පිදුරංගල – අනුර කේ. එදිරිසූරිය

පිදුරංගල දැන් ලොකු මාතෘකාවකි. සියල්ලෝම පිදුරංගල ගැන විමසති. පිංදුරංගල පිහිටා ඇත්තේ කොහේද? ඔබ පිදුරංගල ගොස් තිබේද? ආදී වශයෙනි. පිදුරංගල එසේ මහජන අවධානයට යොමුවීමට හේතුව එහි ඓතිහාසික පසුබිම නොවේ, එහි පිහිටීම හෝ එහි සුන්දරත්වය හෝ පූජනීය වටිනාකමක් ද නොවේ, ගැටවරයන් පිරිසකගේ දඩබ්බර ක්‍රියාවකි.

පිදුරංගල රටේ ප්‍රචලිතවන්නට හේතුව ගැටවරයන්ගේ ඉහත දඩබ්බර ක්‍රියාවම නොවේ, සැබෑ හේතුව ඇත්තේ ඔවුන්ගේ ක්‍රියාව අවශේෂ සමාජය අල්ලාගත් ආකාරයේ එනම් ඇතැමුන් එකී ක්‍රියාවට සැපයූ අර්ථකථනයේය.

පිදුරංගල පින්තූර සමාජ මාධ්‍යවලට නිකුත් වු සැණින් සමාජ මාධ්‍ය ඔස්සේ පිරිසක් මහා මතවාදී සටනක් ආරම්භ කළහ. ඒ තරුණ පිරිසගේ ක්‍රියාව හේතුවෙන් මෙරට සංස්කෘතියටත් සදාචාරයටත් මහා විනාශයක් සිදුවූයේ ය කියමිනි. ඔවුන්ගේ මතයට විරුද්ධව එනම්, පිදුරංගල පින්තූර සරල ක්‍රියාවක්ය යන මතය දරන පිරිසක්ද සිටියද බලවත් වූයේ සදාචාරය, සංස්කෘතිය වෙනුවෙන්ය කියමින් නැඟූ සුළුතරයේ හඬය.

ඡායාරූපයට පෙනී සිටි තරුණයන් ඉන් අදහස් කළේ කුමක් ද? සදාචාරයට සංස්කෘතියට හෝ බෞද්ධ ආගමට අපහාස කරන්නට අරමුණක් ඔවුනට තිබුණේද යන්න විචාර බුද්ධියෙන් විමසා බලන්නටවත් සමාජයට ඉවසිල්ලක් තිබුණේ නැත. ඒක පාර්ශ්විකව සියල්ල තීරණය කර තරුණ පිරිස විත්තිකරුවන්, වැරදිකරුවන් බවට පත් කෙරිණ.

බෞද්ධ දර්ශනය අනුව වැදගත් වන්නේ ක්‍රියාවට වඩා චේතනාවය. වැරැදි චේතනාවකින් කෙරෙන වැරදි වැඩක් පාපකර්මයක් වේ. ඉහත තරුණ පිරිස හුදු විනෝදය තකා එවැනි ඡායාරූපයක් ගත්තාය කියන්නට අවශ්‍ය පමණටත් වඩා කරුණු තිබේ. ඔවුන්ගේ ඉරියව් පමණක් වුවත් ඊට සෑ‍ෙහ්.

වත්මන් සමාජයේ අර්බුදය වන්නේ බුදුන්ටත් වඩා බෞද්ධවන්නට උත්සාහ දැරීමය. බෞද්ධ දර්ශනයට, බෞද්ධ ආගමට සැබැවින්ම හානිකරදේ සමාජයේ කොතෙකුත් සිදුවේ. කිසිවකු ඒවාට කිසිඳු විරෝධතාවක් දක්වන්නේ නැත.

මේ ලිපිය ලියන මොහොතේත් ශබ්ද විකාශන යන්ත්‍රයකින් ඇසෙන්නේ බෝධි පූජාවකි. එය අප කුඩා කාලයේ ඇසුණු බෝධි පූජාව නොවේ. එකල සිදුවූයේ ගෞතම බුදුන් වහන්සේට නිවන් අවබෝධකරගන්නට කළ උපකාරයට කෘතගුණ සලකනු වස් බෝධිය වන්දනා කිරීමය. වන්දනා කර පින්පෙත් පමුණුවාගෙන නිවන් අවබෝධය සඳහා මඟහසර විවරකර ගැනීමට උත්සාහ කිරීමය.

දැන් කෙරෙන බෝධි පූජාව අනුව බුදුනට බුද්ධත්වයට පත්වීමට පිටදීමට ඉඩ දීම පිළිබඳ බෝධිය කම්පාවට පත්වනවා ඇතිද යන සැකය පවා ඇතිවේ. හේතුව දැන් බෝධි පූජා පවත්වන්නේ, බෝධියෙන් ඒ මේ දේ ඉල්ලා ගන්නටය. වඳින්නට නොව යදින්නටය.

කලකට ඉහතදී පානදුරේ අරියධම්ම හිමි බෝධි පූජාව රැල්ලක් බවට පත්කොට, බෝධි වන්දනාව පූජාවක් බවට කණපිට හරවාලූයේය. ‘මම මේ මළුවට යනවා එනවා’ ආදී වශයෙන් ගාථා වෙනුවට කවියෙන් බෝධිය වඳින්නට නොව වනන්නට පටන් ගැනුණේ එතැනිනි. ඉන් පසුව බෝධි පූජා පොත් පිංච මුද්‍රණය වෙමින් එය ව්‍යාපාරයක් බවට පත්විය. රේරුකානේ හිමි වැනි සැබෑ බෞද්ධ භික්ෂූන් එම රැල්ලට විරුද්ධව පිහිනන්නට කළ උත්සාහය ව්‍යර්ථ වූයේ පොදු භික්ෂුව මහත් හරසරින් මොඩ් බෝධි පූජාව වැලඳගත් හෙයිනි.

දැන් ඇත්තේ බෝධි වන්දනාවක් නොව දේව ඇදහිල්ලකි. බාරහාර වීමකි. එය විභාග සමත් වීමටත් රෝග සුව වීමටත් කෙරෙන කටයුත්තකි. හෙට අනිද්දා වන විට සීනිගමට, මුන්නේශ්වරම්, කාලි දෙවොලට මෙන් සතුරන්ට කෙළවේවා කියා බෝධියට පොල්ගසන්නට පටන්ගත්තද පුදුමවන්නට හේතුවක් නැත. මෑතදී දේවාලවල බිලිපූජාවට සතුන් මැරීම උසාවියෙන් තහනම් කිරීම සතුටට කරුණක් ලෙස හැ‍ඟෙන්නේ, මේ යන ගමනේ වේගය අනුව බෝධියට බිලිපූජා පවත්වන යුගයකුත් නො එනවා ඇතැයි කිසිවකුට කිය නොහැකි බැවිනි.

මේ මොහොතේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඇසෙන්නේ බුදුගුණ බලයෙන් ග්‍රහ අපල දුරුවේවා! යැයි කෙරෙන ප්‍රාර්ථනාවකි. බුදුගුණයෙන් අපල දුරුකරගන්නට සිතීමම බුදුන් බුද්ධත්වයෙන් පහළට දේවත්වයට ඇද දැමීමකි. බෞද්ධ දර්ශනයේ හරය විකෘති කිරීමකි. බුදුන් දෙසු විමුක්තිය ළඟාකරගත හැකිවන්නේ, බුදුන් පිදීමෙන් නොව බුදුන්ගේ දර්ශනය, ධර්මය අනුගමනය කිරීමෙනි. පිදුරංගල ඡායාරූපයට වඩා බලගතු විනාශයක් ඉහත කටයුතුවලින් බුදුදහමට සිදුවන නමුත් ඒවාට විරුද්ධ වන්නන් නැත. පිදුරංගල ඡායාරූපයට විරුද්ධ වන්නන් ඉහත බෝධි පූජා, බුදුගුණයෙන් රෝග සුවවීම්, අපල දුරුවීම් අපේක්ෂාකරන්නන් බවද උපකල්පනය කරන්නට පුළුවන. හේතුව එවැන්නන් නිතර කරන්නේ සිදුවීමක මතුපිටින් අල්ලා ගැනීම මිස විවේක බුද්ධියෙන් කල්පනා කිරීම නොවන නිසාය.

මෙයින් අදහස් වන්නේ පිදුරංගල ඡායාරූපය නිදොස් කොට නිදහස් කළ යුතු බව නොවේ, එහෙත් එයට ප්‍රතිචාර දැක්වූ අතිධාවනකාරී ස්වරූපය පිළිබඳ සලකා බැලිය යුතුය.

වරෙක විදෙස් කතක් මෙරටදී අත්අඩංගුවට ගැනුණේ සිරුරේ බුදුරුවක් පච්චකොටා සිටි වරදටය. කත කීවේ, එය බුද්ධ භක්තිය නිසා කළ බවයි. තමාට පොලිසියේදී නිලධාරින් අතින්, දිවෙන් ඉඟිබිඟිපාමින් අසැබි යෝජනා කළ බවද ඇය පසුව කීවාය. ඇගේ ප්‍රකාශය සත්‍ය නම් විදෙස් කත බුදුරුවක් පච්චය කොටාගෙන මෙරටට ඇතුළු වූවාට වඩා සංස්කෘතික හානියක් ඉහත නිලධාරින් විසින් රටට සිදුකර නැතිද? කතගේ සිරුරේ බුදුරුව ගැන තිබුණු උනන්දුව ජනමාධ්‍යවලට හෝ සමාජ මාධ්‍යවලට පොලිසියේ හැසිරීම සම්බන්ධයෙන් තිබුණේ නැත. කත කියූ අයුරින් පොලිසිය හැසිරුණාද නැතිද යන්න සොයා බැලුණේද නැත.

ජර්මනිය, පින්ලන්තය ආදී රටවල නිරුවත මහමෙරක් සේ සලකන්නේ නැත. එක්සත් රාජධානියේ බ්‍රින්ටන් වෙරළ නිරුවත් ස්නානයට විවෘත ස්ථානයකි. ජර්මනියේ ඇතැම් ස්පා ආයතනවලද ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම නිරුවත් ස්නානයට පහසුකම් සැපයේ. එක්සත් ජනපදයේ රජයේ පාසල්වලත් කැනඩාවේ බහුතර ඉංග්‍රීසි රජයේ පාසල්වලත් ශාරීරික අභ්‍යාසවලින් පසුව (වෙන් වෙන්ව) නිරුවතින් ස්නානය කිරීමට සිසු සිසුවියන් උනන්දු කරවනු ලැබේ. ඒ එය ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට හේතුවන බවට ඇති විශ්වාසය නිසාය. හමුදා කඳවුරු ආදියෙහි ද සමූහ නිරුවත් ස්නානය සිදුවේ.

නිරුවත නොතකන සොබාවාදින් (naturist) නමැති සමාජ කණ්ඩායම් ද සිටිති. ඔවුනගේ රිසෝට් සහ ක්ලබ්වල නිරුවත අරුමැසි දෙයක් නොවේ. ඇමරිකාවේ නිරුවත් පාරාදීස ගැන කලකට ඉහත භද්‍රජී මහින්ද ජයතිලක විසින් දැන් ජාතිකත්වය වෙනුවෙන් ගෙල සිඳගන්නට සැරසී සිටින පුවත්පතකට ලිපි පෙළක් ද සැපයූවේය.

2012 වසරේ ලන්ඩනයේ පැවැති පාපැදි සවාරිය ලෝක නිරුවත් පාපැදි සවාරිය යනුවෙන් හැඳින්වීමට හේතුව අමුතුවෙන් පැහැදිලි කළයුතු නැත. එම වසරේම එනම් 2012දී සැන්ෆ්‍රැන්සිස්කෝ නගර කවුන්සිලය, නගර අභ්‍යන්තර ස්ථානවල නිරුවත තහනම් කරන්නට ගත් උත්සාහයට විශාල විරෝධතාවක් නැඟුණි. සැන්ෆ්‍රැන්සිස්කෝ නිදහස් සංස්කෘතිය ඇගයීම සම්බන්ධයෙන් ප්‍රකටය.

ඉන්දියාවේ නිරුවත තහනම් වුවද ගෝවේ නිදහස් නිරුවත් වෙරළ තීර තිබේ. ජෛන ආගමේ දිගම්බර නිකායටත් හින්දු සාධුලාටත් නිරුවතට නිදහස එරට ලබාදී තිබේ.

ඉන් පැහැදිලිවන්නේ නිරුවත යනු මහා පාපකර්මයක් ලෙස ලොව වෙනත් රටවල් නොසිතන බවය. කොරියාව වැනි රටක පවා තත්ත්වය එය ය. එසේ හෙයින් කොල්ලන් පිරිසක් පස්ස පෙන්නා ඡායාරූපයක් ගත් පමණින් අපේ සංස්කෘතියට මහා විනාශයක් සිදුවීය යන අදහස පිළිගන්නට ලෝකය පෙලඹෙනවා ඇතැයි සිතීම විකාර අදහසකි.

සැප්තැම්බර් 30 ඉරිදා පුවත්පත් එකී සිද්ධිය ‍රහකර තලුමරා තිබෙනු ද පෙනුණි. විවිධ තැන්වල විවිධ ශීර්ෂ පාඨ යටතේ සිද්ධිය පළකර තිබුණේ එකම තැනැත්තකු‍ හෝ දෙදෙනකු විසිනි. එයින් ගම්‍යවන්නේ ජනමාධ්‍ය ඒකපාර්ශ්වීය වී බහුත්වවාදයෙන් මිදී ඇති ආකාරයයි.

ඡායාරූපයට සම්බන්ධ දරුවන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් දැන් සියල්ලන් සැනසුම් සුසුම් හෙළනවා වන්නට පුළුවන.

උසාවි යනවා වෙනුවට කළ වරද වටහාදී සමාවගන්නට සලස්වා පන්සලකදීම ඔවුනට සමාවදෙන්නට කටයුතු කළේ නම් අපේ සංස්කෘතියේ උසස් බව සහ වටිනාකම ලොවට වටහා දෙන්නට තිබුණි. එවැන්නක් කරන්නට තරම් ඉවසිල්ලක් සමාජයට නොතිබුණේ, සමාජ සාරධර්ම ආගන්තුක වීම නිසාය.

අනුර කේ. එදිරිසූරිය
anurakedirisuriya@gmail.com

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *