මා දුටු බරපතළම සිද්ධිය මෙයයි – හෝමාගම හිටපු මහේස්ත්‍රාත් එක් පුද්ගලයකුට කරන හානියක්, වරදක් නොවෙයි. සමස්ත ජනතාවටම කරන හානියක්.

ජූලි

20

8:14 පෙ.ව.

admin

 

ප්‍රගීත් එක්නැලිගොඩ නමැති මාධ්‍යවේදියකු පැහැරගෙන යාම සම්බන්ධ නඩු විභාගය පැවැති දින බලහත්කාරයෙන් අධිකරණයට පැමිණ බලහත්කාරයෙන් ප්‍රකාශයක් කර විත්තිකාර ස්වාමීන්වහන්සේ පිටව ගියා. අධිකරණ ශාලාවට ඔහුට එන්න හෝ යන්න මා කීවේ නැහැ. මහේස්ත්‍රාත්වරයකු ලෙස මගේ සේවා කාලය තුළ මා දුටු අධිකරණයට අපහාස කිරීමේ බරපතළම සිද්ධිය මෙයයි. මේ සිද්ධිය සම්බන්ධ මා නීතිමය පියවර ගන්නවා.

විත්තිකාර ස්වාමීන්වහන්සේ අධිකරණයට අපහාස කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය අධිකරණ නිලධාරියකු ලෙස ඇතිවූයේ මටයි’ යැයි හෝමාගම හිටපු මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු රංග ශ්‍රීනාත් දිසානායක මහතා ඊයේ (19) අභියාචනාධිකරණයේදී සඳහන් කෙළේය.

අධිකරණයට එලෙස පැමිණ එලෙස කතා කිරීමට මෙම ස්වාමීන්වහන්සේට කිසිඳු හැකියාවක් හෝ අයිතියක් නැහැ. එසේම එම ස්වාමීන් වහන්සේ රජයේ නීතිඥවරයාට තර්ජනාත්මකව කතා කළා. එය මා ඉදිරිපිට කළ වරදක්. එබැවින් අවශ්‍ය පියවර ගැනීම සඳහා එය මා අභියාචනාධිකරණය වෙත යොමු කළා යැයි හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේය.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු විභාගවෙමින් පැවතියදී අධිකරණ ශාලාව තුළ ශබ්ද නගා කතා කරමින් කළහකාරී ලෙස හැසිරීමෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට වන නඩු විභාගය ඊයේ (19) කැඳවූ අවස්ථාවේදී සාක්කිකාර මහේස්ත්‍රාත් සහ දිසාවිනිසුරුවරයා මේ බව ප්‍රකාශ කෙළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියෙහි මෙම නඩු විභාගය පැවැත්වේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධ නඩුව 2016 ජනවාරි මස 25 දින කැඳවූ අවස්ථාවේදී එහි සැකකරුවන් රිමාන්ඩ් කිරීමට නියෝග කිරීමෙන් අනතුරුව අධිකරණයට නියෝග දෙන ස්වරූපයෙන් ශබ්ද නගා කතා කිරීමෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් කර තිබේනම් ඒ පිළිබඳව විභාගයක් පවත්වා දඬුවම් නියම කරන ලෙස ඉල්ලා හෝමාගම හිටපු අතිරේක මහේස්ත්‍රාත් දිසාවිනිසුරු රංග සී. දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයට කරුණු විමසීමක් සිදු කරන ලදී.

ඒ අනුව එම කරුණු විමසීම සලකා බැලූ අභියාචනාධිකරණය විසින් දෙන ලද නියෝගයකට අනුව නීතිපතිවරයා විසින් චෝදනා 4කින් යුතු චෝදනා පත්‍රයක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත භාර දෙන ලදී.

එම චෝදනාවලට තමන් නිවැරදිකරු බවට ඥානසාර හිමියන් ප්‍රකාශ කිරීම නිසා එම චෝදනා සම්බන්ධ විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය තීරණය කෙළේය.

ඒ අනුව එම නඩු විභාගය පසුගිය 18වැනිදා ඇරඹුනු අතර එහි පළවන සාක්කිකරු ලෙස හෝමාගම හිටපු අතිරේක මහේස්ත්‍රාත් දිසා විනිසුරු රංග සී. දිසානායක මහතා සාක්කි දීම ඇරඹීය.

එම නඩු විභාගයෙහි දෙවැනි දිනට සාක්කි දීම සඳහා සාක්කිකාර මහේස්ත්‍රාත්වරයා පැමිණ සිටි අතර විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ කීය.

විත්තිකාර ස්වාමීන් වහන්සේ අධිකරණයෙහි කළහකාරී ලෙස හැසිරුනු දිනයේ දීම උන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස මා හෝමාගම පොලිසියට පසුව නියෝග කළා. ඒ අනුව පසුදින උන්වහන්සේව අධිකරණයට ඉදිරිපත් කළා. එදින කළ ඇප ඉල්ලීම අනුව විත්තිකාර හිමියන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළා.

2016 ජනවාරි 28 වැනිදා හෝමාගම නීතිඥ සංගමයේ නීතිඥවරයා අධිකරණයේ පෙනී සිට දීර්ඝ දේශණයක් කළා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනාව එක් පුද්ගලයකුට කරන හානියක්, වරදක් නොවෙයි. සමස්ත ජනතාවටම කරන හානියක්. එවැන්නකදී අතෘප්තියට පත්පාර්ශ්වය හා සාක්කිකරුවකු ලෙස ඔහු දීර්ඝ දේශණයක් කළා.

ඔහුගේ කරුණු දැක්වීම අනුව මට හැඟී ගියා විත්තිකාර ස්වාමීන්වහන්සේට දඬුවම් ලබාදිය යුතු බව. එහෙත් සිදුවීම වූ දිනයේ ඔහු නීතිඥ අසුනේ අසුන්ගෙන සිටියාදැයි මට මතක නැහැ. එහෙත් නීතිඥ උපාලි සේනාරත්න මහතා එතැන සිටියා මට මතකයි.ජනවාරි මස 25 වැනිදා මේ සිද්ධිය සම්බන්ධ නීතිඥවරු කළ ප්‍රකාශ සටහන් කිරීමක් කළේ නැහැ. රජයේ අධිනීතිඥ දිලීප පීරිස් මහතාගේ ප්‍රකාශයවත් මා සටහන්කරගෙන නැහැ. ඒ අවස්ථාවේදී මට හැඟී ගිය කරුණු අනුව කරුණු සටහන් කර නඩුවක් ආරම්භ කිරීමට මා කටයුතු කළා.

පසුදිනක කොළඹ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජෙප්රි අලගරත්නම් මහතා දීර්ඝ දේශණයක් කළා. පසුව මා තීරණය කළා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) අනුව මෙම අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයට යොමු කළ යුතු බව. ඒ බව මා එහි සඳහන් කළා.

2016 පෙබරවාරි මස 23 වැනිදා මෙම නඩුව කැඳවූවා. මෙම නඩුව අභියාචනාධිකරණයට යොමු කිරීම සඳහා නඩු ගොනුව සහ උධෘත ගොනුවක් යවන බවට මා සටහන් කළා. කොළඹ සහ හෝමාගම නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස විවිධ අවස්ථාවල මගෙන් ඉල්ලීම් කළා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ නියෝජ්‍ය සභාපතිවරයා පෙනී සිටියා.

මැතිවරණයට පෙර පැවැති රජය විවේචනය කිරීම සම්බන්ධයෙන් මෙම නීතිඥවරුන් ප්‍රකට‍ව සිටි බවක් මා දන්නේ නැහැ.

2015 මැතිවරණයෙන් පසුව රණවිරුවන් සම්බන්ධ නඩු පැවතුන බවට මා දන්නේ නැහැ. එක්නැලිගොඩ අතුරුදන් වීමේ නඩු වාර්තාව බලා ඒ ගැන කිව හැකියි. මේ සම්බන්ධ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් 2015.03.26 තෙක් සිදු කළා. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන බාරගෙන වාර්තාවක් ප්‍රථමවරට ගොනු කර තිබෙන්නේ 2015 මාර්තු මස 30 වැනිදායි. ඒ 2015 ජනවාරි මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් පසුවයි.

මෙම නඩුවට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි බව සටහන්වල සඳහන්ව තිබෙනවා. ඔවුන් 2015 නොවැම්බර් මස 09 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ රැඳවුම් නියෝග අනුවයි. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ 2015 අගෝස්තු මස 15 වැනිදායි. බුද්ධි අංශ නිලධාරීන් වූ එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බව නඩු වාර්තාවේ සඳහන් වෙනවා. එහෙත් ඒ පිළිබඳව මා දන්නේ නෑ. 2015 වසරේ දී මා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළේ නැහැ.

ජ.නී. මනෝහාරද සිල්වා මහතා

රට වෙනුවෙන් බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන හිරේ දැමීම ගැන රටේ ආන්දෝලනයක් පැවැති බව ඔබ පිළිගන්නවාද?

එල්.ටී.බී. දෙහිදෙනිය මහතා

එම ප්‍රශ්නය වැරදියි. රණවිරුවන් හිරේ දැම්මා යන්න වැරදියි.

ජ.නී. මනෝහාරද සිල්වා මහතා

එම ප්‍රශ්නය මා ඉවත් කර ගන්නවා.

2016 ජනවාරි මස 01 වැනිදා මා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස වැඩ බාර ගත්තා. 2016 ජනවාරි මස 25 වැනිදා එක්නැලිගොඩ නඩුව කැඳවූයේ දෙවන වරටයි. මේ නඩුව සම්බන්ධ විශාල අවධානයක් තිබෙන බව ජනමාධ්‍ය හරහා ඒ සඳහා ලබා දී තිබූ ප්‍රතිචාර මගින් මා දුටුවා. ඒ හැර මේ නඩුවගැන ජනතා අවධානය ඇති බවට විශේෂ වැටහීමක් මට තිබුණේ නැහැ.මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ස්වාමීන් වහ්නසේලා 10ක් හෝ 15ක් අධිකරණ ශාලාවේ අසුන්ගෙන සිටියා. එහෙත් ස්වාමීන්වහන්සේලා විත්තිකරුවන් හෝ සැකකරුවන් වන කිසිදු නඩුවක් එදින තිබුණේ නැහැ.

එම නඩුව අවසානවනවාත් සමඟම විත්තිකාර ස්වාමීන්වහන්සේ “ස්වාමීනී ලෙස ආමන්ත්‍රණය කරමින් කතා කරන්න පටන් ගත්තා. මේ ස්වාමීන් වහන්සේලා ගැන කිසිදු අසත්භාවයක් මට නැහැ. එම නඩුව අවසන් වන තෙක්ම ස්වාමීන්වහන්සේලා නඩු විභාගයට බාධා කළේ නැහැ. විත්තිකාර ස්වාමීන්වහන්සේ නැගිට ප්‍රකාශය කිරීමට පටන් ගත් විට මේ නඩුවට බාධා නොකරන ලෙස මා උන්වහන්සේගෙන් ඉල්ලා සිටියා. ඒ හැර නඩුව ගැන මා උන්වහන්සේට පැහැදිලි කිරීමක් කළා. එවැන්නක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ස්වාමීන්වහන්සේ කතා කරමින් සිටින අතරේ දිලීප පීරිස් මහතා අධිකරණයට පැමිණියා. ඒ ඇයි දැයි මා දන්නේ නැහැ.

ස්වාමීන්වහන්සේ එම ප්‍රකාශය කළ අවස්ථාවේදීම උන්වහන්සේව අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබුණා. එකවරම මා කළ යුතු දේ කුමක්දැයි මට තේරුණේ නැහැ. ස්වාමීන් වහන්සේලා හැසිරුනු ආකාරය අනුව ඔවුන් සංවිධානාත්මකව පැමිණි බව මට හැඟී ගියා. ඒ වන විට අධිකරණයේ පැවැති තත්ත්වය මත උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට නියෝග කළ හොත් විශාල සිදුවීමක් වියහැකි බව මට හැඟී ගියා. එවැනි අත්අඩංගුවට ගැනීමක් කිරීමට කිසිදු බාධාවක් තිබුණේ නැහැ. එම ස්වාමීන් වහන්සේ දිගින් දිගටම රැඳී සිටියානම් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීමට ඉඩ තිබුණා.

එම අවස්ථාවේදී උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නොකළේ උන්වහන්සේ කළ ක්‍රියාව සුළු නිසා නොවෙයි. මගේ සේවා කාලය තුළ අධිකරණයට අපහාස කිරීමේ බරපතළම සිද්ධිය මෙයයි. කිසිවකු පැමිණිලි නොකළත් ඒ සම්බන්ධයෙන් මා පියවර ගන්නවා.

ස්වාමීන්වහන්සේ කළ ප්‍රකාශය ඒ. අවස්ථාවේදීම මා සටහන් කළේ නැහැ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ බලතල අනුව මා නඩුව අභියාචනාධිකරණයට යොමුකළා. වැඩිදුර සාක්ෂි විභාගය අද (20).

නෙල්කා මැදගෙදර – දිනමිණ

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *