ඩීල් ද ප්‍රතිපත්ති ද? – නිශාන්ත කමලදාස

සමහරුන්ට ප්‍රතිපත්ති නැත. ප්‍රතිපත්තියක් යැයි කිව හැකි දෙයකට තියෙන්නේ වැල යන අතට මැස්ස බැඳීමේ ප්‍රතිපත්තිය පමණ ය. වෙනත් විදිහකට කියනවා නම් එවැනි අය කරන්නේ එවෙලේ වඩාත් වාසිදායක ඩිල් එක ගැසීම පමණ ය. ඒ සඳහා ඊයේ යාළුවා අද පාවා දීමටත් අද හතුරා හෙට වැළඳ ගැනීමටත් පුළුවන. දේශපාලනයේ දී සදාකාලික මිතුරන් හෝ සතුරන් නැතැයි කියන විට අදහස් වන්නේ ද දේශපාලනය යනු එලෙස ඩීල් ගැසිල්ලක් බව ය.

කෙනකුට ප්‍රතිපත්ති තිබීම ඩීල් ගැසීමට බාධාවකි. ඒ නිසා ප්‍රතිපත්ති නැති එක දේශපාලනය සඳහා අතවශ්‍ය ලක්ෂණයකි. අවශ්‍ය වන්නේ බලය ය. ඒ බලය රඳවා ගත හැකි නම් සෙසු සියලු කාරණා දෙවැනි ය. ඒ සඳහා මිතුරා පාවා දිය හැකි ය. සතුරා වැළඳ ගත හැකි ය.

නැව ගිලෙන විට එහි ඉන්නා මීයන් ද පැන ගන්නා සේ ප්‍රතිපත්ති නැති මිනිස්සු තමන්ට අවාසිදායක යැයි සිතෙන තැනවලින් සෙමින් දිරා මාරු වන්නෝ ය. කෙනකු ප්‍රතිපත්තියක පිහිටනවා ද යන්න දැන ගැනීමට හැකි එක් ලිට්මස් පරීක්ෂාවක් වන්නේ මෙවැනි අවස්ථාවක කෙසේ හැසිරෙන්නේ ද යන්න ය.

පරාජයේ දී යහළුවන් ද ජයේ දි සැබෑ සතුරන් ද අඳුනා ගත හැකි යැයි කියන්නේ ඒ නිසා ය. පරාජයේ දී යහළුවන් අත නොහැර රැඳෙන අතර ජයේ දී පවා සතුරන් සිය සතුරුභාවය එළිපිට ප්‍රකාශ කරති. ඉතිරි සියළු අය දෙකටම නැති පතෝල ය. අවස්ථාවාදීන් ය. ඔවුන් පරාජයේ දී මග හැර යන අතර ජයේ දී ළගින් ම සිටිති. ඒ ඩිල් දාන මිනිසුන්ගේ හැටි ය. ප්‍රතිපත්තියක් නැති මිනිසුන්ගේ හැටි ය.

ඩීල් වැඩිපුර ඇත්තේ දේශපාලනය ඇසුරේ බව බොහෝ දෙනකුගේ අදහස ය. එය අර්ධ සත්‍යයකි. බලය ඇති බොහෝ දෙනකු ප්‍රතිපත්ති සමග නොව ඩිල් සමග ගනුදෙනු කිරීමට පුරුදුව සිටිති. දේශපාලනඥයින් ළඟට බලය ඇසුරු කරන්නේ නිලධාරීන් ය. උන් ද ඩීල්වලට ඒ නිසා ම බර ය. ඒ තමන් සතුව ඇති බලයට වහ වැටුණු විට බලය ඇති බොහෝ දෙනකුගේ එක ම ප්‍රතිපත්තිය බවට බලය භුක්ති විඳීමත් එය රැක ගැනීමත් පහසුවෙන් පත් වන නිසා ය.

එසේ වුව ද සමාජය ප්‍රතිපත්ති රැකීම වඩාත් අපේක්ෂා කරන්නේ මේ කොට්ඨාස දෙකෙන් ය. ඒ බලය නිසා ඔවුන්ට සෙසු මිනිසුන් කෙරෙහි ආධිපත්‍ය පැවැත්විය හැකි නිසා ය. සෙසු මිනිසුන්ගේ ඉරණම, රටේ ඉරණම මෙන් ම සමස්ත සමාජයේ හා මානව සංහතියේ ඉරණම ද, මේ බලය ඇති අය විසින් තීරණය කරනු ලැබිය හැකි නිසා ය. තීරණය කරන නිසා ය.

දෙතැන දෙවිදිහකට

ප්‍රතිපත්ති නොමැතිව ඩීල්වලින් රටක් ඉදිරියට යන විට අද සිදු වන විදිහට හෙට වැඩ සිදු නොවන්නේ ය. රත්නපුරයේ සිදු වන විදිහට කොළඹ වැඩ සිදු නොවන්නේ ය. ස්ථානය හා කාලය අනුව ඒ තනතුරේ ඉන්නේ පෙරේරා ද සිල්වා ද කියන එක අනුව වැඩ සිදු වන ආකාරය වෙනස් වන්නේ ය. ඒ එක් එක් පුද්ගලයා සිතන පතන විදිහ අනුව ඒ වෙලේ ඔහු , ඇය ගසා ඇති ඩීල් අනුව එවිට වැඩ සිද්ධ වනුයේ ය.

එක තැනක අනුමැතිය ලබන දෙය තව තැනක හිර වෙන්නේ ය. එක තැනක නීත්‍යානුකූල යැයි හඟින දෙය තව තැනක නීති විරෝධී වන්නේ ය. ඒ නීතිය වෙන ම පැත්තකින් තිබිය දී ය. නීතිය එකකි. එය ක්‍රියාත්මක කිරිමේ දි කටයුතු කරන ආකාරය තව එකකි. දෙවැන්න ඩිල් එක අනුව ය.

රටකට නම් ආයෝජන නොඑන්නට ඒ කාරණය ම ඇති ය. බොහෝ ව්‍යාපාරික අවස්ථා භාවිතයට නොගන්නට දේශීය ව්‍යාපාරිකයන්ට වුව මේ කාරණය ඇති ය. අවිනිශ්චිත වාතාවරණය ව්‍යාපාරිකයන්ට නරක ම වාතාවරණය යි. මක් නිසා ද යත් කොහොමටත් අවදානම් ගැනීමට සිදු ව ඇති ඔවුන්ගේ අවදානම ඒ අවිනිශ්චිතතාවය නිසා තවත් ඉහළ යන බැවිනි.

අවංකව සේවය කරන නිලධාරීහු මේ ඩීල් නිසා වඩාත් ම අසරණ වන්නෝ ය. ඩීල් දාන සෑම දෙනෙකුම පාහේ තමන්ගේ වාසිය මිසක හරි වැරැද්ද නොබැලීම එයට හේතුව ය. ඒ ඩිල් ජාලය තුළ ඔවුන් ලබන බලය, තනි මිනිසෙකු සතුව ඇති නීත්‍යානුකූල බලය පවා, අතිශයින් අවැදගත් දෙයක් බවට පත් කරන්නේ ය. ඒ මගින් අවංක නිලධාරීන් ඔවුන් විසින් අසරණ කෙරෙන්නේ ය. අතරමං කෙ‍රෙන්නේ ය.

ඩීල් නොදමන මිනිසුන් පවා එවැනි අවංක නිලධාරීන් වෙනුවෙන් කතා කරන්නට පවා ඉදිරිපත් නොවන්නේ ය. ඒ බයට ය. ඩීල් දමන මිනිසුන් සතු බලයට ඇති බයට ය. ප්‍රතිපත්තියකට ජීවත් වන මිනිසුන්ගේ තනියට බොහෝ විට සිටින්නේ ඔවුන්ගේ හෘද සාක්ෂිය පමණක් වීමට ඒ නිසා ඉඩ තිබෙන්නේ ය.

ඩිල් හරහා ඩිල් දමන අය කරන්නේ ජනතාවට අයිති දේ තමන්ට හිමි කර ගැනිම ය. ඒ නිසා අවසාන විශ්ලේෂණයේ වැඩි ම ප්‍රහාරය එල්ල වන්නේ ජනතාවට ය. ආයෝජන නොමැති වීමෙන් ද අවංක නිලධාරීන්ගේ රැකවරණය අහිමි වීමෙන් ද ප්‍රතිපත්ති විරහිත අවිනිශ්චිතතාවය නිසා කිසි දෙයක් සැලසුම් කර ගැනීමට නොහැකි වීමෙන් ද විශාල ම පාඩුව ලබන්නේ ජනතාව ය. මේ ඩීල්වල අනිටු විපාක වශයෙන් බදු ගෙවන්නට වෙන්නේ ද අවසානයේ ඔවුනට ය.

ගොඩ වැඩිකර ගැනීමට ඩීල්

ඩීල් දාන්නේ හොරකමට ය. වංචාවට ය. වාසියට ය. ඒ නිසා ම ඔවුන් නිතියේ රැහැනට හසු කරගත හැකි මුත් එසේ වන්නේ අතිශය කලාතුරකිනි. ඒ ද කෙරෙන්නේ නම් ඒ බොහෝ විට වෙනත් ඩීල් එකක් වෙනුවෙන් ය.

ඩීල් දාන වංචනිකයා තමන්ගේ පරිස්සමට බාධා විය හැකි සියලු දෙනා සමගම ඩීල් දාන්නේ ය. උදාහරණයක් ලෙස ඉහළ නිලධාරියෙකු නම් තමන්ගේ ආයතනයේ වෘත්තීය සමිති නායකයන් වැනි වෙනත් බල මූලාශ්‍ර ඇති මිනිසුන් සමග ද ඩිල් දාන්නේ ය. ආයතනයේ පහළ ම මට්ටමක සිටියේ වුව ද දේශපාලන සබඳකම් ඇති අවශේෂ මිනිසුන් සමග ද ඩීල් දාන්නේ ය. තමන් පරික්ෂාවට එන විගණන නිලධාරීන් සමග ද ඩීල් දාන්නේ ය. ප්‍රශ්න කරන්නේ කවුද ඒ ඕනෑම කෙනෙකු සමග ඩීල් දාන්නේ ය. මාධ්‍ය සමග ඩීල් දාන්නේ ය. කිසියම් බලයක් ඇති කවරකුවත් තරහ කර නොගැනිමට වග බලා ගන්නේ ය. ඒ නිසා කුමන වංචාවක් කළේ වුව ද එවැන්නකට එරෙහිව හීන් කෙඳිරියක් හෝ නගන්නට කිසිවෙකු ඉතිරි නොවන්නේ ය.

ප්‍රතිපත්ති මත වැඩ කරන නිලධාරීන් තනි වන විට ඩීල් දමන අය සහපිරිවරින් ජිවත් වන්නේ ඒ නිසා ය. ඔවුන් පසුපස යන්නට සූදානම් කප්පරක් අනුගාමිකයන් උන් සතුව ඉන්නේ ඒ නිසා ය.

ඒ නිසා ම, ඇතැම් විට අල්ලස් කොමිසම, විගණන දෙපාර්තුමේන්තුව, පොලීසිය වැනි තැන්වලට එන පැමිණිලි වැඩි හරියක් අවංක නිලධාරීන්ට එරෙහිව කරන බොරු පැමිණිලි මිසක, මේ සැබෑ වංචනිකයන්ට විරුද්ධව නැගෙන සැබෑ පැමිණිලි නොවීමට ඇති ඉඩ ද විශාල ය.

ප්‍රතිපත්තිගරුක මිනිසකු සතු මහන්සියෙන් උපයා ගත් ධනයක් ඇත්නම් එය ද අවසානයේ වියදම් කරන්නට සිදු වන්නේ මේ පැමිණිලිවලට එරෙහිව නීති කටයුතු කිරීමට ය. ඒ සියල්ල දකින සෙසු නිලධාරීන්ට ද අවසානයේ තෝරාගැනිමට සිදු වන්නේ ඩීල්වලට මුක්කු ගැසීමට ය.

එහෙත් ප්‍රශ්නයකට ඇත්තේ ඩීල් වලට ද ධුරාවලියක් තිබීම ය. කුඩා මට්ටමේ ඩිල් එකක් ලොකු මට්ටමේ ඩීල් එකකින් බ්ලාස්ට් වි යා හැකි ය. එවිට කුඩා මට්ටමේ ඩිල් එකට කර ගැසූ පොඩි එකාට යන එන මං නැති වන්නේ ය. ඩීල් ගහන ලොකු අය කොහොමටත් අවශ්‍ය විටක පොඩි අය බිල්ලට දී තම පරිස්සම හදා ගැනීමට කල් ඇතුව ම සැලසුම් කරන නිසා ලොකු අය වෙනුවෙන් අවසානයේ දඬුවම් විඳින්නට වෙන්නේ ද පොඩි අයට ය. එය ඩිල්වල ස්වභාවය ය. ලොක්කා තමන්ව බේරා ගනු ඇතැයි සිහිනය පොඩි පට්ටම් වූ විට කර ගත්ත ගොන්කම යැයි සිතෙන්නේ ය. එවිට පමා වෙලා වැඩි ය.

ඩිල් එකට පිටුපෑවත් ලෙඩේ ය. එවැන්නකට හවුල් වුණා වුනත් අවසානයේ ගැලවිමක් නැති වන්නට පුළුවන. මේ පරිසරය ම ගෙදර ගියොත් අඹු නසින මග හිටියොත් තෝ නසින එකකි.

ඩීල්වල ඊළග ගැටලුව එක ඩීල් එකකින් කරන්නට යන වැඩය තව ඩීල් එකකින් අවුල් වීම ය. උදාහරණයක් ලෙස පුරවැසි බලය සමග ගසන ඩීල් එක හාමුදුරුවන් සමග ගසන ඩීල් එකකින් අවුල් විය හැකි ය. ජයසුන්දර සමග ගසන ඩීල් එක විමල් සමග ගසන ඩීල් එකෙන් අවුල් විය හැකි ය. දෙමළ දේශපාලන පක්ෂ සමග ගසන ඩීල් එක හෙළ උරුමය සමග ගසන ඩීල් එකකින් අවුල් විය හැකි ය. නැතිනම් හමුදාවේ ඉහළ තනතුරු දරන අය සමග ගසන ඩීල් එකකින් අවුල් විය හැකි ය. බොහෝ විට සිදු වන්නේ වරෙක එක පැත්තක් ද තව වරෙක තව පැත්තක් ද සතුටු කරමින් වරින් වර ප්‍රතිපක්ෂයේ අපේක්ෂා බිඳ දැමීමට ය.

අපේක්ෂා බිඳ වැටිමෙන් පසු සිදු වන්නේ නව ඩීල් එකක් සඳහා නව සගයෙක් සොයා ගැනීමට ය. කවුරු කොතැන පාවා දේ දැයි නොදැන ඩිල් මාරු කරමින් දිවි ගෙවිමට ය. ශ්‍රී ල නි ප ය එපා වුනහම එ ජා ප යටත් ඊට පසු ඒකාබද්ධ විපක්ෂයටත් නැවත එහාටත් මෙහාටත් වශයෙන් ඇන්ටෙනා මාරු කරමින් නව අවස්ථා හොයන්නට ය. අවසානයේ අදාළ පාර්ශවය කොහේ නවතිනු ඇති දැයි ජනතාවට පමණක් නොව ඒ අයට ම කිව නොහැකි තත්වයක් බිහි වන්නේ ය. නිශ්චිතව කිව හැක්කේ හැම දෙයක් ම අවිනිශ්චිත බව ය.

අදටත් ඊළග ජනාධිපතිවරණයේ දී තමන්ගේ අපේක්ෂකයා හැටියට ප්‍රධාන දේශපාලන බලවේගයන් විසින් කවරෙකු ඉදිරිපත් කෙරේ දැයි කිසිවෙකු දන්නේ නැත. ඒ අය ම පවා දන්නේ නැත. එය තීරණය කරනු ඇත්තේ කුමන ආකාරයකට දැයි කියන්නට දන්නා කෙනෙකුදු නැත. ඒවා තීන්දු වනු ඇත්තේ ඩිල් ගණනාවකට පසු ය. එපමණක් නොව ජනාධිපතිවරණය ආසන්න වන විට කවුරු කුමන පැත්තේ සිටිත් දැයි කියන්නට ද බැරි ය. උදාහරණයක් ලෙස දයාන් ජයතිලක විසින් කවරෙකු නිර්දේශ කරාවි දැයි හොඳම සාස්තර කාරයකුටවත් කිව නොහැකි ය. සරත් එන් ද සිල්වා කොයි පැත්තේ සිටිනු ඇත් දැයි කිව නොහැකි ය. ඉතිරි සරත් ලා ගැන ද තත්වය එය ම ය. ඒ තරමට ම සියල්ල අවිනිශ්චිත ය. ඩීල්වලින් ජීවත් වන රටකින් ඊට වැඩි යමක් අපේක්ෂා කළ නොහැකි ය.

ඩිල් පවතින්නේ බොරුව සමග එකට ය. ප්‍රතිපත්තියක් නැති ඩිල් කාරයන්ට අද කියන දේ හෙට වෙනස් කරන්නට පුළුවන් ය. එසේ වෙනස් වීමට හේතු දෙන්නටත් පුළුවන් ය. පොල්ගහට නැග්ගේ තණකොළ කපන්නට යැයි කීමටත් පුළුවන් ය. හේතු විමසුවහම තවත් බොරුවක් හෝ විහිළුවක් කොට මාරු වන්නටත් පුළුවන් ය. මතක නැතැයි කියන්නට පුළුවන. තමන් එවැනි දෙයක් නොකී බවට දස අතේ දිවුරන්නටත් පුළුවන. සමාවට කාරණා ඉදිරිපත් කරමින් මග හරින්නට පුළුවන. බොරු කේන්ති ගෙන ගස්සාගෙන ඉවත් වන්නට පුළුවන.

ඩිල්වලට ම සුදුසු පරිසරයක්

එහෙම මාරු වෙලා ගිය විට ඒක දක්ෂකමක් ලෙස සලකන්නට කැප වී සිටින ජනතාවක් ද රටේ ඉන්නා විට මේ සියල්ල පහසු ය. විචාරාත්මක ප්‍රශ්න නගනවා වෙනුවට ඩෑෂ් පහරවල් ගහන්නට බෝලය උස්සා දෙන මාධ්‍යකාරයින් ඉන්නා විට තවත් පහසු ය. ඔවුන් කරන්නේ දිරවා ගැනීමට අමාරු විහිළුවක් දෙස වුව ද අනුමැතියකින් යුතු ව බලා සිනාසීම නම් එවිට ජනතාවට ද එවැන්නක් වෙනස් විදිහට දැනෙන එකක් නැත.

මෙහෙම සමාජයක අවසානයේ ඉතිරි වන්නේ ඩිල් විතර ය. ප්‍රතිපත්තියක් නැති මිනිසුන්ගේ ඝෝෂාව විතර ය. ජනතාවට ඉතිරි වන්නේ කොයි වෙලේ තමන්ට කෙළ වන්නේ දැයි නොදැනෙන අවිනිශ්චිභාවය විතර ය.

එහෙත් බොහෝ දෙනෙකුට එහෙමට වගක් නැත. කුමක් වනවාදැයි නොතේරෙන මේ බොහෝ දෙනා දකිමින් සිටින මේ සිහිනයෙන් අවදිවන විට හොඳ හරිය වෙලා ඉවර ය.

බලය නැතිව කිසිවක් කළ නොහැකි ය. ඒ නිසා බලය ලබා ගැනිමට ද බලය පවත්වා ගැනීමට ද ඩිල් අවශ්‍ය ය. එහෙත් ඒ ඩිල් පදනම් විය යුත්තේ ප්‍රතිපත්ති මත ය. ඒවා සකස් විය යුත්තේ අවම ප්‍රතිපත්ති රාමුවකට යටත් ව ය. එවැනි සංයමක් ඇති කර නොගෙන කුමක් හෝ යොදාගෙන බලයේ රැඳෙන්නට සිතන්නේ නම් එසේ රඳවා ගන්නා බලයකින් ජනතාවට වැඩක් නැත. බලය අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ය. ඒ නිසා ම ප්‍රතිපත්ති විකුණා බලය ලබා ගන්නට උත්සාහ කරන්නේ නම් එතැන ඇත්තේ පැහැදිලිව පැරදවිය යුතු අවස්ථාවාදය පමණ ය. කොටින් ම බලය, බලය සඳහා නොවිය යුතු ය. බලය, තමන් අනුයන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට ඉඩ හසර ලබා ගැනීමට පමණක් විය යුතු ය.

යුගයේ ඉල්ලීම

අද යුගයේ ජනතාවගේ ඉල්ලීම විය යුත්තේ වැඩි පඩි හෝ බඩු මිල අඩුකිරීම නොවේ. නිශ්චිත ප්‍රතිපත්ති ය. ප්‍රතිපත්ති කන්න දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකි ය. එහෙත් අප තේරුම් ගත යුත්තේ මෙහෙම ගියොත් අන්තිමෙ දී කන්න වෙන්නේ වහ බව ය.

අප ඉල්ලා සිටිය යුත්තේ බුද්ධාගමට ප්‍රමුඛත්වය නොවේ. සැම ට සාධාරණත්වය ය. එවැනි දහමක් දෙසූ බුදුන් අනුයන කියන දේ කරන, කරන දේ කියන පාලනයක් ය. එය සිහිනයක් පමණකැයි කෙනෙකු කියන්නට ඉඩ තිබේ. අප තේරුම් ගත යුත්තේ සැබෑ වන්නේ දකින සිහින බව ය.

අප පෙනී සිටිය යුත්තේ පුද්ගලයන් වෙනුවෙන් නොවේ. රනිල්, මහින්ද, ගෝඨාභය, අනුර හෝ මෛත්‍රී වෙනුවෙන් නොවේ. නීතියේ ආධිපත්‍ය වෙනුවෙනි. එය කිසි දා ඉෂ්ඨ නොවෙන දෙයක් බව කෙනෙකුට කිව හැකි ය. අප තේරුම් ගත යුත්තේ අප ඒ වෙනුවෙන් පෙනී සිටිමට කැප නොවෙන තාක් රට අගාධයට යෑම වළක්වා ගත නොහැකි බව ය.

අප උද්ඝෝෂණය කළ යුත්තේ අනෙකාගේ කිසියම් අවස්ථාවක් පැහැර ගැනීමට නොවේ. සියල්ලන්ට කප්පරක් අවස්ථා උදාවෙන බුද්ධිමත් ප්‍රතිපත්තියක් හැදීම වෙනුවෙන් ය. අන් අයගේ කකුළින් ඇදීමට බලා සිටින ජනතාවක් එවැනි කාරණයක් වෙනුවෙන් පෙනී සිටින එකක් නැතැයි කියා අධෛර්ය වන්නට අපට පුළුවන. කළ යුත්තේ ලෙහෙසි වැඩ නොවේ. අමාරු වැඩ ය. අපේක්ෂා කරන්නේ වටිනා ප්‍රතිඵලයක් නම් එය පහසුවෙන් ඇති වෙතැයි අපේක්ෂා නොකළ යුතු ය. ඒ නිසා අප තේරුම් ගත යුත්තේ අමාරු වැඩ කළ නොහැකි වැඩ නොවන බව ය. ඒ සඳහා කැප වීමට අධිෂ්ඨාන කර ගන්නේ නම් අපට අගාධයට යන මේ ගමන නැවත හැරවිය හැකි බව ය. අප කැප වෙතොත් ජනතාව වෙනස් කළ හැකි බව ය. අප වෙහෙස විය යුත්තේ වඩාත් ම සුදුසු දේශපාලනඥයා තෝරා ගැනීමට නොවේ. දේශපාලනඥයාගේ පාට කවරක් වුව ද ඔහුගේ නොපනත්කම්වලට එරෙහිව වන්නා වූ ද ඔහුගේ යහපත් වැඩට දිරි දෙන්නා වූ ද ජනතාවක් නිර්මාණය කිරීමට ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *