සෞදි සිරගෙදර සිටින අපේ ගැහැනිය: අපේ දුර්භාග්‍යයේ වරද අපේමද?- රංග ජයසූරිය

දෙසැම්බර්

11

5:57 ප.ව.

admin

සෞදි අරාබියේ ෂරියා නීතිය බලපවත්වන අධිකරණයකින් අපේ කාන්තාවක් ගල් ගසා මරණයට පත්කිරීමට තීන්දු කොට ඇත. ඇගේ වරද වන්නේ, එරට වෙසෙන තමන්ගේ රටවැසි පිරිමියෙකු සමග අයථා ලිංගික සම්බන්ධයක් පැවැත්වීමයි. (එම පිරිමියාවද කස පහර 100 ක දඬුවමකට යටත් කොට ඇත).

සාමාන්‍යයෙන් නම්, ලිංගික සේවනය යනු පෞද්ගලික කාරණයකි. ඒ සම්බන්ධයෙන් රාජ්‍යයට මැදිහත් විය නොහැක. කෙසේ වෙතත්, සෞදි අරාබිය තවත් නොවැදගත් කරුණු සම්බන්ධයෙන් පවා මරණ දඬුවම පැණවීමට ලැදියාවක් දක්වන රටකි. ඉස්ලාම් දහම අතහැරීම සහ විකල්ප මතවාද බ්ලොග්ගත කිරීම ආදිය එවැනි දඬුවමකට නිමිති විය හැකිය. ගිය සතියේ, රියාද් නුවර විවිධ වැරදි සම්බන්ධයෙන් එරට අධිකරණවලින් වැරදිකරුවන් වූ 50 දෙනෙකුගේ හිස ගසා දමන ලදි. එය ‘ඉස්ලාමීය රාජ්‍යයේ’ ලේ පිපාසිත ත්‍රස්තවාදීන්ගේ මිනීමරු හැසිරීමට දෙවැනි නැත. ෂරියා නීතිය යටතේ කෙනෙකුව ගල් ගසා මරණයට පත්කිරීමේ නෛතික තත්වය ගැන ප්‍රශ්න කළ එම්. ඒ. සුමන්දිරන්ව පසුගිය දා පාර්ලිමේන්තුවේදී සමහර මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් කෑගසා යටපත් කරනු ලැබුණි. ශ්‍රී ලංකාවේ අතිබහුතරයක් ජනතාව තනියෙන් සිතන දෙයක් ප්‍රසිද්ධියේ කියාපෑමට එම්. ඒ. සුමන්දිරන්ට තිබූ ධෛර්ය, හැම රෙද්දකටම කෑකෝගසන රාජපක්ෂවාදී මන්ත්‍රීවරුන්ට තිබුණේ නැත. ඔවුන් කෙළේ කටවල් පියාගෙන සිටීමයි. පාර්ලිමේන්තුව තුළ සුමන්දිරන්ට එරෙහිව නැගුණු ඒ ඝෝෂාව, මධ්‍යතන දෘෂ්ටිවාදයක් වෙනුවෙන් පවතින නෑකමක ලක්ෂණයක් වීම, සෙල්ලමක් නොවේ.

එවැනි අන්ධ (සහ අදූරදර්ශී) පක්ෂපාතීත්වයන් ගුවන් තරංග ඔස්සේත්, පුවත්පත් තීරු ලිපි සහ ඉඳහිට වීදි විරෝධතා හරහාත් කෙරෙන ඊශ්‍රායල් විරෝධී තඩිබෑම්වලදී දැකිය හැකිය. එහෙත් දහස් ගණන් ශ්‍රී ලාංකිකයන්ද ඇතුළත් එහි සේවය කරන සංක්‍රමණිකයන්ට සමාන සැළකිල්ලක් දක්වන මැද පෙරදිග ඇති එකම රටද යුදෙව් රාජ්‍යය (ඊශ්‍රායලය) වීම එහි ඇති උත්ප්‍රාසයයි. එවැනි නග්න වෙනස්කම් තුළින්, ලෝකයේ ඇතැම් තැන්වල තවමත් පවතින ශිෂ්ටාචාරයේ සීමාවන් අපට අවබෝධ කරගත හැකිය.

මරණයට නියමව සිටින කාන්තාව වෙනුවෙන් සහනයක් සලසන ලෙස ඉල්ලා ලංකාවේ සිවිල් සංවිධාන ක්‍රියාධරයන් පෙත්සම් අත්සන් කරමින් මේ වන විටමත් විරෝධය දක්වා තිබේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී විසම්මුතියේ සම්ප්‍රදායක් සෞදි ජාතිකයන් සතුව නැත. (ගිය සතියේ, ඉස්ලාම් ආගම අතහැරීමේ චෝදනාව මත විසම්මුතික කලාකරුවෙකු මරණ දඬුවමට නියම කරන ලදි). මේ නිසා අපේ විරෝධතාවන් මගින් සෞදි බලධාරීන්ට බලපෑම් කළ හැකි වෙතැයි විශ්වාස කළ නොහේ.

ඒ පසුබිම තුළ, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එක්සත් ජාතීන්ගේ සහාය ලබා ගැනීම ගැන සිතා බැලිය යුතුව තිබේ. එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නියෝජිත සමන්තා පවර් මෑතකදී කොළඹ සිට ඒ ඉල්ලීම කළාය. ඇමරිකාව සමග සෞදි අරාබියට ඇති මූලෝපායික සම්බන්ධය මත එවැනි ප්‍රවේශයකට යොමු වීම, කොළඹ සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිට කෙරෙන වීදි විරෝධතාවන්ට වඩා සාර්ථක විය හැකිය.

සෞදි අරාබියේ අභියාචනාධිකරණයට මේ නඩුව ඉදිරිපත් කළ පසු එකී දඬුවම ගැන නැවත සළකා බැලීමක් කිරීමට ඉඩ ඇතැයි ලංකා ආණ්ඩුව කියයි. අපට කළ හැක්කේ අපේ ගැහැනුන් ගැන යාච්ඤා කිරීම පමණි. ඒ අතරේ, අපෙන් පිරිසකට දුෂ්කර දුරු කතකරක බලපැවැත්වෙන මධ්‍යතන නීති පද්ධතියකට යට වීමේ නින්දිත තත්වයකට මුහුණදීමට සිදුව ඇත්තේ මන්ද යන්න ගැන සිතා බැලීමත් වටී.

ශ්‍රී ලංකාව එම තත්වයට පත්විය යුතුව තිබුණේ නැත. අප වනාහී, නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය සහ තවත් විශාල සමාජ සහන සලසන සුභසාධන රාජ්‍යයකි. එහෙත් ඒ සුභසාධන රාජ්‍යයේ මහා අපේක්ෂාවන් සහ ප්‍රතිඵල අතර අවාසනාවන්ත නොපෑහීමක් තිබේ. අපේ සුභසාධන රාජ්‍ය අත්පත් කරගෙන ඇති වැදගත් සේවාවන් සමහරක් කප්පාදු කළ යුතු බවක් මෙයින් නොකියැවේ. එහෙත්, දීර්ඝ කාලයක සුභසාධන සම්ප්‍රදායක් නඩත්තු කරගෙන පැමිණි රාජ්‍යයක වටිනා කාන්තාවන් පිරිසකට, ජීවිකාව ගැටගසා ගැනීම සඳහා මැද පෙරදිග වහල් තත්වයන් යටතේ ගෘහ සේවිකාවන් සේ කඹුරන්ට සිදුව ඇත්නම්, එම සුභසාධන රාජ්‍ය පද්ධතියේ යම් පරහක් තිබිය යුතුය. උදාහරණයක් වශයෙන්, 2012 දී ශ්‍රී ලාංකිකයන් 18 ලක්ෂයක් විදේශගත සේවාවන් සඳහා ගොස් තිබුණි. එයින් සියයට 94 ක් ගොස් සිටියේ මැද පෙරදිගටයි. ඔවුන්ගෙන් සියයට 42 ක් ගෘහ සේවිකාවන් ය. තවත් සියයට 22 ක්, වෙනත් නුපුහුණු ශ්‍රමිකයන් වශයෙනි.

ලංකාවේ විදේශ ආදායමට 2012 වසරේදී ඔවුන් ගෙන ආ සම්මාදම ඩොලර් බිලියන 6.4 කි. දැනටමත් මූල්‍ය අගහිඟකම්වලින් විඳවන ආණ්ඩුවක්, තියෙන හැම සතයක්මත් සහනාධාර වෙනුවෙන් වියදම් කරන විට, යටිතල ආයෝජනය සඳහා සල්ලියක් ඉතිරි වන්නේ නැත. බි්‍රතාන්‍යයන් අපේ රට හැර ගිය දා සිටි අවුරුදු හැටක් යන තෙක්මත් එකම දුම්රිය මාර්ගයක්වත්, මහා මාර්ගයක්වත් අපට ගොඩනගාගත නොහැකි වුණේ එබැවිනි.

ප්‍රමාණවත් පරිද්දෙන් යටිතල සංවර්ධනය සඳහා ආයෝජනය නොකළ හෙයින් ආයෝජකයන්ගේ පැමිණීම අධෛර්යමත් කෙරුණි. එසේ වෙතත්, එය ගැටළුකාරී තත්වයක් වශයෙන් අපේ දේශපාලඥයන්ට පෙනුණේ නැත. මන්ද යත්, අප වැනිම අළුතෙන් නිදහස ලබා ගත් වෙනත් රටවල පාලකයන් සේම, අපේ පාලකයන්ද සිතුවේ, ධනවාදය සහ නිදහස් ව්‍යවසායකත්වය යනු අධිරාජ්‍යවාදයේම අලුත් මුහුණුවරක් වශයෙනි. 1930 ගණන්වල සෝවියට් දේශය පාලනය කළ ස්ටැලින්ගේ මිනීමරු කාර්මීකරණ අත්හදාබැලීම්වලින් මුසපත්ව සිටි අපේ නායකයන් බැලුවේ බැර කර්මාන්ත ගොඩනැගීමටයි. ඒ වෙනුවට, අග්නිදිග ආසියාවේ එකල සිටි වෙනත් ප්‍රඥාවන්ත පාලකයෝ කාර්මීකරණයේ පහළින් පටන් ගෙන, ඇඟලුම් සහ සුලු පරිමාණ නිෂ්පාදන හරහා තාක්ෂණික හිණිමගේ කෙමෙන් ඉහළට යමින්, ඉලෙක්ට්‍රොනික අංශයෙන් සහ නැව් නිෂ්පාදනය ආදියෙන් ලෝක තත්වයට ළඟා වූහ. ඒ අතර, අපේ බැර කර්මාන්ත සුදු අලියන් බවට පත්විය. ආර්ථිකය නිදහස් කිරීමෙන් පසු ජේ. ආර්. ජයවර්ධන පටන් ගත් ඇඟලුම් කර්මාන්තය තුළ පන් ලක්ෂයක් තරුණ තරුණියෝ සේවයේ යෙදෙති.

අපේ මිනිසුන්ට නුපුහුණු සහ අර්ධ-පුහුණු සේවක සේවිකාවන් වශයෙන් මැද පෙරදිග කඹුරන්ට සිදුව ඇත්තේ, අපේ ශ්‍රම බලකායට වසරක් පතා එකතු වන නුපුහුණු සහ අර්ධ-පුහුණු ශ්‍රමිකයන් උරා ගත හැකි ප්‍රමාණවත් නිෂ්පාදන කර්මාන්ත රටේ ඇති නොකිරීම නිසා ය. එහෙත් ඒ සමග මතු වන ඊළඟ ප්‍රශ්නය වන්නේ, අපේ ශ්‍රම බලකායෙන් එතරම් විශාල ප්‍රමාණකය නුපුහුණු සහ අර්ධ-පුහුණු පිරිසක් සිටින්නේ මන්ද යන්නයි. එම ප්‍රශ්නයේ මූලය ඇත්තේ අධ්‍යාපන ක්‍රමයේ ය. අධ්‍යාපනයෙන් තවමත් විශාල වශයෙන් බිහි කරනු ලබන්නේ එවැනි පිරිසකි. එවැනි තත්වයක් ඇති වී තිබෙන්නේ, අපේ අධ්‍යාපන සම්පත් සහ පහසුකම් අසමාන අයුරින් බෙදී යාමේ ප්‍රතිවිපාකයක් වශයෙන්ද? එය ප්‍රශ්නයේ එක පැත්තක් පමණි. ඊට වඩා බරපතල ගැටළුව වන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ ස්වභාවයයි. පාසල්වල උගන්වන විෂය නිර්දේශවල ප්‍රායෝගික වටිනාකමක් නැත. අද ලෝකයට අවශ්‍ය කරන මෘදු නිපුණතා අත්කර ගැනීමට එම ක්‍රමය උපයෝගී වන්නේ නැත. ඒ ප්‍රශ්නයේ මුල ඇත්තේ, අධ්‍යාපනය තුළ අනිවාර්ය කොට ඇති ස්වභාෂා ප්‍රතිපත්තිය තුළ ය.

දැනට වුවත්, නව නිපුණතා ලබා දීමෙන් දහස් ගණනකගේ රැකියා හැකියාවන් වර්ධනය කළ හැකිය. ඒ සඳහා මේ ක්ෂේත්‍ර තුළට දැනට වඩා පෞද්ගලික අංශය කැඳවිය හැකිය. පුහුණුව ලබා ගැනීමට කැමැති පිරිස්වලට අවශ්‍ය කරන ප්‍රතිපාදන සැලසිය හැකිය. අධ්‍යාපනය තුළ ඇති මේ ගැටළුව නිරාකරණය නොකරන තාක් කල් අපේ මිනිසුන් ලෝකයා ඉදිරියේ විඳින අවමානය මත්තටත් මෙසේම පවතිනු ඇත.

ආණ්ඩුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කොට ඇත. මේ සංඛ්‍යාවේ සත්‍යාසත්‍යතාව විපක්ෂය විසින් ප්‍රශ්න කොට තිබේ. එහෙත් ප්‍රශ්නය වන්නේ මුදල් නොව, දැක්මක් නැති කමයි. දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ මුල්බැස තිබූ පටු අධ්‍යාපනය විසින් බිහි කරන ලද ප්‍රභූන්ම, ප්‍රතිපත්ති සම්පාදකයන්ද වීම ඊට බලපාන එක් හේතුවකි. පෞද්ගලික අංශයේ නායකයන්ගෙන් දැනුම කැඳවිය යුත්තේ එබැවිනි. අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ඔවුන්ගේ සහභාගීත්වය ලබා ගත යුත්තේ එබැවිනි. අවශ්‍ය තන්හිදී, විෂය නිර්දේශ සැකසීම සඳහා වුව ඔවුන්ගේ සේවය ලබා ගත යුතුව තිබේ.

දහස් ගණන් අපේ කාන්තාවන් තවමත් මැද පෙරදිගට යන්නේ අතීතයේ ප්‍රශ්නයක් නිසා පමණක්ම නොවේ. රැකියා සම්බන්ධයෙන් වන අව-පුහුණුව අපේ අධ්‍යාපන ක්‍රමයේ නිරන්තර ප්‍රශ්නයකි. ශ්‍රම බලකායට අවශ්‍ය නිවැරදි පුහුණුව ලබා දීමෙන් සහ නව භෞතික යටිතල වර්ධනයන් සමග තරුණයන් සඳහා වන ඵලදායී රැකියා අවස්ථා සම්පාදනය කළ හැකිය. නැතහොත්, වැදගත් රැකියාවන් විදේශයන්ගෙන් සපයා ගත හැකිය. එසේ කිරීමට නම්, පරායත්ත භාවය වපුරන සුභසාධන රාජ්‍යයෙන් නිදහස්ව, ශක්ති ජනනය කරන සහ බලගන්වන ආයතනයක් බවට රාජ්‍යය පත්කළ යුතුය.

2015 දෙසැම්බර් 7 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ

සෞදි සිරගෙදර සිටින අපේ ගැහැනිය: අපේ දුර්භාග්‍යයේ වරද අපේමද?

නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *