|

රිෂාඩ්ගේ වැරදි කියන ඒකාබද්ධය තේරීම් කාරක සභාවට නෑ

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මුස්ලිම් ත්‍රස්තවාදයේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු එම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය ආණ්ඩුවේ මෙහෙයවීම හා ආරක්ෂක අංශ වල කැපවීම තුල සාර්ථක කර ගනිමින් මේ වන විට ප්‍රචණ්ඩ කණ්ඩායම් සම්පූර්ණයෙන්ම මර්දනය කොට තිබේ. එකි ප්‍රහාරයෙන් පසු සිංහල මුස්ලිම් කොලාහල ඇති වේ යයි අපේක්ෂා කළ ඇතැම් සිංහල අන්තවාදී කොටස් හා ඊට උඩගෙඩි දුන් විපක්ෂය එසේ නොවූ තැන කෝලාහල ඇතිකිරීමේ උත්සාහයක්ද සිදුකළ අතර එයද ක්ෂණිකව යටපත් කොට රට පුරා සාමය පැතිරවීමටද ආණ්ඩුව හා ආරක්ෂක අංශ මේ වනවිට සමත්ව තිබේ. පාසැල් සහ ජනතාවගේ දෛනික කටයුතුද දැන් ප්‍රකෘතිමත් බවට පැමිණ තිබේ. එහෙත් විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් වඩාත් දැඩිව ඉදිරියට යන පසුබිමක ඇමති රිෂාඩ්ට එරෙහිව පොහොට්ටුවෙනුත් ආණ්ඩුවට එරෙහිව ජවිපෙනුත් විශ්වාසභංග 2ක් පසුගිය සතියේ කතානායකතුමාට භාරදී තිබේ. ඊට අදාල පාර්ලිමේන්තු විවාදයක් අගහරුවාදා සිට ඇරඹුණු අතර එය ඉතා ගිනියම් ස්වරූපයක් ගත් බවක් පෙනින. අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදයේම පාර්ලිමේන්තු ගියේ එහි 3 වැනි දිනයට මුහුණ දීමටය.

“21 වැනිදා ප්‍රහාරයයි ඇමති රිෂාඩ්ට විරුද්ධ හා ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංගයි  පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නට කලින් තේරීම්කාරක සභාවක් පත්කරලා මේ ගැන කරුණු සෙවීම වැදගත්. තේරීම්කාරක සභාවේ වාර්තාව සති 2ක් ඇතුලත එළිදක්වන්න පියවර ගන්න කියල මම අද උදේ කතානායකතුමාගෙන් ඉල්ලුවා. ඒක කෙරේවි” අගමැතිවරයා සිය පාර්ලිමේන්තු කාර්යාලයට ඇතුළු වෙන ගමන් එහි පැමිණ සිටි මැති ඇමතිවරුන්ට කීවේය.

“පොහොට්ටුවේ කට්ටිය විශ්වාසභංගෙ දෙනකොට දිනේවත් හරියට දාන්න දන්නෙ නෑ. මේ ගෙවෙන්නේ 2018 නොව 2019 කියල පෙන්නල දුන්නෙත් අපි. ඉතින් මේ විශ්වාසභංගෙ තියන කරුණුත් ඒ ජාතියේම වෙන්න ඕනෑ.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාමැදය.

“තේරීම් කාරක සභාවට පොහොට්ටුව එන්නෙ නෑ කියල මහින්ද මහත්තය කියල තිබුණා. එතුමා වෙනුවට විරවංශයි ගම්මන්පිලයි කලින්ම තීන්දු ගන්න නිසයි මේ අවුල් ඇතිවෙන්නෙ” දයා ගමගේ කීවේ එවැන්නකි.

“තේරීම් කාරක සභාවට එන්නෙ නැත්නම් මේව ගැන විවාදයක් මොකටද කියලත් එහෙමනම් තර්කයක් මතුවෙනවා.” නවීන් දිසානායක කී දේ අගමැති ඇතුළු සියළුදෙනා අනුමත කළහ.

“රිෂාඩ් ඇමතිතුමාට පොහොට්ටුවෙ පැත්තට එන්න කියලා ඒකෙ ලොක්කො දිගටම කතාකරනවලු. ඒ අස්සෙ රට රවටන විශ්වාසභංගත් ගෙනැත්. පොහොට්ටුවේ එවුන්ට ලැජ්ජ නෑ.” චමින්ද විජේසිරි කීවේය.

“පොහොට්ටුවට එන්න කියලා ආපු දුරකතන ඇමතුම් ඇමති රිෂාඩ් ලග රෙකෝඩ් වෙලා තියෙනවා. ඒව එලියට දාන්න කියල අපි හැමෝම කිව්වා. ඒත් ඒව එලියට දාන්න එපා කියල ජනාධිපති ඉල්ලීමක් කරල තියනව කියලයි ඇමති රිෂාඩ් කියන්නෙ.” හේෂා විතානගේ ප්‍රකාශ කළේ එවැන්නකි.

“රිෂාඩ් හා ආණ්ඩුවේ ඉන්න ඒ වගේම ආණ්ඩුකාරධූර දරණ මුස්ලිම්වරුන්ට විරුද්ධව අන්තවාදය පෝෂණය කළා කියලා විශාල ජනමතයක් තියනවා. අපි ඒවත් තේරුම් අරගෙනයි පරිස්සමෙනුයි වැඩකළ යුත්තේ.” නවීන් දිසානායක කීය.

“ආණ්ඩුවේ කණ්ඩායම් රැස්වීමෙදී හොද පළල් තර්ක මතුවීම වැදගත්. රිෂාඩ්ට විරුද්ධව රටේ තියෙන්නේ දේශපාලන හා ජනමාධ්‍ය ප්‍රහාරයි. ඒත් නීතියට අදාළව චෝදනා තාම කවුරුවත් ඉදිරිපත් කරල නැහැ. ඔහු ඉල්ලා අස්වෙන්න ඕන තේරීම් කාරක සභාවෙන් යමක් ඔප්පු වුණොත් විතරයි කියන එකයි බොහෝදෙනෙකුගෙ මතය වෙන්නෙ. රවීලට මාරපනලට විරුද්ධව කොමිෂන් වල නොයෙක් සටහන් තිබුණ නිසයි ඔවුන් ඉල්ලා අස්වුණේ. පස්සේ ඒව නිවැරදි වුණ නිසා යලිත් තනතුරු ලැබුණා” ලක්ෂ්මන් කිරිඇල්ලගේ පැහැදිලි කිරීම එය විය.

“දැන් මේ විශ්වාසභංග 2න් මුලින් ගන්නෙ මොකක්ද?” මුජිබර් රහුමාන් විමසුවේ අගමැතිගෙනි.

“දෙකෙන් ඕන එකක් කලින් ගන්න පුළුවන්. ජවිපෙ මුලින් ඉල්ලලත් නෑ. මෙතන විශ්වාසභංග 2ක් කියන එකයි ඔවුන්ගෙ තර්කය වෙන්නෙ.” අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

“කතෝලික මන්ත්‍රීවරුන්ට පල්ලියෙ බලපෑම හා ඒ ජනතාවගේ බලපෑම ඉතා විශාලයි. මේ තේරීම්කාරක සභාව නිසා ඔවුන්ටත් අස්වැසිල්ලක් ලැබේවි.” නවීන් දිසානායක කීය.

“රණවිරුවන්ට සෙත් පතනවා කියල අර නර්ස් හාමුදුරුවො පිරිතක් සංවිධානය කරලා පිරිත් මණ්ඩප්පෙ ඇතුලෙ ඉඳගෙනම ඒ හාමුදුරුවොයි බෙල්ලන්විල හාමුදුරුකෙනෙකුයි කාන්තාවකට නිගරු කළා. කළු මාධ්‍යවල මේව හොඳට පලවුණා. සිවුරයි පිරිතුයි පිරිත් මණ්ඩපයි පවා දැන් දේශපාලන ගණිකා වෘත්තියේ යෙදවීම බුදුදහමටත් නිගාවක්” චමින්ද විජේසිරි දැවැන්ත ප්‍රහාරයක් යොමුකළේ ඇමතිනී තලතාට එරෙහිව හිමිවරුන් දෙපළක් පළකල අදහස් වලට ප්‍රතිචාර වශයෙනි.

“ගලබඩඅත්තේ හිමිට නිදහස දෙන්න ජනාධිපති ක්‍රියා කිරීම ගැන එජාප ස්ථාවරය මොකක්ද?” ඇමති ගයන්ත කරුණාතිලක විමසුවේය.

“උන්වහන්සේ හිරේට ගියේ ආණ්ඩුව කරපු දෙයක් නිසා නෙවෙයි උසාවිය ඇතුලෙදි අධිකරණයට පරුෂ වචනයෙන් බැන්න නිසා දඩුවම් ලැබුණා. උසාවිය ඇතුලෙදිම අධිකරණයට අපහාස කිරීම නරක පූර්වාදර්ශයක් වෙන නිසා ඒ කාලෙ නීතිපති එකේ හිටපු ප්‍රධානීන් මේ නඩුව ගොනු කිරීමේදී මූලික වුණා. ඒ මූලික වෙච්ච දෙන්නෙක් අද අගවිනුසුරු හා මාහාධිකරණයේ ප්‍රධානියායි. එහෙම නම් මේ හාමුදුරුවො නිදහස් කරන්න කලින් ඔවුන් දෙදෙනා හා අධිකරණයෙන් අදහස් විමසුවාද දන්නෙ නෑ. මේ ගැන අධිකරණ ක්ෂේත්‍රය තුල දැන් විශාල රහස් සංවාදයක් යනවා. මේ නිදහස් කිරීම පිටුපස විශාල දේශපාලනයකුත් තියනවා.” එජාප නීති නිලධාරියෙකු විග්‍රහ කලේය.

“ධම්මික පෙරේරා පොදු අපේක්ෂකය වෙනවද, නැත්නම් වෙනත් ක්‍රමේකින් ජනාධිපතිවරණෙට ඉල්ලනවද කියල සංවාදයක් දැන් රට තුල යනවා. මොකක්ද ඒ කතාව. ඉතින් ඔබතුමාම තමයි පැහැදිලි කරන්න ඕනෑ.” නවීන් දිසානායක අගමැතිගෙන් විමසුවේ මද සිනහවක්ද සමගිනි.

“ධම්මික ලංකාවට අදාල බිස්නස් කමිටුවේ ඉන්නවා. ඉතින් අපි විටින් විට හම්බවෙනවා. එයා මාත් එක්කනම් හැප්පෙන්න හේතුවක් නෑ. හැබැයි ඔහු ජනාධිපතිවරණෙට එනවා කිව්වාම පොහොට්ටුවයි සමහර අපේ කට්ටියගෙත් නළල රැලි වැටුණා කියල ආරංචියි. කාලය සියල්ල විසදාවි. අපි ඔහොම යමුකො” අගමැතිවරයා කීවේ සැහැල්ලුවෙනි.

“එජාපයෙන් පන්නපු කාන්තාවක් අගමැතිතුමාට නඩු දාපු වෙලාවෙ හුඟක් පත්තර පොල්ගෙඩි අකුරින් ඒක දැම්මා. ඒත් ඒ නඩුව විසිකරපු එක බොහෝ මාධ්‍යවල හංගලයි ගියේ” මුජිබර් රහුමාන් කී විට අගමැතිවරයා නළල රැලිගන්වා ඉවත බලාගත්තා මිසක කිසිවක් කීවේ නැත.

“පහුගිය සතිය දෙක මංගල ඇමතිතුමාට ටිකක් අගුණයි. ලංකාව සිංහල බෞද්ධ රටකට වඩා මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් බහුතරය සිංහල බෞද්ධ බවත් අපට අනිත් ජාති ආගම් පිට අපේ මතය බලෙන් පටවන්න බෑ කියපු එක මිඩියා වල ලොකු ඉෂූ එකක් කරගෙන ඇමතිතුමාට පහරදුන්නා ඊට අමතරව ලිට්‍රො ගෑස් එකේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩලය අයින් කරලා මංගල ඇමතිතුමා දාපු අධ්‍යක්ෂක මණ්ඩලයත් එක්ක ගිහින් රැස්වීම් තියන්න ගියාම ඒ සේවකයොත් විරෝධය පළකරලා. ආයතනයේ ප්‍රධාන විධායකකම අන්‍ය ජාතිකයෙකුට ලබාදීම භයානකයි කියලයි සේවකයො කියල තියෙන්නේ. ඊට පහුවෙනිදාම හිටපු අධ්‍යක්ෂක මණ්ඩලය උසාවි ගිහින් අළුත් අධ්‍යක්ෂක මණ්ඩයට ආයතනයට ඇතුල් වෙන්න ඉඩ නොදෙන වාරණ නියෝගයකුත් අරන්. පළමු වතාවටයි මුදල් ඇමති කෙනෙකුට මෙහෙම දෙයක් වෙලා තියෙන්නෙ.” එජාප නිලධාරියෙකු කීවේ එවැන්නකි.

“ඕනම ආයතනයකින් චෝදනා නැති අධ්‍යක්ෂක මණ්ඩලයක් සාකච්ඡාවෙන් සම්මුතියෙන්  මිසක් ඉවත් කරන එක සාධාරණ නෑ. අපි කාටත් මේ සිද්ධිය ආදර්ශයක්. ආණ්ඩුව ඇතුලේ සුහදව බේරාගතයුතු ප්‍රශ්න වලට උසාවි යාමට සිදුවීමත් කණගාටුදායක තත්වයක්” ලක්ෂ්මන් කිරිඇල්ල කී විට සියළුදෙනා ඊට අනුමතිය පලකළේ නිහඬතාවයට ඉඩ සළසමිනි.

Similar Posts