සිදුවූ දේ හා වෙනස අමතක කළ නොහැකියි – ශ්‍රීනාත් ප්‍රනාන්දු – ඩේලි එෆ් ටී

අගෝස්තු

16

1:13 පෙ.ව.

admin

ප්‍රචණ්ඩත්වය, මැරවරකම සහ බිය ගැන්වීමෙන් පිරී පැවති දේශපාලනික පරිසරයක් මධ්‍යයේ, පසුගිය ජනවාරි 9 වැනි දා නිහඬ විප්ලවයක් සිදුවිය. එම බලය වෙනස් වීම ‘නිහඬව’ සිදුවූ නිසාත්, ප්‍රචණ්ඩත්වයෙන් තොරව සිදුවූ නිසාත්, රටට දැනුණේ සන්සුන් වෙනසක් වශයෙනි. ඊට වෙනස් ආකාරයකින් එම වෙනස සිදුකර ගත්තේ නම්, එය ප්‍රජාතන්ත්‍රවාදයට කණකොකා හැඬවීමක් වනු ඇත.

ජනවාරි 8 වැනි දා පැවති ජනාධිපතිවරණයට කලින් සිදුවූ දේවල් වටහා ගැනීම මෙහිදී අත්‍යාවශ්‍ය කෙරේ. නොමිලේ කෑමබීම ලබා දීමට, තුඩුපඬුරු ප්‍රදානය කිරීමට, තෑගිබෝග දීමට සහ මහා සෙනගක් තමන් වටේ සිටිතැයි පෙන්නුම් කිරීම සඳහා බස්වලින් ජනතාව රැස්වීම්වලට ගෙන්වා ගැනීමට මහජන දේපළ සහ මහජන මුදල්හදල් එදා පාලකයන් නාස්ති කළ සැටි ජනතාවට රහසක් නොවේ. දැවැන්ත ප්‍රචාරක පුවරුවලින් රට හැඩි වී තිබුණි. රාජ්‍ය පරිපාලන චක්‍රලේක උල්ලංඝනය කරමින් මූල්‍යමය අල්ලස් සහ රැකියා අවස්ථා සම්පාදනය කෙරුණි. එහෙත් 9 වැනි දා උදේ ලැබුණු ප්‍රතිඵලය ඒ සියල්ල කණපිට හැරෙව්වේය.

පශ්චාත් මරණ පරීක්ෂණය

හිටපු ආණ්ඩුව එසේ ගෙදර යැවුණේ මන්දැයි සොයා බලමු. එක පවුලක සාමාජිකයන් එදා ආණ්ඩුවේ හිමිකරුවන් බවට පත්ව සිටි බව ජනතාව වෙත කාන්දු වීම ඉතා අගේට සංකේතීයව නිරූපණය කෙරුණේ ‘සාටකය’ තුළිනි. මේ ‘සාටකය’ තම පවුලේ සංකේතයක් බවට පත්කර ගනිමින්, එම පවුලේ සාමාජිකයන් පස් දෙනෙක්ම එය කරේ දමාගෙන උන්හ. එය, පැවති ආණ්ඩුවේ ප්‍රතිරූපය බරපතල ලෙස උවදුරට පත්කළ සංකේතයකි.

අය-වැය ප්‍රතිපාදනත් සම්පාදනය කෙරුණේ ඊට අනුගතවයි. අයවැයෙන් වැඩිම මුදල් ප්‍රතිපාදන වෙන් කෙරුණේ මේ පවුල් සාමාජිකයන්ට අයත් අමාත්‍යාංශවලටයි. ඒ අතරේ මාධ්‍ය නිදහසද අතුරුදහන්ව තිබූ බැවින්, මාධ්‍ය ඔස්සේ පවුලේ සාමාජිකයන්ගේ වතගොත ගැන කතා කිරීම අධෛර්යමත් කෙරුණි. යමෙකු එසේ කළොත්, ඔහු පසුපස්සේ අවතාර පැන්නුවේය. දේශපාලනික දඩයම දෛනික මට්ටමකින් ක්‍රියාත්මක කෙරුණි. ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාට සහ හිටපු අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට සැළකූ ආකාරය මුළු රටම තැතිගන්වන සුළු විය.

පැවති ආණ්ඩුවේ ඒ නිෂේධනීය ක්‍රියාකලාපය වසරින් වසර වර්ධනය වී ඔඩුදුවන තත්වයට පත්විය. එය තව වසර දෙකක් පැවතියේ නම් තත්වය ඉතා දරුණු වනු ඇත. රාජ්‍ය සම්පත් සහ රාජ්‍ය මාධ්‍යයේ පූර්ණ අනුග්‍රහය හිටපු පාලකයන් විසින් තම වාසියට යොදා ගනිද්දී පවා මෛත්‍රිපාල සිරිසේන වැඩි ඡන්ද 450,000 කින් ජයග්‍රහණය කෙළේය. එය, ඊට වඩා නිදහස් හා සාධාරණ මැතිවරණයක් විණි නම්, මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණය ඊටත් වඩා ප්‍රබල වනු නියතයි.

අගහිඟකමින් පිරි මිනිසුන්ට අන්තර්-කාලීන අයවැය සහනයක් විය

2009 යුද ජයග්‍රහණය දා පටන් අමතක කොට තිබූ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික පීඩනය, අළුත් ආණ්ඩුවේ අන්තර්-කාලීන අයවැය හරහා ඉතා කෙටි කාලයක් තුළ සැහැල්ලූ කෙරුණි. ඔවුන්ගේ දෛනික ජීවිතය ගැන බලනවා වෙනුවට හිටපු පාලකයන් කෙළේ, නගර සෝබනයට මුල් තැන දීමයි. ඒ නිසා රාජ්‍ය පාලනය තුළට යම් මානුෂික සිහිවිපරමක් ගෙන ඒම ගැන රනිල්-මෛත්‍රී ආණ්ඩුවට ස්තුතිවන්ත විය යුතුය. මාධ්‍ය නිදහස සහ අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම ප්‍රජාතන්ත්‍රීය දේශපාලනික සංවාද සඳහා වන අවකාශය අළුත් ආණ්ඩුව යටතේ යළි ස්ථාපිත කෙරුණි. දේශපාලනික දඩයමින් තොර පරිසරයක් ඒ හවුල යටතේ ඇති කෙරුණි.

විදේශ ප්‍රතිපත්තියේ පරමාදර්ශී වෙනස

විදේශගත බෙදුම්වාදී ව්‍යාපාර විසින් ලංකාවේ ප්‍රතිරූපය බොහෝ සෙයින් කෙළසන ලදි. ඊට මග පෑදුණේ රට අභ්‍යන්තරයේ එදා පැවති දේශපාලනය හේතුවෙනි. රටේ වෙසෙන ජනතාවගේ පුරවැසි අයිතීන් ගැන නොතකන මර්දනකාරී වටපිටාවක් රට තුළ ඉතා සීග්‍රයෙන් ගොඩනැගෙමින් පවතින බව ජාත්‍යන්තර ප්‍රජාව අතරේ ප්‍රචලිත විය. ලංකාවේ පැවති එවැනි දේශීය ප්‍රශ්න එදා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ගලා ගියේය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගලා ගියේය. රටේ වෙසෙන සුළුතර දෙමළ ප්‍රජාවට පමණක් නොව, බහුතර සිංහල ප්‍රජාවට පවා පාලකයන් සලකන එකී අකටයුතු ආකාරය, ලංකාවට එරෙහිව හඬ නැගීමට බලා සිටි ඉහත කී බෙදුම්වාදී කොටස්වලට මනා ආයුධයක් සැපයීය. ඒ සියල්ල මැද්දේ, අන්ත ජාතිකවාදී කල්ලි විසින් බේරුවල වැනි තැන්වල කියන කරන දේවල් හරහා තව තවත් එම අප්‍රසාදය උග්‍ර කෙරුණි. 2013 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කෙළේය. එයත්, ශ්‍රී ලංකාවට එරෙහි සාක්ෂියක් වශයෙන් ජාත්‍යන්තර ප්‍රජාව භාර ගන්නට ඇත.

බල අපහරණය ගැන කතෝලික පල්ලිය උරණ වීම

එම ප්‍රකාශනයේ මෙසේ සඳහන් ය: “මෙහිදී, අධිකරණයේ ස්වාධීනත්වය ඕනෑම වියදමක් දරා ආරක්ෂා කළ යුතුය. දෙන ලද ඕනෑම නීතියක් අර්ථකථනය කිරීමේ සහ ක්‍රියාවේ යෙදවීමේ ශුද්ධ වූ කාර්ය භාරය හිමි අධිකරණය, බලය ගනුදෙනු කරන වෙනත් ආයතන වන, ව්‍යවස්ථාදායකය සහ විධායකය වැනි අංශවල බලපෑමෙන් මුළුමණින් නිදහස් විය යුතුය. අධිකරණයට ඉහළින් ව්‍යවස්ථාදායකය පැවතිය යුතුය යන්න, බරපතල සාවද්‍ය මතයකි. රටක නීති පද්ධතියට ඇතුළත් වන නීතිරීති සම්මත කර ගැනෙන්නේ ව්‍යවස්ථාදායකයෙන් බව ඇත්ත. එහෙත් එම නීතිරීති, අදාළ සන්දර්භයන් තුළ ක්‍රියාත්මක කෙරෙන්නේ, අධිකරණය මාර්ගයෙනි. එම අධිකරණයේ ස්වාධීනත්වය, සැබෑ යුක්ති ධර්මය පසිඳලීම සඳහා ඇති එකම සහතිකය වන්නේය.

නීති සම්පාදනය කිරීම සහ එම නීති අර්ථකථනය කිරීම යන කාර්යයන් දෙකම ව්‍යවස්ථාදායකය වෙත පවරා ගත යුතු නැත. එසේ වුණොත් සිදුවන්නේ, ව්‍යවස්ථාදායකය විසින් අධිකරණය ආක්‍රමණය කරනු ලැබීමයි. ඊටත් වඩා, රටේ පවතින නීතියට වඩා ඉහළින් කිසිවෙකු හෝ කිසිවක් තිබිය යුතුද නැත. බලයට පත්කර ගන්නා සියල්ලන් සිටින්නේ, නීතියට යටත්ව, ජනතාවට සේවය කිරීමටයි. එනිසා පවතින නීතියට අනුකුලව කටයුතු කිරීමෙන් ඔවුන් ආදර්ශවත් විය යුතුය. ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයේ කාර්යභාරය අතට ගත යුතු නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එවැනි අවසරයක් දී ඇත්නම් එම බලය වහා ඉවත් කළ යුතුය.”

රාජ්‍ය සේවය හමුදාකරණයට ලක්කිරීම

පසුගිය ආණ්ඩුව පෙලූ තවත් උවදුරක් විය. විශ්‍රාමික හමුදා නිලධාරීන් රාජ්‍ය සේවයට පත් කිරීමෙන් එම අංශය හමුදාකරණයට ලක්කෙරුණි. සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව කළ යුතුව තිබුණේ, උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාරයා වශයෙන් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත්කිරීම නොව, සිවිල් නිලධාරියෙකු පත්කිරීමයි. බිම් මට්ටමේ තත්වයන් සමනය වන තෙක් එසේ හමුදා නිලධාරියෙකු අවුරුදු දෙකක් වැනි කෙටි කාලයකට පත්කිරීම යුක්තිසහගත කළ හැකි වෙතත්, උතුරු පළාත් සභා ආණ්ඩුකාර හිටපු හමුදා නිලධාරියාගේ නිල කාලය තවත් දිග් කිරීම මොන විදිහකින්වත් සාධාරණ නොවුණි. එයින් සිදුවුණේ එදා ආණ්ඩුවේ ජාතික සංහිඳියාවේ සත්භාවය පිළිබඳ බරපතල කුකුසක් ඇති වීමයි.

ඇමති මංගල සමරවීරට ස්තුතිවන්ත වන්නට, ජිනීවා වාර්තාව නිකුත් කිරීම තාවකාලිකව හෝ නතර කර ගැනීමට හැකි විය. ලංකාවේ සිදුවීම් දෙස සැලකිල්ලෙන් සිටින ජාත්‍යන්තර ප්‍රජාව, පසුගිය රජයේ අශිෂ්ටත්වයෙන් ගොඩ ඒම සඳහා යම් කාලයක් නව රජයට සැපයීමට ඒ අනුව එකඟ වූහ.

ඒ සියල්ල කරගත හැකි වුණේ, මෛත්‍රී-රනිල් සහභාගී හවුල හරහා යහපත් ආදර්ශයක් සැපයීමට හැකි වූ නිසාවෙනි. ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකු බලය අපහරණය කොට නැත. එසේම යහපාලනය සඳහා වන තමන්ගේ සූදානම ඔවුන් දෙන්නාම පෙන්නුම් කොට ඇත. මෛත්‍රී-රනිල් සහභාගී හවුල තවම මාස අටකි. කෙසේ වෙතත්, බහුතරය සිටින්නේ විපක්ෂයේ නිසා, ව්‍යවස්ථා සහ අණපනත් සම්මත කර ගැනීමේ සීමාවක් ඔවුන්ට පැනවෙන්නේය. ආණ්ඩුව විසින් ගෙනෙන ලද දේශීය භාණ්ඩාගාර බිල්පත් පනත විපක්ෂය විසින් පරාජය කරනු ලැබීමෙන් එය පෙන්නුම් කෙරුණි.

යහපාලනය පිළිබඳ අග්‍රකෘතිය

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට ස්වාධීන කොමිෂන් සභා යළි පිහිටුවනු ලැබීම, මෛත්‍රී-රනිල් සහභාගී හවුල අත්කර ගත් විශිෂ්ඨ ජයග්‍රහණයකි. පක්ෂ භේදයකින් තොරව ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උදක්ම වෙහෙසුණේය. ඒ හරහා ඇති කරගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, යහපාලනයේ මූලික ප්‍රතිපත්ති සනිටුහන් කළ සන්ධිස්ථානයක් වශයෙන් සැළකිය හැකිය. ඒ සහභාගී හවුලේ කිසි වෙනසක් දැන් සිදුවිය යුතු නැත.

2015 අගෝස්තු 13 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ
දේශපාලනික ස්ථාවරත්වය සඳහා රනිල්-මෙත්‍රීපාල සහභාගී හවුල අත්‍යාවශ්‍යයි
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය

‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

 

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *