‍තෝමස් හොබ්ස් රාජපක්ෂ – එම් ඕ ඒ ද සොයිසා

නොවැම්බර්

27

8:33 පෙ.ව.

admin

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් එයට පක්‍ෂව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ධූර දරද්දී ආචාර්ය විජේදාස රාජපක්‍ෂ ඇමතිතුමා ප්‍රකාශ කළ ප්‍රතිජානාත්මක අදහස් සහ අමාත්‍ය තනතුරු වලින් ඉවත් කිරීමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට විරුද්ධව ආචාර්ය විජේදාස රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ප්‍රතිශේධාත්මක අදහස් බලන විට නිතැතින්ම සිහියට නැඟෙන්නේ ක්‍රි. ව. 1588 = 1679 කාලය තුළදී එංගලන්තයේ ජිවත් වූ තෝමස් හොබ්ස් නමැති දේශපාලන චින්තකයාය. හේතුව දේශපාලන සංසිද්ධීන් අරභයා තමන් ප්‍රකාශ කරන දේශපාලන අදහස්වලින් අගමුල පටලවා ගැනීම හේතුවෙන් දෙදෙනාම දේශපාලන ක්‍ෂෙත්‍රය තුළ නන්නත්තාර වීමේ තත්ත්වයක් තමන් විසින්ම අයත් කර ගැනීමය.

වෙනත් ආකාරයකට කියනවා නම් තමන් විසින් යම් දෙයකට පක්‍ෂව ප්‍රථමයෙන් ප්‍රකාශ කළ අදහස් ඊට පසුව තමන් විසින්ම ප්‍රකාශ කරන අදහස් වලින් නිශේධනය කර ගැනීම හේතුවෙන් දෙදෙනාම තමන් විසින් තමන් නිශේධනය කරගත් පුද්ගලයින්ගේ තත්ත්වයට ඇදවැටී දේශපාලන ක්‍ෂෙත්‍රයේ කිසිදු පාර්ශ්වයක් විශ්වාස නොකරන තත්ත්වයකට පත් වී අවසානයේදී දේශපාලන ක්‍ෂෙත්‍රයෙන් අවාසනාවන්ත ලෙස වියැකී යාමය.

තෝමස් හොබ්ස් සලකණු ලබන්නේ බ්‍රිතාන්‍ය දේශපාලන චින්තනයේ ආරම්භකයා ලෙස මෙන්ම බ්‍රිතාන්‍ය දේශපාලන චින්තන ඉතිහාසය තුළ බිහි වූ විශිෂ්ටතම දේශපාලන වින්තකයාද ලෙසය. ඔහු ජිවත් වූයේ අතිශයින්ම අර්බුදකාරී දේශපාලන පරිසරයක් තුළය. මෙම අර්බුදය කෙරෙහි එක් අතකින් බලපෑවේ කතෝලික, ප්‍රොතෙස්තන්ත සහ ප්‍රෙස්බෙටේරියන් යන ආගමික අන්තවාදීන් අතර ආගමික ආධිපත්‍ය අරභයා ඇතිවූ ආගමික ගැටුම්ය. දෙවනුව බලපෑවේ රාජාණ්ඩුවාදීන් සහ පාර්ලිමේන්තුවාදීන් අතර රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් පැනනැගී තිබුණු අරගලයයි. තුන්වනුව බලපෑවේ වැඩවසම් රදළයින් සහ ධනවාදයේ වර්ධනයත් සමග අලුතෙන් බිහිවූ ධනපති පංතිය අතර රාජ්‍ය බලය අයත් කර ගැනීම සම්බන්ධයෙන් පැනනැගී තිබුණ පංති අරගලයයි. මේ වනවිට එංගලන්ත ජාතිකයින්ට පැහැදිලි ලෙසම පෙනීගිය දෙය වූයේ මෙම දේශපාලන, ආර්ථික හා ආගමික අර්බුදයෙන් මිදී ජාතික සංහිඳියාව ගොඩනගා ගෙන එක්සත් ජාතියක් වශයෙන් හිස ඔසවන තුරු ඉදිරියට යාමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවය.

මේ සඳහා කුමක් කළ යුතුද යන ප්‍රශ්නයට පිළිතුරක් ලෙස අසහාය බලැති රාජාණ්ඩු පාලන ක්‍රමයක අවශ්‍යතාවය අවධාරණය කරමින් එවැනි ආණ්ඩුක්‍රමයක ඇති යුක්තිසහගතභාවය සාධාරණීකරණය කිරීම සඳහා තෝමස් හොබ්ස් 1651 වර්ෂයේදී LEVIATHAN නමැති දේශපාලන කෘතිය ප්‍රකාශයට පත් කරන්නේ. LEVIATHAN කෘතිය තුළ ඉදිරිපත් කරන දේශපාලන අදහස් වල මූලික හරය වන්නේ; ‘දුර්වල සහ සීමිත බලයක් සහිත ආණ්ඩුවක් යටතේ මිනිසාගේ පෞද්ගලිකත්වය අහිතකාරී ලෙස වර්ධනය වන බවත්, එම තත්ත්වය වලක්වා සමස්ත සමාජයේම යහපත ගොඩ නැගීමට නම් ශක්තිමත් බලයක් සහිත ආණ්ඩුවක් අවශ්‍යයෙන්ම තිබිය යුතු බවත්ය’. වෙනත් ආකාරයකට කියනවා නම් හොබ්ස් පෙන්වා දෙන්නේ යම් අවස්ථාවක රටක් තුළ දේශපාලන, ආර්ථික හා ආගමික හේතු මුල්කොට ගෙන බරපතළ සමාජ ව්‍යාකූලතාවක් පැනනැගී තිබෙනවා නම් එම තත්ත්වය නිරාකරණය කරමින් රටට දේශපාලන ස්ථාවරභාවය අයත් කර දෙමින් රට ඉදිරියට මෙහෙයවිය හැක්කේ ශක්තිමත් සහ නොබෙදුණ ආණ්ඩුවකින් පමණක් බවය.

එම ආණ්ඩුක්‍රමය වෙනත් එකක් නොව රාජ්‍යයේ ස්වාධිපති බලය තනි පුද්ගලයකු විසින් ක්‍රියාවට නංවන අසහාය බලැති රාජාණ්ඩු පාලන ක්‍රමයක්ය. එනම් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල තනි පුද්ගලයකු විසින් මෙහෙයවන ආඥාදායක පාලන ක්‍රමයක්ය. එසේ වූවද හොබ්ස් මෙම අසහාය බලැති රාජාණ්ඩු පාලන ක්‍රමය ගොඩ නගන්නේ ඒ වනවිට පිළිගෙන තිබූ දෙවියන් වහන්සේ විසින් පාලකයින් පත්කරනවාය යන දේවවරම්වාදී මතය පදනම් කරගෙන නොවේ. ඒ වෙනුවට හොබ්ස් තෝරා ගන්නේ අතිශය ප්‍රජාතන්ත්‍රවාදී පදනමක්ය. එනම් මිනිසුන් තමන් අතර ඇතිකර ගන්නා සම්මුතියක් මත එළඹෙන පොදු එකඟතාව යටතේ තමන් අතුරින් එක් අයකු පාලකයා ලෙස තෝරා පත්කර ගෙන තමන් සතු බලතල පාලකයාට පවරා දෙනවාය යන ජනතාවාදී පදනමින්ය.

නමුත් හොබ්ස් මීලඟට කියන්නේ අමුතුම කතාවක්ය. එනම් ජනතාවාදී පදනමක් මත ජනතාව විසින් පත් කරන පාලකයා ජනතාව පවරා දුන් බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් පෙරලා ජනතාවට වගකීමට බැඳී නොමැතිවා පමණක් නොව එම බලතල පාලකයා විසින් අයතා ලෙස භාවිත කළද ඒ ගැන ප්‍රශ්න කිරීමට පවා ජනතාවට කිසිදු අයිතික් නොමැති බවය. හොබ්ස් කියන ආකාරයට පාලකයා කොතරම් කෲර වූවද ඔහුට එරෙහිව කැරැලි ගැසීමට ජනතාවට අයිතියක් නොමැත. එසේ කැරැලි ගැසීම හොබ්ස් දකින්නේ මිනිසුන් විසින් ස්වකීය කැමැත්ත මත ඇතිකර ගත් සම්මුතිය මිනිසුන් විසින්ම කඩකිරීමක් ලෙසය. හොබ්ස් අසහාය බලැති රාජාණ්ඩු පාලන ක්‍රමයක් ගොඩනගා එහි අවශ්‍යතාවය සාධාරණිකරණය කරන්නේ එසේය.

හොබ්ස්ගේ මෙම අදහස්වලින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ආඥාදායක පාලන ක්‍රමයකට ඔහු එකහෙළාම කැමති වූවද ආඥාදායක පාලකයා පත්කිරීම දෙවියන් වහන්සේට බාර දීමට ඔහු තුළ තිබූ අකැමැත්තය. අනෙක් අතින් පාලකයා පත් කිරීම ජනතාව විසින් කළයුතුය යන විශ්වාසය ඔහු විසින් පිළිගැනීමය. මේ පරස්පරය නිසා හොබ්ස් රාජාණ්ඩුවාදියෙක්ද නැතිනම් පාර්ලිමේනතුවාදියෙක්ද යන ප්‍රශ්නය මතුවන අතර එහි ප්‍රතිඵලය වූයේ ඔහුගේ අදහස් රාජාණ්ඩුවාදීන් මෙන්ම පාර්ලිමේන්තුවාදීන් ප්‍රතික්‍ෂෙප කිරීමය. අනෙක් අතට ආගම් වාදීන් විසින්ද ඔහු ප්‍රතික්‍ෂෙප කළේ ඔහුගේ අදහස් තුළ තිබූ දැඩි ආගම් විරෝධය නිසාය. බටහිර දේශපාලන චින්තන ඉතිහාසය තූළ බිහිවූ ශ්‍රේෂ්ට දේශපාලන චින්තකයකු කිසිම පාර්ශ්වයක් විසින් ගණන් නොගන්නා පුද්ගලයෙකු බවට පත්වී දේශපාලන ක්‍ෂෙත්‍රය තුළ නන්නත්තාර වූ අයෙකු බවට වන්නේ එසේය.

2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂෙත්‍රය තුළ ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා මුහුණ දී තිබෙන්නේද 1651 වර්ෂයේදී එංගලන්ත දේශපාලන ක්‍ෂෙත්‍රය තුළ තෝමස් හොබ්ස් මුහුණ දුන් ආකාරයේම දේශපාලන අබැද්දියකටය. එනම් තමන් විසින් ප්‍රකාශ කළ අදහස් පසුව තමන් විසින්ම නිශේධනය කර ගැනීම හේතුවෙන් දේශපාලන ක්‍ෂෙත්‍රය තුළ අතරමං වීමේ තත්ත්වයකට පත් වීමේ අවධානමකට ලක්වීමය.

මේ අර්බුදයට ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා පත්වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ආරම්භක අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළ අදහස් වලට මුළුමණින්ම පටහැනි අදහස් මාලාවක් පසුව ප්‍රකාශ කිරීම හේතුවෙන්ය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම කෙරෙහි බලපෑ හේතු සාධක අතුරින් ප්‍රථම සහ වැදගත්ම හේතුව වන්නේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජේ. ආර්. ජයවර්ධන විසින් ජනාධිපති විධායක ක්‍රමය යන ව්‍යාජ නාමයට මුවා වී මෙරට ස්ථාපිත කළ තෝමස් හොබ්ස් ගේ ‘LEVIATHAN’ ආඥාදායක පාලන ක්‍රමයට අත්‍යන්තයෙන්ම සමාන වූ ආඥාදායක පාලන ක්‍රමය වෙනස් කිරීමට සමාජය තුළ මතුව තිබූ ජනතා අවශ්‍යතාවයයි.

මෙම අවශ්‍යතාවයට ඉතාම දැඩිලෙස අනුග්‍රහ දක්වමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය පිහිටුවීම පිණිස 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වගන්තියට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ගෙන ආ සාමාජිකයින් අට දෙනෙකුගෙන් සමන්විත නියෝජිත මණ්ඩලයේ එක් සාමාජිකයකු වූයේ ආචාර්ය විජේදාස රාජපක්‍ෂ ඇමතිවරයාය. එම යෝජනාවට පක්‍ෂව 2015 දෙසැම්බර් 15 දින පාර්ලිමේන්තුවේ ඔහු පැවැත්වූ කථාව පටන් ගත්තේ මෙසේය.

“ ගරු කථානායක තුමනි, අපේ රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගැනීමේ මූලික වගකීම මෙම උත්තරීතර පාර්ලිමේනතුවට පැවරී ඇති අවස්ථාවක මම සතුටුයි, මේ විවාදයට එකතු වන්න ලැබීම පිළිබඳ. . . . ගරු කථානායක තුමනි, අපි මේ උත්සාහ දරන්නේ, 1972 පළමුවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා ප්‍රශස්ත, විශේෂයෙන්ම බහු වාර්ගික, බහු භාෂාමය, බහු ආගමික, බහු සංස්කෘතික පරිසරයක් තිබෙන රටක් තුළ අපිට ආපස්සට යන්න නොදී ඉදිරියට යා හැකි රටට ගැලපෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගන්නයි. රටක අනාගතය කුමන දිසානතියකටද ගමන් කරන්නේ කියන එක පිළිබඳ මූලික පදනම වැටිලා තිබෙන්නේ ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මතයි”.

නව ව්‍යවස්ථාව සම්පාදනයට පක්‍ෂව ඔහු කළ දිග කථාව අවසන් කළේ පහත සඳහන් ආකාරයටය. “අපි දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ උත්තරීතර සභාවේදී ඉතාම සාමයෙන්, සමගියෙන් සම්මත කරගත් ආකාරයටම, අපි බලාපොරොත්තු වන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සීමිත කාලයක් තුළ සම්පාදනය කරලා, මේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්න මෙහි සිටින සියලුම ගරු ඇමතිවරුන්ගේ, ගරු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපට ලැබෙයි කියා මා විශ්වාස කරනවා”. මේ ආචාර්ය විජේදාස රාජපක්‍ෂ ඇමතිවරයකුව සිටයදී නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට පක්‍ෂව පාර්ලිමේන්තුව තුළ කථා කළ ආකාරයයි.

පහතින් දැක්වෙන්නේ ඇමතිකම අහිමි වී සාමාන්‍ය මන්ත්‍රීවරයකු බවට පත් වීමෙන් පසුව ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම නීතියට පටහැනි වන බව ප්‍රකාශ කරමින් 2017 නොවැම්බර් 21 දින පුවත්පතකට කළ ප්‍රකාශයේ මාතෘකාව යොදා තිබූ ආකාරයයි.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ව්‍යවස්ථා විරෝධියි; මුල පටන්ම බල ශූන්‍යයි”. ඔහු මෙම ප්‍රකාශයේ දක්වා තිබෙන ආකාරයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම 1978 ව්‍යවස්ථාවේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් දක්වා තිබෙන විධිවිධානවලට පටහැනි වේ. එය නොතකමින් ව්‍යවස්ථාව සම්පාදනය කළද එයට පාර්ලිමේන්තුවේ 2/3 නියත බහුතරය ලබා ගැනීමට නොහැකි වනු ඇත. එසේ ලබා ගත්තද ජනමත විචාරණයේදී ජනතාව එයට අනුමැතිය නොදෙනු ඇත. එබැවින් නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම මිරිඟුවක් පසුපස යාමකට සමාන වේ. මෙයින් පහැදිලි වන්නේ කුමක්ද? ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා තමන් විසින් තමන් නිශේධනය කර ගන්නා ආකාරයයි.

ඉහත දැක්වූයේ එකිනෙකට නොගැලපෙන අදහස් දැක්වීම හේතුවෙන් දේශපාලන ක්‍ෂෙත්‍රය තුළ තමන් විසින් තමන් නිශේධනය කර ගැනීම සම්බන්ධයෙන් දැක්විය හැකි කදිම නිදසුන් දෙකක්ය. මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ මුලද හරි අගද හරි යන්නය. අවසානයේදී සිදු වන්නේ කුමක් හරිද යන්න නොසොයා සමාජය විසින් අගමුල දෙකම ප්‍රතික්‍ෂෙප කිරීමය. එවැනි ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රකාශ කරන අය සමාජය විසින් නොසලකා හැරීමය. දේශපාලන චින්තන ඉතිහාසය තුළ තෝමස් හොබ්ස් හඳුන්වන්නේ ඓතිහාසික අහඹුවක් ලෙසය. ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයාද ඓතිහාසික අහඹුවක් වේද?

දිනමිණ

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *