අපේ සිහින ආයතන – නිශාන්ත කමලදාස

සැප්තැම්බර්

5

7:44 පෙ.ව.

admin

 අප දකින බොහෝ ආයතන තිබෙන්නේ ආයතන උදෙසා ය. ඒ ආයතනවලින් සේවාලාභින් ට හෝ සේවකයන්ට වැඩක් නැත. ඇතැම් විට එහි අයිතිකරුවන්ට ද ආයෝජකයන්ට ද වැඩක් නැත. කොටින්ම ඇග මස් ලේ ඇති අයට වැඩක් නැත. ආයතන ආයතන උදෙසා ය. මිනිසා උදෙසා නොවේ.

ඇතැම් ආයතන තිබෙන්නේ එහි අයිතිකරුවන්ගේ වුවමනාවට ය.කළමනාකරුවන්ට,සේවකයන්ට හෝ සේවාලාභින්ට එයින් පලක් නැත. තරගය අවම වන වටපිටාවක වැඩිමනත් පෞද්ගලික ආයතන වැටෙන්නේ මේ ගණයට ය.

ඇතැම් ආයතන තියෙන්නේ එය මෙහෙයවන කළමනාකරුවන්ගේ වුවමනාවන් සපුරන්නට ය. ආයෝජකයන්ගේ මුදලින් ද සේවකයන්ගේ වෙහෙසින් ද සරු ඵල නෙළන්නේ ඔවුන් ය.ඇතැම් පල්ලි පන්සල් කෝවිල් වැටෙන්නේ මේ ගණයට ය. ඇතැම් රාජ්‍ය ආයතන ද වැටෙන්නේ මේ ගණයට ය.

සිව්වෙනි වර්ගයට අයත් ආයතන තිබෙන්නේ සේවකයන් උදෙසා ය.ඔවුන්ට ජීවනෝපායක් ලබා දීමට ය.සේවා ලාභියා දෙවැනි ය. කළමනාකරුවන් ඒවායේ සේවකයන්ගේ සිරකරුවන් ය.ආයෝජකයන් ඉන්නේ සියල්ල සන්සුන් වෙතැයි සිතා ඉවසා සිටීමට ය.ආයෝජකයන් මේ රටේ ජනතාව වන ඇතැම් රාජ්‍ය ආයතන වැටෙන්නේ මේ ගණයට ය.

වරප්‍රසාද අහිමි පිරිස

මේ සෑම එකකම තිබෙන පොදු ලක්ෂණය නම් එක් පාර්ශ්වකරුවෙකුගේ වුවමනාවන් වෙනුවෙන් ආයතන පැවතීම ය. සෙසු අයට ඒ අය වෙනුවෙන් සැදී පැහැදී සිටීමට සිදු වීම ය.දෙවැනි කී වරප්‍රසාද අහිමි පිරිස මේ ආයතන තුළ ගාල් කර තබන්නේ කෙසේ ද? ඒ සඳහා අනුගමනය කරන උපක්‍රම රාශියකි. එකක් කෙළින් ම බලය යෙදවීම ය. දෙවැන්න තෝරාගත් නායකයන් කීප දෙනෙකුට වරදාන ප්‍රදානය කොට ඔවුන් ලවා සෙසු අයට බලය යෙදවීම ය. තෙවැන්න ඉවත්ව යන කෙනකුට වෙන තැනක් විවෘත කර ගැනීම පහසු නොවන විදිහට දැලක් එලීම ය. සිව් වැන්න ඉදිරියේ ලැබිය හැකි වරප්‍රසාද පෙන්නා මුළා කිරීම ය. පස්වැන්න තමන් පෙනී සිටින්නේ ඉහළ අරමුණක් වෙනුවෙන් බව පෙන්වා ඒ වෙනුවෙන් කැප වන ලෙස ඉල්ලා සිටීම ය.මේ ලයිස්තුව තව දිග ය.බලය වංචාව කපටිකම ඈ සියල්ල යොදවා දමන දහං ගැටවලින් ද උප්පරවැට්ටිවලින් ද සමන්විත ය. අසමතුලිත ඕනෑ ම දෙයක් පවත්වා ගෙන යා යුත්තේ මුක්කු ගැසීමෙනි. මේ ආයතන පවතින්නේ ද ඒ මුක්කු නිසා ය. මුක්කු ගැලවුන විට හෝ ගලවා දමනු ලැබූ විට ඒවා අර්බුදයට යන්නේ ය.

රැකියා වියුක්තිය තියෙන තාක් කල් සේවකයන් මේ ඕනෑම අට මගලයක් භාවිතයෙන් හිර කිරීම පහසු ය.පැහැදිලි තරගයක් නැති තාක් සේවාලාභීන් තමන් වෙත රඳවා ගැනීමට ද හැකි ය. ආයෝජකයන් අවදානම් දැරීමට බිය වන තාක් සේවකයන්ට සිය ගලග්‍රහණය පවත්වා ගෙන යා හැකි ය.

ඒ නිසා ම මේ ආයතනවලට තාවකාලික පැවැත්මක් තිබේ. එහෙත් දිගු කාලීනව මේ තත්වය පවත්වා ගෙන යෑම අසීරු ය. විශේෂයෙන් ගෝලීයකරණයට ලක් වූ ලෝකයක මෙසේ එක් පාර්ශ්වකරුවෙකු වෙනුවෙන් ආයතන පවත්වා ගෙන යෑම අසීරු ය. සමහර රාජ්‍ය ආයතන වැසෙමින් ඒ වෙනුවට පුද්ගලික අංශයේ ආයතන ඇතිවන්නේ ඒ අනුව ය. පැරණි පුද්ගලික ආයතන වැසී නව පන්නයේ පුද්ගලික ආයතන හිටි හැටියේ මතුවන්නේ ද ඒ අනුව ය.

පාර්ශවකරුවන් වෙනුවෙන්

අපේ සිහින ආයතන සමතුලිත ය. එක් පාර්ශවකරුවෙකුගේ වුවමනාවන් උපරිම ලෙස ලබා දීම වෙනුවෙන් නොව සියලු පාර්ශවකරුවන්ගේ වුවමනාවන් තුලනය කරමින් සාධාරණව ලබා දීම වෙනුවෙන් එම ආයතන පෙනී සිටියි. ඒ නිසා ම එවැනි ආයතන ලෙහෙසියෙන් සෙලවිය නොහැකි ය. ඒවා ඒ අයුරින් පවත්වාගෙන යන තාක් කිසිවෙකුටත් බිම හෙලිය නොහැකි ය. නායකත්වය අවශ්‍ය මේ තුලනය දිගින් දිගට පවත්වා ගෙන යෑමට ය. අපේ සිහින ආයතන තුළ එසේ තුලනය පවත්වා ගෙන යා හැකි නායකයෝ සිටිති.

එවැනි ආයතන තුළ සේවකයෝ සේවා ලාභීන්ගේ වුවමනාවන් වෙනුවෙන් ද තම ආයෝජකයන්ගේ වුවමනාවන් වෙනුවෙන් ද තම වුවමනාවන් තරමට ම නැත්නම් ඊටත් වැඩියෙන් පෙනී සිටිති. අපේ සිහින ආයතන තුළ තමන්ගේ වෘත්තීය වැඩ ලයිස්තුවෙන් ඔබ්බට ගොස් විශාල වගකීම් දරමින් ඒ සඳහා කැප වෙති. නායකයන් විධාන දෙන තෙක් නොසිට ඇතැම් අවස්ථාවල නායකයන් ද අවදි කරමින් තම මෙහෙය කර ගෙන යති. වියදම් කපා හරිමින් නාස්තිය අවම කර ගැනීමට යෝජනා ගෙන ඒමෙන් නොනැවතී ඒවා සාක්ෂාත් කර ගැනීමට පුද්ගලිකවම ද ඔවුහු කැප වෙති. සේවා ලාභීන්ට සේවය ලබා දීමේ දී ඔවුන් අමන්දානන්දනයට පත් කරමින් ඔවුන්ගේ අභිලාෂයන් ඉක්මවා වඩාත් හොඳ සේවාවක් ලබා දීමට කැප වෙති.

මෙවැනි වටිනා ආයතනයක සේවය කරන්නට ලැබීම ම අනගි අවස්ථාවක් ලෙස සලකන නිසා ම ආයතනයේ පැවැත්ම වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට ඔවුන් සූදානම් ය.

කකුලෙන් ඇදීමක් නෑ

තමන්ගේ සගයින්ගේ අඩුපාඩුකම් පවා නිවැරදි කරමින් ඔවුන් ආයතනය වෙනුවෙන් වැඩ කිරීමට පොළඹවාලීම ද තම වගකීමක් ලෙස බහුතර සේවකයන් විසින් සලකනු ලබන නිසා ම අඩුපාඩුකම් ඇති සේවකයෝ පවා එම අඩුපාඩු හදා ගැනීමට උත්සුක වෙති.

සේවකයන් අතර ඇත්තේ එකිනෙකා කපා ගන්නා ම්ලේච්ඡ තරගයක් නොව සහෝදරාත්මක තරගයකි. එකිනෙකාට උදව් කරනු පිණිස ඔවුහු තරග වදිති. ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ ද මේ සහයෝගය දිරිමත් කරන ලෙස සකස් වී තිබේ. හැම කෙනකුටම ඉදිරියට යා හැකි නිසා අනෙකාගේ කකුළෙන් ඇදීමට ඉදිරිපත් වන මිනිසුන් නැත. එවැනි අයට ආයතනය තුළ පැවැත්මක් නැති ලෙස ආයතනයේ සංස්කෘතිය සකස් වී ඇත.

සේවකයන්ගේ දැනුම කුසලතා හා ආකල්ප දියුණු කර ගැනීමට නිරන්තර මැදිහත්වීම් කරනු ලැබේ. ඒ සඳහා විධිමත් පුහුණු වැඩසටහන්වලට අමතරව වෙනත් මාධ්‍යයන් ද උපයෝගී කර ගනු ලැබේ. ඔවුනට එකිනෙකාගෙන් උගැනීමට ද ඉඩ සලසා තිබේ. නිර්නාමිකව ද නාමික ව ද නිර්මාණ ඉදිරිපත් කළ හැකි, යෝජනා හා ප්‍රශ්න ඉදිරිපත් කළ හැකි, කළමනාකාරිත්වයේ පාලනයෙන් තොර, නිදහස් බිත්ති පුවත්පතක් ආයතනයේ විවේකාගාරය තුළ හෝ ඕනෑම සේවකයෙකුට/ කළමනාකරුවෙකුට පිවිසිය හැකි අභ්‍යන්තර අන්තර්ජාලය තුළ හෝ තිබේ.

දියුණුව වගකීමක් ලෙස

වඩා දක්ෂතා තියෙන අයට විශේෂයෙන් ඒවා භාවිතා කර වැඩ සංවිධානය කරන වැඩෙහි යෙදෙන අයට වැඩි ප්‍රතිලාභ හිමිවන ආයතන වටපිටාවක් පැවතීම නිසා දක්ෂතා ලබා ගැනීමට උත්සුක වන සේවකයන් ද ප්‍රමාණයෙන් වැඩි ය.

සේවකයන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය නිසි ලෙස පවත්වා ගෙන යෑම කෙරෙහි ද ආයතනයේ කළමනාකාරිත්වය උනන්දු ය. ආයතනය තුළ හෝ ඉන් පිටත ඒ සඳහා අවශ්‍ය පහසුකම් (ව්‍යායාම් ශාලා, ක්‍රීඩාංගන, යෝග සැසිවාරයන් යනාදිය) ලබා දීමට ඒ නිසා ම කටයුතු යොදා තිබේ.

සේවා ලාභීන්ට අවම හිරිහැරයක් වන ලෙස ආයතනයේ සියලු වැඩ කටයුතු සංවිධානය කර තිබේ. පෝලිම්වල පැය ගණන් හිටගෙන සිටීමට ඔවුන්ට සිදු නොවේ.සේවාලාභීන් අධිකව ගැවසෙන දිනක වුව ද පොරකෑමෙන් තොරව සේවාව ලබා ගත හැකි සේ පැමිණි පිළිවෙලට ලද අංකය අනුව කැඳවුම් කරන කවුන්ටර ක්‍රමයක් ක්‍රියාත්මක වේ. තම අංකය කැඳවනු තුරු වාඩි වී සිටිය හැකි සැප පහසු ආසන ද සපයා තිබේ.

සේවකයන්ගෙන් හා කළමනාකාරිත්වයෙන් ලැබෙන අද්විතීය සේවය නිසා ම සේවාලාභීන් ආයතනයට පක්ෂපාත ය. ඔවුන්ගේ ඕනෑම දුක්ගැනවිල්ලකට සංවේදීව සවන් දීමට සේවකයන් සූදානම් නිසා ම සේවාවේ තත්ත්වය දිනෙන් දින දියුණු වේ.

ඒ නිසා ම සේවාලාභීන් ආයතනයට අනුග්‍රහ දක්වමින් ආයතනයේ තිරසාර පැවැත්ම සහතික කිරීමට පේවී සිටිති. මෙවැනි ආයතනයක් පැවතීම ම තමන් ලද ආශිර්වාදයක් ලෙස ඔවුහු සලකති. ඒ නිසා ම ආයතනය පවත්වාගෙන යෑම හා දියුණු කිරීම තම වගකීමක් ලෙස සලකති. ආයතනයේ සන්නාම තානාපතිවරු ලෙස ඔවුහු ඉල්ලීමක් නැතිව ම, ගෙවීමක් නැතිව ම, කටයුතු කරති. ආයතනයේ කීර්ති නාමය සිය සබඳතා ජාලය සිසාරා විසුරුවා හරිති.

සේවය ලබා ගැනීමට ආයතනයට පිවිසෙන කවරෙකුට වුව එය තමන්ගේ ආයතනයක් ලෙස දැනේ. එක් ආගමකට අයත් සංකේත, පිළිරූ, ප්‍රතිමා ඒ තුළ ප්‍රදර්ශනය කර නැත. ආගමික හෝ ආයතනික කටයුතු (බණ, පිරිත්, දාන, යාඥා, රැස්වීම්) උදෙසා සේවා සැපයීම අඩාල කරන්නේ නැත. ඒවායේ යෙදෙන්නේ නම් ඒ සේවා කාලයෙන් බාහිරව ය. මේ නිසා ද ආයතනය විවිධ සේවාලාභීන් අතර අපක්ෂපාතී ආයතනයක් ලෙස නමක් දිනාගෙන තිබේ.

කළමනාකරුවන් සේවකයන්ට සලකන්නේ සිය සගයන්ට මෙන් ය. ඔවුන්ගේ අදහස් ද කළමනාකරිත්වයේ අදහස් තරමට ම වැදගත් කොට සැලකේ. සේවකයන් ඉදිරිපත් කරන අදහස් හැකි තාක් දුරට යොදා ගැනීමට කළමනාකාරිතක්වය උත්සුක වේ. ඒ හරහා වඩ වඩා අදහස් ඉදිරිපත් කිරීමට ඔවුන් විසින් සේවකයන්ට දිරි දෙනු ලැබේ. එවැනි අදහස් මතු කර යොදා ගන්නා කළමනාකරුවන්ට විශේෂ අගැයීමක් ආයතනය තුළින් ලැබේ. ඒ නිසා ම ඔවුන් සේවකයන්ගේ අදහස් ගැන වඩාත් සංවේදී වෙයි.

ආයතනයේ ලාභ බෙදා ගැනීමේ දී ද සේවකයන් සම්බන්ධයෙන් කුඩම්මාගේ සැලකිලි නොදැක්වීමට ඔවුන් කටයුතු කරන නිසා ම සේවකයන් හා කළමනාකරුවන් අතර ඇත්තේ සහෝදර බැම්මකි. දෙපිරිසම පංගු බේරුවක් නැතිව වැඩ කරමින් සේවා ලාභීන්ගේ අරමුණු ද ආයෝජකයන්ගේ අරමුණු ද මුදුන් පත් කර ගැනීමට කැප වී සිටිති.

ආයතනය තුළ දුක්ගැනවිලි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. ඒ අනුව දුක් ගැනවිලි ලිඛිත ව ඉදිරිපත් කළ හැකි ය. එය පළමුව ඉදිරිපත් කළ යුත්තේ තමන්ගේ අධීක්ෂණ නිලධාරියාට ය. ඔහු ඒ දුක්ගැනවිල්ල ඇති කිරීමට දායක වූ කෙනෙකු නම් එය ඒ වෙනුවට ආයතනික අංශයට ඉදිරිපත් කළ හැකි ය. ඒ සඳහා ලිඛිත පිළිතුරක් දින තුනක් තුළ ලබා දීමට මේ දෙඅංශයම බැඳී සිටී. ඒ පිළිතුරෙන් සෑහීමකට පත් නොවන්නේ නම් ආයතනයේ දුක්ගැනවිලි නිලධාරියා වෙත එය ඉදිරිපත් කළ යුතු ය. ඔහු විසින් ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත ලිඛිත පිළිතුරක් දින තුනක් තුළ ලබා දිය යුතු ය.

කැප වූ සේවක පිරිසක්

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කටයුතු ද දින තුනක් ඇතුළත ආරම්භ කළ යුතු ය. ඔහුගේ / ඇයගේ පිළිතුර පිළිගත නොහැකි නම් ආයතන ප්‍රධානියා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි ය. ඔහු ද ලිඛිත පිළිතුරක් දින හතක් ඇතුළත දීමට බැඳී සිටී. නැතිනම් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර ඒ සතිය තුළ ආරම්භ කිරීම ට බැඳී සීටී.

සෑම දුක්ගැනවිල්ලක් මාස දෙකක කාලයක් ඉක්මවීමට පෙර විමසා අවසන් කළ යුතු ය. ඒ සියල්ල තෘප්තිමත් සේවක පිරිසක් කැප වී වැඩකරන සේවක පිරිසක් ඇති කිරීම උදෙසා ය. අනෙත් පාර්ශවකරුවන් ගැන සංවේදී විය හැක්කේ එවැනි දුක් ගැනවිලි නැති හිත නිදහස් තෘප්තිමත් සේවකයන්ට ය.

හැම පුද්ගලයෙකුට ම ප්‍රතිලාභ ලැබෙන්නේ ඔහු හෝ ඇය ආයතනය හා එහි පාර්ශ්වකරුවන්ගේ සමතුලිත අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින ප්‍රමාණයට ය. වෙනත් විදිහකට කියන්නේ නම් ප්‍රතිලාභ වෘත්තීයකට ගැට ගසා නැත. එය පුද්ගල බද්ධ ය. පුද්ගලයාගේ සුදුසුකම් මත පමණක් නොව ඒ සුදුසුකම් ඔහු / ඇය කුමන අයුරින් ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගන්නේ ද යන්න මත ඔහුගේ / ඇයගේ ප්‍රතිලාභ තීරණය වේ. ඒ නිසා ම කල්ලි ගැසීම් වලට ඉඩක් මේ ආයතන තුළ නැත.

පෙත්සම් ගැහිලි නෑ

ආයෝජකයෝ ද උපරිම ලාභ ලබා ගැනීම වෙනුවට වඩා සමතුලිත කීර්තිමත් ආයතනයක් ගොඩ නැගීම අරමුණු කර ගෙන මැදිහත් වෙති. හෙට ලාභය වෙනුවෙන් අද ලාභය අත්හැරීමට ඔවුන් සූදානම් ය. සේවකයන් හප කොට ඔවුන්ගේ අවසාන සාරය ද උරා ගත හැක්කේ කෙසේ දැයි බලන දැක්මක් ඔවුන්ට නැත. ඔවුන් විසින් තම ආයතනය සියලු පාර්ශවකරුවන්ගේ වුවමනාවන් වෙනුවෙන් සංවිධානය කර ඇති නිසා ම ආයතනය හැමට ප්‍රසන්න තැනක් වෙයි. ඒ නිසා ම එය දිනෙන් දින වැඩේ. ආයෝජකයන්ගේ වත්කම් ඉහළ දමමින් එය වැඩේ.

කළමනාකරුවන්ට අත්හදා බැලීම් කිරීමට නිදහස අයිතිකරුවන් විසින් ලබා දී ඇති නිසා නවෝත්පාදන බිහිවෙන අතර ආයතනයේ ක්‍රමවේද නිරන්තර දියුණුවට ලක් වේ. ආයතනය පනවා ඇති නීති සම්ප්‍රදායන් සිරිත් විරිත් ප්‍රතිපත්ති නිරන්තර විමසුමට ලක් වෙන අතර යල් පැන ගිය ඒවා ඉවත් කිරීමට ද වටිනා ඒවා මතුකර තහවුරු කිරිමට ද කටයුතු කරනු ලැබේ. ඒ සඳහා සියලු පාර්ශවකරුවන් සහභාගී කරගනු ලැබේ.

මේ හේතු නිසා මේ ආයතන තුළ පෙත්සම් ගැහිලි නැත. වැඩවර්ජන නැත. අර්බුද නැත. කඩා වැටීම් නැත. සේවකයන් විසින් කළමනාකරුවන් සිර කර තබා ගැනීම් ද ඒ නිසා දක්නට නොලැබේ.

සේවකයන් ට ද සේවා ලාභීන් ට ද අවශ්‍ය පහසුකම් ඒ තුළ සපයා තිබේ. ඊට වැසිකිළි ආපන ශාලා විවේකාගාර රථ ගාල් යන එකී නොකී දේවල් අයත් ය. සේවකයන්ට වෙනමත් කළමනාකරුවන්ට වෙනමත් සේවා ලාභීන්ට වෙනමත් ලෙස නොව හැමට එකම පහසුකම් භුක්ති විඳිය හැකි ලෙස ඒවා සංවිධානය කර තිබේ. උදාහරණයක් ලෙස රථ ගාලට මුලින් පිවිසෙන ඕනෑම පාර්ශවකරුවෙකුට තම රථය ඒ තුළ ඕනෑම තැනක ගාල් කළ හැකි ය.

කදිම ආදර්ශයක්

කාර්යය මණ්ඩලය සඳහා විශේෂ ඉඩක් පවරා නැත. තිබෙන වැසිකිළි ද ඕනෑ ම කෙනෙකුගේ භාවිතය සඳහා ය. කාර්යය මණ්ඩලයට හෝ කළමනාකාරිත්වයට වෙන් කෙරුණු විශේෂ වැසිකිළි ඒ තුළ නැත. ඒ නිසා ම එක පාර්ශවකරුවෙක් අනෙක් පාර්ශවකරුවාට වඩා වරප්‍රසාද විඳින බවක් කිසිවෙකුටත් නොහැඟේ. ඒවා තුළ විශේෂ වරප්‍රසාද ඇත්තේ අබාධිත පුද්ගලයන්ට, ජේෂ්ඨ පුරවැසියන්ට, සිසුන්ට හෝ කුඩා ළමුන්ට පමණ ය.

මේ ආයතන පිරිසිදු ය.ලස්සණ ය.කෑකෝ ගැසීම්වලින් තොර ය.ඇතුළු වන අය පවා නිවන පරිසරයක් ඒ තුළ තිබේ. එය සෙසු ආයතන විසින් මුලදී ඊර්ශ්‍යා පර්වශව බලන පසුව අනුගමනය කරන්නට උත්සුක වන කදිම ආදර්ශයක් බවට පත් වේ.

නිශාන්ත කමලදාස

දිනමිණ

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *