ජනබලය විරෝධතාවට දුන් කිරි පැකට්වල වස නැහැ

කොළඹ පැවැති ජනබලය විරෝධතා පෙළපාලියක මහජනතාවට ලබා දුන් කිරි පැකට්වලට කිසිදු වස විසක් හෝ වෙනත් දෙයක් මිශ්‍ර වී නොමැති බව රස පරීක්ෂක දෙපාර්තමේන්තු වාර්තාවෙන් තහවුරු වී අතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
පසුගිය මස 05වනදා පැවැති අදාළ විරෝධතා පෙළපාලියට සහභාගී වීමට පැමිණ සිටි වෙන්නප්පුව ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වහයෙන් කටයුතු කරන නීතීඥ වර්ණකුලසූරිය ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු මහතා විසින් අදාළ කිරි පැකට් සම්බන්ධයෙන් විෂ ඇතුලත් කර ඇති බවට පසුගිය මාසයේ 10වනදා පිටකොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ල මගින් ඔහු දන්වා සිටියේ ඔහු සමග සිටි පුද්ගලයින් 25කට පිටකොටුවේ දී මෙලෙස යම් පිරිසක් විසින් කිරි පැකට්ටුවලට විෂ ඇතුලත් කර පානය කිරීමටලබා දී ඇති බවය. ඔහුට ලබාදුන් බව කියන කිරි පැකට්ටුවද ඔහු විසින් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබුණි.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ අතර අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩු අංක. B99339\3\18 යටතේ කරුණු වාර්තා කර ඇත. එසේම අධිකරණයෙන් ලබා ගත් නියෝග මත මෙම කිරි පැකට්ටුව රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.
ඒ අනුව රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාව 2018.09.28 දිනැතිව ලැබී ඇති අතර එම වාර්තාව අනුව වස සහ ඖෂධ පරීක්‍ෂාවක් සිදු කර තිබේ.
එහිදී සයනයිඩ්, ලෝහමය වස, පලිබෝධනාශක වස වර්ග, ඖෂධ එම කිරි පැකට්ටුවේ අඩංගුව නැති බවට රස පරීක්‍ෂක වාර්තාවේ දක්වා ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරනු ලැබේ. එසේම අදාළ කිරි පැකට්ටුව විවෘත කිරීමක් කර නොතිබුණු බවද එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *