මෛත්‍රී යන්නෙත් මහින්ද ගිය පාරේමද ? – මහින්ද රත්නායක

සැප්තැම්බර්

28

8:37 ප.ව.

admin

ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයකට විශේෂණයක් ඉදිරියේ නොයෙදුවත් විධායකය වන්නේ ජනාධිපතිවරයා බව අපි දනිමු.  විධායකය, ජනාධිපතිවරයා වන නිසාම එවැනි ආණ්ඩුක‍්‍රම ජනාධිපති ආණ්ඩුක‍්‍රමය ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස ඇමෙරිකානු සහ ප‍්‍රංශ ආණ්ඩු ක‍්‍රම ජනාධිපති ආණ්ඩුක‍්‍රම ලෙස මිසක් විධායක ජනාධිපති ආණ්ඩුක‍්‍රම ලෙස හඳුන්වන්නේ නැත. එහෙත් ලංකාවේ අපි අපේ ජනාධිපති ආණ්ඩු ක‍්‍රමය හැඳින්වීමට විධායක යන විශේෂණයක් ද යොදමු. එම විශේෂණය කෙසේ ව්‍යවහාරයට පැමිණියේ ද යන්න කිසිවෙකු නොදන්නා නමුත්, අපේ රටේ ජනාධිපති ආණ්ඩු ක‍්‍රමය විධායක ජනාධිපති ආණ්ඩු ක‍්‍රමය ලෙස නම් කිරීම තර්කානුකූල ය. එය එසේ වන්නේ අපේ ක‍්‍රමය මේ තුන් ලෝකයේම නොපවතින ජනාධිපති ක‍්‍රමයක් වන නිසා ය. ජනාධිපති ක‍්‍රමය පවතින වෙනත් රටවල ජනාධිපතිවරයා රටේ මුලික නීතිය හෙවත් ව්‍යවස්ථා රාමුව තුළ සිටින නමුත් අපේ ජනාධිපතිවරයා සිටින්නේ ව්‍යවස්ථාවෙන් පිට ය. ව්‍යවස්ථාවෙන් පිට ජනාධිපතිවරයා සිටීම  ප‍්‍රජතන්ත‍්‍රවාදයට එකග නැති නිසාම ජනාධිපති ධුරය පිහිට වු දින සිටම එයට විවේචන එල්ල විය. බලයට පත් වූ පසු ඉවත් නොකළ නමුත්, විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීම සෑම ජනාධිපතිවරණයකම මූලික සටන් පාඨයක් වූයේ ද ඒ නිසාම ය. කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසු  මේ අරුම පුදුම ජනාධිපති ක‍්‍රමයට කිසියම් සීමාවක් පැනවුණි. වසර හතර හමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකිවීම සහ මූලික අයිතීන් කඩවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නීතියේ රාමුව තුළට ගැනීම එම සීමාවේ.
සිවිල් හා පුරවැසි සංවිධානවලට අවශ්‍ය වූයේ ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන්  ඉවත්කර ගැනීමට ය. නමුත් පැවති පාර්ලිමේන්තුවේ බහුතරය  එයට සහයෝගය දුන්නේ නැත. රාජපක්ෂගේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රිවරු එයට සහයෝගය නොදුන් නමුත් මෛත‍්‍රිපාල සිරිසේනව ජනාධිපතිවරයා කළ ජනතාවගේ අපේක්ෂව තවමත් එසේම ය. රාජපක්ෂවාදි පාර්ලිමේන්තුව වෙනුවට දැන් ඇත්තේ මෛත‍්‍රිගේ සහ රනිල්ගේ පාර්ලිමේන්තුවකි. එහෙයින් ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීමට දැන් කාගෙන්වත් බාධාවක් තිබිය නොහැක. මැතිවරණය අවසන් වූවාට පසු විදේශ නිරික්ෂකයින් ඉදිරියේ දී ද තමා ජනාධිපති ක‍්‍රමය ඉවත්කරණ බවට මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පුතිඥාවක් දුන්නේ ය. ප‍්‍රතිඥව අමතක වූ හෙයින් දෝ ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීමට නොකැමැති බව ඇඟවෙන කථාවක් ඊට දින කිහිපයකට පසුව කිරීමෙන් ජනාධිපතිවරයා බෝලය පාර්ලිමේන්තුවට පැවරීමට වග බලාගත් බව පෙනුනි.
ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීමට ජනාධිපතිවරණයට පෙර පැවති උනන්දුව දැන් ජනාධිපතිවරයාට නැති සේයකි. ඉදිරි පාර්ලිමේන්තුවේ බහුතර බලය තම පක්ෂයට ලබාගැනීමේ උනන්දුවක් ද ජනාධිපතිවරයාට ඇති බව පෙනේ. පක්ෂයේ නායකයා ලෙස ශ‍්‍රිලනිපය තුළ තම බලය තහවුරුකර ගැනීමට එවැනි අරමුණක් ඇතිබව පෙන්වීම උපායික පියවරක් ද විය හැක. එහෙත් ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීමට ඇති උවමනාව හිතාමතාම අමතක කිරීම නොසළකා හැරිය නොහැක. ජනාධිපති ක‍්‍රමය ඉවත් නොකළයුතු බව ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වූ ශිරාල් ලක්තිලක පසුගිය දා කළ ප‍්‍රකාශය ද සැක උපදවන්නකි. ව්‍යවස්ථාදායක සභාවට පත්කළ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වූ අමාත්‍ය චම්පික රණවක ද ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීමට විරුද්ධ  අයෙකි. චම්පික නිතරම කියන්නේ රටේ ඒකිය භාවය රකින්නට ජනාධිපති ක‍්‍රමය අවශ්‍ය බව ය. මොහු ට අනුව අනාගතයේ දී දෙමළ ජනයාගෙන් ඒකිය භාවයට තර්ජනයක් ඇතිවිය හැක. රාජපක්ෂ මෙන්ම චම්පික ද උත්සාහ දරන්නේ අනාගතයේ සිංහළ ඡුන්ද වලින් රටේ නායකයාවීමට ය. 19 වෙනි සංශෝධනයේ දි රණවක ශි‍්‍රලනිප මන්ත‍්‍රීවරුන්ගේ ස්ථාවරයේ සිටියේ එහෙයිනි. ආසන 275ක් දක්වා වැඩිකර 20වෙනි සංශෝධනය සම්මතකරවා ගැනීමට උත්සාහ දැරූ අශෝක අබේගුණවර්ධන ද ජනාධිපතිවරයා සමග සමීප ය. මේ පෙර ගමන්කරුවන් ගේ ප‍්‍රකාශ ජනාධිපතිවරයාගේ අභිලාශයට සමපාත නොවේය යන්නට කියන්නට තරම් කරුනු නැත. එහෙයින් බලයට පත්වීමට පෙර කුමක් පැවසුවත් මෛත‍්‍රිපාල සිරිසේනත් ජනපති ක‍්‍රමයට ලොල්බැඳ ඇති බවක් නම් පෙනෙන්නට තිබේ.
පාර්ලිමේන්තුවට බලය පැවරුනු පසු එහි ප‍්‍රධානියා වෙන්නේ අගමැතිය. එම නිසා ජනාධිපති ක‍්‍රමය ඉවත්කර ගැනීමට අගමැතිවරයාට උවමනාවක් නොමැති වෙන්නට හේතුවක් නැත. එහෙත් ඒ සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්ත ඔහුට අවශ්‍ය ය. පාර්ලිමේන්තුවේ 2/3 ජනාධිපති ගේ කැමැත්තෙන් තොරව ලබාගැනීමට නොහැකිවීම එයට හේතුව ය. ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳ සාකච්ඡුාව  ඇනහිට තිබෙන්නේ මේ කඹ ඇදිල්ල නිසා වන්නට පුළුවන. ඇමතිවරු හැට හුටාහාමාරටම නියෝජ්‍ය ඇමතිවරු ඇතත්, අගමැති යටතේ ඇති ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිවරයෙකු හෝ නැත. ව්‍යවස්ථා කටයුතු පිළිබඳ වැඩක් කෙරෙන බවක්ද පෙනෙන්නට නැත. සිවිල් සමාජයට ද දැන් ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීම අමකත වී ගියා සේයකි. කල්යන ප‍්‍රමාණයට දේශපාලන මතිමතාන්තර අතර ගැටුම්  මතුවීම ස්වාභාවික ය. එවිට  ජනාධිපති ක‍්‍රමය තබා  සීමිත හෝ ව්‍යවස්ථා වෙනසක් කරගන්නට තිබෙන ඉඩකඩ වැසීයන්නේ ය. එසේ වුවහොත් නීතියෙන් පිටන් සිටින ජනාධිපති ඉදිරියටත් එසේම සිටිනු ඇත. ඒ අනුව තුන් ලෝකයේම නැති, අපේ විධායක ජනාධිපති ක‍්‍රමය තවත් කාලයකට යෙහෙන් වැජඹෙනවා නොඅනුමාන ය.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *