සුපිරි ජනාධිපතිවරයෙකු බිහිකළ අය මේ කෙටුම්පතට එරෙහිවීම හාස්‍යට කරුණක්- අධිනීතිඥ ලාල් විජේනායක

දෙසැම්බර්

29

5:28 ප.ව.

admin

සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සාකච්ඡා කිරීමට ප්‍රථම එහි අඩංගු විධිවිධාන පලාත් සභාව වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන උපලේඛණයේ 3වන නැතහොත් සමගාමි ලයිස්තුවේ අඩංගු කරුණු පිළිබඳව විධිවිධාන ඇතුළත් වන හෙයින් පළාත් සභාවල අනුමැතිය ලබාගැනීම සඳහා පළාත් සභාව වෙත යොමු කර ඇත. පළාත් සභා සියල්ල පාහේ මෙම කෙටුම්පත අනුමත කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළ මෙම කෙටුම්පත, එහි අරමුණු හා බලාපොරොත්තුවන ප්‍රතිඵල අද සංවාදයට ලක්ව ඇත.

පළමුවෙන්ම පළාත් සභා තුල හා එයින් පිටත මෙම කෙටුම්පත පිළිබඳව මතු වී ඇති උනන්දුවෙන් පෙනී යන එක් කරුණක් නම් පළාත් සභා පිළිබඳව මෙන්ම පළාත් සභා සතු බලතල ආරක්‍ෂා කිරිම පිළිබඳව දැඩි උනන්දුවක් ජනතාව තුල පවතින බවය. එය කොතෙක් දුරට වර්ධනය වී ඇත්දැයි කිවහොත් කවදත් වැඩි බලතල ඉල්ලා සිටි උතුරු පළාත් සභාව හා පළාත් සභා පිළිබඳව සැකයෙන් පසුවු දකුණේ පළාත් සභා ද එක්ව ක්‍රියා කරමින් එකම යෝජනාව එනම් මෙම කෙටුම්පත පළාත් සභා බලතල වලට පටහැනි බව ප්‍රකාශ කිරීමේ යෝජනාවට පක්‍ෂව ක්‍රියා කරමින් සිටී’මෙන් පෙනී යයි. මෙම වර්ධනය පළාත්සභා ක්‍රමය මෙන්ම බලය බෙදීම පිළිබඳ සංකල්පයට විශාල ජයග්‍රහණයකි. විශේෂයෙන්ම උතුරේ ජනතාව පළාත් සභා ක්‍රමය තුලින් ජාතික සංහිඳියාව ඇති කිරිමට ඇති අවකාශය පෙන්නුම්කරන අවස්ථාවක් බව පිළිගත යුතුය.

කෙසේ වෙතත් මෙම කෙටුම්පතට විරුද්ධව නගනු ලබන හඩ සාධාරණදැයි සළකා බැලිය යුතුව ඇත. අපේ රට අද දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බව කිව මනා නොවේ. පසුගිය වසර 10ක පමණ කාලයක් තුල විදේශ රටවලින් ලබාගෙන ඇති අති විශාල ණය කන්දරාවක් යොදා ගනිමින් ගොඩ නගා ඇති වරායවල්, ගුවන්තොටුපොළ, ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා, විශාල මංමාවත්, රාජ්‍ය නායකයින් සඳහා රට පුරා තනා ඇති මාළිගා වැනි විශාල ආයෝජන තුලින් ණය ගෙවීමට නොව ලබාගත් ණයට ගෙවිය යුතු පොලිය ගෙවීමටවත් සෑහෙන ආදායමක් නොලැබෙන ආර්ථික වශයෙන් රට දැවැන්ත ප්‍රපාතයකට තල්ලුකර ඇති ආර්ථික පරිහානියෙන් ගොඩවීමට නම් එම මුදල් ආයෝජනය කර ඇති ව්‍යාපෘති තුලින් අඩුම වශයෙන් ණය වාරික හා පොලිය ගෙවිය හැකි ඵලදායී ව්‍යාපෘති බවට පත් කළ යුතුව ඇත. යෝජිත හම්බන්තොට ආයෝජන කලාපය එම අරමුණ ඉටු කර ගැනීම සඳහා යෝජනා වී ඇති එක් ව්‍යාපෘතියකි. එමෙන්ම මෙම ණය ප්‍රමාණය පියවීම සඳහා එය පමණක් ප්‍රමාණවත් නොවේ. රටේ වෙනත් ප්‍රදේශවලද රැකි රක්‍ෂා උත්පාදනය කළ හැකි නිශ්පාදන ව්‍යාපෘතින් ආරම්භ කළ යුතුව ඇත. මෙම ක්‍රියාවලිය කිසිසේත් කල් දැමිය නොහැක. ණය රකුසා අප පිටුපස ලුහුබඳිමින් සිටී.

මෙම දැවැන්ත අර්බුදයෙන් මිදීමට අවශ්‍ය ආර්ථික වර්ධනය ඇති කිරීමට නම් මහා පරිමාණයේ ආයෝජන අවශ්‍යය. එම ආයෝජන අප රට තුලින් සොයා ගත නොහැකි බව අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. එවැනි මහා පරිමාණයේ ආයෝජන රාජ්‍ය අංශයෙන්, රජය මත ඇති ණය බර ගැන සළකා බලන කල සොයා ගත නොහැක. අප රටේ පුද්ගලික අංශය අද ආසියාවේ පවා ඇති ඉතාම දුර්වල පුද්ගලික අංශය බව පිළිගත යුතුව ඇත. ඔවුන් ඇත්ත වශයෙන් තම මුදල් නිෂ්පාදන ක්‍රියාවලි සඳහා ආයෝජනය නොකරන අතර එම මුදල් ලේසියෙන් ලාබ ලැබිය හැකි වාණිජමය ක්‍රියාකාරකම් වලට යොදවනු ලබන බව පිළිගත යුතුව ඇත. එහෙයින් අප රටේ නියම ධනේෂ්වර පන්තියක් දක්නට නොමැත. අප රට තුළ ඇත්තේ දේපල හිමි වාණිජ පන්තියකි.

එහෙයින් ණය බරින් නිදහස්ව යම් ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා විදේශීය ආයෝජනය අත්‍යාවශ්‍ය වී ඇත. අද ලෝකයේ ඇති වී ඇති ගෝලීයකරණය තුල ප්‍රාග්ධනය ජාත්‍යන්තරකරණය වී ඇත. එමෙන්ම ශ්‍රමයද ජාත්‍යන්තරකරණය වී ඇත. ඒ අනුව නිශ්පාදනයද ජාත්‍යන්තරකරණය වී ඇත. ඒ අනුව අද විශාල වශයෙන් ප්‍රාග්ධනය ආයෝජනය සඳහා අවස්ථා සොයමින් සිටින අතර ලෝකයේ දියුණු වෙමින් පැවති රටවල් එම ආයෝජන තම රට තුලට ආකර්ෂණය කර ගැනීම සඳහා විශාල තරඟයක නියැලී සිටී. අප රටට වඩා ආර්ථික වශයෙන් පහල තත්වයක සිටි සිංගප්පූරුව, මැලේෂියාව, තායිලන්තය වැනි රටවල් මහා පරිමාණයේ ආයෝජන තුලින් ලබා ඇති ආර්ථික සංවර්ධනය අතහැර බැලුවද මෑත කාලයේදි අපගේ තත්වයට වඩා දුර්වල තත්වයක තිබුණු වියට්නාමය, බංගලාදේශය, පිලිපීනය වැනි රටවල් පමණක් නොව අද මියැන්මාරය (බුරුමය) පවා විශාල වශයෙන් විදේශ ආයෝජන ගලාගෙන එනු ලබන රටක් බවට පරිවර්තනය වෙමින් පවතී.

මෙම තරඟයේදී විදේශීය ආයෝජන ආකර්ෂණය කිරීමට නම් එයට අවශ්‍ය පරිසරය සකස් කළ යුතුව ඇත. එයින් ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ආයෝජකයින්ට තම ආයෝජන ක්‍ෂණිකව යොදාගෙන එය නිශ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා ක්‍රියා කළ හැකි පරිසරයක් ගොඩ නැගීමයි. එහෙයින් නිලධාරිවාදයට මෙන්ම නොයෙකුත් මාදිලියේ ග්‍රාම නිළධාරී මට්ටමේ සිට ප්‍රාදේශීය ලේකම්, දිසා ලේකම්, පළාත් සභා, පළාත් පාලන ආයතන, පරිසර අධිකාරිය හරහා ඇමතිවරුන් හා තවත් ආයතන ගණනාවක් වෙත යාමේ ක්‍රියාවලියක් තුලින් කිසිසේත් විදේශීය ආයෝජන බලාපොරොත්තු විය නොහැක.

අප රට අද ලබා ඇති ජාත්‍යන්තර පිළිගැනීම, මානව හිමිකම් ගරුකරන ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පිළිගැනීම යනාදී ධනාත්මක කරුණු ආයොජකයින්ගේ අවධානය යොමු කිරිම සඳහා තිබුණද පෙර කී පරිදි නිලධාරිවාදි ක්‍රමයක් තුලින් ආයෝජකයින් ආකර්ෂණය කළ නොහැක. එහෙයින් කඩිනම් සංවර්ධනයක් දෙස ගමන් කිරිමට නම් එයට ගැලපෙන යාන්ත්‍රණයක් ක්‍ෂණිකව සකස් කළ යුතුව ඇත. එසේ නොවන්නේ නම් කාලය අප පසුකර යනු ඇත.

එහෙයින් සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත කෙරෙහි මෙම පසුබිම තුලින් බැලිය යුතුව ඇත. එමගින් සුපිරි ඇමතිවරු හෝ සුපිරි පාලකයින් ඇති කිරීම සඳහා හෝ පළාත් සභා බලතල ඩැහැගත යුතු බව මෙයින් අදහස් නොකෙරේ. පළාත් සභා පමණක් නොව පළාත් පාලන ආයතන මෙන්ම රාජ්‍ය සේවය, විධායක යාන්ත්‍රණය පමණක් නොව අධිකරණය පවා මෙම සාමූහික ක්‍රියාවලියට සම්බන්ධ කර ගත හැකි යාන්ත්‍රණයක් සකස් කළ යුතුව ඇත.

අප රටේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා විශේෂ අණ පණත් ඇති කිරීමේ ඉතිහාසයක් ඇත. ගල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරිම සඳහා 1949 අංක 51 දරණ ගල් ඔය සංවර්ධන මණ්ඩල පනත ද මහ කොළඹ ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 1978 අංක 4 දරණ මහකොළඹ ආර්ථික කොමිෂන් සභා පනත ද, මහවැලි ව්‍යාපෘතිය සඳහා 1979 අංක 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරී පනත ද සම්මත කර ඇත. එහෙත් මෙම කෙටුම්පත තුලින් සුපිරි ඇමතිවරු බිහිවේද යන්න සහ එමඟින් පළාත් සභාවලට සිය බලතල භාවිතය පිළිබඳ අගතියකට පත් වේද යන්න සාකච්ඡා තුලින් විසඳාගත යුතුව ඇත. අද අවශ්‍ය වී ඇත්තේ පළාත් සභා පමණක් නොව පළාත් පාලන ආයතනද මෙම ක්‍රියාවලියේ කොටස් කරුවන් කර ගැනීමය.

එහෙත් අද මෙම කෙටුම්පතට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනු ලබන නායකයින් අතර 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව සිට පිරිස් සුපිරි ජනාධිපතිවරයෙකු බිහි කිරීමට කොටස්කරුවන් වීම හාස්‍ය ජනකය. මෙම වෙනස අද අප රට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනු ලබන රටක් බව පෙන්නුම් කරණ ඉතා වැදගත් සාධකයක් බවද වටහා ගත යුතුව ඇත.

ඉතිහාසයෙන් අපට දක්වන්නේ සුපිරි ඇමතිවරු හෝ සුපිරි ජනාධිපතිවරු බිහිවීම අණ පනත් තුලින් නොව දේශපාලන නායකයින්ට දෙපයින් සිට රටක ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිමට ඇති ආත්ම ශක්තිය මත වේ. එහෙත් අද රට තුල මතු වී ඇති සංවාදය ඉතා වැදගත් වේ. සියළු දෙනා දේශපාලන වශයෙන් අවධියෙන් සිටින බව පෙනී යයි. මෙය ධනාත්මක සිදු සිදුවීමකි. එය ආරක්‍ෂා කළ යුතුව ඇත.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *