පොලිස් වෙස් නැටුම

‘ආදර සොපියා සොයා…  බාබර ගෙදර ගියා…  වැලි ලොරි පාරේ ගියා… සාජන්ට් ගෙදර ගියා…’

කඩේ ළමයා අමුතු සිංදුවක් කියමින් නටන්නට පටන් ගත්තේ, අලුත් ජංගම දුරකථනයෙන් ආ නිවුස් ඇලට්ටුවක් දුටු නිසාය.

‘මොකක්ද ළමයා ඒ හැදිච්චි පිස්සුව?’ කියා මුදලාලි ඇසුවේ, ඉස්කෝලෙ මහත්තයා කියන ආකාරයට කොල්ලාගේ ස්මාර්ට් වලිප්පුව තද වුණාද නැත්නම්, කොල්ලා ඇත්තටම ඔල්මොරොන්දම්ද කියා සිතාගන්නට නොහැකි වූ නිසාය.

‘බලන්න මුදලාලි පත්තරේ විස්තරේ වැලි ලොරිය පාරේ අල්ලපු සාජන් මහත්තය මහ පාරේ’ කඩේ ළමයා නැවත කීවේය.

‘කියන ඉටි ගෙඩියක් තේරෙන්න කියනවා ළමයා.’ කියා මුදලාලි තරමක කෝපයෙන් කීවේ කඩේ ළමයා කියන අප්‍රභංසය කුමක්දැයි තාමත් හරිහැටි නොවැටහුණු නිසාය.

‘ඇත්තටම මුදලාලි තෙඹුවන හංදියෙ පොලිස් කෝලම ගැන දන්නෙම නැද්ද?’ කියා එවිට කඩේ ළමයා ඇසුවේය.

‘මම දන්න මළ කෝලමක් නැහැ. ළමයා දන්න කෝලමක් තියනව නම් කෝලම් නොකරන්නෙ නැතුව මටත් ඇහෙන්න කියවන්නැ’යි මදලාලි එවර කීවේය.

‘සාජන් මහත්තයා වැලි ලොරියක් ඇල්ලුවා. ලොකු මහත්තයා ලොරිය උසාවි යවනවා වෙනුවට ගෙදර යැව්වා. සාජන් මහත්තයා තුවක්කුව ගත්තා, ‍පාරට බැස්සා. වැලි ලොරියක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු පොලිස් ඉතිහාසයේ පළමු සහ එකම සාජන් මහත්තයා වෙන්න ට්‍රයි එකක් දැම්මා.  තෙඹුවන හන්දිය චිකාගෝවක් වගේ වුණා. කොහෙද එස්.ටී.එෆ්. මල්ලිලා ෂෝ එකට බලෙන් ඉන්ටවල් එකක් දුන්නනෙ. දැන් වැලි ලොරිය ගෙදර. පොලිස් ලොක්කෝ දැහැමින් සෙමින් තාමත් පොලීසියේ.’ කඩේ ළමයා කතාව සාරාංසගත කළේය.

‘අපරාධයක් තමයි කරල තියෙන්නෙ. ඒ සාජන් මහත්තයට ලෝක වාර්තාව තියන්න ඉඩ දෙන්න තිබුණා. එහෙම වුණානම් අපේ පොලීසියෙ දෙන්නෙක්ගෙ නම් ගිනස් පොතට යනවා’ කියා මුදලාලි කීවේය.

‘දෙන්නෙක් කීවේ කවුද මුදලාලි? වැලි ලොරිය ගෙදර යවපු ලොකු මහත්තයයි, ‍වැලි ලොරිය අල්ලපු සාජන් මහත්තයයිද?’ කියා කඩේ ළමයා ඇසුවේය.

‘වැලි ලොරි කොට ලොරි ගෙදර යවන පොලිස් මහත්තුරු ගිනස් පොතට යනව නම්, අපේ පොලිසිවල මහත්තුරුන්ගෙ නම් වලින් ගිනස් පොත් එකක් නෙමෙයි දෙකතුනක් පුරවන්න පුළුවනි’ කියා එවිට කඩේ මුදලාලි කීවේය.

‘එතකොට කවුද මුදලාලි කිව්ව දෙන්නා?’ කියා කඩේ ළමයා ඇසුවේය.

‘වෙන කවුරුවත් නෙමෙයි අපේ පූජිත මහත්තයා’ කියා එවිට මුදලාලි කීවේය.

‘අයියෝ මුදලාලිගෙ අයි. කිව්. එක ‍හොඳටම මදි. පූජිත මහත්තයා දැන් නිකම්ම පූජිත නෙමෙයි ලෝක පූජිත. එයාගෙ නම දැනටමත් දෙතුන් වතාවක්ම පොලිස් ඉතිහාස පොතේ රන් අකුරින් ලියවිලා තියෙනවා’ කියා කඩේ ළමයා කීවේය.

‘ඒකත් එහෙමද මන්ද දැන් අපිට ඕව ආරංචි වෙන්නෙ නැහැ. මොන එහෙකට එයා ඔය තරම් පූජිත වුණේ?’ කියා මුදලාලි කීවේය.

‘මුදලාලි දන්නෙ නැති වුණාට අපේ පූජිත මහත්තයා පොලිස් ඉතිහාසයේ හොඳම සොයාගැනීමකුත් කළා.’ කඩේ ළමයා කීවේය.

‘ඒ මොකක්ද ළමයො?’ කියා මුදලාලි ඇසුවේ කුතුහලය නිසාය.

‘එකක් තමයි මෛත්‍රි භාවනාවෙන් අපරාධ මැඩලීමේ කලාව.’  කඩේ ළමයා කීවේය.

‘ඒ වුණාට ළමයො මෛත්‍රි භාවනාවෙන් අපරාධ අඩුවෙලා නැහැ කියල මෛත්‍රි කෙනෙක්ම ඊයෙ පෙරේදා කියල තිබුණා නේද?’ කියා එවිට මුදලාලි කීවේය.

‘එයා කියන ඒවා එච්චර ගණන් ගන්න එපා මුදලාලි. එක එක වේලාවට එක එක දේවල් කියනවා.’ යැයි එවිට කඩේ ළමයා කීවේය.

‘මුදලාලි දන්නවද අද හෙටම පොලිස් ගීයයි, ධර්ම චක්කරෙයි දෙකත්‍ වෙනස් කරන්න වෙනවා.’ මද වේලාවකින් කඩේ ළමයා කීවේය.

‘ඒ කොහොමද?’ කියා මුදලාලි ඇසුවේය.

‘පොලිස් ගීයට ගයන්න ඉන්නෙ, පූජිත ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවුණා…’ කියන සිංදුව.

‘එතකොට පොලිස් මාර්ක් එක මොකක්ද? ධර්මචක්‍රය වෙනුවට කරත්ත රෝදයක් දානවද?’ මුදලාලි ඇසුවේය.

‘අපොයි නැහැ මුදලාලි, එක්කෝ තාලම් පොට නැත්නම් රබාන’ කඩෙ ළමයා කීවේය.

‘අච්චර අපූරුවට අටලෝ දහම තියන ධර්මචක්‍රය අත් ඇරල තාලම් පොටක්, රබානක් ගහන්නෙ පිස්සුවට ද?’ කියා එවිට මුදලාලි ඇසුවේය.

‘ෂ්… ෂ්… ෂ්… මුදලාලි කාටවත් ඇහෙයි. පිස්සු කියලත් සමහරු කියනවා.’ යැයි කඩේ ළමයා කීවේ දෙතොල් හරහට ඇඟිල්ල ද තබමිනි.

‘හොඳයි කියමුකො බලන්න තාලම් පොටෙයි රබානෙයි පොලිස් රැකියාවෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද?’ මාදලාලි ඇසුවේය.

‘මුදලාලි මෙදා සැරේ මහනුවර ඇසල පෙරහැර බලන්න ගියේ නැහැ නේද?’ කඩේ ළමයා ඇසුවේය.

‘යන්න බැරි වුණා’ මුදලාලි කීවේය.

‘රූපවාහිනියෙන්වත් බලන්න බැරි වුණාද?’ කඩේ ළමයා ඇසුවේය.

‘ඒත් බැරි වුණා’ මුදලාලි කීවේය.

‘අපරාධයක්නෙ වෙලා තියෙන්නෙ. පෙරහැර ඉතිහාසයේ පළමු වතාවට සහ අවසන් වතාවට මේ සැරේ තමයි පොලිස් වෙන් නැටුම නැටුවෙ.’ කියා කඩේ ළමයා කීවේය.

‘අම්මපා ඇත්තද? කොයි පරම්පරාවෙ නැට්ටුවෙක්ද ඒ වෙස් නැටුම නැටු‍වේ? පොලිස් වෙස් නැටුමක් ගැන මම ඇහුවෙත් අදමයි.’ මුදලාලි කීවේය.

‘මුදලාලි විතරක් නෙමෙයි, රටේ හැමෝම පොලිස් වෙස් නැටුම දැක්කෙත් එදා දැනගත්තෙත් එදා තමයි.’ කියා ළමයා කීවේය.

‘කවුද නටපු නැට්ටුවා?’ කියා මුදලාලි ඇසුවේය.

‘වෙන කවුද ඉතිං පූජිත ඇදුරුතුමා තමයි.’ ළමයා කීවේය.

‘ඔන්න දැන් මට තේරුණා.’ මුදලාලි කීවේය.

‘මොකක්ද?’ ළමයා ඇසුවේය.

‘පොලිස් ලකුණට ධර්මචක්‍රය වෙනුවට රබානක් පන්තේරුවක් තෝරගන්න හේතුව’ කියා මුදලාලි උත්තර දුන්නේය.

‘හොඳයි, එහෙම නම් කියන්න තෙබුවන පොලිස් ලොක්කා වැලි ලොරිය ගෙදර යවන්න හේතුව?’ කඩේ ළමයා ඇසුවේය.

‘මින් පස්සෙ හොර වැඩ නොකර ගෙදර ගිහින් මෛත්‍රි භා‍වනාව කරන්න කියල උපදෙස් දෙන්න ඇති.’ මුදලාලි කීවේය.

‘අන්න මුදලාලිට ධර්මය අවබෝධ වුණා. ඒ විතරක් නෙමෙයි තෙබුවන ලොක්කාගේ ක්‍රමය අනුගමනය කළොත් රටේ අපරාධකාරයො ගෙදරට වෙලා භාවනා කරනවා. පොලිසියේ මහත්තුරු සේරම ගෙදර යවන්න වෙනවා.’ ළමයා කීවේය.

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *