ස්ත්‍රී සුන්නත අපරාධයකි – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

මුස්ලිම් කතුන් ගැන අනුකම්පාව මුසු කෝපයකුත් මුස්ලිම් පිරිමින් පිළිබඳ වෛරයකුත් මට දැනෙමින් තිබේ. හේතුව මෑතක දී කියැවූ කිපියකි. මුලින්ම මට ඒ ඇඟ හිරිවැටෙන ලිපිය කියවීමට ලැබුණේ 2017 නොවැම්බර් 25 අල් ජසීරා ඔස්සේය. ලිපිය නම්කර තිබුණේ FGM in Sri Lanka යනුවෙනි. F.G.M. යනු කතුන්ගේ ලිංග ජේදනය යන්නයි. එය වනාහි ලිංගික කෙනිත්තීමක් නොව බරපතළ දෙයක් බව අල් ජසිරා කියන්නට හේතුව, මෙරට දී සිදුවන කාන්තා ලිංග ඡේදනය හෙවත් සුන්නත් කිරීම කුඩා දැරියනගේ භගමනිය කොනිත්තා දැමිමක් තරම් සුළු දෙයක් ලෙස හුවා දක්වන්නට එය සාධාරණීකරණය කරන්නටත් උත්සාහ දැරීමය.

දැන් අලුත්ම තත්ත්වය වන්නේ කාන්තා ලිංග ඡේදනය මෙරට දී තහනම් කරන්නට මේ වසර මුලදී රජය තීරණයක් ගැනීමයි. ඒ අනුව එය ආකාරවන කාන්තා ලිංග ඡේදනය ක්‍රියාත්මක කිරීම මෙරට වෛද්‍ය වරුන්ට තහනම් කොට තිබේ.

එකී තහනමට විරුද්ධව කාන්තා ලිංග ඡේදනය යුක්ති සහගත කරන්නට උත්සාහ දරන්නන් පෙරමුණ ගෙන සිටිති. ඔවුන් එක අතකින් ආගමික වශයෙන් එය සාධාරනීකරණය කරන්නට සැරසෙනවා පමණක් නොවේ. සංස්කෘතික වශයෙන්ද වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් ද එය සාධාරනීකරණය කරන්නට සැරසෙති.

පුදුමයට කරුණ වන්නේ ඉස්ලාම් පූජකයන් පමණක් නොව සමහර කාන්තාවන් ද ඊට පෙරමුණ ගෙන සිටීමයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කාන්තා ලිංග ඡේදනය යනු ගැහැනු ළමයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමකි. එසේම එම කටයුත්ත කතුන්ගේ සෞඛ්‍ය අයිතියට කායික පරිපූර්ණ භාවයට හා නිදහස් දිවි පැවැත්මට තර්ජනය කරන්නක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

මෙරට කාන්තා ලිංගික ඡේදනය තහනම වනාහි හුදු කටයුත්තක් නොව ඊට එරහිව කලක් තිස්සේ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාධරයින්‍ කළ සටනක ප්‍රතිඵලයකි. දැන් ඊට එරෙහිව මත දක්වන්නන් උත්සාහ කරන්නේ ලංකාවේ සිදුවන කාන්තා ලිංග ඡේදනය පුරුෂයන් සුන්නත් කිරීම තරමටම සරල කාරණයක් ලෙස ඒත්තු ගන්නවන්නටය. මෙරටදී සිදුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ලිංග ඡේදනයට වඩා වෙනස් දෙයක්යැයි තහවුරු කරන්නටය. එපමණක් නොවේ, ඔවුහු ලිංග ඡේදනය තහනම් කිරීම ආගමික නිදහසට බාධා කිරීමක්ය කියන්නට පවා ඉදිරිපත් වෙති. ඒ සඳහා කාන්තාවන් ද ඉදිරිපත් ව සිටීම පුදුම එළවන කරුණකි.

අල් ජසීරා පවසන ආකාරයට මෙරට බොරා, යෝනක, මැලේ ජන කොටස් අතරත් කතුන් ලිංග ඡේදනයට ලක්කිරීම සිදුවේ. යෝනක (මරක්කල) ළමයින්ගේ ලිංග ඡේදනය කෙරෙනුයේ ඉපදී දින 40කට පසුව ඔස්ති මාමි (Osthi Mami) නමින් හැඳින්වෙන චිකිත්සාව පිළිබඳ කිසිදු පුහුණුවක් නැති යාතුකාර්මික කතුන් පිරිසක් අතිනි. යොදා ගැනෙන්නේ රැවුල කපන උපකරණයන්ය. ඒවා විෂබීජ හරණය කිරීමක් ද සිදු වන්නේ නැත. කපාදමන්නේ යාන්තමින් කීවද ‘යන්තම’ තීරණය වන්නේත් කැපුම කොතරම් ගැඹුරුද තීරණය වන්නේත් කිසිදු පුහුණුවකින් තොර ඔස්තිමාමි‍ ගේ අතේ හුරුව අනුවය. බෝරා දැරියන් එකී ඉරණමට ගොදුරු කරන්නේ වයස අවුරුදු හතේ දී බව පැවසේ. ඔවුන් එම කටයුත්තට සෞඛ්‍ය වෘත්තිකයකු යොදා ගැනීම පමණක් සැනසිල්ලට කරුණකි.

මින් කියැවෙන්නේ කුමක්ද? ගැහැනු ළමයින් ඉහත වධයට ලක්කෙරෙ‍න්නේ ඔවුනට හය හතර නොතේරෙන කුඩා අවධියේදි බවය. ළමයකු වැඩුණු පසුව ඇය තමා ගැන තීරණයක් ගැනීම ප්‍රශ්නයක් නොවේ. එහෙත් දැනුමක් තේරුමක් නොමැති දැරියකගේ (දරුවකගේ වුව) ශරීර අංග ගැන තීරණය කිරීමට වැඩිහිටි පිරිසට පූජකයන්ට හෝ ආගමික නිකායකට ඇති අයිතිය කුමක්ද? ඒ හැමවිටම ළමා අයිතිවාසිකම් උල්ලංගනය කිරීමකි.

එක් තරුණියක් පවසා තිබුණේ තමාට සිදුව ඇත්තේ කුමක්ද යන්න වැටහුණේ වැඩුණු වයසේදී වෛද්‍යවරයකු හමුවීමෙන් පසුව බවයි. තවත් කාන්තාවක් කියා තිබුණේ ලිංග ඡේදනය හේතුවෙන් තමාට තම සැමියා සමග යහන් සුව විඳීම ඉමහත් වේදනාවක් වූ බවයි. දරුවන් බිහිකිරීම කෙරෙහි ද ලිංග ඡේදනය බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබුණි.

ඒ සියල්ල ලිංග ඡේදනයේදි දැරියකට විඳින්නට සිදුවන අසීමිත වේදනාවට අමතරවය. වයස අවුරුදු 40ක කතක් පවසා තිබුණේ ඇයට ඒ කටයුත්තෙන් දෙපා අතර දැරිය නොහැකි වේදනාවක් හටගත් බවයි.

තවත් කතක් කියා තිබුණේ ඇය ඒ නිසා මුත්‍රා පහකරන්නට නොහැකිව තදබල වේදනාවක් අත්වින්ද බව කිසිම දිනක අමතක නොවන බවයි. එසේම ලේ ගඳත් (තුවාලයේ ආලේප කළ) එක්තරා ආලේපයක කුයිලත් ඉවසා ගත නොහැකි වූ බවද තවත් කතක් පවසා තිබුණි.

සුන්නත් කිරීම ආගමික අවශ්‍යතාවක්ය කියන්නන්ට එය එසේ නොවෙතැයි කියන්නන් අභියෝග කරති. කුරාණයේ සුරාවක් හෙවත් පරිච්ඡේදයක්ම කතුනගේ ඉස්ලාමික දිවියත් කතුනගෙ සෞඛ්‍ය ආරක්ෂාවත් වෙනුවෙන් වෙන්කර ඇතත් එහි කොතැනක හෝ කතුන් සුන්නත් කිරීමක් ගැන සඳහනක් නොවන බව ඉස්ලාමික මධ්‍යස්ථ බුද්ධිමත්හු පෙන්වා දෙති. මහත්මත් තුමා සිය දියණිවරුන් සුන්නත් නොකළ බවද ඔවුහු පෙන්වා දෙති. එක් මුස්ලිම් කතක් පවසා තිබුණේ සිය මිත්තනිය කතුන් සුන්නත් කිරීමේ අරමුණ වශයෙන් පෙන්වා දුන්නේ එමගින් කතුනගේ ලිංගික ආශාව ප්‍රහීනව වරදේ බැඳීමෙන් ඔවුන් වළකාන බවයි. එසේනම් එය කතුන්ගේ ලිංගික අයිතිවාසිකමක් උල්ලංගනය කිරීමකි.

කාන්තා‍රයේ කඳුළ යනුවෙන් සිංහලටය පරිවර්තනය කළ කෘතියක් තිබේ. එහි මුල් කෘතිය Tears of the desert යනුවෙන් සුඩාන ජාතික කාන්තාවක් ලියූවකි. තමා සුන්නත් කිරීමට ලක් කළ අවස්ථාවේ ඇය විස්තර කරන්නේ කියවන්නන්ගේ රෝමෝද්ගමනය වන ආකාරයෙනි. එහිදී වැඩිහිටියන් කියනනේ එය ආගමික චාරිත්‍රයක් දෙවියන්ගේ නියමයක් වශයෙනි. මෙරට ස්ත්‍රී සුන්නත සාධාරණීය කරන්නෝද එය ආගමික නියමයක් වශයෙන් නැතහොත් කුරාණීය අවශ්‍යතාවක් වශයෙන් පෙන්වා දීමට සැරසෙති. එසේ උත්සාහ කරන්නන්ට ඉහත සුඩාන කත (ඇය වෛද්‍යවරියකි) එක් ප්‍රශ්නයක් නගයි. එනම් දෙවියන්ගේ කැමැත්ත අනුව කපා ඉවත් කරන්නට නම්, දෙවියන් වහන්සේ එය සහිතව කාන්තාව මැවුවේ මන්ද යන්නයි. ඒ අනුව ඡේදනය යනු කුරාණීය අවශ්‍යතාවක් නොවේ. කුරාණය (එනම් දෙවියන්ගේ කැමැත්ත) උල්ලංඝනය කිරීමකි.

අල් ජසිරා පෙන්වා දෙන්නේ සුනත් විරෝධය එලිපිට දක්වන්නට මෙරට කතුන් ඉදිරිපත් නොවන බවයි. හේතුව පවුලට එරෙහිවීම සංස්කෘතියට එරෙහිවීම ආගම් විරෝධිවීම යන චෝදනාවනට ලක්වීමට සිදු වේය යන භීතියයි. නමුත් මුලුගැන් වී සිටින තරමටම කතුනට වේදනාව මිස වෙන දෙයක් ඉතිරිවන්නේ නැත. ඉස්ලාමය ලෙස හුවා දක්වමින් සිදුවන අවනීතික ක්‍රියාවන්ට එරෙහිව ලොව පුරා කතුන් මේ වනවිට සටන් වදිමින් සිටිති. තස්ලිමා නස්රින්, මලාලා යුසුත්, අප ඉහත උපුටා දැක්වූ සුඩාන වෛද්‍යවරිය හලීමා බෂීර් ඊට කදිම උදාහරණ වේ.

තම දියණිය සුන්නතට ලක් කරන්නට කිසිදා ඉඩනොදෙන බවට සපත කරන බෂීර් තමා ඒ ඉරණමට ගොදුරු කළවුනට ශාපමුඛයෙන් චෝදනා කරයි. ශ්‍රී ලංකාවේ සුන්නත තහනම් කෙරුණේ බෂීර් වැනි අයගේ අනවරත අරගලයක පුතිඵලයක් ලෙසිනි. එය ආපසු හරවන්නට කරන උත්සාහය පරාජය කරවීම ඓතිහාසික අවශ්‍යතාවකි. එසේම කතුන් සුන්නත් කිරීම තහනම් කළ ආකාරයටම ඒ පිළිබඳව දැනුවත් කිරීමට දුරකතන අංකයක් ලබාදීම වැනි පියවරකට යාම බලධාරින්ගේ යුතුකමකි. එසේම එවැන්නක් 119දුරකතන අංකය වැන්නකට දන්වා සිරීමට ද අවශ්‍ය අයට හැකියාව තිබේ.

චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *