| |

මෛත්‍රී – මහින්ද හවුලකට කපුකම් කෙරෙද්දී පෙකණිවැල කපා දමන්න බැසිල්ගෙන් සැලසුම්

ලෝක ළමා දිනය යෙදී තිබුණු ඔක‍්තෝබර් පළමුවැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු යොදාගෙන තිබුණේ ගාල්ල, බලපිටිය රේවත පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වීම සඳහායි. උදෑසන එහි ගිය ජනාධිපතිතුමා “ළඟම පාසල – හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදිකර තිබූ තාක්ෂණ විද්‍යාගාරය මෙන්ම ද්විතියික කනිෂ්ඨ විද්‍යාගාර ගොඩනැගිල්ලද සිසු අයිතියට පත්කිරීමට එක්වුණා. ඉන්පසුව විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වනු ලැබුවා. පියසේන ගමගේ, නිශාන්ත මුතුහෙට්ටිගම ඇමැතිවරුන්ද දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් සිල්වා මැතිතුමා ද ඇතුළු පිරිසක් එම අවස්ථාවට සම්බන්ධ වී සිටියා.

එහි දී කතාකළ ජනාධිපතිතුමා කීවේ සිංහල දරුවන් මෙන්ම මුස්ලිම් දරුවන් ද එකට ඉගෙන ගන්නා මෙම පාසල ජාතියටම ආදර්ශයක් වන බවයි. සරසවිවල නවකවදය අද ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වී ඛේදවාචකයක් වී ඇති බව කී ජනාධිපතිතුමා, මෙබඳු ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ලෝකයේ කොහේවත් නැති බව ද කීවා.

දරුවන් ගහකොළට සතා සීපාවාට ආදරය කිරීමට යොමු කළ යුතු බව කී ජනාධිපතිතුමා, අද බොහෝ දරුවන් අම්මා තාත්තාටත් වැඩිය ආදරය කරන්නේ ජංගම දුරකථනයට බව ද පෙන්වා දුන්නා.

අඟහරුවාදා ජනාධිපතිතුමා ගියේ එතුමාගේ මහගමසේකර මාවතේ නිල නිවස ආසන්නයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයටයි. එම විද්‍යාලයේ අලුතින් ඉදිකළ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවුණා.

“මෙම විද්‍යාලයේ අල්ලපු වැටේ ඉන්න මම මේ දරුවන්ගේ දස්කම් දකිනවා. අහනවා. දරුවො සතුටුවෙනකොට තමයි අපි කවුරුත් සතුටු වෙන්නේ, යැයි ජනාධිපතිතුමා එහි දී කීවා.

අධි තාක්ෂණික මෙවලම් සමඟ දිගු කාලයක් සිටීම නිසා‍ත් අනවශ්‍ය භාවිතය නිසාත් ජනතාව රෝගී වී ඇති බව මෙහි දී ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. තාක්ෂණය දියුණු වෙද් දී මිනිසුන් රොබෝවරුන් බවට පත්ව ඇතැයිද ඒ හේතුවෙන් ආධ්‍යාත්මය පහළට වැටී ඇතැයිද ජනාධිපතිතුමා කීවා.

පොලිස්පතිවරයාගේ හැසිරීම පසුගිය දිනවල මාධ්‍යයේ මෙන්ම සමාජ මාධ්‍යයේද කතාබහට හා විවේචනයට ලක්ව තිබූ කරුණක්. අඟහරුවාදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ද මෙම ප්‍රශ්නය මතුවුණා. එහි දී ජනාධිපතිතුමා තම කෝපයත් අප්‍රසාදයත් පළකළා. පොලිස්පතිගේ සිට පහළට පොලිසියේ සම්පූර්ණ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බවත්, පොලිස් නිලධාරින්ගේ විනය පිරිහීමක් සිදුව තිබෙන බවත් ජනාධිපතිතුමා එහි දී කීවා. පොලිස්පතිගේ වැඩ නිසා වැඩියෙන්ම බැනුම් අහන්නේ තමාත් අගමැතිතුමාත් බව ද ජනාධිපතිතුමා පැවසුවා.

28 වැනි සමථ දින ජාතික උත්සවය පසුගියදා පැවැතියේ කොළඹ අරලියගහ මන්දිරයේදීයි. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් එය සංවිධානයකොට තිබුණා. වසර 25කට අධික කාලයක් සමථකරණයේ යෙදුණු සමථ මණ්ඩල සාමාජිකයන් 360 දෙනෙක් හා සමථ මණ්ඩල ආරම්භයේ සිට මේ දක්වා අඛණඩව සේවය කළ හතරදෙනෙක් මෙහි දී ඇගයීමට ලක්වුණා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට තලතා අතුකෝරළ ඇමැතිතුමියද සහභාගී වී සිටියා.

සම්පත් පිරුණු මෙම රට පෙරට ගෙනයාමට හොරකම, වංචාව, දූෂණය බාධාවක් බවත්, දූෂණය, නාස්තිය පිටුදැකීම පහළින් මෙන්ම ඉහළින්ද සිදුවිය යුතු බවත් ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා.

සමථකරණය ගෞරවනීය සේවයක් බවත්, එය අධිකරණ කටයුතුවලට පහසුවක් බවත් තලතා අතුකෝරළ ඇමැතිතුමිය සභාව අමතමින් ප්‍රකාශ කළා.

පොලිසිය ගැන කතා කරන්නට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටද අවස්ථාවක් උදාවුණා. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහි දී කතාකරමින් අගමැතිතුමා කීවේ පැමිණිල්ලක් කළ පසු පැය ගණන්, දින ගණන් බලා නොඉඳ ඒ මොහොතේම ක්‍රියාත්මක වන පොලිස් සේවයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන බවයි. අද මෙරට තුළ පොලිසිය විශාල කාර්යභාරයක් ඉටු කරන බවත් දැන් පොලීසියට දේශපාලනඥයන්ගේ බලපෑමෙන් තොරව නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලැබී ඇති බවත් අගමැතිතුමා කීවා. ස්වාධීන පොලිස් කොමිසම යටතේ ක්‍රියාත්මක වන පොලිසියට දේශපාලන ඇඟිලි ගැසීම් නැති බව ද අගමැතිතුමා පෙන්වා දුන්නා.

නාත්තන්ඩිය පිලාකටුමුල්ල පුෂ්පාරාමාධිපති නාත්තන්ඩිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ශ්‍රී පඤ්ඤාසෝම නාහිමියන්ට පුත්තලම හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක තනතුර පිරිනැමීම පිළිබඳ පුණ්‍යෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. නියංගොඩ විජිතසිරි මල්වතු අනුනාහිමියෝ උත්සවයේ මූලසුන හෙබවූවා.

එහි දී කතාකරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ විදෙස් ආක්‍රමණ හමුවේ පවා රැකගත් මහා විහාර සම්ප්‍රදාය වෙනසකට ලක්කිරීම විශාල හානියක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කාරණා ඒ අයුරින්ම ඉටු කරමින් ථේරවාදී බුදුදහම රැක ගැනීම සඳහා ජාතික රජය කැපවී ක්‍රියාකරන බව ද අගමැතිතුමා එහි දී ප්‍රකාශ කළා.

නෝර්වේ රාජ්‍යයේ හා බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බදාදා උදෑසන පිටත්ව ගියා. ධීවර හා ජලජ සම්පත් ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතාත් කාවින්ද ජයවර්ධන හා හේෂා විතානගේ මන්ත්‍රීවරුන්ද අගමැතිවරයාගේ සංචාරයට එක්ව සිටිනවා.

ධීවර කර්මාන්තය ඉහළින්ම කරන සාර්ථක රටක් ලෙස නෝර්වේ රාජ්‍යය කීර්තියක් හිමි කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ මාළු ටින් කර අපනයනය කිරීම සඳහා එරටින් විශාල කර්මාන්ත ශාලාවක් ලබා ගැනීමට සාකච්ඡා කිරීම අගමැතිතුමාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වනවා. මෙරට සංහිඳියා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද නෝර්වේ රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

නෝර්වේ සංචාරයෙන් පසුව අගමැතිතුමා බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා පිටත්වනවා. ඒ එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මියගේ විශේෂ ආරාධනයකට අනුවයි.

මේ අතර අමාත්‍ය මණ්ඩලයට තවත් දෙදෙනකු පත්කර ගැනීම ගැන මේ දිනවල සාකච්ඡාවක් සිදුවනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීම නිසා ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවූ දයාසිරි ජයසේකර මහතාට අමාත්‍යධුරයක් ලබාදීමත් ඒ සමගම රවී කරුණානායක මහතාට අහිමි කළ අමාත්‍ය ධුරය යළි ලබාදීමත් යෝජනා වී තිබෙනවා. රවීට අමැතිකම ලබාදීමට මීට පෙර විරුද්ධ වූ ජනාධිපතිතුමා මෙවර එම විරුද්ධත්වය ඉවත් කරගෙන තිබෙන්නේ දයාසිරිට නැවත ඇමැතිකම ලබාදීමේ යෝජනාවත් සමගයි. කෙසේ වෙතත් එජාපයේ ප්‍රධානීන් අඟහරුවාදා රැස්වී තීරණය කළේ නීතිපතිවරයා රවී කරුණානායක ඇමැතිවරයා සම්පූර්ණයෙන් නිදහස් කරන තෙක් හෝ ඔහුට නඩු පවරන තෙක් ඔහුගේ ඇමැතිධුරය යළි ලබා නොදිය යුතු බවයි.

ලෝක ජනාවාස දින නිල උත්සවය මෙවර පැවැත්වුණු නිකවැරටිය, කොටවෙහෙර ප්‍රදේශයේ 131 වැනි උදා ගම්මානය වන “ජගත් නිවහන්ගම” ජනතා අයිතියට පත් කිරීමද සිදු කළා. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා, ඉන්දික බණ්ඩාරනායක නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රමුඛ අමුත්තන් රැසක් මෙන්ම 4, 000 කට නොඅඩු ජනකායක් මෙම උත්සවයට එක්ව සිටියා. ‘බලන්න ඉන්දික මේ වැදගත් දිනයේ දී ලෝකෙ පුරා සැණකෙළි පවත්වන එකයි කරන්නේ. ඒත් ලංකාවේ අපි විතරයි ඒ වෙනුවෙන් උදා ගම්මාන හදලා, ජනතාවගේ නිවාස ගැටලුවලට විසඳුම් දෙන අර්ථවත් වැඩක් කරන්නේ. බලන්න අද මෙතනම පවුල් 3, 000 කට ප්‍රතිලාභ ලබා දෙනවා. මේ වැඩ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයවත්, හැබිටාට් සංවිධානයවත් තඹ සතයක් අපට දෙන්නෙ නෑ” සජිත් කියද් දී ඉන්දික කීවේ “ඇත්ත තමයි ඇමැතිතුමා. ඒවයින් කෙරෙන්නේ හුළං බෝල කතා විතරයි” කියායි.

සජිත් කීවේ “ ඔය ආයතන මානව අයිතීන් රැකගැනීම වෙනුවෙන් කියලා මුදල් වියදම් කරනවා. මිනිස්සුන්ට ඉඩම්, ගෙවල් ලබා දීමත් මානව අයිතිවාසිකම් තහවුරු කිරීමක්. ඒ වෙනුවෙන් අර කියපු ආයතන කිසිම උපකාරයක් කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ” යනුවෙන්. තරු හතේ හෝටල්වලට වෙලා ඉංග්‍රීසියෙන් සම්මන්ත්‍රණ තියලා, ප්‍රිය සම්භාෂණ පවත්වලා මේ දිනය සමරන අයට ඒකෙ ගැඹුර ගැන අල්ප මාත්‍ර අවබෝධයක්, අර්ථයක් නෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානයවත්, හැබිටාට් සංවිධානයවත් අපේ නිවාස වැඩසටහන්වලට මූල්‍යාධාර ලබා නොදෙනවා නම් මම ලබන අවුරුද්දේ ඉඳලා ලෝක ජනාවාස දිනය සමරනවා වෙනුවට රටේ පළාත් නවයම ආවරණය කරලා දැවැන්ත උදා ගම්මාන වැඩපිළිවෙළක් දියත් කරනවා” සජිත් කීවා.

බ්‍රහස්පතින්දා උදෑසන නිල සෙවණ කාර්යාලය දෙකක් විවෘත කිරීමට යක්කලමුල්ලට ගිය වජිර අබේවර්ධන අමාත්‍යවරයා ඩොලරය වැඩිවීම ගැන කතා කළා. එහි දී ඔහු කියා සිටියේ ඩොලරය රුපියල් 200 දක්වා වැඩි වුණත් ඒ ගැන ජනතාව බිය නොවිය යුතු බවයි. මෙය ලෝකයේ සියලුම රටවලට බලපා ඇති ප්‍රශ්නයක් බවත් ඩොලරට කොතරම් වැඩි වුවත් කෙසෙල් අල, බතල කොළ කන යුගයකට මේ රට තල්ලු නොකරන බවත් ආර්ථිකය කලමනාකරණය කිරීමේ හැකියාව රජය සතු බවත් ඇමතිවරයා එහි දී ප්‍රකාශ කළා.

එදිනම රාත්‍රියේ ඇමැති වජිර යාපනයට ගියේ පසුදා පැවැත්වෙන චාවකච්චේරි ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහනට සහභාගී වීමට. එහි දී අමාත්‍යවරයා කියා සිටියේ චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කොටස් දෙකකට කඩා නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බිහිකරන බවයි. එලෙසම ශ්‍රී ලංකාවේ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 20ක් අලුතින් බිහිකිරීමට කැබිනට් මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියා.

පසුදා චංකානයි නිල මෙහවෙර පැවැත්වෙන උත්සවයට තවත් අමුත්තකු පැමිණියා ඒ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල ඇමතිවරයා. ඇමැති දෙපළ එකතු වී නිල මෙහෙවර වැඩසටහන යාපනයේ පවත්වද් දී යාපනය දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයන් ද දැඩි උනන්දුවකින් මේ සඳහා එක්ව සිටියා.

ලෝක ළමා දිනය දා කරෙයිනගර් නිල මෙහෙවර වැඩසටහන පැවැත්වෙද් දී ඇමැති වජිර අබේවර්ධන ළමා සොල්දාදුවන් ගැන කතා කළා. එහි දී අමාත්‍යවරයා කියා සිටියේ යුද්ධය පැවැති කාලයේ උතුරේ ළමා සොල්දාදුවන් බුරුතු පිටින් සිටියත් අද ඒ ප්‍රශ්නය විසඳී ඇති බවයි. නමුත් තවමත් ළමයින් පිළිබඳ ප්‍රශ්න ඉතිරිව තිබෙන බවත් උතුරේ ළමයින් ළමා ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීමේ ප්‍රවණතාව බරපතළ ගැටලුවක් බවත් ඇමැති වජිර කීවා.

එහි දී ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ළමයින් ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීමක් බැවින් ඒ ගැන අවධානයෙන් සිටින ලෙසයි. එමෙන් ම දරුවන් ආරක්ෂා කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින ළමා විෂය භාර නිලධාරීන් දැඩි උනන්දුවකින් ක්‍රියාකළ යුතු බව ද අමාත්‍යවරයා කීවා. අතීතයේ යම් යම් සිත් අමනාපකම් හා සැකය නිසා ඇතිවූ යුද්ධය වැනි ප්‍රශ්න හේතුවෙන් ඇති වූ තත්ත්වයන් මතු ඇති නොවිය යුතු බවත් මාපියන්ගේ වැරදිවලට දරුවන් වන්දි ගෙවීම නොවිය යුතු බවත් ඇමතිවරයා කීවා.

එදින තවත් සුවිශේෂී දෙයක් සිදුවුණා. නිල මෙහවෙර ජනපති ජනතා සේවය යාපනය දිස්ත්‍රික්කයේ ආරම්භ වීමත් සමඟ රජයේ වියදමින් විවාහ කර දුන් මෙතෙක් අවිවාහකව සිටි අඹු සැමි ජෝඩු අතරින් 150 වැනි ජෝඩුව විවාහ කරවීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල අත්සන් තැබුවා.

බදාදා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් පැමිණ සිටියා. ඔවුන් එහි පැමිණ තිබුණේ ඉදිරියේ දී රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවකට. සවස 3.00ට පමණ ආරම්භ වූ මේ සාකච්ඡාව රාත්‍රී 8.00 පමණ වනතුරු ඇමැති වජිරගේ ද සහභාගීත්වයෙන් පැවැත්වුණා.

“මේ රටේ සොරකම වැඩිම තැනක් හැටියට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හඳුන්වන්න පුළුවන්. ඒ ගැන මම විෂය භාර අමාත්‍යවරයා හැටියට දුක් වෙනවා. නමුත් මේ තැන අපි කොහොම හරි හදන්න ඕනෑ. ” ඇමතිවරයා කීවා.

ඉදිරියේ දී ඉඩම් ඔප්පු ලියාපදිංචි එක් දින සේවාවක් ආරම්භ කිරීම, ඉඩම් ඔප්පු ලබාදීමේ දී වඩාත් ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කිරීම, පත්ඉරු ආරක්ෂා කිරීමේ නවීන තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීම ආදී නව තාක්ෂණික ක්‍රමෝපායයන් රැසක් ගැන මෙහි දී සාකච්ඡා කෙරුණා.

ජවිපෙ නායකයන්ගේ අවධානය ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වෙත යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයන් සාකච්ඡාවක නිතර වුණා. ”දවසින් දවස බඩු මිල ඉහළ යනවා. බදු බර වැඩිවෙනවා. ආණ්ඩුව තෙල් සූත්‍රයක් ගෙනත් ඉන්ධන මිල වැඩිකරනවා. එකෙන් සියලූම භාණ්ඩ මිල විතරක් නෙවෙයි බස්ගාස්තු ත්‍රීවිල් ගාස්තු වැඩිවෙනවා. ජනතාව විශාල අසීරුතාවකින් තමයි ජීවත් වෙන්නේ. ජනතාවගේ විරෝධයක් ආණ්ඩුවට තියෙනවා. මේ ඇත්ත විරෝධය ආණ්ඩුවට එරෙහිව ප්‍රකාශයට පත්කරන්න ඕනෑ.” ටිල්වින් සිල්වා කීවා.

”අපි වෘත්තීය සමිති විදියට දැනටමත් සටනක් ආරම්භ කරලා තියෙන්නේ ජීවන වියදමට සරිලන වැටුපක් ලබාදෙන්න කියලා. ඒ වගේම වතු සේවකයින්ට දිනක වැටුප වැඩිකරගන්න අරගලයක් ආරම්භ කළා. ගොවි ව්‍යාපාරයත්, ධීවර ව්‍යාපාරත් වෙනම සටන් ක්‍රීයාමාර්ග යනවා. මේවා සියල්ල ඒකාබද්ධ කරලා කොළඹ ලොකු උද්ඝෝෂණයක් සංවිධානය කරමු.” ලාල්කාන්ත යෝජනා කළා

“රාජපක්ෂ කණ්ඩායම ජනතා විරෝධතා විහිළුවට ලක්කළා. ඒකෙන් වුණේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය ඉස්මතු වුණු එක නෙවෙයි. විරෝධතාව විනෝදතාවයක් වුණු එකයි. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා සැබෑ ජනතා විරෝධතාවයක් කරලා ජනතාවගේ උද්ඝෝෂණය කිරීමේ අයිතියට වටිනාකමක් දෙන්න. විනයගරුක, සටන්කාමී සැබෑ ජනතා විරෝධතාවයක් සංවිධානය කරන්න පුළුවන් ජවිපෙට කියලා ජනතාව දන්නවා.” බිමල් රත්නායක කීවා.

ඒ අනුව ‘බඩුමිලෙන්, බදු බරෙන් ජනතාව පෙළන ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය’ යන තේමාවෙන් උද්ඝෝෂණය සංවිධානය කිරීමට තීරණය වුණා. ඒ සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් ජවිපෙ බලමණ්ඩල දැනුවත් කිරීමටත් වෘත්තීය සමිති මට්ටමින් වැඩබිම් දැනුවත් කිරීම්ද ගොවි සහ ධීවර සමිති ව්‍යාපාර සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද තීරණය වුණා.

ජර්මන් ජාතික දින උත්සවය පසුගිය 03වෙනිදා ජර්මන් තානාපති කාර්යාලයේ දී පැවැත්වුණා. ඒ සඳහා දේශපාලනඥයින්ටද ආරාධනා ලැබී තිබුණ අතර ජවිපෙ නියෝජනය කරමින් එහි සහභාගි වූයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්. උත්සවය අතරතුර එයට සහභාගි වීමට පැමිණ සිටි ජීඑල් පීරිස් විජිත හේරත් මන්ත්‍රීවරයාට හමුවුණා. ”කොහොමද මන්ත්‍රීතුමා. විස්ස ගැන අලූත් තත්ත්වය මොකක්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකතුමාට ලැබුණා කියලත් කියනවා නේද? මොකක් වෙයි කියලද හිතන්නේ.” ජීඑල් පීරිස් විජිතගෙන් විමසුවා.

ගොඩක් වෙලාවට ජනමතවිචාරණයකට යන්න වෙයි කියලා හිතෙනවා” විජිත කීවා. ”ඔව්, මටත් එහෙම තමයි හිතෙන්නේ” ජීඑල් පීරිස් කියා සිටියා. ”එහෙම වෙන එක හොඳයි. මොකද පාර්ලිමේන්තුවේ 2/3න් විතරක් සම්මත වුණොත් ආයේ වෙලාවක පාර්ලිමේන්තුවේ 2/3ක් අරගෙන විස්ස අහෝසි කරන්නත් පුළුවන්. නමුත් ජනමත විචාරණයකට ගිහින් ජනතාවගේ කැමැත්තෙන් සම්මත කරගත්තාම ආපහු හකුළන්න බැරිවෙනවා. අපි කියන්නෙත් මේක පාර්ලිමේන්තුවේ හිර කරන්නේ නැතුව ජනතාවට භාර දෙමු කියලා” විජිත හේරත් කියා සිටියා.

ආණ්ඩුව දුම්රිය ගාස්තු වැඩිවීම ප්‍රකාශයට පත්කළේ 15%ක් බවයි. නමුත් පසුගිය 01වැනිදා දුම්රිය ගාස්තු වැඩිවීමෙන් පසුව ගාස්තු වැඩිවීම 15%කට වඩා අධික බව ජනතාව අතර කතාබහ වෙන්නට පටන් ගත්තා. මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ජවිපෙ මන්ත්‍රීවරුන්ටද කියා සිටියේ කුමක් හෝ දෙයක් මේ සම්බන්ධයෙන් කරන ලෙසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකටද මේ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවන ලෙස කියා තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර දිසානායක වෘත්තීය සමිතිවලින් විමසුවේ ගාස්තු පිළිබඳව තොරතුරු දැන ගැනීමටයි.

රඹුක්කනට තිබූ ගාස්තුව රු.70 සිට රු.105 දක්වා 50%න්ද නාවලපිටිය ගාස්තුව රු.120 සිට රු.160 දක්වා 33%න්ද නානුඔය ගාස්තුව රු.160 සිට රු.215 දක්වා 34%න්ද වැඩිවී තිබෙන බව වෘත්තීය සමිති උදාහරණ ලෙස පෙන්වා දුන්නා. අඩුම තරමේ ගාස්තුවක් වැඩි කළාම ඒ ප්‍රතිශතය නිවැරදිව ගණනය කරලා ජනතාව දැනුවත් කරන්නවත් මේ ආණ්ඩුවට බැහැ” අනුර දිසානායක කීවා. මේ අතර මෙම ගාස්තු අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කිරීමටද ජවිපෙ නායකයා බලාපොරොත්තුවෙන් සිටිනවා.

මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සම්මුතියක් සඳහා ඒකාබද්ධයේ පිරිසක් හා ශ්‍රීලනිපයේ පිරිසක් අතර මේ දිනවල සාකච්ඡා පැවැත්වෙනවා. කෙසේ වෙතත් ඒකාබද්ධය තුළම ඒ පිළිබඳව මතගැටුමක් හටගෙන තිබෙනවා. වාසුදේව නානායක්කාර මහතා පසුගියදා මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ රනිල් බලයෙන් පහකිරීමට නම් මෛත්‍රී මහින්ද සමගි වීම අත්‍යවශ්‍ය බවයි. එයට විරුද්ධ වී සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ද වාසු ප්‍රකාශ කළා.

දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් ලබා ගැනීමට තමන් උත්සාහ දරන බවයි. ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තමන් කතා නොකරන බව කී ගුණවර්ධන මහතා කීවේ ඊට පෙර පවත්වන මහ මැතිවරණයකින් මහින්ද අගමැති කරන බවයි. මහින්ද විධායක අගමැති වන අතර මෛත්‍රී ජනාධිපති ධුරයේ නාමික බලයක් සහිතව රඳවා ගැනීම මෙම උත්සාහය දරන්නන්ගේ අරමුණයි.

ශ්‍රීලනිපයේ පහළොවේ කණ්ඩායමේ එස්. බී. දිසානායක මහතාද මෙම උත්සාහයේ යෙදී සිටිනවා. ඔහු එම උත්සාහය දරන්නේ ශ්‍රී.ල.නි.ප.යේ සිටියදීම වුවද ඔවුන්ගේ කණ්ඩායමේ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ තවත් පිරිසක් මේ වනවිටත් ඉල්ලා ඇත්තේ තමන්ට ඒකාබද්ධ විපක්ෂයෙන් ආසන සංවිධායක ධුර ලබාදෙන ලෙසයි. ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා තවමත් පිළිතුරක් දී නැහැ.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රී හා මහින්ද අතර සම්මුතියකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය විරුද්ධ වීම මහින්දට බරපතළ ප්‍රශ්නයක් වී තිබෙනවා. ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ මෛත්‍රී ගැන විශ්වාසය තැබිය නොහැකි බවයි. තමන්ට බලයට ඒමට අතදුන් රනිල්ට මෛත්‍රී කළ දේ ඔහු තමන්ටත් කරනු ඇතැයි එම පිරිස කියා සිටිනවා.

මෙලෙස අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබිය දී මහින්ද රාජපක්ෂ මහතා කළ විශේෂ ඉල්ලීමකට අනුව බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා මෙරටට පැමිණියා. ඔහු පොදුජන පෙරමුණේ සංවිධාන වැඩකටයුතු ආරම්භ කළා. බැසිල්ගේ අදහස වී ඇත්තේ දැන් කළ යුත්තේ තම සංවිධාන ශක්තිය තවත් දැඩිකර ගැනීම බවයි. හදිසියේ ආණ්ඩු පෙරළීමකට උත්සාහ දරා අසාර්ථක වීමෙන් තම ඉදිරි ගමන අඩාල වන බව බැසිල්ගේ අදහස වී තිබෙනවා.

එමෙන්ම මෛත්‍රී සමඟ සංධානයකින් තම කණ්ඩායමට විශාල වාසියක් අත්නොවන බව බැසිල්ගේ අදහස වී තිබෙනවා. මෛත්‍රී පිලට පළාත් පාලන මැතිවරණයේ තිබූ ශක්තියද දැන් නැති බවත් බැසිල්ගේ තක්සේරුවයි. එමෙන්ම මෛත්‍රී මහින්ද සන්ධානයක් ඇතිවුවහොත් මෛත්‍රී සමඟ ඉතිරිව සිටින පිරිසද ඔහු අතහැර යනු ඇති බව බැසිල් පෙන්වා දී තිබෙනවා.

මේ අතර බැසිල් සැලසුම්කොට ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම සම්මේලනය පැවැත්වීමටයි. එහි දී පක්ෂයේ නිලධාරි මණ්ඩලය පත්කිරීමටත් පක්ෂ නායකත්වයට මහින්ද රාජපක්ෂ මහතා පත්කරගැනීමටත් සැලසුම්කොට තිබෙනවා. එවිට මහින්ද තම අනුශාසකයකු ලෙස තබාගැනීම ශ්‍රීලනිපයට ප්‍රශ්නයක් වනවා. තමන් දෙගොල්ලෝම එකම පක්ෂයේය යන කතාවද අවසන් වනවා. එලෙස බැසිල් රාජපක්ෂ මහතා සැලසුම්කොට ඇත්තේ ශ්‍රීලනිපය සමඟ තිබෙන පෙකණිවැල කපාගැනීමටයි.

ගොසිප්ලන්තය

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *