එකිනෙකින් ඈත්වන බුද්ධාගම හා බුද්ධ දර්ශනය – නිශාන්ත කමලදාස

නොවැම්බර්

29

7:34 පෙ.ව.

admin

බුද්ධාගම මේ රටේ බහුතර ජනතාවක් අදහන ආගම ය. හොඳට හෝ නරකට මෙය, බෞද්ධයන්ගේ ජීවිත වලට පමණක් නොව, මුළු රටටම බල පා ඇති බව නොපිළිගන්නා කෙනෙක් නැතැයි අපේ හැගීම ය. ප්‍රශ්නය මෙහි බල පෑම සාධනීය ද නිශේධනීය ද යන්න ය. උත්තරය ඇතැම් කාරණා සම්බන්ධයෙන් එය සාධනීය වී ඇති අතර ඇතැම් කාරණා සම්බන්ධයෙන් එහි බලපෑම නිශේධනීය යන්න ය.

බුද්ධාගම ගැන එවැනි ප්‍රශ්නයක් තිබුණ ද බුද්ධ දර්ශනය නම් පැහැදිලිවම සාධනීය දර්ශනයකි. අප එසේ කියන්නේ එය නිශ්චිතවම සාමයේ පණිවුඩය හා මෛත්‍රියේ ආශිංසන ගෙන එන බැවිනි. සැනසුමේ සුවය එය ගෙන එන බැවිනි. ලෝකයේ වඩාත් ගෞරවය ලබමින්, සංවාදයට ලක්වෙමින්, තිබෙන දර්ශනයක් ලෙස නොබියව බුද්ධ දර්ශනය හැඳින්විය හැකි ය. ඕනෑම දෙයක් මෙන් ම ඒ ද කොන්දේසි සහිතව ය. හරි තැනින් අල්ලා ගත හොත් ය.

දර්ශනය යහපත් වෙන්නටත් ඒ මත ගොඩනැගුණු ආගම ප්‍රශ්නයක් වන්නටත් හේතුවක් තිබේ ද? මේ ගැන විමසන අපට අතුරු ප්‍රශ්න ගණනාවක් මුණ ගැසේ.

බුද්ධාගම හා දර්ශනය එකක් ද දෙකක් ද? එය එකිනෙක පෑහෙන දෙකක් ද? නැතිනම් එකිනෙක බැහැර කරන දෙකක් ද? බුදුන් වහන්සේගේ අපේක්ෂාව ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශයට පත් ව ඇති බුද්ධාගම තුළින් ඉටු වේ ද? උන් වහන්සේගේ දර්ශනය මේ තුළ දක්නට ලැබේ ද? උන් වහන්සේ දෙසූ දහම මේ තුළ ක්‍රියාත්මක වේ ද? නැතිනම් ඇතැමුන් කියන විදිහට එයින් ප්‍රකාශ මාන වන්නේ එහි ප්‍රතිවිරුද්ධය ද?

හොඳින් විමසන කෙනෙකුට පෙනෙන්නේ බුදුන් දෙසූ දහම ශ්‍රී ලංකා වාසීන් විසින් තමන්ට උචිත පරිදි වෙනස් කර ගෙන තිබෙන බව ය. එය වැඩි මනත් කොට යෙදවෙන්නේ නිශ්චිත අනන්‍යතාවයක් සළකුණු කිරීම සඳහා මිසක ජීවිතය සකස් කර ගැනීමට නොවේ. ඒ නිසා ම එය චාරිත්‍ර වාරිත්‍ර කීපයකට ලඝු කොට තිබේ. එය සංස්කෘතික කටයුත්තක් ලෙස අපේ ජන මනස තුළ ස්ථාන ගත ව තිබේ.

මෙය නිකම් ප්‍රකාශ කර මදි ය. කරුණු ඇතිව විමසිය යුතු ය.

තමන් හිසට තම අතමය සරණ (අත්තාහි අත්තනෝ නාථෝ) යන දහම දෙසූ බුදුන්ට පිට දුන් බෝධිය කිරි කලවලින් නාවා විභාග පාස් කරවන්නට උදව් කරන ලෙස අප ඉල්ලන්නේ මේ පරස්පරය නිසා ය.

කුල බේදය ප්‍රතික්ෂේප කළ දහමක් දෙසූ බුදුන්ට පිටු පා කුලය වටා එක් එක් නිකාය තුළ සංඝයා ගොනු කරන්නේ ඒ නිසා ය. එක කුලයක මිනිසුන් යන පන්සලක වෙනත් කුලයක මිනිසුන් පා නොතබන්නේ ඒ නිසා ය. කුල හීන ගෙදරක දනකට ලැබෙන ආරාධනයක් පවා ඇතැම් හාමුදුරුවරුන් බාර නොගන්නේ ඒ නිසා ය.

පොත පතේ තිබෙන පලියට හෝ ශාස්තෘත් වහන්සේ විසින් කියන ලද පලියට යමක් බාර නොගත යුතු යැයි දෙසූ බුදුන්ට පිටුපා අප කියන මතයම පිළිගන්නට යැයි බල කරමින් ජන ඝෝෂා පවත්වන ස්වාමීන් වහන්සේලා රට තුළ ඉන්නේ ද ඒ අනුව ම ය. මහත් ආඩම්බරයෙන් සංඝ “ආඥාවන්“ පන වන්නේ ඒ නිසා ය.

සැමට මෛත්‍රිය පතුරුවන්නට උපදෙස් දුන් බුදුන්ට පිටුපා යමින් වෙනත් ආගමිකයන්ගෙන් “ගේම“ ඉල්ලමින් කෑ කෝ ගසන ස්වාමීන් වහන්සේලා ඉන්නේ ද ඒ අනුව ය. තුන් සරණය වෙනුවට ඔවුන්ට අබ සරණ පතන්නේ ඒ අනුව ය.

බුද්ධ වංශයේ සිරිතක් ලෙස බුදුන් අනුදැන වදාළ පිණ්ඩපාතේ වඩිනවා වෙනුවට ආරාධනා කළ දානයට බණට වඩින්නටත් වාහන ඉල්ලීමෙන් නොනැවතී එයට අනුපාන හැටියට තමන් වහන්සේලා ගෙන එන ශබ්ද විකාශන යන්ත්‍ර ද ඇතුළත්ව මුළු කටයුත්තට ගණන් හිලවු ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේලා ඉන්නේ ද ඒ අනුව ය.

උස් ආසන මහා ආසන ප්‍රතික්ෂේප කරනු වෙනුවට මැණික් ඔබ්බන ලද පුටු වල වාඩි වන්නට ඇතැම් ස්වාමීන්වහන්සේලාට දොළ දුක් පහළ වෙන්නේ ද ඒ අනුව ය.

අල්පේච්ඡතාවය ගැන දෙසමින් මහා මන්දිර ගොඩ නගන, මොන්ටෝරේ බී ඇම් ඩබ්ලිව් වැනි අධි සුඛෝපභෝගී වාහන භාවිතා කරන, ස්වාමීන්වහන්සේලා ගෙන් අඩුවක් නැත්තේ ද ඒ අනුව ම ය.

බණ වල දී අඩුවක් නැති ව සංඝයාට දෙන දානයේ උපරිම ආනිශංස ඇතැයි ඇහෙන්නේ ද ඒ ආකාරයට ම ය.

එක කඨිනයකට අලියෙක් යොදා ගත්තොත් ඊළග වතාවේ ඇත්තු ගණනාවක් යොදා ගන්නට වලිකන උපාසක මහත්තුරු නෝනලා ඇති වන්නේ ද, තරගයට ස්වාමීන්වහන්සේලා ට දන් දීම හරහා උන් වහන්සේලා ලෙඩ කරන උපාසක උපාසිකාවන් පිරිසක් බිහිව ඇත්තේ ද, ඒ අනුව ය.

බණ ඇහුවහම ප්‍රමාණවත් බවත් ඒවා පිලිපැදීම එහෙමකට අවශ්‍ය නැති බවත් අමතර වශයෙන් කළ යුත්තේ සෙස්සන්නට ද බණ ඇසීමට අවස්ථාව සළසා දීම බවත් බොහෝ දෙනාගේ පිළිගැනීම ය. ධර්ම දානය පින් රැස් කර ගත හැකි මගක් නිසා ම බණ පොත් දහස් ගණනින් මුද්‍රණය කරනා බැතිමතුන් සිටියත් ඒ පොත් කියවන මිනිසුන් අඩුවෙන් ඇත්තේ ඒ නිසා ය. අප එසේ කියන්නේ ඒවා කියවන බව මේ දහම් පඩුරු බෙදන අයගේ හැසිරීමෙන් නොපෙනෙන නිසා ය. අනුන්ට ඇසෙන්නට ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිතා කොට බණ ප්‍රචාරණය කරතත් එසේ කරන අය පවා බණ අහන්නේ නම් අඩුවෙන් ය. බණ නෑසුවාට ධර්මය දානය කිරීමෙන් ලැබෙන පිනෙන් සෑහිමකට පත් වීමට මේ අය කැමති ය.

මේ ලයිස්තුව තව දිග ය. ඒත් අපගේ සාකච්ඡාවට මේ කෙටි ලයිස්තුව පවා ප්‍රමාණවත් ය. මෙයින් කියවෙන්නේ බහුතර ජනතාව බුද්ධ දර්ශනය ගැන එහෙමට උනන්දුවක් නැති බව ය. එහෙත් මේ අතර ඉතා උනන්දුවෙන් ධර්මය කියවන බණ අසන භාවනාවේ පවා නිරත වන කණ්ඩායමක් ද ඇත. මේ දෙවැනි අය සමන්විත වන්නේ  “උගතුන්“ ගෙන් ය.

බුද්ධාගම ජනතාවගේ පොදු ව්‍යවහාරය වන විට බුද්ධ දර්ශනය සීමා සහිත උගතුන් පිරිසකගේ ව්‍යවහාරයට සීමා වී තිබේ ද?

මෙයම වරෙක මාර්ටින් වික්‍රමසිංහ ද  ලියා තිබුණා මතක ය. වික්‍රමසිංහයන්ට අනුව ගැමියා බුද්ධාගම දුටුවේ සංකර ගති ඇති නාගරිකයා එය දුටු විදිහට නොවේ. වඩා ප්‍රායෝගිකව ය. තර්ක බුද්ධියෙන් නොව භක්තියෙන් ය.

බැලූ බැල්මට නම් එහෙම ය. එහෙත් මේ උගතුන් පවා ධර්මය අල්ලා ගෙන ඇත්තේ වැරදි කොනකින් බව හොඳින් බෑලූ විට පෙනේ. ඒ කියන්නේ ඔවුන් ද මෙය අල්ලා ගෙන ඇත්තේ විශ්වාසයන් කෙරෙහි නොවිමසා ඇති කර ගන්නා ඇලීම හරහා බව ය. ඒ නිසා ම රටට ඒ මගින් ඇති කර ඇති හානිය දරුණු ය. ඔවුනට අනුව ධර්මය හැර අන් සියල්ල අත්හැරිය යුතු ය. නිවන හැරෙන්නට කිසිවක් පසුපස හඹා නොයා යුතු ය. ඉතින් මෙසේ ධර්මය තේරුම් ගන්නා තැනැත්තා කරන්නේ අන් බොහෝ කටයුතු වලින් දුරස් වීම ය. උදේ හවස බණ ඇසීම ය. ධර්ම  සාකච්ඡාවේ යෙදීම ය. ජීවිතය බණට දිය කර හැරීම ය.

මේ හේතුවෙන් බොහෝ පවුල් දෙකඩ වී තිබේ. දරුවන් අනාථ වී තිබේ. ඇතැම් දරුවන් ආගමෙන් මුළුමණින් ම බැහැර වී තිබේ. සමාජයට වැඩ දායක කිසිත් නොකර තම විමුක්තිය ගැන ම පමණක් කල්පනා කරන නිකමුන් බිහි ව තිබේ.

ධර්මය තියෙන්නේ ජීවිතයෙන් ඈත් වීමට නොවේ. ජීවිතය නිසි පරිදි ගෙන යෑමට ය. සැනසුම ලබා ගැනීමට ය. ගැටළු විසඳා ගැනීමට ය. ආතතිය තුනී කර ගැනීමට ය. එහෙත් සිදු ව ඇත්තේ නව ගැටළු ඇති කර ගැනීම ය. ආතතිය වැඩි කර ගැනීම ය.

බුද්ධ දර්ශනය හරිහැටි විමසුවොත් පෙනී යන්නේ ප්‍රශ්නයේ ඇත්තේ හඹා යෑමේ නොවේ. නොලැබුනහම ඇති වන කණගාටුවේ ය. ශෝකයේ ය. පශ්චාත්තාපයේ ය. නැතිනම් හඹා යෑමේ දී ඇති කරගන්නා ආතතියේ ය. ඒ සඳහා අහිමි කරගන්නා දහසක් වඩා වැදගත් දේ තුළ ය. ඒ සඳහා කරන්නා අකටයුතුකම් වල ය.

ප්‍රශ්නය ඇත්තේ යමක සෞන්දර්ය දැක එය අගය කිරීමේ නොවේ. එයට ඇලී ජීවිතයම අවුල් කර ගැනීමේ ය. ප්‍රශ්නය ඇත්තේ එය අයත් කර ගැනීමේ නොවේ. ඒ සඳහා කරන දහසක් ජුගුප්සා ජනක වැඩ වල ය.

එහෙත් මේ වෙනස දකිනු වෙනුවට සියල්ල අත්හැරීම තුළ හා සරල අපේක්ෂා තුළ ගිහියන් හිර කිරීම තුළ ව්‍යවසායකයන් බිහිකර ගැනීම අපහසු ය. සිංහල බෞද්ධ ව්‍යවසායකයින් අඩු විමට පවා මේ තත්වය බල පා ඇතැයි මතයකි.

විශේෂයෙන් ථෙරවාද බුද්ධාගමට අයත් භික්ෂූන් වහන්සේලා දෙසන බණ නිසා ම එය ප්‍රචලිත රටවල් මහායාන බුද්ධාගම අනුගමනය කරන ජපානය කොරියාව චීනය වැනි රටවලට සාපේක්ෂව පසුබෑමකට ලක් ව ඇතැයි මතයක් ඇත්තේ ද මේ නිසා ම විය යුතු ය.

බුද්ධාගම හා බුද්ධ ධර්මය ගැන සාකච්ඡාවේ දී ඊට නව මානයක් එක් කරන නලින් ද සිල්වා මහතා කියන විදිහට ජන මනස තුළ දුටුගැමුණු බුද්ධාගම ස්ථාන ගත වන විට ඉහළ පෙලැන්තිය තුළ එය ස්ථාන ගත වන්නේ ඕල්කට් බුද්ධාගම ලෙස ය.

දුටු ගැමුණු බුද්ධාගම “සිංහල බුද්ධාගම“ ය. “ශාක්‍ය බුද්ධාගම“ක් ගැන කතා නොකළ බුදුන් වහන්සේටත් මග හැරුණු දෙය අප විසින් මෙසේ අපේ රට තුළ සාක්ෂාත් කර ගෙන තිබේ. එය හිට ගන්නේ “ජාත්‍යන්තර“ ඌරුවක් උරුම කරගන්නා ඕල්කට් බුද්ධාගමට එරෙහි ව ය.

සාමාන්‍ය ජනයා සිංහල බුද්ධාගම් කාරයින් වන විට උගතුන් ජාත්‍යන්තර බුද්ධාගම් කාරයින් වන්නේ එලෙස ය. සාමාන්‍ය ජනයා ගලගොඩ අත්තේ ඥානසාර රෞද්‍ර වෙසින් කියන බණ තුළ අබ සරණ සොයන විට උගතුන් අජාන් බ්‍රහ්ම වංශ හිමියන් සිනහ මුසු මුහුණින් කියන  බණට ආකර්ෂණය වන්නේ ඒ නිසා ය.

ඉදින් ඒ නිසා දුටුගැමුණු බුද්ධාගම යෙදෙන්නේ තිසරණ සරණ නොයන මිනිසුන් නොමිනිසුන් ලෙස දැකීමට ය. උන් පහත් කොට සැළකීමට ය. සතුරන් ලෙස දැකීමට ය. උන් වෙත මෛත්‍රිය වෙනුවට වෛරය පැතිර වීමට ය. උන්ට තර්ජනය කිරීමට ය. උන් බිය වැද්දීමට ය. උන් එලවා දැමීමට ය.

එහෙම බැලුවහම මේ බෙදුම් ඉර ඉතා පැහැදිලි ය. අනිත් පැත්තෙන් බැලුවහම දෙපැත්තේම අය දර්ශනය අල්ලා ගෙන ඇත්තේ දෙපැත්තකින් වුව ද ඒ දෙකම වැරදියට ය. ඒ නිසා ම අවසාන ප්‍රතිඵලය අයහපත් ය. එය බුදුන් අපේක්ෂා කළ දෙයෙහි ප්‍රතිපක්ෂය ආකාර දෙකකින් නිර්මාණය කරමින් තිබෙන නිසා ය.

අප එළඹෙමින් තිබෙන්නේ සිංහල බුද්ධාගම, දුටු ගැමුණු බුද්ධාගම, පමණක් නොව ලංකාවේ විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වන විවිධ බුද්ධාගම් වර්ග ද ප්‍රශ්න කළ යුතු තැනක ය. බුද්ධ දර්ශනය ලෙස දක්වන, ගැටුම් හා ගැටළු ඇති කරන, පවතින ප්‍රචලිත දර්ශනය බුදුන්ගේ සැබෑ දර්ශනය මතු කරමින් ප්‍රශ්න කළ යුතු සමයකට ය.

රටක් හැටියට ඉදිරියට යෑමට නම් මේ ධර්ම සංවාදය ඉදිරියට ගත යුතු ය. බුද්ධ ධර්මයේ නාමයෙන්, බුද්ධාගමේ නාමයෙන්, අප මත පටවා ඇති මනස්ගාත ඉවත් කර, පැත්තකට දමා ඇති සැබෑ බුදු දහම දූවිලි ගසා සුද්ධ කොට ගත යුතු ය.

යුරෝපයට එක් කලෙක ඉදිරියට යන්නට උදව් කළ පුනරුද ව්‍යාපාරය වැනි ව්‍යාපාරයක් ලංකාව තුළ ද බිහිවිය යුතු ය. කතෝලික පල්ලියේ ආධිපත්‍ය ප්‍රශ්න කළ ප්‍රොතෙස්තන්ත වරුන් මෙන් බුද්ධාගමේ රදළ ආයතන ව්‍යුහය ප්‍රශ්න කරන, රදළ ආගමික නායකත්වය ප්‍රශ්න කරන, ව්‍යාපාරයක් සංඝයා තුළින් මතු විය යුතු ය.

ගම තුළ උත්පත්තිය ලබා, නගරය තුළ ද හොල්මන් කරන, බොරු පූජනීයත්වයෙන් සළකන ග්‍රාමීය බුද්ධාගම වෙනුවට සැබෑ බුදු වදන් මත පදනම් වූ බුද්ධ දර්ශනය යලි පිහිටවිය යුතු ය. අන්ධ බැතිය වෙනුවට තාර්කිකව විමසන බුදු දහමකට මග හෙලි කළ යුතු ය.

මෙය අතිශයින් දුෂ්කර කටයුත්තකි. පළමුව රටට ව්‍යවස්ථාවක් වත් අවශ්‍ය නැතැයි ප්‍රතික්ෂේප කරන භික්ෂූන් වහන්සේලා පිරිසක් ශාසනයේ ක්‍රියාකාරකම්වල වෙනසක් ඇති කළ යුතු යැයි සිතන තැනකට ගෙන ඒම ම අභියෝගයක් නිසා ය.

එහෙම විවෘත සංවාදයකට ඉඩක් වේදිකාවක් මේ රටේ නැත. එය වෙහෙස වී හදා ගත යුතු එකකි. ඒ සඳහා ඉඩක්, අවදානම ගැනීමට බිය, කිසි දු මාධ්‍යයකින් නම් ලැබෙන එකක් නැත.

එහෙම විමසීමේ පුරුද්දක් ද මේ සමාජයට නැත. ධර්ම දේශනා මිසක ධර්ම සාකච්ඡා මෙහි නැත. කලාතුරකින් තියෙන ධර්ම සාකච්ඡාවක දී පවා සැක සාංකා මතු කළ නොහැකි ය. දෘඩ විශ්වාසයන්ගෙන් බැහැර විය නොහැකි ය. කළ හැක්කේ ප්‍රශ්න ඇසීමත් එසේ කළ විට දෙන උත්තරය සාවධානව අසා සිට අවසානයේ නිහඩව බාර ගැනීමත් පමණ ය. ලැබෙන උත්තරය විමසන්නට එය ප්‍රශ්න කරන්නට ඉඩක් මේ සාකච්ඡා තුළ නැත. එසේ කරන අය මිත්‍ය දෘෂ්ඨිකයන් බවට නම් කර අවමානයට පත් කරන බැවින් ඉන් පසු ප්‍රශ්න අසන්නට ධෛර්යය ඇති මිනිසුන් සොයා ගත නොහැකි ය.

ආගම අන්ධ භක්තියෙන් අදහන අය ද ආගම හරහා පෞද්ගලික අපේක්ෂා ඉටු කර ගත හැකි යයි විශ්වාස කරන අය ද සම්ප්‍රදායෙන් අඟලක් හෝ බැහැර වන්නට අකමැති, එය විමසීමට පවා අකමැති අය ද, ආගම සිය දේශපාලන ව්‍යාපෘති සඳහා යොදා ගන්නා අය, ද ආගම තුළින් බැබලීමට උත්සහ කරන උපාසක මහත්ම මහත්මීන් ද, වශයෙන් විවිධ පාර්ශවයන් මේ විමසීමට එරෙහිව පෙළ ගැසෙනු ඇත.

ඔවුන්ගේ කර්කශ විවේචනයන්ට අමතරව තර්ජනයන්ට ද මුහුණ දීමෙන් තොරව මෙවැනි සංවාදයක් කර ගෙන යා නොහැකි ය. යම් කුඩා හෝ ඉඩක් අතීතයේ තිබුණා නම් ඒ ඉඩ ද දැන් අඩු ව තිබේ. ගැටළුව ඇත්තේ එතැන ය. විසඳීම ඇත්තේ එය අතික්‍රමණය කළ හැක්කේ කෙසේ දැයි සොයා ගැනීම තුළ ය.

නිශාන්ත කමලදාස

අදහස්


එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *