අපි නොදන්නා විභාග සංස්කෘතිය

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල මූනු පොතේ හැමතැනමය. සමත් වූ දරුවන් ගේ පිංතූර පවා දමමින් සතුට බෙදා ගන්නා දෙමව්පියවරුය. ශිෂ්‍යත්ව විහිලු තහලුය. ඒ වයසේ දූ දරුවන් මූනු පොත නොබලතත් අසමත් වූ ලමුන් දිරි ගන්වන රුවන්වැකිය. කොටින්ම මේ මුලු ලංකාවටම ශිෂ්‍යත්ව ප්‍රතිපල දැනී ඇති උනුසුම් මොහොතකි.

මා ජීවත් වන ඔස්ට්‍රේලියාවේ ද ළමය්න් එක්තරා වැදගත් ජාතික මට්ටමේ විභාගයකට පෙනී සිටිති.
3,5,7 සහ 9 ශ්‍රේනිවලදී රජය විසින් ළමුන්ගේ භාශා සහ ගණිත හැකියාව පරික්ශා කිරීම සදහා රට පුරා පාසල් වලට පොදුවේ පවත්වන නැප්ලෑන් විභාගයය් ඒ.

එහි ප්‍රතිපල ලමය්න් අතට පාසලෙන් දෙන්නේ සීල් කරන ලද ලියුම් කවරයක දමාය. එය විවුර්ත කල යුත්තේ ලමයා නොව දෙමාපියන්‍ ය . එය රහස්‍ය ලිපියක් බව කවරයේ දක්වා ඇත. ඒ අනුව ලමයාගේ දෙමාපියන් එය කියවා ප්‍රතිපල දැන ගනිති.ඔවුහු ඒවා මූනු පොතේ දමන්නට නොයති. අඩු තරමින් ලමය් පවා තම හොදම යහලුවන්ගේ ප්‍රතිපල නොවිමසති.එය ඒ වයසේ කුඩාම දරුවන් පවා සලකන්නේ මහත් අවිනීත කටයුත්තක් ලෙසටය්.

3 ශ්‍රේනියේ ඉගෙන ගන්නා මගේ කුඩා දියනියගේ නැප්ලෑන් ප්‍රතිපල වලින් උදම් වූ මට ඇගේ යෙහෙළියන් ද හොදින් සමත් දැය් දැන ගැනීමේ ආසාවක් පහල වූයේ වූයේ මගේම අවාසනාවට විය යුතුය.

“ඉතිං කොහොමද ඔයාගෙ රෝසිට ,ඇබීට එහෙම ? ” කියා මම ඇසුවෙමි. කෙල්ල ලොකු ඇස් කරකවා මා දෙස බැලුවාය.
” පිස්සුද අම්මෙ, මං කොහොමද දන්නෙ, අපි හොදම යාලුවොන්ගෙවත් රිසල්ට්ස් අහන්නෙ නෑ.ටීචර්ස්ලා ඒව ප්‍රසිද්ධියේ කියන්නෙත් නෑ. නැප්ලෑන් මොනව වුනාම මොකෝ එයාල මගෙ යාලුවොනෙ ”

පොඩ්ඩී මා නිරුත්තර කලාය.

ඒ මේ රටවල හැටිය. මේ රටවල විභාග සංස්කෘතියේ හැටිය. නැප්ලෑන් පමනක් නොව විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිපල ද එහෙමය. එකට පාඩම් කරන හොදම යාලුවන්ගේ ලකුනු මොනවාදැය් ප්‍රතිපල ආ පසු කිසිවෙක් අසන්නේ නැත. එසේ හාරා ඇවිස්සීම මහා අවිනීතකමකි.වාර විභාගයේ වුවද වෙනියා තේරීමක් නැති අතර ප්‍රතිපල ලියුම් කවරයේ බහා ලමය්න් අත ගෙදරට එවය්. විභාග ලකුණු පාවිච්චි කරන්නේ ගුරුවරු ය. ඒ ද ලමය්න්ගේ ප්‍රබලතා සහ දුබලතා අදුනා ගෙන ඉදිරි වසර වලදී අඩුපාඩු හදා ගැනීමට ළමය්න්ට උදව් දීම සදහා පමණි.

මා කියන්නේ ශිෂ්‍යත්ව විභාගය තිබීමේ හොද හෝ නරක ගැන නොවේ. මේ රටවල විභාග සංස්කෘතිය ගැනය. පාසලේ පටන් කියාදෙන අනෙකාගේ පුද්ගලිකත්වය ට ගරු කිරීමේ පාඩම ගැනය.එකිනෙකා සමග තරග නොකර විභාග ප්‍රශ්න සමග පමනක් තරග කිරීමට කියා දෙන අද්‍යාපන සංකල්පය ගැනය.

මේවා ඉගෙන ගන්න ළමය්න් මහ මිනිස්සුන් වූ දාට පෝලිම් වල පිට පනින්නේ නැත. බැංකුවේ කවුන්ටරය ට පෝලිමේ ඉද්දී උරහිස ට උඩින් එබී අනෙකාගේ බැංකු පොතේ ගිනුම් ශේෂය හොයන්නේද නැත.ටොෆී කොලය ටිශූ කොලය පවා මහපාරේ අතාරින්නේවත් ගෙදර කුනුටික ගෙනවුත් පාර අය්නේ කොහේ හෝ දමා පැන දුවන්නේවත් නැත.දකින දකින තැන පොදු ස්තානවල මුත්‍රා කරන්නේ කෙල ගසන්නේ නැත. මාර්ග නීති බල්ලාට දමා අනුන් ගැන නොසිතා වාහන එලවන්නේ නැත.

පිට රටකින් යමක් අරගන්නවා නම් අප විසින් ගත යුත්තේ මේවාය.

Priyanka Kahawanugoda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *