පොත් සහ කරවල – බන්දුල පී දයාරත්න

නොවැම්බර්

5

9:21 පෙ.ව.

admin

“ටොම්සන් මහත්තයා කිව්වා නේද රෑට කන්න කරවල හොද්දක් හදන්න ඕනෑ කියලා… මං මේ ටවුමට ගිහින් එන්න යන්නේ… මට අර පොතකුත් ගන්න තියෙනවා.. ඒ ගමන් හොඳවයින් කරවල කෑල්ලකුත් අර ගෙන එන්නම්…” කියමින් උන්නැහේ ඉස්සරහා දොර ළඟට ආවේය.

“මොකක්ද කිව්වේ…? පොතක් අර ගෙන එන ගමන් කරවල ගේනවා කියලද කිව්වේ…? නැතිනම් කරවල ගන්න ගමන් පොතකුත් ගන්නවා කියලද කිව්වේ…? “ කියා ටොම්සන් මහත්තයා ඇසුවේ පුදුමයෙනි.

ඒ කතා බහ ඇසී ඇම්බන් මහත්තයා ද කාමරයෙන් එළියට ආවේය.

“මටත් පොතක් ගන්න නම් තියෙනවා. ඒත් මොකක්ද මේ පොත් කරවල කතාව? “ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

“ඒක තමයි මාත් මේ පුදුම වුණේ… උන්නැහේ කරවල ගන්න ගමන් පොතකුත් ගන්න යනවාලු… එතකොට පොත් කරවලද? කරවල පොත්ද? මොකක්ද ඒකෙන් හරි…“ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“ටොම්සන් මහත්තයාටයි, ඇම්බන් මහත්තයාටයි ඔය තරම් තර්ක විතරක් කරන්න දෙයක් මෙතන නෑ නේ… මං කිව්වේ කරවල ගන්න ගමන් පොතකුත් ගන්නවා කියලා… ඉතින් යනවා නම් එන්න මාත් එක්ක… එතකොට හරියටම දැන ගත්තහැකි මං කියන්නේ මොකක්ද කියලා…“ කියමින් උන්නැහේ එළියට බැස්සේය. ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත් ඒ පස්සේ වැටුණෝය.

බස් රියේ ටිකක් දුර ගොස්, බැස, පයින් තවත් ටිකක් දුර යන අතර උන්නැහේ ඈත පිහිටි කඩ පෙළක් දෙසට අත දිගු කළේය.

“ අන්න බලන්න.. මං කියන්නේ මොකක්ද කියලා…. ඉස්සර වාගේ නෙවෙයි… මේවා දැන් සුපර් මාර්කට් සිස්ටම් එකට නේ යන්නේ. කරවල සහ පොත් වෙළෙඳ සල….. මේක තමයි ටොම්සන් මහත්තයා දියු‍ණුව කියන්නේ… එතකොට සාහිත්‍යයත් දියුණු වෙනවා.. පෝෂණයත් දියුණු වෙනවා…“

ටොම්සන් මහත්තයා ඇම්බන් මහත්තයාගේ මුහුණ බැලුවේය. ඇම්බන් මහත්තයා ටොම්සන් මහත්තයාගේ මුහුණ බැලුවේය. ඒ අතර කරවල පොත් කඩේ මුදලාලි ටොම්සන් මහත්තයාගේ සහ ඇම්බන් මහත්තයාගේ දෑස් දිහා ඇසිපිය නොහෙලා බලා සිටියේය. ඒ අතර කරවල කඩේ සින්දුවක් ඇසුණේය. ඒකෙත් කියවුණෙත් ඇස් දෙක දිහා ඇසිපිය නොහෙලා බලා සිටින සිද්ධියකි.

‘‘මරේ මරු… කොහොමද නව වෙළෙඳ සංකල්ප….“ කියා උන්නැහේ ඇසුවේය.

‘‘ඇත්තට මුදලාලි… ෂහ්.. එහෙම කියන්නත් බැහැ නේ. කරවල මුදලාලි කියන්න පුළුවන්.. ඒ වුණාට පොත් මුදලාලි කියන්න බැහැ නේ…“ කියා ටොම්සන් මහත්තයා කට වරද්දා ගත්තේය.

‘‘ඒකට කමක් නෑ… මං මේ කරන්නේ කරවල පොත් කඩයක් නේ. එතකොට මං කරවල මුදලාලි.. පොත් මුදලාලි.. ඒ දෙකේ වෙනසක් නෑ…දැන් කරවල විකුණනවා වගේ තමයි පොත් විකුණනන්නෙත්… “ කියා කරවල පොත් මුදලාලි බොහොම සතුටින් කීවේය.

“ ඒ කියන්නේ… අපට ඒක තේරෙන්නේ නෑ…“ කියා ඇම්බන් මහත්තයා ද ටොම්සන් මහත්තයා ද එක වර කියුවෝය.

“ දැන් මෙහෙම නේ මහත්තයා…. ඉස්සර නං පොත් කියන්නේ දෑතින් වැ‍ඳලා අරන් කියවන, වටිනා මනුෂ්‍ය නිර්මාණයක්.. දැන් එහෙම නෙවෙයි නේ.. දැන් බලන්ඩ.. මිනිස්සු කරවල ගන්න ආපුවාම කොහොමද කරවල තෝරන්නේ.. ඉඹලා බලනවා… ටිකක් කුණු ගඳක් දැනෙනවාද කියලා… ඒ වගේ තමයි දැන් පොතුත්… පොත් ගන්න ආපුවාම පිටු ටිකක් පෙරළලා බලනවා… නිකම් කු‍ණු ගඳක් දැනෙනවාද කියලා… අන්න ඒවා තමයි නියම පොත්… “

“ මුදලාලි නම් නියම මුදලාලි කෙනෙක්.. මාර ඉවක් නේ තියෙන්නේ… “ කියා ටොම්සන් මහත්තයා කීවේය.

“ එහෙම තමයි මහත්තයා… නැතිනම් බිස්නස් කරන්න බෑ නේ..මං මුල ඉඳළම වික්කේ කරවල… මාත් ඔය හැම සැරේම අර ලොකු කඩේ බලන්න යනවා නේ.. ඉතින් මට තේරුණා… නැඟලා යන්නේ කරවල වගේ කුණු රහ තියෙන පොත් කියලා… බලන්ඩ එපායැ.. ඒවට විචාරකයෝ දෙන වර්ණනා… මුළු ලෝකෙම සාහිත්‍ය තර්ක ගේනවා නේ… අන්න නැඟලා යන ලේඛකයෝ… මාර්ටින් මහත්තයාට වැරදිච්චි තැන ඔතන තමයි..“ කියා කරවල පොත් මුදලාලි කරවල ලෑල්ල අයිනේ තිබූ පොත් රාක්කයෙන් පොත් කිහිපයක් අතට ගත්තේය.

“මාර්ටින් මහත්තයා කිව්වේ?“

“ඇයි? මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා… දැන් බලන්ඩ ඔය නන්දා පියල් හෙම මුණ ගැහෙන තැන්වල ටිකක් කුණු රහක් දාන්න තිබුණා නේ.. දැන් බලන්ඩ අර කලුවර ගෙදර… මට මතක හැටියට ඒකේ තමයි තමන්ගේ ගෑනි ගෙදර ඉද්දී තව තරුණ ගෑනියෙක් ගෙදරට එක්ක ගෙන එන්නේ.. නිකං හිතන්ඩ අද මේ ඉන්න කරවල පොත් ලේඛකයෙක් අතට අහු වුණා නං ඔය කතන්දරේ කොහොමට කුණු රහත් එක්ක දෙනවාද කියලා.. ඉතින් අන්න මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා එහෙම කල්පනා කළා නම් ඔය පොත් කඩ ඔක්කොගෙම උඩින්ම විකිණෙන්නේ ඒවා නේ.. “

“මේ මුදලාලි මහත්තයා හිතන විදිහ හරි තමයි… මාත් මෙච්චර කාලයක් කල්පනා කර කර හිටියේ… මේ අපේ ප්‍රබන්ධ සාහිත්‍යයට මොකක්ද වෙන්නේ කියලා.. දැන් තමයි මට හරියට තේරුණේ මොකක්ද මේ වෙන්නේ කියලා..“

“එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කීවලු… දැන් ඔය මහා පොත් සම්මාන තියෙන්නේ… ඒවා මුල ඉඳලම තියෙන්නේ කුණ රහත් එක්ක නේ. ඉතින් සාහිත්‍යයට සංඥාවක් දීලා තියෙන්නේ.. ඔන්න ලියනවා නම් මේවා තමයි කියලා.. දැන් ඉතින් හිටු කියලා කරවල පොත් ලියනවා… ඒවාට උඩ ගෙඩි දෙන්න ආචාර්ය මහාචාර්ය විචාරකයන් සෑදී පැහැදී ඉන්නවා.. දැන් බලන්ඩ මහත්තයා… නවකතා පොතක් කියවන පාඨකයකුට තියෙන ලොකුම අයිතිවාසිකමක් නේ… ඒකේ කතන්දරේ හිතේ මවා ගන්න තියෙන ඉඩ…. දැන් මොකද වෙන්නේ… නවකතාවත් එක්ක ඒකට හදනවා වීඩියෝ එකක්.. එතකොට පාඨකයාගේ පොත කියවන්න ඕනෑ… අර වීඩියෝ එකේ තියෙන චරිත හිතේ මවා ගෙන…. තාක්ෂණය අපි යොදා ගන්නවා තමයි.. ඒ වු‍ණාට මේක මේ තනිකරම පොත් බිස්නස් එකක් නේ.. “

“ඔව්… ඉතින් ඔය මහ ලොකු සම්මාන දෙන්නෙත් වර්ෂයේ හොඳම පොත වගේ එකකට නෙවෙයි නේ.. පොත් ගහන කොම්පැනිවලින් ගහපු හොඳම පොත කියලා නේ.. ඉතින් මේකේ තියෙන්නෙම පොත් බිස්නස් එකක්… “

“මටත් ටිකක් කනගාටුයි තමයි මහත්තයා.. ඒත් මාත් මේ බිස්නස් එකෙන් දියු‍ණු වෙන්න එපායැ… දැන් මං මේ කරවලයි… පොතුයි එකට විකුණන්න පටන් ගත්තාම පොත් විකිණෙන ප්‍රමාණයත් වැඩියි.. මං විකුණන්න ගන්නෙත් ටිකක් කුණුරහ තියෙන පොත්ම තමයි.. ඒක දන්නවා පොත් ගන්න එන අය.. .තව ඉස්සරහට කරවල පොත්වල කුණු රහ නැගලා යයි… මොකද? කලාකරුවන්ගේ ලිවීමේ අයිතිය නේ.. සල්ලි හම්බ වෙනවා නම් අම්මා තාත්තා වු‍ණත් විකුණන සමාජයක් නේ මේක…. ඉතින් පොතක කුණු රහ ටිකක් තිබුණා කියලා මොකද වෙන්නේ… ඉස්සර හිටපු ලේඛකයෝ කුහක අය කියලා නේ කියන්නේ..දැන් තමයි නියම ලේ‍ඛකයෝ බිහි වෙලා තියෙන්නේ… මහත්තයා දන්නවද ඉස්සරහට මොනවද වෙන්නේ කියලා…?“ කියා කරවල පොත් මුදලාලි ඇසුවේය.

“කියන්ඩකෝ බලන්ඩ…“ කියා ටොම්සන් මහත්තයා කීවේය.

“දැන් බලන්ඩ ගීත සාහිත්‍යය ඉවරයි… ටෙලි නාට්‍ය කලාව ඉවරයි… චිත්‍රපට කලාව ඉවරයි..ගුවන් විදුලිය ඉවරයි…සංගීත සංදර්ශන ඉවරයි… අන්තිමට ඉතිරි වෙලා තිබුණේ පොතුයි පත්තරයි විතරයි… ඒකටත් දැන් ඉතින් ඔය පශ්චාත් නූතනවාදියෝ රිංගලා නේ…ඒවත් දැන් ටික ටික කුණු රහ වේ ගෙන එනවා.. සාහිත්‍යය දැන් අපි වගේ වෙළෙන්දෝ අතට මාරු වුණා. . අපට වැදගත් වෙන්නේ හොඳ පොත් නෙවෙයි.. වේගයෙන් විකිණෙන පොත්… ඉතින් ඉස්සරහට සාහිත්‍යයත් ඉවරයි.. හැබැයි පොත් කර්මාන්තය නම් දියුණු වෙයි…සමාජයට මොනවා වුණාම මොකද? සල්ලි හම්බ වෙනවා නම්…මහත්තයා බලන්ඩ හොඳ පොතක්… “කියා කරවල පොත් මුදලාලි කීවේය.

“ නෑ… අපි පස්සේ පොත් ගන්නම්.. දැනට ඔය බල කරවල සීයක් විතර දෙන්නකෝ…“ කියා උන්නැහේ කීවේය.

බන්දුල පී දයාරත්න – දිනමිණ

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *