින නිල සංචාරයක යෙදුණා. එරට රාජ්‍ය නායකයන් හමු වී ද්විපාර්ශ්වික සබඳතා තරකර ගැනීමට කටයුතු කළ ජනාධිපතිතුමා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද හමුවුණා.

ජනාධිපතිතුමා හා සීෂෙල්ස් සිටින ශ්‍රී ලාංකිකයන් අතර හමුව පැවැත්වුණේ සීෂෙල්ස් ජාත්‍යන්තර සමුළු මධ්‍යස්ථානයේදීයි. එරට සිටින විවිධ වෘත්තිකයන් හා අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ජනාධිපතිතුමා පිළිගැනීමට එක්ව සිටියා.

ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් සහිතව පැවත එන ශ්‍රී ලාංකිකයන් ලෙස සීෂෙල්ස් රාජ්‍යයේ කරන සේවය අගය කරන බව ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා. පසුගිය 30 වසරක් තිස්සේ ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් රාජ්‍යය අතර සබඳතා තරකර ගැනීමට දායක වූ වෘත්තීයවේදීන් ඇගයීමට ලක්කරමින් සමරු තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවුණා.

සීෂෙල්ස් සංචාරය නිමවා බදාදා උදේ දිවයිනට පැමිණෙන විට ජනාධිපතිතුමාට තවත් රාජ්‍ය නායකයෙක් හදිසියේ මුණගැසුණා. ඒ මාලදිවයිනේ නව අගමැති ලෙස තේරී පත්ව සිටින ඊබ්‍රාහිම් මොහොමඩ් සෝල් මහතායි. සෝල් මහතා සිංගප්පූරුවේ සංචාරයකට යන අතර මෙම අහඹු හමුවීම ගුවන් තොටුපළේ දී සිදුවුණා. එහි දී ජනාධිපතිතුමා මාලදිවයින් නව ජනාධිපතිවරයාට උණුසුම් සුබ පැතුම් පිරිනැමුවා.

දින 08 ක නෝර්වේ හා එංගලන්ත නිල සංචාරයකින් පසු බදාදා ලංකාවට පැමිණි අගමැතිවරයා පැය 12 ක ගුවන් ගමනක් නිමකොට විඩාවට පත්ව සිටියද නිවසට පැමිණි වහාම පාර්ලිමේන්තුවට ගියේ ව්‍යවස්ථා සභාවට අදාළ සාමාජිකයින් පත් කිරීමේ සාකච්ඡාවටයි. අනතුරුව සභා ගැබට ගිය විට ජවිපෙ නායකයා තෙල් මිල සූත්‍රය ගැන විමසූ පැනයකටද අගමැතිවරයා උත්තර දුන්නා.

“ලෝකයේ තෙල් මිල තාම ඉහළ යනවා. ඩොලරය නගිනවා. ඒක අපේ වැරැද්දක් නිසා වෙන දෙයක් නෙවෙයි නොවැම්බර්වල ඉරාන තෙල් හිරවීමකට එනවා. එවිට ඒ අඩුව පුරවන්නේ කවුද? ඒ නිසා වෙන්නෙ මොනවද කියල අපි වගේම ලෝකයම බලාගෙන ඉන්නවා.තෙල් මිල සූත්‍රය අනුව ඉන්දියාවෙ මිල දිනපතා වෙනස් වෙනවා. ඒ තාක්ෂණය තාම අපට නෑ. මාසෙට වරක් සූත්‍රය ක්‍රියාත්මක කරන්නේ ඒකයි. සූත්‍රය තිබුණත් නැතත් තෙල් මිල වැඩි වෙනවා. සූත්‍රය තිබුණත් නැතත් ලංකාව හා හැම රටක්ම තෙල්වලට බදු අය කරනවා. තෙල් මිල අඩු වුණාම අපි ජනතාවට ඒ සහනය දෙනවා. ගිය රජය කාලෙ තෙල් බැරලය ඩොලර් 40 ට අඩු වුණත් ජනතාවට සහන දුන්නේ නෑ. ” අගමැතිවරයා කීවා.

බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැදුරට ගියේ ඉන්දීය සාගර සමුළුවට එක් වීමටයි.ජනපති මෛත්‍රීද ඊට එක් වීමට නියමිතව තිබූ නිසා ඔහු පැමිණෙන තෙක් පැමිණ සිටි මැති ඇමතිවරු සමඟ කතා බහ කිරීමට අගමැතිවරයා ඒ කාලය යොදා ගත්තා.

“නෝර්වේ එංගලන්ත සංචාරය කොහොමද? ජනාධිපතියි අගමැතියි දෙන්නම එක වෙලාවට රටේ නොහිටපු එක ගැන මිනිස්සු එච්චර කැමති නෑ වගෙයි. ” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“ ඉතා හදිසියෙන් එහෙම දෙයක් වෙන්නෙ. මම රට ගියාම ජනාධිපතිතුමාටත් හදිසි සංචාරයක් යන්න වුණා. කිරිඇල්ල ඇමතිතුමාල රටේ හිටපු නිසා ප්‍රශ්නයක් නෑ. දුරකථනයෙන් ජනාධිපති හා මට කතා කරල අවශ්‍ය තීන්දු ගන්න පුළුවන්නේ” අගමැති කීවා.

“ ජනාධිපතිතුමයි පෙහොට්ටුවේ අයයි රහස් කතා කරල අගමැති මාරු කරල භාරකාර ආණ්ඩු හදල මොකක්ද මේ කරන්න හදනව කියන්නේ. ජනමාධ්‍ය මේක තවත් රස කරල දුන්න නිසා මිනිස්සු වෙන්නෙ මොකක්ද අහනවා. ” චමින්ද විජේසිරි ඇහුවා.

“ මේ ව්‍යවස්ථාව අනුව භාරකාර ආණ්ඩුවක් පිහිටවන්න ක්‍රමයක් නෑ. ආණ්ඩුවක් විසිරෙව්වම තමයි භාරකාර ආණ්ඩුවක් හදන්න පුළුවන්. විපක්ෂය කියන විකාර ජනමාධ්‍ය රටට දෙන්නේ වගකීමක් නැතිවයි. පෙහොට්ටුවේ සමහරු මේ දවස්වල රෑට නිදාගන්නෙ උදේ නැගිටින කොට මහින්ද අගමැති වෙලා අලුත් ආණ්ඩුවක් හැදිල ඇති කියල සිහින දකිමිනුයි. ඒ මිනිස්සු පව් එක අතකට. ” විජයදාස රාජපක්ෂ කීවේ සිනා මැදයි.

“ මගේ විදේශ සංචාරය ඉතා සාර්ථකයි. නෝර්වේ එක්ක ඇති අපේ දේශපාලන හා ආර්ථික සබදතා තවත් වැඩි කරගන්න හා ඉන්දීය කලාපයේ එකට වැඩ කිරීම ගැන අපි තීන්දු කීපයකට ආවා. ගෝලීය සංවර්ධනය විධිමත් කරන ගමන් දෙරටේ පෞද්ගලික අංශවල එකතුවෙන් ලංකාවට නෝර්වේ ආයෝජන ගේන්න කතා කරගත්තා”අගමැති කීවා.

“එංගලන්ත කොටස් වෙළඳපොළ තනිකරම දුවන්නෙ ලංකාවේ අය වීම ලොකු දෙයක්. ලෝකයේ සියලු ප්‍රධාන කොටස් වෙළඳපොළවල්වල ඉන්නේ අපේ අයයි” නවීන් දිසානායක කීවා.

“නවීන් හරි. ඒ තත්ත්වය තව වර්ධනය කරගැනීම අපි කරන්න ඕනෑ. මම එංගලන්තෙ ගියේ වැඩ දෙකකට. ලන්ඩන් කොටස් වෙළඳපොළේ උත්සවයකට මට ආරාධනා ලැබුණා. එයාලගෙ තාක්ෂණය වැදගත්. ඊළඟට ඔක්ස්පර්ඩ් සරසවියේ ලලිත් ඇතුලත්මුදලිලාත් හිටපු “විවාද සමාජය” මට ආසියාව ගැන දේශනයකට ආරාධනා කරල තිබුණා” අගමැතිවරයා පැහැදිලි කළා.

“නීතිපති එකේ ඉහළම නිලධාරියෙක් හා තවත් හතරදෙනෙක් චන්දන පෙරේරා කියන නීතිඥයා කැඳවලා නඩුවක තොරතුරු හා ලිපිලේඛන ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධිය හැම ජනමාධ්‍යකම ගියා. නීතිපති නිලධාරීන්ට ඒ කරපු වැඩේ ඉතා වැරදි බවට ජනමතයක් පවා දැන් ඇතිවී තිබෙනවා. නීතිපති එකේ නිලධාරීන් මීටපසු ඒ වගේ වැරදි නොකරන්න මේ සිද්ධිය හොඳ පූර්වාදර්ශයක් වේවි” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“එතකොට ඒ නීතිඥයා ඒ සිද්ධිය ගැන පොලිස්පති නීතිපති අග්‍රවිනිශ්චකාරයා අදාළ ඇමතිවරුන්ට කරපු පැමිණිලි විභාග වෙන්නෙ නැද්ද” චමින්ද විජේසිරි ප්‍රශ්න කළා.

“පැමිණිල්ල අනිවාර්යෙන් අදාළ සියලු පාර්ශ්ව විසින් විභාග කළ යුතුව තිබෙනවා. නීතිපති දැනටම සිද්ධිය ගැන නිරීක්ෂණ වාර්තාවක් කැඳවලා කියලත් ආරංචියි” අගමැතිවරයා කීවා.

“නඩුවක තොරතුරු හා ලිපි ලේඛන ඉල්ලන්න පුළුවන් අධිකරණයට විතරයි. ඒකටත් දැඩි සීමා තිබෙනවා. නීතිපති එකේ නිලධාරින් ඒ තත්ත්වය අමතක කරල මීට පස්සෙ වැඩ කරන එකක් නෑ” ප්‍රවීණ නීතිඥයන් වන විජේදාස රාජපක්ෂ මෙන්ම අජිත් පෙරේරා කීවේද එකම කතාවක්.

“ජනාධිතුමයි පොහොට්ටුවයි එකතුවෙලා කරන්න හදන්නෙ මොකක්ද” චමින්ද විජේසිරි යළිත් විමසුවා.

“චමින්ද මන්ත්‍රීතුමා ළඟ දී පත්තරේකට කරටි කැඩෙන කතාවක් කියල තිබුණා. ආප්ප කාලා පැනලා තමන්ගෙ පක්ෂය පරද්දපු හා තමන් රටේ නායකත්වයට ගෙනාපු පක්ෂයටත් කොකා පෙන්නන කෙනෙක් එක්ක පොහොට්ටුවේ අය ලැජ්ජා නැතිව එකතුවෙනවා නම් ඒක අටවෙනි පුදුමය බවයි ඒකෙ කියල තිබුණේ” එජාප නීති නිලධාරීයෙක් කී විට සියලු දෙනාම මුහුණට මුහුණ බලාගත්තා.

“මහා පරිමාණ මූල්‍ය වංචා ගැන හොයන ජනාධිපති කොමිසම පත්කරල ඒ වාර්තාව අනුව නඩු දාන්න ජනාධිපතිතුමා යෝජනා කළා. පවතින නීතිය අනුව නඩු දාන්න බැහැ. අලුතින් සංශෝධන පනත නීතිපති එකේ පරක්කු වුණා. එයාල රවී පස්සෙ දිව්වා මිසක් මේක බැලුවෙ නෑ කියල ආරංචියි. මම සිකුරාදා පනත පාර්ලිමේන්තුවට දානවා. එතකොට යම් ජනාධිපති කොමිසමක විභාග වෙන සාක්කි යළි සාක්කි විමසීමකින් තොරව අල්ලස් කොමිසමටත් ගන්න පුළුවන්. ජනාධිපතිතුමා මේ පනත පරක්කු වීම ගැන හිත් අමනාපයෙන් හිටිය බව පේනවා. ආණ්ඩු පෙරළන කතා ආවෙත් ඒ එක්කමයි” ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිලි කළා.

“ජනාධිපතිතුමා අල්ලගෙන පොහොට්ටුව එක එක ගේම් ගහන්න උත්සාහ කරාවි. එතුමා මේවට යටවේවි කියල මම හිතන්නෙ නෑ” දයා ගමගේ කීවේ එවැන්නක්.

“පොහොට්ටුවයි ශ්‍රීලනිප ප්‍රබලයොයි හමුවූ වෙලාවෙ එක එක්කෙනා එතන දී එක එක කතා කිව්වට රාපක්ෂලගෙ මතය නම් කොහොම ගණන් හැදුවත් මන්ත්‍රීවරු 90 පන්නන්න අමාරු නිසා ආණ්ඩුව පෙරළන්නේ කොහොමද කියල අහලලු” රන්ජන් රාමනායක කීවේ තමාට ලැබුණු තොරතුරකට අනුවයි.

“ ගෝඨාභයගෙ කැම්පේන් එක වැටීමයි ජනබල මෙහෙයුම අසාර්ථක වීමයි නිසා මහින්ද බැසිල් ලංකාවට ගෙන්නල කියලත් ආරංචියි. ” නවීන් දිසානායක කීවා.

“ රවීටයි දයාසිරිටයි ඇමතිකම් දෙන්න යනවලු නේද? රවී ළග දී අර නඩුවකින් නිදහස් වුණා.මේ ආණ්ඩුව හදන්න රවීල අපි කොච්චර කැප වුණාද” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“ දයාසිරිට ඇමතිකම දෙන්න ප්‍රධාන පක්ෂ දෙකේම ලොකු එකඟත්වයක් නැති බව පේනවා. රවීට දැන් ප්‍රශ්නය තියෙන්නේ ශ්‍රීලනිප පැත්තෙන් විතරයි. ඒක ඉක්මනින් විසදේවි කියල ආරංචියි. ” වජිර අබේවර්ධන කීවා.

“ කොළඹ කුණු ප්‍රශ්නය ගැන රෝසියි ඉඩම් ගොඩ කිරීමේ සභාපතියි එළියේ විකාර කියෙව්වා. ඒ දෙන්නම පණ්ඩිතයි. ඇතුලෙ ප්‍රශ්න බේරගන්න මේ මිනිස්සුන්ට මොළයක් නැද්ද. ” අගමැතිවරයා කීවේ මදක් ආවේගයෙන්.

යාපනය දිස්ත්‍රික්කයේ පළමුවන උදා ගම්මානය මෙන්ම වත්මන් උදාගම් වැඩපිළිවෙළේ 135 වැනි ගම්මානය වන චාවකච්චේරි ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාසයේ මන්තුවිල් හි ඉදිකළ’නාවලර් කෝට්ටම්’සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් පසුගියදා ජනතා අයිතියට පත් කෙරුණා. එහි ගිය අමාත්‍යවරයා පිළිගැනීමට මාවෙයි සේනාධිරාජා, එම්. ඒ. සුමන්තිරන් සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් යන දමිළ ජාතික සන්ධානයේ ‍පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැමිණ සිටියා. සජිත් මේ මන්ත්‍රීවරුන් සමඟ ගම්මානයේ නිවසක් පාසා ඇවිද ගියා. එසේ යද් දී සුමන්තිරන් මන්ත්‍රීවරයා කීවේ ‘ඇමැතිතුමා මේක හරිම වැදගත් නිවාස යෝජනා ක්‍රමයක්. ඔබතුමාගේ තාත්තා 1980 දී වී. එන්. නවරත්නම් – හිටපු චාවකච්චේරි මන්ත්‍රීතුමා එක්ක එකතුවෙලා මෙතන උදා ගම්මානයක් හැදුවා. යුද්ධයෙන් ඒ ගම්මානය විනාශ වුණා. ගෙවල් 29 ක් එක්ක ‘නාවලර් කෝට්ටම්’ ගම්මානය අද ඔබතුමා ජනතා අයිතියට පත්කරන්නේ ඒ කලින් ගම්මානය තිබුණු තැනමයි’ කියායි. ‘අද නිවාස අමාත්‍යාංශය කියන්නේ එදා මගේ තාත්තගේ කාලේ තිබුණු අමාත්‍යාංශයෙන් 1/6 ක් විතරයි. මම රට පුරාම ගිහින් මේ වැඩ ඔක්කොම කරන්නේ ඒ 1/6 ක පුංචි කෑල්ලත් එක්ක බව ඔබතුමා දන්නවාද’ සජිත් සුමන්තිරන්ගෙන් ඇසුවා. අනතුරුව දමිළ මන්ත්‍රීවරුන් සජිත්ගේ අවධානය යොමු කළේ වෙනත් කරුණක් ගැනයි. ‘ලොකු ප්‍රශ්නයක් තිබෙනවා ඇමැතිතුමා. නිවාස සංවර්ධන අධිකාරියට අයිති නාවත්කුලමේ ඉඩමක් මිනිස්සු බලහත්කාරයෙන් අල්ලාගෙන ඉන්නවා. ඒ පදිංචිකරුවන්ට ඔබතුමා අනුමැතිය ලබා දෙනවාද?’ ඔහු අසද්දී සජීත් කීවේ ‘රජයේ ඉඩකඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට නම් මම ප්‍රතිපත්තියක් හැටියට එකඟ නෑ. ඒත් ඇත්තටම ඉඩමක් නැති අය එතන ඉන්නවා නම් මානුෂීය ප්‍රශ්නයක් හැටියට ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් අවධානය යොමු කරලා සහනයක් ලබා දෙන්න පුළුවන් වේවි. හැබැයි ඉඩම්, ගෙවල් තියෙන අයත් එතන ඉඩම් අල්ලාගෙන ඉන්නවා නම් ඉවත් කරන්න වෙනවා’ කියායි. දමිළ මන්ත්‍රීවරුන් කීවේ ‘ඒක සාධාරණ තීරණයක්’ යනුවෙන්. සජිත් කීවේ ‘මම තීන්දුවක් ගත්තොත් ගත්තමයි. එක තැන පල්වෙන තීන්දු ගන්නෙ නෑ. අපේ අමාත්‍යාංශයත් බය නැතිව තීන්දු තීරණ ගන්න අමාත්‍යාංශයක්’ කියායි.

සිකුරාදා අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණියේ ඇමතිවරු දෙපළ එක්ව ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් කරනු ලැබූ කාර්යයක අවසන් ප්‍රතිඵල ගැන මාධ්‍ය දැනුම්වත් කිරීමට. ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා ලබා දී තිබූ කටුගොඩ ප්‍රදේශයේ ඉඩමක් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට යළි පවරාගෙන සාගර විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමේ යෝජනාවක් ක්‍රියාත්මක වෙමින් තිබුණා. රිච්මන්ඩ් පාර්ශ්වයෙන් මේ සඳහා දැඩි විරෝධයක් ගොනු වෙද් දී රිච්මන්ඩ් සහායට ඉදිරිපත් වුණේ මහින්දීයයකු වූ ඇමැති වජිර අබේවර්ධනයි. ඔහු රිච්මන්ඩ් විද්‍යාලයට මේ ඉඩම බේරාදිය යුතුයැයි දිගින් දිගටම රජයට කරුණු පෙන්වා දුන්නා. අවසන් ප්‍රතිඵලය වුණේ සරත් අමුණුගම අමාත්‍යවරයා විසින් සාගර විශ්වවිද්‍යාලය කෙරවලපිටියේ ඉදිකීරීමට තීරණය කිරීමයි. මේ අනුව රිච්මන්ඩ් විද්‍යාලයට යළි තම උරුමය ලැබී තිබෙනවා

සෙනසුරාදා ඇමැති වජිර අබේවර්ධනත් ඇමැති ගයන්ත කරුණාතිලකත් බෙන්තොට ප්‍රදේශයට ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගී වීමටයි. ගාල්ලේ සිටින ඇමැති වජිරගේ මවගේ ගම බෙන්තොට ප්‍රදේශයයි. මේ නිසා කලකින් පසු සිය මව් පාර්ශ්වයේ ඥාතීන් රැසක් හමු වීමේ අවස්ථාව වජිරට හිමිවුණා. නිල සෙවණ කාර්යාල තුනක් විවෘත කිරීමට සහභාගී වූ ඇමැති දෙපළ ගංවතුරින් හානියටපත් වූ ප්‍රදේශ නගා සිටුවීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් ලක්ෂ 115ක් වැය කර ප්‍රතිසංස්කරණය කළ බෙන්තොට ධර්මවිජයාරාම මාර්ගය ද විවෘත කළා.

සෙනසුරාදා සහ ඉරිදා දිනවල ගාල්ල ප්‍රදේශයට ඇතිවූ තද වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පැවතුණා. පහත්බිම් රැසක් ද වතුරෙන් යට වී තිබූ අතර ගාල්ල නගරයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබුණා. සඳුදා උදෑසනම ඇමැති වජිරගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ආපදා රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කැඳවා තිබුණා. ඇමතිවරයා මේ රැස්වීමට යාමට පෙර ගාල්ල මොරගොඩ ඇළේ ඇති ගැටලු නිරීක්ෂණය කිරීම විශේෂත්වයක්. පසුගිය රජය කාලයේ මොරගොඩ ඇළ සංවර්ධනය කර ගංවතුර නැවැත්වීමේ ව්‍යාපෘතියක් රුපියල් කෝටි ගණනක ලෝක බැංකු ආධාර යටතේ ආරම්භ කර තිබෙනවා. නමුත් සෑම පාර්ශවකින්ම එල්ල වන චෝදනාව වන්නේ මේ ව්‍යාපෘතිය අසාර්ථක බවයි. ව්‍යාපෘති වාර්තාවේ දැක්වෙන්නේත් මේ ව්‍යාපෘතියෙන් ගංවතුර අඩු වනවා මිස ගංවතුර නැවැත්විය නොහැකි බවයි. එමෙන්ම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අඩපණ වී තිබෙන බවත්, ඇතැම් තැන්වල ඉදිකරන මොරගොඩ ඇළේ පැති බැමි ගිලා බැස ඇති බවටත් චෝදනා එල්ල වෙනවා. මේ ගැන සොයා බැලූ ඇමතිවරයා ආපදා රැස්වීමේ දී මොරගොඩ ඇළ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂට විශාල දෝෂාරෝපණයක් එල්ල කළා. ඔවුන් කියා සිටියේ කොන්ත්‍රාත් කරුවාගේ දුර්වලතා හේතුවෙන් ගැටලු රැසක් පැන නැ‍ඟී ඇති බවයි. වහාම කොන්ත්‍රාත්කරුවා වෙනස් කර ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස ඇමතිවරයා උපදෙස් දුන්නා

සඳුදා වනවිට ගාල්ලේ පුද්ගලයන් 10, 000ක් පමණ අවතැන්ව සිටියා. ඔවුන්ට කඩිනමින් සහන සේවා සැපයීමටත් ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමට සූදානමින් සිටින ලෙසත් ඇමතිවරයා මෙහි දී නිලධාරීන්ට උපදෙස් දුන්නා

අඟහරුවාදා යළි ඇමැති වජිර මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ රැස්වීමකට සහභාගී වුණා. එහි දී ඇමැතිවරයා කියා සිටියේ ඇතැම් අවස්ථාවල දී රජයේ චක්‍රලේඛ රජයේ නිලධාරීන්ගේ කාර්යයන්ට බාධාවක් බවයි. ඒවා වසර ගණනාවකින් යාවත්කාලීන නොවීම ගැටලුවක් වී ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දුන්නා.

බ්‍රහස්පතින්දා ඇමැති වජිර අබේවර්ධන යටලමත්ත, උඩුගම, මාපලගම ආදී ප්‍රදේශවල නාය යාමෙන් හා ගංවතුර හේතුවෙන් විපතට පත්වූ පුද්ගලයන් රැසක් හමුවීමට ගියේ මහ වැසි ඇදහැලෙද්දී. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද සුරක්ෂිත මධ්‍යස්ථාන 12ක ඉදිකිරීම් මේ වනවිට අවසන් වී තිබෙනවා. ඒවා විවෘත කිරීමටත් පෙර මෙවර ගංවතුරින් අවතැන් වූවන් පැමිණ ප්‍රයෝජනයට ගෙන තිබෙනවා. එවැනි ස්ථාන කිහිපයකට ගිය ඇමතිවරයා කියා සිටියේ මේවා අපි විවෘත් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා ඇවිත් මේවා ප්‍රයෝජනයට ගැනීම ගැන අපිට ගොඩක් සංතෝෂයි යනුවෙන්. එවැනි සුරක්ෂිත මධ්‍යස්ථානවල තාවකාලිකව පදිංචි වී සිටින පුද්ගලයන් ඇමතිවරයාට කීවේ දැන් මේ වගේ තැනක් තියෙන නිසා අපිට බය නැතිව ඉන්න පුළුවන් කියලා.

ව්‍යවස්ථාදායක සභාවේ කාලය ඉකුත්වීමත් සමඟ නැවත සාමාජිකයින් පත්කිරීම කළ යුතුව තිබුණා. මේ සම්බන්ධයෙන් කථානායකවරයා විපක්ෂයේ නියෝජිතයා පත්කිරීම පිළිබඳව විපක්ෂ සංවිධායක අනුර දිසානායක දැනුවත් කිරීමට කටයුතු කළා. පසුව අනුර දිසානායක මන්ත්‍රීවරයා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සඳහා ජවිපෙ මන්ත්‍රීවරයකු පත්කිරීමට එකඟතාවය පළ කළා. මේ පිළිබඳව ජවිපෙ දේශපාලන මණ්ඩලය තීරණයකින් පසු ඒ සඳහා බිමල් රත්නායක මන්ත්‍රීවරයා පත්කිරීමට තීරණය වුණා. මීට පෙර විපක්ෂයේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළේ ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් මහතායි.

විදෙස් රටවල් කිහිපයක ශ්‍රී ලාංකිකයන්ගේ විශේෂ ආරාධනාවකට අනුව ජවිපෙ නායක අනුර දිසානායක විශේෂ සම්මන්ත්‍රණ කිහිපයක් ආමන්ත්‍රණය කිරීමට මෙම සති අන්තයේ විදෙස්ගත වීමට නියමිතයි. ‘රට රකින, රට හදන ජනතාවාදී පාලනයක්’ මැයෙන් ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව විදෙස් රටවලද විද්වත්, වෘත්තික හමු සූදානම් කොට තිබෙනවා. ඒ අනුව ඔක්. 14 දින ඔස්ට්‍රියාවේ වියානා නුවර දී, 17වැනිදා ඉතාලියේ වෙරෝනා නගරයේ දී, 20 දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ දී, 21වැනි දින ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ දී මෙම සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිතයි.

මේ අතර බිමල් රත්නායක මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තු සංචාරයක් අතරතුර දී ශ්‍රී ලාංකිකයින් හමුවී විශේෂ සාකච්ඡා සහ සම්මන්ත්‍රණ කිහිපයක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ස්විස්ටර්ලන්තයේ සූරිච් නගරයේ දී ඔක්. 21වැනි දින සහ ඊට පසු දින ජර්මනියේ මියුනිච් නගරයේ දී මෙම වැඩසටහන් සඳහා මන්ත්‍රීවරයා සහභාගිවීමට නියමිතයි.

.සයිටම් ආයතනයේ සිසුවියක ගොනු කළ නඩුවක් සඳහා අධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව සහ පාර්ලිමේන්තුව මගින් ලබාදුන් විසඳුම අතර මේ වනවිට ගැටුමක් පැනනැගිලා. මේ සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ සිසු මාපිය සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ පිරිසක් ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් සහ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත කොළඹ දී හමුවී සාකච්ඡාවක් පැවැත්වුවා. ”නඩු තීන්දුවෙන් පස්සේ නැවතත් අවුලක් ඇතිවෙලා. පාර්ලිමේන්තුවේ විසඳුමයි, නඩු තීන්දුවයි අතර ගැටුමක්. අනෙක් පැත්තෙන් සයිටම් ආයතනයට නීත්‍යානුකූලභාවයක් ලැබෙනවා. ආණ්ඩුව පැත්තෙනුත් මේකට කිසිදු මැදිහත්වීමක් නැහැ.” මාපියෝ සහ සිසුහු පෙන්වා දුන්නා. ”නඩු තීන්දුව දීලා තියෙන්නේ පැවැති තත්ත්වයටත් අලූත් තත්ත්වයට අනුව ක්‍රියාත්මක වෙන්න එය බාධාවක් නොවන බවත් කියලා. නමුත් අපහැදිලිතාවයක් තිබෙනවා” විජිත හේරත් කීවා. ”ඒ නිසා මාපියන් ලෙස අපි මේකට අධිකරණයෙන් අර්ථකතනයක් දෙන්න කියලා නැවත නඩුවක් ගොනු කරනවා.” මාපිය සංගමයේ නියෝජිතයන් කීවා. ”ඒක හොඳයි. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් දාමු. එතකොට පාර්ලිමේන්තුව විදියට මැදිහත් වෙන්න ක්‍රමයක් හදාගන්න පුළුවන්” ලාල්කාන්ත යෝජනා කළා. ඒ අනුව ජ.වි.පෙ. නායක මගින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ බ්‍රහස්පතින්දා දිනයේ දී විෂයභාර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට තීරණය වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් අතර සාකච්ඡාවක් එස්. බී. දිසානායක හිටපු ඇමැතිවරයාගේ නිවසේ දී පැවැති බවට පසුගිය දිනවල ආරංචි පැතිර ගියා. එම ආරංචි සමඟ පළ වූ ප්‍රවෘත්තිවල සඳහන් වූයේ බැසිල් රාජපක්ෂ මහතා ද එම සාකච්ඡාවට සහභාගි වූ බවයි. එහි දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් භාරකාර රජයක් පිහිටුවීම ගැන සාකච්ඡා කළ බව ද සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කළා. එම ආරංචිය තහවුරු කරමින් වාර්තා වූයේ මේ ගැන කතා කිරීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අඟහරුවාදා මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ නිවසේ දී පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රී සමඟ සාකච්ඡා නොකළ බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ අතර තම නිවසේ එබඳු හමුවීමක් සිදු නොවූ බව එස්. බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

අඟහරුවාදා පැවැති රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් 41 දෙනාට පමණක් ආරාධනාකොට තිබීම විශේෂත්වයක් වුණා. මෛත්‍රී – ‍මහින්ද එකතුවක් අවශ්‍ය බව ප්‍රසිද්ධියේ කියන වාසුදේව නානායක්කාර මහතාට හෝ ඒකාබද්ධ විපක්ෂයේ සෙසු පක්ෂවලට හෝ මෙයට ආරාධනා කොට තිබුණේ නැහැ. මෙය මෛත්‍රී සමඟ හවුලකට එරෙහිව සිටින බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුමක් අනුව සිදු වූ බව පෙනී ගියා.

පොදුජන පෙරමුණේ මෙම රැස්වීමේ දී මන්ත්‍රීවරුන් බහුතරයක් අදහස් ප්‍රකාශ කළේ භාරකාර ආණ්ඩුවකට සම්බන්ධ වීමට එරෙහිවයි. එය තමන්ට දේශපාලන වශයෙන් අවාසිදායක බව වැඩි දෙනාගේ අදහස වුණා. කෙසේ වෙතත් එබඳු තත්ත්වයක් ඇතිවුවහොත් ඉක්මන් මැතිවරණයක් ලබාගත හැකිවන බව තවත් පිරිසක් කියා සිටියා.

කෙසේ වෙතත් එහි දී මතු වූ තවත් ප්‍රශ්නයක් වූයේ භාරකාර ආණ්ඩුවක් ගැන යෝජනාවක් ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඉදිරිපත් වී නැති බවයි. ජනාධිපතිතුමා සමඟ සිටින හිටපු ඇමැතිවරුන් කිහිපදෙනකු එම අදහස ඉදිරිපත් කළද එය ජනාධිපතිතුමාගේ අදහස ද යන්න ප්‍රශ්නයක් බව පෙනී ගියා. මහින්ද රාජපක්ෂ මහතා ද කීවේ එබඳු යෝජනාවක් ලැබී නැති බවයි. එබැවින් විධිමත් යෝජනාවක් ලැබුණොත් එය සලකා බැලීමට මහින්ද රාජපක්ෂ මහතාට බලය පවරන්නට තීරණය වුණා.

පැය තුනක පමණ කාලයක් පැවැති සාකච්ඡාවේ දී වැඩි අවධානය යොමුවුණේ ආණ්ඩු පිහිටුවීමට වඩා ඉක්මන් මැතිවරණයක් ලබාගැනීමට බව පෙනී ගියා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *