දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ  මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය.

මරණ දඬුවම නියම වී සිටි අනුර තුෂාර ද මෙල් මහතාට පැනවූ මරණ දඬුවම පමණක් ඉවත් කර ඔහු මුදා හැරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මහාධිකරණයෙන් නියම කළ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා   දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකු  ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ  අභියාචන පෙත්සම් සම්බන්ධ තීන්දුව අද (21) පස්වරු 2.30ට ප‍්‍රකාශයට පත් කෙරිණි.

අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අධිකරණය    එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ විත්තිකාර පාර්ශ්වය සහ පැමිණිලි පාර්ශ්වය   දින හයක් පුරා පැවැත්වූ දීර්ඝ දේශනවලින් පසුවය.

හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති උපදේශක ලෙස කටයුතු කරමින් සිටි හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට  වැරදිකරුවන් වී මරණ දණ්ඩනය නියම වී සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර් දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල් , චමින්ද රවි ජයනාත් සහ  සරත් බණ්ඩාර යන විත්තිකරුවෝය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්රීකවරයෙකු මෙන්ම හිටපු ජනපතිවරයාගේ වෘත්තීය සමිති කටයුතු උපදේශකවරයෙකු ද වූ භාරත ලක්ෂ්මන් ප්රේනමචන්ද්රි මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 2011 ඔක්තෝබර 08 වැනි දා මුල්ලේරියාව ප්‍රදේශයේදීය. පළාත් පාලන මැතිවරණයක් පැවැති එදින සිදුවූ වෙඩි හුවමාරුවෙන් දුමින්ද සිල්වා මහතාටද වෙඩි වැදුණු බව කියැවිණි.

එම සිදුවීමෙන් පසු දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර ලබා ගැනීමට  2011 නොවැම්බර් පළමු වැනි දා සිංගප්පූරුව වෙත රැගෙන යනු ලැබූ අතර ඔහු ලංකාවට යළි පැමිණියේ 2013  මාර්තු 05 වැනි දා අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊකේ 349 දරණ ගුවන් යානයෙනි.

සිංගප්පූරුවේ සිට ලංකාවට රැගෙන ආ දුමින්ද සිල්වා මහතා ඉන් පසු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී.  එදිනම   එම පෞද්ගලික රෝහලට ගිය රහස් පොලිසිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේය.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේ දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2013 මාර්ත පස් වැනි දා පෙරවරු 10.05 ට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ එවකට සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතාට දන්වන ලදී. චෝදනා පත්‍රය කියවා ඔහු අත්අඩංගුවට ගෙන නවලෝක රෝහලේ ඔහු සිටින කාමරයට පොලිස් මුර යෙදූ බව ද සහකාර පොලිස් අධිකාරීවරයා උසාවියට සැළ කර සිටියේය. ඔහුගේ හිසට බරපතල සැත්කමක් කර ඇති හෙයින් රෝහලෙන් එළියට ගියහොත් විෂබීජ ඇතුළු වී ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බව වෛද්‍යවරුන් පැවසීයැයි අබේසේකර මහතා උසාවිය හමුවේ කියා සිටියේය.

ඒ අනුව  කොළඹ නවලෝක රෝහලට ගිය එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා   මාර්තු 14 වැනිදා තෙක් රිමාන්ඩ් කළේය.

දුමින්ද සිල්වා මහතාට ඇප ලැබීමෙන් පසු ඇප අත්සන් කළේ 2013 අප්‍රේල් මස 26 වැනි දාය. අප්‍රේල් 27 වැනි දා ඔහු නවලෝක රෝහලෙන් පිටව ගියේය.

අනතුරුව ඔහු ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවැරිණි. දීර්ඝ නඩු විභාගයකින් පසු ත්‍රිපුද්ගල මහාධිකරණයේ විසිනුසරුවරුන් දෙදෙනකු 2016 සැප්තැම්බර් මාසයේ දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියම කළ අතර එක් විනිසුරුවරයකු සියලු සැකකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කළේය. ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් දුමින්ද සිල්වා මහතා ඇතුළු හතර දෙනකුට මරණ දඬුවම නියම විය.

දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් නඩුවට පෙනී සිටියේ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාය. ඒ මහතා මීට මාස කිහිපයකට පෙර අභාවප්‍රාප්ත විය.

 

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *