ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය හමුදාවට දුන්නේ කවදාද ? – මහින්ද රත්නායක

නොවැම්බර්

30

7:03 පෙ.ව.

admin

 

හමුදා කුමන්ත‍්‍රණයක අනතුරක් ඇති බවට දිනේශ් ගුණවර්ධන  මන්ත‍්‍රිවරයා පාර්ලිමේන්තු වරප‍්‍රසාද වලට මුවාවී පසුගියදා කළ  ප‍්‍රකාශය පිළිබඳව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කාගේත් අවධානය යොමුවිය යුතුව ඇත. ගුණවර්ධන මන්ත‍්‍රිවරයාගේ මේ ප‍්‍රකාශයෙන් පෙනී යන්නේ  ජනතාවගේ පරමාධිපත්‍යට ගරු නොකරන භූතයෙක් ශ‍්‍රී ලංකා ජනරජය තුළ හොල්මන් කරන බව යි.  ඉතිහාසගත ජනවාරි 08 වෙනිදාට පසුදින, එනම් ජනවාරි 09වෙනි දි පාන්දර යාමයේ අරළියගහ මන්දිරයෙන් තුළින් මතුවීමට වෙරදැරූ මේ  භූතයාට උඩගෙඩි දෙන ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ඇතුලූ ඒකාබද්ධ විපක්ෂයට  මතක්කර දියයුත්තේ  ශ‍්‍රි ලංකා ජන රජයේ පරමාධිපත්‍ය පිහිටා ඇත්තේ  ජනතාව කෙරෙහි මිස හමුදාව කෙරෙහි පිහිටා නොමැති බවය.

හමුදාවේ ගෝඨාභයකරණය

ශ‍්‍රි ලංකාවේ හමුදාව තුළ ගුණවර්ධන මන්ත‍්‍රිවරයා කියන ආකාරයේ කුමන්ත‍්‍රණක සේයාවක් හෝ නොමැති නමුත්  ගෝඨාභයකරණයට ලක් වූ හමුදාවේ සුළු පිරිසක් තුළ මෙවැනි මතිභ‍්‍රමයක් තිබෙන්නට බැරිකමක් නැත. රාජපක්ෂලාගේ පාලන කාලය තුළ දී හමුදා නීතියෙන් මෙන්ම රටේ සාමාන්‍ය නීතියෙන් පරිබාහිරව මෙම පිරිස් රාජපක්ෂලාගේ උවමනාකම් අනුව නොයෙකුත් අපරාධ මෙන්ම වෙනත් ¥ෂණ කටයුතුවල යෙදුන බව කවුරුත් දනිති. නව ආණ්ඩුව බලයටපත් වූ පසුව ඔවුනගෙන් සමහරක් නීතියේ රැුහැනට හසුවී  සිටින අතර තවත් අයවලූන් සම්බන්ධයෙන් මේ වනවිට ද පරික්ෂණ ක‍්‍රියාත්මක ය.

මෙම පරික්ෂණ සඳහා හමුදාවේ ඇතැම් නිලධාරීන්ගෙන් සහයෝගය නොළැඹෙන බවට ද චෝදනා ඇත. මේ පරික්ෂණවලට සහාය නොදෙන්නේ නම් හමුදාපතිව අත්අඩංගුවට ගැනීමට නියෝගදීමට සිදුවන බව හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා වරෙක ප‍්‍රකාශ කළ බව ද මාධ්‍ය වාර්තාවල පලවිය. මෙය  ප‍්‍රගීත් එක්නැළිගොඩ ගේ අතුරුදන්වීම පිළිබඳ පැවැත්වෙන නඩු විභාග ය සම්බන්ධ කාරණයකි. ප‍්‍රකට මාධ්‍යවේදියකු වන ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇත්තේ හමුදාවට සම්බන්ධ  අර කී පිරිසට ය. චුදිතයින් වෙනුවෙන් පෙනීසිටින  නීතිඥයින් සඳහා වන ගාස්තු හමුදාවෙන් ගෙවන බවට ද චෝදනා තිබේ. පරික්ෂණ දිගින් දිගටම ඇදෙන ආකාරය දෙස බැලීමේ එම චුදිතයින්ට දූෂණ හා අපරාධවලට සම්බන්ධ හමුදාවේ ඉහළ ඇතැම් පිරිස් තුළින්ම ද රැුකවරණ ලැබෙන බවට සැක කළහැකි කරුණු  ඕනෑ තරම් තිබේ.

ඇවන්ට්ගාඞ් සමාගමේ අවි ගණුදෙනුවෙන් ද  මනාව  පැහැදිළි වන්නේ විශ‍්‍රාම යන ඉහළ නිලයන් සඳහා සරුසාර ආදායම් මාර්ග සකස් කෙරුන බව ය. මෙවැනි වානීජ කටයුතු පමණක් නොව අධ්‍යපන මූල ධර්මවලට ද එකඟ නැති ආරක්ෂක නිළධාරීන්ගේ දරුවන්ට වෙනම විද්‍යාලය  ද විවෘත වූයේ ගෝඨාභය ආරක්ෂක ලේකම් පදවිය දැරූ කාලයේදී ය. ලැබෙන වාර්තාවලට අනුව හමුදාව අත්පත්කරගත් උතුරු නැගෙනහිර ජනතාවගේ  ඉඩම් ආරක්ෂක කටයුතු වලට වඩා යොදවා ඇත්තේ ව්‍යාපාර කටයුතු සඳහා ය. මෙයින් පෙනී යන්නේ මෙයට වසර 12කට පමණ පෙර තිබූ තත්ත්වයට වඩා ආරක්ෂක හමුදා සිවිල් අවකාශය ද කිසියම් ප‍්‍රමාණයකට ආක‍්‍රමණය කරඇති බව ය. සුන් වූ බලාපොරොත්තු ඇති  ඒකාබද්ධ විපක්ෂ පමණක් නොව ගෝඨාභය රාජපක්ෂ ශ‍්‍රීලනිපයේ දෙවෙනි නායකයා බවට පත්කර ගතයුතු බවට ශ‍්‍රීලනිපයට සම්බන්ධ ඇමතිවරයෙක් ද මෑතක දී ප‍්‍රකාශ කළේ ය. මෙයින් පෙනී යන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය කෙරෙහි විශ්වසයක් නැති, හමුදාමය හෝ එවැනි ස්වරූපයේ පාලනයක්  අපේක්ෂා කරණ ඉතා සුළු පිරිසක් ආණ්ඩුව තුළ ද සිටින බවය. මේ පිළිබඳව වත්මන් ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතුව තිබේ.

රණවිරු දෘශ්ඨිවාදය හා ජාතිවාදය

සමාජය තුළ හෙජමොනික ගතකර ඇති රණවිරු දෘෂ්ටිවාදය  මගින් රටේ නීතියට ඉහළින් හමුදා සාමාජිකයින් ක‍්‍රියාකළත්, එය ඉවසා වැදෑරිය යුතුබවට වූ මතයක් රාජපක්ෂ යුගයේ දී සමාජය තුළ ස්ථාපිත වූ ආකාරයක් දක්නට ඇත. ජනවාරි 08වෙනිදා රාජපක්ෂ පාලනය පලවා හැරීමට මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ජනතාව සමත් වූ නමුත් අර  කී මතය සමාජයෙන් තවමත් ඉවත් වී නැත. දුෂ්ට පාලක රෙජීමයක් පලවා හැර රාජ්‍ය බලය ලබාගැනීමට කිසියම් සමාජ බලවේගය සමත්විය හැකි නමුත් සමාජය තුළ හෙජමොනික ගත වී ඇති මතවාදයක්   සමාජයෙන් ඉවත් කිරීම හෝ යටපත් කිරීම බලය අල්ලා ගැනීම තරම් පහසු වන්නේ නැත.  ප‍්‍රකට මාක්ස්වාදි චින්තකයෙක් වූ ලූවී අල්තූසර් කියන ආකාරයට අර කී බලයට පත් වූ ආණ්ඩුව අර කී දෘෂ්ඨිවාදයට එරෙහිව බලයට පත් වූ සමාජ බලවේගයේ දෘෂ්ටිවාදය අභ්‍යස නොකරන්නේ නම් ඒ සමාජ බලවේගවයට වැඩි කල් රාජ්‍ය බලය දරාසිටිය නොහැක. වෙනත් ආකාරයකට පවසන්නේ නම් ජනවාරි 08 රාජ්‍ය බලය ලබාගත් සමාජ බලවේගයට නීතියේ ආධිපත්‍ය රටතුළ ස්ථාපිත කරගැනීමට අසමත් වන්නේ නම් වැඩිකල් රාජ්‍ය බලය දරා සිටින්නට හැකි වන්නේ නැත. ආබාධිත හමුදා සෙබලූන්ගේ විශ‍්‍රාම වැටුප පිළිබඳ ප‍්‍රශ්නයක් මුල්කරගෙන මෑතක සිදු වූ සංසිද්ධියෙන් ද පැහැදිළි වූයේ ප‍්‍රශ්නය විසඳා තිබියදීත්, කඩාකප්පල්කාරී ක‍්‍රියාවන්ට එළඹීමේ හැකියාව රණවිරු ලේබලය යටතේ කළහැකි බව යි. සංඝ සමාජයේ සිටින  අන්තවාදි සාමාජිකයින් ගේ ආශීර්වාදය අරකී හමුදා කොටස්වලට ලැබීම මේ කඩාකප්පල්කාරි ක‍්‍රියාවන්ට මහත් රුකුලක් වී තිබේ. දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂය දේශපාලනිකව හයියක් ලබාගන්නේ අර කී දුෂ්ට සමාජ බලවේගයන්ගේ පිහිටෙනි.

ඒ අනුව දිනේශ් ගුණවර්ධනලා, රාජපක්ෂකරණයට ලක් වූ හමුදාවේ ඇතැම් කොටස් හා සංඝ සමාජයේ අන්තවාදි කොටස් සමග එක් වී කුමන්ත‍්‍රණකාරි ලෙස රාජ්‍ය  බලය මංකොල්ලකෑමට උත්සහා  දැරීමේ තර්කයක් ඇත. එහෙත් හමුදාවේ අතිමහත් බහුතරය ගුණවර්ධන කියන හමුදා කුමන්ත‍්‍රණයකට පක්ෂ වන්නේ යැයි සිතිය නොහැක.  රාජපක්ෂලාගේ නොමනා ක‍්‍ර‍්‍රියාවන්ට හවුල් වූ හමුදා නිළධාරින් කෙසේ වෙතත් කලාපීය දේශපාලනය තුළ එවැනි හමුදා ආණ්ඩුවකට පැවැත්මක් නැති බව බුද්ධියක් ඇති හමුදාවේ ඉහළම කොටස් හොඳාකාරවම දනිති. මේ බව ඉතා පැහැදිළි ලෙස අමාත්‍ය එස්. බී දිසානායක  මැනවින් පෙන්වා දුන්නේ ය.

 

 ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිර්හමුදාකරණය

යුද්ධය නිම වි වසර පහක් පමණ ඉක්මවා ගිය තැන  සිවිල් පාලනය ස්ථාපිත කරනවා වෙනුවට රාජපක්ෂ රෙජීමය කළේ ජාතික ආරක්ෂාවේ නාමයෙන් රට හිමින් සීරුවේ හමුදාකරණයට   ලක්කිරීම ය.  රාජපක්ෂලා මංකොල්ල කෑ ජාතික ධනය ආරක්ෂා කරගැනීමට එයින් පිට වෙනත් ක‍්‍රමයක් තිබුණේ නැත. යුද්ධය අවසන් වූවත් රට භීතියක ගිල්වා තිබුණේ රට හමුදාකරණය කිරීම සාධාරණය කරගැනීමට ය. මේ මොහොතේ පවා ගුණවර්ධන මංත‍්‍රිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය රටේ භීතියක් ඇත්කර ගැනීමට මහන්සි ගන්නේ වත්මන් ආණ්ඩුව අඩපන කිරීමට ය. ජනවාරි 08 වෙනිදා බලයටපත් වූ සමාජ බලවේගයේ අපේක්ෂාව වූයේ රට නිර්හමුදාකරණය කොට රටේ අස්සක් මුල්ලක් නෑර සිවිල් පරිපාලනය නැවත ස්ථාපිත කිරිම ය. ජනාධිපතිතුමා හා අග‍්‍රාමාත්‍යතුමා එක් ව මේ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් දැනටමත් කර ඇත. නායකයින් දෙදෙනාට එක් වී කරන්නට තව බොහෝ දේ ඉතිරි වී තිබේ. රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ නායකයින් දෙදෙනා එක් නොවූයේ නම් හමුදාකරණයට ලක්වෙමින් පැවති රට එයින් ගලවා ගන්නට හැකිවන්නේ නැත.  ජනවාරි 08 වෙනිදා රාජපක්ෂ රෙජීමය පලවා හැරීමට නොහැකි වූවා නම් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කියන්නට ඇත්තේ කවර කථා ද?

දිනේශ් ගුණවර්ධනලා ගේ දුෂ්ට අරමුණ ඉටුකර ගන්නට නම්  කාර්යන් පහක් සම්පූර්ණ කරගතයුතුව තිබේ.  සන්ධානගත වී ඇති ජනාධිපතිතුමා හා අගමැතිතුමා වෙන් කිරීම එයින් පළමු වැන්න ය. රණවිරු ලේබලය යටතේ කුමන්ත‍්‍රණකාරි ලෙස ආබාධිත සහ විශ‍්‍රාමගිය හමුදාවේ කොටස්  නොයෙකුත් ඉල්ලීම් පෙරට දමා මහපාරට කැඳවා ගැනීම දෙවැන්න ය. ජාතිවාදය වැපිරීම තුන්වැන්න ලෙස සැළකිය හැක. රට අනාරක්ෂිත බවට රට තුළ මතයක් ඇති කිරීම සිව්වැන්න ය. රාජපක්ෂලා ගේ වැරදි ආර්ථික ක‍්‍රමෝපය නිසා හටගෙන ඇති මූල්‍ය අර්බුදය විසඳාගැනීමට ගන්නා ක‍්‍රියාමාර්ග කඩාකප්පල් කිරීම පස්වැන්න ය.

සිවිල් පාලනය ශක්තිමත්වීමට හේතුවක් වන නායකයින් දෙදෙනාගේ මේ සන්ධානගතවීම පවතිනතුරු මොනම  කුමන්ත‍්‍රණයකට හෝ වලංගුතාවයක් නැත. එහෙයින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පරිපූරණ ලෙස ස්ථාපිත වන්නට නම් මෙම සන්ධානගතවීම තව දුරටත් පවත්වාගත යුතුව තිබේ. සුළු මත ගැටුම් පැවතිය හැකි නමුත්  එම කරුණ නායකයින් දෙදෙනාම හොඳින් වටහාගෙන ඇති බව පැහැදිළිව පෙනෙන්නට ඇත. නීතියේ ආධිපත්‍ය පිහිටුවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට නම් එවැනි කැපවිමක් කළ යුතු බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.

රණවිරු ලේබලය යටතේ හමුදාවට සම්බන්ධ වී සිටි කොටස්  ගුණවර්ධණ මන්ත‍්‍රිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් උසීගැන්වෙන බව නායකයින් දෙදෙනාම වටහාගෙන ඇත. ආරක්ෂක හමුදාවට කලක් සම්බන්ධ වී සිටි මෙම කොටස් අහිංසක නොමැති බව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියලූදෙනාම වටහාගත යුතු ය. ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනවා තබා ඒ ගැන පාර්ලිමේන්තුවේ විවාදයකට හෝ භාජනය වී නැති තත්ත්වයක් තුළ රට බෙදන ව්‍යවස්ථාවක් සම්පාදනය කර ඇති බවට ගෙන යන ප‍්‍රචාරය නින්දිත ය. මෙයින් උත්සාහ දරන්නේ රට තුළ ජාතිවාදයක් ගොඩනැගීමට ය.

රටේ මූලික නීතිය හෙවත් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය වන්නේ රාජපක්ෂලා ගිය ගමනට පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද කිසියම් ප‍්‍රමාණයකට හේතු වූ නිසාවෙනි. වසර ගනනාවක සිට ගුණවර්ධනලා පට්ටා ගැසූ ජේ. ආර්. ජයවර්ධනගේ ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කිරීමට ගුණවර්ධනලා අද විරුද්ධ වන්නේ ඔවුන් අපේක්ෂාකරන ෆැසිස්ට් පන්නයේ පාලනයක් ගෙන යෑමට ජේ. ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව කදිමට ගැලපෙන නිසා ය. රට බෙදන බවට කරන ප‍්‍රචාරය හා හමුදා කුමන්ත‍්‍රණ බිල්ලෙකු මවා පාන්නේ වෙන කිසිවක් නිසා නොව ආපස්සට හැරවිය නොහැකි ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේ රටේ ස්ථාපිත වෙනවා දකින්නට දිනේශ් ගුණවර්ධනලා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය  අකැමැති නිසාවෙනි.

 

 

 

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *