කළ යුත්තේ කුමක්ද? – එම් ඕ ඒ ද සොයිසා

‘පොලීසිය ගැන මට කනගාටුයි. පොලිස්පතිවරයා විහිළුකාරයෙක් වෙලා, මීට කලින් හිටපු කිසිම පොලිස්පතිවරයෙක් මෙහෙම හැසිරිලා නැහැ. පොලීසියක් තියෙනවාද කියලත් දන්නේ නෑ. පොලිස්පතිවරයා කරන පිස්සු වැඩ නිසා බැණුම් අහන්නේ, මමයි අගමැතිතුයි. මේවාට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා.

පොලිස්පතිවරයාගේ හැසිරීම හරිම ලජ්ජා සහගතයි. රට තුළ අපරාධ වැඩිවෙලාකියලා මාධ්‍ය වාර්තා කරනවා. මේවාට දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනෑ’.

මෙයාකාරයට දැඩි ලෙස පොලිස්පතිවරයා විවේචනය කළේ වෙනත් කිසිවකු නොව මීට වසර තුනකට පමණ පෙර දී පොලිස්පතිවරයා එම තනතුරට පත්කළ මෛත්‍රිපාල සිරිසේන විධායක ජනාධිපතිවරයා විසින්ය. ජනාධිපතිවරයා මෙම විවේචනය එල්ල කළේ පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.

මේ දිනවල ආණ්ඩුව මුහුණ දී තිබෙන අර්බුද අතුරින් ඉතාම බරපතළ එකක් ලෙස පොලිස්පතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් මතු වී තිබෙන ගැටලුව පෙන්වා දියහැක. පොලිස්පතිවරයාගේ හැසිරීම් රටාව සහ ඔහු කරන කියන දෑ සමාජයේ සෑම කෙනකුගේම පාහේ පිළිකුලට ලක්ව තිබෙන තත්ත්වයක් මේ වනවිට දැකිය හැකිය.

මෙහි ප්‍රතිඵලය පොලිස්පතිවරයා තනතුරින් ඉවත් කරන මෙන් ඉල්ලා සිටින ජනමතයක් ඇතිවීමය. පොලිස්පතිවරයා තවදුරටත් තනතුරේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ජනතාව ආණ්ඩුවට බරපතළ ලෙස දොස් කියන තත්ත්වයක් මේ වනවිට දැකිය හැක. සමහරු මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්නේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට නොව අගමැතිවරයාට සහ එක්සත් ජාතික පක්‍ෂයටය. ඒකාබද්ධ විපක්‍ෂය මේ සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය මෙයට නිදසුන්ය. එම කණ්ඩායම කියා සිටින්නේ පොලිස්පතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට සහ ඔහුගේ පාර්ශ්වයට අවශ්‍ය වූවද එසේ කිරීම වලක්වාලමින් පොලිස්පතිවරයා ආරක්‍ෂා කරන්නේ අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්‍ෂය බවය.

සත්‍ය තත්ත්වය වන්නේ පොලිස්පතිවරයාගේ හැසිරීම හා කියුම් කෙරුම්වලින් අපහසුතාවයට පත්ව තිබෙන්නේ ආණ්ඩුව පමණක් නොවන බවය. ආණ්ඩුව හා සමානවම නැතිනම් එයටත් වඩා වැඩියෙන් අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්‍ෂය අපහසුතාවයට පත්ව ඇත. හේතුව පොලිස්පතිවරයා එක්සත් ජාතික පක්‍ෂයේ හිතවතකු බවට සමහරු කරන හංවඩු ගැසීමත් එම හේතුවෙන් අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්‍ෂය පොලිස්පතිවරයා ආරක්‍ෂා කරනවාය යනුවෙන් ඉදිරිපත් වී ඇති චෝදනාව ජනසමාජයේ බොහෝ අය විශ්වාස කිරීමට පෙළඹීමය.

ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වී තිබෙන ආණ්ඩුවක් එක් රාජ්‍ය නිලධාරියෙකුගේ අත්තනෝමතික හැසිරීම හේතුවෙන් ජනතාවගේ අප්‍රසාදයට හා පිළිකුලට භාජනය වනවා නම් එම නිලධාරියා වහාම තනතුරින් ඉවත් කළ යුතු බව යළි යළිත් කිවයුතු නොවේ. මෙවැනි නිලධාරියකු ආරක්‍ෂා කිරීමට යම් පුද්ගලයකු හෝ දේශපාලන පක්‍ෂයක් විවෘතව හෝ ආවෘතව කටයුතු කරන්නේ නම් එයද බරපතළ අපරාධකාරී ක්‍රියාවකි. මේ සම්බන්ධයෙන් අගමැතිවරයාට සහ එක්සත් ජාතික පක්‍ෂයට එල්ල කර ඇති චෝදනාව සාධාරණ සහ යුක්ති සහගත එකක්ද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ. හේතුව පොලිස්පතිවරයා පත්කිරීම හා ඉවත් කිරීම සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාමය සහ අනෙක් නීතිමය විධිවිධාන අනුව සෘජුව හෝ වක්‍රව ඊට සම්බන්ධ වීමට හෝ ඇඟිලි ගැසීමට පුද්ගලයෙකුට හෝ දේශපාලන පක්‍ෂයකට ඇති හැකියාව අතිශයින්ම සීමිත වීමය.

පොලිස්පති තනතුර ව්‍යවස්ථාපිත රාජ්‍ය සේවා තනතුරකි. වෙනත් ආකාරයකට කියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂයෙන් සඳහන් කර ඇති රාජ්‍ය තනතුරු අතුරින් එකකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම තනතුරුවලට පත්කිරීම් කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි.

මේ සම්බන්ධයෙන් අදාළ වන ව්‍යවස්ථාපිත විධිවිධානයන්හි ඒකීයභාවයක් දැකිය නොහැක. හේතුව ඒවා වරින් වර කරන ලද ව්‍යවස්ථා සංශෝධන මගින් වෙනස් කිරීමය. මේ අතුරින් ප්‍රථම එක වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 වන වගන්තියයි. එම වගන්තියට අනුව ‘නීතිපතිවරයා, පාබල, නාවික, ගුවන් හමුදාවන්හි ප්‍රධානීන්, සහ පොලිස් හමුදාවේ ප්‍රධානියා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ වෙනත් ලිඛිත නීති මගින් දැක්වෙන රාජ්‍ය සේවයේ තනතුරු සඳහා පත්කිරීම් කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි’.

මෙයාකාරයට දැක්වෙන තනතුරු සඳහා කවරෙක් කුමන නිර්නායක පදනම් කරගෙන පත් කළ යුතුද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිදු ආකාර සංවරණ විධිවිධානයක් දක්වා නොතිබුණ අතර ඒ අනුව එම සෑම පත්කිරීමක්ම කරනු ලැබූයේ ජනාධිපතිවරයාගේ තනි අභිමතය අනුවය.

2000 වර්ෂයේ ක්‍රියාවට නැංවූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉහත දැක්වූ 54 වන වගන්තිය වෙනස් කළ අතර නව විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා විසින් කළයුතු ව්‍යවස්ථාපිත පත් කිරීම් කළ යුතු වූයේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමඟ ඒකාබද්ධවය. මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමහර තනතුරු සඳහා පත්කිරීම් කිරීම ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ කිරීම් වලට යටත්වය. එම පත්කිරීම් පහත සඳහන් පරිදි වේ.

1. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්

2. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්

3. ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයින්

4. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයින්

5. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයින්

6. මුදල් කොමිෂන් සභාවේ සාමාජිකයින්

7. සීමා නීර්ණය කිරීමේ කොමිෂන් සභාවේ සාමාජිකයින් පහත දැක්වෙන තනතුරු සඳහා පත් කළ යුත්තේ ජනාධිපතිවරයා ඒ සඳහා කරන නිර්දේශවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබුන හොත් පමණි.

1. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකරු සහ අනෙක් විනිශ්චයකරුවන්

2. අභියාචනාධිකරණයේ සභාපති සහ අනෙක් විනිශ්චයකරුවන්

3. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැරුන විට අනෙක් සාමාජිකයින්

4. නීතිපතිවරයා

5. විගණකාධිපතිවරයා

6. පොලිස්පතිවරයා

7. ඔම්බුඩ්ස්මන්වරයා

8. පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා

2010 වර්ෂයේ දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් සම්මත කොට ක්‍රියාවට නැංවූ 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පනවා තිබූ සංවරණ ආපස්සට හරවන ලද අතර ඒ අනුව පොලිස්පතිවරයා සහ අනෙකුත් ව්‍යවස්ථාපිත රාජ්‍ය නිලධාරීන් පත්කිරීම සෘජුවම ජනාධිපතිවරයාගේ අභිමතානුසාරී බලය යටතට පත් කරනු ලැබීය. 2015 වර්ෂයේ දී යහපාලන ආණ්ඩුව විසින් ක්‍රියාවට නැංවූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාපිත රාජ්‍ය නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් කරන ලද වෙනස් කිරීම් අහෝසි කරමින් 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පනවන ලද විධිවිධාන යළි බලාත්මක කරනු ලබන ආකාරය දැකිය හැක. මේ අනුව අද පවතින විධිවිධාන අනුව පොලිස්පතිවරයා පත්කිරීම ජනාධිපතිගේ කාර්යයක් වූවද එය කළ යුත්තේ ජනාධිපති විසින් පොලිස්පති තනතුරට නිර්දේශ කරන තැනැත්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළහොත් පමණි. පොලිස්පතිවරයා පත්කිරීම සම්න්ධයෙන් අදාළ වන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මෙසේ වූවද ඒ සෑම විධිවිධානයක් සම්බන්ධයෙන් දැකිය හැකි කැපී පෙනෙන ලක්‍ෂණය වන්නේ විශ්‍රාම යාමට ප්‍රථමයෙන් පොලිස්පතිවරයකු තනතුරින් ඉවත් කරන ආකාරය පිළිබඳව කිසිදු සඳහනක් ඒවා තුළ දක්වා නොතිබීමය.

ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වන්නේ පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කිරීමට නොහැකිව තිබෙන්නේ අගමැතිවරයා හෝ එක්සත් ජාතික පක්‍ෂය නිසා නොව ඉහතින් දැක්වූ ව්‍යවස්ථා අර්බුදය නිසා වන බවය. එසේනම් පොලිස්පතිවරයා ඉවත් කරන්නේ කෙසේද? මෙම අර්බුදයෙන් ගොඩඒමට ඇති එකම මාර්ගය ලෙස නීතිවේදීන් පෙන්වා දෙන්නේ 2002 වර්ෂයේ දී සම්මත කරන ලද අංක 5 දරන ව්‍යවස්ථාපිත නිලධාරීන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතය. මෙම පනතේ දක්වා තිබෙන විධිවිධානවලට අනුව පොලිස්පතිවරයකු තනතුරින් පහකිරීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග දෙකක් තිබේ. එයින් එකක් වන්නේ, පනතේ 3 වන වගන්තියේ අ, ආ, ඇ හෝ ඈ යන හේතුවලින් එකක් හෝ කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සෑහීමට පත්වන්නේ නම් ඒ මත පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කිරීමය. එම හේතු වන්නේ

අ. වස්තුභංගත්වයට පත්වී ඇති බවට නඩු තීන්දුවක් පැවතීම

ආ. ශාරීරික හෝ මානසික රෝගීභාවය නිසා සිය තනතුර දැරීමට නොහැකි වීම

ඇ. සදාචාරාත්මක වරදකට හෝ රාජද්‍රෝහීවීම හෝ අල්ලස පිළිබඳ වරදකට වරදකරු වීම

ඈ. ශ්‍රි ලාංකික පුරවැසිභාවය අත්හැරීම

දෙවන ක්‍රමය වන්නේ පහත දැක්වෙන හේතූන් එකකට හෝ කිහිපයකට පොලිස්පතිවරයා වරදකරුවකු වන්නේ නම් ඒ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන යෝජනාවන් අනුව පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කිරීමය.

ඉ. දූෂණ හෝ විෂමාචාරය පිළිබඳ වරදකරුවකු වීම

ඊ. තනතුර අවභාවිතා කිරීම පිළිබඳ වරදකට වරදකරු වීම

උ. සිය රාජකාරි නොසලකාහැරීම පිළිබඳ වරදකරුවකු වීම

ඌ. සිය ධුරය පක්‍ෂපාතීව යොදාගැනීම පිළිබඳ වරදකට වරදකරු වීම මේ සඳහා පළමුවෙන්ම කළයුතු වන්නේ පාර්ලිමේන්තුවේ මුලූ මන්ත්‍රී සංඛ්‍යාවෙන් 1/3 ට නොඅඩු සංඛ්‍යාවක් විසින් ඉහත සඳහන් චෝදනා සම්බන්ධයෙන් විමර්ෂනය කර බලා වාර්තා කිරීම පිණිස කමිටුවක් පත්කරන මෙන් ඉල්ලා සිටින යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් එම යෝජනාව සම්මත කිරීමය. ඒ අනුව විමර්ශන කමිටුව පත්කළ යුතු අතර එය සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වේ. එම තිදෙනා විය යුත්තේ අග්‍ර විනිශ්චයකරු විසින් පත් කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවෙක් (සභාපතිවරයා), පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අගමැති සහ විපක්‍ෂ නායකවරයා විමසා කථානායක විසින් පත්කරන නීතිය පිළිබඳ ප්‍රවීණයෙක් හෝ රාජ්‍ය පරිපාලන කළමනාකරණය පිළිබඳ විද්වතෙක්ය. මෙම කමිටුව විසින් අදාළ චෝදනාවලට පොලිස්පතිවරයා වරදකරු බවට තීරණය කළහොත් මී ළඟට කළ යුත්තේ පොලිස්පතිවරයා තනතුරෙන් පහකළ යුතු බවට දැක්වෙන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට බහුතර ඡන්දයෙන් සම්මත කිරීමය. අනතුරුව එම යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළයුතු අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කිරීම කළ යුත්තේය.

ඉහත දැක්වූ කරුණුවලින් පෙනී යන්නේ ධුරය දරන පොලිස්පතිවරයකු විශ්‍රාම යාමට ප්‍රථමයෙන් තනතුරෙන් ඉවත් කිරීම පහසු කාර්යයක් නොවන බවය. එය අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් හා සම්බන්ධ දෙයකි. මෙයින් එක් දෙයක් පැහැදිලි වේ. වර්තමාන පොලිස්පතිවරයා තනතුරේ තබා ගැනීම හෝ ඉවත් කිරීම අගමැතිවරයාට හෝ එක්සත් ජාතික පක්‍ෂයට කිසිසේතම කළහැකි දෙයක් නොවන බවය. මේ තත්ත්වය ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ඔවුන්ට සහාය දක්වන සෑම අයෙක්ම තේරුම් ගත යුතුය. මෙම කරුණ අරභයා ජනතාව නොමග යැවීම ඒකාබද්ධ විපක්‍ෂය විසින් දැන්වත් නතර කළ යුතුය. ඒකාබද්ධ විපක්‍ෂය කළ යුත්තේ පදනම් විරහිත චෝදනා එල්ල කිරීම නොව ඉහතින් දැක්වූ පරිදි පොලිස්පතිවරයාට එරෙහිව යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමය. නැතිනම් එවැනි යෝජනාවක් ගෙන එන මෙන් ආණ්ඩුවට බලකර සිටීමය. අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්‍ෂය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් දරන ස්ථාවරය මැන ගැනීමට ඇති හොඳම ක්‍රමය එය බව අවසාන වශයෙන් කිවහැකි ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *