මගමරුවන්ගේ වර්ජන අයිතිය – සිරිසේන රාජපක්ෂ

අප්‍රේල් 09 දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන්නට නියමිතව තිබුණු දුම්රිය වැඩවර්ජනය මුලුමනින්ම අත්හිටවන්නට යෙදුණ බව මේ මොහොතේ ලැබුණු කෙටි පණිවුඩ ප්‍රවෘත්තියකින් කියැවිණ. දුම්රිය සේවක වෘත්තිය සමිති එම තීරණයට පැමිණ ඇත්තේ අමාත්‍යවරයා සමග සාකච්ඡාවකින් පසුවය. අලුත් අවුරුදු සමයේ ගමන් බිමන් යාමට බලාපොරොත්තු වන ජනතාවටත්, දුම්රිය උපයෝගිකරගනිමින් රැකියාවලට යන එන මගී ජනතාවටත් එය සුබ ආරංචියක් වනවාට සැක නැත.

පෞද්ගලික බස් රථ සේවකයන් විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුණු වර්ජනය අසාර්ථකවිය. එය අසාර්ථක වූයේ කිසිදු බාහිර බලපෑමකින් නොවන අතර බස්රථ සේවකයන් වර්ජන තීර්ණ නොතකා සේවයට පැමිණීමෙන් වර්ජනය අසාර්ථක විය. වර්ජනයේ සාර්ථක අසාර්ථක භාවය කුමක් වුව ද මෙරට මගී ප්‍රවාහනයේ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන පෞද්ගලික බස් සේවය පිළිබඳ කතා බහකට මෙය සුදුසු අවස්ථාවක් යැයි සිතේ.

රිය ධාවනයේ දී සිදු කරන වැරදි හතක් සම්බන්ධව දඩ මුදල් ඉහළ නැංවීමට පසුගිය දා ආණ්ඩුව තීරණය කළේය. එසේ දඩ ඉහළ නැංවීම බස් සංගම් ඇතුළු අංශ කිහිපයක් සමඟ සාකච්ඡාවකින් පසුව ගන්නා ලද තීරණයක් බව ද පැවසේ. එම තීරණය අනුව 2017 වසරේ සිට ක්‍රියාත්මක වන්නට නියමිත වූ අදාළ දඩ මුදල ප්‍රතිපත්තිය පෞද්ගලික ප්‍රවාහන අංශවලින් එල්ල වුණු විරෝධය හමුවේ පසු පසට ගත් අතර ඒ ගැන ‍සොයාබලන්නට ජනාධිපතිවරයා විසින් කමිටුවකට බාර කෙරිණ. මෙවර දඩ මුදල් නැංවීම කෙරෙනුයේ ඉන් පසුවය.

වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, බලපත්‍රයක් නැති තැනැත්තකු රිය ධාවනයේ යෙදවීම, අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගවලට රිය ඇතුළු කිරීම, රක්ෂණ සහතික නොමතිව රිය ධාවනය කිරීම ඇතුළු වැරදි හතක් සඳහා මෙවර දඩ මුදල් ඉහළ නංවා තිබේ. බීමත්ව රිය පැදවීම, අධික වේගයෙන් පැදවීම, වමෙන් ඉස්සර කිරීම ආදිය ද ඊට ඇතුළත්ය.

වලංගු රිය බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම සම්බන්ධව පළමුවරට හසුවන්නකුට මෙතෙක් පැවැති රු.3000 – 6000 අතර දඩ මුදල නව ගැසට් නිවේදනය අනුව රුපියල් 25000 – 30000 දක්වා ඉහළ නංවා තිබේ. එකී වරදට දෙවන අවස්ථාවේ දී කොටුවන්නකුට රුපියල් 30000 – 50000 අතර දඩ මුදලක් නියම වනු ඇත.

රියැදුරු බලපත්‍රයක් නොමැති අයකු සේවයේ යෙදවුවහොත් පළමු අවස්ථාව සඳහා රුපියල්  25000 – 30000ත් අතර දඩයක් ද එම වරදම දෙවන වතාවකදිත් සිදුකර හසුවන අයකුට රුපියල් 30000ත් 50000ත් අතර දඩ මුදලකට ලක්වන්නට සිදුවනු ඇත.

මත් පැන් මත් දව්‍ය පානය කර රිය පැදවීමට එරෙහිව මෙතෙක් පැවති දඬුවම වන්නේ රුපියල් 25000ත් 30000ත් අතර දඩ මුදලක් නියම කළ හැකිවීම මාස 12කට ‍නොවැඩි කාලයක් රියැදුරු බලපත්‍රය අත්හිටුවීම සහ ඊට අමතරව මාස තුනකට නොවැඩි කාලයක් බන්ධනාගාර ගතකළ හැකි වීමය. වන ගැසට් පත්‍රය අනුව මත් පැන් හෝ මත් ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නකුට රුපියල් 25000ත් 30000ත් අතර දඩයක් මාස හයකට නොවැඩි බන්ධනාගාරගත වීමත් රියදුරු බලපත්‍රය අහෝසිකිරීම යන දඬුවම් නියම කළ හැකි වේ.

මත් පැන් මත් ද්‍රව්‍ය භාවිත කර සිදු කරන අනතුරක් හේතුවෙන් පුද්ගලයකු මියගියහොත් රුපියල් ලක්ෂයත් එක්ලක්ෂ පනස් දහසක් අතර දඩයක් නියම කිරීමට හැකියාව නව ගැසට් පත්‍රය අනුව හැකිය. විශේෂත්වය වන්නේ මෙතෙක් නීතිගත නොකර තිබුණු දුම්රිය මාර්ගවලට අපරික්ෂාකාරිව රථවාහන ඇතුළත් කිරීම මෙවර වරදක් ලෙස ගැසට් කර තිබීමයි. එහිදී රුපියල් 25000 – 30000ත් අතර දඩයක් නියම කිරීමට අවසර ලැබේ.

ඉහත කරුණු යනු අතපසුවීමකින් සිදුවන වැරදි නොවේ. රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරන කවරකුට වුව ද රියැදුරු බලපතක් ලබාගැනීමට පුළුවන. එසේ තිබිය දී බලපත්‍ර නොමැතිව රිය පැදවීම අනුමත කළ නොහැකි වන්නේ එම තැනැත්තා රිය පැදවීමේ මූලික සුදුසුකම සපුරා නොමැති බැවිනි. රියදුරු බලපත්‍රයක් නොමැති අයකු රිය පැදවීමේ යෙදවීම ද නීතිය උල්ලංඝනය කිරීමක් වනවා සේම රියෙහි ගමන්කරන්නන්ගේත් මගතොට යන එන අයගේත් ජීවිත අනතුරේ හෙළීමක් බව අමුතුවෙන් කිය යුතු නැත.

දුම්රිය හරස් මාර්ගවල දී සිදුවන අනතුරුද මේ වන විට නිරන්තරව අසන්නට ලැබෙන සංසිද්ධියකි. දුම්රිය මාර්ගයේ පයින් යාම පවා නීති විරෝධීව තිබිය දී දුම්රිය මාර්ගය ට අපරීක්ෂාකාරීව රිය ඇතුළු කොට ජීවිත අනතුරේ හෙළීම වරදක් ලෙස නීතිගත නොකර තිබීම ද වරදකි. මෙවර ගැසට් ප්‍රත්‍රය මගින් එම අඩුව සම්පූර්ණ කර තිබීම අගය කළ යුතුය. මෙතෙක් දුම්රිය මාර්ග වල දී රිය අනතුරු සිදු වූ විට කරන්නට යෙදුණේ තාවකාලික ගේට්ටු සවිකිරීම වැනි පැලැස්තර විසඳුම් බව ද මෙහි දී මතක් කළ යුතුය. පෞද්ගලික බස් සේව‍කයන්ගේ විරෝධතාව විශේෂයෙන් එල්ල වී ඇත්තේ, ඉහත ගැසට්ටුවේ සඳහන්වන වමෙන් ඉස්සර කිරීම සහ අධික වේගයෙන් රිය පැදවීම යන වරදවල් සඳහා වන දඬුවම් සම්බන්ධයෙන් බව පෙනේ. ඔවුන් පවසන්නේ වමෙන් ඉස්සර කරන්නටත්, ගියරයට ඔරොත්තු නොදෙන වේගයෙන් රිය පදවන්නටත් පෞද්ගලික බස් රථ රියැදුරන්ට අවසර දිය යුතු බවය. නැතහොත් එම වැරදිවලට හුරතල් දඩයක් ගෙවා ගැලවී යන්නට ඔවුනට අවසර තිබිය යුතුය යන්නය.

මහජන ආරක්ෂාව සඳහා නීති පැනවමට විරෝධය පාන, නීති උල්ලංගනයට අවසර පතන හෝ නීති උල්ලංඝනය කොට සුළු දඬුවමිකින් ගැල වී යාමට අවසර පතන එකම රියැදුරු කණ්ඩායම වන්නේ ලංකාවේ පෞද්ගලික බස්රථ රියැදුරන් වන්නට පුළුවන. ඔවුන්ගේ බාහු බලයට යට වී ආණ්ඩුව ජනතාවගේ ආරක්ෂාව පරදුවට තබන්නේ නම් එය වරදකි.

යම් ආකාරයකින් පෞද්ගලික බස් රථ මෙකී කරුණ හේතුවෙන් වර්ජනයකට යතහොත් කෙටිකාලීනව තමන්ට සිදුවන ගමනාගමන අපහසුව නොතකා එම වර්ජනයට මුහුණ දීමට ජනතාව සූදානම් විය යුතුය.

ගමනක් බිනක් යාමට පෞද්ගලික බස් රියකට ගොඩවන කවර මගියෙකු හෝ මරු කැඳවන වේගයෙන් රිය පදවන්නැයි රියදුරුට කියන්නේ නැත. අධික වේගයෙන් නළා හඬවමින්ද අපරික්ෂාකාරි ලෙස ඉස්සර කරමින් ද බොහෝ පෞද්ගලික බස් රියැදුරන් යෙදෙන කාසි තරගය බොහෝ තැන්වල මගීන් අනතුරට කල්වීමෙන් පදිකයන් සහ මග යනෙන අනෙකුත් රියැදුරන් සහ රිය මගීන් අනතුරට පත්ව, මියගොස්, තුවාල ලැබ, අබාධිතව කෙළවර වන අකාරය අප කොතෙකුත් දැක අත්තෙමු. මෙවර පෞද්ගලික බස් රියැදුරන් එම අයිතිය ඉල්ලා වර්ජනය කරන්නට උත්සාහ ගන්නේ නම් ඊට අවනත නොවීම රජයේ යුතු කමකි. ඊට විරුද්ධ වීම ජනතාවගේ අයිතියකි.

සිරිසේන රාජපක්ෂ

Similar Posts