රාජ්‍ය ආයතන විකුණාගෙන කෑම වැරදි වගෙම මරාගෙන කෑමත් වැරදියි – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ලලිතසිරි ගුණරුවන් . රජය ආර්ථිකය පාලනය කිරීමට මැදිහත්වීම, කන්දෙන් ඉබේම ගලන දිය පහර පොම්ප කිරීමට මහන්සි ගන්නවා වගේ වැඩක්

දෙසැම්බර්

15

12:35 ප.ව.

admin

Lalithasiri Gunaruwan - 2අපි යන්න ගිය ’දේශීය ආර්ථිකයක් කරා’ කියන ගමන නැවතුනේ ජේ.ආර්. නිසා’ කියල කිව්වොත්. ඒකට එක`ග වෙන්න පුලූවන් යම් දුරකට පමණයි. ජේ.ආර්. ගෙන් වෙච්ච නැති ලිබරල්වාදී පැතිකඩක් ඊට පසු කාලවලදි අපි දැක්ක. වතු පුද්ගලික අංශයට පැවරෙන්නේ 1980 ගණන් අග භාගයේ දී හා 1990 ගණන් මුල්භාගයේදී. ලංගම කෑලිවලට කඩා පොකුරු බස් සමාගම් බවට පත්වෙන්නේ ඊටත් පස්සෙ. 1994 – 1999 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය වෙමින් පැවතුණා. ගෑස් සමාගම, එයාර් ලංකා පුද්ගලික කරණය වීම සිදුවූයේ මේ වකවානුව තුළයි. එහි තවත් ඉදිරි පියවරක් ලෙස, 2001/2003 ‘රීගෙනින් ශ‍්‍රී ලංකා’ කියන වැඩපිළිවෙල යටතේ රජය තවත් කුඩා කිරීමට එනම් ‘රාජ්‍ය මැදිහත්වීම තවත් අඩු කිරීමට’ පියවර ගන්නව.” – කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය  ලලිතසිරි ගුණරුවන්

නිදහසින් පසුව දසක 6 1/2 ක් ගෙවිලා අවසන් ආසන්නයි. හෙට අනිද්දා පටන්ගන්නේ, නිදහසින් පසු ගෙවෙන 70 දශකයේ අවසන් අර්ධය. ගෙවී ගිය කාලය තුළ අපේ රට ලබා ඇති දියුණුව ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්ද?

එකපාරටම ඍජු උත්තරයක් දීමට අපහසු සංකීර්ණ ප‍්‍රශ්නයක්. සමහර පැතිවලින් සතුටු විය හැකි වුවත්, දසක 6 1/2 කට පස්සෙ අපි ඉන්න තැන ගැන බලපුවාම, මීට වඩා ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්කම තිබුණ කියන එකයි මගේ මතය.
එම පිළිතුරම තව දුරටත් විග‍්‍රහ කරනව නම්.

නිදහසේදී අපේ රටේ තිබිච්ච සමාජ සාධාරණත්වය ගැන බැලූවොත් ඊට වඩා සමාජ සාධාරණත්වයක් ඊට පසු යුගවලදී ඇති වූ බව අපි කවුරුත් දන්නව. නිදහස් අධ්‍යාපනය නිදහසට පෙර ගෙනා දෙයක් වුවත්, එහි ප‍්‍රතිඵල ජනතාවට උරුම වෙන්න පටන්ගත්තේ නිදහසත් සමග හා ඊට පසුවයි. නිදහස සමග උදා වූ යුගයේ විවිධ දේශපාලන බලවේග මගින් සමාජ සාධාරණත්වය වෙනුවෙන් ලොකු අරගලයක් අරගෙන ගියා. ඒ අරගලයේ ප‍්‍රථිපල ලෙස තමයි මා වගේ කෙනෙකුටත් උසස් අධ්‍යාපනයක් ලබාගන්න පුළුවන්කම ලැබුණෙ. එහෙම නොවුනා නම් සමහරවිට වෙනත් රටවල් මෙන්ම, ධනපති පන්තියට පමණක් වරප‍්‍රසාද සීමාවී තිබුණි නම්, පොදු ජනතාවගේ දූ  දරුවන්ට එම වරප‍්‍රසාදය නොලැබෙන්න ඉඩ තිබුණ.  එහෙම වුනානම් මමත් අද මෙතන නොයින්න ඉඩ තිබුණ.

විශේෂයෙන්ම 1956 පසු ඇති වූ යුගය රාජ්‍ය අංශය පෙරටුකොටගත් ආර්ථික පිළිවෙතක් මගින්, රට සංවර්ධනය කරා ගෙන යාමේ දිසානතියකට යොමු වූ යුගයක්. ඒ යුගයේ සිදු වූ සමාජ පරිවර්තනයත් සමග රාජ්‍ය සේවා ප‍්‍රචලිත වීමක් සිදුවුණා. ලංගම පළමු පනත විදිහට පැමිණ, එතැනින් පසු තවත් රාජ්‍ය ආයතන බිහිවීමක් සිදුවීමත් සමග ඇති වූ පෙරළිය ඉතාම තීරණාත්මක පියවර වශයෙන් සලකන්න පුළුවන්. 1956, 1957, 1958 යුගයේ සිට දස අවුරුදු සැලැස්මක් මගින්, කේනිසියානු ආර්ථික ක‍්‍රමය අනුගමනය කරමින් රට සංවර්ධනය කිරීමේ අරමුණක් රජයට තිබුණා. ලෝකප‍්‍රකට ආර්ථික විද්‍යාඥයන් පවා ලංකාවට ගෙන්වාගෙන, අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සැලසුම් මණ්ඩලයක් හදලා රාජ්‍ය ව්‍යවසායකත්වය තුළින් රට ගොඩනැගීමේ අරමුණක් තිබුණා. මේ වන විට තිබුණේ ඇස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරණායක රජය. කල්ඩෝ, ගල්බ්‍රෙත් වගේ ලෝකප‍්‍රකට ආර්ථික විද්‍යාඥයන් මේ සඳහා දායක කරගත්ත. බණ්ඩාරනායක ඝාතනයත් සමග මේ සැලැසුම් විනාශ වුණා. ඉන් පසු ඒ සැලැසුම් කෙදිනදවත් ක‍්‍රියාත්මක වුනේ නෑ.

ආර්ථික පැත්තෙන් එසේ වුවත් සමාජීය පැත්තෙන් සිදු වූ කරුණු රැුසක් තිබුණා. රටේ ස්වාධීනත්වය පැත්තෙන් ගත් පියවරවල් රැුසක් තිබුණ. 1948 නිදහසත්, ඉන්පසුව ඇති වූ පෙරළියත් නොවෙන්න අදටත් ගුවන් තොටුපළවල්, වරායවල් තවමත් විදේශ ආධිපත්‍ය යටතේ පැවතීමට ඉඩ තිබුණ. ඒ පියවරවල් සමගම රට ගමන්ගත් දිසානතිය ස්වාධීනව දෙපයින් ගැනීම දක්වා වර්ධනය වීමේ ප‍්‍රවනතාවයක් ඇති වුණා. ‘දේශපාලන නිදහස අර්ථගැන්වීමට නම් ආර්ථික නිදහසක්කරා ද යායුතුයි’ කියන දැක්මක් ඒ දිනවල තිබුණ.  1956, 1960, 1965, 1970 දක්වා මේ මතය වර්ධනය වෙමින් පැවතුණා.

මේ යුගය තුළ අපේ රටේ විවිධ කර්මාන්ත ඇතිවෙන්න පටන් ගත්තා. වානේ සංස්ථාව, ටයර් සංස්ථාව වැනි කර්මාන්ත ඊට උදාහරණ. මීට පෙර ස්ටර්ලින් වතු ජනසතුවත් එක්ක විදේශිකයන් සතුව තිබූ අපේ අක්කර ගණනක් රජය සතුකරගෙන අපේ වැවිලි ආර්ථිකය දේශීය කරගැනීමට අවස්ථාව ලැබුණා. ඛණිජ තෙල් වෙළෙඳපොළ දේශිකත්වයට පත්කර ගැනීමට 1960 ගණන්වල පැවති සිරිමාවෝ බණ්ඩාරනායක රජයට  කොතරම් දුෂ්කර වුණාද කියන එක 1961/1962 වර්ෂ වල අයවැය වාර්තා කියවනවිට තේරුම්ගන්න පුළුවන්. ජාත්‍යන්තර වෙළෙඳ අධිකාරිය සතුව තිබූ රටේ ඛණිජ තෙල් බෙදාහැරීම, ජනසතු කිරීමට ඉඩ නොදී ඒ අය තුළම රඳවා ගැනීමට ඔවුන් උපරිම උත්සහයක් දැරුව. එහෙත් එය ජනසතු කිරීමට එවකට පැවති රජයන් පසුබට වුණේ නැහැ. නිදහසින් පසු ඇති වූ ප‍්‍රගතිය ලෙස ඉහත කරුණු හඳුන්වන්න පුළුවන්. මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු ඇති වෙන්නේ මේ වකවාණුව තුළයි. 1950 දශකයේ දී ඞී.එස්.සී.සී. ආයතනය ඇති කරල, 1977 න් පසුව ජාතික සංවර්ධන බැංකුව ඇති කරල, ඒ මගින් සාමාන්‍ය ගොවියාට, සුළු ව්‍යාපාරිකයාට පවා ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථාවන් උදාවෙනව. ඉංග‍්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවට ස්වභාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාවෙනව. මේ අතින් ගොඩක් දේවල් සිදුවුණා කියල කියන්න පුළුවන්. ‘නිදහසින් පසු පැවති රජයන් මොකුත්ම කෙරුවෙ නැහැ’ කියල නිෂේදනාත්මකවම කතාකරන්න බැහැ. කරපු දේවල් විශාල ප‍්‍රමාණයක් තියනව.

ඒහෙත් ‘මීට වඩා තවත් ඉස්සරහට යන්න තිබුණ’ කියන එකත් කියන්න  ඕනැ. අපි මේ අවදිය වෙනකොට හිටිය තැනත්, අපිත් එක්ක හෝ අපිට පිටුපසින් 1948 වන විට හිටපු රටවල් අද ඉන්න තැන දිහා බලපුවාම අපිට හිතෙනව, අපිට මීට වඩා දුර ගමණක් යන්න තිබුණ කියල. අපි සමහර තැන් වලදි පාර වරද්දගත්ත නිසා, යන්න තිබුණ වාහනය මග හැරිය නිසා ගමන පසුගාමී වුණා. ඒ කියන්නෙ සමහර අවස්ථාවලදී අප ගත් තීන්දු තීරණ වල ඇති දුර්වලකම් නිසා, සමහර අවස්ථාවලදි ඡුන්දයය පදනමක් කරගනිමින් ගත් තීන්දු තීරණ නිසා තමයි අපි අද ඉන්න  ඕන තැනට වැඩිය ගොඩක් පස්සෙන් ඉන්නෙ.

මේ දෙශියත්වයේ ක‍්‍රමික වර්ධනය නැවතුනේ, ආපසු හරවනු ලැබුවේ 1977 දී ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වීමෙන් පසු ගෙනෙන ලද විවෘත ආර්ථිකය බවට, දශක ගණනාවක් ගතවෙලත් අදත් විවේචනය කරනව. ආර්ථික විද්‍යාව ගැඹුරෙන් නොදත් සාමාන්‍ය ජනතාව අතර පවා ඒ පිළිබඳව විවේචනයක් තියෙනව. එහි සත්‍ය අසත්‍යතාවය කුමක් කියලද ඔබ හිතන්නේ?

එක එක යුගයන්හී දී සිදු වූ සිදුවීම් දෙස බලනවිට, 1948 අපි දේශපාලන නිදහස ලබා ගන්නව. සම්පූර්ණ දේශපාලන නිදහසක් කියල කියන්න බැරි වුවත්, අර්ධ දේශපාලන නිදහසක් හරි ලබාගන්නව. ඊට පසු යුගය දේශීය කර්මාන්ත ආරම්භ කරමින් රාජ්‍ය ව්‍යවසායකත්වය ආර්ථිකයට බලපෑම් කරනව. සංවර්ධන මූල්‍ය සංස්ථාව ඇති වෙන්නෙ මේ යුගයේදී. මෙහිදී මූලික ප‍්‍රශ්න දෙකක් තේරුම් ගන්නව.

රටේ නිෂ්පාදනයයෙන් ඉතා විශාල කොටසක් කෘෂිකර්මය. තේ, රබර්, පොල් ඊට අයත්. අපනයන පැත්තෙන් බලනවිට, 90% කට වඩා වැඩි ප‍්‍රමාණයක් තේ, රබර්, පොල් අපනයන අයත්කර ගන්නව. එයින් විශාල ප‍්‍රමාණයක් විදේශිකයන් සතුයි. අපි ස්වාධීන නිදහස ලැබුවා කියා කිව්වත්, අලූත නිදහස ලබපු රටක විශාල ප‍්‍රමාණයක් රජයේ පාළනයෙන් තොරව තියන විට, අපි ලබපු නිදහස අස්ථාවර වෙනව. රජයට බලපෑම් කිරීමේ හැකියාව විදේශීය සමාගම් සතුව තිබෙන බව පේනව. ඊට ප‍්‍රතිකර්මයක් ලෙස ඒ යුගයේ හිටපු ප‍්‍රතිපත්ති තීරකයන්ගේ දැක්ම වුනේ, තුලනය කළ හැකි පරිදි කර්මාන්ත ක්‍ෂේත‍්‍රයක් ගොඩනගා ගන්නේ කොහොමද කියන එකයි.  කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රය එලෙසින්ම තිබියදී පුද්ගලික අංශය ද දායක කරගනිමින්, රාජ්‍ය බැංකු මගින් ණය පහසුකම් සලසමින් දේශීය කර්මාන්ත ඇති කිරීමට රජය උත්සාහයක් ගත්තා. ඒක එක උපාය මර්ගයක්. 1956 න් පසුව රජය මැදිහත් වී කර්මාන්ත පටන් ගන්න ප‍්‍රවණතාවක් ඇති වෙනව. 1960 ගණන් වලදී ජනසතු ව්‍යාපාරයත් සම`ග බැඳුණු රාජ්‍ය තන්ත‍්‍රය විසින් මෙහෙයවන සංස්ථා ඇති වෙනව. මෙයට සමාජවාදී කඳවුරේ ආදර්ශ සහ මූල්‍ය ආධාර ලබෙනව. පෞද්ගලික අංශයත්, රාජ්‍ය අංශයත් තුළ ඇති අසමතුළිත සමනය කිරීම සඳහා දේශීය යාන්ත‍්‍රණයක් වර්ධනය කිරීම මේ ක‍්‍රියාවලියේ මුඛ්‍ය අරමුණ වෙනව. 1970 සිට 1977 දක්වා ආනයන පාලනය කරමින් පවා දේශීය කර්මාන්ත නගාසිටුවීමේ ප‍්‍රබල උත්සාහයක් දැරුව. එය දැඩිවූ පාලිත ආර්ථිකයක් කරා වර්ධනය වෙනව.

අපිට අද විවේචනය කරන්න පුළුවන් එදා ඒ තීන්දුවේ අනිෂ්ඨ ලක්‍ෂණ ගැන. අපි එදා ඒ තීන්දුව ගත්ත තැන ඉඳල හිතල බලමු. එහෙම නොවුනා නම් අපේ සමස්ථ ආර්ථිකය විදේශිකයන් විසින් හසුරවන්න පටන් ගන්න ඉඩ තිබුණ අපි ලබාගත් නිදහස අපිට අර්ථ ගැන්වීමට ඉඩ නොදී. මම හිතනවා ඒ නිසා තමයි එම වකවාණුව තුළ ඒ ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියා මාර්ගයක් ජේ.ආර්. විසින් ගන්න ඇත්තේ. එතුමා දකිනව ‘මේ පාලිත ආර්ථිකය තුළ අර්ථික ජව රෝදය කැරකීම ඉතා හෙමින්. රජයේ මැදිහත්වීම ඉතාම දුර්වලයි, රජය අකාර්යක්‍ෂමයි’ කියල. මේ අතර ජනතාව පැත්තෙන් දැඩි ප‍්‍රතිවිරෝධයක් එනව. රෙදි බූමිතෙල් ගඳයි, හාල් වලට තහංචි දාලා, සතියට දවස් දෙකක් මංඤ්ඤොක්කා, බතල වගේ මැසිවිලි නැගෙනව.

සංවෘත ආර්ථිකය සංවර්ධන දිසානතිය පැත්තෙන් ගත්තත් ඉදිරි ගමන බොහොම හෙමින් ක‍්‍රියාත්මක වෙනව. එමෙන්ම, වර්ධන වේගය 2%, 3% වැනි පහත් අගයක් ගන්නවා. මේ නිසා තමයි එම වකවානුවෙදි සංවෘත ආර්ථිකය, වෙළඳ ආර්ථිකයක් ලෙස  නිදහස් කිරීමට ජේ.ආර්. ජයවර්ධන මහතා තීරණය කරන්නෙ. ඒ අනුව ජේ. ආර්. ගෙ පාලන කාලයෙදී මේ පාර වෙනත් පැත්තකට හැරෙනව. ‘අපිට යන්න තිබුණ දේශීය ආර්ථිකයක් කරා කියන ගමන නැවතුනේ ජේ.ආර්. නිසා’ කියල කිව්වොත්. ඒකට එක`ග වෙන්න හැකි වෙන්නේ යම් දුරකට පමණයි. සම්පූර්ණයෙන්ම එක`ග විය නොහැකියි.

සිරිමාවෝ රජය දිගටම පාලන බලයේ පැවතුණා නම්, එම දේශීය කෘෂි හා කාර්මික සංවර්ධනය එලෙසින්ම වර්ධනය වූවා නම් අද අපි ස්වයංපෝෂිත ජාතියක් බවට අදහසක් පළවෙනව නේද?.

සිරිමා රජයේ ප‍්‍රගතිශීලී තීන්දු තීරණයන් රැුසක් තිබුණ. දේශීය කෘෂිකාර්මික සංවර්ධනයට ප‍්‍රතිපත්තිමය තල්ලූවක් දී තිබුණ. ආනයන පාලනය කිරීම තුළින් ළදරු අවදියෙ පවත්නා දේශීය කර්මාන්තවලට අවශ්‍ය ආරක්‍ෂණය ලබාදීමට පියවරගෙන තිබුණා. 1973 ලෝකයේම ඇති වූ ජාත්‍යන්තර ඛණිජතෙල් අර්බූදය හමුවේ රටේ ආර්ථිකය කඩාවැටීම පාළනය කිරීම සඳහා පියවර ගෙන තිබුණා.

1970 දී තිබුණ ගෙවුම් ශේෂයේ අවපාතය ක‍්‍රමාණුකූලව ගොඩ ඇවිත් 1975, 1976 වන විට ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ගෙවුම් ශේෂය ධන අගයක් දක්වා වර්ධනය වෙනව. අපේ ගෙවුම් ශේෂය ධන අගයක් ගත්ත එකම වර්ෂය 1977 වර්ෂයයි. 1977 දී ආර්ථිකය විවෘත වූ විගස ගෙවුම් ශේෂය ඉතාමත් දරුණු අන්දමින් පහළට කඩා වැටෙනව. එයින් ගොඩ ඒමට අදටත් බැරිවෙලා තියෙනව. කෙසේ වුවත් මෙහිදී පරිභෝජනය තදින් පාලනයට ලක්වූ නිසා, පොදු මහජනතාව අතර පීඩනයක් ගොඩනැගී තිබුණා.  දේශපාලනික පිපිරීමට මූලික හේතුව වූයේ එය වෙන්න ඇති කියලයි මම දකින්නෙ.

සිරිමාවෝ බණ්ඩාරනායකගේ ‘ඉබ්බාගේ හෙමින් ආර්ථික ගමන’ යන්න ගිහින්ද, ජේ.ආර්. ගේ ‘හාවාගේ වේගවත් ආර්ථික ගමන’ යන්න ගිහින්ද අපිට වැරදුනේ?

මේ පිළිබඳව කවුද හරි, කවුද වැරදි කියල  ඍජු පිළිතුරක් දෙන්න බැහැ. අපි බැලිය යුත්තේ ඒ ක‍්‍රම දෙක තුළ තිබෙන සංසන්දනාත්මක ගුණ අගුණයි. ‘මේ දෙකම මිශ‍්‍ර කර තවත් ඉදිරියට යන්න පුළුවන් වුණා නම්, අන්ත දෙකෙන් උපරිමයට නොගොස් ජාතික ආර්ථිකයත් රැුකගෙන ඉදිරියට යන්න පුළුවන් වුණා නම්, වඩාත් ඵලදායි වියහැකිව තිබුණා’ යන්න මගේ මතයයි.

ඔබ කියන්නේ රජයේ මැදිහත් වීම තුළ වර්ධන වේගය මන්දගාමියි කියන එකද?

අපි සරල උදාහරණයක් අරන් බලමු. පොල් ගෙඩියක් කැඞීමට ගහට නැග්ග මිනිහෙක් නටුවෙන් පොල් ගෙඩිය වෙන් කරපු ගමන් එය බිමට වැටෙනව. ඒකට ඔහු අලූතෙන් මහන්සියක් ගෙන එය පහත හෙළීමට උත්සාහයක් ගැනීමට අවශ්‍ය නැහැ. ඒක ස්වාභාවයෙන්ම, ගුරුත්වාකර්ෂණ ශක්තිය තුළින්ම වෙනව. කන්දක් මුදුනේ සිට ගලන දිය පහරක් පහළට ගෙන ඒමටත් අමතර ක‍්‍රියාවක් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. එයත් ගුරුත්වාකර්ෂණ බලයෙන් පල්ලෙහාට ගලනව.. ගහෙන් බිමට වැටෙන පොල් ගෙඩිය බිමට දමා ගැසීමට හදනවා වගේ වැඩක්. ඒ තත්ත්වට ගියොත් ගුරුත්වයෙන් කෙරෙන වැඬේ කෙරෙන්න ඉඩ දෙන්නෑ.  ඒ වගේම එවැනි තත්ත්වයක් යටතේ රජයේ මැදිහත්වීම නිෂ්ඵල ක‍්‍රියාවක්.

තවත් අතකින් බලනවිට, කන්දෙන් ගලන ජල පහර අවශ්‍ය තැනට ගලා නොයනවා නම් අපිට අවශ්‍ය තැනට ගලා යෑමට වැටියක් බැඳ හෝ කාණුවක් කපා අවශ්‍ය තැනට යොමු කළ යුතුයි. පොල් ගෙඩිය බිමට වැටෙන විට වහළක් උඩට හෝ යම් හානියක් සිදුවෙන ස්ථානයකට වැටෙනව නම්, පොල් ගෙඩිය කඩන තැනැත්තා විසින් එය එසේ නොවීමට පොල් ගෙඩියට තල්ලූවක් දී වෙනත් තැනකට වැටෙන්නට යොමු කළ  යුතුයි. එසේම රජය මැදිහත්විය යුත්තේ ආර්ථිකය නිසි පරිදි කළමණාකරනය සිදුනොවේ නම්, රටට හානියක් සිදුවේ නම් නිවැරදි දිසානතියකට යොමු කිරීමයි. ඊට අමතරව යම් විදිහකට කන්ද උඩට ජලය ගෙන යාමට අවශ්‍ය නම් රජය මැදිහත් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම රජය කළයුතුයි. රාජ්‍ය මැදිහත්වීම තුළ උපායමාර්ගික සංවර්ධනයක් කරා ආර්ථිකය මෙහයවීමට හැකි වන්නේ එසේ කළහොත් පමණයි. උදාහරණ වශයෙන් දකුණු කොරියාවේ ආර්ථිකය වේගවත් සංවර්ධනයකට භාජනය කිරීමට 60, 70, 80 දශක තුළ, රාජ්‍ය සක‍්‍රියව මැදිහත්වීම සාර්ථකවීම නිදසුන් ලෙස දැක්විය හැකයි. මෙහිදී රජය  ආයෝජනය සහ ව්‍යාපාරවල නියැලෙමින් ආර්ථිකයට අවශ්‍ය ජවය සැපයීමට සක‍්‍රිය මැදිහත්වීම කැපිපෙනෙන ලක්‍ෂණයකි. සිංගපූරුවේ හා තායිවානයේ, මැලේසියාවේ රාජ්‍ය සංකල්පය අඩුවැඩි වශයෙන් ක‍්‍රියාමකව සාර්ථක සංවර්ධන ප‍්‍රතිඵල ලබාගත්බව නිරීක්‍ෂණ කළ හැකියි.

එක් කොණක සිටින පාර්ශවයක් කියනවා රජයේ මැදිහත් වීමක් කිසිසේත් අනවශ්‍යයි කියල. එතනදි වෙන්නෙ, පොල් ගෙඩිය වහලයට වැටෙනවා වගේ වැඩක්. කන්දෙන් ගලන ජලය අපට අවශ්‍ය තැනට නොගොස් වෙන තැනකට ගලාගෙන යනවා වගේ වැඩක්. ඒ නිසා පෙනෙනවා රජයේ යම්කිසි මැදිහත්වීමක් අවශ්‍යයි කියල. අනෙක් පිරිස කියනව, රජයේ මැදිහත් වීමක් අවශ්‍යමයි කියල. ඔවුන් කරන්නේ කන්දෙන් පහළට ඉබේම ගලන ජලය පොම්ප කරනව වගේ අනවශ්‍ය වැඩක්.

වෙළඳපොළ කියන යන්ත‍්‍රණයට කළහැකි කාර්යයක් තියනව. ඒක නිරායාසයෙන් සිදුවෙන දෙයක්. වෙළඳපොළ යාන්ත‍්‍රණයට කරන්න පුලූවන් කාර්යභාරය කිරීමට ඉඩ හැරීමෙන් අයහපතක් සිදුවෙන්නේ නැහැ. එහි හානියක් නැහැ. එහෙත් වෙළඳපොළ යාන්ත‍්‍රණයට ඉඩ දී ඇස් කන් පියාගෙන සිටීම, අවධානයෙන් තොරව සිටීමත් ඉතාම හානිකරයි. එසේ ඉඩදී රජයන් බලා සිටීම තුළ ලිබරල්වාදී ආර්ථිකයන් පැවති ලොව රටවල් රැුසක ප‍්‍රශ්න ඇති වී තිබෙනව.

තුලනාත්මක හා තිරසාර සංවර්ධන පැත්තෙන් බැලූවොත්, සම්පත් කෑදර භාවිතය තුළ මිනිස් වර්ගයේ පැවැත්මට අභියෝගයක් වෙන තරමට  ලිබරල්වාදී, කෑදරකාරී ආර්ථිකය තල්ලූවෙනව කියල පේනව.

ලිබරල්වාදී ආර්ථිකයක් ගැන ලොව ප‍්‍රවනතාවයක් තියනව. වත්මන් ආණ්ඩුවත් ලිබරල්වාදී ආර්ථික නැඹුරුවකට යාමේ සූදානමක් පෙන්නුම් කරනව. ලිබරල්වාදී අර්ථිකය රටට මොනයම් අයුරකින් බලපෑමක් ඇතිකරයිද?

ලිබරල්වාදී ආර්ථිකයක් අපේ රටේ තියනව කියල මම කියන්නෙ නැහැ. ලිබරල්වාදී ආර්ථිකයේදී සිදුවෙන්නේ, ‘ආණ්ඩුව පැත්තක සිටියදී. ආර්ථිකය හැසිරවීමේ ක‍්‍රියාවලිය පුද්ගලික අංශය විසින් කිරීමයි’ කියන එකයි. වැඩි වශයෙන් පුද්ගලික අංශය වෙළෙඳ ආර්ථික ක‍්‍රියාවලියට නැඹුරුවීම තමයි ලිබරල්වාදයට රට තල්ලූවෙනව කියන එකෙන් අදහස් වෙන්නෙ.

වෙළෙඳපොළට කිරීමට හැකි කොටස හැකි උපරිම අයුරින් කිරීමට ඉඩ හරින අතර, රජය විසින් කළ යුත්තේ රටට අවශ්‍ය දිසානතියකට එය මෙහෙයවීමයි. එයට කළයුතු මැදිහත්වීම රජය විසින් කළ යුතුයි. මගේ පෞද්ගලික මතය නම්, අපි මේ තුලනය තෝරාගැනීමට අසමත් වෙලා තියෙනව. මේක වෙන්නේ ජේ.ආර්. ටත් පස්සෙ. ජේ.ආර්. ගෙන් වෙච්ච නැති ලිබරල්වාදී පැතිකඩක් ඊට පසුව අපි දැක්ක. වතු පුද්ගලික අංශයට පැවරෙන්නේ 1980 ගණන් අග භාගයේ දී හා 1990 ගණන් මුල්භාගයේදී. ලංගම කෑලිවලට කඩා පොකුරු බස් සමාගම් බවට පත්වෙන්නේ ඊටත් පස්සෙ. 1994 – 1999 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය වෙමින් පැවතුණා. ගෑස් සමාගම, එයාර් ලංකා පුද්ගලික කරණය වීම සිදුවූයේ මේ වකවානුව තුළයි. තවත් ඉදිරි පියවරක් ලෙස, 2002/2003 රීගෙනින් ශ‍්‍රී ලංකා කියන වැඩපිළිවෙල යටතේ රජය තවත් කුඩා කිරීමට, ‘රාජ්‍ය මැදිහත්වීම තවත් අඩු කිරීමට’ පියවර ගන්නව.

මෙහිදී වැදගත්, කවුද මේ ආයතන මෙහෙයවන්නේ කියන එක නෙමයි. කොහොමද මෙහෙයවන්නේ කියන එක හා කාර්යක්‍ෂමතාවයි.  කාර්යක්‍ෂමව කෙරෙනව නම්, ඒ ආයතනය කාට අයිති වුවත්, ඉතාම අවම සම්පත් ප‍්‍රමාණයක් යොදමින්, ඉහළ ඵලදායිතාවක් ඇතිවෙන අයුරින් කළමණාකරනය කළ යුතුයි. එසේ කිරීමට සමත්වෙන්නේ පුද්ගලික අංශය මගින් නම්, පුද්ගලික අංශයට ඉඩ ලබාදිය යුතුයි. රාජ්‍ය අංශය සාර්ථකව මෙහෙයවීමට සමත් නම්, රාජ්‍ය අංශයෙන් එය කළ යුතුයි.

එක කඳවුරක් කියනව, රජයට බෑ පුද්ගලිකව කළයුතුයි කියල, තවත් පිරිසක් කියනව මෙය රාජ්‍ය අංශයෙන්ම කළ යුතුයි කියල.
පුද්ගලික අංශයේ ව්‍යවසායකත්වය තුළ ආයතන පවත්වාගෙන යාමෙන් හා රාජ්‍ය ව්‍යවසායකත්වය තුළ ආයතන පවත්වාගෙන යෑමෙන් රජයට සිදුවෙන වාසි අවාසි සහගත තත්ත්වයන් මොනවාද?

සමාජ සුභසාධනය, ආර්ථික ප‍්‍රගමනය, රටේ ඉදිරි දිසානතිය, උපායමාර්ගික පැත්ත පුද්ගලික ව්‍යවසායකයා අමතක කරනව. ලාභය පමණක් පදනම් කරගෙන ඔවුන් වැඩකටයුතු කරනව.

පුද්ගලික කරණය කරන්නේ නැහැ කියන ‘මහින්ද චින්තනය’ ජනතාවට ඉදිරිපත් කරමින්, මහින්ද රාජපක්‍ෂ පාළනය  2005 න් පසුව බලයට එනව. එයට මතවාදීව දායක වූ වෘත්තිකයන් රැුසක් ඉන්නව. අපිත් හිටියෙ පුද්ගලික කරණය වැරදියි කියන කඳවුරේ. අපි අදත් එතන ඉන්නව. නමුත් ගැටලූව තියෙන්නෙ එතන නෙමේ. ‘පුද්ගලික කරණය නොකළ යුතුයි’ කිව්වත් ‘රාජ්‍ය අංශයේ ආයතන පැවතීම වැරදියි’ කිව්වත්, රාජ්‍ය අංශය යටතට ගෙන, එම ආයතන කාබාසිනියා වෙන්න ඉඩසලස්සනව නම් එයත් ඒ හා සමානව වැරදියි වැරදියි. රාජ්‍ය ආයතන විකුණාගෙන කෑමත් වැරදියි. වගෙම රාජ්‍ය ආයතන මරාගෙන කෑමත් වැරදියි.

රාජ්‍ය අංශයේ වැරදි කළමනාකාරීත්වයක් තුළ, රාජ්‍ය අංශයේ ආයතන රැුකියා බැංකු බවට පත්කරමින් දේශපාලන හිතවතුන්ට රැුකියා දෙන ස්ථානය බවට පත්කර ගෙන, අනාගත දේශපාලකයන්ගේ පැවැත්මට මේ ආයතන පවත්වාගෙන යනව නම්, ඒ ආයතනවල සාරය හූරාගන්න හදනව නම් එකත් වැරදියි. මේ දෙකම තුලනාත්මකව කළමනාකරණය කරගෙන ඉදිරියට යාමට අපොහොසත් වීම තුළ තමයි අපි පාර වරද්දාගෙන තියෙන්නෙ. වෙළෙඳපොළට කිරීමට හැකි දේ වෙළඳපොළට කරන්න ඉඩ දෙමින්, රජය විසින් කළ යුතු කොටස රජය විසින් දේශපාලනීකරණයෙන් තොරව කාර්යක්‍ෂමව කිරීමට පුළුවන් වූවා නම්, මීට වඩා ඉදිරිගමනක් යෑමට හැකියාව තියෙනව.

පි ආර්ථික විග‍්‍රහයෙන් මිදී මදක් දේශපාලන පැත්තකට යොමු වෙමු. අපේ රටේ දේශපාලන ඉතිහාසය පුරාම දක්නට ලැබෙන්නේ ප‍්‍රධාන පක්‍ෂ දෙක අතර තට්ටුමාරු පාලනයක්. තුන්වෙනි බලවේගයකට අපේ රට තුළ ඉඩක් නැද්ද?

ඔය ප‍්‍රශ්නය දේශපාලන විද්‍යා ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීනයෙකුගෙන් විමසුවා නම් වඩා හොඳයයි මා සිතනවා. ඒ නමුත් අපි ඒ ගැනත් කතා කරමු. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන එක, ඡුන්ද දායකයාගේ ප‍්‍රබුද්ධත්වය මත පවතින දෙයක්. රටක ඡුන්දදායකයන් කොතරම් දුරට ප‍්‍රබුද්ධද කියන කරුණ මත, ඡුන්දයකදී ඒ අය ඡුන්දය පාවිච්චි කරන ක‍්‍රමය තීරණය වෙනව. මේ රටේ ඡුන්දදාකයෙකුට ඇති ප‍්‍රශ්නයට, වෙනත් රටක ඡුන්දදායකයෙකුට වෙනස් උත්තරයක් තියෙන්න ඉඩ තියෙනව.

තුන්වෙනි බලවේගයකට ඉඩකඩක් තියනවද? නැද්ද? කියන කරුණේදී ඒ බලවේග වල අඩුපාඩුකම් වගේම, අපේ රටේ ඉන්න ඡුන්දදායකයාගේ  ගුණාත්මක තත්ත්වය මේ සඳහා කොතරම් දුරට සූදානම්ද කියන තත්ත්වය තුළත් එය තීරණවෙනව. මම දේශපාලන විද්‍යාව හෝ දේශපාලනය කරල නැහැ. මට තියෙන දැනුමේ ප‍්‍රමාණයට, මීට අවුරුදු 10 කට, 20 කට තිබුණට වැඩිය පක්‍ෂකට දැඩිව බැඳුණු පාක්‍ෂිකයන් අඩුවෙමින් යන බවක් පෙනෙන්න තියෙනව. කැපුවත්  කොළ පාට, කැපුවත් නිල් පාට, කැපුවත් රතු පාට කියන කොටස අඩු වෙමින් යන බවක් පෙන්න තියෙනව. පාවෙන ඡුන්ද ප‍්‍රමාණය මේ අනුව වැඩිවෙමින් ඇති බවක් පේනව.

මේ වනවිට මැතිවරණයක ජය පරාජය තීරණය කිරීමට තරම් පාවෙන ඡුන්ද සාධකයක් වී තියනවද?

ඒ ප‍්‍රශ්නයට දෙන්න තියෙන්නෙත් කලින් දුන්න පිළිතුරම තමයි. මීට අවුරුදු 10කට 15 කට වඩා තිබුණ තත්ත්වයට වඩා  බලපෑමක් කිරීමට, පාවෙන ඡුන්දවලට හැකියාවක් ලැබිල තියෙන බව පේනව.

පසුගිය මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ මීට වඩා ආසන සංඛ්‍යාවක් දිනා ගනියි කියල, ජනතා විමුක්ති පෙරමුණේ පාක්‍ෂිකයන් මෙන්ම, එම පක්‍ෂයේ පක්‍ෂිකයන් නොවන, සෙසු පක්‍ෂවල අය පවා අදහස් කෙරුව. එසේ නොවීමට හේතුව ඔබ දකින්නේ කොහොමද?
ඒ අවස්ථාවේ දී මතුවෙච්ච තත්ත්වය තුළ ඡුන්ද දායකයා දෙපිළකට බෙදිලයි හිටියෙ. එක හේතු වෙන්න ඇති කියලයි මම හිතන්නෙ. පිල් දෙකකට බෙදෙන අවස්ථාවේදී තුන්වෙනි කඳවුරකට තියෙන අවස්ථාව අඩුවෙන්න ඉඩ තියෙනව. ඡුන්දදායකයා පක්‍ෂ දෙකකට ඉතාම හිතෛෂීව හා ඉතාම වෛරීව සිටින අවස්ථාවක් තිබුණෙ. මේ තත්ත්වය තුළ අනෙක් කණ්ඩායම් කෙරේ අවධානයක් යොමු කිරීමේ මානසිකත්වයක්, නැඹුරුවක් ඇති නොවීමට ඉඩ තියෙනව. එක කණ්ඩායමක් හිතනව, අනෙක් කණ්ඩායමට ඉඩ නොදී අපි බලය කොහොම හරි රැුකගත යුතුයි කියල. අනික් පිරිස හිතනව, මේ අවස්ථාවේ කොහොම හරි බලය අල්ලාගත යුතුයි, තවත් අවස්ථාවක් නැහැ කියල.  ඒ තත්ත්වය තුළ මැද තියෙන කඳවුරක් වන ජ.වි.පෙ. ට කැමති වුණත් ඡුන්දයක් දීමෙන් බලපෑමක් කිරීමට නොහැකි නිසා ඔවුන් ජ.වි.පෙ.ට ඡුන්දය නුදුන්නා කියලයි මට හිතෙන්නේ.

පාර්ලිමේන්තුව කියන්නේ රටේ උත්තරීතර සභාව. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය. මේ ව්‍යවස්ථා මණ්ඩලයට පත්වෙන්නේ මේ රටේ දෙකෝටි විසිලක්‍ෂයක ජනගහනයක් පාළනය කිරීමට සුදුසු පිරිසක්ද?

පත්වෙන අය සුදුස්සන්ද? නුසුදුස්සන්ද? කියල අහනවට වඩා ඒ පත්වීමේ තියන ක‍්‍රමයේ අඩුපාඩුව සැලකිල්ලට ගතයුතු බවයි මගෙ අදහස. ගොඩක් දෙනෙක්ගෙ මතයට වඩා මගේ මතය වෙනස්.

මම මේ ප‍්‍රශ්නය දෙස බලන්නේ මෙහෙමයි. ඉතාම බඩගින්නේ ඉන්නා කණ්ඩායමක් ඉන්න තැනකට කෑම පාර්සලයක් තියල, ‘‘මම එනකම් මේක පරිස්සම් කරල තියන්න’’ කියල කිව්වොත් ඒක මෝඩ වැඩක්. කෑම පාර්සලය පරිස්සම් කරගන්න නම් හොඳට බඩ පිරිල ඉන්න පිරිසකට එය බාර දිය යුතුයි. අපි ගමනක් ගිහින් එනවිට, බඩගින්නෙ ඉන්න පිරිසට දුන්න කෑම පාර්සලේ කොළේවත් ඉතිරි වෙන්නේ නෑ. අපි කෑම පාර්සලය පරිස්සම් කෙරුවෙ නෑ කියල ඔවුන්ට දොස් කියනව නම් අපි යථාර්ථවාදී නෑ කියලයි මට හිතෙන්නේ. අපිට තියෙන්නේ නුසුදුස්සන් මේ ඡුන්ද පොරයට ආකර්ශනයක් නොවන විදිහක් හදන්න. නුසුදුස්සන් පත්වීම ගැන අවලාද නගනවට වැඩිය එය යහපත්. මෙයාල මොකටද ඡුන්දය ඉල්ලන්නෙ? පළමුවෙනි එක මුදල් හම්බකරගන්න. දෙවෙනි එක බලය. ඒ හේතුව නැති කෙරුවොත් ඵලයත් නැතිවෙයි. හේතුවක් නැතුව ඵලයක් ඇති වෙන්නෙ නැහැ.

ඡුන්දයට නොමිනේෂන් ඉල්ලමින්, කෝටි ප‍්‍රකෝටි ගණන් වියදම් කරමින් මනාප පසුපස දුවන්නේ, රටට ආදරේට නොවන බව පැහැදිලියි. බලය හා මුදල් සඳහායි මොවුන් දුවන්නේ. බලය සුදුස්සන් අතට පත්වුණොත් ගැටලූවක් පැන නගින්නේ නැහැ. නුසුදුස්සන්ට ලැබුණොත් ඉතාමත් නරකයි, භයානකයි. අපි විසින් කළ යුත්තේ කුමක්ද? බලය හා මුදල් පසුපස දුවන කණ්ඩායම නැතුව, රටට ආදරේ කරන කණ්ඩායමක් ඡුන්දයට ඉදිරිපත්වෙන ආකාරයට දිරිදෙන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඒක තමයි කළ යුත්තේ.

බලය සහ මුදල් පස්සේ යන අය දේශපාලනට ආකර්ෂණය වෙන්නේ ඇයි? ඡුන්දය දිනූ පසු බලයෙන් හා මුදලින් වැඩ ගන්න ඔවුන් හැකියාවක් තියෙන නිසා. ඡුන්දයට මුදල් යෙදවීම එම අය කරන ආයෝජනයක්.

මේකේ පළමු වැරැුද්ද තියෙන්නේ පාර්ලිමේන්තු නියෝජිතයන්ට ඇමතිධුර දැරීමට ඇති හැකියාව තුළයි. ඔය යන පිරිස පාර්ලිමේන්තු යන්නේ රටට අවශ්‍ය නීති සම්පාදනය කරන්නද? නැහැ. පාර්ලිමේන්තුවේ රාජකාරිය නීති සම්පාදනය කිරීම හා පවත්නා රජය නීත්‍යානුකූලව වැඩ කරනවාද කියා බැලීමයි. ඒක නිසා තමයි ව්‍යවස්ථාදායක යනුවෙන් හඳුන්වනු ලබන්නේ. එය විධායකයක් නෙමේ, ව්‍යවස්ථාදාකයක්.

ජේ.ආර්. ජයවර්ධන මහත්තයගෙ 1977 ව්‍යවස්ථාවෙ මම දැක්ක හොඳම දේ තමයි, එම ව්‍යවස්ථාවෙ උත්සාහයක් අරගෙන තිබුණ,  ව්‍යවස්ථාදයකය, විධායකය, අධිකරණය වශයෙන් කොටස් තුනකට බෙදන්න. එය අසම්පූර්ණ වීමේ වැරැුද්ද තමයි අපිට අද දවසේ අත්විඳීමට සිදු වී තිබෙන්නේ. එහි අඩුවක් තිබුණ. මේ තුන වෙන්වන් වශයෙන් පෙනුනත්, ‘ඇමති මණ්ඩලය පත්කළ හැක්කේ පාර්ලිමේන්තුවෙනි’ කියන වගන්තිය එහි තිබුණ. තේරීපත් වූ හෝ පත්කළ මන්ත‍්‍රී වරයෙක් හෝ නොවුනොත් ඇමති ධුරයක් දැරීමට එහි ඉඩකඩ තිබුණෙ නැහැ. එතකොට ඇමති කෙනෙක් වීමට මන්ත‍්‍රී කෙනෙක් විය යුතුයි. ‘මගේ අරමුණ නීති සම්පාදනය කරන එක නෙමෙයි. මගේ අරමුණ ඇමති කෙනෙක් වෙලා මුදල් හම්බ කිරීම සහ බලය පවත්වාගෙන යාම. ඒ දෙක සඳහායි අපට අවස්ථාව ලැබෙන්නෙ. එයට ගොඩ වීමට ඉනිමග වෙන්නේ පාර්ලිමේන්තුවට යාම. ඒ නිසා මම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනව.’ එකයි ඔවුන්ගේ සිතිවිල්ල. අපිට ඇමරිකාව හෝ ප‍්‍රංශය මෙන් තවත් පියවරක් ඉදිරියට යන්න තිබුණ නම්, ‘පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ඇමතිවරයෙක් විය නොහැක’ කියල, එය මේ තත්ත්වයන් වලක්වන පියවරක් වෙන්න තිබුණ. ප‍්‍රංශයේ සහ ඇමරිකාවේ තියෙන්නේ ඒ වගේ ක‍්‍රමයක්.
ප‍්‍රංශ ක‍්‍රමය අනුව ජනධිපති පත්වෙන්නෙ මහජන ඡුනදයෙන්. ඇමති මණ්ඩලය පත්කරනේනේ ජනාධිපති විසින්. ඒ සඳහා සම්පූර්ණ නිදහස ජනාධිපතිට තියෙනව. ඔහු පත්කරන්නේ රටේ සුදුස්සන් අතරින් තෝරා ගන්නා පිරිසක්. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඇමති තනතුරට පත්කෙරුවහොත් ඔහු වහාම පාර්ලිමේන්තු පක්‍ෂයෙන් ඉවත්විය යුතුයි. ඔහු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ පෙනීසිටිමින්, පාර්ලිමේන්තුවට උත්තර බැඳිය යුතුයි. පාර්ලිමේන්තුව විසින්  ‘ඔහුගේ කාර්යභාරය නිවැරදිව කරනවද?’ කියල අසන ප‍්‍රශ්නවලට ඔහු විරුද්ධ පක්‍ෂයේ සිට පිළිතුරු සැපයිය යුතුයි. ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව මේ විධායකය හඳුන්වන්නේ ඇමතිවරුන් වශයෙන් නොව ලේකම්වරුන් වශයෙනි. ඔවුන් ද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විය නොහැකියි. කොටින්ම ව්‍යවස්ථාධායකයකුට විධායෙකයේ වාඩිවිය නොහැකි අතර විධායකයෙකුට ව්‍යවස්ථාදායකයේ මන්ත‍්‍රි දුරයක් දැරිය නොහැකියි. මන්ත‍්‍රී වරයෙකුද විය නොහැකියි. ජේ.ආර්. ජයවර්ධන මහතා ව්‍යවස්ථා සංසෝදනය හරියටම කෙරුව නම් කළ යුතුව තිබෙුණේ මේ ක‍්‍රමය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමයි. එවිට ‘පාර්ලිමේන්තු මන්ත‍්‍රීවෙලා ඇමතිකෙනෙක් වෙන්න බෑ’ කියන පණිවිඩය යනව. එතකොට මුදල් හම්බ කිරීමේ චේතනාවෙන් පාර්ලිමේන්තු යන පිරිස හැලෙනව. එතකොට පාර්ලිමේන්තුවට යන්න උත්සාය ගන්නේ රටට ආදරය කරන, රට ගැන තැකීමක් ඇති, රටේ නීති සම්පාදනය කිරීමට දක්‍ෂ හා හැ`ගීමක්, කැපවීමක් තියන පුද්ගලයන්. සුදුස්සන් පාර්ලිමේන්තුවට ගියහොත් අකාර්යක්‍ෂම ඇමතිවරයෙක්ගෙ තනතුර අහෝසි කරන්න පුළුවන්.  පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇති තාක් පමණයි ඇමතිවරයෙකුට එම තනතුරේ ඉන්න පුළුවන්.

පසුගිය මැතිවරණයේ දී තිබුණු ප‍්‍රධානතම සටන් පාඨයක් තමයි ‘ජනාධිපතිසතු විධායක බලතල ඉවත් කර පාර්ලිමේනේතුවට එම බලය පැවරීම’ කරන බව. එය පසුගිය මැතිවරණ කිහිපයකත් ප‍්‍රධාන මැතිවරණ පොරොන්දුවකි වෙලා තිබුණ. දැන් එය තරමක් දුරට ක‍්‍රියාත්මක වෙලත් තියනව. මේ තත්ත්වය යටතේ මන්ත‍්‍රීවරයෙකු සතු බලය තවත් වැඩි වෙනව නේද?

ඔව් මෙමගින් සිදුවෙන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු සතු බලතල තවත් බලගැන්වීමක්. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු බලගැන්විය යුත්තේ ව්‍යවස්ථාදායකය කියන ක්‍ෂේත‍්‍රය තුළයි. විධායකය කියන ක්‍ෂේත‍්‍රය තුළ නෙමෙයි.

නගර සභා සහ ප‍්‍රදේශීය සභා විධායක ආයතන. ඒ අයගෙ යෝජනා ස්ථිරත්වයෙන් හෝ ඒ අය අතරින් විධායකයට සුදුස්සන් පත්කර ගැනීමට ක‍්‍රමයක් ඇතිකර ගත හැකියි. ඔවුන් අදාල ආයතනවල ක‍්‍රියාකරන ආකාරය, ඔවුන්ගේ කළමණාකරන හැකියාව, ඔවුන්ගේ පාලන සභාවල ප‍්‍රගතිය ඒ සඳහා නිර්ණාකයන් කරගත හැකියි.

විධායකයේ ඒකාධිපති බලතල අයින්කිරීම පිළිබඳව මම එක`ග වෙනව. එසේ වුවත් ශක්තිමත් විධායකයක් ද තිබිය යුතුයි. 19 වන සංසෝදනය සාධනීය ක‍්‍රියාමාර්ගයක්. නමුත් තවදුරටත් විධායකය දුර්වල කිරීම නම් රටට සුභවාදී වෙන එකක් නෑ
විධායකයේ ඒකාධිපති බලතල අයින් කිරීම පිළිබඳව මම එක`ග වෙනව.   විධායකය තවත් ශක්තිමත් විය යුතුයි. 19 වන සංසෝධනය සාධනීය ක‍්‍රියාමාර්ගයක්. තවදුරටත් විධායකය දුර්වල කිරීම රටට සුභදායි වෙන්නෙ නෑ.

අපේ රටට ගොඩඒමක් නැත්තේ සිදුවෙන නාස්තිය නිසා කියන එක පොදු පිළිගැනීමක්. එයට පිළියම් සෙවීමකුත් පෙනෙන්න නැහැ. දේශීය සමාගම් වලට හෝ රාජ්‍ය ආයතනවලට අඩු පිරිවැයකින් කළ හැකි ඉදිකිරීම් හා සේවාවන් ටෙන්ඩර් පටිපාටිවලින් තොරව පවා විදේශ සමාගම්වලට දෙන අවස්ථා තියෙනව. මේ තත්ත්වය පිළිබඳ ඔබගේ අදහස?

ආර්ථිකය ගැන කතාකිරීමේදී අපි ගුණාකාර වර්ධනයක් යනුවෙන් කතාකරනව. එසේ වෙන්නේ දේශීය ආර්ථිකයේ ඇති සංවර්ධන අවස්ථා දේශීය ව්‍යවසායකයාට ලැබුණොත් පමණයි. අපි උදාහරණයක් ලෙස ගම්මු කෙනෙක් තමන්ගේ නිවසේ රත්තරන් බඩු කර්මාන්තයක් පවත්වාගෙන යනව කියල, එය තමන්ගේම ව්‍යාපාරයක්. තමන්ගේ හෝ තමන්ගේ කෙනෙක්ගෙ විවාහ උත්සවයක් එළඹෙනව. එහිදී රත්තරන් බඩු ගැනීමට ක‍්‍රම තුනක්් තියෙනව.  තමන්ට තීරණය කරන්න පුළුවන් අවශ්‍ය රත්තරන් බඩු තමාගේ වැඩපොළෙන් හදාගන්නවද? පිටින්ගන්නවද? කියල. පිටින් ගන්නවද කියන එක, දේශීය නිෂ්පාදනයක් ගන්නවද? පිටරටකින් ගන්නවද කියල තීරණය කරන්න පුළුවන්. එම භාණ්ඩය තමන්ගේ වැඩපොළෙන් ගන්නෙ නැත්තෙ තමන්ටම එහි ගුණාත්මකභාවය ගැන සෑහීමක් නැති නිසයි. තමන්ට විශ්වාස නම්, තමන්ගේ කර්මාන්ත ශාලාවේ බඩුවල ගුණාත්මකභාවය ගැන, තමන් අවශ්‍ය රත්තරන් බඩු තමන්ගෙ වැඩපොළෙන්ම ගතයුතුයි. එසේ නොකරනවා නම්, එය තමන්ගේ දැක්මේ ප‍්‍රශ්නයක්. නැත්නම් තමන්ගේ මනසේ ලොකු අඩුපාඩුවක්. එය තම කර්මාන්තයේ අනාගතය තමන් විසින්ම නොතකා හැරීමක්. තමන් එම රත්තරන් බඩු සඳහා වියදම් කරන මුදල තමන්ගේ කර්මාන්ත ශාලාවට ගියොත් තමයි, තමන්ගේ කර්මාන්තයේ ප‍්‍රවර්ධනයට හේතුවෙන්නෙ. එම මුදල පිටට ගියොත් එයින් තමන්ට ඇති වැදගත් කමක් නෑ. පිටින් ගැනීමේ දී විදේශයකින් ආනයනය කළහොත්, වැඩිපුර ආර්ථික හානියක් සිදුවෙනව. රටේ විදේශ විනිමය පිටරටට ඇදී යනව.

විදුලි බලාගාරයක් හෝ ගොඩනැගිල්ලක් හෝ අධිවේගී පාරක් හෝ දුම්රිය මාර්ගයක් සඳහා මේ තත්ත්වය පොදුයි. රටේ සුබ අනාගතයක් දෙස බලන්න අවශ්‍යනම්, රටේ අනාගතයක් ගැන හිතනවානම් කළ යුත්තේ මේ කටයුතු රට තුළින්ම සම්පාදනය කරගැනීමයි. ඒක තමයි කේන්සියානු ආර්ථික සැලැස්ම යටතේ අපි කිව්වේ, පසු සම්බන්ධතා හා ඉදිරි සම්බන්ධතා හදමින්, ආර්ථිකයේ තියෙන අවස්ථා හදමින් රටෙන් විදේශයන්ට ගලායන මුදල් නවත්වා එම ව්‍යාපෘතීන්ගේ මුදල් රටේ සිටින කර්මාන්තකරුවන්, ඉදිකිරීම්කරුවන් හෝ රාජ්‍ය ආයතන අතර සංසරණය විය යුතුයි. අපි කරන වියදම ආපසු අපිටම ආයෝජනයක් විය යුතුයි. අපේ දාඩිය අපේ පසටම පොහොර විය යුතුයි. අපේ දාඩිය වෙන පසකට පොහොර වුවහොත්, අපේ ජවරෝදය කැරකීම නතරවෙනවා හෝ අඩාල වෙනව.

උදාහරණයක් ලෙස රේල් පාරක් හෝ මහා මාර්ගයක් විදේශ රටකට දීල හදනයන ගාණටම වුවත්, අපි හැදුවා නම් හොඳයි. විදේශිය රටකට කොන්ත‍්‍රාත්දීල හදනවට වැඩිය. එහෙමයි මම හිතන්නේ. පිට රටක කොන්ත‍්‍රාත්කරුවෙක් හදනවට වැඩිය කීපගුණයක් අඩුවෙන් හදන්න අපිට පුළුවන්. සුනාමියෙන් කැඩුනු රේල්පාර කිලෝ මීටර්  60 ක් හදන්න අපිට ගියේ රුපියල් මිලියන 450 ක පමණ මුදලක්. තාන්ඩිකුලම් සිට  ඕමන්ත දක්වා කිලෝ මීටර් 10 ක් හදන්න එක කිලෝ මීටරයකට අපිට ගිහින් තියෙන්නෙ ඩොලර් වලින් ගත්තොත් මිලියන දශම හතරක් විතර මුදලක්. ඊට පසුව අනෙක් රේල්පාරවල් හදන්න ගිය වියදම් සමග සන්සන්දනාත්මකව බැලූවොත් මේ ගණන, 1/5 පංගුවක් විතර ප‍්‍රමාණයක්. ඉන්දියානු ණය ක‍්‍රමය යටතෙ හදපු අනෙක් ව්‍යාපෘතිවල, ඩොලර් මිලියන 2.2 ක් පමණ වෙනව, දකුණෙ හදන මාතර – බෙලිඅත්ත මාර්ගයට කිලෝ මීටරයකට සාමාන්‍ය වියදම ඩොලර් මිලියන 8 ක් 10 කට වැඩියි. මේ වියදම් සියයට සියයක් සංසන්දනය දරන්න බරිබව පැහැදිලියි. මාතර – බෙලිඅත්ත මාර්ගය අලූත්ම පාරක්. තියෙන රේල්පාරවල් වල පවා  පරිසර තත්ත්වයන් වෙනස්වන අවස්ථා තියෙනව. නමුත් මෙච්චර විශාල පරතරයක් නම් ඇතිවෙන්නෙ කොහොමද කියන එක ගැටලූවක්.
තමන්ට වැයවන මුදල හා විදේශීය කොන්ත‍්‍රාත් කරුවන්ගෙ මිල එක මිලක් වුවත්, සංවර්ධනය වන රටවල කළේ, තමන්ගේ කර්මාන්තකරුවන්ට එහි වාසිය ලබාදී, දේශීය කර්මාන්තයට ප‍්‍රමුඛත්වයක් දීමේ ප‍්‍රතිපත්තියක් අනුගමන කිරීමයි. මැලේසියාවේ මහතීර් මොහොමඞ්  කර්මාන්ත සංවර්ධනය කරමින්, අධිවේගී මාර්ගය ඉදිකෙරුවේ දේශීය සමාගම් හරහායි. දේශීය ආර්ථිකයේ ජවරෝදය කරකැවීමට තල්ලූවක් පිණිසයි එවැනි ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කළේ. එසේ නමුත් දැන් අපි කරන්නේ අපේ කුඹුරේ අස්වැන්න පිටරැුටියන්ට නෙලාගැනීමට ඉඩදී අහකබලා ගෙන සිටීමක් වැනි වැඩක්.

රාටේ ජාතික ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය නම්, ආර්ථික තිරසාරත්වය ඇති කිරීමට අවශ්‍ය නම් රට තුළ පැනනගින්නාවූ සියලූ ආයෝජන කටයුතුවලට ජාතිකත්වයක් එකතු කළ යුතුයි. අපිට මේ ගැන ඉන්දියාවෙන්  ඕනතරම් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ඉන්දියාවේ චිත‍්‍රපටයක පවා තියෙන්නේ ඉන්දීය ජාතිකත්වය. සුද්දන්ව පරද්දන්නෙ කොහොමද කියන එක. ඉන්දියාවෙ රොකට් එකක් හැදුවත් එකට දාන්නෙ හින්දි නමක්. මිසයිලයක් හැදුවත් එහෙමයි. එකට දාන්නේ ‘අග්නි මිසයිල්’ වගේ නමක්. ඉන්දියන් ජාතිකයන් හැමදෙයක් තුළම ඉන්දීය ජාතිකත්වය කවල තියෙනව. අපි හැමවිටම කරන්නෙ අපේ දේ බාල කරල පිටදේ අගය කරලයි කතා කිරීමයි. මේ දිනවල ඉඩම් කට්ටි කර විකුණන සමාගම් ඒ ඉඩම්වලට දාන්නෙ එංගලන්තයේ නම්. එතකොට තමයි ඉල්ලූමක් ඇති වෙන්නෙ. අපේ රටේ මිනිස්සු දීන ජාතිකයක් වේගෙන යනව. දීන කමේ ලක්‍ෂණ තමයි අපිට නැවත නැවතත් ඉස්මතු වෙන්නෙ. ‘අපිට මේව බෑ. අපිට මේව කරන්න අවශ්‍ය නෑ.  ඕව හරියන වැඩ නෙමෙයි. කාටහරි දීල කරගම්මු.’ මෙන්න මේ මානසිකත්වයෙන් තමයි හිතන්න පුරුදුවෙන්නේ. මේ මතින් දේශීයව කරනවට වැඩිය 5 – 6 ගුණයක්්  පිටරට සමාගම් වලට දීල, කීයක් හරි සාක්කුවේ දාගන්න පිරිසක් මේ දීන කම ප‍්‍රයෝජනයට ගන්නව. මේ දීන මානසිකත්වය ඒ පිරිසකට මුදල් ගසා කෑමට උදව්වක් වෙනව.

රටේ ප‍්‍රතිපත්තියමය තීන්දුවක් තිබුන නම්, මේ කටයුතු දේශීය වශයෙන් කරගත යුතුයි කියල, අර කොමිස් කුට්ටි ගන්න පිරිසට එය ලේසියෙන් කරන්න බැරිවෙනව. ඒ වගේම කම්මැලි කමින් කුසීතව ඉන්න පිරිසට පැවැත්මක් නැතිවෙනව. රටක ජාතික සංවර්ධනයක් ගොඩ නැගෙන්න නම්, ඒ ජාතික සංවර්ධනය තුළ, දේශීයත්වයක් තිබිය යුතුයි. දේශීය හැ`ගීමක් තිබිය යුතුයි. එහෙම නැතිව, දළ ජාතික නිෂ්පාදනය කියන සංකල්පය කතා කිරීම අර්ථයක් නැති වැඩක්. අපි රටේ දියුණුව ගණන් බලන්නෙ දළ ජාතික නිෂ්පාදනය කියන සංකල්පය මත නම්, යමක් ජාතික ආර්ථිකයට එකතු වීමට වැඩි අගයක් තිබිය යුතුයි. නැත්නම් දළ ජාතික නිෂ්පාදනයක් කියන දෙයක් ගැන කතා කිරීම ඵල රහිත කරුණක්.

අපි කරන සෑම සැලසුමක්ම ¥ෂණය, නාස්තිය අවම වෙන ආකාරයටත්, කරන හැම වියදමක්ම, ආර්ථිකයට නැවතත් පොහොර වෙමින්, නැවතත් පැළ වෙලා, නැවත පොළොවට පොහොර වෙලා, නැවතත් පැළ වෙමින් දිගින් දිගටම පැවතීමටයි. ගුණාකාර වශයෙන් වර්ධනය වීමට ආර්ථිකය සැලසුම් කළ යුතුයි. මේ දෙක නොකරතාක් අපට අනාගතයක් ගැන සිතීම සිහිනයක්. අපිට හැමදාමත් කියන්න වෙන්නෙ අන්න අර රට ඉස්සරහට ගිහින් අපි තාමත් මෙතැන කිය කිය ඉන්න තමයි.

මනෝජ් රූපසිංහ

 



 

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *